ලාන්සාගේ නව සන්ධානයට අමරවීරගෙන් ආප්ප පාටියක් | සිළුමිණ

ලාන්සාගේ නව සන්ධානයට අමරවීරගෙන් ආප්ප පාටියක්

බොහෝ දේශපාලන පක්ෂ ආසන මට්ටමින් දේශපාලන බල මණ්ඩල රැස්වීම් පවත්වමින් එම බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු මේ දිනවල සිදුකරන නිසා දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් යම් උණුසුම් කතා පසුගිය සතියේ ද ඇතිවිය.

lසතියක් තුළ රාජ්‍ය ප්‍රධානීන් පස්දෙනකු ජනපති රනිල් හමුවෙති

විදෙස් රාජ්‍ය නායකයන් අතරින් ගෙවුණු සතිය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ලද සුවිශේෂි අත්දැකීමක් විය. රාජ්‍ය ප්‍රධානින් පස් දෙනෙකු සතියක් තුළ මුණ ගැසීමේ භාග්‍ය ජනපති රනිල් වික්‍රමසිංහට උදා වූවේය. අගමැති මෝදිගෙන් පටන් ගෙන ජපන් රාජ්‍ය ඇමති ෆුජිමාරු දක්වා විදෙස් රාජ්‍ය ප්‍රධානීන් ජනපති රනිල් මුණ ගැසුණේ දින දහයක් තරම් කෙටි කාලයක් තුළදීය.

ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා අලුයම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මුණ ගැසී පැය කිහිපයක් ගතවූ එදිනම උදෑසන ජපන් විදේශ ඇමති හයාෂි යොෂිමාසා මුණ ගැසුණේ සිය නිල නිවසෙ­්දීය. සදුදා දිවා කාලයේ තවත් ජපන් දූත පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණ සිටියේ ලේකම් කාර්යාලයටය.

ඒ ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය ඇමැති ෆුජිමාරු සටෝෂි සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ හිටපු රාජ්‍ය ඇමති යමමොටෝ කොසෝ ය. ඔවුන් වත්මන් ජපන් අගමැතිගේ දේශපාලන පක්ෂය නියෝජනය කරන අයවීම විශේෂත්වයකි.

lඋඩවලවේ ජල ගැටලුව ගැන ජනපතිගේ අවධානය

මේ අතර එදින උදෑසන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ජනපති මුණ ගැසුණේ ඒ වනවිට රට තුළ උද්ගතව පැවැති ගැටලුවක් සිහිපත් කිරීමටය.

“සර් හම්බන්තොට සහ මොනරාගල ගොවීන් පිරිසක් ජල හිඟයකට මුහුණ දීලා ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ අයට වගා කරන්න සමනල වැවෙන් වතුර ඉල්ලනවා. විදුලිබල මණ්ඩලය ඒකට කැමති නෑ. එයාලා කියන්නේ වතුර දුන්නොත් දිස්ත්‍රික්ක පහකට පැය තුනක් විදුලිය කපන්න වෙනවා කියලයි.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල කීවේය.

lයළි විදුලි කප්පාදුවක් එයිද?

“මේ මොහොතේ විදුලිය කප්පාදුවකට යන්න බෑ. අනෙක් පැත්තෙන් ගොවීන් අත් හරින්නත් බෑ. නමුත් ගන්න තියෙන හොඳම විකල්පය අපිට ගන්න වෙනවා.” ජනපති අදහස එය විය.

“වගා හානි වුණොත් ගොවීන්ට වගා වන්දි ගෙවන්න පුළුවන්. විදුලිය නතර කළොත් කර්මාන්ත ආදී ක්ෂේත්‍ර ගණනාවකට හානි වෙනවා.” ඇමති කංචන කීවේ එවැන්නකි.

“මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දිස්ත්‍රික්ක පහ ප්‍රධාන පද්ධතියට සම්බන්ධ වෙලා නෑ. වසර කිහිපයක් තිස්සේ සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම් කරන්න බැරිව ඉන්නවා, එක පුද්ගලයෙක් නිසා.” සාගල යළි කතා කළේය.

