රිදී තිරයේ චණ්ඩි රැජන මාලිනී ෆොන්සේකා | සිළුමිණ

රිදී තිරයේ චණ්ඩි රැජන මාලිනී ෆොන්සේකා

හරියටම මීට වසර හතළිහකට පෙර එනම් 1981 නොවැම්බර් මාසයේ දිනක හලාවත මුන්දලම දුම්රිය ස්ථානයේ නැවතුම් පොළ අසළට වෙනදා නැති ජනකායක් එක්රොක් වී සිටියහ. හලාවත සිට මදුරන්කුලිය පැත්තට දුම්රියක් එමින් තිබුණි. මේක එතරම් දුර්ලභ සිද්ධියක් නෙවෙයි. දුම්රියේ දොරටුවක එල්ලී මිනිහෙකුයි ගැහැනියෙකුයි ගුටි කෙළියක් අවට සිටි අයට දක්නට ලැබිණි. මිනිහා ගෑනිව එළියට තල්ලු කරන්නට යයි.

“අන්න අන්න... අර ගෑනි දැන් බිමට වැටෙනවා....“ කවුදෝ කී විට බලා හිටිය අය කුතුහලයෙන් ඒ දෙස බැලූහ.

“මිනිහ තරමක් දරදඬු මිනිහෙක් වගෙ. ගෑනි සුකුමාල පෙනුමක් තිබ්බ. අර මිනිහත් එක්ක හරි හරිය හයියා අල්ලනවා.“

දුම්රිය දිගටම ධාවනය වෙයි. මඟ දෙපස මහා සෙනඟ දිගටම පේළි ගැසී බලා සිටිති. දුම්රිය සෙමින් සෙමින් මදුරන්කුලිය දුම්රියපොළට ළඟා වෙයි.

“අන්න අන්න... මාලිනී.... කෝට් එකක් ඇඳ ගෙන ඉන්න හන්ද හරියට පෙනුනේ නෑ.“

“අර ඉන්නේ විල්සන් කරු නේ....“

දුම්රිය ධාවනය වන මාර්ගයේ ඉදිරියෙන් ඇත්තේ ලොකු යකඩ පාලමකි. කවුරුත් දැන් බලන් ඉන්නේ කවුරු පාලමේ ඔළුව වද්ද ගනීද කියලා. කිව්ව වගේ මාලිනී දුන්න පහරකින් විල්සන් කරු පාලමෙන් පහළට වැටුණේය. දුම්රිය සෙමින් වේගය අඩු කර ධාවනය වෙයි. මාලිනි දුම්රිය වේදිකාවට පැන්නාය.

මාලිනි දුම්රියෙන් බැස්ස පසු විල්සන් කරු ලේ පෙරා ගෙන මාලිනී ඉන්න තැනට ආවේය. වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහ විල්සන් කරුට අලුත් ‘මේකප්‘ දුන්නේය.

‘කරු, ඒ සීන් එක හොඳට ආවා‘ මාලිනී විල්සන් කරුට අත දෙමින් කීවාය.

ජනප්‍රිය, සම්මානනී චිත්‍රපට රංගවේදිනි මාලිනී තම චිත්‍රපට ජීවිතයේ මුල්වරට අධ්‍යක්ෂණය කළ “සසර චේතනා“ චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිතය රඟපාමින් මෙහෙවූ ත්‍රාසජනක, ක්‍රියාදාම දර්ශනයකි මේ.

මේ චිත්‍රපටයේ රූපගත කිරීම් ඇසුරෙන් “සරසවිය“ පුවත්පතට විශේෂාංගයක් ලිවීමට එදා ගියේ මෙම ලියුම්කරුය. අපේ කර්තෘ මාණ්ඩලික මුදිත කාරියකරන සිටියේ කැමරාවක් ද සහිතවය. ඔහු ප්‍රධාන විනෝදාංශය නම් පින්තූර ගැනීමය. අපට අවශ්‍ය පින්තූර ගැනීමට දක්ෂ කැමරා ශිල්පියකු වූ මාලිනීයගේ බාල සොහොයුරු ආනන්ද ෆොන්සේකා ද විය. (මෑතකදී මියගිය ආනන්ද පසුව දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුව සිටියේය.)

