කළු කඩ වෙළෙන්දන්ට පාරිභෝගික අධිකාරියෙන් බැට | සිළුමිණ

කළු කඩ වෙළෙන්දන්ට පාරිභෝගික අධිකාරියෙන් බැට

කොරෝනා සාමාන්‍ය ජන ජීවිතයට එකතු කළ වෙනස්කම් බොහෝය. ඒ සියලු වෙනස්කම් අතරේ ජන ජීවිතය කඩා ‍නොවැටී පවත්වාගෙන යෑමට රජය ගන්නා වෑයමට උර දෙන රාජ්‍ය ආයතන රැසකි. පාරිභෝගික අධිකාරිය කී පමණින් ඔබටත් මටත් සිහිවන්නේ කුමක්ද? වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයන්ට සිදුවන වැරදි සෙවීමට හිටිහැටියේ වෙළෙදසැල් වෙත කඩා පැන ඔවුන් නීතිය හමුවට ගෙන යන නිලධාරීන් පිරිසකි. පාරිභෝගික සේවා අධිකාරියේ රාජකාරිය එය පමණක්ද? කොරෝනා වසංගතය හමුවේ බොහෝ සේවා අඩපණ වුවද පාරිභෝගික සේවා අධිකාරියේ ඇත්තන්ට නම් එය නිවාඩු සමයක් වූයේ නැත.

රටම ලොක්ඩවුන් වුවද ජනතාවගේ කුසගින්න ලොක් කරන්නට කිසිසේත් නොහැකි බැවින් පාරිභෝගික ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු අනෙකුත් දෑ නිසි ප්‍රමිතියට යටතේ සාධාරණ මිලට ලබාගැනීමට ඇති අයිතිය සුරැකීම සඳහා පාරිභෝගික අධිකාරිය වෙනදාටත් වඩා කාර්යක්ෂමව සිය රාජකාරිය ඉටු කළහ. ඒ සඳහා ගතවූ මාස දෙක තුළ පමණක් දිවයින පුරා පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීම් සංඛ්‍යාව දහසකට ආසන්නය. පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යභාරය පිළිබඳ දත් නොදත් තතු රැසක් ඔබ වෙත ගෙන ඒමට අප අදහස් කළේ වසංගතයෙන් රටම පීඩා විඳිමින් සිටින අවදානම් අවස්ථාවක එම ආයතනය විසින් ඉටුවන සේවාව පිළිබඳ ඇගයීමට ලක්කරමිනි.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇති අතර එය වෙළෙඳ වාණිජ පාරිභෝගික කටයුතු හා අලෙවි ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වූවකි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සම්පාදනය කිරීමේ මුලික අභිප්‍රාය වී ඇත්තේ පවතින ආර් ථික තත්ත්වයන් සහ වෙළෙඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමය. පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙඳුන්ගේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා ද අධිකාරිය මැදිහත් වන අතර භාණ්ඩ හා සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරිය වෙත පැවරී ඇත. ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වයක් සමඟ රටේ උද්ගත වූ වාතාවරණය තුළ අධිකාරිය විසින් සිය මෙහෙවර අඛණ්ඩව ඉටුකිරීම සඳහා ගත් ක්‍රියාමාර් ග පිළිබඳව අප එහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී.එම්. ශාන්ත දිසානායක මහතාගෙන් විමසුවෙමු.

"වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කිරීමත් සමඟම ජනාධිපතිතුමා වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරීන් සහ අධිකාරියේ අප සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේ ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව සැලසිය යුතු බවයි. රජය විසින් යම් යම් භාණ්ඩ සඳහා ජනතාවට ලබාදුන් සහන ඒ ආකාරයෙන්ම ජනතාවට ලැබෙනවාද යන්න විමර් ශනය කිරීමට කාරණය අප අධිකාරිය විශේෂයෙන් කටයුතු කළා. ඒ අනුව මේ දුෂ්කර අවස්ථාවේදී සහතික මිලේ සහනය ජනතාවට ඒ ආකාරයෙන්ම ලබාදීම සඳහා අපි දිවයින පුරා විමර්ශන සහ වැටලීම් විශාල ප්‍රමාණයක් සිදු කළා. නීති කඩන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් අපට සිදු වුණා. "

එම අරමුණ සාක්ෂාත් කරගැනීම පහසු වූවක් නොවිය හැකිය. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකාරී වූ ආකාරය පිළිබඳ එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

" වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා වෙළෙඳසැල් වැසීමට සිදුවුණා. ජනතාව නිවෙස්වලට කොටුවුණා. ඒ දිනවල සහල් මිල විශාල වශයෙන් වැඩිවෙමින් තිබුණා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය 2020 අප්‍රේල් 10 වැනි සිකුරාදා ගැසට් පත්‍රයක් මඟින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ අනුව කීරි සම්බා කිලෝ 1ක් සඳහා රුපියල් 125ක් කැකුළු සහල් සඳහා රුපියල් 85ක් සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 90 ක් ලෙස මිල නියම වුණා. ඒ වගේම ඒ වන විට වෙළෙඳපොළේ කහ කුඩු මිලත් ඉහළ යමින් තිබුණා. ඒ තත්ත්වය වැළැක්වීම සඳහා රජය අප්‍රේල් 21 වැනිදා කහ කුඩු කිලෝ එකක් සඳහා රුපියල් 750ක උපරිම සිල්ලර මිලක් නියම කළා. "

නිරෝධායන ඇඳිරි නීතිය නිසා බොහෝ දෙනකුට නිවෙස්වලම රැඳී සිට රාජකාරිවල නිරත වීමේ අවස්ථාව සැලසුණද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට නම් ඒ අවස්ථාව ලැබුණේ අල්ප වශයෙනි.

" පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේ නිලධාරීන්ට ඇඳිරි නීතිය පැවති කාලයේ පවා ක්ෂේත්‍රයේ රැඳී සිටීමට සිදුවුණා. ඇත්තෙන්ම ඔවුන් රාජකාරිය ඉටුකළේ වසංගත අවදානම ද සමඟයි. මෙම වසංගත තත්ත්වය අපට අලුත් අත්දැකීමක් වගේම මෙය කලින් සැලසුම් කළ දෙයක් නෙවෙයි. අපේ නිලධාරීන්ට රාජකාරී කිරීමට සිදුවුණේ නොපෙනෙන වයිරසයක් ව්‍යාප්ත වීමේ අවදානම තුළයි. මුල්ම කාලයේදී අපට ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත පහසුකම් සපයා දීම ගැටලුවක් වුණා. නමුත් අපේ කිසිම නිලධාරියෙක් ඒ පහසුකම් නැහැ කියලා සේවයට පැමිණීම ප්‍රතික්ශේප කළේ නැහැ. ඔවුන් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගනිමින් සේවයට වාර් තා කළා. ක්ෂේත්‍ර කටයුතුවල නිරත වුණා. එම සේවය අප අගය කළ යුතුයි. මේ වන විට අප ඔවුන්ට මුව ආවරණ, විෂබීජ නාශක දියර, අත්වැසුම් සහ මුහුණු ආවරණ ආදී ආරක්ෂිත සෞඛ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ වයිසරයේ ව්‍යාප්තිය අවදානම් කලාප තුළ රාජකාරී කටයුතු කළ අපේ නිලධාරීන් 10 දෙනකු පසුගියදා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් කොවිඩ් 19 ආසාදිතයන් නොවන බව තහවුරු කරගනු ලැබුවා. එවැන්නක් සිදුකළේ නිලධාරීන්ගෙන් සහ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. "

කොවිඩ් 19 වසංගතය ලොව පුරා විවිධ ක්ෂේත්‍රවලට යන එන මං නැති කළේය. එහෙත් ඒ අඳුරු වලාකුළු අතර අතර රිදී රේඛා සොයන්නට දැන් සමස්ත ලෝකයටම සිදුවී ඇත. ඒ කොවිඩි 19ට සදාකාලිකව රටේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳහෙළීමට ඉඩ දිය නොහැකි නිසාය. පාරිභෝගික සේවා අධිකාරිය ද කොවිඩ් 19 තුළ මතුවූ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට නව විසඳුම් සෙවීමට පියවර ගෙන ඇති බව අපට කීවේ එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ජයසිංහ මහතාය.

