ජීවිත 11ක් බිලිගත් බන්ධනාගාර ගැටුම | සිළුමිණ

ජීවිත 11ක් බිලිගත් බන්ධනාගාර ගැටුම

සුගිය නොවැම්බර් 5 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට සහ නිලධාරින්ට සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂාවකින් මුලින්ම හමුවූ කොවිඩ් ආසාදිතයන් පස්දෙනාගෙන් පසුව බන්ධනාගාර තුළ කොවිඩ් රැල්ල නිර්මාණය විය. පසුව එය බෝගම්බර, බූස්ස, කුරුවිට, කොළඹ රිමාන්ඩ්, මහර, කොළඹ මැගසින් සහ මාතර ඇතුළු බන්ධනාගාර නවයක ව්‍යාප්ත විණි. එලෙස බන්ධනාගාර තුළ කොවිඩ් ව්‍යාප්තියත් සමඟින් බන්ධනාගාර කිහිපයකම පසුගිය දින කීපය තුළදී රැඳවූවන් වහලය මත නඟිමින් නොයෙක් ලෙස විරෝධතා පාමින් පලා යාමට තැත් කිරීම්ද සිදුවිණි.

එවැනි වටපිටාවක් බන්ධනාගාර තුළ උද්ගත වෙමින් තිබියදී පසුගිය 28 වැනිදා 3000කට ආසන්න රැඳවූවන් පිරිසක් රැඳි සිටි මහර බන්ධනාගාරය තුළින් ‍කොවිඩ් ආසාදිතයන් 183 දෙනෙකු වාර්තා විය. ඊට අමතරව එම බන්ධනාගාරයෙහි විසූ 82 හැවිරිදි රැඳවූවකුද කොවිඩ් ආසාදනය නිසාවෙන් මරණයටද පත්වී සිටියේය.

ඒ අතරෙහි නඩු කටයුතු සිදු නොවූ හෙයින් මහර බන්ධනාගාරය තුළ සිටි ඇප ලැබීමට නියමිතව සිටි රිමාන්ඩ් රැඳවූවන් ප්‍රමාණයද බොහෝ සේ ඉහළ ගොස් තිබියදි පිටත බන්ධනාගාරයන්හි රැඳවූවන්ද මහර බන්ධනාගාරයට ගෙනැවිත් තිබූ බවකි. තවද බන්ධනාගාරය තුළ ආහාර ප්‍රශ්නද හටගෙන තිබූ බවකි.

පසුගිය 29 වැනි ඉරිදා සවස 5ට පමණ මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවූවන්ට රාත්‍රී ආහාර ලබාදීමේදී රැඳවූවන් තිදෙනෙක් අතර කිසියම් ගැටුමක් හටගෙන තිබිණි. අනතුරුව එය ක්‍රමයෙන් බන්ධනාගාරයේ වාට්ටු තුනක රඳවා සිටි සෙසු රිමාන්ඩ් රැඳවූවන් අතරටද පැතිරෙමින් සියලු දෙනාම බන්ධනාගාරයේ වාට්ටුවල දොරටු කඩාගෙන එක්රොක් වී තිබේ. 

ඒ අතරෙහි ඔවුහු ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීමට කටයුතු කරන ලෙසටත් පීසීආර් පරීක්ෂාවන් සිදුකරන ලෙසටත් කොවිඩ් ආසාදිත අයවලුන් වෙන්කරන ලෙසටත් කෑම පිළිබඳ ගැටලු ගැනත් කෑකෝ ගසමින් එකී ප්‍රශ්න විසඳීමට බන්ධනාගාර පාලනාධිකාරියට බල කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. එසේම කලහකාරි ලෙස හැසිරෙන්නට පටන් ගැනීමත් සමඟ තත්ත්වය උත්සන්න වී තිබූ බව සැල වේ.

ඒ වන විට බන්ධනාගාරය තුළ රැඳවූවන් 2759 දෙනෙක් සිටි බවත් ඉන් 1600 දෙනෙක් රිමාන්ඩ් රැඳවූවන් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පසුව මාධ්‍යයට කීවේය. කලහකාරි ලෙස හැසිරී තිබුණේ රිමාන්ඩ් රැඳවූවන් පමණි.

එම උද්ඝෝෂකයන් අතර ඒ වන විට කොවිඩ් ආසාදිත රැඳවූවන් 183 දෙනාද සිටි බවකි. ඒ අතරෙහි රැඳවූවන් මුළුතැන්ගෙය තුළ තිබූ කැති, පිහි, ගල්ඉනි, පොලු කැබැලි රැගෙන එකිනෙකා අතර කලහකාරි ලෙස හැසිරෙන්නට ද පටන්ගෙන තිබේ. පසුව සියලු රැඳවූවන් ප්‍රධාන ගේට්ටුව අසලට එක්වී එය කඩා පැන යාමට තැත් කළත් එය ව්‍යර්ථ වීමත් සමඟ කලහකාරි හැසිරීම තවත් තීව්‍ර වී තිබේ.

