සිංහල සිනමාවේ ‘ජැකී චෑං’ | සිළුමිණ

සිංහල සිනමාවේ ‘ජැකී චෑං’

කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ 16 හැවිරිදි ශිෂ්‍යයෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ද ගිනි වළලු අතරින් පැනීමෙන් ද පාසල් සිසුන් අතර ජනප්‍රියව සිටියේය. ඔහු ගිනි වළලු අතරින් පනින අවදානම් පිම්ම බැලීමට පහළ පන්තිවල ළමුන් ද පාසල් ක්‍රීඩා පිටියට රැස් කෑහ. මේ 1955 දී පමණ සිදු වූ සිද්ධියකි. මේ ශිෂ්‍යයා වසරේ පැවැත්වෙන විද්‍යාලීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ක්‍රීඩා කෞශල්‍යයෙන් යුතු ශිෂ්‍යයන්ට පිරිනැමෙන ‘කලර්ස්‘ (වර්ණ) වලින් හොඳම ජිම්නාස්ටික් ශූරයා ලෙස සම්මාන ලබද්දී ශිෂ්‍යයෝ අසුන්වලින් නැගිට කණ පැළෙන තරමේ අත්පොළසන් දුන්හ. හරියට ඊට වසර හයකට පසු රිදී තිරයේ ඔහු සටන් නළුවකු ලෙස දස්කම් පාන විට සිනමා ප්‍රේක්ෂකයෝ උඩ පැන පැන ප්‍රතිචාර දැක්වූ හැටි මගේ දෑසින්ම දැක තිබුණේය.

 එදා ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වීරයා ද රිදී තිරයේ නවක සටන් නළුවා වූ ඔහු වැඩි කලක් යන්නට පෙර සටන් නළුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස සිංහල සිනමාවේ කැපී පෙනුණේය.

ඔහු නමින් රොබින් ප්‍රනාන්දු ය. තම පාසල් කාලයේ රසවත් අත්දැකීම් අපට විස්තර කළේ මෙසේය.

“මගේ පන්තියේ හිටිය හොඳම මිත්‍රයා එච්.ඒ. සෙනෙවිරත්න. පසුව අධිනීතිඥයෙක්, වෘත්තීය සමිති නායකයකු, සිනමා විචාරකයකු, රාජ්‍ය සම්මාන දිනූ නවකතාකරුවකු වූ ‘සෙනෙවි‘ ඉගෙනීමට දක්ෂයෙක්. ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ හොඳම කථිකයා වූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිම පුදුමයක් නෙවෙයි. මට වඩා ඉහළ පන්තිවල සිටි, පසුව සිනමාවට සම්බන්ධ වූ පසුකාලිනව චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වූ ලෙනින් මොරායස් හා ප්‍රේමනාත් මොරායස්. අපට පහළ පන්තිවල ඉගෙන ගත් පසුව සිනමාවට එක්වූ චිත්‍රපට නළුවන් තමයි විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, සුදේශ් ගුණරත්න, රෝයි හඳපාන්ගොඩ හා සංගීතඥයකු වූ මිල්රෝයි ධර්මරත්න.“

රොබින් ප්‍රනාන්දු 1963 පාසලින් සමුගෙන කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට යයි. කොටහේනේ වාසල පාරේ තම නිවසේ සිට යන එන මේ කඩවසම් තරුණයා ගැන එම පාරේම නිවසක පදිංචිව සිටි ආරියරත්න කහවිට බලා සිටියේය. කහවිට යනු එවකට කොටහේනේ සිනමාස් සමාගම මඟින් ප්‍රකාශයට පත්කළ ‘කලා‘ සිනමා සඟරාවේ සංස්කාරකය. ඔහු අසල්වාසී නිවසක පදිංචි රොබින්ගේ ජිම්නාස්ටික් දක්ෂතා ගැන පුවත්පත්වලින් දැක තිබුණි. මේ දෙදෙනාම සිනා සී “ගුඩ් මෝනිං“ කීමට පමණක් ඇසුර සීමාව තිබුණාහ. දිනක් කහවිට, රොබින් පාරෙන් එනතුරු බලා සිටියේ අපූරු යෝජනාවක් කිරීමටය.

