ශවේ­න්ද්‍රගේ තහ­න­මත් දෙමළ ඩය­ස්පෝ­ර‍ාවේ වැඩක් | Page 2 | සිළුමිණ

ශවේ­න්ද්‍රගේ තහ­න­මත් දෙමළ ඩය­ස්පෝ­ර‍ාවේ වැඩක්

සංවාද - භක්ති ධර්ප්‍රිය මෙන්ඩිස්

• වර්ත­මාන යුද්ධ හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා ලෝක­යම පිළි­ගත් හමුදා නිල­ධා­රි­යෙක්. මානු­ෂීය මෙහෙ­යුම ක්‍රියා­ත්මක වූ අව­ස්ථාවේ ඔහු උප­රි­ම­යෙන් ජනතා සේවය ඉටු කළා. ඇම­රි­කානු රජය හිටි හැටියේ ඔහුට තහං­චි­යක් ඉදි­රි­පත් කර­නවා. එ‍රටට පැමි­ණී­මට අව­සර නොමැති බව පව­ස­මින්. මොකක්ද මේ තීර­ණය.?

මේ සියල්ල පිටු­පස සිටින්නේ දෙමළ ඩයි­ස්පෝ­රාව. එලෙ­සම අප රටට විරුද්ධ බල­වේග ඇම­රි­කාව හරහා තව­මත් ක්‍රියා­ත්ම­කයි කියන එක ජන­තාව තේරුම් ගත යුතුයි. ජාත්‍ය­න්ත­රය හරහා මේ රට වට්ට­න්නට රට ආප­ස්සට හර­ව­න්නට ක්‍රියා කරන බවත් ඉතා පැහැ­දි­ලියි.

මේවා අපි කල­බ­ල­යට පත් විය යුතු දේවල් නොවෙයි. රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මින් තීරණ ගැනී­මේදි රාජ්‍ය­යන් දෙකක් අතර සාකච්ඡා කර තීරණ ගත යුතුයි. එවි­ටයි රාජ්‍ය­තා­න්ත්‍රික මිතු­රු­කම් හොඳින් රැක ගත හැක්කේ. ඇම­රි­කාව තනි කැමැ­ත්තට ගන්නා මෙවැනි තීරණ නිසා අද ඔවුන් රටක් හැටි­යට මුළු මහත් ලෝක­යා­ගේම අප්‍ර­සා­ද­යට ලක් වෙලා තිබෙ­නවා. රජ­යක් හැටි­යට අපි සෘජුව මේ සඳහා දැඩි විරෝ­ධය පළ කර­නවා. එප­ම­ණක් නොවෙයි හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සමස්ත රණ­වි­රු­වන්ට විරු­ද්ධව තව­මත් නගන චෝදනා දැඩි ලෙස ප්‍රති­ක්‍ෂේප කර­නවා. යුද්ධය නිමා වූ දින සිට නොයෙක් සතුරු බල­වේග මෙලෙස ක්‍රියා­ත්මක වුණා. එවැනි බල­වේග වලට අපි දැන් හොඳින් මුහුණ දී අව­සන් ඒ නිසා ඉදි­රි­යේදී මෙම බල­වේග කුමන අයු­රින් පැමි­ණි­යත් අපි රණ­වි­රු­වන් රැක ගන්නවා.

 

• එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ රැසක් එක් වී බල­වේ­ග­යක් ගොඩ නැගී­මට ක්‍රියා­ත්මක වෙනවා. අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව සන්ධාන ගත වෙමින් මහ මැති­ව­ර­ණ­යට සූදා­නම් වෙමින් සිටි­නවා. ඇත්ත­ටම මොකක්ද සිද්ධ වෙන්නේ මේ දින­වල?

ඇත්ත­ටම මෙතන ගැට­ලු­වක් තිබෙ­නවා. ඒ වාමාං­ශික පක්ෂ සහ එම දේශ­පා­ල­ඥ­යින් සම්බ­න්ධව. හැබැයි අපි හැම­දාම එක මත­යක හිටියා. වාමාං­ශික බල­වේග එක කඳ­වු­රක සිටිය යුතුයි කියන තැන.

මේ වාමාං­ශික කඳ­වුරේ විවිධ මත සහ විවිධ බෙදීම් තිබ්බා. එහි උච්ච­තම අව­ස්ථා­වක් හැටි­යට මා දකින්නේ 2015 වස­රේදී. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී කඳ­වුරු බැදීම. පසුව එය දේශ­පා­ල­නික වශ­යෙන් මහා ගැටු­මක් බවට පත් වුණා. අග­මැ­ති­ව­රයා ජනා­ධි­ප­ති­ව­රයා සෘජුව ගැටෙන තත්ත්ව­කට පත් වුණා.

