රෝස කැලෙන් ඇහින්දෝ | සිළුමිණ

රෝස කැලෙන් ඇහින්දෝ

මෙවර කෙටිකතාව ඉදිරිපත් කරන්නේ සම්මානනීය ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේය. කොළඹ 12 උසාවිසාවියේ උපන් අනුරසිරි නිර්මාණකරණයට පිවිසෙන්නේ පාසල් වියේ සිටමය.

ඔහු විසින් ලියන ලද මැරින්ඩ්රයිව් කෙටිකතා සංග්‍රහයට මෙවර රජත පුත්තක සම්මානය හිමි විය. එමෙන්ම අනුරසිරි විසින් ලියන ලද “සිංහබාහු එනකන්“, කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සම්මානය, විද‍ෝදය සම්මානය හා ගොඩගේ සම්මානය හිමි විය. එමෙන්ම දිමියා කෙටිකතා සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මානය හිමි වූ අතර කොළඹ ළමයි යොවුන් නවකතාවට රාජ්‍ය සම්මානයද, රන්සිරිමල් යොවුන් නවකතාව සඳහා ගොඩගේ සම්මානය ද හිමිවිය.

කළුවරයි පුරහඳ හා බැඳමාරිය යන නවකතා දෙක ස්වර්ණ පුස්තක අවසන් වට නියෝජනය කරන ලදි. කලක් රූපවාහිනි සංස්ථාවේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අනුරසිරි හෙට්ටිගේ වර්තමානයේ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.

වෑන් එකෙන් බැස්ස පවිත්‍රා ගේ දිහාට දුවගෙන ආවා. අතක එල්ලෙන වතුර බෝතලය දුවන වේගෙත් එක්කම දෙපැත්තට හෙළවෙනව. අලි හොඬක් තියෙන පුංචි සැහැල්ලු බෑග් එකක් පවිත්‍රගෙ පිට මැද්දෙ එල්ලිලා හිටියට මිදුලෙ අඹගහයට සිමෙන්ති බංකුවේ ඉඳගෙන පාර දිහා බලා ඉන්න අම්මට පේන්නෙ දූගෙ කිහිල්ල දෙපැත්තෙ හිරවෙලා තියෙන අළු පාට පටි දෙක විතරයි. දුවගෙන ආපු පවිත්‍රා ගේට්ටුවට අත තියද්දිම අම්මා බංකුවෙන් නැගිට්ටා. දූ එන පෙරමඟට ගියා. දුවගෙන ආපු වේගෙටම අම්මගෙ කකුල් දෙක බදා ගත්ත පවිත්‍රා අම්මගෙ බඩට මූණ හිර කර ගත්තා.

“ඇයි මගෙ දූ පැටියෝ..”

පවිත්‍රා මුකුත් ම කිව්වෙ නැහැ. අම්මා දූගෙ මුහුණ තමන් දිහාට හරව ගත්තා. දූගෙ ඇස්වල හිනාවක් දිලිසෙනව. දූගෙ අතකින් අල්ල ගෙන ම අම්ම අඹ ගහ යට බංකුවේ ඉඳ ගත්තා.

“මගෙ පැටියා කෑවද..?”

“ම්.. ම්..”

“ඔක්කොම..?”

“ම්.. ඔක්කොම කෑවා..”

“ජූස් ටික..?”

“ඔක්කොම බිව්වා..”

“එතකොට බංඩිය..?”

“බංඩිය පිරුණා.. පිරුණා.. පිරුණා..”

පවිත්‍රා ගේ දිහාවට දිව්වා. අම්මා බංකුවෙන් නැගිට්ටෙ එක අතකින් දූගෙ බෑග් එකයි බෝතලෙයි අනික් අතින් ජංගම දුරකතනයයි අරන්. ඒ එන අතරේ අම්මා දුරකතනය දිහා බැලුවා. ඒකෙ තිරය කළු ම කළු පාටයි.

පවිත්‍රා ගවුමයි යට බැනියමයි දෙක ම ගලව ගත්තෙ තනියම. එයා ආසයි ටයි එක අල්ලලා තියෙන බොත්තම් ගලවලා සාය යට ඉඳල උඩට උස්සල, ඔළුවෙන් ගවුම ගලවන්න. ඒක හරි හිනා යන වැඩක්. ඉණ ළඟින් ගවුම ඉස්සෙන කොට අත් හිර වෙනවා. එතකොට දෙපැත්තට පැද්දි පැද්දි ‘නෝටි ළමයා..නෝටි ළමයා..’ කිය කිය කෑගහමින් තමයි එයා ගවුම ගලවන්නෙ. එහෙම වෙද්දි සමහර දවසට අම්ම ළඟට ම ඇවිත්. හුඟාක් දවසට එහෙමයි. ඒත් අද අම්ම තාම නැහැ.