බන්ධනාගාරයෙහි ඖෂධ ගබඩා කඩා එහි තිබූ ‍නොයෙක් ලෙඩ රෝගවලට ලබාදෙන පෙති වර්ග පානයටත් ඇතැම් රැඳවූවන් ක්‍රියා කර තිබූ බවත් ගබඩාව විනාශ කිරීමටත් පටන්ගෙන තිබිණි. තවද මුළුතැන්ගෙය, ලේඛනාගාරය, රෝහල, බන්ධනාගාර අධිකාරි සහ සහකාර අධිකාරි කාර්යාලය, රැඳවූවන්ට රැකියා පුහුණුව ලබාදෙන කර්මාන්ත ශාලා ඇතුළු රැඳවූවන්ගේ වාට්ටුද ගිනිබත් කිරීමට පටන් ගැනිණි. තවද බන්ධනාගාර නිලධාරින් නව දෙනෙක්ද ප්‍රාණ ඇපයට ගෙන පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ඔවුන් මුදාගත්තත් දෙදෙනෙක් මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගත් බවද සඳහන් විණි. ඔවුන් දෙදෙනා මුදාගෙන තිබුණේ 29 වැනිදා මධ්‍යම රාත්‍රියේයි.

ඒත් සමඟ බන්ධනාගාර පාලනාධිකාරිය විසින් ක්ෂණිකවම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවිණි. ඒ අනුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් 400ක බළඇණියක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 200ක බළඇණියක් යෙදවූවත් ඔවුහු සියලු දෙනාම බන්ධනාගාර පිටත ආරක්ෂාවට පමණක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේය.

පැවැති තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් අවම බලය යොදමින් කටයුතු කළ බව බන්ධනාගාර පාලනාධිකාරිය පැවැසීය. එදින සවස හය පමණ වෙද්දී පළමු මරණය සහ තුවාලකරුවන් පස්දෙනෙකු පිළිබඳව මුලින්ම වාර්තා විණි.

එසේම එදින රාත්‍රිය වෙද්දී බන්ධනාගාරය තුළින් ගිනි ජාලා නැඟෙමින් විශාල ගින්නක් දකින්නට වීමත් සමඟ ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ හයක් බන්ධනාගාරය තුළට යැවීමටද බන්ධනාගාර බලධාරින් කටයුතු කළේය. කෙසේ හෝ රාත්‍රිය පුරාම පැවැති ගැටුම් හේතුවෙන් 30 වැනිදා පෙරවරුව වෙද්දී මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තුවාලකරුවන් 58 දක්වා වැඩිවී තිබිණි.

තිස්වැනිදා දහවලේ බන්ධනාගාරය තුළට බස්රථ ගෙන්වා රැඳවූවන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට යැවීමද සිදුවිණි. ඒ මොහොතේ බන්ධනාගාරය අසලට රැස්ව සිටි රැඳවූවන්ගේ ඥාති හිතෛෂින් සහ රැඳවූවන් හඬා වැලපෙමින් හැසිරුණේ තිබූ කොවිඩ් අවදානම ගැන හෝ නොතකමිනි.

කෙසේ හෝ 29 වැනිදා සවස හටගත් ගැටුම්කාරි තත්ත්වය 30 වැනිදා දවස පුරාම පැවැතිණි. ඒ අතර විටෙන් විට වෙඩි ශබ්ධද ඇසුණු බවකි. පළමු වැනිදා පෙරවරුව වෙද්දී බන්ධනාගාර ගැටුමෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තුවාලලත් ප්‍රමාණය 106ක් බවත් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගිය බව රාගම රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේය.

ඊට අමතරව රාගම රෝහලට ඇතුළත් කළ තුවාල ලැබූවන්ගෙන් 38 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබූ බවත් මියගිය 11 දෙනාගෙන් 9 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී තිබූ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය. එසේම පසුගිය බ්‍රහස්පතින්දා වන විට තුවාලලත් 28 දෙනෙක් රාගමද, වැලිකඩ බන්ධනාගාර රෝහලෙහි 24 දෙනෙක්ද, කොළඹ ජාතික රෝහලෙහි එක් රැඳවියෙක් සහ සුළු තුවාල ලත් 53 දෙනෙකු යළි මහර බන්ධනාගාරයටද රැගෙන ගොස් තිබුණේය. පසුගිය තුන්වැනිදා අලුයම ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලෙන් පලා ගිය රැඳවූවාද පැය කීපයකට පසු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

තුවාල ලත් 80ක පමණ ප්‍රමාණයකට හේතුව එකිනෙකා අතර වූ කලහකාරි හැසිරීම් නිසා වූ තුවාල බවත් 26 දෙනෙකුගේ තුවාල විද්‍යාත්මකව ඔප්පු නොවූවත් වෙඩි වැදීම් නිසාවෙන් සිදුවූ බවට වාර්තා විණි.

