ලක්ෂ 74කට සහන බෙදූ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව | සිළුමිණ

ලක්ෂ 74කට සහන බෙදූ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව

මැදදුම්බර ගලබඩවත්ත වසමේ පූර්ණ ආබාධිත මවකට රුපියල් 5,000ක්

අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක නොකළ මහ මෙහෙයුමක් පසුගිය සති 2 - 3 ඇතුළත රටපුරා ක්‍රියාත්මක විය. රටේ පුද්ගලයන් ලක්ෂ 74කට රුපියල් 5000 බැගින් රුපියල් කෝටි 3500ක් ලබාදුන් ඒ මෙහෙයුම වනාහි “5000 මෙහෙයුම“යි. මෙරට රාජ්‍ය නිලධාරින් 80000ක් ප්‍රථම වරට එක්වූ එම මෙහෙයුම දැන් ජයග්‍රාහීව අවසන් වී ඇත.

එම ජය ලැබුණේ අතළොස්සකගේ බාධා හා තර්ජන ගර්ජන පමණක් නොව කොරෝනා වයිරසයේ ද බලපෑම හා තර්ජන ද විඳ දරා ගනිමින් වීම ද සුවිශේෂි කරුණකි.

ඒ අනුව ගමේ සිටින රාජ්‍ය නිලධාරින් පස්දෙනා එක්වී මෙම 5000 මහ මෙහෙයුම ගම් මට්ටමින් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔවුන්ට ස්තූතිය පිරිනැමිය යුතුය.

රටේම සමෘද්ධි නිලධාරින් 22500ක් සමෘද්ධි කළමනාකරුවන් 2500ක්, ග්‍රාම නිලධාරින් 14000ක් හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 14000ක්, සංවර්ධන නිලධාරින් 14000ක් ඇතුළු නිලධාරින් 80000ක් මේ මෙහෙයුමට එක් වූහ.

ඊට අමතරව රටේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිසාපති සිට කාර්ය සහකාර දක්වා නිලධාරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු නිලධාරින් මේ සඳහා සහාය දැක්වූහ. ඊට අමතරව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට සියලුම නිලධාරින්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ, සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ සියලු නිලධාරිහු ද මේ මෙහෙයුමට ක්‍රියාශීලිව එක් වූ බව අපට වාර්තා විය.

කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සමහර පුද්ගලයන්ගේ තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින් මේ 5000 මෙහෙයුමට එක්වූ සියලු රාජ්‍ය නිලධාරින්ට රටේම ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුව ඇතැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය ඇතිව මේ සහනාධාර වැඩපිළිවෙළ ප්‍රධාන ලෙස මෙහෙයවනු ලැබුවේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

මෙරට කිසිම ආයතනයක් නොකළ සහනාධාර වැඩපිළිවෙළකට බය නැතිව අත ගැසු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේ මොන නිලධාරින් මේ 5000 ගෙවීමේ වැඩපිළිවෙළින් අයින් වුණත් තමා සතු නිලධාරින් 25000 සමඟ එය ගෙවීමට තමා සූදානම්ව සිටි බවයි.

“මේ වැඩපිළිවෙළ ප්‍රධාන අදියර හතරක් යටතේ ක්‍රියාත්මක වුණා. ඉන් ප්‍රථම අදියර යටතේ මාර්තු 23 වැනිදා සිට සමෘද්ධි පවුල්වලට රුපියල් 10000ක් පොලි නැති ණයක් දෙන්න රජය උපදෙස් දුන්නා... පස්සෙ එහි ප්‍රථම රුපියල් 5000 සහනාධාරයක් ලෙසට ගෙවන්න උපදෙස් දුන්නා. සමෘද්ධිලාභීන්ට හා පොරොත්තු ලේඛනයේ සිටින අයගේ පවුල් 2525528කට පමණ රුපියල් 5000 බැගින් ගෙව්වා. ඊට අදාළව රුපියල් කෝටි 1262ක පමණ මුදලක් අපි සමෘද්ධිලාභීන්ට දුන්නා. මාර්තු 23 සිට අප්‍රේල් මුල දක්වා මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා.