“කොහොම කළත් හොදම විකල්පයට යන්න. ඒක කැබිනට් එකට දාලා අනුමත කරගන්න වෙනවා.” ජනපති උපදෙස් දුන්නේය.

lසෞඛ්‍ය ආඥා පනත වෙනස් කිරීමට ජනපතිගේ අවධානය

ජනපති රනිල් බදාදා පෙරවරුවේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මුණ ගැසුණේ පවතින සෞඛ්‍ය අර්බුදය ගැන කතා කිරීමටය. ජනපති රනිල් මුලින්ම ඔවුන්ට කීවේ සෞඛ්‍ය ආඥා පනත වෙනස් කරන ලෙසයි. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කිරීමට ද ඔහු එහිදී පියවර ගත්තේය.

එදින සවස පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජනපති එක්වූයේ පක්ෂ නායකයා ලෙසටය. පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකයා නොමැතිව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය නොහැකිය. පක්ෂ නායකයා පැමිණීමට ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කෙමෙන් කමෙන් පැමිණෙන්නට වූහ.

lහරීන් - මනූෂ යළි මහගෙදරට

කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් නොවුණ ද ඇමතිවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ද සිරිකොතට පැමිණෙනු එහි සිටියවුන්ට දැක ගන්නට හැකිවූණි. ඔවුන් මේ ගැන කසුකුසු ගාද්දී ඔවුන් දෙපළ ගියේ පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායකගේ නිල කාමරයටය.

ඔවුන් දෙපළ නිල කාමරයට ඇතුළු වෙද්දී “ අපේ ආරාධනාව පිළිගෙන පැමිණීම ගැන සතුටුයි.” සාගල කීවේ ඔවුන් දෙපළ පිළිගනිමිනි. “මේක අපේ මහගෙදරනේ.” දෙදෙනා පිළිතුරු බැන්ඳේ එකටය.

නායකයා පැමිණ කෘත්‍යාධිකාරී මණ්ඩලය ආරම්භ වන තෙක් රැඳෙමින් රටේ ප්‍රශ්න කතා බහ කරන්නට වූහ. කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන්ගෙන් නව දෙනෙකු හැර සෙසු සියල්ලෝම ඊට සපැමිණ සිටියහ. මෙම නව දෙනා මෙයට සහභාගි නොවන බව කල් තියා දැනුම් දී තිබුණේ විවිධ හේතු ඉදිරිපත් කරමිනි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භයේදී ජනපති රනිල් විසින් ඇමති හරීන් හා මනූෂ දෙපළ පිළිගනිමින් නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයට එක් කරගන්නා බව කීවේ කාගෙත් සිනා මැදය.

lපක්ෂය ශක්තිමත් කරන හැටි රනිල් කියයි

පක්ෂ මහලේකම් සම්මේලන දිනයට අනුමැතිය ගැනීමෙන් පසු 77 වැනි සංවත්සර සම්මේලනය පැවැත්වීමට අදාළව 14 දෙනෙකුගෙන් සමන්විත සංවිධාන කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා ගත්තේය.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් අමතමින් පක්ෂ නායක ජනපති රනිල්, ඩී.එස් සේනානායක සිට වත්මන් පක්ෂ නායකයා දක්වා කාලය තුළ වූ දෑ ගෙනහැර පාමින් පක්ෂය ගමන් කළ යුතු ආකාරය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. එකමුතුවකින් තොරව පක්ෂය කල්ලි කණ්ඩායම් වශයෙන් බෙදීම නිසා ඇතිවූ විනාශයන් ගැන ද පැහැදිලි කළ ජනපති රනිල් ඉදිරියට පක්ෂය සාමූහික ගමනක් යාම ගැන කරුණු දැක්වූයේ අනාගතය ගැන ද කියා පාමිනි.

බ්‍රහස්පතින්දා සුපුරුදු පරිදි ජනපති මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සතියේ ආර්ථික සමාලෝචනය වෙනුවෙනි. මුදල් අමාත්‍යාංශය වෙත සුපුරුදු පරිදි මැති ඇමතිවරු පිරිසක් ද පැමිණ සිටියේ ජනපති හා කතා බස් කිරීමටය.