 

නිහඬ වීරයා

 

“සසර චේතනා“ චිත්‍රපටයේ සටන් දර්ශන අධ්‍යක්ෂණයේදී මාලිනීට නිබඳව උපදෙස් දුන් “නිශ්ශබ්ද වීරයා“ වූයේ රොබින් ප්‍රනාන්දුය.

“මගේ ජීවිතයේ මේ වගේ ත්‍රාසජනක අවස්ථාවලට මුහුණ දීලා නෑ. රොබින් මට ලොකු ධෛර්යයක් දුන්නා. ධාවනය වන දුම්රියේ ප්‍රධාන දොර ළඟ හිට ගෙන සමබරතාව රැකගෙන විල්සන් කරු එක්ක සටන් කරන හැටි ඔහු කියලා දුන්නා. ඒ වගේම විල්සන් කරුත්, මගේ ආරක්ෂාව ගැන නිතරම අවධානයෙන් හිටියා. ඔහු කිව්වා “මට ඇත්තටම ගහන්න කියලා.“ ඔහුගෙන් මට ලැබුණු සහාය අති විශාලයි. රොබින් හා කරු නිසා මම සටන් කරන්න හොඳට ඉගෙන ගත්තා.“ මාලිනී අපට කීවාය.

“සසර චේතනා“ චිත්‍රපටයේ කැමරා ශිල්පියා වූයේ සම්මානනීය කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහය. ඔහුගේ සහායට තවත් දක්ෂ කැමරා ශිල්පීන් දෙදෙනෙක් මේ ත්‍රාසජනක අවස්ථා රූපගත කළා. සුමින්ද වීරසිංහ සහ චන්ද්‍රලාල් මනමේන්ද්‍ර ඔවුන් ය.

මාලිනීට මේ දර්ශන සාර්ථක ලෙස රූපගත කිරීමට මෙන්ම එහි රැස්වූ මහා සෙනඟ පාලනය කර ගැනීමට පුත්තලම පොලිසියේ උපරිම සහාය ලැබිණ. පුත්තලම අවන්හලකදී පමා වූ දහවල් භෝජනය ගනිමින් සිටියදී මාලිනී තමාට සහය ලබා දුන් උප පොලිස් අධිකාරි ටී.ඩී. ජෝසෆ්, පොලිස් පරීක්ෂක ගාමිණී ජයසේකර, පොලිස් ක්ෂේත්‍ර හමුදාවේ ලෝරන්ස් අමරසේන, ජිනදාස හපුආරච්චි අපට හඳුන්වා දුන්නාය.

මගේ පැරණි සටහන් පොතක එදා 1981 නොවැම්බර් 03 වෙනිදා මේ සටහන්ව තිබුණි.

චිත්‍රපටයේ සනත් ගුණතිලක හෙලිකොප්ටර එකක උඩු ගුවනේ සිට පහළ තට්ටුවේ එල්ලී ඉලක්කය බලා දුම්රිය උඩට පැනීම මාලිනී අවශ්‍ය උපදෙස් ලැබුණු අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බල ගණක ඔලිවර් රණසිංහ පසුව ගුවන් හමුදාපති සනත් රැගත් හෙලිකොප්ටරයේ සිට ගුවනේ කරනම් පෙන්වා සහාය පළ කර ඇත. සැරයන් ඩබ්ලිව්. තිලකරත්න හා සහායකයන් “නිශ්ශබ්ද වීරයන්“ ලෙස මාලිනිට දුන්නේ උපරිම සේවයකි.

මාලිනී “සසර චේතනා“ චිත්‍රපටයට ක්‍රියාදාම දර්ශන ඇතුළත් කිරීමට ආසන්න හේතුව වූයේ චිත්‍රපටයේ ඇතුළත් දඹදිව වන්දනා ගමන රූපගත කිරීමෙන් වූ දුම්රියක දී වූ අමිහිරි අත්දැකීමකි. ලංකාවට පැමිණි මාලිනී තිර නාටක රචක දයා රාජපක්ෂ හා රොබින් ප්‍රනාන්දු සමඟ කතාකොට ක්‍රියාදාම දර්ශන කිහිපයක් එකතු කරන්න තීරණය කළාය. ඒ දර්ශන ලියූ පසු මාලිනීට මහත් අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවී ඇත. මේ ගැන මනෝහාරි හේවාවසම් විසින් ලියන ලද “මාලිනී : අභිනය පෙළහර“ කෘතියේ සඳහන් වෙයි.