පවිත්‍රා යට කලිසම පිටින් සාලෙට ගියා. අම්ම සැටියෙ ඉඳගෙන හිටියෙ පවිත්‍රා අඳින්න ආස රෝස පාට බැනියමත් අතේ තියාගෙන. ඒ බැනියම මැද්දෙ ඉන්නවා දම්පාට සමනලයෙක්. පවිත්‍රා ඒ සමනලයට හරි ආදරෙයි. අම්මා ඇලයට හැරිල සැටිය උඩ තියෙන දුරකතනය දිහා බලාගෙන හිටියෙ පවිත්‍රගෙ බැනියම කලව උඩ දිගෑරල ඒ උඩ අත් දෙකම තියාගෙන. අම්මගෙ අත්දෙකට හිරවෙලා සමනලයා හිටියෙ මුහුණ පුළුටු කරගෙන.

“එයාට රිදෙනව අම්මා..”

පවිත්‍රා අම්මගෙ අත්දෙක තමන්ගෙ අත්දෙකෙන් උස්සලා දෙපැත්තට දාල සමනලයව බේර ගත්තා. සමනලයා පවිත්‍රා එක්ක හිනා වුණා. අම්ම ටෙලිපෝන් එක අතට අරං ‘චිං..චිං..’ ගාන සද්දෙ එන විදිහට ඇඟිල්ලෙන් ඇණ ඇණ ජනේලෙ ළඟට ගියා. පවිත්‍රා සමනලයට රිදෙන්නෙ නැති විදිහට බැනියම යටින් අත් දෙක රිංගවලා ඒක ඇඳ ගත්තා.

“ඔයාට රිදුණෙ නෑ නේද පැටියො..?”

පවිත්‍රා එහෙම ඇහුවේ බැනියමේ ඉන්න සමනලයා දිහාට හැරිල. ඒත් උත්තර දුන්නෙ කිටියා.

“ම්යෑව්.. ම්යෑව්..”

කිටියා තමන්ගෙ කකුල් දෙක ළඟ දැවටෙද්දි පවිත්‍රා එතන ම බිම ඉඳගත්තා. කිටියා පවිත්‍රාගෙ ඔඩොක්කුවට පැන්නා. අන්න ඒ වෙලාවෙ පවිත්‍රට ඇහුණා අම්මගෙ කටහඬ.

“උදෙන් ම ද ගියෙ..? කොළඹින් පිට? හ්..ම්.. නෑ..නෑ.. මං පස්සෙ වෙලාවක කතා කරන්නම්..”

“කිටියො.. මේ.. දැක්කද මගේ සමනලයා..”

පවිත්‍රා බැනියම දිහාට නැමිලා අහද්දි කිටියා පවිත්‍රගෙ කඩා පාත් වෙච්චි කොණ්ඩ කැරැල්ලක් අතකින් ඇද්දා.

“ඌයි යා.. දූ පැටියට රිදුණා..”

පවිත්‍රා කිටියව අතෑරල බැනියම දිහාට ඔළුව පහත් කරලා සමනලයව හෙව්වා. කෝ එයා? ආ! එයා පිටිපස්සට ගිහින්! පවිත්‍රා කාමරේට දුවලා ගියා. අම්මගෙ ලොකු කණ්ණාඩිය ඉස්සරට ගිහින් තමන්ගෙම පිටපැත්ත බලන්න එයා ඇඟ එහාට හැරෙව්වා; මෙහාට හැරෙව්වා.

“සමනලයෝ.. සමනලයෝ.. කොඑයි ද ගියේ සමනලයෝ..”

අම්මා කාමරේට එනව දැක්කත් පවිත්‍රා සින්දුව කියන එකයි කැරකිල්ලයි නැවැත්තුවෙ නැහැ. අම්මා ඇඳ උඩ ඉඳ ගත්තෙ පවිත්‍රගෙ අත් දෙකෙන් ම අල්ල ගෙන. පවිත්‍රා අම්මගෙ කකුල් දෙක අස්සට හිරවෙලා. එයා ඔළුව ඇල කරගෙන අම්මගෙ මුහුණ දිහා බැලුව. අම්ම අඬනව!

