පාස්කු ප්‍රහාරය උඩු යටිකුරු වීම | සිළුමිණ

පාස්කු ප්‍රහාරය උඩු යටිකුරු වීම

පසුගිය දශක කිහිපය ඇතුළත සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන දකුණු ආසියාවේ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන්නේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ අයිඑස් සංවිධානයේ අන්තවාදී ප්‍රහාරයයි. එල්ටීටීඊ ත්‍රස්තවාදී සමයේ වුවද එක් දිනක් තුළ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මෙවන් ආකාරයෙන් ප්‍රහාර එල්ල වූයේ නැත.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සැලසුම් කළ මොහොතේ සිට ප්‍රහාරය එල්ල කළ අවස්ථාව දක්වා වූ සිදුවීම් මාලාවම අප රටේ බුද්ධි අංශ වෙතට වාර්තා වී තිබූ නමුත් එය වළක්වා නොගත් බවට සමාජයෙන්ම මතයක් ගොඩ නැඟුණේ ප්‍රහාරයෙන් පසුව එක් එක් පාර්ශ්වයන් විසින් සිදු කළ ප්‍රකාශ නිසාය. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ලැබුණු පසු ඒ සම්බන්ධව නිසි ලෙසින් ආරක්ෂක අංශ දැනුවත් නොකළ බවට පොලිස්පති පූජිත් ජයසුන්දරට හා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දුටත් චෝදනා එල්ල වූ අතර ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ දෙකක් සම්බන්ධව ලොව පුරා අප්‍රසාදයන් පළ ව තිබුණි. හෝටල්වලට ආරක්ෂාව ලබා දීමට තමන් බැඳී නොසිටින බව ඔහු වරෙක මාධ්‍යයට ප්‍රකාශ කෙළේය. එමෙන්ම යම් සිදුවීමක් විය හැකි බවට අපට තොරතුරු ලැබුණු නමුත් මෙතරම් දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තමන් නොසිතූ බවද ඔහු පැවසීම ආන්දෝලානාත්මක ප්‍රකාශ ලෙස බීබීසී, ප්‍රංශ පුවත් ඇතුළු විදේශීය මාධ්‍ය විසින් හොයා දැක්වුණු අතර එය සෘජුවම සංචාරක කර්මාන්තයට මරු පහරක් විය.

වර්තමානයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ සිදු කරනු ලබන ජනාධිපති කොමිසමේ කාර්යභාරය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණෝ තම ප්‍රසාදය පළ කර සිටියහ. එසේ වුවත් මේ පරීක්ෂණ, විමර්ශන දුර්වල කිරීමමටත් නැවැත්වීමටත් එක්තරා බලවත් පිරිසක් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කාදිනල් හිමියෝ පවසති. පරීක්ෂණ දුර්වල කිරීම ඒ අයගේ අරමුණ වී ඇති බවද උන් වහන්සේ පෙන්වා දෙති.

ඕනෑම අයකුට ජීවත්වීමේ අයිතිය ඇති බව පෙන්වා දෙන උන් වහන්සේ පැවසුවේ ඒ අයිතිය උදුරා ගැන්මට කිසිවකුට අයිතියක් නැති බවයි. පරීක්ෂණ අඩාළ කිරීමට මානව හිමිකම් ලේබල් අලවා ගත් අය කටයුතු කළත්, නීතිඥයන් ලෙසින් පෙනී සිට අධිකරණය හෑල්ලුවට ලක් නොකළ යුතු බවද උන් වහන්සේ පැවසූහ. එසේ යම් අය කටයුතු කරන්නේ නම් ඒ අයට විරුද්ධව වුවද කටයුතු කිරීමට සිදුවන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ. ප්‍රහාරයේ වැරැදිකරුවන් සොයා අගතියට පත් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම කළ යුතු බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පණ දුන් ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු කොරෝනා වසංගතය නිසා මාස දෙකකට ආසන්න කාලයක් අක්‍රියව පැවතුණි.

