ඉංග්‍රීසි සාහිත්‍යය කියන්නේ පන්ති වරප්‍රසාදයක් නොවෙයි | සිළුමිණ

ඉංග්‍රීසි සාහිත්‍යය කියන්නේ පන්ති වරප්‍රසාදයක් නොවෙයි

 

ඉංග්‍රීසි භාෂාවෙන් ලියන සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ ගැන ඔබේ කියවීම...?

“පසුගිය වසර පනහක පමණ කාලයක සිට ම ඉංග්‍රීසි බසින් සාහිත්‍ය පොත පත ලියවෙනවා. ඒක අපි නොදන්න එක තමයි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් අවුරුද්දකට 200 ක්වත් සිංහල බසින් පොත පත පළ වෙනවා. කවි පොත් ගත්ත ම ඒ හැම එකක ම හොඳ කවි දෙක තුනක්වත් තියෙනවා. හැබැයි විශිෂ්ට ම මට්ටමින් නම් කවි දහයකට වඩා නැහැයි කියන එකයි මගේ තක්සේරුව. ඒත් සිංහල බසින් ලියවෙන කවි වේවා කෙටි කතා වේවා තිර රචනා වේවා නාට්‍ය පිටපත් වේවා ඔය ඕනෑම ශානරයකින් ගත්තොත් ඒවා අර ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන නිර්මාණ වලට වඩා හුඟක් ඉදිරියෙන් පවතිනවා. මෙතන දී මම දෙමළ සාහිත්‍යය අත්හැරියේ ඒ ගැන මට අවබෝධයක් නැති නිසා යි. සිංහල සාහිත්‍යයේ කෘතිවල අන්තර්ගත කාරණා, සමහර විට ආදරය වෙන්න පුළුවන්, සමාජ ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ මොනවා වුණත් සාහිත්‍යකරණය කියල දෙයක් තියෙනවනේ. ඒ වගේ ම සාහිත්‍යමය වටිනාකම ගත්තොත් සිංහල බසින් කෙරෙන නිර්මාණ ඉහළ තැනක තියෙනවා.

මා ගැන කියනවා නම් ග්‍රේෂන් සම්මානය වෙනුවෙන් මම අවුරුදු හතක් තුළ ඉදිරිපත් කළ කෘති වලින් එක කෘතියකට සම්මානයක් ලැබිලා තියෙනවා. එහෙම වුණත් රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන්ගේ කාව්‍ය නිර්මාණවලට වඩා මගේ නිර්මාණ ඉදිරියෙන් තියෙනවා යැයි මා සිතන්නෙ නෑ. සමහර විට මේ සමාන කිරීම ගැන සමහරුන්ට තරහ යන්නත් පුළුවන්. ඒත් මට මං ගැන කියන්න අයිතියක් තියෙනව. සුහර්ෂිනි ධර්මරත්නගෙ කාව්‍ය නිර්මාණ ගත්තම, ඒවායේ විශිෂ්ටත්වයක් තියෙනවා. ඒ කවි ඉදිරියේ මගේ කවි අහලකවත් නැහැයි කියන්න මම පසුබට වෙන්නෙ නෑ. ඒ වගේ ම ආරියවංශ රණවීරගේ කවි ද සිංහලෙන් ලියවුණ විශිෂ්ට කවි බවයි මගේ අදහස.

ගීත රචනා වුණත් මෙහිදී අපි කතා කරන්න ඕනෙ. ඒත් අපේ රටේ ගීත රචනා, සාහිත්‍යාංගයක් හැටියට ම පිළිගන්නෙ නැහැ. දැං බලන්න බොබ් ඩිලන්ට නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබුණා. ඔහුගේ ඒ ගීතවල තියෙන සාහිත්‍යමය ගුණය නිස යි. ඒත් අපේ රටේ ගීත රචනා දිහා බලන්නෙ වෙන ම ඇහැකින්. මං දන් නෑ ඒ ඇයි කියල කියන්න. කෙසේ වෙතත් ගීත ක්ෂේත්‍රයෙත් අද හොඳ ප්‍රවණතා ඇති කරලා තියෙනවා. සමහරු ලියල තියෙන්නෙ ගීත එකයි, දෙකයි. ඒත් ඒ වුණත් උසස් මට්ටමින් ලියවුණ ඒවා තියෙනවා.

