කොවිඩ් වසංගතය නිසා පෑයූ රිදී ඉර | සිළුමිණ

කොවිඩ් වසංගතය නිසා පෑයූ රිදී ඉර

1. සම්පල ගන්නා ආරක්ෂිත කුටීරය 2.පේරාදෙණි ඉංජිනේරු පීඨයේ හැදුනු වෙන්ටිලේටර බාර දුන් අවස්තාව

ආතර් සී ක්ලාක් 1964 දී සිහින මැවූ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයත් කොවිඩ් සටන් පෙරමුණේ


35ක් දැනටමත් වාණිජ මට්ටමේ නිෂ්පාදනයට සුදානමේ


සති තුනක් තුළ නව නිර්මාණ 160ක්


ඇඹිලිපිටිය ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තේජන දෙව්මිණ රොබෝවක් නිපදවයි

කොවිඩ් 19 හැම රටකටම ගෙනාවේ විනාශයකි. එය ‍ලොකු පොඩි කියා වෙනසක් නැතිව සෑම රටක්ම මේ වනවිට යම් ආකාරයකින් හෝ අඩපණ කරන්නට සමත් වී ඇත. මෙවැනි විනාශයක් ගෙනා වයිරසය එක් අතෙකින් ලෝකයට වාසනාවද රැගෙන පැමිණ ඇත. ඒ අතරින් ජාතියක් ලෙස අපට මෙම ව්‍යසනය තුළ වාසනාව පාදා ගත හැක්කේ කොවිඩ් 19 අභියෝගය හමුවේ පැන නැගෙන ගැටලු, ප්‍රශ්නවලට විසඳුම් දෙන නව නිර්මාණ පිළිබඳ ව දවසින් දවස අසන්නට දකින්නට ලැබෙන නිසාය.

අප රටට මේ මාරකය ඇවිදින් මේ වනවිට ගත වී ඇත්තේ මාසයකට ආසන්න කාලයක් වුවද අපට එම මාරකයට අභියෝග කරන්නට කවර ආකාරයකින් හෝ රුකුල් දෙන පර්යේෂණ නව නිර්මාණ සෑම තලයකින්ම ඉදිරියට පැමිණෙනු දැකීම වාසනාවකි. මෙසේ පැමිණෙන නව නිර්මාණ අතුරින් මුලින්ම පාහේ ජාතියේ අවධානයට පාත්‍ර වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් සමාගමයි. එහි ඉංජිනේරු කණ්ඩායම කොවිඩ් 19 රෝගී ආසාදිතයන් ආසන්නයට ගොස් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා දෙන රෝගීන්ගේ අවශ්‍යතා පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සන්නිවේදනය කරන, අවශ්‍ය මොහොතකදී රෝගීන් ‍වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ කරන කාර්යය ඉටු කරයි. එය වඩාත් වැදගත් වන්නේ කොරෝනා ආසාදිත රෝගීන් හෝ එවැනි සැක සහිත රෝගීන් අසලට නිතර නිතර යාම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවදානම් සහගත වීමය. අනෙක ඔවුන් අසලට යන බොහෝ අවස්ථාවල ඔවුන් පළඳින ආරක්ෂක ඇඳුම් මුඛ ආවණ අත් ආවරණ ආදිය යළි යළි ඉවත ලෑමට සිදුවීම එක් අතකින් වෛද්‍ය සැපයුම් හිඟ මේ කාලයේ විශාල නාස්තියකි. ඇට්ලස් සමාගමේ කර්මාන්ත ශාලාවේ කටයුතු පහසුකරණයට ඔවුන් විසින් නිපදවන ලද රොබෝ යන්ත්‍රයක් මෙලෙස මේ අවස්ථාවේ රෝහල්වල අවශ්‍යතාවට ගැළපෙන පරිදි වැඩි දියුණු කිරීමට එම සමාගමේ ඉංජිනේරු කණ්ඩායමට හැකි වී ඇත. මෙම රොබෝ යන්ත්‍ර දෙකක් මේ වනවිට කොළඹ කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු නොකළ සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා වෙන් කළ හෝමාගම මූලික රෝහලේ සහ ඉරණවිල ස්ථාපිත නව ප්‍රතිකාර ඒකකයේ භාවිත වෙයි.

