කොරෝනාවෙන් වැටුණු කොටස් වෙළෙඳපොළ නැවත සක්‍රිය වෙයි | සිළුමිණ

කොරෝනාවෙන් වැටුණු කොටස් වෙළෙඳපොළ නැවත සක්‍රිය වෙයි

පසුගිය දිනවල කොටස් වෙළෙඳපොළ ස්වයංක්‍රීයව තාවකාලික නතර කිරීම්වලටත් ලක් වෙලා

සති හතක් පමණ නතර වී තිබුණත් ක්‍රියාත්මක වූ දිනවල ඉහළ පිරිවැටුමක් වාර්තා වෙයි

කොවිඩ් 19 වසංගතය ලෝකයේ බොහෝ බලාපොරොත්තු සුන් කළේය. මේ බලාපොරොත්තු අතරේ ජීවිතවලට පමණක් දෙවැනිව සුන් වූ බලාපොරොත්තුවක් වී නම් ඒ ආර්ථිකය පිළිබඳව වූ බලාපොරොත්තුවය. මේ අතර ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළ ආයෝජකයෝ යළි කවදා කොටස් වෙළෙදපොල නැගිටීවිදැයි යන අවිනිශ්චිත බව මත බලාපොරොත්තු අත්හළහ. කොරෝනා වසංගතය මුල් අදින්නට වූ මාර්තු මාසයේ දින කිහිපයක්ම වෙළෙඳපොලේ හදිසි කඩා වැටීම් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව නැවැත්වීමට පවා නියාමකයන්ට සිදු විය. ඒ අතරට අස්ථාවර වූ මෙම වෙළෙදපොළ යළිත් පසුගිය සතියේ නව බලාපොරොත්තුවක් කැන්ඳවීය. ඒ මාස තුනකට පසුව මුල් වරට කොළඹ කොටස් වෙළෙදපොළ සමස්ත මිල දර්ශක අගය ඒකක 5000 සීමාව පසු කිරීමය. මෙය සිදුවූයේ මාස තුනකට පසුව පසුගිය සඳුදා ය.

ලෝකයේම කොටස් වෙළෙඳපොල සම්බන්ධයෙන් කොව්ඩ් සමයේ වූ කතා බහ සහ අද සිදුවන දේ අතර වෙනසක් ඇත. විශේෂයෙන් පසුගිය මාර්තු මාසයේදී කොරෝනා වසංගතය හිස ඔසවමින් ඉතාලිය ස්පාඥ්ඤය ප්‍රමුඛ යුරෝපයට පහර දෙද්දී, ඇමෙරිකාවේ තැනින් තැන රෝගය හිස ඔසවද්දී බොහෝ වෙළෙදපොල බිඳ වැටෙන්නට ගත්තේ අවිනිශ්චිත බවට පත් වූ ආයෝජකයන් බොහොමයක් තමන් මිලදී ගෙන ඇති කොටස් හදිසියේ විකිණීමට යාම නිසාය. ශ්‍රී ලංකාවේද කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කොට තිබූ බොහෝ විදේශිකයන් තමන්ගේ කොටස් කඩිමුඩියේ විකුණා දමන්නට කටයුතු කළහ. මේ තත්ත්වය ඇමෙරිකාවේ ප්‍රධාන පෙලේ කොටස් වෙළෙඳපොළ නිව්යොර්ක් කොටස් වෙළෙඳපොල වැනි වෙළෙඳපොළවලද දැකිය හැකි විය.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම කොටස් වෙළෙඳපොළක ආයෝජකයන් තෙවර්ගයක් ඇත. කොටස් වෙළෙඳපළේ ලයිස්තුගත කර ඇති සමාගම්වල කොටස් මත ආයෝජනය කරන මේ ආයෝජකයන්ගෙන් එක කොටසක් වන්නේ මහා පරිමාණ සමාගම්ය. එක් සමාගමක් වෙනත් සමාගමක ආයෝජනය කිරීම එහිදී සිදු වේ. ඊට අමතර ව ඇතැම් පෞද්ගලික සමාගම් හෝ වැඩි ආයෝජන ධාරිතාවක් ඇති තනි පුද්ගල ආයෝජකයන් දෙවැනි වර්ගයයි. තුන්වැනි වර්ගය වන්නේ සුළු පරිමාණ ආයෝජකයන්ය. මේ සියලු දෙනාම බොහෝ විට ගනුදෙනු කරන්නේ ආයෝජන උපදේශකයන්ගේ උපදෙස් මත හෝ තමන් ලබා ගත් දැනුම සහ අත්දැකීම් පදනම් කරගෙනය. ලෝකයේ මුල්පෙළේ ආයෝජකයන් ලෙස සැලකෙන වොරන් බුෆේ වැන්නවුන් පවා පසුගිය කාලයේ අඩියක් දෙකක් නොව අඩි කිහිපයක්ම කොටස් වෙළෙඳපොළෙන් ආපස්සට ගැනීම හේතුවෙන් ඊට යටි පෙළේ සිටි ආයෝජකයෝ කලබල වූහ. එසේම මෙම තත්ත්වය ආසියාවේද කොටස් වෙළෙඳපොළ තුළ දැකිය හැකි විය.මේ නිසා බොහෝ කොටස් වෙළෙඳපොළ ස්වයංක්‍රීය ව තාවකාලික නතර කිරීම්වලට ලක් විය.

ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය මේ වනවිට පරිගණක ගත කර ඇති අතර එම කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක වන්නේ තොරතුරු තාක්ෂණ පද්ධති මතය. කෙටි කලක් තුළ කොටස් වල මිල දර්ශක අගයයන් සීඝ්‍රයෙන් කඩා වැටීමකට ලක් වෙයි නම් ස්වයංක්‍රීයව වෙළෙඳාම් කටයුතු නතර වීම සිදුවේ. මෙය හැඳින්වෙන්නේ සර්කිට් බ්‍රේකර් හෙවත් ස්වයංක්‍රීය අක්‍රිය වීම ලෙසිනි. ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොල මෙසේ ස්වයංක්‍රීය ව අක්‍රිය වීම ශ්‍රී ලංකාවේ දෛනික වෙළෙඳ පිරිවැටුම ඇතුළු කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය වැඩි සමාගම් සමාගම් 20 මත පදනම්ව සැකසෙයි.

එස් ඇන්ඩ් පී එනම් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් දර්ශකය යනු ජාත්‍යන්තර ව පිළිගැනෙන කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳව දර්ශකයකි. එහි ස්ටෑන්ඩර්ඩ් පුවර් ශ්‍රී ලංකා දර්ශකය සැකසෙන්නේ අන්තර් ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත්වලට අනුවය. මෙහිදී සියලූම කොටස් S & P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර් මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස භාවිතයට ගනු ලබයි. S & P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර් ගතවීම සඳහා සුදුසුකම් ගණනාවක් සපුරාලිය යුතුය. එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුළ එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.

ලෝකයේ බොහෝ රටවල මෙම නියාමනය සිදුවන්නේද ජාත්‍යන්තර එස් ඇන්ඩ් පී දර්ශක පසුබිම් කරගෙන ය. ශ්‍රී ලංකාවේ මුල් පෙළේ පවතින සමාගම් 20හි ක්‍රියාකාරීත්වය දර්ශකයක් ලෙස සැකසන මෙම මිල දර්ශකයේ අගය සියයට 5කට වඩා කෙටි වෙලාවක් තුළ පහත වැටුණහොත් ස්වයංක්‍රීයව විනාඩි කිහිපයක් සඳහා කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නවතී. පසුගිය මාර්තුවේ ලෝකයේ ප්‍රධාන පෙළේ බොහෝ කොටස් ‍වෙළෙඳපොළ තුළ මෙම සන්තෑසිය කිහිප වරක්ම සිදුවූයේ ආයෝජකයන්ගේ හදිසි කලබලය මත කොටස් විකුණා දමන්නට උත්සුක වීම නිසාය.

මාර්තු මාසයේදී කිහිප වරක්ම මෙසේ කඩා වැටුණු කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම වසා දැමෙන්නේ ඇඳිරි නීතිය ප්‍රකාශ වන කාල සීමාවේදීය. එනම් කොවිඩ් වසංගත කාලයට පෙර කොටස් වෙළෙඳපොළ වසා දැමුණේ මාර්තු මස 20 වැනිදාය. එදින තුළදීද කොළඹ කොටස් වෙළෙඳපොළ සියයට 10කට ආසන්න මට්ටමකින් පහළට වැටුණි. කෙසේ වුවද යළිත් කොළඹ කොටස් වෙළෙඳපොල විවෘත වන්නේ සති හතක කොරෝනා විරාමයෙන් පසුවය. මෙම “කොරෝනා විරාමයෙන් පසුව මැයි මාසයේ 11 වැනිදා යළි ඇරඹුණු කොළඹ කොටස් වෙළෙඳපොළද මේ වනවිට තම මෙහෙයුම් කටයුතු කාලය පැය එක හමාරකින් අඩු කොට ඇත්තේ කොවිඩ් පාලන උපදෙස්වලට අනුකූලතාවක් දැක්විය යුතු නිසාය. ඒ අනුව සාමාන්‍යයෙන් පෙරවරු 9.30ට ආරම්භ වන වෙළෙඳ සැසිය දැන් ආරම්භ වන්නේ පෙරවරු 11.00ටය.

එසේ වුවද ආයෝජකයන් තුළ තුළ පසුගිය දින කිහිපය තුළ අමුතු උද්‍යෝගයක් ඇතිව තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. මේ වර්ධනය සෙසු කොටස් වෙළෙඳපොළ තුළද දැකිය හැකිය. කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳව සැලකීමේදී පසුගිය බදාදා වන තෙක්ම දිගමට ඉහළ යන පසුබිමක් පෙන්නුම් කළේය. එය සුබවාදී හැරවුමක් ලෙස කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ දකිති. බොහෝ අය බලාපොරොත්තු කොළඹ කොටස් වෙළෙඳපොළද දරුණු කඩා වැටීමකට ලක් වේ යැයි අපෙක්ෂා කළද සමස්තයක් ලෙස වෙළෙඳපොල කොරෝනා වසංගතයෙන් පසුව හැසිරුණේ ධනාත්මකවය.

