ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේ සංචාරය දෙසැම්බර්හීදී | සිළුමිණ

ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේ සංචාරය දෙසැම්බර්හීදී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මාසයේ දී සිදු වනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙන්නේ මාස 10කට පමණ පසුවය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවට අදාළ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 26 බොක්සිං දිනයේ දී සෙන්චූරියන්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා ජොහැන්සබර්ග් හි දී පැවැත් වීමට දින නියම කර තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය වසරේ දී දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියකට සහභාගි වූ අතර, එහි දී ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තේය. ආසියානු රටක් දකුණු අප්‍රිකාවේ දී එවැනි දස්කමක් දැක්වූ පළමු අවස්ථාව ලෙස එම සංචාරය ඉතිහාස පොතට එක් විය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ කෙසේ හෝ මෙම තරගාවලිය පැවැත්වීමට උත්සහ කරමින් සිටියි.

මෙලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ටෙස්ට් තරගාවලිය පැවැත්විම පිළිබඳ සුබවාදි බලාපොරොත්තු තබා තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එරට කොරෝනා ව්‍යාප්තිය සලකා බලා තරගය සඳහා සහභාගි වන්නේද නැද්ද යන්න එළඹෙන සතිය තුළ තීරණය කරන බවය.

මීට ප්‍රථම මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරගාවලි 4ක් කොරෝනා වංසගතය හේතුවෙන් කල් දැමීමට සිදු වූ අතර ඊට එංගලන්ත, දකුණු අප්‍රිකා, ඉන්දීය සහ බංග්ලාදේශ තරගාවලියද ඇතුළත් විය.

 

Comments