හතුරු අලි මිතුරු කරගන්න ඔබේ උදව් අපිට ඕනේ! | සිළුමිණ

හතුරු අලි මිතුරු කරගන්න ඔබේ උදව් අපිට ඕනේ!

වැවට එන අලි බලන්න, හේන්වල ගස් උඩ තව පැල් ටිකක් හදන්න පුළුවන්. කැමති අයට වැවේ ඔරු පදින්න පුළුවන්. කොටින්ම, ඡ්තඥනඩචදබ ඕචඵඥඤ ඊධභපඪඵථ... ගමේ ඇති කරන්න පුළුවන්.

අපිට ඕනේ, ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්නට අලි යොදා ගන්නේ කොහොමද, කියන ප්‍රශ්නයට, ගමේ තරුණ ප්‍රජාවගෙන් එන අලුත් යෝජනා.  ඔබ දෙන විසඳුම්, ඔබේ ගම දියුණු කරන හැරවුම් ලක්ෂ්‍යයක් වේවි.

බඩඉරිඟු, උක්, කෙසෙල්, කොමඩු පැහෙන සුවඳට අලි කොහොමත් ගං වදිනවා. ඒ වෙනුවට, කුරුඳු, ගම්මිරිස්, කහ, ඉඟුරු, දෙහි, කෝමාරිකා, දොඩම් වවන්න. අලි එන්නෙත් නෑ. ආදායමත් හොඳයි.

 

හේන කුඹුර එක්ක ඒ ජීවිත ගලා ගියේ, නගරෙ අපිට කවදාවත් හිතා ගන්න බැරි තරමේ සරල කමකුත් එක්ක.

එහෙම වුණාය කියලා, නගරෙ අපිට තරම් සැනසිලිදායක ජීවිතයක් මේ වියළි කලාපෙ උදවියට මතක ඇති කාලෙකින් උදා වෙලා නැහැ. හැම දවසක්ම වගේ ගෙවිලා ගියේ, ගම් වැදුණු අලි එක්ක බැඳුණු, මහා කඨෝර අත්දැකීම් ගොඩකුත් එක්ක.

රෑ නිදි වරා ගෙන රැක ගත්තු බව බෝග ටික විතරක් නෙවෙයි, හිතක් පපුවක් නැති ගාණට අහිංසක   ජීවිතත්  එහෙම පිටින්ම මේ අලි පාගලා පොඩිපට්ටම් කර දමපු වාර අනන්තයි අප්‍රමාණයි.

කිරි වැදුණු බඩ ඉරිඟු යාය... දහ අතේ ණය වෙලා හදාගත්තු කෙසෙල් ටික... එළවළු ටික... රැයක් එළි වෙද්දි මහ පොළොවට සමතලා කර දැමුවා විතරක් නෙවෙයි, කටු මැටි බිත්ති කඩා දමලා, අටු කොටු පෙරළලා, හත් අට මාසයක් පොඩි උන්ගෙ බඩගින්න නිවන්න තිබුණු වී ටිකත් එක හුස්මට බීලා ගියේ, වෛරයක් පිරිමහින ගාණට.

මේ සේරම දේවල් ආලපාළු කළේ බඩගින්න උහුලා ගන්න බැරි නිසා නේද කියලා හිත හදා ගන්න තිබුණා. ඒත්, මේ කැලෑ ගංවල ජීවිතේ ගැට ගහගන්න අනේක දුක්  විඳීන, අහිංසක මිනිස්සු පොළවේ ගහලා මරා දැම්මෙ මොන හතුරු කමකටද... පවුලක් නඩත්තු කරපු එහෙව් අම්මා අප්පච්චිලා විතරක් නෙවෙයි, හය හතර නොදන්නා කිරි දරුවෝ පවා, මේ අලි පොළොවෙ ගහලා මරා දැම්මේ  මොන වෛරයකටද...කියලා හිතනකොට, අලියා එක්ක එන තරහව අසාධාරණයි කියන්න, කාටවත් බැහැ.

ඒත්, දෙපැත්තක්ම විනාශ කර දමන මේ අලි මිනිස් ගැටුම... එහෙමත් නැතිනම් අලි-මිනිස් වෛරය... තව කොයි තරම් නම් කාලයක් මේ විදියට දිගින් දිගට ඇදිලා යයිද...

අලියා ගහලා අවුරුද්දකට මිනිස් ජීවිත 100ක් විතර රටට අහිමි වෙද්දී, එක අවුරුද්දකට අලිත් 400ක් විතර, මිනිස්සු අතින් මිය පරලොව යනවා කියන එකයි, ඇත්ත කතාව.

