ජනපතිගෙන් අපූරු පත්තර පාඩමක් | සිළුමිණ

ජනපතිගෙන් අපූරු පත්තර පාඩමක්

සුගිය සිකුරාදා උදැසන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත විවාහ ගිවිස ගැනීමක් සඳහා අත්සන් කිරීමට ආරාධනාවක් තිබුණි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ පියසේන දිසානායකගේ දියණියගේ විවාහ ගිවිස ගැනීම, කොළඹ හිල්ටන් හෝටලයේ, අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබුණි. නෑදෑ පිරිසට අමතරව දේශපාලන ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ. කල් වේලා ඇතිවම, මේ උත්සවය සඳහා සහභාගී වීමට පැමිණියේ, වජිර අබේවර්ධනය. ඔහු පැමිණ සිටි පිරිස සමඟ සුහදව කතා කරමින් සිටියදී ජනධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද පැමිණ නව යුවළ වෙත සුබ පතා විනාඩි කිහිපයක් ගත කරන අතරේ, ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණියේය. නව යුවළට සුබ පතා ජනාධිපතිතුමා පිරිස සමඟ කතාබහ කරන්නට පටන් ගත්තේය. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා, 13 වෙනි සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාව සම්බන්ධයෙන්, කතා කරන්නට පටන් ගත්තේය. 'ගාමිණි ලොකුගේ මන්ත්‍රීතුමා කියලා තියෙනවා, ඔබතුමා අන්තිමට සේරම පාර්ලිමේන්තුවට බාර දීලා ගියා කියලා..."

"ඔව් මට කරන්න පුළුවන් යෝජනා කරන එක විතරනේ... ඡන්දය තියෙන එකේ ඉඳලා ඔක්කොම තීරණ ටික ගන්න ඕනේ පාර්ලිම්න්තුව තමයි..." මේ ආකාරයට 13 ගැන ඇදී ගිය කතාවේදී එතැන සිටි මාධ්‍යවේදියෙක් අසා සිටියේ " සර්... විමල් විරවංශ මන්ත්‍රීතුමා, සිංහල මන්ත්‍රීවරු එක්ක කතා කරන්න කියලත් යෝජනා කළා නේද..."

"ඔව්, ඒ කියන්නේ විමලුත් සහය දෙනවා කියලනේ... ඒ යෝජනාවට මම කැමති වුණානේ ..."

පියසේන දිසානායක මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර තිහකට අධික කාලයක් කටයුතු කරන බැවින්, මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනකු සදහා ද මෙම අවස්ථාවට ආරාධනා කර තිබුණි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ තවත් මාධ්‍යවේදියකු සිටි නිසා ජනාධිපතිතුමා පුවත්පත් ගැන මෙහිදී කතා කරන්නට විය. " එදා පත්තරයක් ගත්තේ කෝච්චියේ, බස් එකේ එන මිනිහෙක්. කන්තෝරුවට යන එන අය පත්තර බලපු නිසා, එදා පත්තර ආමන්ත්‍රණය කළේ ඒ ක්‍රවුඩ් එකට. දැන් වැඩිපුර පත්තර බලන්නේ ත්‍රී රෝද රථ පදවන අය. පත්තරවලට, ඒ අයට ඕනෑ විදිහට අපරාධ වගේ දේවල් දාන්න වෙලා තියෙනවා. මුද්‍රිත මාධ්‍ය තව නිර්මාණශීලී වෙන්න ඕනේ. මාධ්‍ය සිද්ධි වාර්තා කරන්න ඕනේ. ඒවායේදී ඉතින් අපරාධ වගේ දේවල් දැන් වැඩියෙන් මිනිස්සු බලන්න පටන් අරන්" ජනාධිපතිවරයා සඳහන් කළේය. සමන් අතාවුදහෙට්ටි සහ ධනුෂ්ක රාමනායක ද මේ කතාව සමඟ එක්ව සිටියහ.