මහර බන්ධනාගාරය අසලට ගැටුම් උත්සන්න වූ 29 වැනිදා රාත්‍රියේ සිටම රැඳවූවන්ගේ ඥාතින් දහස් ගණනක් රැස් වෙමින් තම රැඳවූවන්ට වූයේ කුමක්ද යන්න විමසමින් හඬා වැලපුණහ. ඔවුහු ඇතැමෙක් පොලිස් නිලධාරින් ඉදිරියේ වැඳ වැටෙමින් තම රැඳවූවන්ට වූයේ කුමක්ද යන්න විමසූවේ සිරකරුවන්ද මනුෂ්‍යයන් බව පසක් කරමිනි.

"මට ඕනෙ මගේ පුතාට මොකද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න විතරයි... පුතා මත්ද්‍රව්‍ය නඩුවකටයි මේ බන්ධනාගාරයට ගෙනැත් දැම්මෙ... නඩුව විභාගයට ගත්තෙ නැති නිසා මාස ගණනාවක් බන්ධනාගාරයේ හිටියා... දැන් අපේ දරුවට මොකද වුණේ කියලවත් දැනගන්න ක්‍රමයක් නෑ..." ඒ බන්ධනාගාරයට යනෙන මාර්ගයේ විලාප දෙමින් සිටි එක් කාන්තාවක් කී කතාවයි. බන්ධනාගාරය තත්ත්වය පාලනය වුවත් එවැනි විලාප හඬවල් බොහොමයක් තවමත් මහර බන්ධනාගාරය අසලින් ඇසේ.

ඇතැම් දෙනා තවමත් දැඩි ආවේගයෙන් හැසිරෙන්නෙ සිරකරුවන් වුවත් තමනට තම ස්වාමියා, පුත්‍රයා නැතිනම් සහෝදරයා මහමෙරක් තරම් වටිනා නිසා වන්නට ඇත. කලහකාරි ලෙස හැසිරුණ ඥාතින් සමීපයට පැමිණි මහර බන්ධනාගාර බලධාරින් සහ පොලිස් නිලධාරින් පසුගිය දින කීපයේම ඥාතින්ට කීවේ රටේ නීතිය අනුව බන්ධනාගාර රැඳවියන් දැකබලා ගැනීමට හැකියාව තිබෙන්නෙ රැඳවියන් බැලීමට ලබාදෙන නියමිත වේලාවන්හිදී පමණක් බවය. සියලුම ඥාතින්ට දන්වා සිටියේ බන්ධනාගාර ලේඛනාගාරය මුළුමනින්ම විනාශ වී ඇති හෙයින් මියගිය, තුවාල ලැබු හෝ බන්ධනාගාරය තුළ සිටින අයවලුන් ගැනත් බන්ධනාගාරයෙන් පිටත වෙනත් බන්ධනාගාරවලට රැගෙන ගිය අය ගැනත් නිශ්චිත තොරතුරු පැවැසිය නොහැකි බවයි. එහෙත් පසුගිය තුන්වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නේවාසිකයන්ට දුරකථන පහසුකම් ලබා දෙමින් තම ඥාතින් සමඟ කතාබහකොට ඔවුනගේ තත්ත්වය පැවැසීමට අවස්ථාව සලසන බව සඳහන් කළේය. එසේම මියගිය අයගේ අනන්‍යතා හඳුනාගෙන අදාළ ඥාතින්ට දැනුම් දී තිබෙන බවද කීය.

පසුගිය තුන්වැනිදා එකී ඥාතින්ගේ දුරකථන අංක ලබාගත් බන්ධනාගාර නිලධාරින් තමනගේ රැඳවියාට කියා දුරකථන ඇමැතුම් ලබා දෙන බව කීවත් ඥාතින් හඬා වැලපෙමින් සිටියේ කිසිවෙක් ඒ වනවිටත් තමන්ට කතා නොකළ බවයි. තවද රැඳවූවන්ගේ ඥාතින්ද බන්ධනාගාරය ඉදිරිපස මුර කුටියට කැඳවා ඡායාරූප පෙන්වමින් තොරතුරු එක්රැස් කිරීමක්ද සිදුවිණි.