අඩු ආදායම්ලාභි කියල අපේ සමෘද්ධි සමිති සාමාජිකයන් 145427ක් ඉන්නවා. ඒ අයට අපි 5000 සහනාධාර ලබා දුන්නා. ඒ අයට රුපියල් කෝටි 728ක් ගෙවනු ලැබූ බවත් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඊට අමතරව වයිරස් පාලනයට ගත් විවිධ පියවර නිසා ජීවනෝපාය අහිමි වුණු අය සඳහා දෙවැනි අදියර යටතේ පළාත් සභා හා රජයේ ආයතන සම්බන්ධ කරගෙන විවිධ රැකියා ක්ෂේත්‍රවල අය හඳුනාගත්තා. පෙර පාසල් ගුරුවරුන්, පෞද්ගලික බස් රියැදුරන්ට, කොන්දොස්තරවරුන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, හස්ත කර්මාන්තකරුවන්ට, අත්යන්ත්‍ර පේෂකර්මාන්තවල නියුතු අයට, කුඩා තේවතු හිමියන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට හා රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ අනුව මේ 5000 ගෙවීම් ලබාදීමට අපි කටයුතු කළා.

ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව සේවා සපයන වඩු, පෙදරේරු, ජලනළ කාර්මික, විදුලි කාර්මික හා ඒ සඳහා අත්උදවු දෙන කුලිකරුවන් වැනි අයටත් මේ 5000 ලබාදීමට කටයුතු කළා. ඒ සමඟම කුඩා කර්මාන්තවල, ග්‍රාමීයව අලෙවිකරණයේ යෙදෙන්නන් හා ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන ඇඳුම් මසන්නන්, රූපලාවන්‍ය ශිල්පීන් හා කොණ්ඩා කපන්නන් යන අයටද මේ 5000 හිමි වුණා.

කොළඹ වැනි දිස්ත්‍රික්කවල තවමත් මේක ගෙවනවා. ඒ අනුව කොළඹ හැර අන් ප්‍රදේශවලට බ්‍රහස්පතින්දා වෙනකොට ඉහත ක්ෂේත්‍රවල පවුල් ලක්ෂ 19කට රුපියල් කෝටි 950ක් පමණ ගෙවා තිබුණා. දැනට මේ වැඩපිළිවෙළද සියයට 95කට අපි ගෙවලා අවසන්.

මෙහි තෙවැනි අදියර යටතේ අනු පවුල්වලට ගෙවීම් කරන ලෙස අපට උපදෙස් ලැබුණා. ඊට අමතරව විදේශ රැකියා සඳහා විදේශගතවී නමුත් මුදල් මෙරටට එවා නැති පවුල්වලටත්, ඇඟලුම් ඇතුළු විවිධ පෞද්ගලික අංශයේ තාවකාලික රැකියාවේ නියුතු පුද්ගලයන් සිටින පවුල් ඒකක සඳහාත් රුපියල් 5000 ගෙවීමට අපි කටයුතු කළා.“ ඒ සමඟම වැවිලි ක්ෂේත්‍රයේ අනියම් / ප්‍රාදේශික හා තාවකාලික පදනමෙන් සේවය කරන සිය දෛනික ආදායම අහිමි වූ පවුල් ඒකක සඳහා ද මෙම ගෙවීම් දීමට තීරණය කළ බවත් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඒ අනුව මේ ක්ෂේත්‍රවල පවුල් ලක්ෂ තුනක් සඳහා රුපියල් කෝටි 150ක් බ්‍රහස්පතින්දා වන විට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ගෙවා තිබිණි.

