වසර මිලියන හතකට එහා පරිණාමය දක්වන උකුවෙලගේ රළු අං කටුස්සා | සිළුමිණ

වසර මිලියන හතකට එහා පරිණාමය දක්වන උකුවෙලගේ රළු අං කටුස්සා

ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත් රටක් වන ශ්‍රී ලංකාව, ඉතා ඉහළ උරග විවිධත්වයකට සහ ආවේණිකත්වයකට හිමිකමි කියයි. ශ්‍රී ලංකාවේ හමුවන උරග විශේෂ 238 න්‌ 155(65.1%) ක්ම මෙරටට ආවේණිකය. මේ අතර, කටුසු විශේෂ බොහෝමයක් දෙස් විදෙස් විද්‍යාඥයින් සහ පර්යේෂකයින් විසින් දැනට අධ්‍යයනය කර වාර්තාගත කොට ඇත. මේ අය අතර, කැලුම් මනමේන්ද්‍ර අාරච්චි, ආචාර්ය රොහාන් පෙතියාගොඩ, තසුන් අමරසිංහ, මොහොමඩ් බාහීර්, සුරන්ජන් කරුණාරත්න, මහාචාර්ය අංජන සිල්වා සහ මහාචාර්ය කලණ මාදුවගේ වැනි පර්යේෂකයන් දේශීය පර්යේෂකයන් අතර ඉදිරියෙන් සිටිති.

ඔවුනට අනුව, මේ වනවිට ශ්‍රී ලංකාවෙන් කටුසු විශේෂ 22ක් දැනට හඳුනාගෙන ඇති අතර, 1998න් පසුව ඊට කටුසු විශේෂ හතක් අලුතින් එකතු වී ඇත. එයින් Ceratophora ගණයට අයත් අං කටුස්සන් විශේෂිත වන්නේ මෙම ගණය ශ්‍රී ලංකාවට පමණකත් ආවේණික බැවිනි. මෙම නව අං කටුසු විශේෂය සමඟ එම ගණයට අයත් විශේෂ සංඛ්‍යාව 06 දක්වා ඉහළ යයි. මෙම විශේෂ 06 ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. මෙකී අං කටුසු විශේෂ හය හමු වන්නේ තෙත් කලාපයේ දී වීම ද විශේෂිතය.

මේ වනවිට හඳුනා ගෙන ඇති ශ්‍රී ලංකාවට ආවේණික Ceratophora ගණයේ විශේෂ 6න් ක ඟමුව අං කටුස්සා Ceratophora stoddartii නම් පළමු විශේෂය විස්තර කරන ලද්දේ ග්‍රේ නමැත්තා විසිනි, ඒ 1835 වසරේදීය. පසුව දුම්බර අං කටුස්සා Ceratophora tennentii සොයාගන්නා ලද්දේ ගන්ත නමැත්තා විසිනි, ඒ 1861 වසරේදීය. තුන්වන විශේෂය වන රළු අං කටුස්සා Ceratophora aspera සොයාගන්නා ලද්දේ වර්ෂ 1835 දී ගන්ත විසින්ම ය.

අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින අර්ඩ්ලන්ගේ අං කටුස්සා Ceratophora erdeleni හා කරුගේ අං කටුස්සා Ceratophora karu යන විශේෂ දෙකය, ඒ 1998 වසරේදී කැළුම් මනමේන්ද්‍ර ආරච්චි හා රොහාන් පෙතියාගොඩ ගේ මැදිහත් වීමෙනි.

Ceratophora aspera (රළු අං කටුස්සා) ශ්‍රී ලංකාවේ වැඩිම භූගෝලීය ව්‍යාප්තිය දක්වන විශේෂයක් ලෙස හඳුන්වනු ලබන අතර, එම විශේෂය කෞතුකාගාර නිදර්ශක හා පහතරට තෙත් කළාපයේ ඇතැම් ප්‍රදේශවලින් හමුවන සතුන්ගේ ලක්ෂණවලින් වෙනස් විය.

ඒ බව ක්ෂේස්ත්‍ර ජීව විද්‍යාඥ සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායමට හඳුනාගැනීමට හැකි විය. ඒ අනුව සිදු කළ රූප විද්‍යාත්මක හා ජානමය පර්යේෂණ මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනයේ සිටින ගහණය නව විශේෂයක් ලෙස හඳුනාගැනීමට ඔවුන්ට හැකි විය.

මේ නව විශේෂය රජරට විශ්ව විද්‍යාලයේ පරිණාමික ජීවවිද්‍යාඥ හා උරග හා උභයජීවී විද්‍යාඥ ආචාර්ය කණිෂ්ක උකුවෙල විසින් මෙරට සත්ව සංරක්ෂණය හා සතුන් අධ්‍යයනයට ඉටු කළ මෙහෙය වෙනුවෙන් ඔහුට ගෞරව පිණිස “උකුවෙලගේ රළු-අං කටුස්සා” ලෙස නම් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. විද්‍යාත්මකව Ceratophora ukuwelai ලෙසද ඉංග්‍රීසි බසින් Ukuwela‘s Rough-horn Lizard ලෙසින්ද නව විශේෂය නම් කර ඇත.