ඊළඟට කෙටි කතාව ගත්තමත් සයිමන් නවගත්තේගමගේ, ජයතිලක කම්මැල්වීරගේ මුල් කාලයේ කෙටි කතා අහලකටවත් එන්න ඉංග්‍රීසි බසින් ලියවෙන කෙටි කතාවලට පුළුවන් වෙලා නෑ. ඒ අතර කෙටි කතාවක් දෙකක් විශිෂ්ට වෙන්න පුළුවන්. ඒත් මම කතා කරන්නෙ සමස්තයක් හැටියට ඉංග්‍රීසි බසින් ලියවෙන කෙටි කතාවේ පවතිත තත්වය ගැන යි.

පහුගිය කාලේ තරුණ කවීන් සිය කවි නිර්මාණය කිරීමට සයිබර් අවකාශය මාධ්‍යය කරගත්තා. ඔබේ කවි පවා එහෙම පළ වෙලා තියෙනවා. ඒ ගැන විශේෂ අදහසක් තියෙනව ද?

“දැන් මෙතන දී නිසඳැස්ය කියලා වචන ටිකක් ගොනු කරගෙන ඒක කවියක් වගේ පේන්න ලියල තියෙනවා වෙන්න පුළුවන්. ඒක ෆේස් බුක් එකේ පළ වුණා ම දන්න නොදන්න හැමෝ ම හායි, නියමයි කියනවා. ලයික් කරනවා. හැබැයි ඒ නිසා ම ඒවා කවි වෙන්නෙ නෑ.

නමුත් රුවන් බන්දුජීව මුලින් ම ලිව්වෙත් “බූන්දි” බ්ලොග් එකට. ඔහු හොඳ කවියෙක්. එහෙම ආපු තවත් හොඳ තරුණ කවියෙක් තමයි ඉන්දික ගුණවර්ධන. ඔහුගේ කවි වගේ ම ඔහුත් වෙනම චරිතයක්. අවාසනාවට වගේ ඔහු අකාලයේ මිය යනවා.

ඉංග්‍රීසියෙන් ලියන කවීන්ටත් සමාජ ජාලය තුළ ඇති තරම් වෙබ් අඩවි තියෙනවා. ෂෙහාන් කරුණාතිලක, ෂ්‍යොම් සෙල්ලදොරෙයි, මයිකල් ඔන්ඩච්චි, රොමේෂ් ගුණසේකර, රූ ෆ්‍රීමන් (ඇය මාලින්ද සෙනෙවිරත්නගේ නැගනිය යි.) ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නවුන් අතර සිටිනවා. හැබැයි මෙතන දී රූ ෆ්‍රීමන් අමෙරිකානු කෆ්කා සම්මානය හිමි කරගන්නේ ලංකාවේ සමාජ ජීවිතය ගැන ලියු නවකතාවකට යි. ඒ වගේ ම ඉංග්‍රීසි බසින් නවකතා ලියන සෙසු නවකතාකරුවන් වුණත් ජාත්‍යන්තර සම්මාන ලබන තැනක සිටිනවා. ඒත් ඉංග්‍රීසි බසින් ලියවෙන කවි අද වෙනතුරුත් එවැනි පිලිගැනීමකට ලක් වෙලා නැහැ. මං කියන්නෙ පවතින තත්වය ගැන.

Advertising copywriting හොඳ සාහිත්‍ය ප්‍රවණතාවක් යැයි පිළිගැනෙනවා. ඒ ගැන ඔබේ අදහස ඇහුවොත්...?

