දෙපැ­ත්තට ඇදුණු මහ­ර­ගම වෙළෙ­ඳුන්ගේ අව­න­ඩුව | Page 2 | සිළුමිණ

දෙපැ­ත්තට ඇදුණු මහ­ර­ගම වෙළෙ­ඳුන්ගේ අව­න­ඩුව

හරගම කියූ සැණින් අනාදිමත් කලෙක සිටම මෙරට ජනයාගේ සිත්සතන් තුළට කාවැදී තිබෙන්නෙ රෙදිපිළි වෙළෙඳාම ගැනයි. විශේෂයෙන්ම මහරගම, පමුණුව ඇතුළු ප්‍රදේශ රෙදිපිළි වෙළෙඳාමට නොනිදන නගරයක් ලෙස ප්‍රකටය. උත්සව සමයට අතිශය කාර්යබහුල වන මහරගම රෙදිපිළි වෙළෙඳාම සාමාන්‍ය දිනවලද බොහෝ කාර්යබහුලය. එහෙත් රෙදිපිළි වෙළෙඳාම නිසා මහරගම නගරයේ කාර්යබහුලත්වය දැඩිව පවතින්නෙ අලුයම් කාලයේ නැතිනම් රාත්‍රී එක, දෙක සිට පෙරවරු හතහමාර පමණ වන තෙක්ය.

1950 දශකයේ පමණ සිට ඇරැඹෙන මහරගම මෙකී රෙදිපිළි වෙළෙඳාමේ ආරම්භකයා නෝටන්බ්‍රිජ් විදුලි බලාගාරයේ සේවයෙහි නිරතව පසුව රැකියාව අහිමිව කොළඹට පැමිණ රෙදි කැබලි අලෙවියෙන් රෙදිපිළි වෙළෙඳාම ඇරැඹි කේ. එස්. ජයවර්ධන නමැත්තා බවට සැල වේ.

එලෙස ඇරැඹි මහරගම නගරයේ පදික වෙළෙඳාමේ යෙදෙන සංඛ්‍යාව වර්තමානය වන විට හත්-අටසියයක් පමණ වේ. ඉන් බොහොමයක් දෙනා එදිනෙදා වෙළෙඳාමෙන් ජීවිකාව සරිකරගන්නා පිරිස් වෙති. මහරගම සිට ජයවර්ධනපුර රෝහලට යනෙන පමුණුව මාර්ගයෙන් ඇරැඹුණු රෙදිපිළි වෙළෙඳාම මේ වන විට පැරැණි බස් නැවැතුම්පොළ තිබූ ස්ථානයේත් ඊට යාබදව නගර සභාවට අයත් නගර මධ්‍යයේ වූ මුලින් වෙළෙඳුන් 35 දෙනෙකුගෙන් ඇරැඹී '35 කෑල්ල' නමින් ප්‍රකට භූමියෙහි නොනිදන නගරයේ වත්මන් රෙදිපිළි වෙළෙඳාම බොහෝ සේ සිදුවන ස්ථානයි. විටෙන්විට කලින්කල මෙකී වෙළෙඳාමේ නිරත පිරිසට නොයෙක් බාධක පැමිණේ. ඒ පදික වේදිකාව ඇතුළු නගර සභාවට අයත් භූමියන්හි වෙළෙඳාමේ නිරත වන හෙයිනි.

පසුගිය 13 වැනිදා රාත්‍රියේද මහරගම නගර සභාවට අයත් පැරැණි බස් නැවැතුම්පොළ භූමියෙහි අනවසර වෙළෙඳාම නගර සභාවේ බැකෝ යන්ත්‍ර, ලොරි රථ හා සේවකයන් යොදවා ඉවත් කිරීමට මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියවර ගැනීමත් සමඟ ගැටුම්කාරි තත්ත්වයක් දක්වා තත්ත්වය වර්ධනය විණි. ඒ කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොකළේ යැයි පවසමින් වෙළෙදුන්, නගර සභා සේවකයන්ට දැඩි විරෝධයක් පළ කිරීම නිසාවෙනි.

එහෙත් එම විරෝධතා තඹේකට නොතැකූ නගර සභා සේවකයන් පැරැණි බස් නැවැතම්පොළ භූමියේ වූ අනවසර වෙළෙඳකුටි රැය පුරා ඉවත් කිරීමට කටයුතු කෙරිණි. ඒත් සමඟ බස් නැවැතුම් භූමියට යාබද 35 කෑල්ලෙහි වෙළෙදුන්ගේ වෙළෙඳ කුටිද ඉවත් කිරීමට සැරැසුණත් එම වෙළෙඳසල් ආරක්ෂා කරමින් එම වෙළෙදුන් එම ස්ථානයේම රැඳි සිටියහ. ඉන් තවත් තත්ත්වය දරුණු විණි.

ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීමට නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක ප්‍රමුඛ පොලිස් නිලධාරින් සියයකට අධික සංඛ්‍යාවක්ද යොදවා සිටියේය. කෙසේ හෝ එම ස්ථානයට මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන්ද රාත්‍රියෙහි පැමිණීමත් සමඟ තත්ත්වය උත්සන්න වී තිබිණි.

කෙසේ හෝ අගමැති මහින්ද රාජපක්ෂගේ දැනුම් දීම මත වෙළෙඳ කුටි ඉවත් කිරීම තාවකාලිකව නතරකොට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය පියවර ගන්නා බව මහරගම සංවර්ධන කමිටුවේ සාමාජිකා මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර අපට කීවාය.

කාන්තා ව්‍යාපාරිකයන්ගේ උද්ඝෝෂණ

මහරගම සිද්ධියට පාදක වූ සිදුවීම් දාමය පිළිබඳව සොයා බැලූ අපට අනාවරණය වූයේ මුලින්ම ගැටලුව පැන නැඟි ඇත්තෙ මහරගම නගර සභාවේ නගරාධිපතිවරයා විසින් 35 කෑල්ල නමැති භූමියෙහි රථ ගාලක් ඉදිකිරීමට තීන්දු කිරීමත් සමඟ එහි වෙළෙඳාම් කටයුතුවල නිරත වූ සියයකට ආසන්න පිරිස ඉවත් කිරීමත් සමඟිනි. අනතුරුව එකී පිරිස විසින් ඊට යාබදව පැරැණි බස් නැවැතුම පිහිටි භූමියෙහි අලුයම් කාලයෙහි වෙළෙඳාමේ යෙදෙන පිරිසද ඉවත් කිරීමට සැලැසුම්කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මැදිහත් වීම ලබාගනිමින් බවට එම ස්ථානයේ වෙළෙඳාමේ නිරත පිරිස් නඟන චෝදනාවයි.

ඒ අනුව පසුගිය 13 වැනිදා රාත්‍රියෙහි පැරැණි බස් නැවැතුම්පොළ භූමියේ සහ 35 කෑල්ලෙහි යන ස්ථාන දෙකෙහිම වෙළෙඳාම්හි නිරත පිරිස් ඉවත් කිරීමට නගර සභාව කටයුතු කෙරිණි. අපි මේ පිළිබඳ අලුයම් කාලයෙහි ඉටිකොළයක් එළාගෙන පැරැණි බස් නැවැතුම්පොළ භූමියෙහි වෙළෙඳාමේ යෙදුණ කාන්තාවකගෙන් විමසීමක් කළෙමු.

"අපි කාලෙක ඉඳලා මහරගම වෙළෙඳාම් කරන්නෙ... කොරෝනා නිසා අපි හැමෝම කබලෙන් ළිපට වැටිලා ඉන්නෙ... අපේ වෙළෙඳාම තියෙන්නෙ පාන්දර එකේ සිට හතහමාර දක්වා පමණයි. අපිව ඉවත් කිරීමට ලොකුම වුවමනාව තිබුණේ 35 කෑල්ලෙ වෙළෙදුන්ට. ඔවුන්ට මතක නෑ ඒ අයටත් නගර සභාවෙන් ඉවත් වෙන්න දන්වා තිබෙන බව. එයාලා සරත් වීරසේකර ඇමැතිතුමාගේ මාර්ගයෙන් අපිව ඉවත් කිරීමට සූදානම් වුණා. ඒ ඔවුන්ගේ වෙළෙඳාමට අපිව බාධාවක් වෙයි කියා. අපිත් කාලයක් තිස්සෙ මහරගම කොතැනක හෝ වෙළෙඳාම් කටයුතු කළ පිරිසක් බව ඒ අයට අමතකයි. පසුගියදා බස් නැවැතුම්පොළ ඉවත් කිරීමත් සමඟයි අපි මෙතෙන්ට ආවේ."

