ඉතින් ආයුබෝවන් මැකෝ! | සිළුමිණ

ඉතින් ආයුබෝවන් මැකෝ!

මැතිවරණ කොමිෂන් සභාවේ සිට තමන් මින් පසු මාධ්‍ය සාකච්ඡා නොතබන බවත්, සියලු දෙනාටම සුබ ගමන්” යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණයේ සියලු මැතිවරණ රාජකාරී අවසන් කිරිමෙන් පසුවය. එහෙත් ඔහුට එසේ නික්ම යෑමට නොහැකි වූ අතර, ඔහුගේ විශ්‍රාම දිවිය සම්පූර්ණ වන තෙක් එම තනතුරේ තවදුරටත් රැඳී සිටින්නට ඔහුට සිදු විය. එකී කාලය දැන් එළඹ තිබේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මේ මස 12 වැනි දා ඔහුගේ ධුර කාලය අවසන් වේ. පහුගිය 22 දා පාර්ලිමේන්තුවේදි සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ මැතිවරණ කොමිසම ද අහෝසි විය. ඒ වෙනුවට නව පංච පුද්ගල කොමිසමක් පත් වීමට නියමිතව ඇත. 

ඓතිහාසික දකුණුලක ගාල්ල දිස්ත්‍රික්කයට අයත් අම්බලන්ගොඩ ග්‍රාමයේ නිවැසි වඩුගේ පියසේන හා වැල්ලගේ ඇන්ටි නෝනා යන ගුරු මව්පියන්ට දාව 1955 ජූනි මස 06 වන දින සිව්වැනි දරුවා ලෙස හෙතෙම මෙලොව එළිය දුටුවේය. සහෝදරයන් සිව් දෙනකුගෙන් හා එක් සොහොයුරියකගෙන් යුත් පවුලේ සිව්වැනියා වූ ඔහු වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය නම් විය. අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයෙන් මුලකුරු කිය වූ ඔහු 1961 දී ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් විය. බාලාංශයේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු මෙන් ම ඉගෙනීමට අතිදක්ෂ කථිකයකු ද විය. ඊට බෙහෙවින් බලපා තිබුණේ ඔහුගේ පවුල් පසුබිමය.

වඩුගේ පියසේන නම් වූ ඔහුගේ පියා, සිංහල පුහුණු ගුරුවරයෙකි. ඔහු විශ්‍රාම ගන්නාවිට රොන්නදු විද්‍යාලයේ විදුහල්පතිවරයා විය. අංක ගණිතය පිළිබඳ හසල දැනීමකින් යුතු වූ හෙතෙම අංක ගණිත දැනුම දුර්වල ළමුන්ට විශේෂ ඉගැන්වීම් ද කළේය. මහින්දගේ පියා දේශපාලනික වශයෙන් වාමාංශිකයකු විය. හෙතෙම කොමියුනිස්ට් අදහස් ඇති සමසමාජ කාරයකු වූ අතර, දේශපාලන සගයින් රැස්වූ නිතර ආගිය ස්ථානයක් බවට මහින්දගේ නිවස පත් වී තිබුණි. බොහෝ උගතුන් බුද්ධිමතුන් ද ඒ අතර විය. එනිසා දේශපාලනය සහ ජාත්‍යන්තර තොරතුරු පිළිබඳ ඇති වූ සාකච්ඡාවලට සවන් දීමට කුඩා කල සිටම ඔවුන් හුරු විය. මෙනිසා සුනන්ද දේශප්‍රිය සහ මහින්ද දේශප්‍රියගේ පමණක් නොව අනෙක් සොහොයුරන් දෙදෙනාගේ හා සොහොයුරියගේ ද අදහස් එක හා සමාන විය. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර සිය සාමාජිකයින් සමග සාකච්ඡා පැවැත් වූ ස්ථානයක් බවට මෙම නිවස පත් වූ අතර, සුනන්ද ඒ සාකච්ඡා අතර සිටි ළාබාලම නායකයකු විය. 1971 දී රෝහණ විජේවීර විසින් නායකත්වය දුන් කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවකු බවට පත් වූ හෙතෙම මහනඩුවේ 05 වැනි සැකකරුවාද විය. පසුව යුක්තිය පුවත්පතේ කතුවරයාවූ වූ සුනන්ද අදත් අප අතර සිටින ප්‍රවීණ මාධ්‍යවේදියකි.