“රොබින් ගුඩ් මෝනිං“

“ගුඩ් මෝනිං ටූ යූ. මිස්ටර් කහවිට“

“රොබින් කැමති ද? චිත්‍රපටයක රඟපාන්න. හැබැයි ෆයිට් සීන් එකකට“

“කමැතියි.... මිස්ටර් කහවිට.“

ආරියරත්න කහවිට විසින් දිනක් රොබින්ව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේය. රොබින් ඕනෑම අවදානමක් ගැනීමට සූදානම් බව සපථ කළේය. ඒ ගැන රොබින් විස්තර කරන්නේ මෙහෙම.

“එදා තමයි එදා. අධ්‍යක්ෂ ටයිටස් මහත්තයා මාව කොටහේනේ නාගරික සභා පිහිනුම් තටාකය ළඟට ගෙන ගියා. එතැන සියලුම කැමරා ආම්පන්න සූදානමින් තිබුණා. ඒ සමඟම මම දැක්කා ගාමිණී ෆොන්සේකා සිගරැට්ටුවක් ස්ටයිල් එකට දල්වාගෙන නිෂ්පාදක ගුණරත්නම් මහතා එක්ක කතා කරමින් සිටිනවා. ටයි මහත්තයා මාව ඒ දෙන්නට අඳුන්වල දුන්නා. මේ පිහිනුම් තටාකය මට හොඳට හුරුයි. අපේ ගමේනේ. “චණ්ඩියා“ චිත්‍රපටය දැකපු අයට මේ දර්ශනය ගැන හොඳට මතක ඇති. මේ චිත්‍රපටයේදී චුට්ටේ ලෙස රඟපාන ගාමිණී පිහිනුම් තටාංගණයේ ඉණිමඟ දිගේ උඩට යන විට ඔහුව හඹා ගසේ සටන් කිරීම. අපි දෙදෙනා හරි හරියට සටන් කළා. මම ජිම්නාස්ටික් හා කරාටේ සටන් උපයෝගි කර ගත්තා. අපි දෙන්නම විටක ඇත්තට සටන් කළා. ගාමිණී සටන් කරන ගමන් ඉණිමඟේ ඉහළට ම ගියා. අවසාන දර්ශනයේ ගාමිණීගේ අඩි 50 ක් පමණ උසකටම මම ගාමිණී ලුහුබඳිනවා. දැන් අපි දෙන්නා පිහිනුම්කරුවන් පහළට පනින තැන පුංචි ඉඩෙත් සටන් කරනවා. මට තිබුණේ ගාමිණී අවසාන පහරින් අඩි 50 ක උසක සිට මුණින් අතට පිහිනුම් තටාකයට වැටීමට. එදා දර්ශනය සාර්ථකව රූගත වුණා. මේ දර්ශනය බටහිර චිත්‍රපටවල මෙන් ප්‍රේක්ෂකයන්ට දැනුණේ අධ්‍යක්ෂ ටයි මහත්තයාගේ නිර්මාණශීලී සංස්කරණය නිසා. මේ චිත්‍රපටයේ සටන් දර්ශනයට 1964 දී රුපියල් 300 ක් ලැබුණා. ඒ කාලේ එක දිනකට ඒක ලොකු මුදලක්. එදා මට සල්ලිවලට වඩා වටිනවා ඒ ලැබුණ අවස්ථාව. චිත්‍රපටය තිරගත වුණේ 1965 දී.

දැන් රොබින්ගේ සිනමා ජීවිතයට වසර 55 ක් ගෙවී ඇත. රොබින් ගේ විවාහය සිදුවන්නේ “චණ්ඩියා“ රඟපෑමෙන් පසුවයි. ඔහුට සිය ජීවන සහකාරිය හමුවන්නේ 1962 වසරේ. ඇගේ නම වයලට් ජයවීර. ඔහුට වයස අවුරුදු 25 කි. ඇය ඒ වන විට කොළඹ ගෝතමී විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඒ කාලේ රොබින්ට ස්ථිර රැකියාවක් තිබුණේ නැත. වයලා රොබින්ගේ නෑයෙකි. වයලාගේ කැමැත්ත ලබා ගත් රොබින් ඇගේ පියා හමුවීමට ගියේය‍.