ජල ගාස්තු සංශෝධනය ගැන මෙන්ම ජාතික ගීය වෙනස් කිරීම ගැන ද මෙහිදි සාකච්ඡා වූහ.

lපාද යාත්‍රාව යෑමට මහින්දට මුලින්ම මුදල් දුන්නේ කවුද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාල‍වට ගියේ විශේෂ ආරාධනායක් හේතුවෙනි.

“ගුත්තිල මුසීල” සිනමාපටය නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු අග්‍ර­ාමාත්‍යවරයාට විශේෂ ආරාධනාවක් ලැබී තිබුණි.

එම සිනමාපටය නැරඹීමට කලාකරුවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම පැමිණ තිබුණි.

සිනමාපටය නරඹා කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැමිණෙන විට ඔහු මුණගැසීම සඳහා ගාමිණී ලොකුගේ, සුදර්ශන දෙනිපිටිය, ගුණතිලක රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක්ම පැමිණ සිටියහ.

“ගුත්තිල, මුසිල” චිත්‍රපටය බලන්න මං වැල්ලවත්තට ගියා” යනුවෙන් කතාව ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාය.

අපි එදා කොළඹ ඉඳලා කතරගමට පාද යාත්‍රාව යනකොට මට මතක විදියට පළමුවෙනි පිළිගැනීම තිබුණේ වැල්ලවත්තේදී” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

“ඇත්තටම සර්. පාද යාත්‍රාව යන්න ඒ කාලේ හැටියටත් ලොකු මුදලක් වියදම් වෙන්න ඇති නේද? සල්ලි හොයාගත්තේ කොහොමද? යනුවෙන් විමසුවේ ගාමිණී ලොකුගේය.

“ හුඟක් පරිත්‍යාගශීලින් හිටියා. සමහරු තමන්ගේ වාහන දුන්නා. එක එක විදියට උදව් කළා. මට මතකයි. කතරගම යන පාද යාත්‍රාවට මුලින්ම පරිත්‍යාගයක් කළේ බැනට් කුරේ. මිනිහා රුපියල් පන්දාහක් දුන්න"”යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාද යාත්‍රාව ඉතිහාසගත කතාවක් ආවරණය කළේය.

lනව සන්ධානය ගැන අමරවීරගේ ගෙදරදී කතා කළේ මොනවාද?

නව සන්ධානයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් පසුගිය අඟහරුවදා පස්වරුවේ අමාත්‍ය මහින්ද අමරවීරගේ කොළඹ, මහගම සේකර මාවත පිහිටි නිවසේදී පැවැත්වුණි.මේ සඳහා නිමල් සිරිපාල,ජෝන් සෙනවිරත්න,අනුර යාපා,සුසිල් ප්‍රේමජයන්ත්,නිමල් ලන්සා,නලින් ප්‍රනාන්දු,ලසන්ත අලගියවන්න,පියංකර ජයරත්න,දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

"දැන් පොහොට්ටුව හොඳටම බයවෙලා ඉන්නේ, ඒකනේ බැසිල් ජනාධිපතිතුමාට කියන්නේ මේක නවත්තල දෙන්න කියලා "පියංකර කිවේය

."අපි ඔය මොකටවත් සැලෙන්න හොඳ නෑ"අනුර යාපා කිවේය.

"බී, ආර් දන්නවා ලාන්සා වැඩකට බැස්සොත් මොකද වෙන්නේ කියලා. හුඟක්ම බයවෙලා තියෙන්නේ එකයි."පියංකර ලන්සා දෙස බලමින් කිවේය.

මේ අතර වාරයේ මන්ත්‍රී පිරිස් වත්මන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වාග් ප්‍රහාර ගැනද කතාබහ කළහ.