ඉගෙනීමේදී මාපියන්ගෙන් කිසිදු බලපෑමක් මේ දරුවන්ට නොවීය. නමුත් පාසැල් වැඩකටයුතු සම්පූර්ණ කර ඇත්දැයි විමසිලිමත් විය. යම් වැඩක් කල් නොදා එදිනම අවසන් කිරීමට මේ මාපියන් දෙපළ නිතරම ඔවුන් පෙලඹීය. ඒ හුරුව තම වැඩකටයුතුවලට මනා පිටිවහලක් වූ බව මහින්ද දේශප්‍රිය සිහිපත් කරන්නේ ඉතාම සංවේදීවය. “අම්මයි තාත්තයි පාසලේ කටයුතු නියම කාලය තුළ අවසන් කිරීමට අපව පෙලඹෙව්වා. එය අපගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට හුඟක්‌ම බලපෑවා.”

මහින්දගේ පන්ති බාර ගුරුතුමිය වුයේ ෆොන්සේකා නම් ගුරුවරියකි. එතුමිය හමුදාපති සරත් ෆොන්සේකා ගේ මවය. පන්තියේ අනෙකුත් ශිෂ්‍යයන් හා සසඳන කළ සෙසු අයගේ මට්‌ටමට වඩා ඔහුගේ දැනුම ඉහළින් තිබුණි. මෙනිසා විශේෂ විභාගයක්‌ පවත් වා හෙතෙම ඉහළ බාලාංශ පන්තියට යොමු ක‍ෙළ්ය. ඉහළ බාලාංශයේදී ගුරුතුමිය වුණේ ගුණා මිස්‌ය. පාසලේ ප්‍රධාන ගොඩනැඟිල්ල හැර අනිත් ඒවා පොල්අතු සෙවිලි කළ පන්ති කාමරය.

දෙවන සහ තුන්වන පන්ති පැවැත් වූයේ මේ පොල්අතු මඩුවලය. ඔහු පස්‌වෙනි පන්තියේ සිටියදී එළිදැක් වූ “සිඟිති” සඟරාවට මහින්ද බෙහෙවින් ඇලුම් කළේය. එකල විදුහල්පතිව හිටියේ ටී. සී. ප්‍රනාන්දු ය. හෙතෙම සඟරාව ගැන උනන්දු වු අතර, දක්‍ෂ ඡායාරූප ශිල්පියකු විය. ළමයි අතර තරගකාරීත්වයක්‌ ඇති කිරීමට පෙලඹ වූ හෙතෙම දක්‍ෂතා ඇති දරුවන්ගේ ඡායාරූප සිඟිති සඟරාවේ පළ කළේය. 1965 දී පළවුණු සිඟිති සඟරාවේ මහින්දගේ ලිපි දෙකක්‌ ද පළ විය. මහා විද්‍යාලයට තෝරාගැනීමේ තරඟ විභාගයට ඉදිරිපත් වූ මහින්ද ඉන් සමත් ව 1966 දී මහා විද්‍යාලයට ගියේය.

එය ඔහුට අමුතුම ආශ්වාදයක් ගෙනදුන්නේය. 8වැනි පන්තියේදී විද්‍යා, වාණිජ හා කලා විෂය ධාරාවන් සඳහා ළමයින් තේරීමේ විභාගයකට මුහුණ දීමට ඔහුට සිදු විය. එකල විද්‍යා විෂය ධාරාව ඉගෙන ගැනීමට හෙතෙම මහත් උනන්දුවක් දැක්වීය.

