‘පොකුණා‘ මරා දැමුවේ බාරයක් වෙනුවෙන්ද! | සිළුමිණ

‘පොකුණා‘ මරා දැමුවේ බාරයක් වෙනුවෙන්ද!

ඇත් අතුරු සෙවණින් නිදහස් කළ අලි පැටවාගේ මරණය අභිරහසක්

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පර්යේෂණ අනුව අලි මිනිස් ගැටුම නිසා ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ වාර්තා වී ඇත්තේ පසුගිය වසරේය. ඒ අනුව පසුගිය වසරේදී අලි ඇතුන් 361ක් මියගොස් ඇති අතර ඒ නිසා අහිමි වී ඇති මිනිස් ජීවිත ගණන 100කට ආසන්නය.

මේ අලි මිනිස් ගැටුමට ලක්වූ අලුත්ම අලි පැටවා ඇත් අතුරු සෙවණින් නිදහස් කළ ‘පොකුණා‘ය. වෙඩි තබා ඝාතනය කර තිබූ ඒ අලි පැටවාගේ සිරුර පසුගියදා උඩවලව පනහඩුමුල්ල ප්‍රදේශයේදී වනජීවි නිලධාරින්ට හමුවී ඇත.

උසින් අඩි හයක් හා වයස අවුරුදු 9 - 10 අතර වූ මේ ඇත් පැටවා උඩවලවේ වන උයනේ සිටි සීමිත ඇත් පැටවුන් සංඛ්‍යාෙවන් ඉතා හුරුබුහුටි සතෙක් බව වනජීවි නිලධාරිහු කියති. මේ ඇත් පැටවා වෙඩි තබා මරණයට පත් කළත් උගේ ශරීරයේ අඩි 2 1/2ක් දිග ඇත් දළ දෙක කපාගෙන ගොස් නොතිබීම පුදුමයකි. එමෙන්ම වනජීවි නිලධාරින් මේ ඇත් පැටවාගේ ඝාතනය කළේ ඇයිද යන්න හා කෙසේද යන්න පිළිබඳව පැහැදිලි හේතුවක්ද තවම අනාවරණය කරගෙන නැත; එය තවමත් අභිරහසකි.

මේ මරණය පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ඇඹිලිපිටිය හා උඩවලව පොලිසි වෙන වෙනම පරීක්ෂණවල නියැළෙයි. මේ අතර මේ සතා මරණයට පත්කිරීම යම් යාගහෝම බාරහාර වෙනුවෙන් කළ එකක්දැයි පරිසරලෝලීන් අතර සැකයක්ද පවතී.

මේ මළසිරුර සොයාගෙන ඇත්තේ උඩවලවේ පනහඩුමුල්ල ප්‍රදේශයේ වනජීවි නිලධාරින් මෙහෙයුමක නිරත වූ අවස්ථාවකදීය.

වනජීවි නිලධාරිනට අලි පැටවාගේ සිරුර හමුවන විට අලියා මියගොස් දින තුනක් පමණ පසුවී ඇතැයි උඩවලව උද්‍යාන භාරකාර කාර්යාලය පවසයි.

2013 වසරේ උඩවලව ඇත්අතුරු සෙවණින් නිදහස් කළ ‘පොකුණා‘ ඇත්අතුරු සෙවණට මුලින්ම ගෙන ගොස් ඇත්තේ උඩවලවේ පොකුණුවැන්න ප්‍රදේශයේදී සිය මවගෙන් මඟහැරි සිටියදීය. පසුව 2016දී මේ අලි පැටවා වනයට හුරු කර නැවත උඩවලවේ උද්‍යානයටම නිදහස් කර තිබේ.

උඩවලව ජලාශය අවට ‘පොකුණා‘ වැඩිපුර ගැවසි සිටි අතර පසුව හදිසියේ පොකුණාට දඩයක්කරුවකුගේ වෙඩි පහර එල්ල වී බරපතළ තුවාල ලබා ඇත. පසුව යළිත් ඒ අලි පැටවා උඩවලවේ ඇත් අතුරු සෙවණට ගෙන ගොස් සුවපත් කර යළි උඩවලවේ වන උයනට නිදහස් කර ඇත.

