‘ෆ්‍රී ෂූට්’ කෙරුවාවේ අලුත්ම බිල්ල | සිළුමිණ

‘ෆ්‍රී ෂූට්’ කෙරුවාවේ අලුත්ම බිල්ල

(පසුබිම් වාර්තා සහ ඡායාරූප: මාතලේ - මහේෂ් කීර්තිරත්න සහ දඹුල්ල විශේෂ - අශෝක එදිරිමාන්න)

විවාහ දිනයේ සොඳුරු මතක සදා රැකගැනීමට බොහෝ දෙනකු පෙරුම් පුරති. කුරුණෑගල පන්සියගම ප්‍රදේශයේ පදිංවිච සිටි විසිහත් හැවිරිදි කේ.කේ. ශිරන්ත සංජය රත්නසූරිය සහ ඔහුගේ විසි හැවිරිදි පෙම්වතිය දිල්මි මධුෂිකා ද ඔවුන්ගේ විවාහ උත්සවය ගැන සොඳුරු සිහින රැසක් දකින්නට ඇත. ඔවුන්ගේ විවාහ උත්සවය යෙදී තිබුණේ මේ ඇසල මහේ 17 වැනිදාටය. ඒ ‍වෙනුවෙන් සුන්දර පූර්ව විවාහ ඡායාරූප (Pre Shoot) ඇල්බමයක් සාදා ගැනීම ශිරන්තගේත් දිල්මිගේත් ආශාව විය. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකට රිවස්ටන් ප්‍රදේශයයි. ශිරන්ත සහ දිල්මි ඔවුන් දෙදෙනාගේ මවුවරු දෙදෙන ඇතුළු තවත් කිහිපදෙනකු සමග පසුගිය 28 වැනිදා රිවස්ටන් ගොස් ඇත්තේ ඒ සඳහාය. දවස පුරා එහි සැරසරමින් ශිරන්තගේත් දිල්මිගේත් ඡායාරූප රැසක් ලබාගත් ඔවුන් රිවස්ටන් සිට කිලෝ මීටර 12ක් පමණ දුරින් පිහිටි ඉලුක්කුඹුර සේර ඇල්ල වෙත පැමිණ තිබුණේ එදින හවස 4ට පමණය.

නකලස් කඳුවැටියේ සුන්දරත්වයක් සිසිලසත් උකහා ගනිමින් සේර ඇල්ල වෙනදා මෙන් සොඳුරුව ඇද හැලෙමින් තිබිණ. ශිරන්තත් දිල්මිත් ඇල්ල උඩ ගල් තලාව මත විවිධ ඉරියව්වලින් සිටින දසුන් කැමරා කාච මත සටහන් වෙද්දී සේර ඇල්ලේ සැඟවී සිටි මාරයාගේ නිමේෂය ද එළැඹෙින් තිබූ බව කිසිවකු දැන සිටියේ නැත. ඒ අවාසනාවන්ත නිමේෂය කඳුළු අතරින් දිල්මි සිහි කළේ මෙසේය. "අපි ලස්සන ඇල්බම් එකක් හදන්න ආසාවෙන් හිටියේ. ඇල්ල උඩ ෆොටෝ ටික අරන් අවසාන ෆොටෝ එක ගන්න වතුරට බැස්සා. එකපාරටම අපි දෙන්නම වල ඇතුළට ඇදිලා ගියා. අයියව වල ඇතුළටම ගිහින්. මාව ගොඩ අරගෙන. මම එච්චරයි දන්නේ. අයියව බේරගන්න කවුරුත් බැස්සේ නැහැ."

ඉන්පසු සිය අනාගත බෑණනුවන් වූ ශිරන්තට අත්වූ ඉරණම ගැන දිල්මිගේ මව ප්‍රියංකා චන්ද්‍රකාන්ති මෙසේ කීවාය."දුවයි පුතයි දෙන්නා වතුරට බහින්න යද්දි එකපාරටම වතුරට වැටුණා. ඒ එක්කම මමත් මගේ අනිත් දුවත් පැන්නා එයාලව බේරගන්න. අපි දෙන්නව වතුරට ඇදිලා යද්දි කැමරා කරන පුතෙක් ඇවිත් ලීයක් වගේ එකක් දැම්මා. පස්සේ මමත් දුවත් ගොඩ ආවා. එතැනට පිටින් ඇවිත් හිටිය පිරිමි ළමයෙක් තමයි කොණ්ඩෙන් ඇදලා දිල්මි දුවව ගොඩට ගෙනාවෙ. පුතා එහෙමම යටටම ගිලුණා."

