කොරෝ­නා­ බිය තිබුණත් පොත් වස­න්තය මෙවරත්... | සිළුමිණ

කොරෝ­නා­ බිය තිබුණත් පොත් වස­න්තය මෙවරත්...

කොරෝනා වයි­ර­ස­යට බියෙන් ගෙවුණ, දැන­ටත් ඒ බිය සිත්හි රඳ­වා­ගෙන දවස ගෙවන අපට යළිත් වස­න්තය උදා වී ඇත. ඒ පොත් වස­න්ත­යයි. සැප්තැ­ම්බ­රයේ කඩින් කඩ වැටෙන වැස්ස ද මඟ හරි­මින් කොරෝනා බිය ද යට­පත් කර­ග­නි­මින් පොත් වස­න්ත­යට ගෙවුණ දින දෙක තුළදි බොහෝ පිරි­සක් පැමි­ණි­යහ. ඒ සෞඛ්‍ය බල­ධා­රින් විසින් කියා දුන් ආර­ක්ෂා­කාරි පිළි­වෙත් අනු­ග­ම­නය කර­මිනි.

ප්‍රකා­ශ­කයෝ ලේඛ­කයෝ පම­ණක් නොව පාඨ­කයෝ වස­ර­කට වරක් එකම ස්ථාන­ය­කදි හමු­වන පොත් ප්‍රද­ර්ශ­නය වස­න්ත­යක් වන්නේම පොත් වලට ආද­රය කර­න්නන් මෙන්ම කාලෙ­කින් නොදුටු දුර බැහැර හිඳින මිතුරු මිතු­රි­යන් ද සල්පිල එකට හමු­වන්නේ මේ ස්ථාන­යේ­දීය. මොනවා හෝ කමින් බොමින් තැන් තැන් වල කල්ලි ගැසෙ­මින් පොත පත සාහිත්‍ය ගැන කතා කර­මින් වෙන­දාට කල් ගත කළද මෙවර පොත් සල්පි­ලේදී ඒ මිතුරු සමා­ගම් වලට වැට බැද ඇතැයි සිතෙන්නේ සල්පිල් භූමිය දෙස බලන විටය.

මුඛ ආව­රණ පැලැඳ, අත් සෝදා­ගෙන පෝලිමේ පැමි­ණෙන අය අතර දන්න හඳු­නන්නෝ හිටි­යද හඳුනා ගැනීම අසී­රුය. ඒ අසී­රු­කම නිසාම ඇතැ­මුත් කෙනෙක් දුටු පම­ණින් යළි යළිත් බල­මින් ඒ ඇඳු­රු­ම්කම් තහ­වුරු කර ගන්නට උත්සාහ දරති. එවන් විටෙක කෙනකු මුඛ ආව­ර­ණය පහත් කර මුහුණ පෙන්නා නැවත වසා ගනු දක්නට ලැබිණි.

මෙවන් වාතා­ව­ර­ණ­යක් යටතේ අප එහි ගියේ පොත් සල්පිල ආරම්භ කළ දින­යේ­මය.

පොත් ප්‍රකා­ශ­ක­යන්ගේ සංග­මය විසින් ආරම්භ කරන ලද පොත්ස­ල්පිල ආරම්භ කරනු ලැබුවේ සංස්කෘ­තික කට­යුතු පිළි­බඳ රාජ්‍ය ඇමති විදුර වික්‍ර­ම­නා­ය­කගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

ආර­ම්භයේ සිටම අප එහි ගොස් ඇත්තෙමු. එදාට වඩා අද මෙම ප්‍රද­ර්ශ­නය දියු­ණුය. 1999 දී පොත් ප්‍රද­ර්ශන අලෙවිි කුටි 34 කින් ආරම්භ වූ පොත් ප්‍රද­ර්ශ­නයේ මෙවර අලෙවි කුටි ගණන 420 කි.

