‘ස්ථාවරත්වයේ පදනම දේශීය ආර්ථිකයයි’ | සිළුමිණ

‘ස්ථාවරත්වයේ පදනම දේශීය ආර්ථිකයයි’

- පෞද්ගලික අංශයට ඔවුන්ගේ සේවාව අවුරුදු හැට දක්වාම ලබාගැනීමට හැකියාව ලැබේ
- අයවැයේ නිසි ඵලදායීතාව ගන්න වගකීම් නිසිපරිදි ක්‍රියාත්මක කළ යුතුයි
- තාවකාලික දේශපාලන පිළියම් වෙනස් කොට විශාල වෙනසක් මේ රටේ ඇති කිරීම අපේ ප්‍රයත්නයයි

මෙවර අයවැය ඉදිරිපත් කරනු ලැබුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 'සෞභාග්‍ය දැක්ම' තිරසර වැඩ සටහනේ ඉදිරි පියවර සඳහා දිගුවක් ලෙසටය. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විවිධ වූ සැලසුම්, ක්‍රියාමාර්ගවලට යොමු වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සම්බන්ධයෙන් වසරක් පාසා නිසි අධීක්ෂණය කළ යුතුය. ඒ අනුව ඊළඟ වසරේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳ මේ වසරේදී නිසි සැලසුම් ඉදිරිපත් කළ යුතුය. ඉදිරි වසරේදී 'සෞභාග්‍ය දැක්ම' වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත. එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් සහ මඟපෙන්වීම් ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනා තමන්ට පැවරී ඇති වගකීම් නිසියාකාරයෙන් ඉටු කිරීමෙන් අයවැයේ නිසි ඵලදායීතාව ලබාගත හැකි වනු ඇත.

ඒ සියලු කටයුතු අදාළ වගකිව යුතු පාර්ශ්වයන් විසින් නියාමනය කරමින් කාර්යක්ෂමව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් 2015 ට පෙර ගොඩ නැඟූ තත්ත්වයට නැවත රට ගෙනයා යුතුය. ඊට කෙතරම් බාධක පැමිණියද ඉදිරි පස් වසරක ඉලක්ක වෙනුවෙන් මෙවර අයවැය තුළින් තැබූ පියවර සාර්ථක කරගත යුතුය.

මෙරට ඇතැම් දේශපාලඥයන්ට හුරු පුරුදු වී ඇත්තේ ජනතාව තාවකාලිකව සනසන පිළියම් ලබා දීමයි. පසුගිය කාලයේදී එසේ සිදු කළ ජනතාව සනසාලන මැතිවරණ ව්‍යාපාර පිළිබඳ අප දනිමු. එවැනි වාතාවරණයක අප ජනතාවට තිරසර අනාගතයක් සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තෙමු. තාවකාලික දේශපාලන පිළියම් වෙනස් කොට ඊට වඩා විශාල වෙනසක් මේ රටේ ඇති කිරීම අපේ ප්‍රයත්නයයි. රටේ දුගී දුප්පත්ම පිරිසකට රැකියා ලක්ෂයක් ලබා දීමෙන් එම පවුලට සදහටම දුගී භාවයෙන් මිදීමට හැකිවේ. රුපියල් දහයකින් පහළොවකින් පහත හෙළන ගෑස්, පරිප්පු හෝ සීනි මිල ද? පවුලේ එක් අයකුට රැකියාවක් ද යන කාරණාවේදී ජනතාව රැකියාවට ප්‍රමුඛත්වය ලබා දෙයි. දුගී පවුලක නඩත්තුව, ගෞරවය, අභිමානය, ආර්ථිකය යන සියලු කාරණා ස්ථිර රැකියාවක් ලබා දීමෙන් ඉටු වෙයි. එමෙන්ම උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබාදීමෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් ලබාදීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවර දැනටමත් ක්‍රියාත්මක කරමින් ඇත.