ශිරන්තට මරු කැඳවූ ෆ්‍රි ෂුට් එක ඡායාරූප ගත කළ ප්‍රධාන ඡායාරූප ශිල්පියා නන්දන අමරතුංගය. සිදුවූ අනපේක්ෂිත විපත නිසා ඔහු සිටින්නේ ද කම්පාවෙනි. "මීට පෙර එහෙට ගිහින් තිබුණෙ නැහැ. මඟදි හමුවූ වන්දනා නඩයක පිරිසක් තමයි ඒ ලොකේෂන් එක ගැන කිව්වේ. ඒ හරහා තමයි අපි එතැනට ආවේ. එතැන උඩ ෆොටෝ ටිකක් අරගෙන අපි පහළට ආවා. අපි ප්ලෑන් කරලා තිබුණෙ පහළට බැහැලා වතුර ටිකක් ඉහළට විසි කරන ෆොටෝ එකක් ගන්නයි. එහෙම කරනවාත් එක්කම තමයි ලිස්සලා ගියේ. නංගිව අපි ගොඩට ගත්තා. මගෙ අතේ තිබුණු කැමරා ස්ටෑන්ඩ් එක මල්ලිට දුන්නා. මම හිතන්නේ ඒ වෙද්දිත් මල්ලි ගිලිලා ඉවරයි. ඒ වෙලාවේ අවට පුද්ගලයන් 50-60ක් විතර හිටියා. අපි කෑ ගැහුවට කවුරුත් ආවේ නැහැ. පීනන්න පුළුවන් කවුුරුත් හිටි‍යෙත් නැහැ."

සහාය ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ඩිලාන් රජිත ද ශිරන්තට අත්වූ ඉරණම සියැසින් දුටුවෙකි. "අපි හිටියේ එයාලට පොඩ්ඩක් දුරින්. අක්කා ලෙස්සුවාම අයියා එයාව අල්ලගත්තා. ඒ එක්කම අයියත් එක්කම ලෙස්සලා ගිහින් දෙන්නම වතුරට වැටුණා."

එසේ සේර ඇල්ලේ දිය වලක සැඟව ගිය ශිරන්ත ගැන ලග්ගල පොලිසියට ද ආරංචි වන්නට වැඩි වේලාවක් ගත නොවීය. ලග්ගල පොලිසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද ශිරන්ත සොයා රෑ අඳුරු වැටෙන තෙක් වෙහෙසුණද ඒ වෑයම නිෂ්ඵල විය. අවසානයේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ශිරන්ත සොයා ඇල්ලේ දිය කඳ සෝදිසි කරන්නට වූහ. දිය යට සැඟව තිබූ ශිරන්තගේ නිසල සිරුර ඔවුන්ට හමුවන්නේ පසුදින(29දා) දහවලය. වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ශිරන්තගේ අකල් වියෝව ඔහුගේ මවුපියන්ට දැරිය නොහැකි වේදනාවකි. තම දෑස් ඉදිරිපිටදීම පුතුට අත්වූ ඉරණම දරාගත නොහැකිව මව හඬාවැටෙද්දී ශිරන්තගේ පියා එස්.කේ. රත්නසූරිය පැවසුවේ විවාහ උත්සවයේ ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මේ විපත දරාගත නොහැකි බවයි.

ශිරන්ත ජලයට බියක් දක්වන අයකු බව ඔහුගේ හිත මිතුරෝ පවසති. පිහිනීමට ද නොදත් ශිරන්ත අවසන් ගමන් ගොස් තිබුණේ ජලය පතුලේ වූ කොටයක් අල්ලාගෙන බවත් ඔහුගේ දේහය ගොඩගන්නා අවස්ථාවේ එතැන සිටි අයකු කීවේ කම්පාවෙනි. අඩි 33ක් පමණ උසැති ඉතා සුන්දර දිය ඇල්ලක් වුවත් එම ඇල්ල පාමුල පිහිටි දිය වල ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසීහු පවසති. එහෙත් ඒ අනතුරු ඇඟවීම් ‍නොසලකමින් කටයුතු කරන්නන් නිසා මෙවැනි ඛේදවාචක සිදුවන බව ඔවුන්ගේ අදහසයි.