පසුගිය 13 වැනිදා සිට එහි සාක්ෂි විමසීම යළි ආරම්භ කළ අතර එම සාක්ෂි අතර විශේෂිත වූ සාක්ෂි කිහිපයක්ම ලැබී තිබුණි. පසුගිය 26 වැනිදා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්ෂ පොලිස් පරීක්ෂක බී.ජේ.කේ. අබේවික්‍රම පැවසුවේ පාස්කු ප්‍රහාරයට දින 10කට පෙර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් තමාට ඒ ගැන දන්වා තිබූ බවයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු බාරව සිටි රාජ්‍ය බුද්ධි අංශය, විශේෂ කාර්යාංශය හා තවත් විශේෂ බුද්ධි අංශ එකල නිසි ලෙසින් බුද්ධි තොරතුරු සන්නිවේදනය කර නොගැනීම නිසා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව ඔහු පිළි ගත්තේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ පසුගිය 14 වැනිදා සාක්ෂි ලබා දීමට පැමිණියේ බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහය. ඔහු 2019 වසරේ අප්‍රේල් මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා බස්නාහිර උතුර දිසාව භාරව වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පතිරයා ලෙස ද කටයුතු කරන ලදී. ඒ බස්නාහිර උතුර දිසාව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම දිනවල නිවාඩු ලබා තිබූ බැවිනි. කොමිසම වසන්ත වික්‍රමසිංහගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු දැක්වෙන ලේඛනයක් මුලින්ම ලැබුණේ කවදාද යන්නයි.

VPN තාක්ෂණය ඔස්සේ එම ලේඛනයක් 2019.04.09 දින තමන්ට ලැබුණු බව ඔහු කීවේය. අදාළ ලේඛනයේ දැක්වුණේ දිවයිනේ කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම ප්‍රහාරයට සම්බන්ධව සහරාන් හෂීම් හා මොහොමඩ් රිල්වාන් අයගේ නම් ගම් ඡායාරූප හා හැඳුනුම්පත් අංක පවා එහි සඳහන්ව තිබූ බවත් ඔහු පවසා සිටියේය.

ඒ අනුව තමන් බස්නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනාටම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ලිඛිතව හා වාචිකව දැනුම් දුන් බවත් ඔහු කොමිසම හමුවේ පැවසීය. ඒ සම්බන්ධයෙන් නියෝග 16කින් යුත් ලේඛනයක් මඟින් ඔවුන් දැනුවත් කළ බවද මෙහිදී ඔහු කොමිසමට පැවසීය. බන්නාහිර උතුර ප්‍රදේශයට මේ සම්බන්ධව දැනුවත් කෙළේද යන්න කොමිසම ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවසුවේ එම ප්‍රදේශය බාරව සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා බවත් එම දිනවල ඔහු නිවාඩු ලබා ගොස් සිටි බවයි.

මෙවන් ප්‍රහාරයක් සම්බන්ධ ලේඛනයක් ලැබී තිබියදීත් ඔහුට නිවාඩු අනුමත වූයේ කෙසේද යන්න කොමිසම විමසා සිටි අවස්ථාවේදී නිවාඩු අනුමත කර තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බවත් පෙන්වා දුන් ඔහු පැවසුවේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුට අදාළ ලිපිය සම්බන්ධව ක්‍රියා කරන්නැයි දැනුවත් කර ඇති බවයි.

පසු දින පෙරවරුවේ බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනු තමා රූපවාහිනියෙන් දුටු බව ඔහු පැවසුවේය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ සන්නිවේදන තාක්ෂණික ක්‍රම රැසක් තිබියදී තමා ඒ බව දැන ගත්තේ රූපවාහිනියෙන්ද යන්න කොමිසම විමසූ අවස්ථා‍වේ ඔහු පැවසුවේ තමන්ට කිසිදු නිලධාරියෙක් දැනුම් නොදුන් බවත්, පැවැති කලබලකාරී තත්ත්වය අනුව එය මඟහැරී යන්නට ඇතැයි තමා බව විශ්වාස කරන බවයි. ප්‍රහාරයෙන් පසු තමා ඇමතූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් අධිකාරිවරුන් ක්‍රියාත්මක වී නොමැති බවත් කිසිදු විශේෂ ආරක්ෂාවක් පල්ලිවලට යොදා නොතිබූ බවත් යැයි ඔහු කීවේය. මෙහිදී කොමිසම හමුවේ සාක්කි ලබා දුන් එවකට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විමසා සිටියේ ප්‍රහාරයක් සම්බන්ධව ලිපියක් ලැබී තිබියදී ප්‍රමුඛත්වයේ ලබා නොදුන්නේ මන්ද යන්නයි.

පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා විසින්, මෙවන් අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය දන්වන නමුත් මේ ලිපියේ එවැන්නක් සඳහන්ව නොතිබීමෙන් එහි ප්‍රභලත්වය පහළ දමා තිබුණු බවද ඔහු කීවේය.

එසේනම් මෙහි වරද, වගකීම ඇත්තේ කා අතද යන්න කොමිසම විසින් ඔහුගෙන් විමසුවේය.ඊට පිළිතුරු ලෙසින් දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ; ඉන්දීය රෝ බුද්ධි අංශ විසින් 2019 ජනවාරි 23 වැනිදා ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ලබා දී තිබියදීත් ඒ සම්බන්ධව නිසි පරිදි ක්‍රියා නොකිරීමේ වරද ඇත්තේ ජාතික බුද්ධි සේවාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව‍, ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම සතුව බවය.ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුව කොමිසම විසින් පෞද්ගලිකව විනාඩි 17ක කාලයක් ඔහුගෙන් රහසිගත ලෙසින් සාක්ෂි ලබා ගන්නා ලදී. පසුගිය 15 වැනිදා කොමිසම හමුවේ සාක්කි ලබා දුන් එවකට මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ චන්දන අතුකෝරළ සාක්කි දෙමින් පැවසුවේ ප්‍රහාරයක් ගැන තොරතුරු ලැබී තිබුණද මෙතරම් බරපතළ සිදුවීමක් වනු ඇතැයි අපේක්ෂා නොකළ බවය.

වර්තමානයේ පොලිස් සුබසාධක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන චන්දන අතුකෝරළගෙන් කොමිසම විමසා සිටියේ ප්‍රහාරයක් එල්ල වන බවට දැනුවත් වූයේ කවදාද යන්නයි. ඔහුගේ පිළිතුර වූයේ 2019 වසරේ අප්‍රේල් 12 වැනිදා සවස පණිවුඩකරුවකු හරහා තමන්ට ලිපි ගොනුවක් ලැබුණු බවත් තමන් එය විවෘත කර බැලුවේ පසුදින පෙරවරුවේ බවත් අදාළ ප්‍රහාරය පිළිබදව තොරතුරු එහි අඩංගුව තිබුණු බවත්ය. එය එවා තිබුණේ එවකට කොළඹ උතුර බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවද ඔහු සාක්කි දෙමින් පැවසීය.

අප්‍රේල් මස 17 වනදා වන විටත් කිසිදු ලිඛිත හෝ වාචික හෝ තොරතුරක් නොලැබුණු අතර 20 වැනිදා පස්වරුවේ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ කතා කර තමා අමතා 21 වැනිදා ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව දැනුම් දුන් හෙයින් අවි සහිත පොලිස් නිලධාරීන් යොදවන ලෙස දැනුම් දුන් බවද සාක්කි දෙමින් කීවේය. ඒ අනුව සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඒ සම්බන්ධව දැනුවත් කළ බවත් කීවේය.

නන්දන මුණසිංහගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබියදීත් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වූයේ ඇයිද යන්න කොමිසම විමසා සිටි අවස්ථාවේදී චන්දන අතුකෝරළ පැවසුවේ බොහෝ වේලාවට දුරකතන ඇමතුම් ලැබෙන හෙයින් ඒ ගැන විශේෂ සැලකිල්ලක් නොදැක්වූ බවයි. 21 වැනිදා උදෑසන 9.30ට පමණ කටාන පොලිස් ස්ථානාධිපතිවරයා තමා අමතා කටුවාපිටිය පල්ලියට ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනුම් දුන් අතර; ඒ ගැන වැඩි දුර සොයා බැලීම්දී අනාවරණය වූයේ කිසිදු පොලිස් නිලධාරියෙක් ආරක්ෂාවට යොදා නොතිබූ බවයි.මෙහිදී තමන් වගකීම පැහැර හැර ඇතැයි හැඟී ගියේ නැත්දැයි කොමිසම විමසූ විට ඔහු පවසා සිටියේ තමන්ට පහළ පොලිස් නිළධාරීන් විසින් වගකීම් පැහැර හැර ඇති බවයි. තමන්ටත් ඒ සම්බන්ධව වගකීමක් නැත්ද යන්න කොමිසම විසින් දිගින් දිගටම ප්‍රශ්න කිරීම හමුවේ තමාටද යම් වගකීමක් ඇති බව චන්දන අතුකෝරළ පිළි ගත්තේය. 19 වැනිදා සාක්ෂි ලබා දීමට පැමිණි එවකට කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසය බාරව කටයුතු කළ පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහගෙන් කොමිසම විමසුවේ ප්‍රහාරය සම්බන්ධව පූර්ව දැනුම් දීමක් ලැබුණේද යන්නය.

