ඉමිහිරි බැඳුමක අමිහිරි කතාවක් | සිළුමිණ

ඉමිහිරි බැඳුමක අමිහිරි කතාවක්

කර්තෘ - කරුණා පෙරේරා

සරසවි ප්‍රකාශකයෝ

“ඒ ඉවසීමේ මූලික පාඩමයි.” එය ඇගේ ආදර්ශ පාඨයක් නොවේ. ඇය හැකි සෑම අවස්ථාවකම ප්‍රතික්ෂේප කල සමාජ හැසිරීමකට එරෙහිව මතු කල විරෝධතා ප්‍රකාශයක් යැයි සිතේ.

ලංකා සමාජය සිය සාම්ප්‍රදායික වැඩවසම්වාදී සමාජය හැවක් සේ අත් හරිමින් නූතන බටහිරවාදී සමාජ ආකල්ප සමඟ ගනුදෙනු කිරීමට පටන්ගන්නේ හුදෙක්ම පැවැති යටත් විජිත සමයේ නොවැළැක්විය හැකි බලපෑම් නිසාය යන්න අමුතුවෙන් පෙන්වා දිය යුත්තක් නොවේ. ලෝකයේ විවිධ රටවල මේ ඵෙතිහාසික ක්‍රියාවලිය විවිධ ආකාරයට සිදු වූ නමුත් මෙරට ජනතාව එය අත් වින්දේ එසේ නැත්නම් ඔවුන්ට එය දැනුණේ නගරයේ ඇවැතුම් පැවැතුම් ගමට ගලා එමින් ගම නගරයක් වෙනවාය යන අවලාද හැගීමෙනි. පසුව උගතුන් එය නාගරීකරණය සහ එහි සාජු බලපෑම් යනුවෙන් ඒ තත්වය විග්‍රහ කරන්න ඉදිරිපත් විය.

කරුණා පෙරේරා කෙටිකතා කලාවට පිවිසෙන්නේ 60 දශකයේ දීය. ඒ වන විට මෙරට පුවත්පත් කලාව ඉතා ඉහළ වර් ධනයක තිබු අතර ජී. බී. සේනානායක වැනි පුරෝගාමි කෙටිකතා කරුවන් පවා සිය මුල්ම කෙටිකතා පළ කරන්නේ ඒ ප්‍රබෝධමත් පුවත්පත් සංස්කෘතිය තුළ වු කෙටිකතා පිටු වල ය. එසේ පුවත්පත්හි ජනප්‍රිය විශේෂාංගයක් වු කෙටිකතාව පසුව පොත් වශයෙන් පළ වෙමින් නවකතා හා සමානවම කෙටිකතා සාහිත්‍යයක් ද මෙරට ඇති කළේය.

කරුණා පෙරේරා, ඇරැව්වල නන්දිමිත්‍ර වැනි චරිත බිහි වන්නේ සේනානායකලාට පසු පරපුරක් හැටියටය. එසේ මතුවන ඇය මේ වන විට කෙටිකතා සංග්‍රහ කිහිපයක්ම පළ කොට ඇති අතර ඉහතින් සඳහන් වුයේ ඇගේ අලුත්ම කෙටිකතා සංග්‍රහයයි.

මෙරට බටහිර යටත් විජිතවාදය සමග ඇතිවු නාගරීකරණය සම්බන්ධයන් අප විසින් ඉදිරිපත් නරන්නට යෙදුණ ඉහත පුර් විකාව සමස්තයක් වශයෙන් ගත් කල කරුණා පෙරේරාගේ කෙටිකතාවන්හි මූලික අන්තර්ගතය හා සමපාත වේ ඇගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය තුළ එය වඩාත් තීව්‍ර ලෙසින් පාදක කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් කතා කිරීම මෙහිලා අරමුණ වෙයි.

ඉහතදීත් කී ආකාරයට සැබෑ ශිෂ්ටාචාරමය තත්වයකින් තොරව මෙරට ජන සමාජය නාගරීකරණයට ගොදුරු වීම තුළම බොහෝ සමාජ හිංසනයන් නිර් මාණය වීය යන්න පැහැදිලි සත්‍යයක් වේ.

ඒ පසුගාමී සමාජ අව හැසිරීම් අතරට කාන්තා හිංසනය ඇතුළු වන්නේ ප්‍රධාන පෙලේ මාතෘකාවක් හැටියටය. ඉනුත් කරුණා පෙරේරා මෙය ගන්නේ විවාහයෙන් පසුව ගෘහාශ්‍රිතව ඇති වන පුරුශාධිපත්‍යය නම් හැසිරීමට අදාලවය.