“අති දැවැන්ත, සංකීර්ණ කාරණා ඉතිරි වී ඇත්තේ ඉදිරියටය. හෙලිකොප්ටර්, දියමත ගොඩ බෑ හැකි ගුවන් යානා, කෝච්චි, දිය - ගොඩ යාන වාහන බොහොමයක් අවශ්‍යව තිබිණි. ගුවන් හමුදාවේ ස්කොඩින් ලීඩර් ඔලිවර් රණසිංහ (පසුව ගුවන් හමුදාපති) මහතා උපකාර කළා අවශ්‍ය හෙලිකොප්ටර් ලබා ගැනීම සඳහා. සුමිත්‍රා පීරිස් මහත්මියගේ අයියා වූ ගාමිණී (කුරු) ගුණවර්ධන මහතා ටාඕස් සමාගමෙන් බෝට්ටු දුන්නා.“ මාලිනී එහි සඳහන් කර තිබුණාය.

“සසර චේතනා“ චිත්‍රපටයේ අසීරුම රූපගත කිරීම් කළ හලාවත බංගදෙනිය ආදී ප්‍රදේශ අතරතුර අද හැරිලා බලද්දී පුදුම හිතෙන බව මාලිනී පවසා තිබුණාය.

“රොබින් අයියා, ටෙඩී විද්‍යාලංකාර හා විල්සන් කරු මේ සඳහා කොතරම් මහන්සි වුණාද? ඔවුන් සටන් නළුවන් ලෙස අප්‍රමාණව මට උදව් කළා. රොබින් අයියාගේ උපදෙස් මත මම ධාවනය වන දුම්රිය ජනේලවල එල්ලී හෙමින් හෙමින් විල්සන් කරු ඉන්න තැනට ළඟා වෙන කොට සුමිත්ත අමරසිංහ මහත්තයා කැමරු දුම්රිය කැමරාව තබා අසීරු දර්ශන රූපගත කළා. මම නොවැටී දුම්රියේ ජනේලයක එල්ලී දෙපා යාන්තමට තියා ගත් බාර් එක කකුල් වලින් ස්පර්ශය කරමින් සෙව්වා. මට අමාරුම වැඩේ දුම්රියේ අත්වාරුවෙන් එල්ලී සිටීම. දෙවැනි දර්ශනයේදී සුමිත්ත මහතාගේ උපදෙස් අනුව මම හිතට වීරිය ගෙන ධාවනය වෙන දුම්රියේ සිට එන්ජිම මැදිරියට පිටතින් සිට නැග්ගා. දැන් නම් හිතෙන කොටත් බය හිතෙනවා.“

මාලිනී සටන් දර්ශනවලට භය නැතිව ගියේ මීට කලින් ඇය සටන් ප්‍රගුණ කර තිබීම නිසාලු. විමලදාස පෙරේරාගේ “සමනල කුමාරියෝ සහ අපි කවදත් සූරයෝ“ චිත්‍රපටයේ ඇය කරාටේ දර්ශනවලට පෙනී සිටියාය. එකල (1969 දී පමණ) ඇය එවකට සිටි කරාටේ ශූරයකු වූ ජී.ඒ.ටී. ලිවේරා ගෙන් කරාටේ ඉගෙන ගත් අතර එහිම ත්‍රාසජනක බෝට්ටු රේස්වලට ද සහභාගි වූ ඉතිහාසයකට හිමිකම් කියන්නීය.

 

සටන්කාමී චරිතවලට හොඳ අභ්‍යාසයක්

 

මාලිනියි, විල්සන් කරුයි දුම්රිය ඇතුළේ සිට කරන සටන පුරුදු වෙන අවස්ථාවක් තිබුණි. පොලිස් පිරිසක් හා දුම්රිය නිලධාරින් මේ දර්ශනය බලා සිටින අතර වේශ නිරූපන ශිල්පී ඊබට් විජේසිංහ තම අත වූ ස්ප්‍රේ ගන් එකෙන් බලං ඉන්න පිරිසට වතුර විදියි. හැමෝම දුම්රියේ වහල දිහා බලන අයුරු මාලිනී දැක්කා ය.