“ඇඩ්වර්ටයිසින් ක්ෂේත්‍රයට මමත් සම්බන්ධ වෙනවා එක කාලයක දී. ෆීනික්ස් කියන ආයතනයේ තමයි මම සේවය කළේ. ඇත්තම කියනවනම් ඒ කාලය මගේ ලිවීමේ ශෛලිය ඔප මට්ටම් කලාය කිව්වොත් නිවැරදි යි. හේතුව තමයි කොපි රයිටින් කියන කලාව මට අභියෝගයක් වීම. එතන දී අපිට සිද්ධ වෙනවා වචන දාහකින් කියන්න ඕනෙ දෙයක් වචන හයකින් කියන්න. ඒ තමයි අභියෝගය. ඒ නිසා ම අපේ ලිවීම හරි ප්‍රබල වෙනවා. මම ඇත්තටම පත්තරවලට ලිපි ලියපු කෙනෙක්. ඒ වගේ ම වචන තුන්දාහකින් මෙහා නොලියපු කෙනෙක්. ඒත් දැන් මට පුළුවන් වචන හය සීයෙන්, පන් සීයෙන් ලියන්න මේ හැකියාව මගේ සාහිත්‍යකරණයට ලොකු පිටුවහලක් වුණා. කොපි රයිටින් කලාව ඒක හරිම ප්‍රබල යි.“

ඉංග්‍රීසි බසින් ලියන ඔබේ කාලයේ කවීන් ගැන ඔබේ හඳුනාගැනීම ගැන ඇසුවොත්...?

“එහෙම ගත්තොත් විහග පෙරේරා වැඩිපුරම කවි ලියන කෙනෙක්. ඔහුගේ කවි හොඳයි. ඒ වගේ ම රම්‍යා ජෙරසිංහ මම ඉතාම අගය කරන කිවිඳියක්. ඒ වගේම මාලන් ගත්තම ඔහුට තියෙන්නෙ රැඩිකල් දේශපාලන ප්‍රවේශයක්. ඔහුගේ කවිවල ඒ බව පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ වගේ ම පොත් වශයෙන් ප්‍රකාශයට පත් නොකළත් කවි ලියන්න පුළුවන් අය මට හම්බ වෙලා තියෙනවා. ධනුෂ්ක බණ්ඩාර එහෙම කෙනෙක්. පූසති ලියන ආරච්චි මගේ තක්සේරුවේ හැටියට නම් ඊළඟ පරම්පරාවට අයිති වෙන හොඳ කවියෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුණත් ඉජාස් ද ඊළඟ පරම්පරාවට අයත් වන දක්ෂ කවියෙක්. ඔහු දක්ෂ විදිහට වචන හැසිරවීම කරනවා.

ඔබත් ඉංග්‍රීසි බසින් ලියන කවියෙක්. ඔබේ කවි ගැන පෙන්වා දී තිබෙනවා ඔබ, ව්‍යක්ත විදිහට බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රවල උද්ධෘත යොදා ගනිමින් ප්‍රබල විදිහට අරුත් ගළපනවාය කියලා. ඒ ගැන ඔබේ අදහස...?

“මෙලොව සිටි විශිෂ්ටම සාහිත්‍යකරුවා තමයි සිද්ධාර්ථ ගෞතම. තමන් කියන දේ වචනයක් හෝ අඩුවක් නැතිව, වචනයක් වැඩිත් නැතිව ඉතාම පැහැදිලිව ඉතාම කාව්‍යාත්මකව උන් වහන්සේගේ දේශනාවන්හි ජීවිතය ගැන කියවෙනවා. ඒ සඳහා ආරියවංශ රණවීරගේ “එළිමහන් කවි සහ ගුහා කවි” උදාහරණයකට ගන්න මම කැමතියි. ඒ අනුව එළිමහන ඇත්තේ නුදුරිනි. එහෙත් පිටතිනි. මෙහි තේරුම අවබෝධය, ඒක මේ ආසන්නයේ ම තියෙනවා. ඒත් ඒක අපිට පිටස්තර යි. ඒක අපිට ග්‍රහණය කරගන්න බැරි දෙයක් නෙවෙයි. නමුත් කරගන්නෙ නෑ. ඒකයි ප්‍රශ්නය. සමස්ත බෞද්ධ දර්ශනයේ එන සාක්ෂාත් කරගත යුතු සත්‍යය ඔයිටත් වඩා සංක්ෂිප්තව, ලස්සනට කියන්න පුළුවන් ද? සතිපට්ඨාන සූත්‍රය තරම් සමාජයක් විවරණය කරන විධි ක්‍රමයක් ගැන මට හිතාගන්න බැහැ. කාලාම සුත්‍රයට වඩා විග්‍රහාත්මක ක්‍රමවේදයක් මට හිතාගන්න බැහැ. මගේ මනස ඉල්ලා සිටින තර්කය බෞද්ධ දර්ශනය තුළ මම දකිනවා. ඒ ක්‍රමවේද මගේ ජීවන භාවිතාව තුළත් තියෙනවා. ඇතැම් අසීරු අවස්ථාවල දී මම ඒවා ප්‍රයෝජනයටත් ගන්නවා. බෞද්ධ දර්ශනයේ එන ඒ පොහොසත්කම, ඒ සියුම් බව මගේ කවි වලින් ප්‍රකාශයට පත් වෙනවා විය හැකි යි. මම මීට පෙරත් කියල තියෙනවා මගේ සාහිත්‍යයේ එකම ගුරුවරයා බුදුන් වහන්සේය කියලා. අද මම කියනවා සාහිත්‍යයේ පමණක් නෙවෙයි මගේ ජීවිතයේ ම ගුරු තිලෝගුරුය කියලා. ඒක වෙන කෙනෙක් කියපු දෙයක්. ඒත් බලන්න ඒකත් කවියක් වගේ.“