"ඉරිදා පත්තර වේලාසනින් එන්න නරකයි. ඉස්සර ලේට් සිටි පත්තරේ, දැන් ගහන්නේ කීයටදැයි, එතැන සිටි කර්තෘවරයකුගෙන් ජනාධිපතිවරයා විමසා සිටියේය. " රෑ දොළහට තමයි සර්..." "මට මතකයි ඒ දවස්වල පාන්දර වුණත් පත්තරේ රිකාස්ට් කරලා, සිටි එඩිෂන් එක කළා. මම දැකලා තියෙනවා පාන්දරත් පත්තරේ ගහන හැටි යැයි ජනාධිපතිවරයා කීවේ හිල්ටන් හෝටලයේ සිට යාබද ලේක්හවුස් ආයතනය දෙසට අත දික් කරමිනි.

ජනාධිපතිවරයාගේ මවු පාර්ශ්වයෙන් හිමිකාරීත්වය තිබූ ලේක්හවුස් ආයතනයට, කුඩා කාලයේදී තමන් නිතර ආගිය බැවින්, ඒ පිළිබඳ මතකය මෙසේ දිග හැරියා විය හැකිය. "අනිත් එක ඒ කාලේ තාක්ෂණය තිබුණෙත් නැහැ. සෙනසුරාදා පත්තර නොගහ, දැන් ඉරිදා පත්තරේ සෙනසුරාදට ගහන එක නතර වෙන්න ඕනේ. සෙනසුරාදා පත්තරත් ගහන්න ඕනේ" පුවත්පත් කර්මාන්තයේ අභියෝග ගැන කතා කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේය.

මාධ්‍ය හමුවේ ඇති අභියෝග ද සඳහන් කරමින් ජනාධිපතිවරයා පුවත්පත් හි අලෙවිය සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියේය.

උදෑසන යෙදුණු උත්සවයක් බැවින්, කිරිබත් කැවුම් ආදී සම්ප්‍රදායික රසකැවිලි සංග්‍රහය සඳහා සූදානම්ව තිබුණි. ජනාධිපතිවරයා එහිදී ආහාරය සඳහා ගන්නා ලද්දේ කොකිස් පමණකි.

වැඩි කතාබහක් නොමැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මේසයේ සිටි අතර, වැඩ කටයුතු බහුල බැවින් සාගල රත්නායක වේලාසනින්ම උත්සවයෙන් නික්ම ගියේය.

ඒබ්‍රහම් ලින්කන් මැතිසබයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය වසර 30ට වැඩි කාලයක් තිස්සේ ඇදෙමින් පවතින ගැටලුවකි. ජනපති රනිල් වික්‍රමසිංහයන් අගමැති ලෙසත් විපක්ෂ නායක ලෙසත් 13 ගැන දැරූ ආකල්පයේ වෙනසක් වූවේ නැත. ජනපති වූ පසුත් ඔහුගේ අදහස වූවේ මේ ගැටලුව කෙසේ හෝ විසඳිය යුතු බවකි.

පළාත් සභා බලගන්වන්නේ ද නැති ද යන්න තීන්දු කළ යුත්තේ පාර්ලිමේන්තුව බව ජනපති රනිල් දැඩිව විශ්වාස කරන්නකි. එබැවින් සිය ජනාධිපතිධුර කාලය තුළ මේ තීන්දුව ගැනීමට ජනපති රනිල් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවට තම ස්ථාවරය ඉදිරිපත් කළේය. 13 බලාත්මක කිරීම වෙනුවෙන් කරුණු 10කින් යුතු යෝජනාවලියක් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ අනුවය.

ජනපති රනිල් බදාදා පාර්ලිමේන්තුවට ගියේ ඔහු 13 සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ලේඛන ගොන්නක් ද රැගෙනය.