අවුරුදු ගණනාවක් එකම විදියට සිදුවෙමින් පවතින මේ ඛේදවාචකය නවතන්න දැන්වත් අපිට බැරිද.... අලි මිනිස් සහජීවනයක් ඇති කරන්න,

එහෙමත් නැතිනම්, අලියා ගමට ආශිර්වාදයක්... ආර්ථික සම්පතක් කර ගන්න ක්‍රමවේදයක් ගැන හිතන්න අපිට බැරිද.. 

මොකද බැරි... පුළුවන් !

ESCAMP... හෙවත්, පරිසර පද්ධති සංරක්ෂණ හා කළමණාකරණ ව්‍යාපෘතිය, මේ  අලි- මිනිස් වෛරය, සහජීවනයක් බවට පත්කරන්නට හැකි වැඩසටහන් ගණනාවක් මේ මොහොත වන විටත් නියමු මට්ටමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ, නපුරු වුණේ අලි ද... නොඑසේ නම් මිනිසුන් දැයි... සොයමින් නාස්ති කර දමන්නට  කාලයක්, රටක් හැටියට අපිට තවත් ඉතිරිව නැති නිසා. 

අලි ගෙවල් කඩන්නෙ, බිත්ති පෙරළන්නේ වී පුසුඹට. කෑම සුවඳට. අලිමංකඩවල්වලට කිට්ටුව මිනිස්සු ගෙවල් හදද්දි දෙපාරක් නොහිතුවට, ඒ හේන්වල පැහෙන බවබෝගවල  සුවඳ, හුඟක් ඈතට යන කල් අලියගේ ඉවට දැනෙනවා.

චිම්පන්සියා... ඔරන්ඔටන්... සහ ඩොල්ෆින්ට පස්සේ, මේ ලෝකේ බුද්ධිමත්ම සත්වයා ලෙස ගණන් ගැනෙන්නේ, අලියා.

බව බෝග ගිල දමන්න හේන්වලට පනිද්දී, මිනිස්සු ටයර් පුච්චලා ඇඟට දාද්දී, ඒ ටයර් පිටේ ඇඟේ ඇලවිලා පිච්චෙනකොට ඇති වෙන වේදනාව... උල් ඇණ ගැසූ ලෑලිවලින් දමලා ගහද්දී...'හක්ක පටස්' දමලා මූණ කට  තුවාල කරද්දී... ගින්දර පන්දම්වලින් දමලා ගහද්දී... දැනෙන වේදනාව අලියා හොඳ හැටි මතක තියා ගන්නවා, ඒ වේදනාව වගේම, ඒවා කරන මිනිසුන්ගේ මූණවලුත් අලියට හොඳීන් මතක හිටිනවා.

ඉතින්, අලියගේ මූණට මුණ නොගැසී, ඌ තරහා කර නොගෙන... හිංසා නොකර... කොහොමද මේ ගංවදින එක නතර කරන්නේ.

අලි කැලේට කොටු කරනවා වෙනුවට, අලින්ගෙන් ගම කොටු කර තබන, 'ප්‍රජා විදුලි වැට' එක සංකල්පයක්. 

 ආණ්ඩුවෙන් හැමදේම කරලා දෙන කල් බලා නොඉඳ, ESCAMP ව්‍යාපෘතියේ මැදිහත්වීමෙන් ලබා දෙන, ගම්මුන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ යුතු, ගම වට කර බඳීන මේ ප්‍රජා වැටේ ඉදිකිරීම් කටයුතු විතරක් නෙවෙයි, නඩත්තුව සහ රැක බලා ගැනීමත් ගමේ උදවියට පැවරෙන අනිවාර්ය වගකීමක්.        

එවිට විදුලි වැටේ කම්බි කපන්න, බැටරි ගලවාගෙන යන්න හෝ සෝලා පද්ධතිය සොරකම් කරන්නට, පිටස්තරයන්ට ගමට ඇතුළු වන්නට බැහැ.

අනික තමයි, 'කුඹුරු වැට' . අස්වනු කපන තෙක් කුඹුරු ආරක්ෂා කරන්න, කුඹුර වටේ බඳීන මේ විදුලි වැට තාවකාලික එකක්. අස්වනු නෙළුවට පස්සේ, වැට අයින් කරනවා. ඉතුරු වන දෑ, අලි ඇවිත් කාලා යනවා. කාලයක් යද්දී අලියා දන්නවා, වැඩ ඉවර වුණාම මිනිස්සු තමන්ට කුඹුර විවෘත කරන බව. ටිකෙන් ටික උගේ තරහව...වෛරය නිවිලා යනවා.අලියා පුරුදු වෙනවා, කුඹුරු වැඩ ඉවර වෙනකල් ඉවසාගෙන බලාගෙන ඉන්න.

ඒත්, උක්... කෙසෙල්... එළවළු වගේ දේ බේරාගන්නේ කොහොමද. මොකක්ද, ඒකට තිබෙන විකල්පය.

