නවම් මහේ නිවී ගිය පහන් සිළුව ජයන්තා රුක්මණි සිරිවර්ධන | සිළුමිණ

නවම් මහේ නිවී ගිය පහන් සිළුව ජයන්තා රුක්මණි සිරිවර්ධන

 

යොවුන් විය මඟහැරී දුක් කඳුළු පැස රැගෙන
ඇතුළු වී කුලගෙයට සුරාවේ වැසි රැගෙන
කුස්සියේ ගිනිගොඩට දුක කීව හැමදාම
පිටත් වී ගියා ඇය අඩි ලකුණු නොතබාම

කලකට පෙර සිය ‘කැලණි ගඟ හඬයි’ පද්‍ය පන්තියෙන් එසේ කී ප්‍රකට කිවිඳියක සහ ලේඛිකාවක වන ජයන්තා රුක්මණී සිරිවර්ධන ඉකුත් 3 වැනිදා දිවි ගමනින් නික්ම ගියේ සහෘද හදවත් මත නොමැකෙන අඩි ලකුණු තබමිනි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්, කාව්‍ය සංග්‍ර‍හ, කෙටිකතා, නවකතා, ළමා කෘති සහ තීරු ලිපි එකතුවක් ලියා පළකළ ලේඛිකාවක්, නිදහස් මාධ්‍යවේදිනියක්, කාන්තා හා ළමා වැඩසටහන්වල සම්පත් දායිකාවක් ලෙස විවිධ භූමිකාවන් නිරූපණය කරමින් කලා කෙත අස්වැදීමට දායක වූ ඇය පසුගියදා සුවහසක් සහෘද, රසික සිත්හි සන්තාපය අතුරා දැයෙන් සමුගත්තාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු හැත්තෑ එකකි.

කුඩා වියේ සිට කලාවට ඇලුම් කළ ජයන්තා සාහිත්‍ය ලේඛනය කෙරෙහි ආභාසය ලැබුවේ සිය මාපියන්ගෙනි. විදුහල්පතිවරයකු, ලේඛකයකු සහ හෙළ හවුලේ ප්‍ර‍බල සාමාජිකයකු වූ පියා ම. පී. ගුරුදාස සතුව තිබූ නූර්ති ගී නාඩගම් ගී තැටි එකතුව රස විඳීම සහ පියා සතු පුස්තකාලය පරිහරණය කිරීම එදවස ජයන්ති දැරියගේ අපූරු විනෝදාංශය විය.

නාට්‍ය සහ චිත්‍රපට නැරඹීමේ පුරුද්ද ඇය සතු වූයේද මවුපියන් නිසාය. නූර්ති ගී, සිංහල හා හින්දි ගී ඇසීමෙන් දෘශ්‍ය හා ශ්‍රව්‍ය කලා මාධ්‍යයන්හි ඇලීගැලුණු ඇය පසු කලෙක නන්දා මාලිනිය ගයන ‘රැළි ද නැගේ හෝ ගා මුහුදේ’ සහ පණ්ඩිත් අමරදේවයන් ගයන ‘පිනි බිඳුවක නැවතීගෙන’යන ජනප්‍රිය ගී පදමාලාවන්ගේ හිමිකාරිය වූවාය.

බෙන්තොට ගාමිණි මහා විද්‍යාලයෙන් උසස්පෙළ සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබාගන්නා ඇය වෘත්තිය ජීවිතය අරඹන්නේ ශ්‍රී ලංකා මහබැංකුවෙනි.

පාසල් වියේ සිට පුවත්පත්වලටත් ගුවන්විදුලියටත් කවි, කෙටිකතා ආදී නිර්මාණ යොමු කළ ඇයගේ නිර්මාණ ජීවිතය පිබිදීමකට ලක්වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව ප්‍ර‍ථම විදේශ ශිෂ්‍යත්වය ලැබ ඉතාලියට යෑමත් සමඟය. ඉතාලියේ සුන්දරත්වය ඇසුරින් ‘ඉරිදා දිවයින’ පුවත්පතට ඇය ලියූ ලිපි පෙළ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ එකල පුවත්පත්වල සංචාරක ලිපි එතරම් බහුල නොවූ නිසාය.

අනතුරුව විවිධ පුවත්පත්වලට ලිපි ලිවීමට අවස්ථාව උදාකරගත් ඇය අසූව දශකයේ අගභාගයේදී කතෝලික සිනමා පර්ෂදය විසින් පවත්වනු ලැබූ ජයලාල් විලේගොඩ අනුස්මරණ උලෙළ සඳහා පවත්වන ලද චිත්‍රපට විචාර තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගත්තාය. එය ඇයගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.

පසු කලෙක ජාතික චිත්‍රපට සංස්ථාවේ ජනාධිපති සම්මාන, සුමති ටෙලි සම්මාන, සරසවි සම්මාන, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික ටෙලි සම්මාන යන සම්මාන ප්‍රදානයන්හි ජූරි මණ්ඩලයේ සාමාජිකාවක ලෙස වරින්වර සහභාගි වූවාය.

එපමණක් නොව කතෝලික සිනමා පර්ෂදය, ස්වර්ණ සංඛ සිනමා සම්මාන උලෙළ, ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන උලෙළ සහ රයිගම් ටෙලි සම්මාන උලෙළවල චිත්‍රපට හා ටෙලිනාට්‍ය විචාරිකාවක ලෙස ක්ෂේත්‍රෙය් නම රැඳවීමට සමත් වූවාය.

