ඉන්දිය පොලිසියට හසුවූ කොස්තාපල්ගේ කතාව | Page 2 | සිළුමිණ

ඉන්දිය පොලිසියට හසුවූ කොස්තාපල්ගේ කතාව

සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාලයන්, මත් ජාවාරම්කරුවන් ඇතුළු සියලු අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට ක්‍රියාත්මක වන පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේද ඇතැම් නිලධාරින්ගේ මත්ද්‍රව්‍ය ‘ඩීල්‘ පිළිබඳ පසුගිය කාලයේ බොහෝ තොරතුරු හෙළිදරව් විය. මේ වන විට එම හෙළිදරව් නිසාවෙන් අත්අඩංගුවට පත් සංඛ්‍යාව විස්සකට ආසන්නය.

ගෙවී ගිය දින කීපයේත් එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කලෙක සිටම සබඳතා පවත්වමින් පොලිස් නිලධාරියකු සිදුකර ඇති ජාවාරමක සුල-මුල අනාවරණය විය. ඒ, පසුගිය 02 වැනිදා මීගහවත්ත පොලිසිය විසින් දින ගණනාවක් පුරා සිදුකළ විමර්ශනයකින් මත් ජාවාරම් ජාලයක නිරතව සිටි සැකකරුවන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී අනාවරණය වූයේ මත් ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමටම ස්ථාපිත පොලිස් කොට්ඨාසයක් වන මෑත කාලයේ බොහෝ අපරාධවල සුලමුල අනාවරණය කරගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) නිලධාරියකු විසින් එකී මත් ජාවාරමේ මූලිකයා බවයි. 

මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත එහි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඒ. ඩී. මධුශංඛ ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් විසින් පසුගිය 12 වැනිදා කොටුකරගත් සැකකරුවකු මඟින් අනාවරණය වූ තොරතුරු මත සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත්තේ මත් ජාවාරමේ නිරතව සිටියදීය. එහිදී පසුගිය 02 වැනිදා සපුගස්කන්ද, හෙයියන්තුඩුව, සමෘද්ධි මාවතේ නිවෙසක පවත්වාගෙන ගිය වඩු මඩුවක් පරීක්ෂා කෙරුණේ එම වඩු මඩුවේ ගෝලයෙකු ලෙස සේවය කළ අයෙකු පසුගිය 27 වැනිදා ගල්වලහංදියේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි. මත්ද්‍රව්‍ය භාවිතයටද දැඩි සේ ඇබ්බැහිව සිටි එකී සැකකරු විමර්ශන නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කළේ, “සර්... වඩු මඩුව කරන අයියා තමයි මට බඩු දෙන්නෙ... ඒවා තමයි මං විකුණුවේ...“ යනුවෙනි.

කලෙක සිට එම වඩු මඩුව පවත්වාගෙන ගොස් තිබුණේ වයස අවුරුදු 35ක් පමණ වන අනුර කුමාර බණ්ඩාරයි. ඔහු අම්පාර, සියඹලාණ්ඩුව පොලිස් වසමේ අයෙකි. හෙතෙම ඔහු කුලී පදනම මත වඩු මඩුව එම ස්ථානයේ පවත්වාගෙන ගොස් තිබිණි. වඩු මඩුව පරීක්ෂාවේදී මධුශංඛ ප්‍රමුඛ විමර්ශන නිලධාරින් තුෂ්ණිම්භුත වූයේ එහි වූ බෆල් දෙකක විශාල මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබූ ආකාරය දැකීමෙනි. කිලෝවක් පමණ බරැති හෙරොයින් පාර්සල් 23ක් එහි විය. කෝටි 23කට අධික එම හෙරොයින් තොගය පිළිබඳව වඩු මඩුව පවත්වාගෙන ගිය අනුර කුමාරගෙන් විමසූ විට කීවේ, “සර් මේවා මගේ නෙවෙයි... මගේ මල්ලි තමයි මේ බෆල් දෙක ගෙනත් තිබ්බෙ... මීට මාස එකහමාරකට විතර කලින්... තවත් පාර්සල් හතරක් ගෙනල්ලා තිබුණා... ඒවනම් එකින් එක සැරෙන් සැරේ අරන් ගියා... හැබැයි සර්... එයා වැඩ කරන්නෙ පොලිසියේ...“

අනුර කුමාරගේ සහෝදරයා පොලිස් නිලධාරියකු යැයි කියූ සැණින් වැටලීම සිදු කළ නිලධාරින්ට ඇතිවූයේ දැඩි කෝපයක් මෙන්ම දුකකි. ඒ, නිල ඇඳුමට මුවාවී මෙලෙස මත් ජාවාරම්හි නිරත පොලිස් නිලධාරින් නිසා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම සිදු වන අවමානය නිසාවෙනි. ඔහුගේ පාපෝච්චාරණයෙන් අනාවරණය වූයේ සිය සහෝදරයා අපරාධකාරයන්, මත් ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගැනීමටම විශේෂිතවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන බවයි. එකී පුද්ගලයා පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර බණ්ඩාර නමැත්තා බවද හෙළි විය. අත්අඩංගුවට පත් අනුර කුමාර වැඩිදුර විමර්ශන සඳහා මීගහවත්ත පොලිසිය විසින් මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

මීගහවත්ත පොලිස් නිලධාරින් විසින් දෙවැනිදා පෙරවරුවේ තම සහෝදරයා වන අනුර කුමාර අත්අඩංගුවට ගෙන ඇති බව ඒ මොහොතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියෙහි නිරතව සිටි ප්‍රදීප් කුමාරට සැලවී තිබිණි.