ලෝකයේ බොහෝ රටවල් රොබෝ තාක්ෂණය පිළිබඳව පසුගිය කාලය තුළ විශාල උනන්දුවක් දැක්වීය. විශේෂයෙන් අවදානම් සහගත ස්ථාන එනම් පතල් සහ ආකර තුළ සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීම, දූෂිත ජලය අඩංගු හෝ අවදානම් සහගත ජල මාර්ග පරීක්ෂා කිරීම , අපගේ ශරීරයේ සැත්කම් සිදු කිරීමකින් තොර ව අභ්‍යන්තර පරීක්ෂණ හෝ සැත්කම් සිදු කිරීමට යෙදවීම, බිම් බෝම්බ හෝ විෂ වායු සහිත ස්ථාන පරීක්ෂා කිරීම වැනි යෙදවුම් සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනිණ. ඊට අමතරව මහා පරිමාණ කර්මාන්ත ශාලාවල සේවක පිරිස අඩු කිරීම වෙනුවෙන් ද රොබෝ තාක්ෂණය බහුලව යොදා ගැනෙයි. අද ලෝකයේ බොහෝ රටවල් කොරෝනා අර්බුදය හමුවේ රොබෝ තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීමට කටයුතු කරන ආකාරයක් දැකිය හැකිය.

කොරෝනා ප්‍රශ්නයට විසඳුමක් ගැන තම මනස අවදි කළ ඇඹිලිපිටිය ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තේජන දෙව්මිණ සිසුවා ද මෙම ප්‍රශ්නය හමුවේ විසඳුමක් පෙන්වූ සුපිරි නව නිර්මාණකරුවකු ලෙස සැලකිය හැකිය. ඔහු විසින් නිර්මාණය කරන ලද රොබෝ යන්ත්‍රයද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවදානම් සහගත බව පාලනය කරන රොබෝවෙකි. මෙම රොබෝ යන්ත්‍රය රෝගියාගේ රුධිර පීඩනය , උෂ්ණත්වය වැනි සාධක පරීක්ෂා කළ හැකිවා සේම රෝගියාගේ තත්ත්වය පිළිබඳව දත්ත ගබඩා කොට එය ජංගම දුරකථන කෙටි පණිවිඩ ඔස්සේ වෛද්‍යවරයාට අවශ්‍ය වෙලාවට සම්ප්‍රේෂණය කිරීමේ ද හැකියාවෙන් යුක්තය.

රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය සහිත උපාංග මේ වනවිට ලෝකයේ දියුණු රටවල බහුල වශයෙන් යොදා ගැනේ. ඉතාලිය මෙන්ම යුරෝපීය රටවල් ගණනාවකම මෙන්ම ඉන්දියාවේ සහ චීනයේද රෝගින්ගේ රුධිර පිඩනය, රුධිරයේ පවතින ඔක්සිජන් ප්‍රමාණය,පෙණහලු ක්‍රියාකාරීත්වය වැනි තත්ත්ව පරීක්ෂා කිරීම මෙන්ම මෙම රෝගීන්ට අවශ්‍ය ආහාර පාන, ඖෂධ ලබා දීමේ කටයුතුවලදීද දුරස්ථ පාලකය මඟින් හැසිරවෙන රොබෝවන් යොදා ගන්නා අවස්ථා බහුලව ඇත. එසේම වීෂ බීජහරණ කටයුතුවලදීද රොබෝ තාක්ෂණය යොදා ගැනෙයි.

මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉලෙක්ටෝනික සහ විද්‍යුත් අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලිලන්ත සමරනායක මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක්ද කොරෝනා වසංගතයට ප්‍රතිකාර කිරීමට සහය වන රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කොට සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දී ඇති අතර; මෙම සරසවියේම යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ද සංකීර්ණ භාවිතාවන් සඳහා යොදා ගත හැකි ආකාරයේ රොබෝ යන්ත්‍රයක් නිර්මාණය වෙමින් පවතී. නව්‍ය තාක්ෂණ උපයෝගීතා ශ්‍රී ලංකාවට තවදුරටත් අරුමයක් නොවේ. එසේ වුවද මෙම නව්‍ය තාක්ෂණික උපාංග බොහෝ විට ශ්‍රී ලංකාවට එන්නේ දියුණු යැයි සම්මත රටවලිනි. මෙවැනි රටවල භාවිතයට එහා ගිය නව නිර්මාණ මෙරටින් බිහිවීමේ පවතින ඉඩකඩ මෙම නව නිර්මාණවලින් පෙනී යයි. කොරෝනා රෝගයට කෙරෙන ප්‍රතිකාරවලදී අපට පෙනෙන මානයේ පවතින විසඳුම් ඇති බව මෙම වසංගත තත්ත්වයේදී පෙන්වා දුන් නව නිර්මාණකරුවන් බොහෝය.

කොරෝනා ආසාදිතයන් හෝ ආසාදිත බවට සැක සහිත රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සොඛ්‍ය කාර්ය මණ්ඩලවලට ආරක්ෂිතව මෙම කටයුත්ත සිදු කිරීමට පහසු කරවන තවත් උපකරණ ගණනාවක් නිපදවූ නව නිර්මාණකරුවෝ කිහිප දෙනකුම වෙති. මේ අතරින් අනුරාධපුර රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා මහතා ඉතා අඩු වියදමකින්, දැනට මෙරට ඇති අමුද්‍රව්‍ය භාවිත කරමින් මසා ගත හැකි ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් නිර්මාණය කළේය. මේ වනවිට එය ආරක්ෂක හමුදා මඟින් නිෂ්පාදනය වන අතර ඒවා මේ වනවිට භාවිතයට ගැනෙන මට්ටමක පවතී. රෝගීන් ආසන්නයට යාම අවදානම් සහගත බව නිසා ඔවුන් වෙත ළඟා වීමට පහසු කරවන මුහුණු ආවරණ නිර්මාණය කළ නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ම වූහ.

නව නිර්මාණකරුවන් කිහිප දෙනකුම විෂ බීජ හරණ කුටි තැනීමට සමත් වි තිබිණි. මෙයින් ආකර්ෂණීය ආරක්ෂිත පර්යේෂණ කුටියක් නිර්මාණය කළ එක් නිර්මාණකරුවකු වන්නේ මාතලේ සංජීව විජය ශ්‍රි නවරත්න මහතා මෙම කුටිය නිර්මාණය කළේ රෝගීන්ගේ පරීක්ෂණ සාම්පල ආරක්ෂිතව ලබා ගැනීමේ අභියෝගයට විසඳුමක් ලෙසිනි.මේ වනවිට රෝහල් ගණනාවකම එය භාවිත වෙයි. ඊට සමාන ම ක්‍රමවේදයක් පොළොන්නරුව රෝහලේද භාවිත වනු දැකිය හැකි විය.

පසුගිය සතියේ සිළුමිණ විශේෂාංගයකින් මහනුවර මහරෝහලේ හෙද නිලධාරියකු වන බිහාන් සපුතන්ත්‍රී විසින් එකවර රෝගින් සිව් දෙනකුට ශ්වසන ආධාරක සැපයිය හැකි ආකාරයට ශ්වසන උකරණයක් වැඩි දියුණු කරන ලද ආකාරය ගැන පළ කළේය. ඔහුද මේ නිර්මාණය කළේ කිසිදු පසුබිම් දැනුමකින් නොව අත්දැකීමෙන් සහ ඔහුගේ කුතුහලය මතය. වෛද්‍යවරුන්ද එය වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක් බවට මේ වනවිට පිළිගෙන ඇත.