ගිය­වර ලක්ෂ පහ­කට ආසන්න ජන­තා­වක් පොත් සල්පිල සඳහා සහ­භාගි වූ අතර මෙවර ද එවැ­නිම ප්‍රමා­ණ­යක් සහ­භාගි වේයැයි යන්න එම ප්‍රද­ර්ශ­නයේ සංවි­ධා­ය­ක­යන්ගේ අද­හස වේ. ප්‍රද­ර්ශ­න­යට ඇතු­ළු­වීමේ ටික­ට්පත් වලින් ගිය­වර ලක්ෂ තිහක පම­ණක අදා­ය­මක් තිබුණ ද මෙවර කොරෝනා වයි­රස බිය හේතු­වෙන් ජන­තා­වගේ පැමි­ණිමේ යම් අඩු­වක් විය­හැකි බව සංවි­ධා­ය­ක­යන්ගේ අද­හස වේ.

පොත් ප්‍රකා­ශ­ක­යන්ගේ සංග­මයේ මහ ලේකම් සමන්ත ඉන්දී­වර මෙවර පොත් ප්‍රද­ර්ශ­නය පිළි­බඳ සිළු­මි­ණට අද­හස් දැක්වීය.

“කොරෝනා වයි­රස තත්ත්වය සම්පු­ර්ණ­යෙන්ම අපේ රටෙන් ඉවත්ව නැහැ. පොත් ප්‍රකා­ශ­ක­යින්ගේ සංග­මය ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වීම ගැන රජය , සෞඛ්‍ය බල­ධා­රින් සමඟ කිහි­ව­රක්ම සාකච්ඡා කළා. අපට මේ සඳහා අනු­මැ­තිය ලැබුණා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ඒ බල­ධා­රීන් ලබා දුන්න උප­දෙස් අනුව තමයි මෙය පැවැ­ත්වෙන්නේ. හොදින් අත්සේ­දීම, මුඛ ආව­රණ පැළ­දීම, විෂ­බීජ නාශක දියර නිතර අත් ගැල්වීම වගේම පුද්ගල දුර­ස්ථ­භා­වය රැක ගනි­මින් මේ ප්‍රද­ර්ශ­නය පව­ත්වන්නේ. අපි ප්‍රද­ර්ශ­න­යට පැමි­ණෙන අය­ගෙ­නුත් ඉල්ලන්නේ ඒ උප­දෙස් පිළි­ප­දින්න කියලා. ඒ වගේම අප සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට, සෞක්‍ය වෛද්‍ය නිධා­රි­ව­රුන්ට, මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂ­ක­ව­රුන්ට කොළඹ නගර සභා­වට බෙහෙ­වින්ම ස්තුති­වන්ත වෙනවා, උප­දෙස් ලබා­දෙ­මින් අපට දක්වන සහා­යට.“

බොහෝ දුර බැහැ­රින් පැමිණි පොත් වලට ආද­රය කර­න්නන්, පාඨ­ක­යන් ප්‍රද­ර්ශ­න භුමි­යට ඇතුළු වීමට වරු­ග­ණන් පෝලිමේ රැඳි සිටිනු දක්නට ලැබිණි.

‘වෙනදා වගේ නෙමෙයි මෙදා පාර පෝලිම් වල දිගු වෙලා­වක් බලන් ඉන්න වුණා. අත් සෝදන්න, ඇගේ උෂ්ණ­ත්වය බලන්න, අපි ගැන තොර­තුරු ඇතු­ළත් පෝර­මය පුර­වන්න මේ හැම එක­ටම පෝලිම. මම ආවේ කෝච්චි­යෙන් කෑගල්ලේ ඉදලා. දැන් කෝච්චි බස්වල නම් දුර­ස්ථ­භා­ව­යක් නැහැ. කොරෝනා ගැන සම­හර අයට නම් ගාන­ක්වත් නැහැ. ඒ වුණත් මම නම් සතුටු වෙන්නේ මේ වගේ කාල­යක ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වීම ගැනයි.“ පොත් ප්‍රද­ර්ශ­න­යට පැමිණ සිටි අයකු යමින් එමින් ගමන් පව­ස­න්නට විය.