අඹ, පොල්, කෙසෙල්, බඩ ඉරිඟු, උක් වගේ, රසවත් ආහාරවලට අලි බොහොම කැමැතියි. මේවා පැහෙන සුවඳට, විදුලි වැට කඩා ගෙන හරි උන් ගම් වදිනවා. මේ වෙනුවට, වැඩි ආර්ථික වටිනාකමක් ඇති තල, කුරුඳු, ගම්මිරිස්, කහ, ඉඟුරු, දෙහි කෝමාරිකා, දොඩම්... වගේ වගාවන්ට යොමු වෙන්න පුළුවන් නම්, මේ ප්‍රශ්නයත් විසඳෙනවා.    

මොකද මේ එකක්වත්, අලි කැමැති ආහාර නෙවෙයි. ඒ වගේම මේවා, ආර්ථික වශයෙන් හොඳ ඉල්ලුමක් ඇති, වියළි කලාපයේ සාර්ථකව වැවෙන හොඳ වෙළෙඳ  බෝග.

ඒ වගේමයි, ලෝක වෙළෙඳපොළේ පවා හොඳ ඉල්ලුමක් ඇති පිරිසුදු මී පැණි නිෂ්පාදනයත්.

මේ වියළි කලාපයේ හැම ගෙදරකම පාහේ මී මැසි පාලනය ඉතා හොඳීන් කළ හැකියි. ඒ වගේම විශාල ආදායමකුත් ලබා ගත හැකි මාර්ගයක්. මී මැස්සා, අලියාට කරදරයක්. කණේ... හොඬවැලේ රිංගන නිසා අලි, මී මැස්සො ඉන්න තැන්වල ගැවසෙන්නේ නැහැ.

මේ වගේ උපායශීලී ක්‍රමවේද නිසා,මූණට මුණ ගැසී අලියත් එක්ක ගැටුම් ඇති කර ගැනීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ.

එතකොට,අලි කොහොමද ගමේ ආර්ථිකයට ශක්තියක් කරගන්නේ... එහෙමත් නැතිනම්, ඡ්තඥනඩචදබ ඕචඵඥඤ ඊධභපඪඵථ... ගමේ ඇති කරන්නෙ කොහොමද...

හැම ගමක් ඇතුළෙම වැවක් තිබෙනවා. හැමදාම හැන්දෑවට ඒ වැව් තාවුල්ලට වතුර බොන්න අලි එන්නේ රංචු පිටින්. මේ අලි බලන්න කැමැති සංචාරකයන් වෙනුවෙන්, ගමේ තිබෙන අට්ටාලවලට අමතරව ගස් උඩ... හේන්වල පැල් වගේ, තව කිහිපයක් වැඩිපුර හදන්න පුළුවන්. සංචාරකයන්ට කියලා, අමුතුවෙන් ගමට පාරවල් හදන්න ඕනේ නැහැ. ගමේ තියෙන විදියටයි, ඒ අය කැමැති වෙන්න ඕනේ. එහෙම සංචාරකයන් අතළොස්සක් ආවත් ගමට ශක්තියක් මිස, ගම නාස්ති වෙන්නේ නැහැ.

එහෙම එන සංචාරකයන්ට ගමේ ගෙවල්වල හදන වන්ඩුවක්... පැණි ආප්පයක්... කාලා, කුරුම්බයක්, බෙලිමල් කහට ටිකක් බොන්න පුරුදු කරන්න පුළුවන්. මඤ්ඤොක්කා ටිකක්, අල බතල ටිකක් තම්බලා, අලෙවි කරන්න පුළුවන්. ගමේ හදන මී පැණි ටික වුණත්, මේ සංචාරකයන්ට අලෙවි කරන්න පුළුවන්. සංචාරකයන්ගේ ආරක්ෂාවට ගමේ තරුණ පිරිසට ම ඉදිරිපත් වෙන්නත් පුළුවන්.

මේ ක්‍රමවේදය තුළ, පිටින් ඇවිත් ටුවරිසම් කරන්න නෙවෙයි, ගම ඇතුළේ අලියා පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ හැකියි.

ඒ වගේම,දවල් කාලේ අලි බලන්න බැරි වුණත්, ඔරු පාරු ටිකක් දාලා, වැවේ ඔරු පදින්න සංචාරකයන්ට අවස්ථාව හදන ක්‍රමවේදයකට වුණත්  යන්න පුළුවන්. 

මේ හැමදේටම ගමේ සමිතියක් පිහිටුවා ගැනීමයි, වැදගත් ම දේ. ඒ සමිතිය හරහායි, මේ සියල්ල ක්‍රියාත්මක විය යුතු වන්නේ. එවිට පිටින් ඇවිත් කිසිවකුට ගමේ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නට අවස්ථාවක් නැහැ. ගමේ ස්වභාව සෞන්දර්යය රැකගෙන, ගම විනාශ නොකර, තියෙන හැටියට කරන දේ තුළයි, වැඩි වටිනාකමක් තිබෙන්නේ.