"දැන් පොහොට්ටුවේ කථිකයෝ කතාකරන්නේ පුදුම දේවල්. මේ යක්කුන්ට මුල මතක නෑ"ජෝන් කිවේය

"ඔව් පාන් කියාගන්නවත් බැරුව පාරේ බැහැල යන්නවත් බැරුව හිටියේ" නිමල් සිරිපාල කිවේය.

"ජනාධිපතිතුමා මැදිහත්වෙලා මේ රට සන්සුන් කරලා දුන්නා. නිදහසේ ඉන්න පුළුවන් රටක් හදල දුන්නා. ඒකවත් මතක නැතුව ජනාධිපතිතුමාට ගහනවා "ලාන්සා කිවේ පිරිස දෙස බලමිනි.

මේ අතරවාරයේ අමරවීර ඇමතිවරයා පැමිණි පිරිසට රාත්‍රී ආහාරයද සුදානම් කර තිබිණි. බත්, ඉඳිආප්ප, ආප්පවලින් කෑම වේල රසවත් විය

"අමරෙගේ ගෙදර ආප්ප වරදින්නේ නෑ ඉතින්. කන්නත් බයයි "සුසිල් කිවේ සිනා සෙමිනි. රාත්‍රී භෝජනය අමරවීර අමාත්‍යවරයාගේ බිරිඳගේ අතින්ම සකසා තිබීම ගැන ද පිරිස කතාවූහ. දේශපාලන කතාවලට අමතරව රසබර කතාවලින් ද මෙහි අඩුවක් නොවිය.

lනව සන්ධානයේ ආසන මට්ටමේ හමු ජාඇළෙන් ඇරඹෙයි

මේ අතර නව දේශපාලන සන්ධානයේ ප්‍රචාරන කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. ආසන මට්ටමින් කොට්ඨාස සංවිධායකයින් කැඳවා දිස්ත්‍රික් මට්ටමින් නව සන්ධානය ගැන දැනුම්වත් කිරීමේ හමු පැවැත්වීම ද මේ වන විට ආරම්භ වී ඇත. එහි පළමුවැන්න ජා ඇළ රන්රීච් හෝටලයේදී පසුගිය සෙනසුරාදා පැවැත්වුණි.ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැවති මෙම හමුවට ආසන 13ක තෝරාගත් සංවිධායකවරුන් 50කට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

lබැසිල්, රනිල් හමුවක්

තත්ත්වය එසේ තිබියදී පසුගිය ඉරිදා පස්වරුවේ බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තාවේ.

දැනගන්නට ලැබෙන ආකාරයට මෙහිදී සාකච්ඡා වී තිබෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය බව වාර්තා වෙයි. පොහොට්ටුවේ පිරිසක් වෙනම සංවිධානගතවීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ කතාබහ කර ඇත්තේ එතරම් ප්‍රසාදයෙන් නොවේ. ඊට අමතරව වෙනත් දේශපාලන කාරණා කිහිපයක් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වූ බව වාර්තා වාර්තා වෙයි.

lමිහින්තලාවේ පින්කම්වලට දායක වන බවට සජිත්ගෙන් සහතිකයක්

විපක්ෂ නායක සජිත් පසුගිය සතිය ගත කළේ අනුරාධපුරය මිහින්තලය ඇතුළු රජරට ප්‍රදේශයේ ය. ඒ අනුව සජිත් මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අතර මිහින්තලා පුදබිමේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

"ලබන වසරේ මිහින්තලයේ පොසොන් පෙරහරට, සති පිරිතට සහ ආලෝක පූජාවට මොන වගේ පිරිවැයක් යයිද අපේ හාමුදුරුවනේ? සජිත් එහිදී විමසීය.

"ඇස්තමේන්තු කරල තියෙන විදිහට කෝටි තුනක් හතරක් අතර ප්‍රමාණයක් යනවා" නාහිමිපාණන් වහන්සේ පිළිතුරු දුන්නේ ය.

" ඒ කටයුත්ත සහ වගකීම මම භාර ගන්නවා අපේ හාමුදුරුවනේ. සමගි ජන බලවෙිගයේ බෞද්ධ උපදේශන කමිටුව හරහා දායක වීමට සූදානම්"

සජිත් එම අවස්ථාවේදී පැවසීය.