අලි පැටවාගේ මරණය පිළිබඳව ඇඹිලිපිටිය අධිකරණය ලබාදුන් නියෝග අනුව මියගිය ඇත් පැටවාගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය ඇත් අතුරු සෙවණේ ප්‍රධාන පශු වෛද්‍ය විජිත පෙරේරා හා පශු වෛද්‍ය මාලක අබේවර්ධන යන මහත්වරු විසින් සිදු කළහ.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ වෛද්‍ය මාලක අබේවර්ධන පැවැසුවේ අලි පැටවාගේ හිසටත් ශරීරයේ ස්ථාන කිහිපයකටත් වෙඩි පහරවල් වැදුණු ලක්ෂණ තිබූ බවයි. වැඩිදුර පරීක්ෂණ පිණිස අලි පැටවාගේ හිස කොටස් ඇත් අතුරු සෙවණට ගෙන ගොස් ඇත. කෙසේ වුවත් අලි පැටවාගේ ශරීරයේ තිබූ අඩි 2 1/2ක් පමණ දිග වටිනා ඇත් දළ යුවළ එලෙසම තිබූ බවත් මේ ඇත් පැටවා තරමක් දඩබ්බර ඇත් පැටවෙක් බවත් දඩයක්කරුවන්ට මොහු ලක්වී ඇති බවත් වෛද්‍ය මාලක අබේවර්ධන කියයි.

වෛද්‍ය මාලක අබේවර්ධන පවසන පරිදි ඇත් අතුරු සෙවණින් නිදහස් කළ පැටවුන්ගෙන් සියයට 75ක් ඉතා හොඳින් සිටින බවට තොරතුරු වාර්තා වූ බවයි. කෙසේ වුවත් ‘හක්ක පටස්‘ දීම හා වළවල්වල වැටීම ආදිය නිසා ඇත් අතුරු සෙවණින් නිදහස් වූ අලි පැටවුන් 5 - 6 පමණ ජීවිතක්ෂයට පත්වූ අවස්ථා වාර්තා වී ඇත. ඇත් අතුරු සෙවණින් නිදහස් වන අලි පැටවුන්ට සන්නිවේදන කර පටි බැඳ තිබීම නිසා වසර 3 - 4ක් යනතුරු ඔවුන්ගේ සංචරණ රටාව අධ්‍යයන කළ හැකි බවද වෛද්‍ය අබේවර්ධන මහතා පවසයි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් පවසන පරිදි උඩවලවේ ඇත් අතුරු සෙවණ 1995 නොවැම්බර් මාසයේ ආරම්භ වී තිබේ. අපේ රටේ පමණක් නොව ලොව ප්‍රථම ඇත් අතුරු සෙවණ (එළිපන්ට් ට්‍රාන්සිට් හෝම්) ලෙස තුවාල වූ හා අතරමං වූ අලි පැටවුන් සුවපත් කර කැලේට පුරුදු කළ යළි කැලේටම නිදහස් කරන ක්ෂේම භූමියක් ලෙස මෙය ඉදිවිය. එවකට වනජීවි ඇමැති ලෙස සිටි රත්නසිරි වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි එවක වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සිටි වෛද්‍ය දොස්තර නන්දන අතපත්තු මහතාගේ පූර්ණ මෙහෙයවීම මත බව වෛද්‍ය තාරක ප්‍රසාද් පවසයි.

උඩවලවේ ඇත් අතුරු සෙවණට මුලින්ම ගෙනාවේ නැත්නම් අතුරු සෙවණ පටන්ගත්තෙ කොමලි නම් කෙනර පැටවාගෙනි. කොක්මොටේ ප්‍රදේශයේ ගල් වළක වැටි සිට වනජීවි දෙපාර්තමේන්තුව බේරාගත් මේ අලි පැටවාට නම් තැබුවේ ‘කොමලි‘ ලෙසය.

මුලින්ම උඩවලවේ ජලාශය අසල භූමි භාගයක් මේ සඳහා තෝරාගත් වෛද්‍ය නන්දන අතපත්තු 1995 නොවැම්බර් 6 වැනිදාට යෙදෙන ලෝක සත්ත්ව ආරක්ෂණ දිනයේදී රත්නසිරි වික්‍රමනායක ඇමැතිවරයා අතට කිරි බෝතලයක් දී ඇත් අතුරු සෙවණ විවෘත කර ඇත.

අප ප්‍රථම වරට වෛද්‍ය නන්දන අතපත්තුගේ ආරාධනය පරිදි උඩවලවේ ඇත් අතුරු සෙවණට යන විට එහි තිබුණේ ඉතා අවම පහසුකම්ය. එහි වැඩ කටයුතු මෙහෙයවූ වෛද්‍ය සුහද ජයවර්ධන හා සිරිදරා ඇතුළු සහායකයන් 3 - 4 දෙනෙක් දිවා රෑ නොබලා එහි සිටි තුවාල වූ අලි බබාලාගේ තුවාලවලට බෙහෙත් දැමූහ. දහවල් පැය තුනකට වරක් ඒ අලි බබාලාට බෝතල් 3 - 4ක් කිරි බීමට දුන්හ.

