ක්‍රීඩා සංගම් නිලවරණ අර්බුදය - අවසන් තීරණය ඇමති අතේ | සිළුමිණ

ක්‍රීඩා සංගම් නිලවරණ අර්බුදය - අවසන් තීරණය ඇමති අතේ

ජාතික ක්‍රීඩා සංගම් විෂය බාර සහකාර අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ

2020 අගෝස්තු 31වැනි දාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 24ක් පිළිබඳ කතාබහක් පසුගියදා ජාතික ක්‍රීඩා සංගම්, සම්මේලන අතර විය. ඒ අතරින් 14ක්ම මෙතෙක් නිලවරණ පැවැත්වීමට අසමත්ව තිබේ. මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් විෂය බාර සහකාර අධ්‍යක්ෂ ආර්.බි. වික්‍රමසිංහ ගෙන් විමසුවෙමු.

ජාතික ක්‍රීඩා පනතට අනුව මැයි මස 30වැනිදා වන විට ක්‍රීඩා සංගම් වල විගණන වාර්තා මෙන්ම නිලවරණ පැවැත්වෙන දින වකවානු ලිඛිතව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දිය යුතුයි. නමුත් පසුගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මෙම දින වකවානු 2020 අගෝස්තු 31වැනි දින දක්වා කල් දැමිමට කටයුතු කළා. ඒත් මේවන තෙක් ක්‍රීඩා සංගම් කිහිපයක් තම වගකීම් වලින් බැහැරව කටයුතු කරමින් සිටිනවා. ඒ අතර ශ්‍රී ලංකා හොකි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය,ශ්‍රී ලංකා කැරම් සම්මේලනය,ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය, ශ්‍රී ලංකා ගෝල් බැඩ්මින්ටන් සම්මේලනය, යන සංගම් 6 ය මේ වන විට නිලවරණ කැඳවා තිබේනවා, එහෙත් මෙතෙක් එම නිලවරණ අවසන් කර නෑ. ඒවගේම නිලවරණ පැවැත්වීමට ඔවුන්ට දින ගණන ප්‍රමාණවත් නෑ.ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා ශ්‍රී ලංකා හැන්ඩ්බෝල් සම්මේලනය යන සංගම් දෙක අපට නිලවරණ පවත්වනවාද, ඒ කවදද, කියලවත් දැනුම්වත් කර නෑ. ශ්‍රී ලංකා පවර් බෝට් සංගමය, ශ්‍රී ලංකා යුනිෆයිට් සංගමය හා ශ්‍රී ලංකා රෝල් බෝල් සම්මේලනය නිලවරණ නොපැවැත්වුණු ක්‍රියාකාරිත්වය සම්බන්ධ‍ෙයන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින ජාතික ක්‍රීඩා සංගම් අතර වනවා.අවසන් තීරණය ක්‍රීඩා ඇමතිතුමා ගත යුතුයි.

ඒ වගේම මේ සංගම් වල නිලවරණ පැවැත්විමේ නිර්ණායකවලට ජාතික ක්‍රීඩා සභාවත් සමඟ සම්බන්ධ වී අවසන් තීරණවලට යාමේ හැකියාව තිබෙන්නේ ඇමතිතුමාට.ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය, ශ්‍රී ලංකා සවි එසවිමේ (පවර් ලිෆ්ටින්)සම්මේලනය හා පාපැදි සම්මේලනය යන සංගම් 3 දැනට ක්‍රියාත්මක වෙමින් තිබේන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බාරයේ. අපි ඒ සංගම් තුනටත් නිලවරණ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

කායවර්ධන සම්මේලනයෙන් හා සවි එසවීමේ සම්මේලනයෙන් දෙවතාවක් නාමයෝජනා කැඳවීමට නිලවරණ පැවැත්වීමට මහා සභාව රැස්කොට නාම යෝජනා කමිටු පත් කළා. ඒ දෙවතාවේදීම බාධා ඇතිවුණා.