පාර්ලිමේන්තු පැමිණි ඔහු කෙළින්ම ගියේ සභාගර්භය වෙතය. 13 ගැන සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න නඟන්නට වූ අතර ඒ සියල්ලටම ජනපති ළඟ පිළිතුරු තිබුණේය. විපක්ෂ නායක සජිත් ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වද්දී ජනපති රනිල් ඔහු ප්‍රාන්ත සභා විසුරුවා හැරි ආකාරය ඇමෙරිකානු ඉතිහාසය සිහිපත් කරමින් දුන් පිළිතුර ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශංසාවට හේතු විය.

එහෙත් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමඟ සිද්ධාර්ථන්, අඩෙක්කලනාදන් වැනි දමිළ පක්ෂ නායකයන් සිටිය ද ඔවුන් කිසිවක් ජනපතිගෙන් විමසා සිටියේ නැත. විග්නේෂ්වරන්, සුමන්තිරන්, රාසමානික්කම් වැනි මන්ත්‍රීවරු ඒ මොහොතේ සභාවේ නොසිටීම ද කැපී පෙනිණි.

ජනපති වටකර‍ගෙන මන්ත්‍රීවරුන් කීවේ මොනවාද?

පැයකට ආසන්න කාලයක් සභාවේ රැඳී සිටි ජනපති රනිල් ඉන් පිටවී එද්දී ලොබියේ රැඳී සිටි ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු ජනපති වට කරගත්තේය.

“මොනවද අර විපක්ෂ නායකතුමා කියන්නේ. එතුමා කොළයක් බලාගෙන ඒබ්‍රහම් ලින්කන් කියපු කතාවක් කියද්දී සර් දුන්නානේ ලින්කන් නිෂේධනය කරපු නඩු තීන්දුවක් ගැන කතාවක්.” ඇමති චාමර සම්පත් කී ආකාරයට පිරිසට සිනහව නතරකර ගත නොහැකි වූහ.

“ජනාධිපතිතුමාගේ 13 හින්දා එයාලා හිර වෙලා ඉන්නේ. සුමන්තිරන් උත්සාහ කළේ විපක්ෂය එකතු කරන්න. හැබැයි දැන් දිගටම බෙදෙන එක තමයි වෙන්නේ.” ඇමති ප්‍රසන්න රණතුංග කීවේ එවැන්නකි.

“විපක්ෂයේ කවුරු ගාවවත් හරි පිළිතුරක් තිබුණේ නෑ. විපක්ෂ නායකතුමාට තිබුණේ නිශ්ශබ්ද වෙලා යෝජනාවලිය අධ්‍යයනය කරලා කතා කරන්නයි.” එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරයෙකු කීවේ බැරෑරුම්වය.

“ජනාධිපතිතුමා මෙතනදි කරුණු තුනකින් විපක්ෂය හිර කළා. එකක් 13 වැනි සංශෝධනයට යෝජනා ඉදිරිපත් කරපු එක. අනෙක කථානායකතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන කියපු එක. තුන්වෙනි එක විශ්වාසභංගයට ජනාධිපතිතුමා දින දුන්නත් විපක්ෂ නායක ලෙස සජිත්ට එකඟ වෙන්න බැරි වුණ එක. විපක්ෂයට නිවැරදි උපක්‍රමයක් තිබුණේ නෑ මේවට මුහුණ දෙන්න.” මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලුහ.

ජල ප්‍රශ්නය විසඳපු හැටි

සඳුදා සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර සමනල වැව ජලය ගොවීන් වෙනුවෙන් නිකුත් කිරීම ගැන මෙහිදී සාකච්ඡා කෙරිණි. ජලය නිකුත් කිරීමේ තීන්දුව හා අඛණ්ඩව විදුලිය ලබාදීමේ තීන්දුව ගැනුණේ මෙහිදීය.

ඉන්පසුව පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත ද ජනපති රනිල් මේ තීන්දුව දැනුම් දුන්නේය. විදුලිබල ඇමති කාංචන විදුලිය ගැටලුව ගැන පැහැදිලි කිරීමක් කළේය. එහිදී රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත කැසිනෝ බදු වැඩි කිරීමේ පනත් කෙටුම්පත් ගැන පැහැදිලි කිරීමක් කළ අතර ඒ ගැන වැඩි වශයෙන් කරුණු විමසන්නට වූයේ ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර හා නලීන් ප්‍රනාන්දු යන ඇමතිවරුන්ය.