“ඊබට්ට නිකං ඉන්න බෑ.“ මාලිනි තරහෙන් කියන්නීය.

එවර ඊබට් කරන්නේ දුම්රිය නිලධාරියාගේ කණට වතුර විදීමය. ඒ පාරට නම් ඔහුට හොඳටම කේන්තියි. මෙය දුටු මාලිනිටත් තරහ ගිහින්.

“ඊබට් යනවද නැද්ද?“

ඊබට් හිමින් සීරුවේ අතුරුදහන් විය.

“සසර චේතනා“ චිත්‍රපටයේ මාලිනී ලත් අත්දැකීම් ඇය ඉන්පසු රඟ පෑ සටන්කාමි චරිතවලට හොඳ අභ්‍යාසයක් වූ බව පැවසුවාය. ඉන්ස්පෙක්ටර් නිරෝෂා ලෙස ඇය “රජ කෙල්ලෝ“ චිත්‍රපටයේ රඟපෑවේ තමා කුඩා කළ ඇගේ මුළු පවුලම නීතියේ රැහැනට හසුකර ගැනීමට හඹා යන සටන්කාමි පොලිස් නිලධාරිනියක් ලෙස. “සත්‍යා“ චිත්‍රපටයේ එඩිතර තරුණියක් ලෙස ද “ලොකු තාත්තා“ චිත්‍රපටයේ සර්කස්කාරියක ලෙස වැල් පාලමක සර්කස් ශිල්ප දැක්වූ මාලිනිය “සැලී“ චිත්‍රපටයේ එකකට එකක් වෙනස් චරිත හතක් රඟපාමින් වර්තාවක් ද තැබුවාය. පාසල් ශිෂ්‍යාවක් - දුම්පානයට ගිජු ගැහැනියක් - සුරාවට ලොල් වූ තරුණිය - දයාබර බිරිඳක් - සමාජශාලා නළඟනක් - මෙහෙකාරියක් - දයාබර මවක් මේ චරිත හතය.

“රක්තා“ චිත්‍රපටයේ මම එතෙක් (1980) රඟ පෑ චිත්‍රපට අතර ක්‍රියාදාම චිත්‍රපටයක්. රක්තා කුඩා කාලයේ සිටම එඩිතර කෙල්ලක්. අපි ඔරුකාර ගෝත්‍රිකයෝ. තාත්තා ධානු (මර්වින් ජයතුංග) යුක්ති ගරුක මනුෂ්‍යයෙක්. රදල නායකයකු වූ ගෝරා සිං යටතේ අපි ජීවත් වුණේ.

සල්ලාලයකු වූ ගෝරා සිං මා දැකීමෙන් මා කෙරෙහි ආසක්ත වෙනවා. ඊට කලින් ගෝරා සිං මගේ අම්මා තාරා (සෝනියා දිසා) ගොදුරට ගෙන අමානුෂික ලෙස මරා දමනවා. තාත්තා මාවත් අරං කැලේ වදිනවා. ගෝරා සිං ගේ පුතා දාන්ත (රොබින් ප්‍රනාන්දු) සාධාරණ උතුම් ගති ඇති තරුණයෙක්. ඔහු මට සියලු ශිල්ප දී ගෝරා සිං හා පිරිස සමඟ සටනට සූදානම් කරනවා.

මා රඟ පෑ රක්තා ගේ චරිතයේදී රොබින් මට දුනු ශිල්ප උගන්වනවා. ඉලක්කටය වෙඩි තැබීමට පුරුදු කරනවා. දුන්න ඊතලය භාවිතය මුල්වරට කියා දුන් රොබින් ඉලක්කයට තුවක්කුවෙන් වෙඩි තැබීමට පුරුදු කළා. රක්තා බොක්ස් ඔෆීස් චිත්‍රපටයක්. මම මර්වින් ජයතුංග (ගෝරා සිං) සමඟ සටන් කරනවිට ප්‍රේක්ෂකයෝ අත්පුඩි ගැහැව්වා. මගේ සටන්කාමී චරිතය කැලේ රැජිනක් ලෙස කැපී පෙනුණා. මගේ සුපුරුදු සුකුමාල රඟපෑමෙන් ඉවත් වී මෙවැනි චරිත රඟපෑමට පදනම වැටුණේ “රක්තා“ නිසා.“ මාලිනී කීවාය.

