බැංකු නොවන මූල්‍ය අංශය විධිමත් කිරීමට අවධානය | සිළුමිණ

බැංකු නොවන මූල්‍ය අංශය විධිමත් කිරීමට අවධානය

බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ඉකුත් වසර ගණනාව පුරා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු සුබවාදී දායකත්වයක් එක් කර තිබේ. එහෙත් අවාසනාවට එම ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. බැංකු නොවන මූල්‍ය ආයතන කියූ සැණින් ජනතාවට සිහිපත් වන්නේ‍, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් නොවූ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලබන ඇතැම් සදාචාර විරෝධී ක්‍රියාවන් වීම ඊට හේතුවයි.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු අධීක්ෂණයට යටත්, බලපත්‍රලාභී මූල්‍ය ආයතන ක්ෂේත්‍රය මගින් මෙරට අඩු වරප්‍රසාද ලබන පිරිස මූල්‍ය වශයෙන් ශක්තිමත් කරලීම පිණිස ආකර්ෂණීය මෙන්ම වැඩිපුර කතා බහට ලක් නොවූ ක්‍රියාමාර්ග ගණනාවකින් දායක වී ඇති අතර, අද වන විට ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීම සඳහා මූල්‍ය සහය පිරිනමමින් ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් මූල්‍යමය අතින් බල ගැන්වීමටද එම අංශය කටයුතු කර තිබේ.

දැනට සිදු කළ යුතු සංශෝධන අතර, පාරිභෝගික ණය පනතෙහි සංශෝධන සිදු කිරීම ඉතා වැදගත් වෙයි. පාරිභෝගික ණය පනත මගින් දැනටමත් නියාමනය කරන මූල්‍ය සමාගම්වලට සේම, නියාමනය නොකරන ලද මූල්‍ය සමාගම්වලටද මුල්‍ය ණය සේවා සිදු කිරීමට ඉඩ සලසා තිබේ.

නියාමනය නොකරන ලද මූල්‍ය සමාගමකින් මූල්‍ය සේවාවක් ලබා ගන්නා ගනුදෙනුකරුවකු මුහුණ දෙන ගැටලුවක් නම්, එම ගනුදෙනුකරුට මූල්‍ය සමාගම කෙරෙහි බලපෑම් කළ නොහැකි වීමයි. එබැවින් නියාමනය සිදුවන මුල්‍ය පරිසරයක වැදගත්කම යළිත් වරක් පෙරටවිත් තිබෙන අතර, ලියාපදිංචි මූල්‍ය ආයතනවල සේවාව ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. සේවාව ලබා ගන්නා මූල්‍ය ආයතනය නියාමනයට යටත් මූල්‍ය ආයතනයක් නම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමෙන් පාරිභෝගික ගැටලු විසඳාලීමට වගබලා ගැනේ. එබැවින් ඉහත සංශෝධන මගින් බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සිදු වන අතර පාරිභෝගිකයන් හට නියාමනයට යටත් ආරක්ෂිත මූල්‍ය පරිසරයක් තුළ විශ්වාසදායි ලෙස මූල්‍ය ගනුදෙනු සිදු කර ගැනීමට අවස්ථාව සැලසේ.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ සාමාජික 
සංජීව බණ්ඩාරනායක

Comments