තරුණ අස­හ­න­යට කදිම විස­ඳුම අඩු ආදා­ය­ම්ලාභී තරුණ අයට රැකියා ලක්ෂයක් | සිළුමිණ

තරුණ අස­හ­න­යට කදිම විස­ඳුම අඩු ආදා­ය­ම්ලාභී තරුණ අයට රැකියා ලක්ෂයක්

ලක්ෂ හයහමාරක් ඉල්ලුම් කළා දේශපාලනය නැතිව දුප්පත්ම අය තෝරාගත්තා

ජනාධිපති බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික)

 

නන්ද මල්ලවාරච්චි මුලින්ම 35,000කට පත්වීම් ලබා දෙයි

ඉතිරි අයටත් ළඟදීම පත්වීම්

තරුණ තරුණියන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වලටත් ලොකු පිළිසරණක් ලැබෙනවා

 

මෙරට ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ අසමත් දරිද්‍රතාවෙන් අන්තයටම පත්ව සිටින පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පත්වීම් 35000ක් ලබාදීම දැන් රජය ආරම්භ කර ඇත.

 

අපේ රටේ 1971 හා 1988-89 වකවානුවේදී තරුණ කැරලි හා තරුණ නැගිටීම් දෙකක් සිදුවිය. මේ පිළිබඳව තරුණ අසහනය පිළිබඳ කොමිෂන් සභා මඟින් පවා කරුණු අධ්‍යයනය කළේය. ඒ අනුව ප්‍රධාන ලෙස මෙම කැරලිවලට ප්‍රධාන හේතුව බවට නිගමනය වූයේ විරැකියාව, සමාජ නොපිළිගැනීම නිසා ඇතිවූ තරුණ අසහනයයි. විශේෂයෙන් අඩු ආදායම්ලාභී අසරණ තරුණ තරුණියන්ට තම සිතැඟි ඉටුකර ගැනීමට ක්‍රමයක් නොමැති වීමත් ගමේත් රටේත් පිළිගැනීමක් නොතිබීමත් මූල්‍ය ශක්තියක් නොතිබීමත් තරුණ අසහනයට තවත් ප්‍රධාන හේතු බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.

ඒ සමඟම මේ දුප්පත් තරුණ පිරිසට ඉදිරියට යාමට අතහිත දීමට වෘත්තිය පුහුණුව ලබාදීමට පසුගිය රජයයන් හෝ පෞද්ගලික ආයතන ඉදිරිපත් නොවීමත් නිසා පසුගිය වකවානුවේ තරුණ අසහනය වැඩිවෙමින් පැවැතිණ.

පසුගිය රජයන් ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන පවා පිහිටුවා තරුණ අසහනයට විවිධ පැලැස්තර දැම්මත් ඉන් සිදුවූයේ තවත් නිලධාරිවාදය මඟින් ගිය උදුම්මාගත් රජයෙන් පඩි ලබන නිලධාරින් පිරිසක් පමණක් බිහිවීම බවද තරුණ නායකයෝ පවසති.

මේ තරුණ අසහන ගැටලුව පිළිබඳ අවධානය යොමුකළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්ව අපේ ර‍ටේ තරුණ අසහනය අඩු කිරීමට කදිම වැඩපිළිවෙළක් ආරම්භ කළහ.

ඒ අනුව මෙරට ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති දුප්පත් තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තිය පුහුණුවක් ලබාදී ඔවුන්ට රජයේ විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියාවක් ලබාදීමට රජය කටයුතු කරයි.

ජනපතිගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කර ගනිමින් ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභි පවුල්වල අඩු අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් ලබාදීම පිණිස මෙම වැඩපිළිවෙළ යටතේ තරුණයන් ලක්ෂයකට රැකියා ලබාදීම දැන් අරඹා තිබේ.

මෙම අඩු ආදායම්ලාභි රැකියා ලක්ෂය ලබාදීම සඳහා සුදුස්සන් තේරීමේදී සෑම ග්‍රාම නිලධාරි වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම කොටස තෝරා ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට නියෝග කර තිබිණි.