“ඇයි අම්මා.. මං නෝටි නෑ..”

අම්මා දූගෙ ඔළුව ඉම්බා. පවිත්‍රා අතක් උස්සල තමන්ගෙ මුහුණට පාත් වෙලා තියෙන අම්මගෙ කැරලි ගැහුණ කෙස් ටිකක් අතින් අල්ල ගත්තා. අම්මා පවිත්‍රගෙ බැනියම ගලවල සමනලය ඉස්සරහට තියෙන විදිහට ඇන්දුවා.

“අම්මා.. රෝස කැලේ කොයිද තිඑන්නෙ..?”

“රෝස කැලේ..?”

“ඔව් අම්මා.. රෝස කැලේ..”

“ඇයි මයෙ දූ..?”

“නෑ.. නිකාං..”

“හුඟාආ.. ආ.. ආක් දුර.. තාත්තියි දූ පැටියයි අම්මයි කාරෙකෙන් ගියේ.. මතක නැද්ද..”

“හුඟා.. ආක් දුර කියන්නෙ හුඟාආක් ම දුර ද අම්මා..?”

“ඔව් දූ පැටියො.. හුඟාක් දුර..”

“රෝස කැලේ ලස්සන ද අම්මා..”

“ඔව් දූ පැටියො.. ඒක හුඟාආක් ලස්..ස්..සනයි.. හැම තැන ම මල් පිපිලා.. තාත්තියි දූයි මායි ඒ හැම තැන ම ඇවිද්දා.. මයේ දූ එතකොට පොඩියිනේ..”

“දැන් මං ලොකුයි ද අම්මා..”

“ඔව්.. දූ පැටියා දැන් ලොකුයි..”

“මං ලස්..ස්සනයි ද අම්මා..?”

“ඔව් මයේ දූ පැටියෝ.. ඔයා තමයි මේ රටේ ලස්.. ස්..සන ම ලස්සන දූ පැටියා..”

“රෝස කැලේ තරන් ලස්.. ස්.. සන ද අම්මා..”

“ඊ.. ඊ..ටත් වඩා.. ඔව් රත්තරනේ.. ඊ.. ඊ..ටත් වඩා..”

අම්මා දූව තුරුලු කරගෙන ම ඇඳේ දිගා වුණා. පවිත්‍රා අම්මගෙ වම් අත පැත්තෙන් හාන්සි වෙලා ජනේලෙන් පේන අඹ අතු දිහා බලා හිටියා. ඇඳ උඩට පැන්න කිටියා පවිත්‍රගෙ කකුල් දෙක අතරෙ වකුටු උනා. අඹ ගහේ අතු අතරින් දම්පාට සමනල තටු දෙකක් හෙලවෙද්දි පවිත්‍රට යාන්තමට ඇහුණා අම්ම නහය හූරන සද්දෙ.

ඉස්කෝලෙ වැඩ පොතත් අරන් පවිත්‍රා සාලෙට එද්දි සාලෙ කරුවල පාටයි. කුස්සියෙ ලයිට් එළිය සාලේ පැති බිත්තියකට වැටිල තිබුණා. එක අතකින් පාට පෙට්ටියයි අනික් අතින් වැඩ පොතයි ගත්ත පවිත්‍රා කුස්සියට ගියා. අම්මා කුස්සියෙ තියෙන පුංචි රවුම් මේසේ ළඟ පුටුවක ඉඳන් පුංචි පිහියකින් කැරට් සුද්ධ කරනව. පවිත්‍රා මේසෙ ළඟ බිම ඉඳගෙන පාට පෙට්ටිය බිම තියලා පොත දිගෑරල අරන් අම්මා දිහාට පිටුවක් පෑවා.

“අම්මා මේ..”

‘හඳුනාගෙන පාට කරන්න’ කියල ලියලා තිබුණ ඒ පිටුවෙ දෙපැත්තට දෙක බැගින් රවුම් හතරක් එක යට එක තිබුණා. වම්පැත්තෙ රවුම්වල එළවළු ජාති පාට පාටින් තිබුණා. අනික් පැත්ත ඒ එළවළුවල හැඩතල ඇඳලා තිබුණා.