නිසි ලෙස ජලය හිමිව ඇත්තේ මෙරට ජනගහනයෙන් අඩකට පමණක් බැවින් ජනතාවට ජලය ලබාදීමේ සැලසුම් ඉතා ඉක්මනින් දියත් කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සොයා කිලෝමීටර තුන හතරක දුරක් යෑමට සිදුවන අතර ඒ ජනතාවගේ ඉල්ලීම පරිප්පු, සීනී හෝ හාල් කිලෝවක මිල අඩු කිරීම නොව ස්ථිර වශයෙන් ජල කරාමයකින් පානීය ජලය නිවෙසටම ලබා ගැනීමයි. ඇතැම් ගම්වලට යෑමට ස්ථිර මාර්ගයක් නොමැති අතර ත්‍රිරෝද රියක්, පාපැදියක්වත් යා හැකි මාර්ග නොමැති ගම්වල ජීවත් වන මිනිස්සුන්ගේ එකම ඉල්ලීම ඔවුන්ගේ ගමට පාරක්, පාලමක් පමණි. 2015ට පෙර විදුලිය ලබා දීමේ වැඩසටහන සියයට හැත්තෑවේ සිට සියයට සියයක් දක්වා සිදු විය. දිස්ත්‍රික්ක 14ක පවතින අලි මිනිස් ගැටුම නිසා ජනතාවට සිදුවන පීඩාද නිමක් නැත.

වසර ගණනාවක් යුද්ධය විකුණීමට උත්සාහ කළ ඇතැම් පාලකයන් ඔවුන්ගේ පාලන සමයේ ජනතාව වෙනුවෙන් කුමක් කළේද යන්න ගැටලුවකි. ඇතැමුන් අප ජනතාවාදී ආණ්ඩුවක් නොවූ බව පවසයි. මෙරට අන්තිම පහළ ස්ථරවල සිටින ජනතාගේ සිට ඉහළම ස්ථරවල සිටින්නන්ගේ ගැටලු විසඳීම දක්වා පුළුල් වැඩසටහනක් දියත් කර ඇත්තේ අප ජනතාවාදී ආණ්ඩුවක් වන නිසාවෙනි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් යුද්ධය සදහටම නිමා කළා සේම රටේ සංවර්ධන සඳහා ද එවැනි තිරසර වැඩසටහනක් ගෙනඒමට ජනතාව විසින් මේ රජය බලයට පත්කර ඇත.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කෝවිඩ් 19 වසංගතය මැඬලීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් වැය කර ඇත. ස්වාභාවික විපත් වසරේ ඕනෑම විටෙක සිදුවිය හැකියි. ඒ සඳහා අප වෙන වෙනම මුදල් වෙන් නොකළද ස්වාභාවික විපත් හෝ වෙනත් ඕනෑම විපතක් සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇත. ලෝකයේ ලොකුම ආර්ථික අවපාතයට මුහුණ දුන් අපට කෝවිඩ් 19 වසංගතයටද මුහුණ දීමට හැකියාව ඇත. වෙනම ශීර්ෂ පාඨ යටතේ ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොකළද රජයක් ලෙස ඊට මුහුණ දීමට සූදානමින් සිටිමු. කොවිඩ් 19 පළමු රැල්ල අප ජයගත්තේ එබැවිනි. අවශ්‍ය ප්‍රතිපාදන සහ අවශ්‍ය සියලු දේ කරමින් අප දෙවැනි රැල්ලද පාලනය කරමින් සිටිමු.

සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා බිලියන 159ක් වෙන්කර ඇත්තේ හුදෙක් ලෙඩරෝගවලට පමණක් නොවේ. ජනතාවගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය සුරැකෙන පරිසරයක් වෙනුවෙන් ද පහසුකම් සැලසිය යුතුය. ඇවිදීම, ක්‍රීඩාව, නැටුම් ගැයුම් වැනි විෂයය බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් දරුවන් සහ තරුණ දරුවන් යොමු කළ යුතුය.

සෑම දිස්ත්‍රික්තයක් තුළම නගර විශ්වවිද්‍යාල ගොඩනැඟීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1000ක් වෙන් කර ඇති අතර එහි මුලික පියවර ඉදිරි වසරේදී ආරම්භ කෙරේ. මෙහිදී වැසී ඇති වෘත්තීය ආයතනද යොදා ගැනීමට අපේක්ෂිත අතර එම විශ්වවිද්‍යාල සඳහා නව ඉඩම් පවරා ගැනීම්ද ඉදිරියේදී සිදු වෙයි. මෙවැනි විශාල ව්‍යාපෘතියක් වසරක කාලයකින් අවසන් කළ නොහැකි අතර ඒ ඒ ව්‍යාපෘති අනුව මුදල් වැය කිරීමට යම් කිසි කාලයක් ගතවේ. මෙවර මුදල් වෙන්කර ඇත්තේ පළමු අදියර සඳහා පමණි. මෙම විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය සඳහා වසරින් වසර එක් එක් අදියර සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කෙරේ.