“වෙන­දාට නම් මේ හෝල් එක පිරෙන්න සෙනඟ ඉන්නවා. එත් පසු ගිය වසර වල වගේ එක­පා­රට හැමෝ­ටම ඇතු­ළට එන්න බැහැ. ආරං­චි­යක් ආවා එළියේ ගොඩක් අය ඉන්නවා කියලා. ප්‍රද­ර්ශ­නය තාමත් පටන් ගෙන දව­ස­යිනේ ඉදි­රි­යේදි මීට වඩා පිරි­සක් පැමි­ණෙයි කියලා අපි විශ්වාස කර­නවා.“

විද­ර්ශන ප්‍රකා­ශ­ක­යන් වෙනු­වෙන් තුෂාරි ඉනි­මං­කඩ පැවැ­සු­වාය.

කල්ලි ගැසෙ­මින් එක පොකු­රට වෙනදා ප්‍රද­ර්ශන භුමිය තුළ මෙන්ම වෙළෙඳ කුටි අතර ද බොහෝ පිරිස් දැකිය හැකි වුවද, මෙවර එසේ නැත. සෞඛ්‍ය බල­ධා­රින් උප­දෙස් දී ඇත්තේ ප්‍රධාන ශාලා­වල එක්වර තුන්සි­යක පිරි­ස­කට ද එ­ළි­ම­හනේ ඇති ඇනෙක් කුටි­වල එක­සිය පන­හක පිරි­ස­කට ද රැස්විය හැකි බවය. එනිසා මෙවර කෙනෙ­කුට බැලු බැල්මට පෙනෙන්නේ සෙනඟ අඩු බවකි.

පොත් කුටි අත­රින් ඇවිද යද්දි අපට හමු වුයේ රුසි­යාව ප්‍රකා­ශ­ක­යෝය. රුසි­යන් පොත් වල පරි­ව­ර්තන පොත් රැසක් එහි තිබිණි.

“මම අවු­රුදු 12 ක් තිස්සේ ප්‍රද­ර්ශ­න­යට එනවා. රුසි­යානු පරි­ව­ර්තන පොත් හොය­න්නම මෙත­නට එන පිරි­සක් ඉන්නවා. මම හිත­නවා මෙය සාර්ථ­කයි කියලා. නමුත් වෙනදා තරම්ම ඒවිද කියා පොඩි සැක­ය­කුත් තියෙ­නවා.“

එසේ පැවැ­සුවේ රුසි­යාව ප්‍රකා­ශන හි හිමි­කරු ලේඛක සරත් ලාල් ලාල් කුමා­රයි.

සයුරි පොත් ප්‍රකා­ශක මහින්ද සෙන­රත් අපට මෙහිදි හමු­විය.

වෙන­දාට නම් මේ වෙන­කොට විශාල පිරි­සක් ඇවිල්ලා. ඒත් වෙනදා වගේ එක­පා­ර­ටම ඒ අයට එන්න බැනේ. ප්‍රද­ර්ශ­නය සාර්ථ­කයි කියලා මට හිතෙ­නවා. වෙනදා වගේ නික­රුනේ ගැව­සෙන අය නෙමයි පොත් ගන්නම එන අය මෙයට පැමි­ණේවි කියන විශ්වා­සය තියෙ­නවා.

විවිධ පළාත් වලින් පැමිණි පොත් වලට ආද­රය කර­න්නන් අතර සිටි භික්ෂුන් වහන්සේ නම­කද අපට හමු විය.

“ පහු­ගිය කාලේ පන්සල් වල­ටම වෙලා හිටිය කාලේ අපේ දවස ගෙවුණේ පෙර වසර වල ගෙන ආ පොත් කිය­ව­මින්. ධර්මය පිළි­බඳ ලියැ­වුණ පොත් වගේම නිර්මා­ණ­ශීලි පොත් ආදි­යත් ගත්තා. අපි ආවේ වැලි­මඩ ඉදලා. බොර­ලන්දේ සමා­ධි­ර­තන හිමි පැවැ­සුහ.