ඒ සිදුවීමත් සමඟ එවැනි අවදානම් ඡායාරූපගත කිරීම්වලින් සමන්විත 'ෆ්‍රි ෂූ'ට් ගැන සමාජය තුළ වැඩි කතාබහක් ඇති වී තිබේ. බොහෝ දෙනකු ඒ සම්බන්ධයෙන් ඡායාරූප ශිල්පීන්ට චෝදනා කරති. එවැනි තත්ත්වයක් තුළ ඡායාරූපකරණයේදී ඡායාරූප ශිල්පියා සතු වගකීම සහ ඔවුන්ගෙන් සේවය ලබාගන්නන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් වන ප්‍රවීණ ඡායාරූප කලාවේදීන් කිහිප දෙනකුගේ අදහස් විමසා සිටියෙමු.

රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සභාපතීත්වය දරන අගමැති මාධ්‍ය අධ්‍යක්ෂ සහ ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කරන ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ඡායාරූප කලාවේදී ප්‍රසන්න හෙන්නායක ඒ පිළිබඳ පළ කළේ මෙවැනි අදහසකි. "ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරන සෑම අයකුටම තම සේවාදායකයා හා බැඳුණු පෞද්ගලික වගකීමක් සහ සමාජය සමග කටයුතු කිරීමේදී බැඳුණු සමාජීය වගකීමක් තිබෙනවා. ක්ෂේත්‍රයට එකතු වන නවක පරපුර සංයමයකින් සහ විනයකින් හැසිරවීම ජ්‍යෙෂ්ඨයන් ලෙස අපේ වගකීමක්. ඒ වගේම මෙවැනි අවාසනාවත්ත සිදුවීමක් වුණාම නැවත එවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම සිදුවීමේදී මනාල යුවළ කැමැත්තෙන් එම ස්ථානයට ගොස් තිබෙනවා. ඔවුන්ගේ මවුවරුත් ඒ ස්ථානයේ ඉඳලා තියෙනවා. නමුත් කිසිම කෙනෙක් ඒ අවස්ථාවේ අවදානම වටහා ගැනීමක් හෝ ඊට විරුද්ධ වීමක් සිදුකර නැහැ. ඡායාරූප ශිල්පියකුට ශිල්පීය ඥාණය පමණක් තිබුණාට මදි. ඔහුට රටේ නීතිය ගැන හොඳ දැනීමක්, සමාජ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම ආචාරශීලී බව, ස්වයං පාලනය ඡායාරූප ශිල්පියෙකුට අනිවාර්යෙන් තිබිය යුතුයි. ෆ්‍රි ෂූට්වලදී ස්වයං පාලනයෙන් මිදිලා ඡායාරූප ශිල්පීන් තමන්ට හිතෙන හිතෙන දේ මනාල යුවළ ලවා කරවනවා අපි දකිනවා. මනාල යුවළක් යම් ස්ථානයකට ගෙන යෑමට පෙර ඡායාරූප ශිල්පියා ඒ ස්ථානයට ගොස් එය කුමනාකාර තැනක්ද? අනතුරු දායකද කියන කාරණා ගැන හොඳින් දැනුවත් විය යුතුයි. මේ සිදුවීමේදී එම ඡායාරූප ශිල්පියා එකී වටිනාකම් ප්‍රගුණ කර නැති බව පැහැදලියි. පින්තූරයක් වෙනුවෙන් කෙනෙකුගේ ජීවිතය පරදුවට තබා කටයුතු කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැහැ. මම මෙහෙම කිව්වාම ෆ්‍රි ෂුට් නැතිවෙයි කියලා ඇතැම් ඡායාරූප ශිල්පීන් චෝදනා කරනවා. නමුත් ෆ්‍රි ෂුට් නැතිවෙන්නෙ මම කියන නිසා නෙවෙයි; ෆ්‍රි ෂූට් කරන්න ගිහින් ජීවිත නැතිවෙන නිසයි.".