ඒ සමඟම මේ වන විට ඉහත කිසිම ක්‍රමයක් මඟින් රුපියල් 5000 නොලැබුණු අයට ඒ පිළිබඳව අභියාචනා කිරීමට ද කටයුතු සලසා ඇත. ඒ යටතේ තවත් පවුල් ලක්ෂ තුනකට පමණ රුපියල් කෝටි 150ක් පමණ ගෙවීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම්ව සිටී.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවීම් පමණක් තවමත් සිදුකරමින් පවතී. මීට අමතරව මාර්තු හා අප්‍රේල් සමෘද්ධි සහනාධාර ලෙසද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවුල් 25000කට රුපියල් කෝටි 820ක් ලබා දී ඇත. කොරෝනා වයිරස මර්දනය කිරීමට උපක්‍රම සිදු කරන අතරම රජය මේ අයුරින් රුපියල් කෝටි 3000ක් පමණ ජනතා සහන සැලැසීමට යෙදවීමට ඉතා අගය කළ යුතු සද්ක්‍රියාවකි.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වැඩිහිටි පවුල් 569985ක් සඳහා රුපියල් කෝටි 284ක්ද, ආබාධිත පවුල් 108422ක් සඳහා රුපියල් කෝටි 54ක් ද ලබාදී ඇත. ඒ සමඟම වකුගඩු ආබාධිත පුද්ගලයන් සිටින පවුල් 38301 ක් සඳහා රුපියල් කෝටි 20ක්ද ලබාදීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඊට අමතරව අම්පාර පොලොන්නරුව, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල කීඩෑ උවදුර නිසා කුඹුරු හානිවීම් සිදුවී තිබේ. ඒ අයටත් වගා හානි අනුව රුපියල් 5000 ගෙවීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. කෙසේ නමුත් එක් වරක් මේ රුපියල් 5000 එක් පවුලකට ලැබුණා නම් එය යළිත් ලබා දෙන්නෙ නැත.

ජනාධිපති ලේකම්තුමා, අගමැති ලේකම්තුමා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ද මේ කටයුතුවලදී අපිට උපදෙස් දුන්නා.

ඒ අය මෙන්ම විවිධ තර්ජන ගර්ජන මැද බලපෑම් මැද මේ කටයුතුවලට එක්වූ ඇපකැපවූ සියලු නිලධාරින්ට මම ප්‍රණාමය පළ කරනවා“ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, මහජන බැංකුව, ලංකා බැංකුව වැනි ආයතන අපිට උදවු වුණා. අපේ නිලධාරින්ට පහර දීම්, පිහි ඇනුම් සිදුවුණා. ඒ වගේ දුක්ගැහැට විඳිමින් තමයි මේ 5000 මෙහෙයුම කළේ. නමුත් රටේ ජනතාව දුකට පත් මොහොතක අපටත් යම් උදව්වක් කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව අපි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස සතුටු වෙනවා“ යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ගාල්ල මහ දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ තම දිස්ත්‍රික්කය තුළ කිසිම මත ගැටීමක් නැතිව ‘5000 මෙහෙයුමේදී‘ පවුල් ලක්ෂ තුනකට රුපියල් මිලියන 1450ක් ගෙවා ඇති බවයි.

“අපේ දිස්ත්‍රික්කයේ මේ 5000 ගෙවීමේ වැඩපිළිවෙළ පසුගිය දින 14 ඇතුළත සියලු ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ දේශපාලන අධිකාරියේ සියලු ග්‍රාමීය නිලධාරින්ගේ උදව් ඇතිව කිසිම ගැටලුවක් නැතිව ඉටු වුණා.

අඳිරිනීතිය නිසා ආදායම් අහිමිවූ හැමට අපි උපරීම අයුරින් උදව් කළා. මගේ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19ක සියලු නිලධාරින් ග්‍රාම නිලධාරි වසම් 890ක ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් යන නිලධාරින් මෙයට එක්වුණා. එයට අමතරව පක්ෂ විපක්ෂ දේශපාලන අදහස්ද මෙයට ලබාගත්තා. ස්වේච්ඡා සංවිධාන ද ඊට සහාය දුන්නා. දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයේ උපදෙස් මත අපේ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සාර්ථක ලෙස අවසන් වෙමින් තිබෙනවා. අභියාචනා සලකා බලා ඒ අයටත් 5000 දීමනාව ලබාදීමට කටයුතු කරනවා“ යැයි ගාල්ල දිසාපතිවරයා පැවැසීය.