මෙරට ප්‍රමුඛ පෙළේ ජෛව රසායනඥ කණ්ඩායමකගේ දායකත්වයෙන් කොවිඩ් 19 පර්යෙෂණ යාන්ත්‍රණය පහසු කරවන නිමැයුමක් ද දායාද කර දී තිබේ.මහාචාර්ය රනිල් දසනායක, මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන, ආචාර්ය ජගත් වීරසේන යන මෙම පර්යේෂක තුන්කට්ටුව විසින් ආරම්භ කරන ලද සීජෙන් (CeyGen) බයෝටෙක් නම් ආයතනය මෙම පර්යේෂණ ප්‍රතිඵලය එළිදක්වා ඇත. ඒ කොවිඩ් 19 වෛරසය සඳහා කෙරෙන පීසීආර් එනම් පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරීකෂණයේ මූලික පියවරක් වන කොවිඩ් 19 වෛරසයේ ජාන නිස්සාරණයට භාවිත කරන පර්යේෂණ කට්ටලයක් (Test Kit) නිර්මාණය කිරීමෙනි. මේ වනවිට ලෝකයේම මෙම පරීක්ෂණ දැවැන්ත අකාරයෙන් සිදු කෙරෙන නිසා මෙම පරීක්ෂණ කට්ටල ගෙන්වා ගැනීම ලේසි පාසු නැත. එමෙන්ම මේ වනවිට ගුවන් ගමන් අඩාළ වී ඇති පසුබිමක මේවා ගෙන්වා ගැනීමද අසීරුය. අනෙක ඒ සඳහා යන වියදම ද අධිකය. සාමාන්‍යයෙන් මෙම ජාන නිස්සාරණ පරීක්ෂණ කට්ටලයක මිල සැලකීමේදි රෝගීන් 250කට සෑහෙන එක කට්ටලයකට වැය වන මිල රුපියල් ලක්ෂ 3ක් පමණ වෙයි. මේ ගැන සිළුමිණ ට කරුණු හෙළි කළ මහාචාර්ය රනිල් දසානායකයන් පවසන්නේ මෙම පරීක්ෂණ කට්ටලය නිපදවීමට ඔවුන්ට වැය වන්නේ රුපියල් 75,000ක් පමණ බවය. ඔවුන්ගේ ඊළඟ අරමුණ හැකි ඉක්මනින් කොවිඩ් 19 පිසීආර් පරීක්ෂණයට අවශ්‍ය සෙසු පරීක්ෂණ කට්ටලයද මෙරට තුළ නිපදවීමය.

මෙම පර්යේෂකයන්ගෙන් සැදි සමාගම පසුගිය කාලය තුළ ඩෙංගු, චිකන්ගුන්යා වැනි පර්යේෂණ සඳහා අවශ්‍ය ජාන නිස්සාරණ කට්ටල නිපදවා ඇත්තේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා වටහාගෙනය. මේ කටයුත්ත ජාතික විද්‍යා පදනමින් ලද මූල්‍ය ප්‍රදානයක් හරහා වැඩි දියුණු කළ ඔවුන් හදිසියේ පැන නැගුණු මෙම ගෝලීය වසංගතය මොහොතේදී එම රෝගය හදුනා ගැනීමේ පර්යේෂණ ක්‍රමවේදය සම්බන්ධයෙන් උනන්දු වී ඇත.

කොවිඩ් 19 වෛරස සාම්පල 400ක් පමණ ඇසුරේ සාර්ථක අත් හදා බැලීමෙන් පසුව එම පර්යේෂණ කට්ටලයට කර්මාන්ත තාක්ෂණ ආයතනයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයයේ නිෂ්පාදන සහතිකයද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ලැබී ඇත.

මෙයට අමතර ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සහ රොබෝ පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලිලන්ත සමරනායක ඇතුළු පර්යේෂණ කණ්ඩායම ද මේ වනවිට රෝගීන් සමඟ දුරස්ථව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තොරතුරු හුවමාරු කර ගත හැකි එසේම රෝගීන් වෙත ස්වයංක්‍රීයව ආහාර සහ ඖෂධ ලබා දිය හැකි ආකාරයට එය නිපදවා මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත බාර දී ඇත.