“මාමේ මට වයලා බඳින්න ඕනෑ

“මේ දැන් ද?“ මාමා විස්මයෙන් ඇසීය.

“නැහැ මාමේ ළඟදි මට මැක්වුඩ් කොම්පැණියේ රස්සාවක් හම්බ වෙනවා. ඊට පස්සේ...“

“කමක් නෑ. උඹ අපේ නෑයෙක්. උඹලාගේ කැමැත්තක්.“

“මම වයලට්ට ආදරය කරපු කාලේ ගෝතමී එක ගාවට ගියා. තාත්තගේ කැමැත්ත ලැබුණාම අපි මාලඹේ ඇගේ ගෙදරදී හමු වුණේ. 1964 ඔක්තෝබර් 14 විවාහ වුණා.“ රොබින් සිනාසෙමින් කීවේය.

රොබින් ඉන්පසු සැඟවෙන සෙවණැල්ල, කපටිකම, හතර කේන්දරේ, සොරුන්ගෙත් සොරු, පිනිබිඳු, ඉඳුනිල, බයිසිකල් හොරා චිත්‍රපටවලින් එතෙක් සිංහල සිනමාවේ නොතිබුණ සටන් නළුවෙකු ලෙස අතිශයින් ජනප්‍රිය විය. සිංහල සිනමාවට කරාටේ සටන් හඳුන්වා දුන්නේ රොබින්ය.

“සිනමා නළුවෙකු ලෙස නැඟී සිටීමට මට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. මම පාසලේ දී කරාටේ, බොක්සිං, මල්ලව පොර දැනගෙන සිටීම වාසියක් වුණා. “කපටිකම“ චිත්‍රපටය බලපු අයට මතක ඇති මම හෝටලයක කාමරයක් තුළ ඔස්වල්ඩ් ජයසිංහ එක්ක කරන සටන. මේ සටනේදී ඔස්වල්ඩ්ට කරාටි ඉගැන්වීමට දෙතුන් දවසක් ගියා. ඔස්වල්ඩ් චිත්‍රපටයේ පෙම්වතා නිසා ඔහු අන්තීමට සටනින් ජය ලබන්න ඉඩ තියෙන්න ඕන. අපි දෙන්නා සටනට ලෑස්ති වෙන විට බිම කාපට් එකක් තිබුණා. මම මුලින්ම කළේ ඒ කාපට් එක ඇදල ඔස්වල්ඩ් බිම වැට්ටීම. අපි දෙන්නා කරට කර සටන් කළා. මේ දර්ශනය බැලීමටම ප්‍රේක්ෂකයෝ ආවා. මට සිනමාශාලා හිමියන් කිව්වේ මේ ෆයිට් සීන් එක යන විට ගැලරිය සීට්වලින් නැගිටලා බැලූ බව. තව දිග වුණත් ඒක බලන්න ආසා බවයි ඒ මැනේජර්ලාගේ මතය. ඔස්වල්ඩ් හොඳට ශාස්ත්‍රය ඉගෙන ගත්තා.“බයිසිකල් හොරා“ චිත්‍රපටයේ මා සමඟ ෆයිට් කරන විට ඔස්වල්ඩ් කරාටි වලින් හොඳට වැඩ ගත්තා. මේ චිත්‍රපටයේ එක දර්ශනයකදී තට්ටු හතරක බිල්ඩිමකින් පහත සිටින ඔස්වල්ඩ්ගේ කරට පනින්න තිබුණා. බිමට වැටුණ මගේ කකුල පෙරළිලා සුමාන දෙකක් ඇවිදින්න බැරිව හිටියා.“

රොබින් කියන අන්දමට ටයිටස් තොටවත්තගේ චිත්‍රපට වලදී තමාට රඟපෑමට ලැබී ඇත්තේ බෙල්ල කැඩෙන බිහිසුණු සටන් දර්ශනවලට මුහුණ දීමටලු. ජීවිතය පරදුවට තබා කරන වැඩලු. “හාර ලක්ෂය“ චිත්‍රපයේ තිබුණු සටන් දර්ශනය නැරඹූ අයට එදා නම් අපූරු කුතුහලයක් ලැබුණු බව නම් නිසැකය. ඒ අවස්ථාව “සරසවිය“ පත්‍රයට ලිවීමට මාත් කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් රේස් කෝස් පාරේ රාජකීය විද්‍යාලය අසලට ගියෙමු.