ඇය සඳහන් කළ කරුණු අනුව කොට්ටාව, මාකුඹුරට අධිවේගී බස් ධාවනය රැගෙන යාමත් සමඟ වූ භූමියෙහි වෙළෙඳාමේ යෙදෙන කණ්ඩායමට 'අංචිය' ඇද තිබුණේ 35 කෑල්ලෙ පිරිසයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මහරගම සංවර්ධන කමිටුව මහරගම නගර සංවර්ධනයට දායක වන ප්‍රධානතම කමිටුවකි. එම කමිටුව තීන්දුකර තිබුණේ කොවිඩ් තත්ත්වයෙන් වෙළෙඳාම් කඩා වැටී දැඩි සේ පීඩා විඳින මෙකී වෙළෙඳ ප්‍රජාවට කඩිනම් විසඳුමක් ලබාදෙන තෙක් හෝ තාවකාලිකව වර්තමානයේ වෙළෙඳාම් කටයුතු කරන ස්ථානයන්හිම වෙළෙඳාමේ නිරත වීමට ඉඩහසර විවර කර දෙන ලෙසටයි.

එම සංවර්ධන කමිටු සාමාජිකා, කාන්ති කොඩිකාර පවසන්නෙ,

"මෙතන ප්‍රශ්න දෙකක් තියෙන්නෙ. 35 කෑල්ලෙ අයගේ කඩ කැඩීම එක ප්‍රශ්නයක්. පාන්දර වෙළෙඳාම් කරන අය ඉවත් කිරීමට කටයුතු කිරීම තව ප්‍රශ්නයක්. මහරගම පරණ පාරේත්, අධිවේගී බස් නැවැතුම කොට්ටාවට ගෙන යාමෙන් ඉතිරි වූ භූමියේත් පාන්දර යාමයේ සිට ඉටිකොළ එළාගෙන පිරිස් පෙරවරු හතහමාර වන තෙක් පමණක් පිරිස රෙදිපිළි වෙළෙඳාම් කරනවා.

මෙන්න මේ බස් නැවැතුම්පොළ පැවැති භූමියේ සිටින පිරිස ඉවත් කිරීමට අවශ්‍ය වුණේ 35 කෑල්ලෙ කඩ කඩපු භූමියේ පිරිසටයි. හැබැයි ඒ අයත් ඉන්නෙ අනවසරයෙන්. කොහොම වුණත් මේ සියලු දෙනාම මහරගම කාලයක් පුරාවට වෙළෙඳාමේ නිරත වන අය. මේ සියලු දෙනා ඉතාම හොඳින් වෙළෙඳාම් කරපු පිරිස්. කොවිඩ් නිසා වෙළෙඳාම් නැතිව අනාථ වෙලා ඉන්නෙ මේ වන විට මේ පිරිස්. එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි පොලිසිය යොදවලා මේ අයට ඒ භූමියේ වෙළෙඳාම් කිරීමට ඉඩ නොදුන්නෙ. ඒ මොහොතේ මම අගමැතිතුමාට කතා කළා. එතුමා කීවේ, "ඔය අහිංසක මිනිස්සුන්ට මේ වෙලාවේ මුකුත් කරන්න දෙන්න එපා... ඒ මිනිස්සුන්ට තමන්ගේ වෙළෙඳාමට කුමක් හෝ විකල්පයක් දෙනකල් කරගෙන යන ආකාරයටම කරගෙන යන්න ඉඩ දෙන්න..." කියා. මේ ගැටලුව පැන නඟින විටදීම මීට දින කීපයකට පෙර... දිනේෂ් ඇමැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් මමත් මගේ මහත්තයා ඇතුළු පිරිස් සාමාජිකත්වය දරන මහරගම සංවර්ධන කමිටුවෙන්ද තීන්දු කළේ අගමැතිතුමා කී දේමයි. මේ තීන්දුවලට පටහැනිවයි සරත් වීරසේකර ඇමැතිතුමා මේ ගැටලුවට මැදිහත් වුණේ. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි."

එහෙත් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරන්නෙ ජනතාවගේ ආරක්ෂාවේ වගකීම සතු ඇමැතිවරයා ලෙස ජනතාවගේ ආරක්ෂාව තකා එම ස්ථානයට පොලිසිය යොදවමින් ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි.