‍කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් පවතින දරුණුතම අර්බුදය වන්නේ ඔවුන්ගේ පෙණහලු ඇතුළු ශ්වසන පද්ධතිය ආසාදනය වීමය. මෙයින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන් බොහෝ විට ශ්වසන ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට සිදුවෙයි. බොහෝ විට මෙවැනි වෙන්ටිලේටර භාවිත වන්නේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවලය. සාමාන්‍යයෙන් වාර්ෂිකව ලෝකයේ වෙන්ටිලේටර ඉල්ලුම වුයේ වසරකටම ඒකක 80,000ක් පමණය. එහෙත් කොවිඩ් වසංගතය ලෝකයේ පිරිමැසිය නොහැකි ආකාරයේ වෙන්ටිලේටර ඉල්ලුමක් නිර්මාණය කොට ඇත. ඒ තත්ත්වය තුළ ඇමෙරිකාව පමණක් මෙම අප්‍රියෙල් මාසය අවසාන වන විට වෙන්ටිලේටර 20,000ක ඇණවුමක් ලබා දී ඇති බව එම ක්ෂේත්‍රෙය් ව්‍යාපාර අලෙවි වාර්තා සඳහන් කරයි. එවැනි තත්ත්වයක් තුළ අපට වෙන්ටිලේටර විශාල වශයෙන් ඇණවුම් කිරීම දුෂ්කරය.මේ වනවිට විවිධ දෝෂ නිසා භාවිතයෙන් ඉවත් කොට ඇති වෙන්ටිලේටර රැසක් යළි අලුත්වැඩියා කොට භාවිතයට ගත හැකි පරිදි ලබා දීමට මෙරට විද්වත්තු ඉදිරිපත් වූහ. ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අංශය මෙම වෙන්ටිලේටර යන්ත්‍ර 19ක් අලුත්වැඩියාවට බාරගෙන ඇති අතර පසුගිය කාලය තුළ එම කණ්ඩායම විශාල වෙහෙසක් දරා වෙන්ටිලේටර යන්ත්‍ර 12ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාර දී ඇත.

තවත් වෙන්ටිලේටර තොගයක් ඔවුහු මේ දිනවල කඩිනමින් අලුත්වැඩියා කරමින් සිටිති. මෙයට අමතරව මහනුවර හන්තානේ පිහිටි මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂක කණ්ඩායමක්ද වෙන්ටිලේටර අලුත්වැඩියාවට පියවර ගෙන ඇති අතර එයින් රටට මිලියන ගණනක විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකිව ඇති අතර කඩිනමින් මේවා රෝහල්වලට සැපයීමටද හැකිව තිබේ. එම පීඨයේම යාන්ත්‍රික ඉංජිනේරු අංශයේද පර්යේෂයන් මේ වනවිට තවත් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරමින් පවතී. මෙම ඉංජිනේරු පීඨය ආරක්ෂිත මුහුණු ආවරණද නිෂ්පාදනය රමින් සිටින අතර ඔවුහු ඒවා කෙමෙන් මෙරට රෝහල් ජාලය වෙත සැපයීමට කටයුතු කරමින් සිටිති.

වෙන්ටිලේටර ප්‍රශ්නයට තවත් සාර්ථක විසඳුමක් ලබා දුන් චරිතයක් වූයේ ඉංජිනේරු බුද්ධික වීරසිංහයි. ඔහු එකවර සිව් දෙනකුට එකවර ප්‍රතිකාර කළ හැකි ශ්වසන ආධාරක යන්ත්‍රනක් නිර්මණය කර ඇත. එහි සුවිශේෂී ලක්ෂණයක් ‍වන්නේ එයින් බැහැර වන රෝගියාගේ ප්‍රාශ්වාස වාතය විනාශ කිරිමකට ලක් කිරීමය. එයින් මෙම රෝගය බෝවීම පාලනයට විශාල පියවරක් වෙයි.