කිසිවෙකුත් බය නැති රං මලී ගේ ගැමි චරිතය මාලිනී රඟපෑවේ “වදුල“ චිත්‍රපටයේ. සිළුමිණ පත්‍රයේ ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක මහතාගේ “වදුල“ නවකතාව ඇසුරෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ රඟපෑම ගැනත් මාලිනි විශේෂයෙන් කතා කළාය.

1989 ජනවාරි මාසේ දිනක “සරසවිය“ පත්‍රයේ අපි “වදුල“ චිත්‍රපටයේ රන්මලි (මාලිනි) සොයා ගම්පහ මාලිගාතැන්නේ කඳුවැටියකට ගියෙමු. එදා අපි එහි දි දුටුවේ සුපුරුදු මාලිනී නොව රන්මලී ලෙස රඟ පෑ චණ්ඩි පෙනුමකින් යුතු ගැමි ගැහැනියක් ලෙස රා මැදීමට කිතුල් ගසට බඩ ගාන අයුරුය. රන්මලී බැලූ බැල්මට පිරිමියෙක් ද ගැහැනියක් ද බව අන් අයට නිගමනය කළ හැකි වූයේ ඇයගේ උස් වූ ළැම පෙදෙසිනි. කෙස් කළඹ ක්‍රමවත්ව පීරා නැත. කෙහෙවැටිය බොහෝවිට හැඩ පලු ගෙතුනා වැනිය. ඇගේ ඉණෙහි රා එකතු කරන මල් කපන පිහියකි. ඇය කඩිසර ගමනින් කිතුල් ගස වෙත ගොස් උණ බම්බු වරපට දිගේ පළපුරුදු ගස් නගින්නියක මෙන් කිතුල් ගස නැංගාය.

රන්මලී තමාගේ හයි හත්තියෙන් රා පෙරුවා. හකුරු සාදා විකුණුවාය. එක දර්ශයක ඇගේ කිතුල් ගහකට ගිය ජන්තුවා (රින්ස්ලි වීරරත්නට) රන්මලි මදි නොකියන්නට ගුටි තැලුවාය.

මාලිනී එදා එම දර්ශනය රඟ පාමින් කියූ දෙබස් ඛණ්ඩ එදා රන්මලි බැලූ ප්‍රේක්ෂකයන්ට අදද මතක තිබේනවා ඇතැයි සිතේ.

 

නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ රංගන කුසලතා සම්මානයක්

 

කසිප්පු විකුණන රන් මැණිකා ලෙස මාලිනි දඩබ්බර චරිතයක් ‘සිරිපාල සහ රන්මැණිකා‘ චිත්‍රපටයේ කළ අපූරු රංග ලීලාවන් අගය කරමින් 1979 නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ රංගන කුසලතා සම්මානයක් හිමිකර ගත් අතර හොඳම නිළිය ලෙස “ආකාස කුසුම්“ චිත්‍රපටය වෙනුවෙන් 39 වැනි අන්තර් ජාතික ඉන්දීය චිත්‍රපට උලෙළේදී එහි විශිෂ්ටතම සම්මානයක් වන රජත මයුර සම්මානය දිනා ගත්තේ ද එවැනිම සුවිශේෂ රඟපෑමක් වෙනුවෙනි.

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කිසිවෙකුට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. මේ රටේ බොහෝ දෙනෙකු ඇය ඇසුරු කර ඇතිවාට සැක නැත. ඇගේ සිනමා ජීවිතය රසවත් සිදුවීම්වලින් මෙන් ත්‍රාසජනක, හාස්‍යජනක, අමතක නොවන ඇත්දැකීම් සහිත සැමරුම් වලින් පිරී ඇත. ඒ අතර ඇය ඇත්තටම බිය වූ අත්දැකීම් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘නිධානය‘ චිත්‍රපටය මෙන් සිය ජීවිතයේ නිධන් ගතව තිබූ බව කීවාය.