සංජීව එදිරිමාන්නට රනිල්ගෙන් කේක්

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගියදා පැවැත්වූ අවස්ථාවේ මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් ගෙන ආවේ ජනපති රනිල්ය. රැස්වීම මැද්දේම උපන්දින කේක් කපා සුබ පැතුම් එක් කරද්දී ජනපති රනිල් හා හිටපු ජනපති මහින්ද ද ඊට එක්වූවේය.

ජනපති රනිල් ඉන්පසුව ජල ප්‍රශ්නයත් විදුලිය ප්‍රශ්නය වගේම නියඟය ගැනත් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. නියඟය දඩමීමා කරගනිමින් විපක්ෂ දේශපාලන පක්ෂයක් හා මාධ්‍ය ආයතනයක් එක්ව කරන්නට උත්සාහ කරන ආණ්ඩු පෙරළිය ගැන ද කරුණු හෙළිදරව් කළේය. ඉහත කාරණය ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට තීන්දු වූවේ ඒ අනුවය.

මහින්දට හෙළිවූ රහස

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන විට පිළිගැනීමට ගොස් තිබුණේ ගුණතිලක රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, ඩී. බී. හේරත්, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකි.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා විදුලි සෝපානයට ඇතුළු වන විට හිටපු අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න විදුලි සෝපානයට ඇතුළු වූයේය.

“ආ කොහොමද? ජෝන් යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කතාව පටන් ගත්තේය.

වරදක් නැහැ. ජනාධිපතිතුමා” යනුවෙන් ජෝන් සෙනෙවිරත්න පිළිතුරු සැපයීය.

සර්. ජනාධිපතිතුමා ඉන්න වෙලා‍වේ අපේ ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීතුමා විදුලි බල අමාත්‍යාංශය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් කළා. ප්‍රබල ඇමතිධුර අරගෙන හුඟක් වැඩ කළා යනුවෙන් එහි සිටි මන්ත්‍රීවරයෙකු පැවසීය.

“ඔව්. ඔව්. ජෝන් බාර දුන්නු ඕන වැඩක් හරියට කරපු ඇමති කෙනෙක්. පවිත්‍රා ජෝන්ගේ ඥාති නේද? යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා විමසුවේය.

ඊට ජෝන් සෙනෙවිරත්න ප්‍රතිචාර දැක්වුයේ මඳ සිනහවකිනි.

ඇයි සර් දවල්ට මාමයි, ලේලියි රණ්ඩු වෙනවා. හැබැයි රෑට මාමයි ලේලියි යාළුයි. අපිට පේන්න තමයි දෙන්නම රණ්ඩු වෙන්නේ” යනුවෙන් තවත් මන්ත්‍රීවරයකු කියද්දී සැවොම සිනාසුණහ.

ජනපති රනිල් පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පසුගිය බදාදා පාර්ලිමේන්තුවට ආවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳව සිය යෝජනා හා ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.

එහි දී මැති ඇමතිවරුන් සමඟ සුහද කතාබහක නිරතවීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

“වතුර ප්‍රශ්නය ඉක්මනට විසඳන්න ඕන සර්” මන්ත්‍රීවරයකු කීය.

“එක එක්කෙනා නියඟය තමන්ගේ පැත්තට හරවගෙන වාසිගන්න විවිධ කතා පතුරවනවා. මේවායින් මිනිස්සු කුලප්පු වෙනවා.”

“ඔය කට්ටිය මුලින් බැලුවේ නඩු දාල අයි. එම්. එෆ් එකේ ණය නවත්වන්න. දැන් වතුර ප්‍රශ්නය අල්ල ගෙන මිනිස්සු කුලප්පු කරන්න හදනවා. ගෙවල් පිච්චුවෙත් මේ වගේ අය. මේකට ඉඩ දෙන්න බැහැ. ” ජනාධිපතිවරයා කී විට මැති ඇමතිවරුන් එක එකහෙළාම අනුමත කළහ.