කලින් කලට මෙරට මංගල ඡායාරූපකරණයට එක් වන මෙවැනි අංග රටටත් සමාජයටත් කෙතරම් දුරට ගැළපෙනවා ද යන්න පිළිබඳව ද අප ඔහුගෙන් විමසුවෙමු. "අවාසනාවකට වගේ අපේ රටේ වැඩි දෙනෙක් පිටරටින් එන හැම දේම ආසාවෙන් වැලඳ ගන්නවා. මෙයත් එවැන්නක්. අවදානම් ෆ්‍රි ෂූට් කරන්න ගිහින් අනූනවයෙන් ජීවිත බේරාගත් අවස්ථාත් වාර්තා වී තිබෙනවා. මීට පෙර දිය යට රූගත කිරීම් කරන රැල්ලක් ආවා. එවැනි දේවල් කළ යුත්තේ මනා පුහුණුවකින් පසුවයි. අපි එයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කටයුතු කළ නිසා දැන් යම් තරමකට එවැනි රූගත කිරීම්වල අඩුවක් තිබෙනවා. ඒ වගේම කාලයක් මනාල යුවළ පිටත්වන අවස්ථාවේදී රැග් කිරීම දරුණු විදිහට තිබුණා. ඒ වගේ අවස්ථාවක මනාලයෙක් පිහිනුම් තටාකයට විසිකිරීම නිසා ඒ මනාල මහතා තවමත් ගිලන් යහනක ඉන්නේ. ඒවාට විරෝධය පෑම නිසා එවැනි සිදුවීම් ද අඩුකර ගැනීමට අපට හැකිවුණා. එම නිසා ජායාරූප ශිල්පියෙක් තෝරා ගැනීමේදී මනාල යුවළට වගේම මවුපියන්ටත් විශාල වගකීමක් තිබෙනවා, මේ කරන්න යන්නේ මොනවද? කොහොමද කරන්න‍ෙ කියලා සොයා බලන්න. ෆ්‍රි ෂූට් එකක් අවශ්‍යම නම් කරන්න. නමුත් අවදානම් ස්ථානවලට ගිහින් විවාහ ජීවිතයක් අරඹන්න ඉන්න යුවළකගේ ජීවිත අවදානමට ලක්කරලා එවැන්නක් කරන්න එපා. මේ වන විට මම විවාහ මංගල උත්සව විසි දෙදාහකට වඩා ඡායාරූපගත කර තිබෙනවා. නමුත් කවදාවත් ෆ්‍රි ෂූට් එකක් කරලා නැහැ. නොකළා කියලා එයින් මගේ පැවැත්මට හානියක් වෙලත් නැහැ.

වත්මන් තරුණ තරුණියන් අතර ෆ්‍රි ෂූට් ඉතා ජනප්‍රිය අතර ඒ සඳහා ඡායාරූප ශිල්පීන් අය කරන මුදල ද විවිධාකාරය. වීඩියෝ රහිතව ෆ්‍රි ෂූට් ද ඇතුළත් සම්පූර් ණ විවාහ ඡායාරූප පැකේජයක මිල රුපියල් 75,000 සිට ලක්ෂ දෙක, තුන දක්වා ඉහළ අගයක් ගනී. එය තීරණය වන්නේ ඡායාරූප ශිල්පියාගේ ගුණාත්මක භාවය අනුවය. අවදානම් ස්ථානවල සිදුකරන ෆ්‍රි ෂූට් සඳහා වැඩි මුදලක් අය කරන බව ද මේ පිළිබඳ කළ විමසීමේදී හෙළි විය.

