තැනින් තැන මතුවෙන කොවිඩ් ආසාදිතයෝ | Page 2 | සිළුමිණ

තැනින් තැන මතුවෙන කොවිඩ් ආසාදිතයෝ

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමටත් හුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් විවෘත කිරීමටත් සතිය ආරම්භයේදීම පියවර ගනු ලැබිණ. ඒ අනුව කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනකු වාර්තා වීම නිසා ඉකුත් 2 වැනිදා වසා දැමුණු කලවාන නගරයේ වෙළෙඳසැල් පසුගිය සඳුදා(4දා) යළි විවෘත කෙරිණ. දින ගණනාවක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ මාලිගාවත්ත එච්. එන්. නිවාස යෝජනා ක්‍රමය සහ අවිස්සාවේල්ල පොලිස් වසම‍ද එදින හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේය. කොවිඩ් - 19 වයිරසය ආසාදිත ගැබිනි කාන්තාවක හා කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ සිසුවකු හඳුනා ගැනීමත් සමඟ වවුනියාව පට්ටාන්චූර් ගම්මානයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරුනේද එදිනය.

ඉකුත් 4 සහ 5 වැනිදා දෙදිනට නියමිතව තිබූ මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු සංචාරය හදිසියේම අවලංගු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල් භාරකාර මණ්ඩලය පියවර ගත්තේය.

කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක සිට තැන්පත් කර තිබෙන කොරෝනා මළ සිරුරු 5 හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බව වාර්තා විය. 

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය, ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ මාර්ග දෙක 5 වැනිදා උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමට කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළේය.

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවකු කොවිඩ් වයිසරස ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගැනිණ.

අම්පාර නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීම නිසා හිඟුරාණ අම්පාර ප්‍රධාන මාර්ගයේ මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර, ජයවර්ධනපුර යන වසම්වලට සංචරණ සීමා පනවනු ලැබුවේ ඉකුත් 6 වැනිදාය. එදිනම පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරි වසම සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරි වසමද හුදෙකලා කරනු ලැබිණ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් 19 එන්නත ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ සඳහා රජය එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය පදනම වෙතින් පසුගිය වසරේ ජූලි 20 වැනි දින ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව කොවැක්ස් පහසුකම ලබා ගැනීම සඳහා කොවැක්ස් වැඩසටහන හා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් කරන රටක් ලෙස යෝග්‍යතාව තහවුරු කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනිය එහිදී අනාවරණය කළාය. බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව එන්නත හෝ එන්නත් කිහිපයක් පිළිබඳ සිය නිර්දේශ ලබාදුන් වහාම රජය කොවිඩ් එන්නත ගෙන ඒමට කඩිනමින් කටයුතු කරන බවද ඇය එහිදී සඳහන් කළාය.

රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඩ් ආසාදිත බව තහවුරුවීමත් සමඟ එහි වාට්ටු තුනක් වසා ඇති අතර පළමු පෙළ ආශ්‍රිත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුළු 101 දෙනෙක් නිරෝධායනයට ලක්කරනු ලැබුවේ පසුගිය 7 වැනිදාය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඔහු සමඟ සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ සේවකයන් 15 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කළ බව වාර්තා විය. එම ගුවන් තොටුපොළ නිලධාරින් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපොළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගී වී සිටි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනකුටද කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව පසුව අනාවරණය වූ අතර ඔවුන් පසුගිය දිනවල කිසිදු ගුවන් ගමනකට සහභාගි නොවූ ගුවන් නියමුවන් බවද වාර්තා විය. 

ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනකුට හා බන්ධනාගාරනියාමකවරියන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඉකුත් 5 වැනිදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහ නියාමකවරුන් ඇතුළු 69 දෙනකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කිරීමෙන් පසුවය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා විය. එමෙන්ම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයන් 377 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ 8 වැනිදා ප්‍රකාශ කළේය. එයින් තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

තවත් පුද්ගලයන් 157 දෙනකු පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර එම ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ. පසුගිය අඟහරුවාදා සිට බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයන් 1022 දෙනෙකු පී. සී. ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් 19 සමස්ත මරණ සංඛ්‍යාව 222 ක් වන අතර ඉන් 209ක්ම කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් මස 4 වැනි දිනෙන් පසු සිදුවූ මරණ ලෙස සැලකේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ දක්වා මිය ගිය පිරිසගෙන් වැඩිප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි පිරිස බව වසංගත රෝග විද්‍යා අංශය ඉකුත් 7 වැනිදා නිකුත් කළ වාර්තාව දැක්වේ. මේ දක්වා මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණවලින් වයස අවුරුදු 60ට වැඩි සංඛ්‍යාවේ අගය ප්‍රතිශතයක් ලෙස සියයට 67ක් වන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන වයස අවුරුදු 70 ට වැඩි කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 101කි. 8 වැනි සිකුරාදා පස්වරුව වන විට මෙරට තුළ වාර්තා වී තිබූ සමස්ත කොවිඩ් මරණ 222න් 140 දෙනකුම පිරිමි පුද්ගලයන් වන අතර 82 දෙනකු කාන්තාවන්ය.

මේ අතර සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ, කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සමාලෝචනය කරමින් පසුවන බවය.

 

Comments