මේ වැඩපිළිවෙළ මුළු රට පුරාම මේ අයුරින්ම පැවැත්වුණා. සිංහල දෙමළ මුස්ලිම් හැමටම 5000 ලැබුණා. මෙයින් පෙන්නුම් කරන්නේ රටේ ජනතාවට යම් දරුණු කරදරයක් වූ විට ගමේ රාජ්‍ය නිලධාරින් සියලු දෙනා කරනු ලබන කැපවීම් හා උපරීම කාර්යක්ෂමතාවයෙන් යුතුව තම රාජකාරිය කිරීමේ උනන්දුවයි. මේ අනුව මේ ‘5000 මෙහෙයුම‘ අපේ රටේ රාජ්‍ය සේවකයන් උපරීම කාර්යක්ෂමතාව ලොවටම පෙන්වන කරුණක් බව ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා අවධාරණය කරයි.

ඒ මහතා පවසන පරිදි මේ වැඩපිළිවෙළ යටතේ ගාල්ලේ සමෘද්ධි පවුල් 81400කට මිලියන 407ක්ද පොරොත්තු ලේඛනයේ සිටින සමෘද්ධි පවුල් 40136කට රුපියල් මිලියන 200ක්ද ගෙවා ඇත.

ඊට අමතරව අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් 49 දෙනෙකු සඳහාද රුපියල් 245000ක් ගෙවා තිබේ. වකුගඩු රෝගීන් සිටින පවුල් 689ක් සඳහා රුපියල් මිලියන 34ක්ද ගෙවා ඇතැයි දිසාපතිවරයා පවසයි. වැඩිහිටි පුද්ගලයන් සිටින පවුල් 32861කට රුපියල් මිලියන 185ක්ද ආබාධිතයන් සිටින පවුල් 6867කට රුපියල් මිලියන 343ක්ද ගෙවා ඇති අතර අඳුරුනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් 98202කට ද රුපියල් මිලියන 496ක් ගෙවා තිබේ. ඊට අමතරව මේ 5000 ගෙවීම පිළිබඳව අභියාචනා 29082ක්ද ගාල්ල දිසාපතිවරයාට ලැබී තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 135ක් ගෙවීමට ද අපේක්ෂා කෙරේ.

“මගේ පරිපාලන සේවා කාලය වසර 28ක්. මේ කාලය තුළ මෙවැනි බෝවන රෝගී වසංගතයක් සමඟ කටයුතු කර අත්දැකීම් නැහැ. නමුත් මේ අත්දැකීම හොඳ පරිපාලන පාඩමක් බවට පත්කර ගනිමින් රටේ කොරෝනා වසංගතය සමනය කිරීමට අපිත් ගාල්ලේ ජනතාවත් සමඟ උපරීම අන්දමින් කටයුතු කරනවා. ඒ සමඟම ජනතා සහන උපරීම ලෙස සැලැසීමටත් පියවර ගන්නවා“ ගාල්ල දිසාපතිවරයා පවසයි.

මේ රුපියල් 5000 බෙදීමේ වැඩපිළිවෙළ පිළිබඳව අපට කරුණු දැක්වූ නුවරඑළිය දිසාපති රොෂාන් පුෂ්පකුමාර මහතා පැවැසුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 5000 බෙදීමේ වැඩසටහන විවිධ පාර්ශ්වවල බලපෑම් මධ්‍යයේ වුවද තම නිලධාරින්ගේ ඇපකැපවීම් මත සාර්ථකව සිදුවෙමින් පවතින බවයි. ඒ අනුව පවුල් 199000කට පමණ රුපියල් 5000 ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ මඟින් නුවරඑළියේ දුෂ්කර වතු හා ගම්මානවලට රුපියල් කෝටි 100ක් ලබා දී ඇත. සමහර වතු වෘත්තිය සමිතිවලත් ඔවුන්ගේ දේශපාලන නායකත්වයත් කළ බලපෑම් හා තර්ජන ගර්ජන මැද වුවද නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 5ක නිලධාරින් හා ග්‍රාම නිලධාරින් වසම් 491ක අවංක රාජ්‍ය නිලධාරින් මෙම රාජකාරිය දේවකාරියක් ලෙස ඉටුකළ බවද නුවරඑළිය දිසාපතිවරයා පැවැසීය.

