කොරෝනාවෙන් ජනතාව රකින්න පොලීසිය කළ නොනිමි මෙහෙය | Page 2 | සිළුමිණ

කොරෝනාවෙන් ජනතාව රකින්න පොලීසිය කළ නොනිමි මෙහෙය

කොළඹ කොටුව දුම්රිය ස්ථානය විෂබීජහරණය කිරීම

කොරෝනා වසංගතය පැතිර යෑම ඇරැඹීමත් සමඟම ආරක්ෂක අංශ විසින් ආරම්භ කරන ලද ක්‍රියාන්විතයන් නිසා එම වසංගතය පාලනය කර විශාල ව්‍යසනයකින් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට අපට හැකි විය. එහිදී ජනතාව සමඟ වැඩි වශයෙන්ම සම්බන්ධව කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කළ කාර්යභාරය අසීමිතය. පොලිසිය විසින් සිදු කරන ලද අනුපමේය මෙහෙය නොවන්නට කොරෝනා වයිරසයට ගොදුරුව සැලකිය යුතු පිරිසකට ජීවිත අහිමි වන්නට ඉඩ තිබුණි. විශේෂයෙන්ම ආරක්ෂක අංශ අතුරින් බොහෝ විටම ඍජුවම ජනතාව සමඟ එක්ව කටයුතු කරන්නට සිදු වන්නේ පොලිසියට වීම මෙහිදී අප සිහි කළ යුතුය.

ශ්‍රී ලංකා පොලිසිය විසින් පසුගිය මාස තුනක කාලයේ සිට මේ දක්වා සිදු කරනු ලබන කොරෝනා මෙහෙයුම ගැන අපි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරන්ත හමුවී සාකච්ඡා කෙළෙමු.

ඔහු පෙන්වා දෙන පරිදි ලෝකයේ පළමු කොරෝනා රෝගියා චීනයෙන් වාර්තා වීමත් සමඟම ශ්‍රී ලංකා පොලිසිය කොරෝනා මෙහෙයුම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළමු රෝගියා ජනවාරි මාසයේ වාර්තා වීමත් සමඟම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පොලිස් බුද්ධි අංශවලට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරමින් පවසා ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණයන්ගෙන් යුක්ත වූ යම් පුද්ගලයකු පිළිබඳව වාර්තා වුවහොත් වහාම ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසයි. අද දක්වාම ඒ උපදෙස් මාලාව ඒ ලෙසින්ම ක්‍රියාත්මක වේ.

ඒ හරහා මහජනතාවට පොලිසිය වෙත තොරතුරු ලබා දීමේ පහසු ක්‍රමවේදයක් ආරම්භ කරන ලදී. ඒ ඔස්සේ යම් ආසාදිතයකු හමුවුවහොත් ඔහුගේ 1වන 2වන හා 3වන ආශ්‍රිතයින් පහසුවෙන් හඳුනා ගැන්මට හැකියාව ලැබුණි. එසේම පොලිස් තොරතුරු කොට්ඨාසය හරහා ලැබෙන සියලුම තොරතුරු පරිගණකගත කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ සිතියමක සියලුම ආසාදිතයන් ඇතුළු ඔවුන්ගේ සියලු විස්තර ද අන්තර්ගත කරන ලදී. ඒ අනුව අදාළ ආසාදිතයා වර්තමානයේ සිටින ස්ථානය, ඔහුට රෝගය වැළඳුණු දිනය ආදී සියලු විස්තර ලබා ගත හැකි විය. එසේම ඒ ඔස්සේ පළමු, දෙවැනි හා තුන්වැනි ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයද ආරම්භ කරන ලදි.

ඒ අනුව කොරෝනා රෝගය පැතිර යාම සම්බන්ධ සියලු දත්ත පොලිසියට ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව තිබුණු අතර පොලිස්පතිවරයා දක්වා වූ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ක්ෂණිකව යාවත්කාලීන වන සියලු තොරතුරු දැන ගත හැකි විය.

