රජය දුන් සහනයෙන් තුටු වෙන කලාකරුවන් | Page 2 | සිළුමිණ

රජය දුන් සහනයෙන් තුටු වෙන කලාකරුවන්

චන්දන වික්‍රමසිංහයන්ගේ නර්තන කණ්ඩායමේ නර්තනාංගයක්

- ගායක ගායිකා සංගමය හා අනෙක් සංගම් සියල්ලම එක්ව සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා අගමැතිතුමාගෙන් ඉල්ලීමක්
- රජය මැදිහත්වීමෙන් අවුරුදු තුනකින් ගෙවා අවසන් කිරීමට මහජන බැංකුවෙන් කලාකරුවන්ට ණයක්

ගෙවුණු මාර්තු අප්‍රේල් කාලය යනු ගායක ගායිකාවන්ට සංගීත ශිල්පීන්ට පමණක් නොව නර්තන ශිලපීණ් ආදි වූ කලාවන්ගේ නියැළි බොහෝ දෙනෙකුට බොහෝ ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදු විය. රටේ මොන ප්‍රශ්න තිබුණත් ඉන් පෙර ගායක ගායිකා හා එම ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙකුට විවිධ මාර්ග වලින් ආර්ථික ප්‍රතිලාභ තිබිණි. ඒ එක්කො විදෙස් රටවල සංගීත ප්‍රසංග වලට සහභාගි වීමෙනි. එහෙමත් නැත්තනම් අවුරුදු සමයේ සංගීත ප්‍රසංග වලට සහභාගි වීමෙනි. එහෙමත් නැත්නම් විවිධ රූපවාහිනි වැඩ සටහන් ආදි වූ නොයෙක් ප්‍රසංගවලට සහභාගි වීමෙනි. නමුදු කොරෝනා වයිරසය පැතිර යාමත් රටේ දෛනික ජීවිතය අඩාළ වීමත් සමඟ මේ සියල්ලන්ගේ ආරථිකය කඩා වැටිණි.

කරන්නේ කුමක්දැයි කියා සිතා ගන්නට බැරිව සිටි මොහොතක ගායක ගායිකා සංගමය ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙතින් යම් සහනයක් බලාපොරොත්තු වුයේය. ඔවුන් මෙම යෝජනාව අග්‍රාමාත්‍යතුමන් වෙත ඉදිරිපත් කළේ එතුමා සංස්කෘතික අමැති ලෙස මේ සම්බන්ධව යම් සහනයක් ලබාදේවි යැයි කියන විශ්වාසයත් සමඟය. කෙසේ හෝ අවසානයේ කලාකරුවන් වෙනුවෙන් මහජන බැංකුව විසින් ලක්ෂ පහක ණය මුදලක් මෙය රටේ සෑම අයෙකුටම මුහුණ පාන්නට සිදු වූ තත්වයකි.

කෙසේ හෝ අද වනවිට කලාකරුවන් බොහෝ දෙනෙකු මහජන බැංකුව හරහා රුපියල් ලක්ෂ පහක ණය මුදල ලබාගෙන ඇත්තේය. මේ සම්බන්ධයෙන් අප මුලින්ම විමසීමක් කළේ ගායක ගායිකා සංගමයේ ලේකම් රොහාන් ද සිල්වා ගෙනි.

අපේ ගායක ගායිකා සංගමය පමණක් නොවෙයි අනෙක් සංගම් සියල්ලම එකට එකතු වෙලා සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා අපට සහනාධාරයක් නොවෙයි ණයක් ලබාදෙන්න කියලා. ඒ ණය සහන පොලී ක්‍රමයක් යටතේ ලබාදෙන් කියලා තමයි අපි ඉල්ලීමක් කළේ. අප්‍රේල් මාසයේදී තමයි අපි මේ ඉල්ලිම කරනු ලැබුවේ. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සොයා බලන්නට අගමැතිතුමා පත්කරලා තිබුණා. දවසක අගමැතිතුමා, බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අපේ සාමුහික සංගම් සමඟ සාකච්ඡා කළා.