මුදල පැහැරගත් හොරු පොලීසියට අසුවේ දෝ බියෙන් z 6033 චවලට් රථයෙන් වේගයෙන් එනවා. කැමරා ශිල්පී ඇන්ඩෘෘ ජයමාන්න තවත් රථයක උඩ කැමරාව අතැතිව හොරු ගමන් කරන රථය පසු පස්සේ යනවා. ෂූටි කවර් කරන්න ගිය අපේ ලේක් හවුස් වාහනය ඒ ළඟම ධාවනය වුණා. ඇන්ඩෘෘ ගිය වාහනය කෞතුකාගාරය ඉදිරිපිට වංගුවෙන් හැරෙනවාත් සමඟ වෙනත් රථයක් ඉදිරියට ආව නිසා රියදුරා හදිසියේ බ්‍රේක් පහරක් ගැහැව්වා. මෝටර් රථය උඩ හිටිය ඇන්ඩෘෘ කැමරාවත් එක්ක බිමට විසිවුණා. ඒත් කැමරාව අත ඇරියේ නං නැහැ. ඔහුගේ හිසෙන් ලේ ගැලුවත් ඔහු නෙවෙයි වැඩේ නැවැත්තුවේ. ආයිත් වැඩේ පටන් ගත්තා. ඔහු සුළු ප්‍රථමාධාරයක් ලැබුවා. ඊළඟට තිබුණේ රොබිනුයි පියදාස ගුණසේකර චවලට් රථයට ගොඩවන අසීරුම දර්ශනය ඒ. මේ දර්ශනය කැමරා ගත කරන්න චවලට් රථයේ පිටු පස්සේ යකඩවලින් හදපු ස්ටෑන්ඩ් එකක ඉඳගෙන ඇන්ඩෘෘ රූපගත කළේ. මෙහෙම රූපගත කරන අතරේ රථය පදවාගෙන ගිය ජෝ අබේවික්‍රම රථය වංගුවෙන් හරවා ගත්තා. එවිටම වංගුව ඉදිරියෙන් එමින් තිබූ රික්ෂෝ කරත්තය මේ රථයේ හැපී රෝදත් සමඟම උඩ ගියා.

“ආඩවනේ සාමි, මගේ රස්සාව ඉවරයි“ රික්ෂෝව පදවාගෙන ගිය දෙමළ මනුස්සයා විලාප දෙනවා. නිෂ්පාදන අංශයේ කවුදෝ ඔහු සනසා “උඹ අඬන්න එපා. හෙට උඹට අපි මේ කබලට වඩා හොඳ රික්ෂෝවක් අරං දෙනවා“ කීවා. රික්ෂෝකාරයා කඳුළු අතරින් හිනාවුණා.

දර්ශන දිගටම රූපගත වුණා. අධික වේගයෙන් යන චවලට් රථයට රොබින් පැන දොර ඇරගෙන ඇතුළ් වෙන දර්ශනය ඔහු රඟපෑවේ ජාතික ඇඳුම පිටින්. මොකද රොබින් රඟපෑවේ වෙදමහත්තයාගේ චරිතය. මේකේ භයානක අවස්ථාව රථයේ එළියේ කැමරාවක් අරං කඹයකින් බැඳ හිටගෙන හිටිය ඇන්ඩෘෘත් බේර ගෙන වේගයෙන් යන රථයට පැනීමට රොබින්ට පිහිට වුණේ ඔහු දැන සිටි සෙල්ලං නිසා. රොබින් මෝටර් රියේ දොරේ එල්ලී පැද්දි පැද්දී දොරක් ඇර ඇතුළට පැනීම වැරදුණා නම් සොරිම තමයි.