ඒ කටයුතු එසේ සිදු වෙද්දී කොරෝනා පැතිරයාම වැළැක්වීම පිණිසද විවිධ පියවර ගන්නා ලදී. මෙහිදී විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත ස්ටිකරයක් හා පෝස්ටරයක් නිර්මාණය කිරීමටද මෙහිදී පොලිසිය විසින් කටයුතු කරන ලදී. එහිදී නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයන්ගේ නිවාසයන්හි අදාළ ස්ටිකර් අලවන ලදී. එහිදී සෙසු පුද්ගලයින්ට නිරෝධායනය වන පුද්ගලයන් ඇසුරු කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්විණි. එයින් මහජන සෞඛ්‍යාරක්ෂිතභාවය ඉතා හොඳින් රැක ගැන්මට හැකි විය. ආසාදිතයන් ඇසුරු කළ අය නිවෙස් තුළම නිරෝධායනය කෙරුණු අවස්ථාවන්හිදී එක් පුද්ගලයකු වෙනුවෙන් එක් පොලිස් නිලධාරියෙක්, එස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් හා එක් බුද්ධි අංශ නිලධාරියෙක් යෙදවුණි. එහෙත් නිවෙස්වල නිරෝධානය සිදු කෙරෙන පිරිස් වැඩිවත්ම එසේ එක් එක් නිලධාරියෙක් බැගින් යෙදවීම පොලිසියට අසිරු වූ නමුත් දිනපතාම ඒ සියලු නිලධාරීන්ගේ අධීක්ෂණයට නිරෝධායනයට ලක් වන්නන් ලක් කෙරිණි. එසේම පෝස්ටර් ලක්ෂ 10ක් පමණ මුද්‍රණය කර ඒ ඔස්සේ ජනතාව විසින් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳව දැනුවත් කිරීමද සිදු කෙරිණි. ප්‍රජා පොලිස් ඒකක මාර්ගයෙන් සියලු පොලිස් බල ප්‍රදේශවල ආවරණය කෙරෙන පරිදි මේ පෝස්ටර් ඇලවීම සිදු විය. මේ සියලු කාර්යයන් නිසා කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකියාව ලැබුණු අතර මහජනතාවගෙන් තොරතුරුද ලැබෙන්නට විය.

එසේම ඇඳිරි නීතියට ජනතාවගෙන් 99%කටත් අධික පිරිසක් සහාය පළ කර සිටි අතර ඉතා සුළු පිරිසක් විසින් ඇඳිරි නීතිය කඩ කිරීම නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාවට නැංවීමට සිදු විය. විශේෂයෙන්ම මේ යටතේ පුද්ගලයන් 75,000ක් පමණ අත් අඩංගුවට ගත් අතර රථ වාහනද 20,000ක් පමණ අත් අඩංගුවට ගන්නා ලදී.

මහජනතාව විසින් ලබා දුන් සහාය ශ්‍රී ලංකා පොලිසිය මහත් සේ අගය කරන අතර මුඛ ආවරණ පැළඳිය යුතුද නැද්ද යන්න සෞඛ්‍ය අංශ අතර යම් මතවාදයක් පවතිද්දී වුවද පොලිසිය විසින් විශේෂ ඉල්ලීමක් ජනතාවගෙන් කරන ලදි. ඒ මුඛ ආවරණ පැළඳීම පිළිබඳ සෞඛ්‍ය අංශ මතය කෙසේ වුවත් පොලිස් නිලධාරීන් ඇතුළු මහජන ආරක්ෂාවට සිටින නිලධාරීන්ගේ ආරක්ෂාව පිණිස මුඛ ආවරණ පළඳින ලෙසයි. ඇත්තෙන්ම ජනතාවගෙන් ඒ සඳහා ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර ඇතැම් අය තම වාහනයේ ගමන් කරද්දී පවා මුඛ ආවරණය පැළැඳ ගමන් කිරීම අගය කරන බවද පොලිසිය දන්වා සිටී.