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ විශ්‍රාම යන වයස් සීමාව හැට දක්වා දීර්ඝ කර ඇත. 1948 වර්ෂයේදී ආයු කාලය අවුරුදු 65 සීමාවේ පවතින කාලවකවානුවේදී විශ්‍රාම යන වයස 55 දක්වා සීමා කළද මේ වන විට ආයු කාලය අවුරුදු 79 දක්වා ඉහළ ගොස් ඇත. එවැනි තත්ත්වයක් තුළ වයස අවුරුදු 55කින් විශ්‍රාම යන පුද්ගලයකුට තවත් වසර 24ක් රැකියාවක් නැතුව ජිවත් විය නොහැකිය. අර්ථසාධක අරමුදල් වෙනත් කාර්යයන් සඳහා වැය කිරීම නිසා ඔවුන් දැඩි ආර්ථික අපහාසුතාවයන්ට මුහුණ දෙයි. නමුත් විශ්‍රාම යන වයස වනවිට ඉතා කාර්යක්ෂමව සහ පළපුරුද්දකින් කටයුතු කිරීමේ හැකියාවද ඇති බැවින් පෞද්ගලික අංශයට ඔවුන්ගේ සේවාව අවුරුදු හැට දක්වාම ලබාගැනීමට මෙයින් හැකියාව ලැබේ.

එමෙන්ම මාණ්ඩලික නොවන රජයේ සේවකයන්ට කාර්යාල වේලාවෙන් පසුව වෙනත් රැකියාවන්හි නිරත වීමේ හැකියාවද මෙවර අයවැයෙන් හිමිකර දී ඇත. මෙයින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට රැකුලක් ලැබේ. එමෙන්ම මෙවර අයවැයෙන් විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරීම සහ විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද මුදල්වලින් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමෙන් විශ්‍රාම අරමුදලක් ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වේ.

අයවැයෙන් යෝජිත සියලු සැලසුම් හරහා අයෝජනය වැඩි කිරීමට කටයුතු කර රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන අතරම පොලී අනුපාතය අඩු අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීමටද අපේක්ෂිතය. රට තුළට නව ආයෝජන ගලා ඒමටත් දේශීයව සහ විදේශීයව මෙරට සියලුම ව්‍යාපෘති මනාව නියාමනය කර ඒවායින් කඩිනම් ප්‍රතිඵල ලබාගැනීමටත් කටයුතු කෙරේ. පෞද්ගලික ක්ෂේත්‍රය දිරිමත් කර ආයෝජන ගෙන එන පාර්ශ්වයන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට රාජ්‍ය අංශ දිරිමත් කිරීමේ ක්‍රමවේදයන් තුළින් මෙරට ආර්ථිකයට විශාල ගැම්මක් ඇතිවේ.

එක් වසරක ආර්ථික අගය ඍණ අගයක් ගත්තද ඉදිරි වසරේ එසේ නොවන්නට සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. 2005 වන විට සියයට තුනක, තුන හමාරක තිබූ ආර්ථික වර්ධන වේගය අප සියයට 8 දක්වා ගෙන එනු ලැබුවෙමු. එසේ කළ හැකි වූයේ මනා කළමනාකාරිත්වයක් යටතේ ආර්ථික සාධක යහපත් තත්ත්වයක් යටතේ පවත්වා ආර්ථික ප්‍රතිපත්ති හොඳින් ක්‍රියාත්මක කිරීම නිසාය. එබැවින් අපි ඉලක්ක ගත සැලසුම්වලට යා යුතුය. 2015 සිට පසුගිය වසරේ ජනාධිපතිවරයා බලයට පත්වන තෙක් පැවැති තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට ආර්ථිකය නඟා සිටුවීම සඳහා සාර්ව ආර්ථික සාධක වර්ධනය කරමින් රට ඉදිරියට ගෙන යා යුතුය. රටක අඩිතාලම එයයි. ඒ අඩිතාලම ශක්තිමත් නම් අනෙක් කාරණා සියල්ල ශක්තිමත්ව ගොඩ නැඟිය හැකිය. අත්තිවාරම ශක්තිමත්ව තිබේ නම් ඒ මත ගොඩනඟන සියල්ල ශක්තිමත් වේ.