අපි මෙහිදි හැමදෙයක්ම පිළිවෙළට හදාගෙනයි සාකච්ඡාවට ගියේ. සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, බටහිර සංගීත ශිල්පින්ගේ සංගමය, ඔස්කා සංවිධානය, නිදහස් කලා සන්ධානය, එක්සත් නර්තන සංගමය ඇතුව තවත් සංගම් මෙයට එක් වුණා. අපි ණයක් ලෙස ලබා දෙන්න කියලා ඉල්ලුවේ රුපියල් ලක්ෂ පහක මුදලක්. එහිදි අපි කිව්වා අපිට සියයට හතරක පොලියකට ඒ මුදල ලබා දෙන්න කියලා. සමහර අය ගත්තේ ලක්ෂ පහට අඩුවෙන්. කොහොම හරි අවසානයේ මහජන බැංකුව සියයට පහක පොලියකට තමයි ණය ලබාදෙන් ඉදිරිපත් වුණේ. අපි සියයට 5 පොලියක් ගෙවන විට මේ වෙනුවෙන් රජය සියයට හයක් එක් අයෙකු ලබා ගන්නා ණය මුදල වෙනුවෙන් පොලිය ගෙවනවා.

මේ වන විට කෝටි හතරක් කලාකරුවන්ට ලබා දී තිබෙනවා. මුල්ම මාසේ පොලිය ගෙවිමක් නැහැ. දෙවන මාසේ පොලිය පමණයි. අවුරුදු තුනකින් ගෙවා අවසන් වෙන ලෙසයි ණය නිකුත් තර තිබෙන්නේ. මහජන බැංකුව ඔවුන්ගේ කොන්දේසි ලිහිල් කරමින් තමයි කලාකරුවන් වෙනුවෙන් මෙම ණය නිකුත් කළේ. අපි ගරු ජනාධිපති තුමාටත් අගමැති තුමාටත් මහජන බැංකුවේ සභාපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් බොහෝ අසීරුතාවලට මුහුණ දුන් කලාකරුවන් වෙනුවෙන් මෙවැනි සහනයක් ලබාදීම ගැන.

රොහාන් පවසන්නේ ණය මුදල් ලබාදීම පිටුපස ඇති කතාවය.

අද වන විට කෝටි දෙදකට වැඩි ණය මුදලක් මහජන බැංකුවේ මල්වත්ත ශාඛාවෙන් නිකුත් කර තිබීම ද විශේෂිතය. එයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ එම බැකු ශාඛාවේ කළමනාකාරිනිය කලාවට අතහිත දෙන්නියක වීමය එමෙන්ම ඇය ගී පද රචිකාවක් වන නලිනි මුණසිංහය.

මෙම ප්‍රතිලාභය ලැබු අය අතුරෙන් ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රසිංහ සිළුමිණට මෙසේ පැවැසීය. 

“මම අවුරුදු විසි දෙකක් තිස්සේම මගේ නර්තන කලායතනය පවත්වාගෙන යනවා. මින් පෙර කිසිම දවසක කලායතනය වසා දමා නැහැ. නමුත් කොවිඩ් 19 සමඟ රටේ තත්වය සමඟ අපේ තත්ත්වයත් වෙනස් වුණා. ඒ වන විට අපට තිබු පිට රට සන්දර්ශන වලට යන්න බැරි වුණා. ඒ වගේම රට තුළ තිබූ බොහෝ දේ මඟ හැරුණා. මෙවන් වාතාවරණයක් යටතේ සිටියදී තමයි ගායක ගායිකා සංවිධානයේ ලේකම් රොහාන් ද සිල්වා අප මේ පිළිබඳ දැනුවත් කළේ. මෙහිදි මතක් කරන්න ඕන එම සංගමයේ උප ලේකම්තුමිය වන චරිතා ප්‍රියදර්ශනී පීරිස් අපට බොහෝ උදව් කළ බව.