අගමැති දිනේෂ් ප්‍රසන්නගේ කේන්තිය නිවයි

පසුගිය සතියේ දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ ගණ පූර්ණය නොමැති බව ‍පවසමින් සභා කටයුතුවලට බාධා කළහ. මෙහි මූලිකත්වය ගත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයායි.

“සර්... විපක්ෂය දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා කරනවා.” ඇමති ප්‍රසන්න අගමැතිවරයාට කීය.

“ඔව් ප්‍රසන්න... ඒක වැරදි වැඩක්.” ඒ අගමැතිවරයායි.

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පක්ෂ නායක රැස්වීම නියෝජනය කරන්න පුළුවන් මන්ත්‍රීවරු 15යි. මේක 33 දක්වා වැඩිකර ගත්තේ විපක්ෂයේ ඉල්ලීම මතයි. ඒ නිසා මේක අඩුකර ගන්න කියල විපක්ෂයට කියමු. නැත්නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවල වැඩ කරමු” ඇමතිවරයා කීවේ තරමක කේන්තියෙනි.

“කලබල වෙන්න එපා ප්‍රසන්න. අපි ඒ අය එක්ක කතා කරල වැඩ කරමු” අගමැතිවරයා කීය.

විශ්වාසභංගයට බය කවුද?

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගියදා පැවැත්විණි. සමගි ජන බලවේගය පක්ෂය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

“මේ විශ්වාසභංග යෝජනාව දවස් තුනක් විවාදයට ගනිමු” ආණ්ඩුවේ පක්ෂ නායකයෝ යෝජනා කළහ.

“අපිට ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් යෝජනාවක් තියෙනවා” යැයි කියමින් විපක්ෂනායකවරයා විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩුවේ යෝජනාව මඟ හැරියේය.

මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පසුගිය බදාදා ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවේදී කතා ක‍ළා. 

“ඔයා විශ්වාසභංගයට ලෑස්තියිද?” ජනාධිපතිවරයා කෙහෙළියගෙන් ඇසීය.

“අපි ලෑස්තියි සර්” සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

ප්‍රසන්නගේ රහස් මෙහෙයුම මොකක්ද?

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව ජනපති රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ පළමු විශ්වාසභංග යෝජනාවයි. එබැවින් මෙය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ඒ වෙනුවෙන් ඔහු තිරය පිටුපස සිට මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබේ.

මේ අතර අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහය ආණ්ඩු පක්ෂයට ලබා ගැනීමට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධ රහසිගත සාකච්ඡා වට කිහිපයක් දැනටමත් පවත්වා ඇති අතර තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම සාකච්ඡා සාර්ථකව ඇති බවය.

ඖෂධ මා‍ෆියාවේ තොරතුරු ළඟදීම පාර්ලිමේන්තුවට

මෙරට ඖෂධ සැපයුම්කරුවන් අතරෙන් තත්ත්වයෙන් අසමත් වැඩිම ඖෂධ ප්‍රමාණයක් පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයකුගේ බෑනාට අයත් සමාගමකින් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ පෙරළිකාර මන්ත්‍රීවරයෙකි. අදාළ මන්ත්‍රීවරයාගේ බෑනාගේ සමාගමින් ගෙන්වනු ලබන ඖෂධවලින් 10% -24% ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් බව තහවුරු වී ඇත.

ඊට අමතරව මේ දිනවල මාධ්‍ය සංදර්ශන පවත්වන විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයකුගේ නමක් මෙන්ම, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුගේ නමක් ද මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කියවේ.