“මයේ දූට තනියම පුළුවන් නෙ..? අන්න එලෝලු වට්ටිය තියෙනවා..” අම්ම එහෙම කිව්වට පවිත්‍රා නැගිටින්න හදනකොට ‘එපා.. ඉන්න..! එතන වීදුරු කටු..’ කියල ඉක්මනින් නැගිටල ගිහින් ප්ලාස්ටික් තට්ටු රාක්කෙන් එළවළු තට්ටුව පන්නල අරන් පවිත්‍රා ළඟ බිමින් තිබ්බා. ඉන්පස්සේ කුස්සියේ මුල්ලක බිත්තියේ ඇණයක එල්ලලා තිබ්බ කොස්සයි ඩස්පෑන් එකයි අරන් වීදුරු කටු ටික එකතු කරලා පරිස්සමට ඩස්බින් එකට හැළුවා.

ඊයේ රෑ පවිත්‍රට ඇහුණා අම්මලගෙ කාමරේ දිහාවෙන් වීදුරුවක් බිඳෙන සද්දයක්. පවිත්‍රා ‘අම්මේ’ කියාගෙන කාමරේට යද්දි අම්මා හිටියෙ තාත්තා ඉඳගෙන හිටිය පුටුව ළඟ බිම දණ ගහගෙන. තාත්තා වතුර බොන ලොකු වීදුරුව කෑලිවලට කැඩිල බිම තිබුණා. තාත්තා පවිත්‍රව තමන් ළඟට ගත්තෙ අම්මා හිටිය පැත්තට පිටුපාල.

“දරුවත් බයවෙනවා..”

“ඇයි දරුව විතරක්.. මාත් බය වෙලා ඉන්නෙ..?”

“ඇයි..යී තාත්ති..”

“නෑ මයෙ දූ පැටියො.. මේ කිටියා.. එයා නෝටි.. තාත්තගෙ වීදුරුව.. දඩිං. බිඩිං.. ඩෝන්..”

“හා.. හා.. දඩිං.. බිඩිං.. ඩෝන්..”

පවිත්‍රා තාත්තගෙ තුරුල්ලට වැදිලා උඩ පනිද්දි අම්ම කාමරෙන් එළියට ගියා. තාත්තා තමන්ගෙ ඔළුව අත ගාද්දී ඇස් දෙක පියවී ගෙන ආවත් එකපාරට ම පවිත්‍රා තාත්තව අතෑරල කාමරෙන් එළියට දිව්වා. ඒ වෙද්දි කොස්සත් අරගෙන අම්ම දොර ළඟ.

“කිටී..”

පවිත්‍රා අම්මගෙ ඇඟේ වැදිලා පැත්තකට විසි වෙලා ගියත් එයා නැවතුණේ කිටියා නිදා ඉන්න කුෂන් පුටුව ළඟ. මුකුත් ම දන්නෙ නැති ගානට කිටියා උඩුබැලි අතට හැරිල අතකින් මුහුණත් වහගෙන නිදි.

“මයේ පැටියෝ.. ඔයාට රිදුණ ද පැටියෝ..?”

පවිත්‍රා කිටියගෙ ඇඟ අතගාද්දි ඇහැක් වත් ඇරලා නොබලපු කිටියා ‘පුරු..පුරු..’ ගාල කෙඳිරිගගා පවිත්‍රගෙ අත අල්ලගත්තෙ එයාගෙ අත් දෙකෙන් ම. පවිත්‍රා කුෂන් පුටුව ළඟ බිම ඉඳගෙන කිටියගෙ ඇඟට ඔළුව තියාගෙන ඇස් පියා ගත්තා.

“මගේ නිදහස මට ඕන..”

“එතකොට මට..? මට නිදහසක් නැද්ද..?”

ඉස්සෙල්ලම ඇහුණෙ තාත්තගෙ කටහඬ. පස්සෙ අම්මගෙ. ඉන් පස්සෙ තවත් සද්ද. ඒ ඊයේ රෑ. දැන් පවිත්‍රා ඉන්නෙ එළවළු කූඩෙත් එක්ක වැඩ පොතේ වැඩ කර කර.

“මේ මොනාආ..ද අම්මා..?”

“මේ වම්බටු.. දම්පාටයි..”

“වම්බටු.. දම්පාටයි.. මේ..ඒ.. බලන්න අම්මා... මගේ සමනල පැටියත් දම්පාටයි..”