රොබින් තම සිනමා ජීවිතයේ අසීරුම චරිතය රඟපෑවේ හාර ලක්ෂයේ බව කියා ඇත. 1973 දී පමණ රොබින් හමුවීමට නාරාහේන්පිට නිවාස සංකීර්ණයේ ඔහුගේ නිවසට යන විට මටත්, කැමරා ශිල්පී බන්දුටත් ගේ තුළින් කරාටේ පුහුණුවක කාලගෝටියක් ඇසුණි. අප සිතුවේ රොබින් තම සහායක සටන් නළුවකු සමඟ සටනක් පුහුණුවන බවය. ඇතුළට ගිය අපට දක්නට ලැබුණේ රොබින් තම පුතු චන්න සමඟ කරාටේ පුහුණු වන බවකි. එකල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනීම ලැබූ චන්න තාත්තා සමඟ හරි හරියට සටන් කළේය. පුතාගේ පහරක් ලැබූ රොබින් කීවේ “ඒ පාර නම් පුතේ සැර පාරක්“ කියායි.

“දැන් ඔය සෙල්ලම ඇති. දැන් දෙන්නම ඕක නවත්වලා මූණ කට සෝදා ගන්න“ රොබින්ගේ බිරිඳ වයලා කියූ අතර දියණිය එරන්දිකා ද “මල්ලි දැන් ඇති“ තම සොහොයුරාට කීවාය. පිය පුතු නාන කාමරයට ගිය පසු වයලා අප හා පිළිසඳරට එක් වූවාය.

“චන්න තාත්තාට ආදරෙයි. ඒ වගේම රණ්ඩුත් කර ගන්නවා. මට මතකයි “හාර ලක්සේ“ මංගල දර්ශනය බලන්න චන්නයි මමයි ගිය දවස. චිත්‍රපටයේ එක සීන් එකක රොබිනුයි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුයි අතර ෆයිට් සීන් එකේ ඉලැක්ට්‍රික් බවුත් එකකින් ඇලෙක්, රොබින්ව පුච්චන්න යනවා. චන්න මහා හයියෙන් කෑ ගහල කිව්වා “අම්මේ අරයා තාත්තව පුච්චන්න හදනවා“ කියලා මහා හඬින් ඇඬුවා. නොකඩවා කරපු ඇඬිල්ල නැවැත්තුවේ රොබින් ඇවිත් වඩා ගත්තට පස්සේ.“ඇඟ පත සෝදා ගත් රොබින් අප වෙත පැමිණ වාඩි ගත්තේය.

“හාර ලක්සෙ ගැන කතා කරන හින්ද මම කියන්නම් මේ සීන් එක කැමරා ගත වුණේ පුංචි ඉඩක් තියෙන ලියවන පට්ටලයක් තුළ. මම ඇලෙක්ස් කතා කර ගෙන මේ සීන් එක නිර්මාණය කළේ. බටහිර චිත්‍රපටයකට නොදෙවැනි දර්ශනයක් මේ. ටයි කියන්නේ විස්මිත මිනිහෙක්.“ රොබින් කීය.

රොබින් හා රවීන්ද්‍ර රන්දෙනිය “සිරිපාල සහ රන්මැණිකා“ චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශන කීපයක් රඟපෑහ. “මේ චිත්‍රපටයේ මරු සිරා රවීන්ද්‍ර. මම ලයනල් කියන ඔහුගේ හිතවත්ම යාළුවා. අපි දෙන්නා ත්‍රාසජනක රඟපෑමක් රඟපෑවේ. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ බූන්දලම මහා මාර්ගයත්, දුම්රිය මාර්ගයත්, එක ළඟින් සමාන්තරව දිවෙන හරියක්. අපි දෙන්නා පොලීසියට වැලි ගසා යන ගමනක් මේ. පොලීසියට ඔත්තු ලැබිලා පොලිස් පිරිස දුම්රියට ගොඩ වෙනවා. දුම්රියේ වේගය එන්න එන්නම වැඩි වෙනවා. අපි පොලීසිය මඟ හැර දෙදෙනාම දුම්රියේ වහල උඩට නගිනවා. දුම්රිය යට උඩු බැලි අතට දිගා වී සැඟව සිටින එක් මාරාන්තික දර්ශනය කැමරා ගත කරන්න ඩොනල්ට් කරුණාරත්න දුෂ්කර ක්‍රියාවක් කළේ. රේල් පාරත් අප සැඟවී සිටි අතර තිබුණේ අඩි හයක විතර පරතරයක්. මේක සිංහල සිනමාවේ එන අසීරුම ක්‍රියාදාම සහිත චිත්‍රපටයක්.“ රොබින් කීය.