වැසි වැටුණ ද , අව්ව දැඩි වුද අව්වැසි බාධා­වක් නොකර ගනි­මින් වෙන­දාට පොත් සල්පි­ලට පැමිණි ඇත්තෝ මෙවර පැමි­ණියේ කොරෝනා අව­ධා­නම ද සිතේ දරා­ගෙ­නය. මේ අව­දා­න­මත් සමඟ පැමිණි පිරි­සගේ ආර­ක්ෂාව සැල­සීමේ වග­කීම මේ මොහො­තේත් ඔවුහු තම කර පිට පට­වා­ගෙන ඇත ඒ මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂක මහ­ත්ව­රුය.

මෙහිදි අපට හමුවු කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිල­ධාරි විශේ­ෂඥ වෛද්‍ය රුවන් විජ­ය­මුනි පැවැ­සුවේ මෙවැනි කතා­වකි.

අපි මේ ප්‍රද­ර්ශ­නය පැව­ත්වී­මේදි අනු­ග­ම­නය කළ යුතු ආකා­රය ගැන සැවොම දැනු­වත් කර තිබෙන්නේ. අනි­වා­ර්ය­යෙන්ම හැමෝම මුඛ ආව­රණ පැලඳ සිටිය යුතු­යි­. ස­මාජ දුර­ස්ථ­භා­වය තබා ගත යුතුයි. අත් සේදිය යුතුයි. ලොකු හෝල් වල රැ­ස්වෙන්න පුළු­වන් තුන්සි­යක වගේ පිරි­ස­කට. පොඩි හෝල්වල එක­සිය පණ­හක් පිරි­ස­කට රැස්වෙන්න පුළු­වන්. සම­හර වෙලා­වට අපිට පෙනෙ­නවා මේ පැමි­ණෙන අය ආර­ක්ෂා­කාරි නොවන විදි­හට ඉන්න බව. තව­මත් කොරෝනා වයි­රස් අව­දා­නම මෙර­ටින් තුරන් වී නැහැ. මේ පැමි­ණෙන අය පරි­ස්සම් වෙන්නේ නැත්නම් අපට සිදු­වෙ­නවා පොත් ප්‍රද­ර්ශ­නය නතර කර­න්නට. සෞඛ්‍ය ක්ෂේත්‍රය, ත්‍රිවිධ හමු­දාව, මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂ­ක­වරු මේ හැම­දෙ­නාට පම­ණක් නොවේ, ප්‍රද­ර්ශනෙ­යට පැමි­ණෙන අයට වා‍ෙග්ම මෙය පව­ත්වන අය­ටත් මේ ස්ථාන­යට යන එන හැමෝ­මට වග­කී­මක් තියෙ­නවා වයි­ර­ස­ය­යෙන් බේරී­මට, ආර­ක්ෂා­වී­මට නිසි පරිදි කට­යුතු කිරී­මට.“

කවුරුත් සිටින්නේ සතු­ටිනි. ඒ තියෙ­යිදෝ නොති­යෙ­යිදෝ කියා දෙපැ­ත්තට වැ‍ෙනමින් තිබු ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වීම ගැනය. වෙන­දාට නම් සෙල්ෆි කණ්ඩා­යම්, මිතුරු මිතු­රි­යන්ගේ කණ්ඩා­යම් ඕනෑ තරම්ය. ලේඛ­ක­යන්ගේ පාඨ­ක­යන්ගේ සුහඳ හමු විම් මඟ දිග­ටය. නමුදු මෙවර ඒ සබ­ඳතා දැකිය හැක්කේ අඩු­වෙනි. ඒ මුඛ ආව­රණ නිසා එකි­නෙකා අඳු­නා­ගැ­නී­මට ඇති අසී­රු­තා­වය නිසාය. මේ කොහොම වුණත් මෙවර ද පොත් ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වීම නම් සතු­ටක් බව එහි යන එන කාගේත් කතා­වය.

ඡායා­රූප - රංජිත් අසංක

Comments