ඒ සම්බන්ධ ලිපි කට්ටලයක් අප්‍රේල් 12 වැනිදා තමන්ට ලැබුණු බවත් එහි සහරාන් හෂීම් ඇතුළු පිරිසක් ගැන තොරතුරු අඩංගු වූ බවත් ඔහු කීය. එහෙත් එහි කොළඹ මධ්‍යම කොට්ඨාසයට බලපාන කිසිදු තොරතුරක් සඳහන්ව නොතිබුණු බැවින් ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකළ බවද ඔහු පැවසීය. එවක කොළඹ මධ්‍යම නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ ශාන්ත පතිනායකගෙන් යම් තොරතුරක් මේ සම්බන්ධව ලැබුණේ දැයි කොමිසම විමසූ අවස්ථාවේදී සාක්කිකරු පැවසුවේ එවන් ඇමතුමක් 2019 වසරේ අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 7.30ට පමණ ලැබුණු බවත් ඔහු පැවසුවේ කතෝලික පල්ලිවලට ආරක්ෂාව සලසන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව තමන්ට අයත් පොලිස් ස්ථාන 8හිම ස්ථානාධිපතිවරුන්ට දුරකතනයෙන් ඒ පිළිබඳව දැනුම් දුන් බවත් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි හෙයින් වැඩ බලන ස්ථානාධිපතිවරයා වූ සරත් කුමාරසිංහට විශේෂ දැනුම් දීමක් කෙළේ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, මහ බැංකුව වැනි මර්මස්ථාන කිහිපයක් තිබෙන නිසා ප්‍රධාන ලෙසින්ම ‘ඩියුටි ඇලට්‘ කරන ලෙස කොටුව වැඩ බලන ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ කොටුව පොලිසියේ කාර්යභාර නිලධාරි ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමසිංහගෙන් ප්‍රහාරය ගැන පණිවුඩයක් ලැබුණේද යන්න ගැන කොමිසම විසින් ප්‍රශ්න කරන ලදී. 20 වැනිදා රාත්‍රී 7.30ත් 8.00ත් අතර එවන් පණිවුඩයක් ලැබුණු බවත් අද රාත්‍රී කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා ඩියුටි ඇලට් කරන ලෙස දැනුම් දුන් බව ඔහු සාක්කි දුන්නේය. එහෙත් කොමිසම විමසා සිටියේ මීට පෙර 2019.10.28 දින කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයට ලබා දුන් ප්‍රකාශයේ ‘අද‘ යන්න සඳහන්ව නැති බවත් නිවැරැදි වන්නේ එදා ලබා දුන් ප්‍රකාශයද නැත්නම් අද දින (2020.05.19) ලබා දුන් ප්‍රකාශයද යන්න බවයි.

අද (2020.05.19) ලබා දුන් ප්‍රකාශය නිවැරැදි බව ඔහු පැවසුවේය. එම අවස්ථාවේ ලලන්ත ගුණවර්ධනට කතා කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවත් එම නිසා කොටුව පල්ලියට ආරක්ෂාව සලසන ලෙස උපදෙස් ලබා දුන් බවද පැවසුවේය.ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි දෙදෙනා අප්‍රේල් 20 දින රාත්‍රී 9ට පමණ හෝටලයෙන් පිටතට පැමිණ කොළඹ ස්ථාන කිහිපයකට ගොස් රාත්‍රී 11.00ට පමණ හෝටලයට පැමිණ ඇති බව තමා මේ වන දැනුවත්ව සිටීද යන්න ගැන කොමිසම විසින් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ මේ වන විට දැනුවත්ව සිටින බවයි.