එසැණින් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ ලොග් සටහන් පොතේ සටහනක් දමා පිටව ගොස් තිබිණි. ඒ, තමා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට යන බව සඳහන් කරමිනි.

අනතුරුව මීගහවත්ත පොලිස් නිලධාරින් ඇතුළු සියලු පොලිස් ස්ථාන ඔහුව කොටුකර ගැනීමට දිවා රෑ මෙහෙයුම් කරමින් විමර්ශනය කරද්දී ප්‍රදීප් පොලිස් රෝහලටද ගොස් ඇති බව අනාවරණය විය. ඒ අතර ප්‍රදීප්ගේ පදිංචි නිවෙස පිහිටි සියඹලාණ්ඩුව පොලිස් වසමේ නිවෙස මෙන්ම හිඟුරාන, දමන පිහිටි ප්‍රදීප් මීට මාස කීපයකට පෙර විවාහ ගිවිසගත් කාන්තාවගේ නිවෙස්ද පරීක්ෂාවට ලක් කෙරිණි. එහෙත් ඔහු ගැන කිසිදු හෝඩුවාවක් නොවූ අතර පසුව සැල වූයේ ප්‍රදීප් රටින් පලා ගොස් ඇති බවයි. ඒ අනුව පසුගිය පස්වැනිදා පෙරවරුවේ වාර්තා වූයේ පොලිස් කොස්තාපල් ප්‍රදීප්, ධීවරයකු සේ වෙස්ගෙන මන්නාරම, පේසාලේ ප්‍රදේශයෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පලා යෑමට තැත් කිරීමේදී පසුගිය 03 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාවට ආසන්නතම ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළ තීරයේදී කිසියම් පුද්ගලයකු ප්‍රදීප් රැගෙන යෑමට එන තෙක් බලා සිටියදී ඔහු ගැන ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට සැක සිතී ප්‍රශ්න කිරීමේදී හරිහැටි දෙමළ භාෂාවද හැසිරවීමට නොහැකි වී ඇති ප්‍රදීප් පිළිබඳව සැකය තීව්‍ර වීමෙන් ඔහු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව තමිල්නාඩුවේ, ධනුෂ්කොඩි පොලිසියට බාර දී තිබේ. පසුව ඔහු විසින් මෙරටදී කළ කී දෑ සියල්ල හෙළිකර ඇති බවට සැල වේ. කෙසේ හෝ ප්‍රදීප් ඉන්දියාව හරහා වෙනත් රටකට පැන යෑමට තැත්කර ඇති බවත් ඒ, විවාහ ගිවිසගත් කාන්තාව සිටින රටට බවකි. නිශ්චිත ලෙස අනාවරණය නොවූවත් ඇය ඩුබායි, යුරෝපා රටක හෝ හොංකොංහි රැකියාවක නිරත වන බව සැක කෙරේ. ප්‍රදීප් බෝට්ටුවකින් ඉන්දියාවට පන්නා ඇත්තේද මෙකී මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානීන් වන්නට ඇතැයි සැක කෙරේ. ඔහු කලෙක සිටම කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ මත් ජාවාරම්කාරයන් කොටුකර ගැනීමේ නිරතව සිටි හෙයින් දෙමටගොඩ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ මත් ජාවාරම්කාරයන් සමඟ සබඳතා පවත්වා ඇති බවටද අනාවරණය වෙමින් තිබෙන අතර එලෙස මත් ජාවාරම්කාරයන් සමඟ සබඳතා පවත්වමින් ප්‍රදීප් යානවාහන ඇතුළු විශාල ධනස්කන්දයක්ද රැස්කරගෙන ඇති බවටත් සැලවේ.

මේ වන විට රැඳවුම් නියෝග මත තමිල්නාඩුවේ බන්ධනාගාරයක රඳවා සිටින ප්‍රදීප් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහායෙන් නුදුරේදීම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියකු කීවේය. ඒ අනුව ප්‍රදීප් විසින් කලෙක සිටම කරගෙන ගොස් ඇති මත් ජාවාරමේ සුලමුල මෙන්ම ප්‍රධාන පුද්ගලයන් කවුරුන්ද යන්න නුදුරේදීම අනාවරණය කරගැනීමට හැකි වනු ඇත. 2009 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති ප්‍රදීප් කොටහේන පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට ඉහළ දක්ෂතා පෙන්වා ඇති නිලධාරියෙකි. අනතුරුව 2011 වසරේදී එවකට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායක විසින් බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශය නමින් නව ඒකකයක් ස්ථාපිත කිරීමත් සමඟ ප්‍රදීප්ද එම ඒකකයට අනුයුක්ත කර තිබේ. පසුව කොළඹ අපරාධ කොට්ඨාසය දෙමටගොඩදී ස්ථාපිත කිරීමත් සමඟ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයද අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කිරීමෙන් අනතුරුව ප්‍රදීප්ද එදා සිටම එහි රාජකාරි කර කර ඇත. 