ඒ උපදෙස් අනුවම යමින් සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ පුහුණු වන්නන් ලෙස එම තරුණ පිරිස බඳවා ගැනීම පසුගිය 29 වැනිදා සිට ආරම්භ විය. ඒ වැඩපිළිවෙළ යටතේ දැනටමත් 34818කට පත්වීම් ලබා දී තිබේ.

පත්වීම්ලාභීන්ට ඔවුන්ගේ අභිමතය හා නිපුණතාව අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස හයක විධිමත් පුහුණුවක් ලබාදෙන බව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ ජනාධිපති බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි පවසයි.

මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන පරමාර්ථය 'සෞභාග්‍ය දැක්මේ' දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම බවත් එම සංකල්පය යටතේ එක් තිරසර හා ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස අඩු ආදායම්ලාභි පවුල්වල සිටින අපොස සාමාන්‍ය පෙළ අසමත් අයට ඔවුන් කැමැති වෘත්තිය පුහුණුවක් ලබා දී ඊට අදාළ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබා දෙන බවත් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි පවසයි.

මෙම වැඩපිළිවෙළට ඉල්ලුම්පත් ලක්ෂ හයහමාරක් ලැබී තිබිණි. ඒ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් හා ජනාධිපති කාර්යාලීය නිලධාරින් විසින් සලකා බලනු ලැබිණි. එම සමහර අවස්ථාවලදී එක් එක් ප්‍රදේශවල මහා සංඝරත්නයේ ගම්වල රාජ්‍ය නිලධාරින්ගේ පූර්ණ සහාය ලබා ගත්හ.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මෙම පුහුණු වැඩසටහන බාරව සිටී. පුහුණුව සාර්ථකව නිමකරන අභ්‍යාසලාභීන්ට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් පිරිනැමේ. පුහුණු කාලය ඇතුළත අභ්‍යාසලාභියකුට රුපියල් 22500ක මාසික දීමනාවක් ගෙවනු ලබන බවත් නන්ද මල්ලවආරච්චි මහතා කියයි.

මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි.

'සෞභාග්‍යයේ දැක්ම' ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් 'දිළිදු බවින් තොර ශ්‍රී ලංකාවක්' බිහි කිරීමේ සංකල්පය අනුව සැලැසුම් කර ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් ක්‍රියාත්මක කරනු ලැබූවකි.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විසමතා හැකිතරම් අවම කිරීම සිදුකර ඇත. කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැංවීම ඉන් අපේක්ෂා කෙරේ.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි මස 20 වැනිදා ඇරැඹිණි. භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කර ඉල්ලුම්පත් කැඳවීම ඇරැඹිණි. සියලු අයදුම්පත් මුලදීම තම බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මඟින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් දිස්ත්‍රික් ලේකම් වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරීක්ෂණවලට කැඳවා අභ්‍යාසලාභීහු තෝරාගනු ලැබූ බවත් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස තෝරාගත් කිසිවෙකු හෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයෝ වෙති. එය පිළිබඳව අදාළ බලධාරිහු සියලු තොරතුරු සොයා ගැනීමට කටයුතු කළහ.

මෙම අභ්‍යාස ලාභීන්ට හය මාසික පුහුණුව ලැබෙන බවත් ඉන් පසුව PL-01 ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, සංස්ථා හා රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටුකිරීම සඳහා යොමු කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

බඳවාගනු ලබන පිණිස ප්‍රධාන ලෙසම රජයේ ගොවිපළවල සහ අත්හැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එළවළු සහ පලතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වනජීවි වන සංරක්ෂණ වාරිමාර්ග ගොවිජන සේවා කෘෂි සේවා මධ්‍යස්ථන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවනු ඇත. මින් තරුණ තරුණියන් 27000ක් පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවන බවත් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා පවසයි.

අයදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ පත්වීම් දීම සිදු කළහ.