කොහොම වුණත්, මේ සියලු යෝජනා අතරේ, අලි ගැටුම්වලට මුහුණ දෙන  වියළි කලාපෙ ගම්මානවල තරුණ ප්‍රජාවටත් විශේෂ රාජකාරියක් හිමිවෙනවා කියලයි, ESCAMP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, අනුර සතුරුසිංහ මහතා පවසන්නේ.

"අපි ක්‍රියාත්මක කරන සහ යෝජනා කරන ඔය වැඩසටහන්වලට අමතරව මේ ගම්මානවල ජීවත් වන තරුණ ප්‍රජාවට පුළුවන්, අලි මිනිස් සහජීවනය එහෙමත් නැත්නම්, අලියා ගමේ ආර්ථිකයට ශක්තියක් ලෙස යොදා ගන්නේ කෙසේද කියන කාරණාවට අදාළ අලුත් යෝජනා අපිට ඉදිරිපත් කරන්න.    

මොකද, ක්‍රියාත්මක කරගන්න අපහසු, එහෙත් සාර්ථක විය හැකි විසඳුම් ඔවුන් ළඟ තිබෙන්නට පුළුවන්. මේ ව්‍යාපෘතිය හරහා අපිට පුළුවන්, ඒ දේවල් ක්‍රියාත්මක කරන්න උපරිම සහාය ලබා දෙන්න.

දුගී දුප්පත්කම සහ අලි මිනිස් ගැටුම කියන කාරණා දෙකෙන් ම මේ බොහෝ ගම්මාන දැන් හෙම්බත් වෙලා සිටින්නේ.අපිටත් අවශ්‍ය, අලියා තුළින්ම මේ සඳහා ගමට විසඳුමක් හොයා දෙන්නයි. ආර්ථික වාසියක් තියෙනවා නම්,හානියකුත් නැත්නම්, මිනිස්සු අලි එළවන්න කියන්නේ නැහැ. අලි තවදුරටත් මිනිසුන්ගේ සතුරෝ නෙවෙයි. අලි ගමට සම්පතක්. ගම්මුන්ගේ ශ්‍රමය,  දායකත්වය සහ යෝජනා ලැබෙනවා නම් , අපි ලෑස්තියි උදව් කරන්න..."

අවුරුද්දකට රුපියල් මිලියන 200ක් විතර පුළුස්සා දමන අලි වෙඩි වැනි සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස්,  ESCAMP ව්‍යාපෘතිය මේ වන විට ධ්ඊධ් හෙවත්, කාර්මික තාක්ෂණික ආයතනය සමග එක්ව  ඡ්තඥනඩචදබ ඥචපතර ඹචපදඪදඨ ඵරඵබඥථ එකක් හදා තිබෙනවා. එය,ගමේ අයට අලියා ආ බව පහසුවෙන් දැනුම් දෙන්න පුළුවන්, සයිරන් සහ මොබයිල් ඇලර්ට් සිස්ටම් එකක්.

නවීන තාක්ෂණය සහ තරුණ ජවය එක් වුණොත්, නගරෙට වගේම, ගමටත් මොනවද දිනන්න බැරි.

ඉතින්, මේ උදා වෙලා තිබෙන්නේ ඒ අවස්ථාව. 

අමතක කරන්න එපා!

මේ, අලි තිස් හතළිස් දාහක් හිටපු රටක්...රටෙන් බාගෙකට කිට්ටුව තිබුණෙ කැලෑව... ඒත් හැමදේම විනාශ වෙලා. යන්තම් මුළු රටටම අලි 6,000ක් විතරක් ඉතිරිව, කැලෑව 29%ක් වෙන කල් අහිමි වෙලා ඉන්න මේ මොහොත, අලි මිනිස් ගැටුමට මැදි වෙලා ඉන්න ඔබට වගේම, රටටත් තීරණාත්මකයි.

අලි මිනිස් සහජීවනය ඇති කිරීමෙහිලා, වියළි කලාපෙ ගම්මානවල  ජීවත්වන ඔබේ ප්‍රතිචාරය අපිට වැදගත් වන්නේ, ඒ නිසා. ඔබේ යෝජනාව අපිට වැදගත් වන්නේ ඒ නිසා.

 

විශේෂ ස්තූතිය: 

ESCAMP ව්‍යාපෘතියේ,

ධම්මික පෑබොටුව මහතාට

මේ තමයි, ඔබ අපට ලිවිය යුතු ලිපිනය.

ESCAMP ව්‍යාපෘති අධ්‍යක්ෂ,

අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.

[email protected]

Comments