ඒ දිනවල අප එහි යන විට සති දෙකක තරමේ රෝස පාට මයිල් ඇති පුංචි අලි පැටවෙක්ද එහි සිටීම පුදුම සහගත කරුණක් විය. ඒ වගා ළිඳකට වැටි බේරාගත් අලි පැටවෙකි. පසුව ඇත් අතුරු සෙවණ වනජීවි දෙපාර්තමේන්තුවෙන් නරඹන්නන් ඇදගන්නා ස්ථානයක් බවට පත් කළේය.

උඩවලව ඇත් අතුරු සෙවණ බාරව කටයුතු කරන වෛද්‍ය විජිත පෙරේරා පවසන පරිදි 1995 සිට 2020 දක්වා වසර 25 ඇතුළත අලි පැටවුන් 139ක් මේ ඇත් අතුරු සෙවණින් සුවපත් කර කැලේට මුදාහැර ඇත. ඉන් ‘පොකුණා‘ට සිදුවූ දෙය වැනි දේවල් සිදුවී මරණයට පත්වූ අලි ගණන 6 - 7 ක් විය. ‘පොකුණා‘ මීට පෙරත් තුවාල වී සිටියදී එක් වරක් ඇත් අතුරු සෙවණට ගෙනැවිත් සුවපත් කර කැලේට මුදාහැර තිබේ. පොකුණා ඇත් පැටවෙක් නිසා ඒ සතා මියයාම අපේ රටේ ඇත් පරපුරට හානියක් බව විජිත පෙරේරා පවසයි.

දැනට ඇත් අතුරු සෙවණින් කණ්ඩායම් 16ක් වරින් වර වසරින් වසර උඩවලවට, යාලට හා ලුණුගම්වෙහෙරට කණ්ඩායම් ලෙස මුදාහැර තිබේ. දැනට උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවු 72ක් සිටින බවත් ඉන් 20ක් නිදහස් කිරීමට සූදානම් කර ඇති බවත් පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි. එම පැටවුන් 20 දෙනා මීට කලින් සිදුකළ අයුරින්ම ලොරියකට පටවා ඈතට ගෙන ගොස් දැමීම නොකරන අතර ඒ වෙනුවට ඔවුන් දැනටමත් ඇත් අතුරු සෙවණින් වෙන්කර උඩවලව වන උයනේ වෙනම ස්ථානයක රඳවා ඇතැයි ද විජිත පෙරේරා පවසයි. ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ගේ නඩත්තුව සඳහා 1995 වකවානුවේ සිට ක්‍රියාත්මක අලි කැපකරු මාපිය ක්‍රමය තාමත් ක්‍රියාත්මක වේ.

නමුත් දැනට උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින පැටවුන් 72ක් අතරට අලි කැපකරු මාපියන් සිටින්නේ අලි පැටවුන් 20කට පමණි. ඒ නිසා අනෙක් අලි පැටවුන්ට ද කැපකරුවන් සිටීනම් ඔවුන්ගේ නඩත්තුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බරක් නොවෙන බවත් විජිත පෙරේරා මහතා පවසයි.

එලෙස උඩවලවේ ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ට කැපකරු මාපියන් බවට පත්වන අයට වනජීවි උද්‍යාන හා උඩවලව වන උයන නැරැඹීමේ විශේෂ වරප්‍රසාද රැසක් හිමි වේ. ඊට අමතරව තමන් රැකබලා ගන්නා අලි පැටවාට තමන්ට අවශ්‍ය නමක් තැබීමට ද වනජීවි උද්‍යාන බංගලා වෙන් කිරීමේදී ඒ අයට ප්‍රමුඛතාව දීමට ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි. ඔබටත් ඇත් අතුරු සෙවණේ අහිංසක අතරමංව බෙහෙත් කරන අලි පැටවකුට කැපකරු මාපිය ලෙස එක්වීමට අවස්ථාව තිබේ. ඒ සඳහා 0714446185 දුරකථන අංකය අමතා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු සෞඛ්‍ය හා පශු වෛද්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

මේ කරුණු අනුව උඩවලවේ ඇත් අතුරු සෙවණත් ඉන් කැලයට මුදාහරින අලි ඇතුන් සුරැකීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වඩා පියවර ගත යුතුව ඇත. මේ පිළිබඳ අප කළ විමසුමකදී පරිසර හා වනජීවි ඇමැති එස්. එම්. චන්ද්‍රසේන පැවසුවේ මේ ගැන විධිමත් විද්වත් පරීක්ෂණයක් කරන ලෙස තමා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බවයි. ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවටද මේ අලි පැටවාගේ මරණය පිළිබඳව කාර්යක්ෂම පරීක්ෂණයක් කරන ලෙසද ඇමැති චන්ද්‍රසේන මහතා ඉල්ලා ඇත.

සේයාරූ - උඩවලවේ සමූහ,

බී. ඒ. පොඩි මහත්මයා

Comments