තමා පදිංචි ප්‍රදේශ තුළ හෝ ආයතන ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලදී මෙම පුහුණු කිරීම් සිදු කරනු ලැබේ. අදාළ පුහුණුවෙන් පසු තම බලප්‍රදේශය හෝ ආයතන ප්‍රදේශයක රැකියාවල නිරත වීමට පත්වීම් ලබා දී තිබේ. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසුව මේ අයට රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන බව ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි. මේ අලුත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පත්වීම් ලැබුණු තරුණ තරුණියන් පවසන්නේ අඩු ආදායම් ලාභී ඔවුන්ට මෙවැනි රජයේ රැකියාවල් ලැබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් රජයටත් ස්තුතිවන්ත වන බවයි.

මේ පිළිබඳව කරුණු දක්වන ජල්තර හංවැල්ල පදිංචි ඉමේෂ් ඉරංග මහතා පැවසුවේ තම පියාත් නැතිව තම මව තමාව වසර ගණනාවක් අමාරුවෙන් ජීවත් කරවූ බවයි.

“අපේ පවුලේ 7 දෙනෙක් ඉන්නවා. ඒ කිසිකෙනෙකුට රජයේ රැකියා නැහැ. අඩු අධ්‍යාපනික සුදුසුකම් තිබුණත් මට මේ වැඩපිළිවෙළ යටතේ විශ්‍රාම වැටුප් තිබෙන රජයේ රැකියාවක් ලැබීම පිළිබඳව ජනාධිපතිතුමාටත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා.“ ඉමේෂ් පවසයි.

තරුණයන් පමණක් නොව තරුණියෝ ද මේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ රජයේ රැකියා ලැබූහ. එලෙස මේ යටතේ රැකියාවක් ලැබුණු කහතුඩුව දෙහිගහවත්ත පදිංචි මලීෂා මධුභාෂිනී විජේනායක මෙනෙවිය පවසන්නේ මේ සුවිශේෂී රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ තමන්ට ලැබුණු මේ අවස්ථාව ඉතා අගය කරන බවයි.

“අපේ අධ්‍යාපනික සුදුසුකම් අනුව රජයේ රැකියාවක් ලැබේවි යැයි කවදාවත් හිතුවේ නැහැ. එවන් තත්ත්වයක් යටතේ මෙවැනි අවස්ථාවක් ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වනවා.“

“අපි වැනි තරුණියන්ගෙන් රටටත් ප්‍රදේශයටත් හොඳ ඵලදායිත්වයක් ලබාදීමට මේ මගින් අපට අවස්ථාව ලැබෙනවා. මේ වැඩසටහනේ වැඩිම වටිනාකම වන්නේ ඒ පුහුණුව හා රැකියා අවස්ථා අප පදිංචි ප්‍රදේශය තුළම අපට ලබාදීමයි. එවිට අප වැනි තරුණියන්ට මවුපිය සෙවනේම සිට රටට සේවය කරන්න පුළුවන්.“ මලීෂා පවසන්නීය.

කරන්දෙනිය හතේ කණුවේ පදිංචි චමිල් උදයකුමාර දරුවන් 5 ක පවුලක බර කරට ගත් රෝගාබාධ වලින් යුත් වැඩිහිටියන්ගෙන් යුත් පවුලක ප්‍රමුඛ සාමාජිකයෙකි. ඔහුටත් මේ වැඩපිළිවෙළ යටතේ රැකියාවක් ලැබී ඇත.

“අපේ පවුලේ ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න මේ රැකියාව ලබාදීම ලොකු පිටුබලයක්. අඩු අධ්‍යාපනික සුදුසුකම් තිබෙන නිසා අපට විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය රැකියාවක් ලබාගන්න හැකිවනු ඇතැයි කවදාවත් සිතුවේ නැහැ. නමුත් එය ඉටුවී තිබෙනවා. ඒ පිළිබඳව මෙරට තරුණ පරපුර රජයට තම කෘතඥතාව පිරිනමනවා.“ ඔහු පවසයි.

හෝමාගම හබරකඩ පැතුම් මාවතේ පදිංචි තරිඳු උදයංග පවසන්නේ මේ වැඩපිළිවෙළ නිසා අපේ රටේ තරුණ අසහනයට විසඳුමක් ලැබෙන බවයි. එමෙන්ම මෙමඟින් මෙතෙක් කල් නොතිබුණු සමාජ පිළිගැනීමක් තමන්ට ලැබෙන බවත් ඔහු පවසයි.