පවිත්‍රා වම්බටු ගෙඩිය පපුවට තියා ගත්තා. අම්මගෙ මුහුණේ පුංචි හිනාවක් ඇඳුණා. එයා දූ ළඟ බිමින් ඉඳ ගත්තා. පවිත්‍රා දම්පාට කූරෙන් පාට අතුල්ලද්දි බුරුලට වෙන්න දූගෙ අත අල්ල ගත්තු අම්මා රූපෙන් පිටට පාට නොයන විදිහට පාට කරන්න එයාට උදව් කළා.

“මේ කොළ පාට..”

“බණ්ඩක්කා කොළ පාටයි.. කොළ පාටයි බණ්ඩක්කා..”

පවිත්‍රා කොළ පාටට කැමතියි. ඒ තමයි එයාට තියෙන ලස්සන ගවුමෙ පාට. තාත්තගෙ ඔෆිස් එකේ නත්තල් පාටියට පවිත්‍රා ඇන්දෙ රැලි රැලි තට්ටු තුනක් තියෙන ඒ ගවුම. පවිත්‍රා ඒක ඇඳගෙන කැරකෙද්දි එයා ළඟට ආව තාත්තගෙ ඔෆිස් එකේ ලස්සන ඇන්ටි කෙනෙක් පවිත්‍රගෙ මූණ ඉඹලා කිව්වා ‘යූ සෝ කියුට් ඩාර්ලිං... අයි ලයික් දිස් කලර්..’ කියලා. පවිත්‍රට ඒක මතක් වෙලා හිනා.

“ඇයි මයෙ දූ පැටියෝ..?”

“නෑ අම්මා.. තාත්තගෙ ඔෆිස් එකේ ඇන්ටි මගේ කැන් කැන් එකට ලයික් කිව්ව.. කොළපාට එක..”

“සමයං..”

පවිත්‍රා කොළ පාට කූර තෝරගෙන ඒක පාට කරන්න යද්දි අම්මගෙ දුරකතනෙට කෝල් එකක් ආවා. ඒක සින්දුවක්. පවිත්‍රට මතක ‘සිතට රිදවා..’ කෑල්ල විතරයි. අම්මා නැගිට්ටා නෙමෙයි පැන්නා වගේ කියලයි පවිත්‍රට දැනුණෙ. අම්මා හෙමිහිට මොනවද මොනවද දුරකතනයට කියනව. පවිත්‍රා දිගට ම වැඩ. වැඩ පොතේ තැඹිලි පාට දොඩම් ගෙඩිය ඉස්සරහ කොටුවේ ඇඳලා තිබුණ චිත්‍රය උඩ දෙහි ගෙඩියක් තියපු පවිත්‍රා ඔළුව හරව හරව ඒ දිහා බැලුවා.

“ඉවරයක් නැති අවුට්.. ෆෝන් එක කොයි වෙලාවේ බැලුවත් බිසී.. එහෙම නැත්තන් ඕෆ්..”

පවිත්‍රගෙ ඇස් දෙක එක පාරට ම ගැස්සුණා. ඇහි පියන් ළඟ ළඟ ගැහෙන්න ගත්තා. මේ මොකක්ද! පවිත්‍රා එළවළු වට්ටයේ සිලි සිලි බෑග් එකක ඔතලා තිබිලා එළියට ගත්ත පුංචි ගෙඩි දිහා බලා හිටියෙ විස්මය පිරුණු ඇස්වලින්. ඒවා හරි අමුතුයි. මේ මොනාද? ග්‍රේප්ස්! නෑ. නෑ. ඒවා නෙමෙයි. සීනි බෝල? නෑ. අනේ නෑ. මේවා වෙන මොනවදනේ.. පවිත්‍රා අම්ම දිහාට හැරුණා. අම්ම මේසේ උඩ තියා ගත්තු අත උඩ ඔළුව හිර කරගෙන හිටියෙ. හොර වැඩක් කරන්නා වගේ පවිත්‍රා පුංචි පුංචි ගෙඩි තියෙන ඒ පොකුරක් අතට ගත්තා. ඒක තෙතයි: ගඳයි. ඒත් පවිත්‍රට ඒවා ගැන දැන ගන්න ආසයි. පවිත්‍රා උන්නු තැනින් නැගිටලා අම්මා ළඟට ගියා.

“අම්මා.. මේ මොනාආද අම්මා..?”