මෙම සමාගම 2015-2022 වකවානුවේ සපයන ලද ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් ඖෂධ බව සෞඛ්‍ය අමාත්‍යංශයට ඔවුන් විසින් සපයන ලද ඖෂධ පිළිබඳ සොයා බැලීමේදී මේ බව තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ සියලු නම්ගම් හෙළි කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

නව සන්ධානයෙන් තවත් සාකච්ජා

නව සන්ධානයේ දේශපාලන කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් මේ වනවිට රාජගිරියේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත පැමිණෙමින් තිබේ. දැනට නව සන්ධානයේ අනුබද්ධ සංවිධාන කිහිපක් ස්ථාපිත කර අවසන් වී ඇත. ඒ අතර නව සන්ධාන කලා සංගමය, නීතිවේදී, සාමදාන විනිශ්චයකාර සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි යන අනුබද්ධ සංවිධාන පිහිටුවා අවසන් වී තිබේ.

මේ අතර නව සන්ධානයේ මන්ත්‍රී නිමල් ලන්සා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතර විශේෂ හමුවක් පසුගියදා පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරි කාලය තුළ නව සන්ධානයේ මන්ත්‍රී පිරිස සමග සාකච්ඡාවක් සිදුකළ යුතු බවය.

ඊට අමරව පොහොට්ටුව සමඟ ද සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇතැයි වාර්තා වෙයි.

ලාන්සාගෙන් දෝස්මුරයක්

"පොහොට්ටුවෙන් දැන් අපට දිගටම ගහන්න පටන් අරන්, මන්ත්‍රීවරු දාලා අපිට සහය දෙන මන්ත්‍රීවරුත් නැවත පොහොට්ටුවට ගන්න හදනවා, ඊයේ පෙරේදා රාජපක්ෂලාගේ නෑදෑයෙක් කියාගත්ත එක්කෙනෙකුටත් නව සන්ධානය ගැන හොඳටම රිදිලා" සුගීශ්වර කිවේය.

"ඕව ගණන් ගන්න එපා. ඔය යක්කුන්ගේ වැඩ නිසා තමයි රාජපක්ෂලාගේ දේශපාලනය කඩාගෙන වැටුණේ. තානාපතිකම් දීලා, එක එක ඒවා කරලා‍ රාජපක්ෂලාව නැත්තට නැති කළා. ඒ නිසා ඔයවගේ මිනිස්සු කියන ඒවා පාක්ෂිකයෝ පිළිගන්නේ නෑ.."ලන්සා කිවේය.

"ඕවට අපි උත්තර දෙන්න යන්නත් හොඳ නෑ...සත පහක වැඩක් රටට කරපු නැති මිනිස්සු" නලින් ප්‍රනාන්දු කීවේ තරමක් කේන්තියෙනි.

"මොනවා කිවුවත් කමක් නෑ,අපි ඕවට උත්තර දෙන්න යන්න හොඳ නෑ,අපි අපේ වැඩේ හරියට කරගෙන යමු"ලන්සා සැවොම දෙස බලමින් කිවේය.

අනුර යාපා, පියංකර බැසිල් ගැන කිව්වේ මොනවාද?

මේ අතර පියංකර ජයරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරුන්ට පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු පාරේ ඇවිදින මන්තීරුවේදී ව්‍යායාම සිදුකරන අතරතුර රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා මුණ ගැසුණේය.

"කොහොමද සර්..බැසිල් ඇමැතිතුමයි අපි කට්ටිය සර්ලා ගැන කතා වුණා"රංජිත් කීවේය

"ඒ මොනවද අපි ගැන කතාවුණේ" පියංකර ඇවිදින වේගය මඳක් අඩුකරමින් විමසීය.

"දිස්ත්‍රික් නායකකම් දෙනකොට දීර්ඝ කාලයක් අපිත් එක්ක වැඩ කරපු අයට දුන්න නම් මේ ගැටලු අඩු වෙනවා" රංජිත් කීවේය.