විවාහ මංගල ඡායාරූප ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් බහුල තවත් ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණ ඡායාරූප කලාවේදියකු වන ඉන්ද්‍රනාත තේනුවරගෙන් අප විමසුවේ ෆ්‍රී ෂූට් රැල්ල මෙරටට කෙතරම් උචිතද යන්න ගැනය. " ෆ්‍රි ෂූට් සංකල්පය විදෙස් රටවල භාවිත වන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයටයි. බටහිර රටවල්වල වෙඩින් එකක් කියන්නෙ මනාල යුවළ ඉතා සැහැල්ලුවෙන්, විනෝද වන 'ෆන් ඉවෙන්ට්' එකකටයි. ඒ දවස නිදහසේ විනෝදයෙන් ගතකරන්න අවශ්‍ය නිසා ඔවුන් විවාහ උත්සවයට දින කිහිපයකට පෙර සම්පූර් ණ මංගල ඇදුමින් සැරසිලා ෆොටෝ ෂූට් එකක් කරනවා. එය කරන්නෙ වෘත්තීය ඡායාරූප ශිල්පීන් විසින් නියම ප්‍රමිතියට අනුවයි. නමුත් ඒ සංකල්පය අපේ රටේ ඡායාරූප ශිල්පින් වැරදි විදිහටයි අද භාවිත කරන්නේ. සමහරු වෙඩින් එකටත් වැඩිය හොඳට ෆ්‍රි ෂූට් එක කරනවා. පුළුවන් අය පිටරටවලට ගිහින් ෆ්‍රි ෂූට් කරද්දි බැරි අය පිටවලපතනට හරි යනවා. සමහර ෆ්‍රි ෂූට්වල කන්සෙප්ක්ට් පුුදුමාකාරයි. මනාල යුවළ මුදල් ගෙවලා ඒ දේ කරලා දෙන්න කිව්වාම එය ඡායාරූප ශිල්පියා ඉටුකර දිය යුතුයි. එහෙත් ඡායාරූප ශිල්පියකුට සමාජ වගකීමක් තිබෙනවා සේවා දායකයාට ඒ දේ කිරීම හොඳ ද නරක ද කියලා තේරුම් කරදීමට. අවාසනාවකට වගේ ඇතැම් ඡායාරූප ශිල්පීන් ඒ සමාජ වගකීම බැහැර කරනවා. හේතුව ඔවුන්ට අවශ්‍ය ඒ ෆ්‍රි ෂූට් එක කරලා තමන් මාකට් කර ගැනීමයි. නමුත් ඡායාරූප ශිල්පියා හැමවිටම තමන්ගේ සීමාව සහ වෘත්තීය සහ මානුෂික ආචාරධර් ම තුළ සේවාදායකයාට සේවය ලබා දෙනවා නම් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් සිදු වන්නේ නැහැ. "

වසර 35කට අධික කාලයක් විවාහ මංගල ඡායාරූපකරණයේ නියැළී සිටින එදා මෙන්ම අදත් ජනප්‍රියත්වයේ ඉහළම තලයක සිටින ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ඡායාරූප කලාවේදියකු වන දයාන් විතෙ ෆ්‍රි ෂූට් පිළිබඳ දරන්නේ මෙවැනි අදහසකි. "ෆ්‍රී ෂුට් කියන සංකල්පයට මම සහමුලින් ම විරුද්ධයි. එදා මෙන්ම අදත් මම විවාහ මංගල ඡායාරූපකරණයේ කාර්යබහුලව සිටින කෙනෙක්. මේ දක්වාම මම කර තිබෙන්නේ එකම ෆ්‍රී ෂුට් එකක් පමණයි. ඒක කළෙත් නෙල්ලිගල පන්සලේ මංගල යුවළ බුදුන් වදින ඡායාරූප සහ සරසවියේ ඔවුන්ගේ මතක රැඳුණු ස්ථාන කිහිපයකදී ගත් සෞන්දර්යාත්මක ඡායාරූප එකතුවක් විදිහටයි. අද බොහෝ ෆ්‍රි ෂූටින් අපි දකින්නේ අනුරාගය ඉහිරෙන රූගත කිරීම් ලෙසයි. මම දැක තිබෙනවා සමහර විවාහ උත්සවවලදි මනාල යුවළ පෝරුවෙන් බැස්සට පස්සේ විශාල තිරයක ෆ්‍රි ෂූට් එක පෙන්නද්දි මනාලියගේ අම්මා ඔසරි පොටින් මුහුණ වහගන්නවා; දුවගෙ අනුරාගී රංගනය බලන්න බැරිව. එම නිසා මම එවැනි ෆ්‍රි ෂූට් කිසිසේත් අනුමත කරන්නේ හෝ එවැනි දේවල් බාර ගන්නේ නැහැ.