නව විශේෂය රළු අං කටුස්සාගෙන් ජානමය වශයෙන් (ND2) 9.6% වෙනස් වන අතර මෙම විශේෂ දෙක වෙන් වෙන්ව පරිණාමය වී ඇත්තේ වසර මිලියන 7.8කට පමණ පෙර මයෝසීන අවධියේ අවසාන කාලයේ පමණ බව විශ්වාස කරයි. තවද නව විශේෂය රළු-අං කටුස්සාගෙන් පහත සඳහන් රූප විද්‍යාත්මක ලක්ෂණ මඟින් වෙනස් වේ.

supraciliary කොරල සංඛ්‍යාව, උදරීය කොරල සංඛ්‍යාව හා paravertebral කොරල සංඛ්‍යාව සාපේක්ෂව අඩු අගයක් ගනී. මධ්‍ය දේහ කොරල අගය වැඩි සංඛ්‍යාවක් ගන්නා අතර සාපේක්ෂව දිගින් වැඩි කඳ (trunk) ප්‍රදේශයක් සහිත ය.

මෙම නව විශේෂය රතු දත්ත වාර්තාව හෙවත් දැඩි ලෙස තර්ජනයට ලක් වූ (CR - Critically Endangered) විශේෂයක් ලෙස සලකා ඊට ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇත. මෙම විශේෂයත් සමඟ ශ්‍රී ලංකාවේ අං කටුස්සන් විශේෂ සංඛ්‍යාව 6ක් දක්වා වැඩිවන අතර Ceratophora aspera විශේෂය ශ්‍රී ලංකාවේ දකුණු දෙසට වන්නට ඇති පහතරට තෙත් වනාන්තරවලට සීමා වේ. මොවුන්ගේ හොමිබේ ඉහළ කෙළවරේ පිහිටන අඟක්‌ වැනි උපාංගය නිසා අං කටුස්සන්‌ ලෙස හඳුන්වන අතර එහි හැඩය විශේෂයෙන්‌ විශේෂයට වෙනස්‌ වේ.

පිරිමි සතුන්ගේ මෙය හොඳින්‌ වැඩෙන අතර එහි පරිණාමික වැදගත්කම විරුද්ධ ලිංගිකයින්‌ ආකර්ෂණය කරගැනීම ලෙස උපකල්පනය කළ හැකිය.

Agamidae කුලයට අයත්‌ වෙන සෙරාටෝෆෝරා (Ceratophora) ගණයේ අං කටුසු විශේෂ ශ්‍රී ලංකාවේ කඳුකර වලාකුල්‌ වනාන්තර, උප කඳුකර වනාන්තර සහ පහතරට තෙත් කලාපීය වැසි වනාන්තරවල ව්‍යාප්තව සිටින අතර වියළි කලාපයේ දී හමු නොවෙයි.

මෙසේ දිවයිනේ කඳුකරයට සහ තෙත්‌ කලාපයට පමණක් සීමා වූ ව්‍යාප්ති කලාපය මොවුන්ගේ අවේණිකත්වයට ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය. අං කටුසු විශේෂ 6ය අතුරින්‌ කඟමුව අං කටුස්සා (Ceratophora stoddartii [Grey,1835]), දුම්බර අං කටුස්සා (Ceratophora tennentii [Gunther,1861]) සහ අර්ඩ්ලන්ගේ අං කටුස්සා (Ceratophora erdeleni [Pethiyagoda & Manamendra-Aarachhi,1998]) පිළිව‍ෙලින්‌ මධ්‍යම කඳුකරය, නකල්ස්‌ කඳුකරය සහ රක්වාන කඳුවැටියේ මුහුදු මට්ටම සිට මීටර් 900කට වඩා උස වලාකුල්‌ වනාන්තරවලට සීමාවී ඇත. මොවුන් දිවාකාලයේ ගස්‌ කඳන්‌ මත දිවිගේවනු දැකගත හැකිය.

රළු අං කටුස්සා (Ceratophora aspera [Gunther, 1864]) පහතරට තෙත්‌ කලාපය පුරා වැසි වනාන්තරවල දිරායන කොළ රොඩු අතර ජීවත් වේ.

ශ්‍රී ලංකාවේ කුඩාම සහ ඉතාමත්‌ දුර්ලභ අං කටුසු විශේෂයක්‌ වන කරූගේ අංකටුස්සා (Ceratophora karu [Pethiyagoda & Manamendra-Aarachhi,1998]) රක්වාන කඳුවැටියේ ඉතාමත්‌ සීමිත ස්ථාන කිහිපයක වළාකුල්‌ වනාන්තරවල තෙතමනය සහිත දිරායන කොළ රොඩු අතර ජීවත්වේ.

මෙම නව රළු අං කටුසු විශේෂය සොයාගැනීමට සුරංජන් කරුණාරත්න සහ චාමර අමරසිංහ ප්‍රධාන කාර්යයක් සිදු කළ අතර නිකොලොයි පොයර්කොව්, තිළිණ සුරසිංහ, ඇන්ඩ්‍රෙ බුසෙව්, ඇන්ස්ලම් ද සිල්වා, ව්ලැඩිස්ලේව් ගොරින් හා මජින්ත මඩවල යන දෙස් විදේස් පර්යේෂකයන් ඊට මහඟු දායකත්වයක් සපයා ඇත. ජෛව විවිධත්වය රැක ගැනීම මෙරට මානව වංශකතාවේ පුර්වජයන් බව සනාත කිරීමට මහත් පිටු බලයක් සපයන අතර එක් පසෙකින් අප්‍රිකානු මහද්වීපයටත් අනෙක් පසින් ආසියාවටත් නෑකම් කීමට අපට එකවර හැකි වී තිබේ. එනිසා අප වනාන්තර එළි කිරීමේදී මෙකී වටිනාකම පිළිබඳව අවදියෙන් කටයුතු කළ යුතුය. නැතිනම් මානව පරිණාමයේ ඓතිහාසික භූමිකාව අපෙන් සදහාටම තුරන් වී යනු ඇත.

(ඡායාරූප අන්තර් ජාලයෙනි.)

Comments