එහිදී ඇය ඉස්මතු කරමින් සිටින්නේ විවාහය යනු පුද්ගල කේන්ද්‍රීය අධිපතිවාදයක් නොවිය යුතු බවයි. සමානයන් දෙදෙනකු අතර ඇති වන මිහිරි සහසම්බන්ධතාවක් ලෙසින්ම එය පැවතිය යුතු බවයි.

“සාරධර්ම අනම් මනම් සේරම කරේ තියාගෙන යන්න බෑ. කරේ තියාගෙන යන්නට හැකි පමණට පමණක් බාර ගත යුතු යයි මට සිතේ. දැන් අප ආ බසය අපට උවමනා තැනින් අප ද බස්සවා අප හිඳ සිටි තැනින් වෙනත් දෙදෙනෙකු හිඳුවාගෙන බොහෝ දුරක් ගොස්ය. ඉතින් ඔබ....? ඔබ තවමත් සිටින්නේ මා අර ඔබ දෙස බැලූ බැල්මේ වරද ළඟය.”

“එහෙත් ඔබ දන්නා වචන සියල්ලම එහා මෙහා කරමින්, කියන්නේ මා රිදවන කතාවකි. ඔබ වචන හසුරුවන්නේ, මට රිදෙන යම් දෙයක් මට හැගවීමටයි. මම තේරුම් ගනිමි. ඔබේ හැඟීම මම වටහා ගනිමි. ....ඔබේ හිනාව අවිනීතයි.....හඬ නගා සිනාසීම ගැහැනියකට තරම් නොවෙයි. ”

කෘතියේ එන ඉහත කියුම්හි රැඳී ඇත්තේ හැහැනියකගේ සානුකම්පිත අවධාරනයන්ය. ඒ සානුකම්පිත සංවේදීතාව මත පිහිටමින් කෙටිකතාකාරියක හැටියට කරුණා පෙරේරා නගන හඬ අපට ප්‍රතික්ෂේප කල නොහැකිය. නමුත් විශේෂයෙන්ම ශිෂ්ටාචාරවත් නොවූ නාගරික සමාජ සංස්කෘතියක් තුළ පවත්නා මේ විෂමත්වය හුදෙක් පුරුෂෝත්තමවාදයම ද? එසේ නැත්නම් ඊට එහා ගිය සමාජ සංස්කෘතික පිරිහීමක්ද යන විමසීමට යා හැකි තැන් අප කෙටිකතාකාරියගේ මෙම සංග්‍රහයට අයත් කෙටිකතාවන්හි දැකිය හැක. එසේ ගත් කල පුරුශාධිපත්‍යය යනු ඒ සමස්ත සමාජ විග්‍රහය තුළ ඇති එක් හඳුනාගැනීමක් පමණක් විය නොහැකිද?

මෙහිලා ඇගේ ලයාන්විත පෙන්වා දීමට අනුව විවාහය නම් සංස්ථාපිතය තුළ චමත්කාර සඳ එළියේ පාළුව අතරින් ඈත දිළෙන තාරකා දෙස බලා සිටින බිරිඳ නම් වූ ගැහැනිය බරපතලම වේදනාව අත් විඳින්නේ “තමාට තමා අහිමි වීම” තුළ බව පැහැදිලිය.

මෙතනදී විවාහය නම් සංස්ථාපිතය හමුවේ වැදගත්ම විමසීම ඇත්තේ අර කියන්නට යෙදුණු තමාට තමා අහිමි වීම තුළ යැයි සිතේ. විවාහයෙන් පසු සිය පෙම්වතිය හෝ පෙම්වතා අහිමි වීම, ඉකුත් තාරුණ්‍යයේ අහිමි සංවේදීතාවන්, අපේක්ෂිත මානුෂීය හැගීම් අනපේක්ෂිත ලෙසින් විනාශ වීම යන මේ සියල්ලේම මුලික පදනම විය යුත්තේ හුදු සංවේගය නොව තමාට තමා අහිමි වීම යන ඒ කියවීමයි.

මෙය පොදු මානව ප්‍රශ්නයක් ලෙසින් සමාජගත කල හැක්කේ එතැනිනි. ඉදින් එය එසේ නොවුණහොත් එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර ඇතිවන පුද්ගල කේන්ද්‍රීය අත්දැකීමක් බවට පත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

“අපි සමානයන් වෙමු” යි ඇය නගන හඬ සමාජ කියවීමක් බවට පත් කරගත හැක්කේ එවැනි කියවීමකින් යැයි ඉමිහිරි බැඳුමක අමිහිරි කතාවක් විසින් පෙන්වා දෙන්නේ යැයි සිතමි.

Comments