"දේශපාලනඥයෝ විවිධ පොරොන්දු දෙනවා. නමුත් ඔබතුමා එහෙම නෑ කියලා මම දන්නවා." නාහිමියන් පැවසීය.

"සංස්කෘතික ඇමතිවරයා ලෙස මිහින්තලා පුදබිමේ ලක්ෂ 3200ක වැඩ කටයුකු සිදු කළා. එම කටයුතු පසුගිය රජය සමයේ නැවැත්තුවා. මම යමක් පොරොන්දු වුණොත් ඒක අනිවාර්යෙන් ම ඉෂ්ට කරනවා අපේ හාමුදුරුවනේ" සජිත් පැවසීය.

සක්වල වැඩසටහන යටතේ 74 වන බස් රථය නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ දී කටයුතු කළේය.

සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සිදු කරන හුස්ම වැඩසටහන යටතේ මේ වනවිට රෝහල් 56කට රු. 171,966,900.00ක සෞඛ්‍ය උපකරණත් පාසල් 73ක් සදහා එක් පාසලක⁣ට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 73ක් ලබා දුන් අතර ඒ සදහා රු.354,200,000.00ක මුදලක් ද වැයකරන ලදී. එසේම සුහුරු සිසුවකු නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව සිදු කරන සක්වල වැඩසටහන යටතේ පාසල් 33කට රු. 29,033,650.00ක සුහුරු පන්ති කාමර උපකරණ ද ලබා දී තිබේ.

මෙහිදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කේ. පී. එස්..කුමාරසිරි ද එම අවස්ථාවට එක්ව සිටීම ය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කේ. පී. එස්. කුමාරසිරි සමඟ සුහද කතා බහක නිරත වූ අතර ප්‍රදේශයේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් ද මෙම කතාබහේදී වැඩි අවධායක් යොමු වු බවට වාර්තා වේ.

lනිදහසේ තිදෙනෙක් කරනමක් ගහයිද?

මේ සමඟම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පැතිර ගියේ මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහසේ ජනතා සභාගේ තිදෙනෙකු යම් දේශපාලන කරනමක් ගැසීමට සුදානම් වන බවයි.

පසුගියදා නාවල ප්‍රදේශයේ එක්තරා දේශපාලනඥයෙකුගේ නිවසේ දී පැවති සාකච්ජා‍වකදී සමඟි ජන බලවේගයට එක්වීමට තිදෙනෙකු සුදානමින් සිටින බවට පැතිර යන කතාව ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

මෙම තිදෙනා අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ ඔහුගේ සමීපයෙන් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටින බවට ද තොරතුරු වාර්තා වේ.

අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා බස්නාහිර හා උප පළාත් නියෝජනය කරන බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

lපොහොට්ටුවේ පිරිසක් නාමල්ට කීවේ මොනවාද?

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණ රටපුරා ආසන බල මණ්ඩල පිහිටුවමින් සිටින අතර එම රැස්වීමට පෙරට වඩා ජනතාව පැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර පැවති සාකච්ජාවකදී තොරතුරු හෙළි වී තිබේ.

පොහොට්ටුවේ ආසන බල මණ්ඩලවලින් 70%කට වඩා ‍මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇති බවත්, ඒ සඳහා පැමිණි ජනතාවගේ විශාල වැඩිවීමක් දක්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම නාමල් රාජපක්ෂට කරුණු සහිතවම පෙන්වා ඇති බවට ද වාර්තා වේ.

lඕනෑම දේකට සුදානම් බව ජොනී කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොල්ගහවෙල ආසල බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවති අතර ඒ සඳහා ද විශාල පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයකි.

පොහොට්ටුවේ කුරුණෑගල නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී පළ කළ අදහස් ගැන ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ‍වුයේ පොහොට්ටුවේ අනාගතය ගැන ඔහු එහිදී ඉඟි කිහිපයක් ඉදිරිපත් කළ නිසයි.