"මේ කාලයේදී අන්තර් ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව විශාල වශයෙන් නැඹුරු වුණා. ඒ වගේම විශාල පිරිසකක් අන්තර් ජාල වෙළෙඳමටත් පිවිසුණා. නමුත් ඒ තුළ පාරිභෝගිකයන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවුණා. ඒ සම්බන්ධ වැටලීම් සිදුකර නීති මාර් ගයෙන් කටයුතු කිරීම් කළා වගේම එවැනි අවිධිමත් වෙළෙඳාමට හේතු වූ කරුණුත් අපි හඳුනා ගත්තා. ඊට ප්‍රධාන හේතුව ලෙස අපි හඳුනා ගත්තේ ඔන් ලයින් මාකටින්වල නිරත කිසිවකු කිසිදු තැනක ලියාපදිංචි වී නොමැති වීමයි. එම නිසා අපි ඔන්ලයින් මාකටින් විධිමත් කිරීම පිළිබඳ මේවන විටත්කටයුතු කර තිබෙනවා. පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම සඳහා එවැනි නව ප්‍රවණතා අවශ්‍ය බව මගේ විශ්වාසයයි. "

අධ්‍යක්ෂ ජනරාල්වරයා මතුකළ නව ප්‍රවණතා පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියේ තරගකාරීත්ව සහ ප්‍රවර් ධන අංශයේ අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවාය.

"පාරිභෝගික අධිකාරි පනත පිහිටවූ 2003 වසරේදී ලංකාවේ ඔන්ලයින් බිස්නස් ප්‍රචලිතව තිබුණේ නැහැ. නමුත් දැන් ලංකාවෙත් එම වෙළෙඳාම ප්‍රචලිත වී තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ බොහෝ දෙනා වැඩි වශයෙන් අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වගේම විකිණීමටත් පෙලඹුණා. නමුත් ඒ තුළ අක්‍රමිකතා රැසක් සිදුවන බව අපට පැමිණිලි ලැබුණා. ඔන්ලයින් ක්‍රමයට ආහාර අලෙවි කරන ආයතන ඒ අතර මුල් තැනක සිටියා. අප එවැනි ආයතන 4කට විරුද්ධව නීතිමය ක්‍රියාමාර් ග ගත්තා. එහිදී අපි කටයුතු කළේ තිබෙන අධිකාරි පනත අනුවයි. ඔන්ලයින් මාකටින් නියාමනය සම්බන්ධයෙන් එම පනතින් ආවරණය වන්නේ නැහැ. පනත සංශෝධනය කළ හැකි නමුත් ඒ සඳහා කල්ගත වන බැවින් අප තීරණය කළා ඒ පිළිබඳ යම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව. අධ්‍යක්ෂ ජනරාල්තුමා පැවසූ පරිදි මේ වන විටත් අප ඒ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ කොමිසමේ (ICT) නිලධාරීන් සහ ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ විද්වතකු වන මහාචාර් ය මයිකල් සමඟ පසුගිය 6 වැනිදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා අපේ රටේ අන්තර් ජාල වෙළෙඳාම සම්බන්ධයෙන් මාර් ගෝපදේශ පද්ධතියක් සකස් කරගැනීමට අවශ්‍ය පියවර ගත්තා. "

එපමණක් නොව නිතර කතාබහට ලක්වන සහල් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය දැඩි වගකීමෙන් කටයුතු කරයි. එහි විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ඒ පිළිබඳ ‍‍මෙසේ කීවේය.

"රට පුරා දිස්ත්‍රික්ක 22 පිහිටි ප්‍රධාන පෙළේ සහල් මෝල් 50ක පමණ සියලුම තොරතුරු අපගේ විමර් ශන නිලධාරීන් විසින් තොරතුරු ලබාගන්නවා. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකම මේ වෙනුවෙන්ම නිලධාරීන් දෙදෙනෙක් යොදවා තිබෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, අම්පාර, මඩකලපුව, කුරුණෑගල ,පුත්තලම සහ හම්බන්තොට යන ප්‍රධාන පෛළ් සහල් නිෂ්පාදන දිස්ත්‍රික්ක පිළිබඳ අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එක් එක් මෝල් හිමියා සතුව කොපමණ වී ප්‍රමාණයක් තිබෙනවාද? එයින් කොපමණ සහල් නිෂ්පාදන කරනවාද? මීට පෙර ඔවුන් කොපමණ නිෂ්පාදනය කළාද? මේ වන විට කොපමණ නිෂ්පාදනය කරනවාද යන කරුණු පමණක් නොවෙයි මෝලේ සිට සහල් වෙළෙඳපොළට යන අවස්ථාව දක්වා අපේ නිලධාරීන් සියලු තොරතුරු ලබාගන්නවා. අපි එලෙස අවධානයෙන් කටයුතු කරන්නේ ඇතැම් වෙළෙඳුන් විසින් අසාධාරණ වෙළෙඳාමට හුරුවී සිටින නිසයි. හැමවිටම පාරිභෝගිකයාට සහතික මිලට සහල් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට අප කටයුතු කරනවා. පසුගිය කාලයේ කහ කුඩු මිලත් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. කුළුබඩු පිටරටින් ගෙන්වීම නතර කර දේශීය නිෂ්පාදන නිෂ්පාදනවලට රජය අවස්ථාව ලබා දී තිබෙනවා. "

