අඹ යහලුවෝ, සිරි සිරි මල් දිය කඩ ඉම, යළිත් බලමුද? | සිළුමිණ

අඹ යහලුවෝ, සිරි සිරි මල් දිය කඩ ඉම, යළිත් බලමුද?

මේ දිනවල සවස පහයි තිහට අනිකුත් වැඩ කටයුතු වලින් මිදී මද විවේකයක් ලබන අවස්ථාවක් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය විසින් අපට ලබා දී තිබේ. ඒ මීට කලකට පෙර ටයිටස් තොටවත්තයන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ ළමයින් සඳහා වූ “ගලිවරයන්ගේ සුවසැරිය” “පිස්සු පූසා” ආදී නිර්මාණ යළි නරඹන්නට ලැබීමය.

ඔවුන් විසින් ලබා දුන් මේ අවස්ථාව අපට යළිත් කොරෝනා සමයේ රූපවාහිනි මාධ්‍යයන්ගේ මෙහෙවර පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් ලබා දීමකි. කොරෝනාවට එරෙහිව දවස මුළුල්ලේ මහඟු මාධ්‍ය මෙහෙවරක් ඉටු කරන සියලු ම රූපවාහිනි නාලිකාවන් නිරන්තරයෙන් ම වැඩැහිටියන්ගෙන් ද කුඩා දරුවන්ගේන් ද ඉල්ලා සිටින්නේ “ගෙදරට ම වී ඉන්න” කියා ය.

අපට ගෙදරටම වී ඉන්න කියන ඔබලා අපට බලන්නට දෙන්නේ මොනවාද යන්න, අද අපගේ මාතෘකාව වී ඇත්තේ රූපවාහිනිය බලන පිරිසට ඉතා වැඩි වශයෙන් පොඩි දරුවන් ද ඒකරාශී වී ඇති බැවිනි.

කොරෝනා සිර දඬුවමත් සමඟ නිවසට කොටුව සිටින ලක්ෂ සංඛ්‍යාත සිසු දරු දැරියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය විසින් යම් යම් අධ්‍යාපන වැඩ සටහන් ආරම්භ කර තිබීම ප්‍රශංසනීය කටයුත්තකි. බයිසිකලයක් පදින්නට ක්‍රිකට් පිත්තක් අතට ගන්නට ඉඩ කඩක් නැතිව සිටින කුඩා දරුවන් මේච්චල් කර ගැනීමට ඇති එකම මඟ රූපවාහිනි මාධ්‍යයයි. එය අධ්‍යාපනික වැඩ සටහන් සඳහා යොදා ගැනීම ඵලදායි කටයුත්තකි. එමෙන් ම ළමා මනසට නිර් මාණාත්මක උත්තේජනයක්, ඔවුන්ගේ රසඥතාවය වැඩි දියුණු කළ හැකි ආකාරයේ නිර් මාණ ආස්වාදනය සඳහා යොමු කරවන්නට ඇති හොඳම අවස්ථාව ද මෙය මය.

එහෙත් අධ්‍යාපන වැඩ සටහන් ආරම්භ කිරීම හැරුණු කළ එක් රොක් වී සිටින දරුදැරියන් වෙනුවෙන් සෑම රූපවාහිනී නාලිකාවක ම පාහේ පෙන්නනු ලබන්නේ මොනවාද? කවදත් පෙන් වූ ආකාරයේ අවර ගණයේ ටෙලි නාට්‍ය ගොන්නම ය. ඒවායින් ද වැඩි කොටසක් විදෙස් රට වලින් ආනයනය කරනු ලැබූ හඬ කැවූ ඒවාය. ඒ අතර වූ ළමා යයි කියන ලේබලයෙන් හඳුන්වනු ලැබූ නිර් මාණ පවා බොහෝ විට යොවුන් චරිත ප්‍රධාන කරගත් අපේ සංස්කෘතියෙන් පරිබාහිර ජීවන රටාවක් නිරූපණය කරන ඒවාය. අනිකුත් ළමයින් මුල් කරගත් ඉන්දියානු ටෙලි නාට්‍ය වලද දකින්නට ලැබෙන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් හේතු කොට ගෙන පාපන්දුවක් සේ ඒ මේ අත විසිවෙන ළමයෙකු දෙන්නෙකු විනා නිර් මාණයකට උචිත චරිත නිරූපණ නොවේ.

ළමා මනසට මතු නොව පොදු ප්‍රේක්ෂක රසවින්දනයට ද සමාජ හර පද්ධතීන්ට ද හානි කර සෘණාත්මක චින්තනයක් සහිත මෙවන් ටෙලි නාට්‍ය ධාරාව ම මේ කාලයේ දී ද සුපුරුදු පරිදි දක්නට ලැබුනා විනා කුඩා දරුවන් විෂයෙහි ඉදිරිපත් කරණ ලද නිර් මාණාත්මක යමක් මේ බොහෝ නාලිකා වල අප දුටුවේ නැත.

කොරෝනා වැනි ආපදාවක් හමුවේ හදිසියේ ළමා නිර් මාණ බිහිකිරීම මෙන් ම ආනායනය ද සිදු නොකළ හැක්ක් බව ඇත්තය. එහෙත් මෙම හිඩැස තුළින් අපට පෙන්නුම් කරනු ලබන්නේ පොදු වේ ගත්කළ මෙරට රූපවාහිනී නාලිකා විසින් අප රටේ ළමා පරපුර වෙනුවෙන් ස්වතන්ත්‍ර නිර් මාණාත්මක මෙහෙවරක් ඉටු කර නැති බවය.

අප මේ ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ජාතික රූපවාහිනි හා ස්වාධීන රූපවාහිනිය ළමයින් හා පොදු ප්‍රේක්ෂකයා උදෙසා හැකිතාක් යහපත් මට්ටමේ කාටූන් හා චිත්‍රපට ආදීය තෝරා ගෙන තිබීම ද අවර ගණයේ නොවන ටෙලි නාට්‍ය නැවත විකාශනයට පෙළඹී සිටීම ද මේ මොහොතේ අගය කළ යුතු කරුණකි.

අප රටේ පැරණිම රූපවාහිනි ආයතන දෙක වන ජාතික හා ස්වාධීනයන ආයතන වලට නිර් මාණ වලින් පොහොසත් අතීතයක් තිබූ බවට එය කදිම සාක්ෂියකි. නමුත් මේ කාරණය විසින් ඉතා මැනවින් පෙන්වා දෙන්නේ එකී රාජ්‍ය ආයතන දෙක මෙන් ම අනිකුත් සියලුම නාලිකාවන් ද “ගෙදරට ම වී ඉන්න කියන පොඩිවුන්ට” පෙන්වන්නට සුදුසු නිර් මාණ මේ මොහොතේ තමන් සතුව නැතිකමේ අහේනියකින් පෙළෙන බවය. ඒ නිසා අද රූපවාහිනි වැඩසටහන් වලින් බොහෝ විට කියවෙන ආකාරයටත් නිවේදක නිවේදිකාවන් පුන පුනා අප තුළ තහවුරු කරන්නට උත්සාහ කරන ආකාරයටත් මීට වඩා සවිමත් යහපත් හෙටක් සඳහා ඔවුන් ද රටේ ජනතාව උදෙසා වඩාත් හොඳ නිර් මාණ බිහි කිරීමට මේ කොරෝනා උවදුර උපයෝගී කරගනු ඇතැයි සිතමු.

එතෙක් මේ රටේ කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද නැවත නැවතත් එකසේ රස විඳිය හැකි නිර් මාණ ගණනාවක් ජාතික රූපවාහිනී සංස්ථාව සතුව ඇත. අද සිටින වත්මන් පරපුරට පමණක් නොව යොවුන් පරපුරට ද නරඹන්නට අහිමි

වූ කඩුල්ල, දිය කඩ ඉම, ඇල්ල ළඟ වලව්ව, මල් ගුඩි දවසැ, දිට කැට පහන, අකාල සන්ධ්‍යා, ආදී නිර් මාණද, ටොම් සෝයර් ඇසුරින් නිර් මාණය වූ සිරි සිරිමල් මෙන්ම අඹ යහලුවෝ ආදී ළමා නිර්මාණ රූපවාහිනියෙන් යළි විකාශනය වන්නේ නම් දැන් පෙන්වන සියලු විසූක දස්සන වලට වඩා මේවා ලොකු කුඩා ප්‍රේක්ෂක සැමට මානසික විවේකයක් අත්කර දෙනු ඇත.

“ගෙදරට ම වී ඉන්න” කියන දරුවන්ට “බලන්නටම ඕනෑ මොනවා ද” යන්න පෙන්වා දීමත් මාධ්‍ය ආයතන වල ජාතික මෙහෙවරක් වන බැවිනි.

Comments