“මට වයස අවුරුදු තුන හතරකදී මගේ තාත්තා නැතිවුණා. අම්මා තමයි මාව අවුරුදු 28 ක්ම බලා ගත්තේ. රැකියාවක් නැති මාව අම්මටත් බරක් වෙලා තිබුණා. ඒක වෙනස් කරමින් මට රජයේ රැකියාවක් ලැබුණු නිසා දැන් මට පුළුවන් අම්මටත් සලකගෙන ඉන්න.“

“මේ රැකියා ලැබුණු තරුණ තරුණියන් රැසක් පවසන්නේ මෙවැනි රැකියා ලැබීම නිසා ඒ ඒ තරුණ තරුණියන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ද සහනයක් ලැබෙන බවයි.“

මෙම රැකියා ලක්ෂය ලබාදීමේ මුල් අදියරේ පත්වීම් ප්‍රදානය පිළිබඳව අදහස් දක්වන පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ආචාර්ය සරත් වීරසේකර පවසන්නේ මේ යටතේ පත්වීම් ලබන තරුණ තරුණියන් රට ගැන හැඟීමකින් රටට ආදරයෙන් කටයුතු කළ යුතු බවයි.

“රට සමෘද්ධිමත් කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට අලුතින් පත්වීම් ලැබූ තරුණ තරුණියන් සහය දිය යුතුයි. අපේ තරුණ තරුණියන්ගේ දැනුම හා ශ්‍රමය මෙරට සංවර්ධනයට යොදා ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් මෙ‍ෙතක් තිබුණෙ නැහැ.

නමුත් සෞභාග්‍යයේ දැක්මට අයත් මේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ මගින් තරුණ ශ්‍රම දායකත්වය රටේ සංවර්ධනය සඳහා යොදා ගනිමින් මෙන්ම ඔවුන්ගේ දිළිඳුකමද තුරන් කරමින් කටයුතු කරනවා.“ යැයිද ඇමතිවරයා පවසයි.

මේ පිළිබඳ කරුණු දක්වන මහවැලි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා පවසන්නේ සෑම පවුලක්ම සතුටින් තැබීම අරමුණු කරගෙන ආරම්භ වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම වැඩපිළිවෙළ යටතේ රටේ තරුණ පිරිසට ආත්ම ගරුත්වයකින් යුක්තව හා ආර්ථික ශක්තියක් ඇතිව රටට සේවය කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ගාලුපාර පැරෑලිය පදිංචි අරුණ ප්‍රියන්ත පවසන්නේ මේ වැඩපිළිවෙළ මගින් සුදුසුම අයට සුදුසුම ලෙස රැකියා ලැබී ඇති බවයි.

“මේක අපේ රැකියා විරහිත දුප්පත් තරුණ තරුණියන්ට ලොකු සහනයක්. පහුගිය වකවානුවල දකුණේ තරුණ තරුණියන් අමාරුවෙන් ජීවත් වුවත් පසුගිය රජයේ මැති ඇමැතිවරු ඇහැක් කටක් ඇරලා බැලුවෙ නැහැ. ඒත් වත්මන් රජය මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා.“ අරුණ පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන දරුවන් තිදෙනෙකුගේ මවක වන හික්කඩුව තෙල්වත්ත පදිංචි කල්හාරි සකුන්තලා පවසන්නේ සැමියා නොමැතිව දරු තිදෙනෙකුගේ බර කරට ගෙන දුක් කම්කටොළු මධ්‍යයේ ජීවත් වූ තමාගේ ජීවන ගමනට මේ රැකියාව ලොකු ශක්තියක් සවියක් වූ බවයි.

“අපි පහුගිය දවස්වල ආර්ථික ප්‍රශ්න රැසක් මතයි ජීවත් වුණේ. මෙවැනි රජයේ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒක මට පමණක් නොවෙයි මගේ දරුවන් තිදෙනාගේත් අනාගතයට ලොකු පිළිසරණක් බව කිව යුතුයි.“ කල්හාරි පවසන්නීය.

Comments