“අපිට ගමට යන්න බැහැ කිව්වා. පොහොට්ටුව ඉවරයි කිව්වා. මැති ඇමතිවරුන් හැංගුණා, ඉල්ලා අස්වුණා කියලා කිව්වා. මැති ඇමතිවරුන් හොයාගන්න නැහැ කිව්වා. හැබැයි අපි අද කියනවා අපේ ආසනවලින් සියයට හැත්තෑවකට වඩා (70%) බල මණ්ඩල පිහිටුවලා ඉවරයි. ” යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී ප්‍රකාශ කළේය.

lවජිර එකම දවසේ මින්නේරිය හා මිනුවන්ගොඩ

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය ඉරිදා දිනය වෙන් කර තිබුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය සඳහා සහභාගීවීමටත්, ඉන් පසු ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ එජාප ආසන බලමණ්ඩලය සඳහා සහභාගී වීමටත්ය.

ආසන බල මණ්ඩල පැවැති ස්ථාන අතර දුර විශාල වුවත් වජිර මෙම ආසන බලමණ්ඩල දෙටම සහභාගි වූයේ දුන් පොරොන්දු කඩ කිරීමට නොහැකි නිසාය.

උදේ පාන්දර පොලොන්නරුව බලා පිටත් වූ වජිර සවස තුන වන විට මිනුවන්ගොඩ රැස්වීමට සහාභාගි විය.

වෙනත් බලමණ්ඩල රැස්වීම්වලදී මෙන්ම මෙම රැස්වීම්වලදීත් වජිරට ඉතා ඉහළ පිළිගැනීමක් හිමිවිය.

මින්නේරිය බලමණ්ඩල රැස්වීම නාලක කොලොන්නේ විසින් සංවිධානය කර තිබූ අතර මිනුවන්ගොඩ රැස්වීම මහාචාර්ය අාශු මාරසිංහ විසින් සංවිධානය කර තිබුණි.

මිනුවන්ගොඩ රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ලක් වනිතා සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු දිස්ත්‍රික් සංවිධායකවරුන්, ප්‍රාදේශීය සංවිධායකවරුන්, කළමනාකරුවන් සහ පක්ෂ සමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

“දැන් අද අපි මෙතැනට රැස්වෙලා තියෙන්නේ ඇයි? එ.ජා.ප. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න යන්නේ ඇයි?

අද අපි මේ මැතිවරණ කොට්ඨාසයේ එජාප බලමණ්ඩලය අලුතින් පිහිටුවනවා. ඊට පස්සේ අපි පක්ෂ සම්මේලනයක් පවත්වා පක්ෂයේ ව්‍යවස්ථාව මාරු කරනවා.

සමරහ අය අහනවා මේ වෙලාවේ මොකටද පක්ෂ ව්‍යවස්ථාව මාරු කරන්නේ කියලා.

මෙය කරන්නේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට නෙමෙයි. ජාතික අවශ්‍යතා වෙනුවෙන් මේ විදිහට පක්ෂ ව්‍යවස්ථාව මාරු කර තිබෙනවා. දැනුත් අපිට ජාතික අවශ්‍යතාවක් තිබෙනවා.

ඒ නිසා අපි නැවත වරක් පක්ෂ ව්‍යවස්ථාව මාරු කරනවා. එවිට වෙනත් පක්ෂවල අයටත් අපේ පක්ෂය සමඟ එකතු වෙන්න පුළුවන් වෙනවා.

lජනපති රනිල්ට උපදේශකයන් නැති හේතුව වජිර කියයි

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැර අනිත් සියලු නායකයින්ට බලය ලබාදෙන්න වාමාංශික ව්‍යාපාර ගෙයින් ගෙට ගියා. බලන්න චන්ද්‍රිකා මැතිනියට, වාමාංශික බලවේග ගෙයින් ගෙට ගියා.

