සමුගෙන ගිය ෆීලික්ස් ඩයස්ගේ බලගතු බිරිය | සිළුමිණ

සමුගෙන ගිය ෆීලික්ස් ඩයස්ගේ බලගතු බිරිය

පීලික්ස් ඩයස් බණ්ඩා­ර­නා­යක සහ ලක්ෂ්මී බණ්ඩා­ර­නා­යක

දොම්පෙ මිනිස්සු බොහෝ දෙනෙකු නොකියාම මිය ගියහ. එහෙත් ලක්ෂ්මී බණ්ඩාරනායක මැතිනිය තවමත් මිනිස්සු අතර සිය සැමියා සමඟ නමින් සිටින්නීය.

මට මතක හැටියට අදට අවුරුදු හැටතුනකට හතරකට පෙර දවසක්. ඒ කාලයේදී මම ඉගෙන ගත්තෙ දොම්පෙ ඉස්කෝලේ. අද වගේ නොවෙයි. ටුවිට් රෙදි කෝට් ඇන්ද ගුරුවරු ඉන්න කාලේ. වැඩිය අපි ඉගෙන ගත්තේ ගස් යට සෙවණෙයි.

එදා අපේ දොම්පෙ ඉස්කෝලේ ලොකු මහත්තයාගෙ නම ගුණසේකර. වැරදි කළොත් හරිම සැරයි. ඒත් අපිට ආදරෙයි. ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය පාස් කරල ඒත් ඉස්කෝලෙ යනවා. විශ්වවිද්‍යාලයට යන්න ඉගෙන ගන්න ප්‍රසිද්ධ පාසලක් නෑ.

“ළමයිනේ හෙට පාසල ළඟ රැස්වීමක් තියනවා. මේ පළාතට ඡන්දෙ ඉල්ලන්න බැරිස්ටර් කෙනෙක් එංගලන්තෙ හිටපු නීතිඥ මහත්තයෙක් එනවා. එයා හොඳ කෙනෙක් කියල ආරංචියි. ගිහින් හමුවෙලා කතා කරල බලන්න. ඔය ගොල්ලන්ගෙ අඩුපාඩු කියන්න.” ඒ අපේ ගමේ ඉස්කෝලෙ ලොකු මහත්තයා විභාග පාස් කරල හිටපු අපි කීප දෙනකුට කී කතාවයි.

මට එතකොට 14ක් 15ක් විතර වයස ඇති. මේ රැස්වීමට මමත් මගේ මිත්‍ර කිරි නේලුස් ගියෙමු. ඒ කාලේ අපේ ගමේ ගම්මුලාදෑනි රාලහාමි ආගිරිස් අප්පුහාමි - ඉස්පිරිතාලේ දොස්තර මතියපරණම් මහත්තයයි දොම්පෙ තැපැල් ස්ථානාධිපති විජේසූරියයි බරටම වැඩ බැරිස්ටර් මහත්තයා පිළිගන්න.

මතියපරණම් දොස්තර මහත්තයට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. වසන්තරාජයි, ධර්මරාජයි, ආන්නදරාජයි. ඒ අයගෙ අම්මා ජයකොඩි. ඒ කාලේ යාපනේ මතියපරණම් මහත්තයාට අශ්වයෙක් හිටියා. වසන්තරාජයි ආනන්දරාජයි අපි ඉස්කෝලේ යාළුවෝ. අපි ඉස්කෝලෙ යනකොට පාරෙ හිටියොත් ඒ අස්සයාගෙ පිටේ නැඟල යනවා.

ඉතින් ඊට පස්සෙ දොම්පෙට එන මැතිවරණ අපේක්ෂකයා පිළිගන්න රැස්වීම තිබුණා. 1960 මාර්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන්නෙ පීලික්ස් ඩයස් බණ්ඩාරනායකයි. වයස අවුරුදු 28යි. ඇෆ්. ආර්. ඩයස් කොළඹ මහ නඩුකාරතුමාගෙ පුතා. එයාගෙ නෝනා ලක්ෂ්මී ආර්. ඩයස් බණ්ඩාරනායකයි. එයාට අවුරුදු 26ක් විතර ඇති. එයත් බැරිස්ටර් කෙනෙක්. අධිනීතිඥවරියක්. වැඩිය සිංහල දැනුමක් නෑ.

හැටේ මාර්තු මාසයේ දොම්පේ ආසනයේ පීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ මංගල ඡන්ද රැස්වීම ගමේ අයගේ එකමුතුවෙන් ගනේගොඩදී පැවැත්විණි. ඔහු එහිදී විනාඩි දෙක තුනක් සිංහල භාෂාවෙන් කතා කළේය. තමාට ඒ භාෂාව හුරු නැති නිසා එදා ඉංග්‍රීසියෙන් කතා කරන්නට අවසර ඉල්ලා සිටියේය.

එදා ඔහුගේ ඉංග්‍රීසි කතාව පරිවර්තනය කරන්න මගේ ලොකු ඉස්කෝලේ මහත්තයා මම වේදිකාවට දැම්මේය. ඒ කතාවේ සිංහල අනුවාදය මට කනට කර කියා දුන්නේය.