විශේෂයෙන්ම මාර්ග බාධකවල රාජකාරි කටයුතු සිදු කළ බහුතරයක් පොලිස් නිලධාරීන් වන අතර පොලිස් නිලධාරීන්ට කිසිදු ආකාරයක රෝග ආසාදනයක් ඇති නොවන ලෙස කටයුතු කිරීම පොලිසියේ ප්‍රධාන කාර්යයක් වූයේ යම් හෙයකින් පොලිස් නිලධාරීන්ට යම් රෝග ආසාදනයක් සිදුවුවහොත් ඔවුන් හරහා සෙසු පුද්ගලයන්ට පහසුවෙන් ආසාදනය තත්ත්වයන් ඇති වන නිසාය. මාර්ග බාධක හරහා ගමන් කරනු ලබන දහස් ගණනක් වූ රථ වාහන මෙන්ම දස දහස් ගණනක් වූ ජනතාව කිසිසේත්ම ලේඛන ගත නොවන හෙයින් යම් ආසාදනයක් ඇති වුවහොත් එය විශාල ව්‍යාප්තියක් කරා ඇදී යාම වැළැක්වීම පොලිසියේ අරමුණ විය.

ඒ උදෙසා සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් 7 දෙනකු බැගින් තෝරාගෙන ඔවුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් ස්ථාපිත කළ අතර එම පොලිස් නිලධාරීන් කොළඹට ගෙන්වා ඔවුන් විශේෂ සෞඛ්‍යාරක්ෂිත පුහුණුවකට සම්බන්ධ කරන ලදී. එම නිසා යම් පොලිස් බල ප්‍රදේශයක ආශ්‍රිතයෙක් හෝ ආසාදිතයන් ඇසුරු කළ අයකු පිළිබඳව දැන ගන්නට ලැබුණහොත් එම කණ්ඩායම අදාළ ස්ථානයට යැවීමට කටයුතු කරන ලද්දේ ඔවුන් ලැබූ විශේෂ පුහුණුව නිසාය.

පසුව අදාළ පළාත් තුළම එම කණ්ඩායම් පුහුණු කිරීම සිදු කරන ලද අතර ඒ හරහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කරන්නට හැකි විය. මේ ලෙසින් ආරක්ෂාකාරීව කටයුතු සම්පාදනය කළ හෙයින් කොරෝනා මර්දනයට ජනතාව අතර වැඩි වශයෙන් සම්බන්ධ වූ ආරක්ෂක අංශය වුවත් කිසිදු පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදයනයක් සිදු නොවුණි.

එමෙන්ම මෙහිදී පෙන්වා දිය යුතු අනෙක් විශේෂිතම කරුණ වන්නේ පොලිසිය විසින් මේ කොරෝනා මර්දනයට සම්බන්ධ වූයේ සෙසු සියලු රාජකාරි කටයුතුද ඒ ලෙසින්ම ඉටු කරමින් වීමයි. දෛනික පොලිස් රාජකාරි වන පැමිණිලි විභාග කිරීම්, අපරාධ සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු කාර්යයන් රැසක් සිදු කරමින් වීමද ඇගැයිය යුතුය.

කොවිඩ් - 19 මර්දන බළකාය මෙන්ම පොලිසිය විසින් දිනපතාම ලබා ගන්නා තීන්දු තීරණ පොලිස් ස්ථාන වෙත විනාඩි කිහිපයකින් ලබා දිය හැකි ආකාරයේ සමූහ පද්ධති නව සන්නිවේදන ක්‍රම හරහා උපයෝගී කරන්නට පොලිසිය විසින් කටයුතු කර තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා වෙනම සන්නිවේදන ජාලයක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා වෙනම සන්නිවේදන ජාලයක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට වෙනම සන්නිවේදන ජාලයක් ආදී වශයෙන් මෙන්ම පොලිස් ස්ථාන දක්වාම මේ ක්‍රමවේදය ක්‍රියාවට නංවන ලදී. එසේම පොදු සන්නිවේදන ජාලයක්ද ඒ අතරේම ක්‍රියාත්මක කරන ලදී.