එහෙත් එම ඡායාරූප පිරික්සූ එක් කාන්තාවක කීවේ, "පෙන්නපු ඡායාරූපවල අපේ කෙනා හිටියේ නැහැ. අපට ඉන්නවයි කියලා දැනගත්තනම් ඒ ඇති..."

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය 2 වැනිදා දිවුරුම් දුන් නව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා දිවුරුම් දුන් සැණින් පිටව ගියේ මහර බන්ධනාගාර තත්ත්වය පරීක්ෂා කිරීමටත් එහි රැඳවූවන් මුණ ගැසීමටත්ය. එහිදී බන්ධනාගාරය තුළටත් රැඳවූවන් හමුවටත් ගිය ඇමැතිවරයාට කලහකාරි ලෙස හැසිරුණු රැඳවූවන්ගේ ක්‍රියා කලාපය ගැන රැඳවූවන්ම බොහෝ තොරතුරු පැවැසීය. එක් රැඳවූවකු කීවේ,

"සර්... මුලින්ම ගැටුම ඇතිවුණේ සිරකරුවන් සිරකරුවන් අතරමයි. පෙති බීපු අය තමයි පාලනය කරගන්න අමාරු වුණේ. එක් එක් කණ්ඩායම්වල තරහකාරයෝ සිරගේ ඇතුළේ ඉන්නවා. කඩු මන්න අරගෙන ඔළුවට කෙටුවේ අපේ නිලධාරි මහත්තුරු නෙවේ. ඒ කණ්ඩායම් අතර පිරිස්මයි එහෙම ගහමරාගත්තෙ. ඒ කියන්නෙ මගේ බොසා මැරුවනම් ඒ බොසා මැරුව කෙනාට මෙතැනදි පහර දුන්නා. මැරුවා. ඒක තමයි වුණේ. අපි හිටිය ප්‍රදේශයේ මහත්තුරු හතර දෙනෙක් හිරවෙලා හිටියා. අපි ඒ මහත්තුරු හතරදෙනා ආරක්ෂා කරගෙන අරගෙන ගියා. ඒකෙන් ඒ අය දැනගත්තා අපි ඔවුන්ට උදවු කරන්නෙ නෑ කියලා." 

බන්ධනාගාර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අධිකරණ ඇමැති අලි සබ්‍රි විසින්ද පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ සාමාජිකයන්ද පසුගිය බ්‍රහස්පතින්දා මහර බන්ධනාගාරය තුළට ගොස් විමර්ශන ආරම්භ කරන ලදී. එසේම සිදුවීම වූ සැණින් ආරක්ෂක ලේකම්වරයා දුන් උපදෙස් මත පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ඇරැඹිණි. එම විමර්ශන අනුව පසුගිය බ්‍රහස්පතින්දා වන විට පුද්ගලයන් 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනිණි. ඒ බන්ධනාගාර රෝහලෙහි වෛද්‍යවරු අටදෙනෙකුගෙන්ද පිරිමි හෙද නිලධාරින් දෙදෙනෙකුගෙන්ද බන්ධනාගාර ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරින් 10 දෙනෙක් සහ සිදුවීම වන විට බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් හයදෙනෙකුගෙනි. එසේම බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ බව කියන මානසික රෝගීන්ට දීමට යැයි පැවැසෙන පෙති 21000 පමණ වූ ඖෂධ ඇතුළු ඖෂධ ගබඩාවේ තිබූ ඖෂධ පිළිබඳවද ඖෂධ විශේෂඥයන්ගේ විශේෂඥ මත අනුව පොලිසිය විමර්ශනයක් සිදුකරන බවයි.

කොවිඩ් තත්ත්වයත් සමඟ රටෙහි ඇතිවී තිබෙන තත්ත්වය බන්ධනාගාරය තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවීමටත් ඍජුව බලපෑමක් වී තිබෙන බව බන්ධනාගාර පාලනාධිකාරියේ මතයයි. ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසන්නෙ