නුවරඑළියේ ජන අනුපාතය අනුව දෙමළ පවුල් සියයට 58 කි. සිංහල පවුල් සියයට 38කි. මුස්ලිම් හා අනෙකුත් පවුල් සියයට හතරක් පමණි. මේ සියලු දෙනාම, ජාති, ආගම්, කුලමල එක්ව පාට බේද නැතිව රජය මඟින් ලබා දෙන රුපියල් 5000 සහනාධාර ලැබිය යුතු හැමට ලබාදීමට රාජ්‍ය නිලධාරි සමූහය ඇපකැපවී කටයුතු කළ බවද දිසාපතිවරයා පැවැසීය. කොරෝනා වයිරස තර්ජනයත්, නුවරඑළියේ සමහර දේශපාලන වතු වෘත්තිය සංගම් නිලධාරින්ගේ බලපෑම්, තර්ජන හා බාධා කිරීම් මධ්‍යයේ රාජ්‍ය නිලධාරිහු 3000කට ආසන්න පිරිසක් මේ කටයුත්තට උපරීම කාර්යක්ෂමතාව ඇතිව සහභාගි වූහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රුපියල් 5000 ලබාදී ඇති මුළු පවුල් සංඛ්‍යාව 198968කි. සමෘද්ධි පවුල් 66679කට සමෘද්ධි පොරොත්තු ලේඛනයේ පවුල් 34355කට රුපියල් 5000 ගෙවා ඇත. ඊට අමතරව අඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් 68398කටද වකුගඩු රෝගී පවුල් 152කටද, ආබාධිත අය සිටින පවුල් 1714කට, වැඩිහිටි අය සිටින පවුල් 27670කට රුපියල් 5000 ගෙවා ඇත. ඊට අමතරව 5000 ගෙවීම අපේක්ෂා කරමින් අභියාචනා 36079ක්ද එවා ඇත. ඒ සඳහා ද ගෙවීම් ලබාදීමට සලකා බලමින් පවතී.

ඒ අනුව සමෘද්ධි පවුල් 101034ක් සඳහා රුපියල් මිලියන 505ක්ද, ජීවනෝපාය අහිමි වූ පවුල් 68398ක් සඳහා රුපියල් 341ක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ජනතාවට ලබා දී තිබේ. ඊට අමතරව වැඩිහිටියන් සිටින පවුල් 27670කට රුපියල් මිලියන 138ක්ද ආබාධිත පවුල්වලට රුපියල් මිලියන 8.5ක්ද ලබාදීමට පියවර ගත් බව නුවරඑළිය දිසාපතිවරයා පවසයි.

මෙවැනි වසංගතයක් මැද මෙතරම් මුදල් ප්‍රමාණයක් ලක්ෂ 74ක් වැනි පිරිසකගේ නිවාසවලට ලබාදීමේ පෙර අත්දැකීම් නොතිබුණත් ඒ 5000 මෙහෙයුම දැන් සියයට 98ක්ම සාර්ථකව අවසන් කර ඇතැයි මෙයට එක්වූ සමෘද්ධි හා ග්‍රාම නිලධාරිහු ඇතුළු ග්‍රාමීය කමිටු සමාජිකයෝ පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා පවසන්නේ මෙවන් 5000 බැගින් පවුල් ලක්ෂ 50කට මෙවැනි ගෙවීමක් ලබාදීමට හැකි වූයේ සමෘද්ධි අරමුදල ඉතා සමෘද්ධිමත්ව තිබූ නිසා බවයි.