මේ නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අපි ඉවත් වී සිටියා. අප සැල­කුවේ ඒජා­පය සමඟ සම්බන්ධ වුණු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වාමාං­ශික කඳ­වු­රෙන් ඉවත් වූ පක්ෂ­යක් හැටි­ය­ටයි. නමුත් ඔවුන් ඉන් ඉවත් වී අප සමඟ සම්බන්ධ වුණා. විශේ­ෂ­යෙන්ම පොදු­ජන පෙර­මු­ණත් සමඟ සම්බන්ධ වන ඕනෑම වාමාං­ශික බල­වේග අපි එකතු කර­ග­න්නවා. රට වෙනු­වෙන් යහ­පත් තීරණ මත දරන ඕනෑම පක්ෂ­ය­කට අපි විවෘ­තව ආරා­ධනා කර­නවා. මේ දින­වල අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ අප රජය සහ පොදු­ජන පෙර­මුණ ප්‍රමුඛ පක්ෂ මේ දැවැන්ත බල­වේ­ගය ගොඩ­නං­ව­මින් සිටි­නවා.

 

• ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ පොදු­ජන පෙර­මුණ නිර්මා­ණය කරන සන්ධා­න­යට හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට ආරා­ධනා කර ඔහුව සම්බන්ධ කර ගැනීම මේ දින­වල දැඩි විවේ­ච­න­යට ලක් වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

ඇත්ත­ටම විවේ­චන කියන එක දේශ­පා­ල­නය තුළ තිබි­යම යුතුයි. එත­කො­ටයි දේශ­පා­ල­නය නිවැ­රදි දිශා­වට ගමන් කරන්නේ. මෙය විවේ­ච­නය කිරීම තුළ සාධා­ර­ණ­යක් තිබෙන බව මගේ පෞද්ග­ලික මත­යයි. අලු­තින් දේශ­පා­ලන පක්ෂ­යක් හදලා එම පක්ෂ­යට අඩ­ත්තේ­ට්ටම් සිදු කරලා අමා­රු­වෙන් ආපු ගම­නක් තිබෙ­නවා. මේ සඳහා ගැටලු ඇති කළා යැයි සිතෙන පාර්ශ්ව­යන් සම්බන්ධ වන විට විවේ­චන එල්ල වීම නව­ත්ව­න්නට අමා­රුයි. අද­හස් විවේ­චන තුළින් තමයි හොඳ දෙයක් නිර්මා­ණය වෙන්නේ.

 

• වර්ත­මාන රජය ඉදිරි මහ­මැ­ති­ව­ර­ණ­යේදී බලය පිහි­ටු­වී­මට වඩා වැඩි වශ­යෙන් කතා­බහ කරනු ලබන්නේ තුනෙන් දෙකක් ලබා ගැනීම සඳ­හායි. හැකි වේවිද ඔබ­ලාට තුනෙන් දෙක ලබා ගන්න?

වාමාං­ශික කඳ­වුර එකතු වුණු සෑම අව­ස්ථා­ව­කම මේ රටේ වැඩි බල­යක් සහිත රජ­යක් බිහි වුණා. අද අපට ඒ සඳහා අව­ස්ථාව තිබෙ­නවා කියන එක මගේ මත­යයි. ඒ වගේම මේ රට තුළ අවා­ස­නා­වන්ත තත්ත්ව­යක් බිහි කළ 13 වැනි සං‍ශෝධ­නය, 19 වැනි සංශෝ­ධන නිවැ­රදි කර රට ඉදි­රි­යට ගෙන යෑම සඳහා ශක්ති­මත් ආණ්ඩු­වක් බිහි කළ යුතුයි. ඒ සඳහා තිබෙන ප්‍රධා­න­තම බාධාව තමයි තුනෙන් දෙකක පාර්ලි­මේන්තු බල­යක් නොමැති කම. ඒ නිසා එවැනි බල­යක් ලබා ගැනී­මට තමයි අප මේ කට­යුතු කර­මින් සිටින්නේ. ජන­තා­වට මේ සඳහා අයි­ති­යක් ති‍බෙනවා, යුතු­ක­මක් තිබෙ­නවා මේ රට ගොඩ­නැං­වීම සඳහා අවශ්‍ය බලය මේ රජ­යට ඉදිරි මහ මැති­ව­ර­ණ­යේදී ලබා දීම.

 

• බැදු­ම්කර හොරු අල්ල­නවා. දැඩි දඬු­වම් දෙනවා. කියන එක මේ රජය බල­යට ඒමට පෙර ඔබලා නිතර ප්‍රකාශ කළා. ඇයි තව­මත් මේ වෙනු­වෙන් නීතිය ක්‍රියා­ත්මක නො‍වන්නේ.

ඇත්ත­ටම එය සාධා­රණ චෝද­නා­වක් කියන එක මම කියන්න කැම­තිය. අපි විප­ක්ෂයේ ඉන්න­කොට රනිල් වික්‍ර­ම­සිංහ රජය හොරු අල්ල­නවා කියලා බොරු චෝදනා එල්ල කර­මින් අපගේ මන්ත්‍රී­වරු හිරේ දම­මින් නොයෙක් පළි ගැනීම් සිදු කර­මින් රංග­න­යක් ඉදි­රි­පත් කළා. ඔවුන් අල්ලපු හොරෙක් නැහැ. මොකද ඒවා බොරු චෝදනා. ඔප්පු කර­න්නට බැරි වුණා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වාර ගණ­න­කදී, තවත් මන්ත්‍රී­ව­රුන් අවස්ථා ගණ­න­කදී FCID එකට, හෝ පොලි­සි­යට ගෙන ගියා. නමුත් චෝදනා සියල්ල බොරු බව ඔප්පු වුණා. මේ නිසා වර්ත­මාන රජ­යත් එවැනි තත්ත්ව­ය­කට පත් විය යුතු නැහැ.

ඒ නිසා මේ වන විට වංචා දූෂ­ණ­ව­ලට සම්බන්ධ සියලු තන­තු­රු­වල පුද්ග­ල­යන්ට එරෙ­හිව නිසි අයු­රින් නීතිය ක්‍රියා­ත්මක කර ඔවුන්ට දඬු­වම් ලබා දිය යුතුයි. මෙය වච­න­යට පම­ණක් සීමා නොකළ යුතුයි.

 

• ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අන්ත පරා­ජ­යක් ලබා ගත් ජනතා විමුක්ති පෙර­මුණ මෙවර මහ මැති­ව­ර­ණ­යේදී පාර්ලි­මේ­න්තුවේ වෙන­සක් ඇති කරන බව ප්‍රකාශ කර­නවා. ඇත්තක් ද මේක?

වසර පන­හ­කට හැට­කට වැඩි කාල­යක් අප මේ පිළි­බ­ඳව අසා තිබෙ­නවා. ඔවුන් ඉති­හා­සයේ අඩුම ඡන්ද සංඛ්‍යාව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා ගත්තා. ඒ නිසා ඔවුන් ගැන කතා කිරී­මත් අප­රාදේ කාලය නාස්ති කිරී­මක් හැටි­ය­ටයි මා දකින්නේ. අනික මේ වන විට ජනතා විමුක්ති පෙර­මුණ සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අව­ශ්‍ය­තාව පම­ණයි.

 

• ස්විස්ට්ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ සේවය කළ කාන්තා­වක් පැහැර ගැනීම පිළි­බ­ඳව වර්ත­මාන රජ­යට චෝදනා එල්ල වුණා. එම සිද්ධිය ජ්‍යාන්තර කතා­බ­හට ලක් වුණා. මොකක්ද ඇත්ත­ටම සිද්ධ වුණේ.

රාජ­පක්ෂ පාල­න­යට ජාත්‍ය­න්ත­රය දිගින් දිග­ටම ප්‍රහාර එල්ල කර­නවා. මොකද ඔවුන් මේ රටට හිතැති ජන­තා­වාදී තීන්දු තීරණ ගන්නා නිසා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති වූ විගස විදේශ බල­වේග තේරුම් ගත්තා ඔවුන්ගේ පද­යට නටන පඹ­යකු මේ රට තුළ නොමැති බව. මෙන්න මේ නිසා මෙවැනි ක්‍රියා­දා­ම­යන් සිදු කර­මින් ජාත්‍ය­න්ත­රව අප­කී­ර්ති­යට පත් කිරී­මට ඔවුන් උත්සාහ දර­නවා. ඒවා ජය ගැනී­මට අප රජ­යට පළ­පු­රු­ද්දක් තිබෙ­නවා.

Comments