ශ්‍රී ලංකා ලංකා කැරම් සම්මේලනයේ ඇතිව ඇති තත්ත්වය තමයි ජනසතුසේවා සංගමයටයි.එයට අනුබද්ධ සංගම් වලටයි ජාතික සම්මේලනයේ තනතුරු සඳහා තරග කිරිමේ අවස්ථාව ඉල්ලිම. එම අවස්ථාව ලබා දීමේදිම ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ප්‍රතික්ෂේප කළා. අපි ඒ පිළිබඳව දෙපාර්ශ්වයම කැඳවා ප්‍රශ්න කළ විට ඔවුන් පවසන්නේ ජනසතු සේවා සංගමය හා අනෙකුත් සංගම් වාර්ෂික සාමාජිකත්ව ගාස්තු ගෙවා නෑ.සම්මේලනය සංවිධානය කරන සමස්ත ලංකා තරග වලටද සහාභාගී වි නැති බවයි.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමොබයිල්) සම්මේලනයේ (ස්ලාස් - SLAS )පසුගිය වසරේදී මතභේදාත්මක ආරවුලක නිරතව වුණා. ඒ ආරවුල සමතයකට පත්ව නෑ. ඒ තමයි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමොබයිල්)සම්මේලනයේ (ස්ලාස් - SLAS ) ජාත්‍යන්තර ඔටෝමෝබයිල් සමාජිකත්වය පිළිබඳ ආරවුලක්.ඒ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමෝබයිල්) සම්මේලනයේ (ස්ලාස් - SLAS ) යටතේ ලියපදිංචි සංගමයක් වන සිලෝන් මෝටර් ඹටෝමෝබයිල් සංගමය තමයි ජාත්‍යන්තර සමාජිකත්වය හිමිකරගෙන සිටින්නේ.

එහෙත් එම ක්‍රියාවලිය වැරදියි.සැම ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයකටම සිය අදාළ ජාත්‍යන්තර සම්මේලනයේ හෝ සංගමයේ ලියාපදිංචි විමේ බලය තිබිය යුතුය.ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 70ව අතර ක්‍රියාත්මක නොවන ක්‍රීඩාවක් පසුගිය දිනක තහනමට ලක් කර තිබේනවා. ඒ තමයි බාල් නැටුම් සංගමය (බෝල්රූම් ඩාන්ස්) ඒ සංගමයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්න තිබුණා. වාර්ෂික විගණන වාර්තා වසර 6කින් විගණනය කර නෑ. ප්‍රාදේශිය මට්ටමින් සංගම් ව්‍යාප්ත විමක් කර නෑ ,වසර පහකින් තරගාවලි පවත්වා නෑ .වසර හතරකට වැඩි කාලයක් මහා සභා රැස්විමක් පවත්වා නෑ.නිලධාරීන් පත් වී නෑ.ඒ නිසා අපට සිදුවුණා ‍බාල් නැටුම් සංගමය (බෝල්රූම් ඩාන්ස්)තහනම් කරන්න.ප්‍රශ්න ගැටුම් නැති සංගම් මෙන්ම ගැටුම් ගැටලු ඇති සංගම්ද තිබේනවා. එම ගැටුම් නිරාකරණය කරමින් අන්තර් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරිම තමයි අපේ අරමුණ විය යුත්තේ.

අපි හැම විටම ක්‍රියාත්මක කරන්නේ ගැටුම් නිරාකරණය කරමින් ඉදිරිය සකසා දිමයි සංගම් සම්මේලන ඒ මඟ යමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරිමේ වගකීම දැරිය යුතුයි. ක්‍රීඩා අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ක්‍රියාකාරිව හැම විටම සිටිනවා. අවසාන කාර්තුවේදී සංගම් හා සම්මේලන ගණනාවක් තම ක්‍රීඩා තරග පැවැත්විමට කටයුතු කර තිබේනවා. මේ වසරේ මුල් කාර්තුවේදි හා මැද කාර්තුවේදි තිබුණු පසුගාමිත්වය පහව යමින් තිබෙනවා. කොවිඩ්19 වසංගත තත්ත්වය නිසා මඳක් පසුගාමිව ආරම්භ වු පුහුණු විම් නැවත පණගන්වන්නට ක්‍රීඩා අමාත්‍යාංශය වැඩ කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. තරගාවලියන්ට වඩා වැදගත්ම කරුණ තමයි පුහුණුවිම් නැතිනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික හා කායික යෝග්‍යතාව රඳා පවත්වා ගෙන යැම අපහසුයි. ඒ නිසා සැම ක්‍රීඩා තරගාවලියන්ටම සමඟාමීව පුහුණුවිමේ ක්‍රියාපටිපාටියක් ඉහළ නැංවිය යුතුයි.

Comments