මෑත කාලීන ලෝකයේ තාක්ෂණ විප්ලව අතර එක්තරා හැරවුම් ලකුණක් ලෙස සැලකෙන්නේ නැනෝ තාක්ෂණයයි. විශේෂයෙන් වාණිජ මට්ටමේ කරන බොහෝ සියුම් නිෂ්පාදනවලට නැනෝ තාක්ෂණය යොදා ගැනෙයි. මෙරට නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියා කරන මූලික ආයතනය වන්නේ ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනයයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ ද්විත්වයේ හවුල්කාරීත්වයෙන් පර්යේෂණ සිදු කරන මෙම ආයතනය ද කොවිඩ් 19 සටනට ඔවුන්ගෙන් තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇත ඇත.

අප අවට ඇති පදාර්ථයන් සෑදී ඇති කුඩාම ඒකක වන පරමාණු, අණු භාවිත කරමින් අතිශයින්ම කාර්යක්ෂම සියුම් නිෂ්පාදන සිදුකිරීම නැනෝ තාක්ෂණයේදී සිදුවෙයි. මේ අනුව මෙරට කොවිඩ් 19 රෝගීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අත්‍යවශ්‍ය වන ජෛව සාම්පල ලබා ගැනීමේ විශේසිත අයිතමය (Testing Swabs) නිපදවීමට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයෝ සමත් වූහ. රෝගය පරීක්ෂා කිරීමට අවැසි සාම්පල ලබා ගැනෙන්නේ රෝගයාගේ උගුරෙන් හෝ නාසයෙනි. ඒවා එක්රැස් කිරීමේ අයිතම රිවර්ස් එන්ජිනියරින් නම් ක්‍රමවේදය ඔස්සේ නිපදවූ නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් මේවනවිට අදාළ තාක්සණය හයිෆැෂන් නම් පෞද්ගලික ආයතනයට ලබා දී ඇත්තේ එය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණය ඔවුන්ට ඇති නිසාය. මේ වනවිට එම ආයතනය එම පරීක්සන අයිතම දිනකට 3000ක් පමණ නිපදවයි. එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යන වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල පළඳන මුහුණු ආවරණවල මතුපිට ආලේප කළ හැකි විෂ බීජ නාශක තීන්ත වර්ගයක්ද ඔවුන් මේ වනවිට නිපදවා ඇත. මෙවැනි නව නිර්මාණ ගණනාවක් නිපදවීමට අපේ පිරිස සමත්ව ඇත.

ලෝකයේ නව නිර්මාණ, නව තාක්ෂණ ගැන කල් තියා අනාවැකි පළ කළ ලෝක පූජිත විද්‍යා ප්‍රබන්ධක ආතර්.සී ක්ලාක් තම මව් රට ලෙස සැලකුවේ ශ්‍රී ලංකාවය. ඔහු මියෙන තුරු ජිවත් වූයේද අපේ රටේය. ඔහු වසර 1964 වසරේදී පළ කළ අනාවැකියක් වූයේ අනාගතයේදී එක් එක් උපකරණවල අනුරූ එපරිද්දෙන් සැනින් සෑදිය හැකි තාක්ෂණයක් ලොව පහළ වනු ඇති බවය. අද ත්‍රිමාණ මුද්‍රණ ශිල්පයේදීද (3D Printing) සිදුවන්නේ එයම ය. අද එයද කොරෝනා ගෝලීය වසංගතය තුළ සාර්ථක ක්ෂණික විසඳුම් දෙන තාක්ෂණයක් වී ඇත. විශේෂයෙන් වෙන්ටිලේටර ඇතුළු දැඩි සත්කාර ඒකකවල භාවිත වන උපකරණවල අමතර කොටස් නිපදවීමේදී ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතයට ගැනෙයි.