මේ වන විට වෙළෙඳුන් සිය වෙළෙඳාම් කටයුතු තමන් වෙළෙඳාමේ නිරතව සිටි ස්ථානවලම සිදු කරයි. මේ වන විට මෙකී ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීමට මහරගම නගර සභාවට පවරා තිබේ. අප ඒ පිළිබඳව මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන්ගෙන් විමසූ කල කීවේ,

"දැනට තාවකාලිකව ඒ අයට එම ස්ථානවලම වෙළෙදාම් කිරීමට අවසර දීලා තියෙන්නෙ... නමුත් අපි මේ සඳහා කඩිනමින් ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා... ඒ විසඳුම සර්ව සාධාරණ විසඳුමක් විදිහට ලබාදීමටයි අපි බලාපොරොත්තු වෙන්නෙ... හැබැයි, මට නගරාධිපතිවරයා ලෙස කිසිදු ලෙසකින් නගර සභාව සතු ඉඩකඩම්වල වෙළෙඳාම් කිරීමට අවසර දෙන්න බැහැ. පදික වේදිකාවේ ගමන් කරන ජනතාවට අපහසුවකින් තොරව ගමනාගමන කටයුතු කිරීමට පහසුකම් සැලැසීම නගරාධිපතිවරයා ලෙස මට තියෙන විශාල වගකීමක්. මේ අවසරයකින් තොරව නගර සභාව සතු ඉඩම්වල වෙළෙඳාම් කටයුතු කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක් පාර්ශ්වයකට සුගතියක් වන විදිහටත් තවත් පිරිසකට අගතියක් වන විදිහටත් කටයුතු කරන්න අපට බෑ. එම නිසා මම නැවතත් කියනවා ඉදිරියේදී මේ සියලු දෙනාට ස්ථිරසාර විසඳුමක් ලබා දෙනවා."

කොරෝනා තත්ත්වයෙන්ද පීඩා විඳිමින් සිටින මොහොතක මහරගම නගර මධ්‍යයේ කලෙක සිටම වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත වන අසරණ වෙළෙඳ ප්‍රජාව ඉවත් කිරීමට තැත් කිරීම අනවශ්‍ය ගැටුමකට පාර කැපීමක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ගාමිණි ලොකුගේද දැඩි ස්වරයෙන් පවසා සිටියේය. ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, "මහරගම කියන්නෙ ඇඟලුම් කර්මාන්තයෙන් ජාත්‍යන්තරය ජයගත් කුඩා කර්මාන්ත නගරයක්. මහරගම කියූ සැණින් මතක් වෙන්නෙ මේ රෙදි වෙළෙඳාම. ලංකාවේ සෑම කොණෙන්ම රෙදි ගැනීමට මහරගමට එනවා. විදේශිකයන් පවා. එය මොනතරම් අපේ රටට ශක්තියක්ද. එම නිසා මේ මිනිස්සු තව තවත් අගාධයට තල්ලු නොකර බුද්ධිමත්ව කල්පනාකොට මේ අය වෙනුවෙන් සාධාරණය ඉටුකළ යුතුයි. ඔවුන් කරන්නෙ ඔවුන් විසින්ම ගොඩනඟාගත් ව්‍යාපාරයක්. ඒක කිසිම රජයක් විසින් ගොඩනඟපු ව්‍යාපාරයක් නොවෙයි. එවැනි ව්‍යාපාරයක් නැවැත්වීමට කටයුතු කරනවානම් ඒක මහ අපරාධයක්... මං කියන්නෙ ඒ දේ කවුරු කළත් වැරැදියි කියන එකයි මගේ මතය."

මෙකී භූමියන්හි වෙළෙඳාම්හි නිරත බොහෝ දෙනෙක් කාන්තාවන්ය. ඔවුන් බොහෝ දෙනෙක් නිසි වේලාවට කුසට අහරක් නොගෙන සිය පවුලේ දුවාදරුවන්ගේ කුස පිරවීමට දුක් විඳිනා අසරණ වෙළෙඳ ප්‍රජාවක් මිස මහත් ධනස්කන්ධයක් හිමි ව්‍යාපාරිකයන් පිරිසක් නොවන බව සඳහන් කරන්නෙ මෙහි තිබෙන ඛේදනීය බව පසක් කිරීමටයි. යම් හෙයකින් මෙකී වෙළෙඳ ප්‍රජාවගේ වෙළෙඳාමට කිසියම් හෝ හෝ බලවේගයක් එක්ව 'තිත' තැබුවහොත් ඉන් ඍජු සහ වක්‍රාකාරයෙන් ජීවිකාව සරිකරගන්නා දහස් ගණනකගේ ජීවිතවලට අත්වන ඉරණම කෙතරම් ඛේදනීයද යන්න අමුතුවෙන් කිව යුතු නොවන බව අවධාරණය කර සිටිමු.

Comments