තිස්ස අබේසේකරයන් යටතේ තිර පිටපත් ලිවීම පිළිබඳ පාඨමාලාව හැදෑරීම, විවෘත විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබද ඩිප්ලෝමාව ලබාගැනීම, දේශීය විදේශීය චිත්‍රපට නැරඹීම සහ චිත්‍රපට පිළිබඳ කරන ලද අප්‍රමාණ ස්වයං අධ්‍යයනයන්ද ඒ සඳහා ඇයට ඉවහල් විය. චිත්‍රපට සංස්ථාවේ තිර පිටපත් රචනා සම්මානය සඳහා වන ජූරියේ, සංස්කෘතික කටයුතු අමාත්‍යාශයේ සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකාවක ලෙසද කටයුතු කළ ජයන්තා රුක්මණී සිරිවර්ධන සිංහල ලේඛක සංගමයේ කමිටු සාමාජිකාවක ලෙසත් රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පිටපත් රචනා මණ්ඩලයේ සාමාජිකාව ලෙසද කටයුතු කළාය.

1989 වසරේ ඇය විසින් රචිත ‘කුරුල්ලෝ ඇවිල්ලා’ ළමා පද්‍ය සංග්‍රහයත් සහ කාලීන සමාජ, දේශපාලන පසුබිම ඇසුරින් 1991දී එළිදැක්වූ ‘හරස්කඩ’ පද්‍ය සංග්‍රහයත් බොහෝ දෙනාගේ විමසුමටත් කතාබහටත් ලක්විය. ‘අවසන් හෝරාව, බඹර සුසුම, කැලණි ගඟ හඬයි, තිළිණිගේ යාළුවෝ, ගංගාගේ කථාව, මාරියාව, සහතික කළ බිරිඳ’ ජයන්තා ලියූ ජනප්‍රිය කෘති වේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළද නොමැකෙන සලකුණු තැබූ ජයන්තා රුක්මණී සිරිවර්ධන වෘත්තිය ජීවිතය තුළින් ලැබූ අත්දැකීම්වලින් සිය ලේඛන දිවිය වඩාත් සරු කර ගත්තාය. 1978 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඇය ඉඩම් අමාත්‍යාංශයේ සහකාර කොමසාරිස් (ඉඩම් සංවර්ධන), සහකාර පාලක-ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්- සමෘද්ධි , තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්- ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යාංශය, අතිරේක ලේකම්- වෙළෙඳ අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යාංශය ආදී තනතුරු දැරීමෙන් පසු 2010 වසරේදී රාජ්‍ය සේවයෙන් ඉසුඹු ලැබුවාය.

“ප්‍රාදේශීය පරිපාලනයේ සිටියදී මම ජීවිතය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා. ගම්බද ප්‍රදේශවල සේවය කරද්දි මිනිස්සු ජීවිතය පවත්වාගෙන යන්න විඳින දුක, ඒ අයගේ සමාජ, සංස්කෘතික පරිසරය, කොටින්ම ගැමි ජීවිතයේ අභ්‍යන්තරය මම හොඳින් නිරීක්ෂණය කළා. මුල් කාලයේ දිස්ත්‍රික් ඉඩම් නිලධාරිනියක් ලෙස සේවය කරන විට කාන්තාවන්ට සිදුවුණ අසාධාරණකම් බොහෝමයක් දැක්කා. ඒවාට විසඳුම් දෙන්න තනි මට බැරිවුණත් මගේ නිර්මාණ හරහා සමාජය තුළ සාකච්ඡාවක් ඇතිකර සමාජ අවධානය ඒ වෙත යොමුකරන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා.”

ජයන්තා රුක්මණී සිරිවර්ධන වරක් පුවත්පත් සාකච්ඡාවකදී එසේ පවසා තිබුණි. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට ඊට අවැසි ප්‍රචාරක පත්‍රිකා ලියූ ඇය, ‘දැයට කිරුළ’ වැඩසටහන්වල නිර්මාණ කාර්යයන්ට දායකත්වය දැක්වූවාය.

විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන් 40 දෙනකු සඳහා සම්මාන පුද කරමින් සමෘද්ධි අමාත්‍යාංශය පැවැත්වූ ‘විශ්ව ප්‍රසාදිනී උලෙළ’ වර්ණවත් කිරීමටද සිය හැකියාවන් යෙදවූ ජයන්තා රුක්මණී සිරිවර්ධනයන් ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යාංශයදී කාන්තාව ‘මාධ්‍ය පිළිබිඹුව යථාර්ථය’ යන සඟරාවේ සංස්කාරකවරියද වූවාය.

බිරියක, මවක,ගෘහණියක, විධායක නිලධාරිනියක ලෙස වගකීම් බහුල ජීවිතයක් ගතකරමින් සාහිත්‍යය හා කලාව වෙනුවෙන් ඇය කළ මහඟු සේවය අනර්ඝය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ සැමියා සී.සී. සිරිවර්ධනගෙන් සහ එකම දියණිය ඕෂධී සිරිවර්ධන තම වෘත්තිය ජීවිතයටත් කලා ජීවිතයටත් ලැබුණු අත්වැල ජයන්තා රුක්මණී සිරිවර්ධන බොහෝ අවස්ථාවලදී හෘදයාංගම ලෙස අගය කළාය.

පෙබරවාරි 03 බදාදා අභාවප්‍රාප්ත වූ ජයන්තා රුක්මණි සිරිවර්ධනගේ අවසන් කටයුතු 05 සිතුරාදා පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකැරිණි.

Comments