මත් ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ රාජකාරියන්හි දිගින් දිගටම නිරත වෙමින් කොළඹ, දෙමටගොඩ ප්‍රදේශය ප්‍රමුඛ කොට පසුගිය කාලයේ රාජකාරි කර ඇති ප්‍රදීප් මීට වසරකට පමණ පෙරදී බස්නාහිර දූෂණ මර්දන ඒකකයෙන් ඉවත්කර තිබුණත් පසුව නැවතත් අනුයුක්ත කර ඇත. අනතුරුව මීට දින කීපයකට පෙරද එම අංශයේ රාජකාරිවලින් ඉවත්කොට ඇති හෙතෙම කොළඹ අපරාධ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත්තේ උසස් පොලිස් නිලධාරින්ටද ඔහුගේ රාජකාරින් පිළිබඳව යම් ආකාරයක වෙනස් හැසිරීමක් දිස්වූ නිසාවෙන් බවටද සැල වේ.

මේ අතරේ පසුගිය බදාදා (09) රුපියල් ලක්ෂ 50ක පමණ හෙරොයින් සමඟ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ වයස අවුරුදු 28ක් පමණ වන ගුවන් භටයන් දෙදෙනෙක් සමඟ 43 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය සමත් විය. හෙරොයින් සමඟ පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් එක් ගුවන් භටයකුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ඔහුට ලබා දෙන්නේ තමා සමඟ රත්මලාන ගුවන් කඳවුරේ රාජකාරි කරන ගුවන් භටයකු බවයි. පොලිසිය සූක්ෂ්ම මෙහෙයුමකින් එකී ගුවන් භටයාද මත්ද්‍රව්‍ය සමඟ කොටුකර ගැනිණි. එම ගුවන් භටයා පවසා තිබුණේ මාතර, මාකඳුරේ පදිංචි ඥාති සහෝදරියක සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවත් ඇය කලෙක සිටම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන බවත්ය. පාදුක්ක පොලිස් නිලධාරින් මාකඳුරට ගොස් එකී කාන්තාවද අත්අඩංගුවට ගත් අතර ඇයගෙන් මෙකී ජාවාරමේ බොහෝ තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇතැයි විමර්ශන නිලධාරියකු කීවේය.

මෙසේ මත්ද්‍රව්‍ය සහ අපරාධකාරයන් නීතිය හමුවට පමුණුවීමට සිටින නිලධාරින් ජාවාරම් කිරීම නිසාවෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී අවංක රාජකාරියට කැපව සිටින නිලධාරින්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට නොදුන් අවස්ථාවක්ද පසුගිය බදාදා බණ්ඩාරගම, අටුලුගම, මාරාව ප්‍රදේශයෙන් වාර්තා විය. පසුගිය කාලයේ බේරුවල මුස්ලිම් කාන්තාවක සිංහල තරුණයකු සමඟ විවාහ වී මාරාව ප්‍රදේශයේ පදිංචිව සිටීම නිසාවෙන් එකී කාන්තාවට සහ එම පවුලට අනේක දුක් පමුණුවාලීම නිසාවෙන් මාරාව ප්‍රදේශය පසුගිය කාලයේ මහත් සේ කතාබහට ලක්විණි. එම ප්‍රදේශයේ ගොටුකොළ රිෆායිස් නමැති පුද්ගලයකු මත්පෙති, මත්ද්‍රව්‍ය සහ ගංජා ජාවාරමක නිරත වන බවට බණ්ඩාරගම පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසියට කාන්තාවන් ඇතුළු පිරිසකගෙන් බාධා එල්ල විය. රිෆායිට මාංචු දැමීමට සූදානම් වෙද්දී රිෆායිගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව අවට නිවෙස්වලට අයවලුන්ද පොලිස් නිලධාරින්ට පහර දෙන ආකාරය කැමරා කාචයන්හිදී මනාව සටහන් වී තිබිණි. අනතුරුව අවට පොලිස් ස්ථානවල සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තත්ත්වය සමනය කිරීමෙන් පසු බාල වයස්කාර දැරියක සමඟ කාන්තාවන් සිවුදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් කාන්තාවන් අතර ප්‍රධාන සැකකරු රිෆායිගේ 15 වියැති දියණිය සහ බිරියද වේ. තත්ත්වය සමනය කිරීමෙන් පසු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිල සුනඛ ‘බීටා‘ ගෙන්වා රිෆායිගේ නිවෙස දැඩි සෝදිසියකට ලක් කෙරිණි. එහිදී කාමරයක සඟවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. අත්අඩංගුවට පත් සයදෙනා පාණදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Comments