ඒ වගේ ම ඔබේ කවියේ ඇතැම් අනාවරණය කිරීම් බිහිසුණුයි කියලත් අදහස් පළ වී තිබෙනවා..?

“තමන්ගේ කවි කියවන පාඨකයන්ගේ සිතා ගැනීම් ගැන කවියා මොනවා කරන්න ද? පැබ්ලෝ නෙරූඪා කියල තියෙනවා කවියක භාවාර්ථය පාඨකයාගේ අවශ්‍යතා මත, විඳීම මත තීරණය වන දෙයක්ය කියලා. ඔබ කී ආකාරයට අර වගේ අර්ථ නිරූපණ මගේ කවිය සම්බන්ධයෙනුත් කියවෙනවා ඇති. මම සාහිත්‍යය ගැන ලොකු හැදෑරීම්වලට ගිහිල්ලා නෑ. මම ගැන කියනවානම්, මම ජීවත්වෙන මිනිහෙක් එච්චර යි.

කොහොම වුණත් “සන්ඩේ මෝනිං” පුවත්පතේ සේවය කරන කාලයේ දී මම එක්තරා කාව්‍යයක් දිගට ම ලිව්වා. ඒකෙන් කියවෙන්නේ විප්ලවවාදියෙකුගේ ප්‍රවේශය හා නික්ම යෑම ගැන යි. එය කෙසේ විය යුතු ද කියන කරුණ සම්බන්ධයෙන් දෙන උපදෙසක් විදිහට එය ගත හැකි යි. ඒ අනුව විප්ලවවාදියෙකු ලොව දැකිය යුතු ආකාරය ගැන පෙන්වා දීමක් හැටියටයි එය ලියවුණේ. මගේ කවි කියවන කෙනෙක්, ඒක ඇතුළෙ මාලින්ද සෙනෙවිරත්නව හොයන්න ගියොත්, මොකද වෙන්නෙ. එතැන දී ඇත්තටම වෙන්න ඕනෙ මගේ කවියෙන් කියවෙන්නෙ මොකක් ද කියල හොයන එක නේද?“

ඉංග්‍රීසි භාෂාව උගත් අයගේ සමාජය ඉංග්‍රීසි බස පංතිමය වරප්‍රසාදයක් කරගෙන සිටිනවා යැයි මම කිව්වොත්...?