මහින්ද උසස්‌ පෙළ පන්තියේ සිටි කාලය විද්‍යාලයේ විශාල පිබිදීමක් ඇති වූ කාලයක් විය. ඒ පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ එම්. ඩී. විමලසූරියගේ උනන්දුව හා කැපවීම නිසාය. මේ අතර 71 අප්‍රේල් කැරැල්ල සමාජ යටි පෙළ තුළ ඔඩුදුවමින් තිබුණි. එකල පැවති සිරිමා බණ්ඩාරනායක ගේ ආණ්ඩුවට මේ තරුණ නැඟී සිටීම පිළිබඳව නිවැරදි වැටහීමක් නොවුණි. අම්බලන්ගොඩ ධර්මාශෝකය 71 කැරලිකරුවන්ගේ තිප්පලක් බවට පරිවර්තනය වී තිබුණි. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයා ව සිටියේ සුනන්ද දේශප්‍රිය ය. පාසැලේ එහා කෙළවරේ කොරියාවේ හවසට සුනන්ද ඇතුළු දේශපාලන කාඩර්වරුන් මුරකාවල් යොදමින් පන්ති පහ පැවැත්විණි. මේ පිළිබඳව විදුහල්පති එම්.ඩී විමලසූරියට ද ඉව වැටී තිබුණි. මහින්ද දේශප්‍රියද අයියාගේ මෙම කටයුතුවලට නොමසුරුව දායක වී සිටි අතර, විප්ලවීය අදහස් ශිෂ්‍යන් අතර ගෙනයාමට ඔහු විශාල මෙහෙවරක නිරත විය. මේ අතරතුර උසස් පෙළ විභාගයට මහුණ දුන් මහින්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරී පත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ කලා කවයෙහි සාමාජිකයකු වූ ඔහු කලා නිර්මාණ පිළිබඳව විචාර හා විවේචන ඉදිරිපත් කළ අයකු විය. පාසල් දිවියට සමු දුන්නද සිය දේශපාලන කටයුතු විශ්වවිද්‍යාලය තුළ ද හේ අඛණ්ඩව සිදු කරගෙන ගියේය. 

භෞතික විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධිය හිමි කරගත් හෙතෙම 1977 දී සිය මව්පිය අඩිපාරේ යමින් ගුරු වෘත්තීයට පිවිසියේය. ඒ ඔහු අකුරු කිය වූ ධර්මාශෝක විද්‍යාලයේ ගණිතය සහ රසායන විද්‍යාව ගුරුවරයා ලෙසය. වසර පහක් පමණ ගුරු සේවයේ නිරත වූ හෙතෙම 1982 දී පරිපාලන විභාගයට මුහුණ දෙන්නේය. ඉන් ලංකාවේන්ම දෙවන ස්ථානය දිනාගන්නා මහින්ද දේශප්‍රිය ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳුණේය. පසුව 1983 ජූලි 02 වැනි දින මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස පත්විය.

1998 දී යාපනය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා වශයෙන් පත් වූ හෙතෙම 2006 දී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වශයෙන් පත් විය. 2010 දී අතිරේක කොමසාරිස් වශයෙන් කටයුතු කළ හෙතෙම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ එතෙක් පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමසාරිස් යන තනතුර අහෝසි වී මත් සමඟ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත් විය. ඒ 2015 නොවැම්බර් මස 13 වන දින මැතිවරණ කොමිෂන් සභාව ආරම්භ වීමත් සමඟය. මැතිවරණ කොමිෂන් සභාවේ පළමු සභාපතිවරයා වශයෙන් පත් වූ මහින්ද දේශප්‍රිය එම තනතුරේ කටයුතු කළ පළමු සහ එකම පුද්ගලයා ද වේ.

හෙතෙම 2015 ජනාධිපතිවරණය පැවති කාල සීමාවේදී “කකුලට නොව හිසට වෙඩි තබන්න” යනුවෙන් කරන ලද ප්‍රකාශය නිසාවෙන් අතිශය ජනප්‍රසාදයට පත් විය. සම්ප්‍රදායික රාජ්‍ය නිලධාරියකු වනවා වෙනුවට වෙනස් භූමිකාවකින් රඟදැක් වූ මෙතෙම සරල සිනහමුසු මහුණින් යුතුව සියලු දෙනා සමඟ සිය රාජකාරිය ඉටු කරන්නට සමත් විය. 2015 දී Lanka Market Digest සම්මාන උළෙලෙහි වසරේ ලාංකිකයා (Sri Lankan of the Year) යන ගෞරව සම්මානයෙන් පුද ලැබූ ඔහු, 2016 දී දෙරණ රූපවාහිනී නාලිකාවෙහි වසරේ රාජ්‍ය සේවකයාට (Public Servant of the Year) පිදෙන ගෞරව සම්මානයත් පුදනු ලැබීය.

වසර 37 ක් අඛණ්ඩව අවංකව සිය රාජකාරිය දේවකාරිය ලෙස හමාර කර විශ්‍රාම යන මහින්ද දේශප්‍රිය චිරංජයතු යයි අප පතන්නේ රාජකාරිය දේවකාරියක් සේ කරන රාජ්‍ය සේවකයන් විරල මෙකල්හි ඔහුගේ පැවැත්ම ගැන තුටු සිතිනි.

Comments