1 වැනි ශ්‍රේණියේ විමර් ශන නිලධාරිනියක ලෙස වසර 15ක පමණ වෘත්තීය පලපුරුද්දක් සහිත සහිත ගයනි විගමගේ මහත්මිය පාරිභෝගික සේවා අධිකාරිය සතු එවැනි වටිනා මානව සම්පතකි. අභියෝගාත්මක වෘත්තියක නිරත ඇයගේ රාජකාරී බල ප්‍රදේශය ගාල්ල දිස්ත්‍රික්කයයි.

"මුල් කාලයේ නම් මේ ක්ෂේත්‍ර යේ කාන්තාවන් වැඩිපුර හිටියෙ නැහැ. නමුත් දැන් පිරිමි නිලධාරීන්ට සාපේක්ෂව කාන්තා නිලධාරිනියොත් ඉන්නවා. මේක තරමක අභියෝගාත්මක රැකියාවක් වුණත් මම අභියෝගවලට කැමැත්තෙන් මුහුණ දෙන කෙනෙක්. මේ වෘත්තිය තුළ අපට විවිධාකාර පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදුවනවා. නමුත් ඇහුම්කම් දීම, ඉවසීම සහ නම්‍යශීලි බව තුළ ඒ සියල්ල කළමනාකරණය කරගන්නවා. ගැටුම් ඇතිවන අවස්ථා නැතිවා නෙවෙයි. නමුත් ස්ථානෝචිත ප්‍රඥාව මෙහෙයවමින් කෝපය කියන දේ අවම ලෙස පාවිච්චි කරමින් ඒ අවස්ථාවලට මුහුණ දෙනවා. බිරිඳක්, දරු දෙදෙනකුගේ මවක් සහ ගෘහණියක් ලෙස මම ඒ වගකීම් ද නිසි පරිදි ඉටු කරමින් රාජකාරී ජීවිතයේ වගකීම් හැකි උපරිමයෙන් ඉටු කරනවා. මේ වෘත්තියේදී අවංක බව සහ කැපවීම ඉතා අවශ්‍යයි. "

එහෙත් එවැනි නිලධාරීන්ගේ අගනා සේවය වඩා ඵලදායී වීමට නම් මහජනතාවගෙන් ද ඉටුවිය යුතු යුතුකමක් තිබේ. දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයකු බව පාරිභෝගික සේවා අධිකාරියේ විශ්වාසයයි. ඒ අනුව පාරිභෝගික අධ්‍යාපනය යනු ඉතා වැදගත් අංගයක් බව පාරිභෝගික පැමිණිලි අංශයේ ප්‍රධානි ‍මෙන්ම උතුරු මැද පළාත් වැඩබලන සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන තාරක විදානගමාච්චි මහතා පැවසීය.

" පාරිභෝගිකයාගේ ආරක්ෂාව සැලසීම සඳහා පාරිභෝගිකයාගේ දැනුවත් භාවයත් ඉතා වැදගත් වනවා. පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික යුතුකම් සහ පාරිභෝගිකයෙකුගේ කාර්යභාරය පිළිබඳ පාරිභෝගිකයාට අව‍බෝධයක් තිබිය යුතුයි. තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට, වෙළෙඳපොළ තත්වය වටහාගැනීමට, අලෙවිකරණය හා දැන්වීම්කරණය මගින් ලබාදෙන තොරතුරු නිවැරදිව දැනගැනීමට පාරිභෝගික අධ්‍යාපනය උපකාරී වනවා. පාරිභෝගිකයන්ගෙන් අපට දෛනිකව විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කඩිනමින් කටයුතු කරනවා. අපේ ක්ෂණික ඇමතුම් අංකය 1977 පැමිණිලි බාරගැනීම වගේම පාරිභෝගිකයාට තොරතුරු ලබාදීමේ මාධ්‍යයක් ලෙසත් ක්‍රියාත්මක වනවා. එම අංකයට වගේම Consumer affairs authority කියන අපේ ෆේස්බුක් පිටුවත් පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. ඒ වගේම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර් යාලවල පිහිටා ඇති අපගේ කා ර් යාලවලට පැමිණිලි කිරීමටත් හැකියාව තිබෙනවා."

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments