කොරෝනා කාලේ රමසාන් සමරන හැටි ලංකාවේ මාධ්‍යවේදියෝ කියති | සිළුමිණ

කොරෝනා කාලේ රමසාන් සමරන හැටි ලංකාවේ මාධ්‍යවේදියෝ කියති

ලෝකයේම සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කළ කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම, පාස්කු සැමරුම මෙන්ම වෙසක් සැමරුම ද සුපුරුදු ලෙස උත්සවශ්‍රීයෙන් සැමරීමට ශ්‍රී ලාංකිකයනට නොහැකි විය. එමෙන්ම ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ට මෙවර රමසාන් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ ද නිවසේ සිටමය. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විසින් මහත් හරසරින් සමරන රමසාන් උත්සවය සහ සම්බන්ධ වත්පිළිවෙත් බොහෝය. කොවිඩ් වසංගතය අතරේ සිය මාධ්‍ය මෙහෙවර ද ඉටුකරමින් මේ දිනවල රමසාන් උපවාසයේ නිරත වී සිටින ලාංකේය මාධ්‍යවේදීන් රැසකි. වෙනදාට වඩා වෙනස් මෙවර රමසාන් අවුරුද්ද සමරන ආකාරය පිළිබඳ අප සහෘදය ඉස්ලාම් මාධ්‍යවේදීන් කිහිපදෙනකුගේ අදහස් විමසුවෙමු.

රමසාන් උත්සවය හා බැඳුණු වැදගත් පිළිවෙතක් වන උපවාසය පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන් මහතා මෙසේ කීවේය.

"ඉස්ලාම් දහමට අනුව අනිවාර්ය හතර වැනි යුතුකම ලෙස සැලකෙන රමසාන් උපවාසය නියමිත වයසට පැමිණි සෑම ඉස්ලාම් අයකුම විසින්ම ඉටුකළ යුතුයි. ඉස්ලාමීය දින දසුනට අනුව නව වැනි මස (රමලාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතු අතර උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීමවලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. සාමාන්‍ය වශයෙන් අලුයම 4.00 සිට සවස 6.00 දක්වා වූ පැය 14ක පමණ කාලයක් තුළ නිරාහාරව සිටීමේ අභ්‍යාසය තුළින් දුප්පතුන්ට, අසරණයන්ට උදව් කිරීමේ මානසිකත්වයක් ඇතිකර ගැනීමට උපකාරී වනවා. උපවාසයේ නිරත වීමෙන් ‘තක්වා’ නම්වූ දේව සවිඥානකත්වය මත පදනම් වූ දෙවියන් පිළිබඳ බය භක්තිය ඇතිවීම, චිත්ත ආවේග සහ පසිඳුරන් පාලනයට පුහුණුව ඇතිවීම සහ දුප්පතුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි. අපි පසුගිය 25 වැනිදා තමයි උපවාසය ආරම්භ කළේ. ලෝකයේ රටින් රටට මේ දිනය වෙනස් වනවා. මෙම මාසය අපට ඉතා වැදගත්. ඊට හේතුව ශුද්ධවූ අල් කුරාණය පහළ වූයේ ද මේ මාසයේදියි."

රමසාන් උපවාසය ලෙස හැඳින්වුවද කාටත් පුරුදු කටවහර වන්නේ නෝම්බි ඇල්ලීමයි. "මේ මාසයේදී මුස්ලිම්වරුන්ගේ සිරිත්විරිත් සම්පූර් ණයෙන්ම වෙනස් වෙනවා. රමසාන් කියන අරාබි වචනයේ අර්ථය පව් පුච්චා දැමීමයි. ඒ අරමුණින් තමයි අපි මේ මාසයම ගතකරන්නේ. ඒ අනුව දවසේ සඳ බැසයන වේලාවට පාන්දර අවදි වෙලා අපි ආහාර අනුභව කරනවා. මට මතකයි අපි කුඩාකාලේ නම් ගම්වල අපෙ අම්මලා අලුයම 2-3ට අවදි වෙලා ආහාර පිසිනවා. නමුත් දැන් හැම දෙනාම අවිවේකී ජීවිත ගතකරන නිසා ඒ පුරුදු වෙනස් වෙලා. ගොඩක් වෙලාවට අපේ ගෘහනියන් කරන්නේ කලින් උයලා ශීතකරණයේ තියලා පාන්දරට රත්කර ගැනීමයි. ඒ විදියට පාන්දර කෑම කාලා යාච්ඤා කරලා උපවාසය පටන් අරගෙන දවස පුරාම නිරාහාරව ඉඳලා උපවාසය අවසන් කරන්නේ ඉර බැසගෙන යන විටයි. සාමාන්‍යයෙන් රට ඉඳි 3ක් කාලා ඇල්වතුර බීලා තමයි උපවාසය අතහරින්නේ. ඊට පසුව කැඳ බොනවා. එහෙම කරන්නේ පැය ගණනාවක් නිරාහාරව ඉඳලා එක්වරම බර ආහාර ගැනීම සෞඛ්‍යයට හිතකර නොවන නිසයි. ඉස්සර නම් හාල් කැඳ තමයි වැඩිපුරම හදන්නේ. නමුත් දැන් මස්, මාළු ආදී තමන්ගේ වත්කම අනුව කැමති විදිහට කැඳ හදාගන්නවා. මේ කැඳ හදන්නේ පල්ලියේ. ගමටම ඇතිවෙන තරමට කැඳ හදනවා. ගමේ අය උපවාසය අතහරින වෙලාවට කලින් පල්ලියට ගිහින් තමන්ගේ ගෙදර අයට ප්‍රමාණවත් වන ලෙස කැඳ අරගෙන එනවා. මෙහෙම පල්ලියෙන් කැඳ දෙන එක දුප්පත් අයට ගොඩක් ප්‍රයෝජනයි.

දැන් කොරොනා වසංගතය නිසා පනවා තිෙබන සෞඛ්‍ය ආරක්ෂිත නීතිරීති එක්ක පල්ලිවලට යන්න බැරි නිසා ගෙවල්වලදීම කැඳ හදාගන්නවා. ඊට පස්සේ කෙටි කෑම, නැවුම් පලතුරු සහ පලතුරු යුෂ ආදිය ආහාරයට ගන්නවා. සමහර අය හිතනවා එහෙම පටන් ගන්න කෑම අපි පහුවදා පාන්දර නැවත උපවාසය පටන් ගන්න වේලාව එනකම්ම ආහාර ගන්නවා කියලා. නමුත් ඒක වැරදි අදහසක්. පෞද්ගලිකව අපේ ගෙදර නම් උපවාසය අවසන් කරන වෙලාවේ ආහාර ගත්තට පසුව නැවත ආහාර ගන්නෙ නැහැ. තේ එකක් පමණයි බොන්නෙ. ප්‍රමාණයට වඩා වැඩිපුර කෑවොත් අපිට යාච්ඥා කරගන්න බැරිවෙනවා. ඒ නිසා අපි පාලනයක් ඇතිවයි කන්නේ"

"ඒ වගේම තමයි මේ කාලය තුළ අපි ගොඩක් යාච්ඤා කරනවා. ඒ සඳහා වෙනදට පල්ලිවලට ගියත් දැන් එසේ කළ නොහැකි නිසා අපි නිවෙස් සිට පවුලේ අය සමඟ යාච්ඥා කරනවා. දවසට පස් වතාවක් අපි යාච්ඤා කළ යුතුයි. ඉන්න තැනක ඉඳගෙන අපිට එය කළ හැකියි. පිරිසුදු ස්ථානයක් වීම පමණයි වැදගත් වන්නේ. කොවිඩ් 19 වසංගතය නිසා සෞදියේ පවා පල්ලිවල යාච්ඤා සීමා කර තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ කිසිම පල්ලියක මේ දිනවල යාච්ඤා සිදුවන්නේ නැහැ. නමුත් අපි නිවසේ තුළට වී යාච්ඤා කරනවා; කුරාණය කියවනවා. මේ කාලයේ වැඩිපුර දන්දීම සිදු කරනවා. උපයන ආදායමෙන් සියයට 2.5ක් අපි පිනට දිය යුතුයි. දුප්පත් ඥාතීන්ට, ණය ඇති අයට, දුප්පතුන්ට ඒ විදිහට පිනට දෙනවා. "

එවැනි සිරිත්විරිත් පරපුරෙන් පරපුරට දායාද කිරීම ගැන ද අමීන් මහතා පැවසීය.

" මේ මාසය තුළ කරන හැම හොඳ වැඩකටම වැඩි පිනක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම දරුවන් කුඩා වියේ සිටම ඔවුන් උපවාසයට හුරුකරනවා. මගේ පුතාගේ දරුවාට තවම වයස අවුරුදු 4යි. එයා දැන් දවසින් වරුවක් උපවාසය කරනවා. ඒ විදහට තමයි ඔවුන්ට එය පුරුදු කරන්නේ. ඒ වගේම ලන්ඩනයේ ඉන්න මගේ දුවගේ පුතා ෂිෆාන්ට දැන් අවුරුදු පහයි. පළමු වතාවට එයා මෙවර උපවාසය කරනවා". පුරා මාසයක් උපවාසයේ නිරත වීම සාමාන්‍ය දිවි පෙවෙතට බාධාවක් නොවන්නේදැයි අප විමසුවෙමු."උපවාසය කළා කියලා එදිනෙදා රාජකාරී කටයුතු කිසිවක් මඟ හරින්නේ නැහැ. වසංගතය නිසා දිග නිවාඩුවක් ලැබිලා තියෙන නිසා ගොඩක් අය වැඩ කරන්නේ නිවසේ සිටයි. ඒ නිසා වෙනදා වගේ පාන්දර රැකියා ස්ථානවලට යන්න අවශ්‍ය නැති නිසා උදේ පාන්දර උපවාසය පටන් ගත්තට පස්සේ කෑම කාලා යාච්ඤා කරලා තව පැය කිහිපයක් නිදාගන්න අවස්ථාව ලැබිලා තියෙනවා"

උපවාස මාසය අවසන් වී ඊළඟ ‘ෂව්වාල්’ මාසයේ ආරම්භය සනිටුහන් කරන නව සඳ දැකීමත් සමඟ රමසාන් උත්සවය පවත්වනු ලබේ. ඒ අනුව මෙවර එම දිනය මැයි 24 හෝ 25 වැනිදා විය හැකි බව අමීන් මහතා කීවේය.

" රමසාන් අවුරුද්ද වෙනුවෙන් ලොකු කුඩා සියලු දෙනාම අලුත් ඇඳුමක් ඇඳීම චාරිත්‍රයක්. අඩුම තරමේ ලේන්සුවක් හෝ අලුතින් ගන්නවා. නමුත් මේ අවුරුද්දේ ඇඳුම් ගන්න ෂොපින් කරන්න ගිහින් වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති නීති කඩකිරීම සුදුසු නැහැ. අවශ්‍ය නම් කෙනෙකුට ඔන්ලයින් හරහා ඇඳුම් මිලදී ගත හැකියි. ඒ වගේම උපවාසය අවසන් කර නෑ හිතවතුන් බලන්න යෑමත් මෙවර කළ නොහැකියි. ඒ වගේම එහෙම එන අමුත්තො කුඩා දරුවන්ට සල්ලි දෙනවා. ඒක සම්ප්‍රදායක්. මට මතකයි මම කුඩා කාලේ අපේ අත්තා ගමේ හැම කෙනෙකුටම රමසාන් කාසි දෙනවා. සිංහල සහ වෙනත් මාධ්‍යයෙන් පාසල්වල ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන්ට වෙනදට රමසාන් උපවාස කාලයට නිවාඩු ලැබෙන්නෙ නැහැ. නමුත් කොවිඩි 19 නිසා මේ වෙද්දි හැම පාසලක්ම වසා තිබෙන නිසා ඒ පාසල්වල යන දරුවන්ටත් තමන්ගේ පවුලෙ අය එක්ක මේ උපවාසය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා."

අවුරුද්දේ සතුට කුඩාවූවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද අයිතිය. වෘත්තියෙන් කලක් ගුරුවරියක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදිකාවක සහ නිවේදිකාවක ලෙස දිගු කලක් කටයුතු කළ මේ වන විට ද වැඩසටහන් හඬනැවීම් කටයුතුවල නිරත වී සිටින ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක වන එෆ්.බී. ඉෆ්තිකාර් මහත්මිය රමසාන් අවුරුදු සැමරුම් මතක අවදි කළේ මෙලෙසිනි. "අවුරුද්දකට සැරයක් එන රමසාන් අවුරුද්දට වෙනුවෙන් අපි උපවාස කරන්නේ හරිම කැමැත්තෙන්, භක්තියෙන්. අපේ කුඩා දරුවො පවා නෝම්බි අල්ලනවා. එයාලා පාන්දර ඉඳලා දවල් 12 විතර වනතුරු නොකා නොබී උපවාස කරනවා. ඊට පස්සේ කන්න දෙනවා. ටික ටික උපවාස කරන කාලය වැඩි කරනවා. ඒ විදිහට තමයි සම්පූර් ණ උපවාසය කරන්න පුරුදු වෙන්නේ. ගැබිනි මවුවරු පවා උපවාසය කරනවා. කුසේ ඉන්න දරුවත් එක්ක දෙන්නෙක්ම උපවාස කරන නිිසා ඒක ලොකු ආශිර්වාදයක් කියලා විශ්වාස කරනවා. කාන්තාවන් ඔසප් සමයේදී සහ අසනීප වූවන් උපවාසය කරන්නේ නැහැ. නමුත් ඔවුන් ඒ වෙනුවට පසුව උපවාස කරනවා. එය හඳුන්වන්නේ නොම්බි කියලා. මේ උපවාස කාලය හරිම භක්තියෙන් පිනට වැඩිපුර සමීප වෙලා ගතකරන කාලයක්. ඉවසීම, දරාගැනීම පුරුදු කරන කාලයක්. ඒ ඉවසීම, දරාගැනීම මේ කාලේ විතරක් නෙවෙයි හැමදාම පවත්වාගෙන යන්නත් අපි උත්සාහ කරනවා. මේ වසංගත තතත්වය නිසා අපි ගෙදරටම වෙලා උපවාසය කරනවා. නෝම්බි අරිද්දි රටඉඳි කාලා වතුර බීලා කැඳ බීලා මොනවහරි කෙටි කෑමක් කෑමට පස්සේ ආයේ රෑ කෑම ගන්නෙ නැහැ. කුඩා දරුවෝ ඉන්නවා නම් වැඩිපුර රසකැවිලි හදනවා. මේ කාලේ කාන්තාවන්ට වැඩ අධිකයි. නිවසේ වැඩ, දරුවන්ගේ වැඩ වගේම රැකියා කරන කාන්තාවන්ට ඒ වැඩත් තිබෙනවා. නමුත් උපවාසය නිසා ඒ දේවල් මඟහරින්නේ නැහැ. අල් කුරාණයේ සඳහන් වෙනවා එහෙම කරන අයට ඒකේ කුළියත් දෙනවා කියලා. "

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලතිෆ් ෆාරුක් මහතා පැවසුවේ මෙසේ පල්ලිවලට නොගොස් නිවසේ සිට රමසාන් සැමරීමට සිදුවූ අතීතයක් ඉතිහාසයේ පෙර නොවූ බවයි. "අපි හැමෝම දන්නවා මේ නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ කොවිඩ් 19 වසංගතය පැතිරවීම වැළැක්වීමේ අරමුණින්. ඒ නිසා අපි හැමදෙනාම ඒ නීතිවලට යටත් විය යුතුයි. මෙවර අපිට පල්ලි යන්න බැහැ. නමුත් ගෙදරට වෙලා අපිට ආගම සිහිකරන්න පුළුවන්. යාච්ඤා කරන්න පුළුවන්. එහෙම ගෙදරට වෙලා ඒ පිළිවෙත් කරන එක අපේ ආගමට අනුව වදරක් නෙවෙයි. අපිට කරන්න බැරි පල්ලි යන එක විතරයි. අනිත් හැමදේම ගෙදරදීම කරන්න පුළුවන්. ඉතින් මමත් පවුලේ අය එක්ක උපවාසය කරනවා. යාච්ඥා කරනවා. අල් කුරාණය කියවනවා. හැකි අයුරින් දන්දීමත් කරනවා. ඇඳිරි නීතිය තිබුණත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වාහනවලින් ගේ අසලටම එන නිසා කෑමබීම ලබාගන්න අවස්ථාව තිබෙනවා. ඒ හැරුණාම මම පුරුදු විදිහට නිවසේ සිට මාධ්‍ය කටයුතුවල නිරත වෙනවා. අන්තර් ජාලය ඔස්සේ මගේ ලිපි ලොව පුරාම යවනවා"‍

ඉස්ලාමීය බැතිමතුන්ගේ විශ්වාසය අනුව මේ ශුද්ධවූ කාලයකි. ඒ නිසාම සෑම බැතිමතකුම උපවාස ශීලය ආරක්ෂා කරගන්නේ ඉතා භක්තියෙනි. යොවුන් වෙබ් පුවත් මාධ්‍යවේදියකු වන ආධීල් සාබ්‍රි ඒ ගැන මෙසේ කීවේය. "මමත් අවුරුදු පහේ විතර ඉඳලා උපවාසය කරනවා. පුංචි ළමයි මුලින්ම අල්ලන්නෙ හාෆ් නොම්බි. ඒ කියන්නේ වරුවක් විතර තමයි මුලින්ම නෝම්බි අල්ලන්නෙ. මගේ ගම අරනායක. ඉස්සර ගෙදරදි අම්මයි තාත්තයි මමයි මල්ලියි ආච්චියි එක්ක රමසාන් චාරිත්‍ර කරනවා. දැන් නම් මගේ බිරිඳත් ඉන්නවා. අපි විවාහ වෙලා දෙහිවල පදිංචි වෙලා හිටියෙ. නමුත් කෝවිඩ් 19 වසංගතය නිිසා ඇඳිරි නීතිය දාපු නිසා අපි ගමේ ආවා. ඒ නිසා මේ පාර අවුරුද්ද පවුලේ අය එක්ක ගෙදර ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගෙදර ඉඳගෙන මාධ්‍ය කටයුතුවල නිරත වෙවමින් මම උපවාස කරනවා. අපි නොම්බි පටන්ගන්නේ පාන්දර හතරට, හතරහමාරට වගේ සඳ බහින වෙලාවට. ඊට කලින් අපි කෑම කන්න ඕන. අපේ ගෙදර නම් අම්මයි, මගෙ බිරිඳයි තමයි කෑම හදන්නේ. එයාලා කලින් දවසේ කෑම හදලා තියලා නිදාගන්නවා. පාන්දරට ගෙදර හැමෝම නැඟිටලා එකට ආහාර අනුභව කරනවා. ඊට පස්සේ යාච්ඤා කරනවා. මේ දවස්වල ගොඩක් අය ගෙදරම ඉන්න නිසා උදේට පැය කිහිපයක් වැඩිපුර නිදාගන්න අවස්ථාව තියෙනවා. නමුත් මම නම් උදේ 8.30ට විතර නැඟිටලා ලියන වැඩ කරනවා. හවස නැවත නෝම්බි අරිනකම් අපි කිසිම දෙයක් කන්නෙ බොන්නෙ නැහැ. නෝම්බි අරින වෙලාවට ඉස්සර නම් පල්ලියෙන් කැඳ ලැබෙනවා. පල්ලියේ ඒ කැඳ හදන්නේ හාර පන්සීයක් වගේ ලොකු පිරිසකට නිසා ඒ කැඳ එක හරිම රසයි. නමුත් මේ පාර ඒ කංජි නැහැ. හැමෝම වගේ ගෙදරම කංජි හදාගන්නවා. මේ කාලයේදී අපි දන්දීමත් කරනවා. විශේෂයෙන් ගොඩක් අය ගෙවල්වලටම වෙලා ඉන්න නිසා රමසාන් වෙනුවෙන් අලුත් ඇඳුමක් ගන්න තියා එදිනෙදා ජීවත්වෙන්නවත් වත්කමක් නැති අය වෙනුවෙන් යමක් කළ යුතුයි. ඒ අරමුණින් අපි පල්ලිය මුල්වෙලා සල්ලි එකතු කරලා ගමේ සිංහල, දෙමළ, මුස්ලිම් අයට රුපියල් 5000 වටිනාකමින් යුතු රාමසාන් පැක් 700ක් පමණ බෙදා දුන්නා. මේ කාලයේ එවැනි දේවල් කිරීමෙන් පින් ලැබෙනවා ව‍ගේම ලොකු සතුටකුත් ලැබෙනවා. මේ දවස්වල විවේකය තිබෙන නිසා මම ඉවුම්පිහුම් ගැන අත්හදාබැලීම් කරනවා. ඒකත් හිතට සතුටක්"

ආධීල් එසේ කියද්දී තිනකුරල් පුවත්පතේ උප කතුවරියක ලෙස සේවය කරන මාධ්‍යවේදිනී එම්.එච්.එෆ් හුස්නා රමසාන් සැමරුම ගැන මෙසේ කීවාය."මේ පාර අවුරුද්ද අපිටත් වෙනස් අත්දැකීමක්. කොවිඩ් 19 නිසා සිංහල අලුත් අවුරුද්ද,පාස්කුව වගේම වෙසක් සැමරුමත් ලාංකිකයන්ට අහිමි වුණා. ඒ නිසා මේ වසංගත කරදර ඉවර වනතුරු අපිටත් රමසාන් අවුරුද්ද සමරන්න ඉඩක් නැහැ. ඒ ගැන කණගාටු විය යුතු නැහැ. සියල්ලට වඩා වැදගත් වන්නේ මේ වසංගතයෙන් රට මුදාගැනීම සහ ජාතීන් අතර සාමය පවත්වා ගැනීමයි. ඉතින් ඒ නිසා මමත් නිවසටම වෙලා මාධ්‍ය කටයුතුවල යෙදෙමින් රමසාන් උපවාසයේ යෙදෙනවා. වෙනදට අපි අවුරුදු කාලෙට ගොඩක් බඩු ගන්නවා. නමුත් මෙවර සීමාසහිතව තමයි බඩු ගත්තෙ. අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, සැමියයි, බබාලා දෙන්නයි. මේ නිරෝධායන ඇඳිරි නීතිය නිසා තමයි මමත් අවුරුදු 12කින් විතර පස්සේ ගෙදර ඉන්නෙ. නමුත් ඔෆිස් යනවට වැඩිය වැඩ ගොඩක් මේ දවස්වල ගෙදර සිට කරනවා. බබාලගේ වැඩ, ගෙදර වැඩ, ඉවුම්පිහුම් වැඩත් එක්ක මාධ්‍ය වැඩත් කරමින් නොම්බි අල්ලනවා"

රාමසාන් අවුරුද්ද කී විට අපට සිහිවන්නේ වටලප්පන්, බිරියානි ඇතුළු රසවත් කෑමබීමය. මවක,ගෘහනියක ලෙස හුස්නාගේ අතින් මේ දිනවල පිළියෙල වන ආහාරපාන ගැනද අප ඇගෙන් විමසුවෙමු. "මම නම් කෙටිකෑම තමයි වැඩිපුර හදන්නෙ. අම්මයි තාත්තයි හෘද රෝගීන් නිසා ඒ හැමදේම බේක් කරනවා මිස තෙලෙන් බදින්නෙ නැහැ. ඒ වගේම කැඳ හදනවා. මේ පාර අවුරුද්දට අපි බබාලටවත් අලුත් ඇඳුම් ගන්නෙ නැහැ. මොකද අපිට ඔන්ලයින් හරි ඇඳුම් ගෙන්න ගන්න පුළුවන් වුණාට අපි අවට ඉන්නවා එදාවේල අමාරුවෙන් හොයාගෙන ජීවත් වෙන අය. ඉතින් අපේ දරුවො අලුත් ඇඳුම් අඳිද්දි ඒ දරුවන්ට දුක හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ පාර අපිත් අලුත් ඇඳුම් ගන්නෙ නැහැ. චාම්ව ගෙදරටම වෙලා අවුරුද්ද සමරනවා. මේ කරදර ඉවර වෙලා අපි හැමෝටම එළියට යන දවසක් ඉක්මනට උදාවෙන තුරු අපි බලාගෙන ඉන්නවා"

ඊළඟට අප හා එක්වූයේ සිංහලෙන් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාම් ජාතික නිවේදිකාව වන ස්වර්ණවාහිනි නාලිකාවේ මාධ්‍යවේදිනී ෆාතිමා නස්රින් නසාර්ය."මගේ ගම නුවර. අම්මයි තාත්තයි අයියලා දෙන්නයි එක්ක මම කුඩා කාලේ සිට උපවාසය කරනවා. රමසාන් අවුරුදු දවසට තාත්තගේ මවුපියනුත් අපි එක්ක එකතු වෙනවා. රැකියාව නිසා මම කොළඹට ආවට පස්සෙට මෙහේ ඉඳන් ඒ වත්පිළිවෙත් ඉටු කරනවා. සමහර අවුරුදු දවස්වලත් මට ගෙදර යන්න බැරිවුණ අවස්ථා තියෙනවා. නමුත් මෙහේ නම් මම විතරක් ඉන්න නිසා නිවාඩු ගන්න ලොකු ගැටලුවක් නැහැ. දැන් මගේ අයියලා දෙන්නත් විවහ වෙලා වෙනම ඉන්න නිසා අපිට එකතුවෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම විවාහ ගිවිසගෙන තිබුණට තවම විවාහ උත්සවය අරගෙන නැති නිසා ඉඩක් ලැබුණ ගමන් නුවර ගෙදර යන්න තමයි බලාගෙන ඉන්නේ. නමුත් අපේ ගෙදර අයත් කියන්නෙ මේ පාර අලුත් ඇඳුම්, කෑමබීමවලට මුදල් වැය නොකර ඒ මුදල් ආර්ථික අපහසුතා තියෙන පවුල්වලට දෙමු කියලයි. ඒක ගොඩක් පින් ලැබෙන දෙයක්. ඒ නිසා මේ පාර අපිත් රමසාන් අවුරුද්ද ඉතා චාම්ව සමරනවා"

 

Comments