2019 අප්‍රේල් මස 20 වැනිදා රාත්‍රියේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශනගෙන් කොමිසම විමසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධව උසස් නිලධාරියකුගෙන් ඔහුට යම් තොරතුරක් ලැබුණේද යන්නයි. ඒ පසුගිය මැයි 20දා කොමිසමෙ සාක්කි විමසීමේදීය. 2019.04.20 රාත්‍රී 8.20ට පමණ වැඩබලන ස්ථානාධිපතිවරයා දුරකතන ඇමතුමක් ලබා දුන් බවත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව දැනුම් දුන් නිසා ජීප් රථ සූදානම් කළ බවත් මාර්ග බාධක වෙතද දැනුම් දුන් බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.

කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා සිටියේ විමසිල්ලෙන් හා අවදියෙන් සිටින ලෙස පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් බවයි. එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් හා අවදියෙන් නොසිටින බවද යැයි කොමිසම විමසූ විටද සාක්කිකරු නිරුත්තර විය. සහරාන් හෂීම් ගැන තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ තොරතුරු හා සේයාරූ ඇතුළත් විස්තර පොලිස් ස්ථානයේද තිබූ බවත් ඔහු මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි නොසිතූ නිසා ඒ ගැන ඒ තරම් විමසිලිවත් නොවූ බවත්ය.

පසුගිය 15 වැනිදා කොමිසම හමුවේ සාක්කි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වර්ණ කීර්තිසිංහ පැවසුවේ සහරාන් ප්‍රහාරය සහා යොදාගෙන තිබුණේ මෙරට නිපදවන ලද බෝම්බ බවයි. ඔහු කිංස්බරි හෝටලයේ ප්‍රහාරය පිළිබව පරීක්ෂණ කටයුතු භාරව සිටි නිලධාරියා වේ.

එමෙන්ම කිංස්බරි බෝම්බකරුට හෝටලයේ කාමරයක් වෙන් කර ගැනීමට අයෙක් හෝටලයට පැමිණ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බය පුපුරවා ගත් බෝම්බකරු බවට මේ වන විට හඳුනාගෙන ඇති බව සාක්කිකරු පැවසුවේය. කිංස්බරි 20 වැනිදා පැමිණ 8 මහලේ 819 කාමරය නවාතැන් ගත් ආකාරය දැක්වෙන සීසීටීවී කැමරා දර්ශනද කොමිසමට ඉදිරිපත් කෙළේය. බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනකද යන්න ගැන දන්නේදැයි විමසු විට 20 වැනිදා රාත්‍රී පුපුරණ ද්‍රව්‍ය ගෙන ආ බවට කැමරා සටහන් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු එදින රාත්‍රී හෝටලයෙන් පිටත් වී කොළොන්නාව සුපිරි වෙළෙඳ සලකින් භාණ්ඩ මිලදී ගෙන කොළොන්නාවේ කුලී නිවසක සිටි බිරිය හා දියණියට ඒවා ගෙන ගොස් දී තිබෙන බවද සාක්කිකරු කීවේය. ඔවුන්ගේ නම් දන්නේ දැයි විමසූ විට සාක්කිකරු පැවසුවේ බිරිය අයේෂා සිද්ධිකා හා දැරිය හබීබා මුබාරක් බවයි. ඔහු සහරාන් ගේ රියදුරු ලෙස කටයුතු කළ බවත් 2019.04. 16 දින කාත්තන්කුඩියේ යතුරු පැදියක් පුපුරවා හැරීමටද මේ පුද්ගලයා සම්බන්ධ බවද පෙන්වා දුන්නේය.

පාස්ක්‍ර ප්‍රහාරය වළක්වා ගැනීම ගැන බෝලය එහාට මෙහාට පාස්වෙමින් තිබේ. ඒ ගැන නිසි වගකීම ගන්නට කිසිවෙක් නැත. එහෙත් බුද්ධි තොරතුරු හංඟාගෙන තමන්ට ලකුණු දමා ගන්නට පිරිසක් උත්සාහ ගත් බවත් මේ වන විට කොමිසම හමුවේ හෙළි වෙමින් තිබේ. මේ සම්බන්ධ වගකිව යුත්තන් හෙට දිනයේ එළිවන ලකුණු පැහැදිලිවම පෙනෙන්නට ඇත.

Comments