බලන්න මහින්ද මහත්තයට එය එසේමයි, ඒ විතරක් නෙමෙයි ෆොන්සේකා මහත්මයා ජනාධිපති කරන්නත් වාමාංශික ව්‍යාපාර ගෙයින් ගෙට ගියා, ඇයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් එසේමයි. නමුත් මේ වාමාංශික පක්ෂ කිසිම දවසක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ගෙයින් ගෙට ගිහින් ඡන්දය දෙන්න කිව්වේ නැහැ.

මෙන්න මේ අසමගියෙන් අපි ඉවත් විය යුතුව තිබෙනවා. මෙතැනින් එහාට තවදුරටත් අපිට මේ ගමන යන්න බැහැ. යන්න පුලුවන් උපරිමයටම ගිහින් රට කඩන් වැටුණා. මෙතැනින් එහාට දේශපාලනයේ බොරු කියන්නත් බැහැ. දැන් අපිට අලුත් පාරක යන්න තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පුටුවට ආවේ එක අාසනයෙන්. රට වැටුණම රට භාරගන්න ගෝඨාභය ජනාධිපතිතුමා විපක්ෂයට ආරාධනා කළා. ඔවුන් පැනලා දිව්වා. ජනතා විමුක්ති පෙරමුණට කතා කළා. ඔවුනුත් පැනලා දිව්වා. නමුත් තනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනතාව වෙනුවෙන් මේ අමාරු වගකීම භාරගත්තා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ කිසිම උපදේශකයෙක් නැතිව රට පාලනය කරන්න පුළුවන් නායකයෙක්. එවැනි නායකයෙක් මේ මුළු ලෝකෙම නැහැ. එක විෂයකට නෙමෙයි, කිසිම විෂයකට එතුමාට උපදේශකයින් අවශ්‍ය වන්නේ නැහැ. “යැයි වජිර ප්‍රකාශ කළේය.

lඅජිත් රාජපක්ෂට සෑම් විජේසිංහ කියාදුන් පාඩම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගිය තුන් වැනිදා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමත්‍යවරයා හමුවීමට ගියේය.

අග්‍රාමාත්‍යවරයා පැමිණෙනතුරු පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ රැඳී සිටිය අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා එහි සිටි නිලධාරීන් සමඟ සුහද කතාබහක නිරත වී සිටියේය.

අග්‍රාමාත්‍ය පෞද්ගිලක ලේකම් සී. කුරුප්පු කතාවට එක්විය.

මෙහිදී පරණ ඉතිහාස කතාවක් සිහිපත් කරමින් අජිත් රාජපක්ෂ කියා සිටියේ 1997 වසරේදී තමා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව නියෝජනය කරන අවස්ථාවේදී පැවැත්වුණු වැඩ මුළුවකට සහභාගී වු අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වූ සෑම් විජේ‍සිංහ හමු වූ බවයි.

“එදා පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වුණේ මහනුවර බෙල්වුඩ් එකේදී. සාර්ථක දේශපාලඥයෙක් වෙන්න නම් ප්‍රායෝගිකත්වයට මුහුණ දෙන්න ඕන කියලා සෑම් විජේසිංහ මහත්තයා කිව්වා. ඒක උදාහරණ සහිතවම කිව්වේ මෙහෙමයි.

“මං කියන්නම් උදාහරණයක්. ඔය බෙලිඅත්ත ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් අරගෙන.

යු.ඇන්.පී.එකේ දොස්තර රංජිත් අතපත්තු මහත්තයා මළ ගෙදරකට ගියොත් කෑම බීම ගැන පරිස්සම් වෙනවා.

එයා දොස්තර නිසා සීනි, ගැන කොලොස්ටරෝල් ගැන උනන්දු ඇති. වැඩිය කන්න බොන්න යන්නේ නැහැ.

“දැන් ශ්‍රී ලංකා එකේ මහින්ද රාජපක්ෂ මළ ගෙදරකට ගියොත් ඕන දෙයක් කාලා බීලා එනවා. මිනිස්සු ඒකට හරි කැමතියි. අදත් මහින්ද මහත්තයා මන්ත්‍රීවෙලා ඉන්නවා” යනුවෙන් පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහත්තයා කිව්වා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

Comments