අද ෆ්‍රි ෂූට් වෙළෙඳ මායාවක් බවට පත්වී තිබෙනවා. ඇතැම් ඡායාරූප ශිල්පීන් ඒක මාකට් කරන්නේ කළ යුතුම දෙයක් විදිහටයි. ඇතැම් තරුණ තරුණියන් ඒවාට මුලා වෙලා ණය වෙලා හෝ ඒවා කරනවා. ඒ නිසා මම කියන්නේ තමන්ට හැකි දේ පමණක් කිරීමට ස්වාධීන බවක් තරුණ තරුණියන්ට තිබිය යුතුයි. අනුන් කරන නිසා තමන් ඒ දේ කළ යුතුම නැහැ. යුවළකට අවශ්‍ය නම් තමන්ගේ මධුසමයේ සුන්දර ඡායාරූප කිහිපයක් සිහිවටනයක් ලෙස ලබාගත හැකියි. එය ඔවුන් දෙදෙනාටම සීමා වූ අතිශය සුන්දර අත්දැකීමක්. ෆ්‍රි ෂූට් එකක් කරන්නම අවශ්‍ය නම් අපේ සාරධර්මවලට අනුකූලව පරිචයක් ඇති ඡායාරූප ශිල්පියකු ලවා එවැනි දෙයක් සිදු කර ගන්න. උදාහරණයක් විදිහට අපේ විවාහ සිරිත්වල තිබෙන බුලත් දීම වැනි චාරිත්‍රයක් එක්ක සුන්දර ෆ්‍රි ෂූට් එකක් කළ හැකියි. පිටරටින් එන දේවල් බොහොම ආසාවෙන් වැලඳ ගත්තට අපිට අපේ සංස්කෘතිය තුළ තිබෙන බොහෝ වටිනා දේවල්වල අගයක් නැහැ. ඡායාරූප ශිල්පියෙක් විදිහට තමන්ට අනන්‍ය වූ ක්‍රමයක් ගොඩනඟා ගැනීම ඉතා වැදගත්. මම පටන් ගත්තේ මටම ආවේණික ක්‍රමයකින්. ඒ නිසා මට මේ දක්වා ක්ෂේත්‍රය තුළ පැවැත්මක් තිබෙනවා. මේ වන විට මගේ ඡායාරූප පුවත්පත්වල පළ වෙන්නේ මගේ අත්සන සහිතවයි. උත්සාහය සහ කැපවීම තුළ ගොඩනඟා ගත් ඒ වටිනාකම් ගැන මම ඉතා නිහතමානීව ආඩම්බර වනවා."

සේර ඇල්ලට බිලි වූ තරුණයාගේ ඛේදවාචකය අපට යළි යළිත් සිහි කරන්නේ වත්මන් ජායාරූප ශිල්පීන් කොතෙක් දුරට තම වෘත්තීය හා බැඳුණු පෞද්ගලික සහ සමාජීය වගකීම හඳුනා ගෙන කටයුතු කරනවා ද යන ප්‍රශ්නයයි. ෆ්‍රී ෂුට් නිසා ශිරන්තගේ තුරුණු ජීවිතය අකාලයේ මිලිනව ගියේ ඡායාරූප ශිල්පියාගේ අඩුලුහුඬුකමක් නිසාම පමණක් නොවේ. ඡායාරූප ශිල්පියාගෙන් ගුණාත්මක සහ ප්‍රමිතියෙන් උසස් සේවයක් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳ එම යුවළ සහ ඔවුන්ගේ වැඩිහිටියන් ද දැනුවත් වී සිටියා නම් ඒ කුරිරු ඉරණම ඔහු කරා නොඑන්නට ඉඩ තිබිණ. ෆ්‍රි ෂූට් හේතුවෙන් තවත් ජීවිතයක් අකාලයේ මරුවාට බිලිවීමේ ඉඩ අහුරන්නට නම් ඡායාරූප ශිල්පීන් තම වෘත්තීය සහ සමාජ වගකීම හඳුනා ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය.

 

Comments