"මේ ගැටුම්වලට සම්බන්ධ වුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි රැඳවූවන්. බන්ධනාගාර රැඳවියන් අතරයි ලොකුම ගැටුම ඇතිවුණේ. ඒකෙන් තමයි මේ ජීවිත හානි සිදුවුණේ. අපේ නිලධාරින් ඉතාමත්ම ඉවසිලිවන්තවයි රාජකාරි කළේ. අපට පොලිසිය සහ එස්ටීඑෆ් සහාය ලබා දුන්නා. අපි අතින් ඇත්තටම වෙඩි තැබීම් කීපයක් සිදුවුණා. මොකද බන්ධනාගාර දොරටුව කඩාගෙන යන්න ආවා. එහෙම ගියානම් දාහක්, දෙදාහක් සමාජයට යනවා. විශාල විනාශයක් සිදු වෙනවා. ඒ වගේම මේ අය අපරාධවලට සම්බන්ධ පුද්ගලයෝ. සමාජයට ගියානම් විශාල ප්‍රශ්නයක්. අන්න ඒ නිසයි බලය පාවිච්චි කරන්න වුණේ. ඒ වගේම අනෙකුත් රැඳවියන්ගේද ආරක්ෂාව සඳහායි අපි මේ ක්‍රියාමාර්ගය ගත්තෙ. ඒ වගේම මහජන දේපොළ කෝටි ගණනක විනාශ වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් එම රැඳවියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන කොට අපරාධයට නායකත්වය දුන්න රැඳවියන් 25 දෙනෙක් වගේම නායකත්වය දුන් දෙවැනි පෙළ රැඳවියෝ 150 දෙනෙක්ද හඳුනාගත්තා. මේ සියලු දෙනාටම විරුද්ධව රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම වගේම බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නඩු පැවැරීමට ඉදිරි දින කීපයේදී කටයුතු කරනවා."

පසුගිය කාල වකවානුවේදී බන්ධනාගාර පරිපාලකයන්ගේ විෂම පරිපාලනය මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන ලෙසටම බලපෑ බවට චෝදනා කරන්නෙ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිලධාරින්ය. පසුගියදා මාධ්‍ය හමුවක්ද පවත්වමින් එහි ලේකම් සුදේෂ් නන්දිමාල් කීවේ,

"සාමාන්‍යයෙන් රිමාන්ඩ් සිරකරුවන් බොහෝ දෙනෙකුට සාමාන්‍ය දිනවලදී කෑම ගේන්නෙ නිවෙස්වලින්. කොවිඩ් තත්ත්වයත් සමඟ නිවෙස්වලින් කෑම ගෙනඒම නතර වුණා. අන්තිමට සිරකරුවන්ට කෑම ප්‍රශ්න ආවා. ඒකට හේතුව තමයි නිලධාරින් රජය සිරකරුවන්ගේ ආහාර සඳහා ලබාදෙන මුදල් ගසා කනවා. ඒ නිසා පසුගිය දිනවල රැඳවියන්ට නිසි පරිදි ආහාර ලබා දෙන්නවත් මේ අය කටයුතු කළේ නෑ. මහර බන්ධනාගාරය කියන්නෙ දඬුවම් විඳින්න නියම වූ සිරකරුවන්ට නියමාකාරයට දඬුවම් විඳින්නවත් සුදුසු තැනක් නෙවේ. මෙතන තනිකරම වධකාගාරයක්. ඔය සිදුවීම වන විට 180 ගණනක් ‍කොරෝනා රෝගීන් මහර බන්ධනාගාරයෙන් වාර්තා වුණා. ඉතින් කිසිම ක්‍රමවේදයක් තිබුණේ නෑ එම රෝගීන් වෙන් කරලා තියන්න. එහෙම ආසාදිතයන් සිටීම ගැනත් සෙසු සිරකරුවන්ට පීසීආර් පරීක්ෂණ කරන්න කියාත්, කෑම ප්‍රශ්න ගැන කතා කිරීමට රැඳවියන් නිලධාරින් හමුවීමට ගියා. ඒ අවස්ථාවේදී නිලධාරින් රැඳවියන්ට අමානුෂික ලෙස පහර දීලා. ඊට විරෝධය දක්වන්න රැඳවියෝ වහල මතට නැග්ගා. ඒකට උත්තර දුන්නෙ වෙඩි උණ්ඩෙන්. ඔන්න ඕකයි සත්‍ය තත්ත්වය."

මෙකී ගැටුම නිසාවෙන් බන්ධනාගාර ඉතිහාසය තුළ තවත් එක් කළු පැල්ලමක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ වන විට එල්ල වී අවසානය. රැඳවූවන් අවම බලය හෝ කුමනාකාරයේ බලයක් යොදවමින් හෝ ජීවත්වීමේ අයිතිය සනිටුහන් කරමින් ගැටුම් නිරාකරණය කිරීමට මින් මතුවටවත් බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කරන්නේනම් මැනවි. එසේම කොවිඩ් නිසාවෙන් රටට, ලෝකයට අත්වී තිබෙන ඉරණම ගැන රැඳවූවන්ද සිහි තබා ගත යුතුම වේ.

Comments