“ එක කාල වකවානුවක අපේ අධ්‍යාපනය මුළුමනින් ම වාගේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙනුයි සිදු වුණේ. නමුත් එතැන දී සමාජ ආර්ථික කරුණු හේතු කොටගෙන හැමෝට ම සම අවස්ථාවක් ඒ වෙනුවෙන් ලැබුණෙ නෑ. ඒ නිසා ඉංග්‍රීසි උගත්තවුන් වෙනම පන්තියක් බවට පත් වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මගේ අප්පච්චි (ගාමිණි සෙනෙවිරත්න) 1970 දශකයේ දී පරිපාලනය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව යොදා ගැනීම සම්බන්ධ සම්මේලනයක දේශනයක් සඳහා සහභාගි වුණා. ඉංග්‍රීසි බස අන්තර් භාෂා මාධ්‍යයක් හැටියට යොදා ගැනීම සම්බන්ධව පැවැත්වුණු ඒ දේශනයට මමත් ගියා. එහිදී ඔහු පෙන්වා දුන්නා සිංහල ජනයා බහුතරයක් සිටින පළාත්වල සිංහල බස මුල් කොටගෙනත්, දෙමළ ජනයා වැඩිපුර සිටින පළාත්වල දෙමළ බස මුල් කොටගෙනත් මේ කටයුත්ත සිද්ධ විය යුතුයි කියලා. එහි දී එක් ගුරුවරියක් නැගිටලා තමන්ගේ බලවත් විරෝධය පාමින් කිව්ව දේ මට තාම මතක යි. "Now we the elite" එලීට් කියන වචනය ගැන හිතල බලන්න. මේ කතා කරන ගුරුවරිය අයිති වෙන්නෙ ඉහළ වැටුපක් ලබන එහෙම තනතුරකටත් නෙවෙයි. ලොකු පවුල් පසුබිමකට අයිති කෙනෙකුත් නෙවෙයි. මේ තමයි සමාජ හීනමානය. ඇය ඉංග්‍රීසි භාෂාව උපයෝගි කරගෙන තියෙන්නෙ, තමන්ට නැති තත්වයක් ආරෝපනය කරගන්න. එතන දී මගේ අප්පච්ච් දුන් පිළිතර තමයි, “තමන්ගේ ස්වයං ප්‍රතිරූප වෙනුවෙන් මට කළ හැකි දෙයක් නැත.”

ඒ සම්බන්ධයෙන් මගේ විරෝධයත් පැහැදිලි යි. නමුත් මගේ ඒ විරෝධය නිසා ම මාව පෙන්නන්න බැරි පිරිසක් සිටින බවත් මම දන්නවා. ඒත් ඒක මට අදාළ නැහැ.

90 දශකයෙන් පස්සෙ ඉංග්‍රීසි භාෂාව උගත් සමාජය දෙයාකාරයකින් දකින්න ලැබෙනවා. මුලින්ම කියන්න ඕනේ, මේ අයගේ දෙමවුපියන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ඉගෙන ගත් අය නෙවෙයි කියන එක. ඒත් තමන්ට වූ ඒ අසාධාරණය තමන්ගේ දරුවන්ට අත් නොවේවායි කියල ළමයින්ව ජාත්‍යන්තර පාසැල්වලට යවනවා. එහෙම උගත් ඒ සමාජයේ එක කොටසක් සුද්දන්ටත් වඩා සුද්දන් වෙනවා. තව කොටසක් ඒ භාෂා දැනුම මහ ලොකු දෙයක් නොවන බව දැනගෙන බොහොම නිදහස්ව , පුළුල්ව ඒක අර ගන්නවා. ඇත්තටම ඉංග්‍රීසි වරප්‍රසාදයක් කරගත් ඒ පන්තිමය බෙදීමේ කිසි තේරුමක් නෑ. ඔය හැම සමාජයකම උගත් වැදගත් මිනිස්සු වගේ ම පරයොත් ඉන්නවා. අද වෙන්න ඕනෙ රටක් වශයෙන් අපි එක තැනකට එන එක. එකම තැනකට ගොනු වෙන එක. අපේ සමාජය දෙස මතු පිටින් බලන බැල්මක් නෙවෙයි අද අපිට ඕන කරන්නෙ. අපි නිදහස්ව පුළුල්ව ඒ දිහා බලන්න ඕනෙ. එහෙම නැත්නම් වෙන්නෙ විදේශිකයකු අපේ සමාජය දිහා මතුපිටින් බලනවා වගේ දැකීමකට අපේ දැක්ම සීමා වන එක යි.

මං බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි බසින් ලියන ඊළඟ පරම්පරාව අර පටු සීමා වලින් අයින් වෙලා සමාජ ප්‍රගතිශීලිත්වයක් වෙනුවෙන් කටයුතු කරාවි කියලා. මේ සංස්කෘතික අර්බුදය ඔවුන් විසඳාවි.

 

Comments