එමෙන්ම මෙවන් අසීරු තත්ත්වයකදි මහජන බැංකුව අප වෙනුවෙන් ඉදිරිපත් වීමත්, ජනාධිතිතුමා අගමැතිතුමා කලාකරුවන් වෙනුවෙන් මෙවන් සහනයක් ලබාදීමට කටයුතු කිරීම අපි බොහෝම කෘතඥ වෙනවා. මාස ගණනකට පසුව දැන් තමයි අපට ක්‍රමයෙන් වැඩසටහන් වලට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ. මේ දිනවල අප ඉදිරියේ තිබෙන රූපවාහි වැඩසටහන් වලට පුහුණු වීම් කරනවා. විදෙස් සංචාර නම් කවදා යන්න ලැබේවිද දන්නේ නෑ. “

නර්තනවේදී චන්දන වික්‍රමසිංහ කීය. ඔහු එසේ පවසන විට එම කලායතනයේම නර්තන ශිල්පියෙක් ලෙස වසර 13 ක් කටයුතු කරන ලක්ෂිත නිලන්ත අප හා කතාබහට එක්විය.

“මම වෘත්තිය නර්තන ශිල්පියෙක්. මේ වන විට මම රටවල් 39 සංචාරය කරලා තියෙනවා. අපිට කොරෝනා වලට කලින් හොඳ ආර්ථික තත්ත්වයක් තිබුණා. නමුත් ගෙවුණු මාස කිහිපය ආර්ථික තත්ත්වය වැටුණා. චන්දන සර් අපි ගැන හොයලා බලමින් අප බලාගත්තා. එවන් අවස්ථාවක තමයි අපට මේ සහනයක් ලෙස මේ ණය මුදල ගන්නට අවස්ථාව ලැබුණේ. මේ වෙනුවෙන් වෙහෙස වූ සැමට මම ස්තුතිවන්ත වෙනවා. “

මිනිසුන්ට ප්‍රශ්න එන්නේ කලින් කියා දන්වා නොවේ. එවන් අවස්ථාවල කුමක් කරන්දැයි කියා ළත වන මොහොතක කලාකරුවන්, සංගීත ශිල්පීන්, ගායක ගායිකාවන් , ගී පද රචකයන් වෙනුවෙන් මේ ලබාදුන් සහනය අගයමින් නර්තන ශිල්පියකු මෙන්ම ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු ද වන දිසන්ත ලක්ෂාන් අප හා කතා කළේ සියල්ලන්ටම ස්තුති කරමිනි.

“කොවිඩ් වයිරසය නිසා රටම අසරණ වෙලා හිටපු මොහොතක රජය වයිරසය මැ පැවැත්වීමට කටයුතු කරන අතරේම කලාකරුවන් වෙනුවෙන් මෙලෙස යම් සහනයක් ලබාදීමට ඉදිරිපත් වීම අගය කළයුතු දෙයක්. මේ වෙනුවෙන් වෙහෙස වූ කටයුතු කළ ගායක ගායිකා සංගමය ඇතුළු සියලුම සංගම් වලට බෙහෙවින්ම ස්තුතියි. මම මාසිකව රුපියල් තිස්පන්දහසක වැටුපක් ලැබූ කෙනෙක් . මාස ගණනක් අපට කලාවෙන් ඇත්ව ඉන්නට සිදු වුණා. එවන් කාලයක මෙවැනි ණය මුදලක් ලබාදීම ට මැදිහත් වීම ගැන මහජන බැංකුවටත් ස්තුතිවන්ත වෙනවා. “

දැන් දැන් රට යළිත් සමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. කලාකරුවන්ට පෙර මෙන් නොවූවද තම නිර්මාණ කටයුතු වල යෙදීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙමින් පවතී. ඔවුන් තමන්ට රජයෙන් ලබාදුන් සහනය ගැන තුටු වේ.

Comments