කවුද හරි, සිහසුන චිත්‍රපටවලදී ක්‍රියාදාම වැඩ සඳහා අධ්‍යක්ෂක ටයිටස් තොටවත්ත විසින් රොබින්ට දස වධ දී ඇත. වරෙක ටයිටස් උස ගොඩනැඟිල්ලක් පෙන්වා මෙසේ කියා ඇත.

“රොබින් මෙහෙ වරෙන්, උඹට පුළුවන්ද අර බිල්ඩිමෙන් බිමට පනින්න.“

රොබින් උඩ බැලීය.

“අර බිල්ඩිමෙන්.... උඹ බයයි නේ? ඔන්න උඹ පැන්නේ නැත්තං මම පැනල පෙන්වනවා.“ ටයිටස් කියන්නේ විහිළුවට බව සෙසු අය දනී.

“නෑ. මම පනින්නං.“

“මෙහෙ වරෙන්, අයියෝ සිරිසේන.... උඹට තියෙන්නේ ඩොමී එක්ක පාලමක් උඩ කරන ෆයිට් එකක්. උඹ පාලමේ උඩ ඉඳලා ඩොමී එක්ක ෆයිට් කරල පාලමෙන් ගඟට වැටෙන්න.“ ටයිටස් දුන් අභියෝග රොබින් අකුරටම ඉටුකර ඇත.

එකල ටයිටස් ඕනෑම කෙනෙකුට “අයියෝ සිරිසේන“ කීමට පුරුදුව සිටියේය. එය ඔහු නතරකර දැම්මේ “මරුවා සමඟ වාසේ“ චිත්‍රපටය කරන කාලයේ. එයට හේතුව ඒ චිත්‍රපටයේ නිෂ්පාදකගේ නම හේවා කුරුප්පු සිරිසේන වීමය.

“කවුද හරි“ චිත්‍රපටයේ තවත් දර්ශනයක් ගිනිගත්හේනේ බ්ලැක් වෝටර් වතුයායේ රූගත කළ අතර ඩොමීගෙන් පහර කා අඩි 35 පමණ උස පාලමෙන් රොබින් වැටීමට පෙර ටයිටස් ගඟට වැටිය යුත්තේ කෙසේදැයි උපදෙස් දෙමින් නොනැවතී ඔහු පාලම උඩ සිට ගඟට පැන පෙන්වා ඇත.

“සිහසුන“ චිත්‍රපටයේ රොබින් හා ජපන් සමඟ (නීලවතුර විජේවර්ධන) වෑන් එකක් උඩ කළ සටන ද “අපේක්ෂා“ චිත්‍රපටයේ රොබින් හා නවක නළු (අකාලයේ මිය ගිය) රන්ජන් මෙන්ඩිස් සමඟ ද ‘රක්තා“ චිත්‍රපටයේදී මර්වින් ජයත්‍රංග සමඟ දුන්නෙන් විදීමට පුහුණු කොට ඔහු සමඟ සටන් දර්ශනද කළ ඔහු ‘රක්තා‘ ලෙස රඟ පෑ මාලිනි ෆොන්සේකාට සටන් පුහුණු කළේය. කඩු සටන්වලදි රොබින් නිපුණතාවය පිළිබිඹු කළේ ‘සංඛපාලි‘ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා සමඟ කළ සටන් දර්ශන තුළිනි.