ශ්‍රි ලංකාවේ නවෝත්පාදනය කෙරෙහි පවතින දැඩි උද්‍යෝගය ප්‍රකාශ කිරීමට මෙතෙක් සඳහන කළ දේ ප්‍රමාණවත් නොවන බව පසක් වන්නේ ශ්‍රි ලංකා නව නිර්මාණකරුවන්ගේ කොමිසමේ කොමසාරිස් , මොරටුව ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංගික හල්වතුර හෙළි කළ කරුණු අනුවය. මහාචාර්යවරයාට අනුව මෙම කොමිසම පසුගය මාර්තු 23 වැනිදා ආරම්භ කළ කොවිඩ් 19 පරාජයට උදව් වන නව නිර්මාණ ගවේසණය කිරීමේ අත්සාහයට දැවැන්ත ප්‍රතිචාරයක් ලැබී ඇති බවය. ෆයිට් ෆෝ කොවිඩ් 19 නම් තේමාවෙන් ඇරඹූ මෙම වැඩපිළිවෙලේදී නව නිර්මාණකරුවන්ට එම නිර්මාණ පිලිබඳව කොමිසම වෙත දන්වන්නැයි කළ දැනුම් දීමට රටේ හතර වටින්ම දිනපතා ප්‍රතිචාර ලැබෙන බව ඔහු පවසයි. මේ පිළිබඳව මහාචාර්ය රංගික හල්වතුර හෙළි කළේ මෙසේය.

‘අපි දැක්කා මෙම වසංගතය එනවාත් සමඟම අපේ නව නිර්මාණකරුවන් බොහෝ දෙනකු අවදි වි සිටිනවා. ඔවුන් විවිධ විශිෂ්ට නිර්මාණ සිදු කර තිබෙනවා. නමුත් ඒවා මාධ්‍ය හරහා මුලින්ම ප්‍රචාරය වුණාම එක් අතකට ලොකු අසාධාරණයක් වෙනවා. මොකද සැබෑ නිර්මාණකරුවාගේ නිර්මාණ කවුරු හෝ අනුකරණය කොට එහි බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කර ගත්තොත් එය සැබෑ නිර්මාණකරුවාට අසාධාරණයක්. එබැවින් අපට අවශ්‍ය වුණා.

මේවා එකින් එක ඉක්මනින් ඇගයිමට ලක් කොට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අන්තර්ජාල සේවාව රහා පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් පත් යොමු කිරීමට. 23 වැනිදා සිට පසුගිය අප්‍රියෙල් 17 වැනිදා වන විට සති තුනක් ඇතුළත අපට නව නිර්මාණ 160ක් පමණ පැමිණ තිබෙනවා. එයින් අප මේ වනවිට ඇගයිමට ලක් කළ නිර්මාණ අතරින් 35ක් පමණ අති විශිෂ්ට නිර්මාණ ලෙස සඳහන් කරන්න පුළුවන්. මෙමකොවිඩ් 19 වයිරසය මර්දනය කිරීම,රෝගීන් පරීක්ෂා කිරීම, දැඩි සත්කාර ඇඳන්, වෙන්ටිලේටර ආදිය තිබුණා සුවිශේෂ ලක්ෂණ සහිතව. මේවා ප්‍රතිනිර්මාණ ‍නොව අනන්‍ය ලක්ෂණ සහිත නව නිර්මාණ. මේවායින් සමහර ඒවා දැනටමත් භාවිතයට ගැනෙනවා. අපට අවශ්‍ය ඉක්මනින්ම ඒවා වානිජ මට්ටමට ගෙන යාමයි. අපට මෙම නව නිර්මාණ ඇගයීමේදී වෛද්‍ය අංශයේ ඊට අදාළ විශේෂඥයන්ගේ ,තාක්ෂණඥයන් සම්බන්ධ කර ගත්තා. ඔවුන් සාර්ථක බවට සහතික කළ නිර්මාණ අපට වැඩිදියුණු කිරීම සඳහා තීරණය කළා. එවැනි නිර්මාණ 20ට පමණ අපඩවැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීමටත් කටයුතු කළා.“

මහාචාර්ය හල්වතුරද ජාත්‍යන්තරය දිනූ නව නර්මාණකරුවෙකි. ඔහු පවසන්නේ කෙටි කලක් තුළ මෙම අර්බුදය ජය ගැනීමට අ‍පේ නව නිර්මාණකරුවන් දක්වන දක්ෂතාව මේ රටේ අනාගතය පිළිබඳව අලුතින් සිතන්නට සිදුවන තරමේ සුබවාදී ලකුණක් බවය.

Comments