වෙළෙඳපොළ සමස්ත මිල දර්ශක අගය පන්දහස ඉක්මවා යාම කෙරෙහි වෙළෙඳපොළට සම්බන්ධ සෑම ආකාරයකම ආයෝජකයන් අතින් බලපෑමක් සිදුව ඇති ව පෙනී යයි. මේ තත්ත්වයට වැඩියෙන්ම බලපෑවේ නියම අගයද ඉක්මවමින් පසුගිය කාලයේදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම්වල කොටස් මිල පහත වැටීමය. මෙරට ප්‍රධාන පෙළේ බැංකු සහ විවිධාංගීකරණය වූ සමාගම්වල කොටස් සැලකිය යුතු ලෙස පහළ ගිය පසුබිමක් තුළ වැඩි වැඩියෙන් එම කොටස් එකතු කිරීමට වෙළෙඳපොළ ක්‍රියාකාරී මහා පරිමාණ සමාගම් ඉහළ ආයෝජන හැකියාවක් සහිත ආයෝජකයන් ඉදිරිපත් වීම මෙම පිරිවැටුම් ඉහළ තලයකට යාම කෙරෙහි බලපෑවේය.

මෙම කොටස්වල නිසි වටිනාකම පිළිබඳව ඔවුන්ට ඇති අවබෝධය මේ උනන්දුවට හේතුවක් විය. මෙම ආයෝජකයන්ගේ යුහුසුළු බව නිසාම මිල පහළ ගිය සමාගම් රැසක කොටස් මේ වනවිට සුපුරුදු රිද්මයට මිල අත්පත් කර ගනිමින් ඇත. පසුගිය වසරේ දී සාමාන්‍යයෙන් මෙම දළ දෛනික පිරිවැටුම වූයේ රුපියල් මිලියන 711.2කි. එහෙත් මෙය මෙම වසරේ දළ වශයෙන් රුපියල් බිලියන 1.2ක් පමණ වී ඇත. එයින් පෙනෙනුයේ සති හතක පමණ කාලයක් ගනුදෙනු නතර වී තිබුණද වෙළෙඳපොළ ක්‍රියාත්මක වූ දිනවල ඉහළ පිරිවැටුමක් වාර්තා කොට ඇති බවය.

මෙම පිරිවැටුම කෙරෙහි ආයෝජකයන්ගේ දායකත්වය කෙසේද යන්න පිළිබඳවද විමසීම වැදගත්ය. කොටස් වෙළෙඳපොළ වාර්තා අනුව එයින් සියයට 35.5කට දායක් වී ඇත්තේ දේශීය තනි පුද්ගල ආයෝජකයන්ය. සාපේක්ෂව විශාල ආයෝජන ධාරිතාවක් සහිත මෙම ආයෝජකයන් වෙළෙඳපොළ පිරිවැටුමේ ලොකුම කොටසට වගකියද්දී සියයට 33.1ක් දේශීය සමාගම් විසින් සිදු කරන ලද ගනුදෙනු හේතු වී ඇත.සෙසු සියයට 30කට ආසන්න ප්‍රතිශතය නියෝජනය වන්නේ විදේශීය ආයෝජකයන්ය. මෙම වසර තුළ ඔවුන් විසින් ඉවත් කරගනු ලැබ ඇති ආයෝජන වටිනාකම රැපියල් බිලියන 18.4කි. ලොකු දුර්වලකමක් තිබෙන්නේ විදේශීකයන්ගේ සම්ප්‍රාප්තියයි.

අන්තර්ජාලවෙළෙඳාම මේ වන විට ශක්තිමත් කර ඇති අතර කොටස් වෙළෙදපොලේ ගනුදෙනු ඩිජිටල්කරණය කිරීම, මධ්‍යම තැන්පතු පද්ධතියේ (සීඩීඑස්). ගැනුම් කුවිතාන්සි අලෙවි කුවිතාන්සි සියල්ල අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම ආයෝජකයන්ට ඊ මේල් ලිපිනය සහ ජංගම දුරකථන අංකය ලබා දෙන ලෙස පසුගියදා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිවේදනයක් කළ අතර ඉදිරියේදී අලුතන් එක්වන සියලුම ආයෝජකයන්ට අන්තර්ජාල ලිපිනය සහ ජංගම දුරකථන අංකය ලබාදීම අනිවාර්ය කොට ඇත. එහි අරමුණ වී ඇත්තේ ඉදිරියේදී සියලුම ගනුදෙනු සහ සේවා ඇඟිලි තුඩ තරම් දුරකට ආයෝජකයන්ට සමීප කරවීමය.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (බාහිර සබඳතා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපන) තුෂාර ජයරත්නට විශේෂ ස්තූතිය හිමි වේ.

Comments