රොබින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ “සුරදූතියෝ“ නම් ක්‍රියාදාම චිත්‍රපටයෙනි. ඔහු විසින් රෝසි සේනානායක, අකුෂලා චෙල්ලයියා, විශාඛා සිරිවර්ධනට කරාටේ, ජූඩෝ, මෙන්ම වේගයෙන් බෝට්ටු පැදවීම, ඉලක්කයට වෙඩි තැබීම ද පුහුණු කරන ලදී. රොබින් කොතරම් සටන් සූරයෙකු වූ ද පෞද්ගලික ජීවිතයේ කාරුණික සැමියෙකි. දුවටත්, පුතාටත් ආදරණීය පියෙකි. මිතුරන්ට හොඳ කල්‍යාණ මිත්‍රයෙකි. සැදැහැවත් බෞද්ධයෙකි.

1937 ජුනි 15 වෙනිදා කොටහේනේ උපත ලැබූ රොබින් ස්ටීවන් ප්‍රනාන්දුගේ පියා වූ සිරිල් ප්‍රනාන්දු එකල සේවය කළේ ඇම්.ඩී. ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධාන ෆෝමන්වරයා ලෙසය. ඔහු ලී අකුරු කැපීමට දක්ෂයකු වූ අතර ලෙටර් ප්‍රෙස් ක්‍රමයේ සිට ලිතෝ ක්‍රමය දක්වා පොතක් හොඳ නිමාවකින් හා උසස් ප්‍රමිතියෙන් තාක්ෂණයකින් නිමා කිරීමෙන් පොතක් වෙළඳ පොළට නිකුත් කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරිය වී ඇත. රොබින්ගේ මව ලිලී ප්‍රනාන්දුය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්ද, ඔහුට බාල සහෝදරියන් තුන් දෙනෙක් වූහ.

මගේ අම්මාත් තාත්තාත් දීපදුත්තාරාමයේ ක්‍රියාශීලී දායකයෝ. හැම ඉරිදාවකම සුදෝ සුදු සරමකින් හා බැනියමකින් සරසා මාව ගුණානන්ද දහම් පාසලට යැව්වා. මට වඩා පන්ති කීපයක් පහළ පන්තියක සිටි සුදු ළමා සාරියකින් සැරසී එන නන්දා මාලිනි මධුර ස්වරයකින් කවි, ගාථා කියන ආකාරය පන්සල පුරා දෝංකාර දුන් අයුරුත් මට හොඳට මතකයි. ශ්‍රේෂ්ඨ බෞද්ධ වීරවරයකු ලෙස ජාතියේම ගෞරවයට පාත්‍රවූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පන්සලේ දහම් පාසලට අපි යනවා කිව්වාම අපිට ඒ කාලේ ලොකු ආදර ගෞරවයක් තිබුණා.“ රොබින් කීවේය. මහරගම නාවින්න පාරේ අංක 244/2 නිවසේ රොබින් අද විවේකී සුවයෙන් පසුවෙයි.

“මගේ සිනමා ජීවිතයට 55 ගෙවිලා. මම ඒ ජීවිතය සිතින් ස්පර්ශ කරමින් කණිෂ්ක, චරිත්, සෙනල්, ජිනාසි මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ජීවත් වෙනවා. අදත් මා ළඟ සෙවණැල්ලක් සේ සිටින්නේ මගේ ආදරණීය බිරිය වයලා. හේමන්ති එරන්තිකා දියණියත්, ඇගේ සැමියා මෝහාන් ද, පුතු චන්න දමින්දු හා ලේලිය ඈන්ගේ ද ආදරය, සෙනෙහස මැද ජීවත් වෙනවා.“ ඒක මොන තරම් වාසනාවක් ද?

රොබින් වරක් මට නාරාහේන්පිට පන්සලකට එන ලෙස ආරාධනය කළේය. මගේ මතකය හරි නම් ඒ මීට වසර පණහකට පමණ පෙර යයි සිතමි. එදා තිබුණේ ඒ පන්සලේ අභිනව බුදු පිළිමවහන්සේ නිරාවරණය කිරීමේ පින්කමකි. ඒ විශාල බුදු පිළිමවහන්සේ රොබින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ බව එදා අනාවරණය විය.

Comments