මේ දර්ශනයේ රූපගත කළ රාජගිරියේ ඩොනල්ඩ් ඔබේසේකරට අයත් ඔබේසේකර වලව්වට මටත් ‘සරසවිය‘ පත්‍රයේ කැමරා ශිල්පී බන්දු කොඩිකාරටත් යාමට අවස්ථාව ලැබිණි.

‘නිධානය‘ චිත්‍රපටයේ අයිරින් නම් ප්‍රධාන චරිතයට තෝරා ගත් විට මට ඇති වුණේ කිව නොහැකි සතුටක්. මම ගාමිණී ෆොන්සේකා නම් විශිෂ්ට නළුවා සමඟ කලාත්මක ධාරාවේ චිත්‍රපටයක රඟපෑමට ආසාවෙන් සිටි අවදියක් ඒ. චිත්‍රපටයේ කතාවට අනුව (එය මගේ ප්‍රියතම ලේඛකයකු වූ ජී.බී. සේනානායක මහතාගේ කෙටිකතාවකි.) නිධානයක් ලබා ගැනීමට බිලි දෙන ගැහැනියට අවශ්‍ය ලප තුනම ඒ ආකාරයෙන්ම ඇත්තටම මගේ මුහුණේත් බෙල්ලෙත් පිහිටා තිබීම විශේෂයක්. මම අයිරින්ගේ චරිතයට මිස්ටර් පීරිස් තෝරා ගන්නට එක් හේතුවක් වන්ට ඇති. චිත්‍රපටයේ මාව විවාහ කර ගන්න විලී අබේනායක නම් වලව්කාරයා මගෙන් මෙහෙම අහනවා. මේ දර්ශනය රූපගත කළේ රාජගිරියේ ඔබේසේකර වලව්වේ.

“ඔයා නිදා ගන්නේ නැද්ද?“ මම විලීගෙන් අහනවා.

“මට නිදිමත නැහැ. මට කල්පනා කරන්න හුඟාක් දේවල් තියෙනවා.‍

මම බලාපොරොත්තු නොවූ ලෙස එක පාරටම ගාමිණි අයියා මෙහෙම කිව්වා

“මං සැරයක් කිව්වා, මගේ යකා අවුස්සන්නේ නැතිව ගිහින් නිදා ගන්න.“

ඒ දෙබසින් මාව හොඳටම ගැස්සුණා. පුහුණු වෙන කොට නොතිබූ ඒ අලුත් දෙබස නිසා මගේ අතේ තිබුණ ඉටිපන්දම මගේ අතේ වැටීම නිසා මට ලොකු වේදනාවක් දැනුණා. නිධානය චිත්‍රපටයේ මා ප්‍රිය කළ මෙන්ම මා වඩාත් ප්‍රිය එමෙන්ම වඩාත් බිය උපදවා ගෙන සිටි දර්ශනයේ ගාමිණි අයියා අතින් මැරුම් කන අවස්ථාවයි.

“මිස්ටර් පීරිස් කවදද මාව මරන සීන් එක ගන්නේ“ කියලා? ලෙස්ටර් මහත්තයාගෙන් අසන හැම විටම ඔහු මට සිනා වෙවී කීවේ “මාලිනි ඉක්මනට මැරෙන්න ආස ද“ කියලා.

කෙසේ හෝ ඒ දවස උදා වුණා. දැන් දර්ශනය ගන්න ලෑස්තියි. ගාමිණී අයියා මෙලෝ සිහියක් නැතිව පිහියකුත් අතැතිව මතුරනවා.

මගේ හිත වැඩ කරන්නෙම “දැන් මාව මරයි“, “දැන් මාව මරයි“ කියලා. ගාමිණි අයිය එකපාරටම මගේ කට ඉතා තදින් මිරිකා ගත්තා. මට දැන් හුස්ම ගන්න බැහැ. මම හිතුවා මේ සීන් එකේ ඇත්තටම මැරෙයි කියලා.“ මාලිනී මේ විස්තරය කළේ එදා දර්ශන තලයේ සිටි අයිරින්ගේ චරිතය රඟපෑ මානසික තත්වයෙනි.

මෙසේ මේ ලිපියෙන් එකතැන් වූයේ මාලිනියගේ සිනමා ජීවිතයේ එක් කඩඉමකි.

Comments