කොවිඩ් -19 මර්දන කාර්ය සාධන බළකාය ගනු ලබන තීන්දු තීරණ විනාඩි කිහිපයක් ඇතුළත සියලු පොලිස් ස්ථානයක් කරා යොමු කරන්නට මේ අනුව හැකි වීම නිසා ජනතාවට උපරිම ලෙසින් සේවය සලසන්නට පොලිසියට හැකි විය.

ඇදිරි නීති සමයේ මහල් නිවාසන්හි සිටි ජනතාවගේ ආතතිය දුරු කිරීම පිණිස වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ සංගීත සංදර්ශන පැවැත්වීමටද පොලිසිය විසින් කටයුතු කිරීමද මෙහිලා අගය කළ යුතුය.

ඇඳිරි නීතිය පවතිද්දී වුවද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන විෂබීජහරණයට ලක් කරන්නට පොලිස් විසින් කටයුතු කළ බව මෙහිදී පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම බැංකු, රෝහල් වැනි ජනතාව එකල වැඩි වශයෙන් ගැවසුණු ස්ථාන පළමුවත් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟම පොදු වෙළෙඳ පොළ, දුම්රිය ස්ථාන බස් නැවතුම් පොළ මෙන්ම මේ වන විට පාසල් පවා විෂබීජහරණයට කටයුතු කරන්නට පොලිසිය කටයුතු කර තිබේ. එමෙන්ම විවිධ අවශ්‍යතා පිණිස පැමිණ තම ගම්බිම් බලා යාමට නොහැකිව සිටි විශාල පිරිසක් ඔවුන්ගේ ගම්බිම් බලා යවන්නටද පොලිසිය මැදිහත්ව කටයුතු කරන ලදී. මෙහිදී විශේෂයෙන්ම නිදහස් වෙළෙඳ කලාපයන්හි සේවය කළ සේවක සේවිකාවන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දී ඔවුන් තම ගම් බිම් බලා යැවීමට ද පොලිසිය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

එම පිරිසට අමතරව රැකියා මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා බස්නාහිර පළාතට පැමිණ ආපසු යාමට නොහැකිව සිටි 53,000කට අධික පිරිසක් සම්බන්ධව සොයා බලා ඔවුන් නිවෙස් කරා යැවීමට අදියර කිහිපයකින් කටයුතු කරන්නට කටයුතු කෙළේද පොලිසිය විසිනි. එහිදී බස්නාහිර පළාතේ නිවෙසක් ගානේ ගොස් තොරතුරු සොයා බලා එහි මූලිකත්වය ගෙන කටයුතු කෙළේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි.

එමෙන්ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ බෙදා දෙන්නට ද පොලිසිය විසින් කටයුතු කරන ලදී. දිනපතාම ජනතාවට අදාළ වන කරුණු මාධ්‍ය මඟින් ලබා දෙන්නට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න විසින් කටයුතු කළ අතර එයද කොරෝනා උවදුර මර්දනයට විශාල පිටිවහලක් විය.

පොලිසියේ මේ නොනිමි මෙහෙය අදත් අපට පෙන්වා දෙන්නේ ‘මිතුරුතුමන් දුක සැප දෙකෙහිම ඉන්නා බව‘ ය. බොහෝ විට ගල් මුල් දෝස්මුර ඇති පොලිසියට ඔවුන් කළ සේවාවට මෙසේ වදන් කිහිපයකින් හෝ උපහාර දැක්විය යුතුමය.

Comments