අම්මා ඔළුව උස්සල පවිත්‍රා දිහා බැලුවා. අම්මා බයවෙලා!

“මොනවද ළමයෝ මේ ජරාව අතගගා කරන්නෙ.. තියෙන කරදර මදිවට..”

අම්මා, දූගෙ අතින් ගෙඩි පොකුර ඇදලා ගනිද්දි පවිත්‍රට රිදුණා. පවිත්‍රා තොල් දෙක තද කරගෙන පහත් වෙලා සමනලය දිහා බැලුවා.

“දූ පැටියට රිදුණා.. අම්ම නෝටි..”

වට්ටියෙ තිබුණ සිලි සිලි මල්ලත් එක්කම ඒ ගෙඩි ඩස්බින් එකට හැළුව අම්ම දූ ළඟට ඇවිත් එයාව වඩාගෙන කම්මුල් දෙක ම ඉඹගෙන ඉඹගෙන ගියා.

“අම්ම නෝටි.. අම්මා නෝටි.. දූ පැටිය තරායි..”

“ඔව් පුතේ.. අම්ම නෝටි.. මයෙ දූ පැටියට රිදුණද..?”

අම්ම අඬනව. පවිත්‍රා අම්මගෙ කම්මුල් අතකින් පිහදැම්මා.

“අම්ම නෝටි නෑ.. දූ පැටියා නෝටි නෑ.. කිටී නෝටි.. කිටී නෝටි..”

“ඔව්නෙ.. කිටී තමා නෝටි.. තාත්තා දූ පැටියට පීසා අරන් එනව කිව්ව..”

“පීසා.. පීසා.. කිටීටත් පීසා.. දූ පැටියටත් පීසා.. අම්මටත් පීසා..”

පවිත්‍රා හිටියෙ ලස්සන ලස්සන රෝස මල් යායක් මැද්දෙ. කහපාට. රතුපාට. දම්පාට. රෝසපාට. එක එක පෙති එක එක පාට. ලස්සන ම ලස්සන මල් යායක්. ඒ අතරෙ ලස්සන ම ලස්සන, පාට පාට සමනලයන් පියාඹනව. පවිත්‍රා ඒ මැද්දේ උඩ පැන පැන නටනව. පවිත්‍රගෙ පපුව මැද්දෙ ඉන්න දම්පාට සමනලයත් උඩ පැන පැන නටනව. පවිත්‍රා වටේ හිටියෙ එයාගෙ ඉස්කෝලෙ යාළුවො ටික. ගයාන්, නිමේෂා, කේධාරි, පියුමි, පබසරා, කිකී, ලක්ෂාන්. පවිත්‍රගෙ අත අල්ල ගෙන හිටියෙ නිරංජි ආන්ටි.

“මේ ළමයා කොහෙන්දෝ

රෝස කැලෙන් ඇහින්දෝ

රෝස කැලේට කොහෙන්දෝ

අම්මා ගෙනැත් දැම්..මෝ

දඩිං බිඩිං ඩෝන්...”

පවිත්‍රා ළඟ යාළුවො කවුරුත් නෑ. සමනලයොත් නැහැ. රෝස මලුත් නැහැ. පවිත්‍රට පාළුවක් දැනුණා. ආ.. මේ මොනා..ද? අනේ! කොළපාට පුංචි පුංචි ගෙඩි..! අර.. අර.. ඔව් ඒවා තමයි. ඒ පුංචි ගෙඩි පවිත්‍රගෙ මූණ ඉස්සරහින් රවුමක් හැදිල කැරකෙනව. හතර වටේට ම... හැම තැන ම.. කොළපාට පුංචි ගෙඩි. කැරකෙනවා; කැරකෙනවා. කැරකෙනව. පවිත්‍රා අතක් දිගෑරල ඒවා අල්ලන්න හැදුවා. කෝ.. අනේ.. ටිකක් නවතින්නකො.. අල්ලන්න බැරි තරම් වේගෙන් ඒවා කැරකෙනව.

‘අම්මා.!’

පවිත්‍රට තමන් අසලින් ම අම්මගෙ සුවඳ දැනුණා. ඒ එක්කම අම්මගෙ කම්මුල්වල සීතලත් දැනුණා.

“මයෙ දූ පැටියො..”

‘අම්මා.. ඒ මොනාද අම්මා’ පවිත්‍රා කෙඳිරි ගාගෙන ම අනික් පැත්තට හැරුණා.

 

 

Comments