රටක් ගොඩ නඟන මේ අත්තිවාරම වන්නේ රුපියලයේ අගය, පොලී අනුපාතය, ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය, රටේ ආයෝජනය කිරීමට ආයෝජකයන් ඉදිරිපත් වීම, මුල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථායි භාවය සහ බැංකු ස්ථායිව පවතින්නේද යන කාරණාය. ඒ අනුව රට ගොඩනැඟිය යුතුය. දීර්ඝකාලීන වශයෙන් රට වටේම දැවැන්ත ව්‍යාපෘති 289 මගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. එහිදී නිසි වෙලාවට, නිසි කළමනාකාරීත්වයෙන්, නිසි මුදලට ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඒවා ප්‍රමාද වීමකින් තොරව ඵලදායීතාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. එම සියලු ව්‍යාපෘති පසුවිපරම් නියාමනය කරමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම අපේ බලාපොරොත්තුවයි. ඒවා පිළිබඳව කැබිනට් මණ්ඩලයට ලබා දිය යුතු සියලුම දත්ත කැබිනට් මණ්ඩලයට ලබාදී ජනාධිපති සහ අගමැතිවරයාගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම ලබාගෙන මෙම ව්‍යාපෘති හොඳින් ක්‍රියාත්මක කරමින් රටට ශක්තිමත් බැම්මක් ඇති කිරීම ප්‍රධාන අරමුණකි. රුපියල් ට්‍රිලියන පහක් මේ සඳහා වැය වෙයි. ඒ මුදල රජය වැය කරනුයේ විශාල ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. පාරවල්, ජලාශ, මහමාර්ග, පාලම්, රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු නව ගොඩනැඟිලි රාශියක් ගොඩනැඟීම වැනි විශාල ව්‍යාපෘති රැසක් ඒ යටතේ වේ. ‍

ඉදිරි වසර සඳහා බිලියන තුන්දහක් විදේශ ණය ලෙස ලබා ගැනීමට අප කටයුතු කරන්නේ දැනට ගෙවිය යුතු විදේශ ණය ගෙවීමට පමණයි. ඊට වඩා ණය ගැනීමට අප උත්සාහ නොකරන්නෙමු. පසුගිය රජය විදෙස් ණය ප්‍රතිශතය වැඩිකර ඇත. පසුගිය රජය 2015දී මේ රට භාරගන්නා විට තිබුණේ සියයට හතලිහක විදෙස් ණය සහ සියයට හැටක දේශීය ණය ය. පසුගිය රජය විදෙස් ණය සියයට පනහ දක්වා වැඩිකර ඇත. දේශීය ණය සියයට දහයකින් අඩු කර ඇත. ඒ අනුව ණය ගෙවීමට ඇති අභියෝගය හෙට වැඩි වී ඇත. ණය බර වැඩි වූ විට රුපියලයේ අගය පවත්වා ගෙනයෑමට නොහැකි තත්ත්වයක් මතුවේ. එවිට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවෙයි. එබැවින් ඉදිරියේදී ණය ගැනීමේදී දේශීය ණය ලබාගැනීමට අප පුරෝකතනය කර ඇත. දේශීය ණය ලබාගෙන ණය කළමනාකරණය කරමින් වසර 2021 වන විට ඉලක්කගත ආකාරයට රුපියල් බිලියන 1961ක ආදායමක් උපයා ගැනීම අපගේ අරමුණු යි.

රටක ස්ථායි බව නොමැති විට රටේ සියලු අංශ කඩා වැටෙයි. එබැවින් මේ සාර්ව ආර්ථික සාධකය ඉතා වැදගත් වෙයි. ඒ ස්ථායි භාවය රැක ගැනීම සඳහා අවශ්‍ය මූලික කාර්යභාරය මහ බැංකුව විසින් ඉටු කරනු ලබයි. මහ බැංකු අධිපතිවරයාව සිටි වසර නවයක කාලය තුළ මම ඒ කාර්යභාරය ඉටු කළෙමි. එබැවින් මෙම වැඩපිළිවෙළ නිසියාකාරව ඉදිරියට ගෙන යමින් ආර්ථිකයේ පදනම රැකගෙන රට ඉදිරියට ගෙන යෑම අප සියලු දෙනාගේම යුතුකමකි.

Comments