"ඉතින් ඔයගොල්ලොනේ ඒක කළේ, කොහෙවත් ඉන්න අයට දිස්ත්‍රික් නායකම් දීල පක්ෂය ඉවර කළා. එකෙන් කී දෙනෙක් පක්ෂය දාලා ගියා ද? බැසිල්ලට කියන්න දැන් පරක්කු වැඩියි කියල "අනුර යාපා කේන්තියෙන් කියාගෙන ගියේය.

රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා නිහඬ වූවා මිස ඉන් එහාට කිසිවක් නොකීමට වගබලා ගත්තේය. පසුව පිරිස රංජිත්ගේ දුරකතනයෙන් සිනාමුසු පින්තුරයක්

ගත්තේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේම ඉල්ලීමටය.

ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉමිතියාස්ට නිවාස ඇමතිකම දුන්නේ ඇයි?

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් විසින් රචිත " සිතමු" කෘතිය එළිදැක්වීමේ උත්සවය තිබුණේ පසුගිය දා කොළඹ පදනම් ආයතනයේ දී ය. දේශපාලඥයන්, කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

විපක්ෂ නායක සජිත් ද ඊට එක්වූ අතර ඔහුට යාබද අසුනේ සිටියේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය. රංජිත් මද්දුමබණ්ඩාර සහ ඉම්තියාස් කොළඹ ආනන්දයේ සමකාලීනයන් ය.

අගමැති, කථානායක ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

"ඉම්තියාස් මැතිතුමා කියන්නේ හැමදාම තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව වැඩ කරපු මානව හිතවාදී නායකයෙක්. සමාජ සාධාරණත්වය වෙනුවෙන් එතුමාගේ පෙනී සිටීම හේතුවෙන් ද එතුමා පිළිබඳව අති විශාල ගෞරවයක් මගේ හිතේ ඇතිවුණා. ඒක අදටත් එහෙමයි" ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර කීවේය.

" එක පැත්තකින් ඉම්තියාස් ඇමතිතුමා රෑ දවල් දේශපාලන කටයුතු කළ යෙදෙනවා. අනෙක් පැත්තෙන් සාහිත්‍යය සම්බන්ධව පොතපත ලියනවා.කොහොමද වෙලාව හොයාගන්නෙ කියලා හිතාගන්න බෑ. මගේ තාත්තා ජනාධිපති වුණාම, නිවාස ඇමතිකම දුන්නේ ඉම්තියාස් ඇමතිතුමා ට. ඒ තරම් විශ්වාසයක් එතුමාට ඉම්තියාස් ගැන තිබ්බා" සජිත් අතීත සිදුවීමක් සිහිපත් කළේය.

අජිත් රාජපක්ෂට කේන්ති ගිහිල්ලාද?

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුව රැස්විය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට අදාළ අමාත්‍යවරුන් පිළිතුරු දෙන අවස්ථාව හරියටම පැයකට සීමා කිරීම අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කටයුතු කර තිබුණි.

ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් රීති ප්‍රශ්න මතු කිරීමේදී දැඩිව කාලය කළමනාකරණය කර ගැනීමට නියෝජ්‍ය කථානායකවරයා කටයුතු කර තිබීම නිසා ප්‍රශ්න ඇසීමේ වාරය පැයකට සීමා කිරීමට හැකි විය. එදින දිවා ආහාරය අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් කිහිපදෙනෙකුම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට කියා සිටියේ "“අද නියෝජ්‍ය කථානායකතුමාට කේන්ති ගිහිල්ල වගෙයි” කියාය.

සුපුරුදු සිනහමුසු මුහුණින් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“අනේ කේන්ති ගියේ නැහැ. ඒත් හැම රීති ප්‍රශ්නයකටම පක්ෂ බේදයක් නැතුව අවස්ථාව දෙන්න ගියාම කවුරුත් කාලය ගැන හිතන්නේ නැහැ. අන්තිමට රීති ප්‍රශ්න මතුකරපු මන්ත්‍රීවරුනුත් දොස් කියන්නේ මූලාසනයට." යනුවෙන් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

Comments