රුපියල් 5000 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන විට සමහර නිලධාරින් ඒ වැඩපිළිවෙළින් ඉවත් වීමට කටයුතු කළත් සාමාජික සාමාජිකාවන් 25000ක් සිටින තම වෘත්තීය සමිතිය ඒ රාජකාරිය කිරීමට බාරගත් බව පවසන ජගත් කුමාර මහතා පසුව සියලු නිලධාරින් එක්වූ මේ සද්ක්‍රියාවට දායක වීම අගය කරන බවද පැවැසීය.

මෙලෙස මෙම මුදල් කෝටි 3500කට අධික ප්‍රමාණයක් මේ අඩු ආදායම්ලාභීන්ට ගෙවන්නට හැකියාව ලැබී ඇත්තේ පසුගිය රජය සමෘද්ධි බැංකුවල ඇති සාමාජික ගිණුම්වල මුදල් අවභාවිත කිරීමට උත්සාහ කරද්දී ඒවා ආරක්ෂා කරගැනීමට සමෘද්ධි වෘත්තිය සමිති ගත් ක්‍රියාමාර්ග හේතුවෙනි. මේ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරින්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් අබේසිංහ මහතා පැවැසුවේ,

“පසුගිය ‘යහපාලන‘ රජය සමෘද්ධි මුදල් අවභාවිත කිරීමට උත්සාහ දැරීමේදී ඊට විරුද්ධව තම සංවිධානය නඩු දෙකක් පැවරූ බවයි. ඒ අනුව එම සමෘද්ධි අරමුදල් ආරක්ෂා වූ බවත් දැන් රුපියල් 5000 බැගින් අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන්නෙ ඒ මුදල් බවද ඒ මහතා පැවැසීය.

මෙම 5000 මෙහෙයුමට එක්වුණු ග්‍රාම නිලධාරිවරු සමෘද්ධි නිලධාරිවරු ඇතුළු නිලධාරිහු විවිධ බලපෑම්වලට, ගැටලුවලට ලක්වූහ. නිවාසවලටම ගොස් 5000 දීමට යාමේදී සුනඛයන් සපා කෑම්, සර්පයන් දෂ්ට කිරීම මෙන්ම තර්ජන ගර්ජන එල්ලවීම් ද සිදු විය.

“ඒ පිළිබඳව අපට අදහස් දැක්වූ කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරි ජනක මදුරප්පෙරුම මහතා පැවසුවේ සල්ලි ලක්ෂ ගණන් කමිසේ ඇතුළේ සඟවාගෙන රාත්‍රී 7 - 8 වනතුරු වෙල් නියරවල, පුංචි අඩි පාරවල සමෘද්ධි නිලධාරින් සමඟ යමින් 5000 ගෙවීමට කටයුතු කිරීම අලුත්ම අත්දැකීමක් වූ බවයි. කොරෝනා වයිරස තර්ජනය මැද ගමක නිවාස 700 - 800කට පමණ ගොස් 5000 ගෙවීමට ජීවිතය පරදුවට තබා රාජ්‍ය නිලධාරින් කළ වැඩක් බවද මදුරප්පෙරුම මහතා පැවැසීය. අපට හමුවූ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම එක් සමෘද්ධි නිලධාරිනියක් පැවැසුවේ ග්‍රාමීය කමිටු රැස්වීම් නිවසට යන විට රාත්‍රී 11 - 12 වූ බවයි. ඒ අයුරින් දින 7 - 8ක් රාත්‍රී වනතුරු ග්‍රාමීය කමිටු රැස්වීම් පැවැත්වූ බවද රජයේ නිලධාරින් පස් දෙනාත් ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් හා ගමේ ස්වෙච්ඡා සංවර්ධන නිලධාරිනුත් එක්ව සාධාරණම අයුරින් සුදුසුම අයට 5000 ගෙවීම සිදු කළ බවද ඇය පැවැසුවාය.

(විශේෂ ස්තූතිය - සේනක උබේසිංහට)

Comments