හැටේ මැතිවරණ වේදිකාවේ මා කළ කතාව නිසා එදා පිළිගැනීමේ උත්සව දෙකකට පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාත් ලක්ෂ්මීත් සමඟ යන්නට ලැබිණ. එකක් පැපිලියවලය. එය සංවිධානය කර තිබුණේ කම්බි කොටුවේ රාලහාමිය. ඔහු විජේසේකර නමින් ප්‍රකට කෙනෙකි.

අනික දෙකටන කේ. ඩී. චන්ද්‍රපාල නම් සභාපතිතුමාය. මේ රැස්වීම් දෙකේම මම වේදිකාවට ගොස් පීලික්ස් බණ්ඩාරනායකත් ලක්ෂ්මී බණ්ඩාරනායකත් ජනතාවට හඳුන්වා දෙන්නට තරම් එදා වාසනාවන්ත වූයෙමි.

හැටේ මාර්තු මැතිවරණයේ දොම්පෙට තවත් අපේක්ෂකයන් හත්අටදෙනෙකු ඒ ඒ පක්ෂවලින් තරග කළහ.

එදා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ අයි.ඇන්.පී. සූරියප්පෙරුමය. ලංකා සම සමාජ පක්ෂයෙන් තරග වැදුණේ ඉන්දොළමුල්ලේ හර්තාල් වෙද මහත්තයා නමින් ප්‍රකට එදිරිසිංහය. ඔහු 1953 අගෝස්තු 12 වැනිදා පැවති මහා හර්තාලයේ දොම්පෙ ආසනයේ මෙහෙයුම්කරුය. බොක්ෂින් සූරයකු වන ඔබේසේකර වලව්වේ ඔබේසේකරය. අනිත් එක්කෙනා කිරිඳිවැල රජ්ජුරුවන්ගේ පුතා නමින් ප්‍රකට ඉඩම් හිමි වැවිලිකරුවකු වන ටයිටස් සේනාරත්නය. (වර්තමාන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ අම්මාගේ මල්ලීය) අනිත් කෙනා ටින්සිය. මහජන එක්සත් පෙරමුණෙන් දොම්පෙ වේල්ගම වැලිකළය. ඔහු පිලිප් ගුණවර්ධනගේ ඥාතියෙකි.

එදා මහ මැතිවරණයේ තියුණුම සටන පැවතියේ දොම්පේ ආසනයයි. පීලික්ස් ඩයස් බණ්ඩාරනායකට විරුද්ධව අට දෙනකුගේ සටන් පාඨය වුණේ ඔහු දොම්පෙට පිටගම් කාරයෙක් ක්‍රිස්තියානි ආගම්කාරයෙක් පැරදුණාම කොළඹට පැන යන්නෙත්, රදළයෙක් කියාය.

දොම්පෙ ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහබළකොටුවක්ව පැවතිණ. හැටේ මහා මැතිවරණයේ දොම්පේ ආසනය මහා සටන් බිමකි. පීලික්ස්ගේ නෝනා “ලක්ෂ්මී” රූමත්ය. ගමේ කාන්තාවන් ඇය පිරිවරා ගත්තේ තරුණ කාන්තා සමිති ගමින් ගමට පිහිටුවමිනි. ඇය රදළවාදයට පහර දුන්නේ කුලහීනයයි සම්මත නිවෙස්වලට ගොස් වාඩි වෙමිනි. ලක්ෂ්මී ඩයස් බණ්ඩාරනායක මැතිනියට “මහනුග වලව්වේ සුදු නෝනා” අන්වර්ත නාමයක් දී තිබුණි.

දොම්පේ දිනන්නට ඇය කාන්තා බළකායක් ගමින් ගමට නවසිය හැටේ මාර්තුවේ ගොඩනැඟුවාය.

ඒ කාලයේ පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනයට ඉදිරිපත්ව සිටියේය. ඔහු මහජන එක්සත් පෙරමුණේ නායකයාය. දොම්පේ ආසනය මැතිවරණ සටන මෙහෙයවීම මහාචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්නට භාරදී පැවතියේය. ඔහු මාපිටිගම සිට දේශපාලන සටන් මෙහෙයවනු ලැබුවේය. බොරළුගොඩ සිට පිරිසක් සමඟ එන්නේ සමනබැඳි - හංවැලි කැලණි ගං තොටුපළිනි. එහි පාලම් පාරුවේය. යටියන්තොට සම සමාජ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා දොම්පෙට එන්නෙත් පාලම් පාරුවේය.

සමණ බැද්ද - තිත්තපත්තර ආසන බල මණ්ඩල රැස්වීමේදී ලක්ෂ්මී ඩයස් බණ්ඩාරනායක මැතිනිය පොරන්දුවක් වූවාය. එය සැමියාගේ ජයග්‍රහණයෙන් පසුව කැලණි ගඟ හරහා හංවැල්ලේ පාලම් බඳින බවටය. හැටේ මැතිවරණයේ පීලික්ස් ප්‍රකාශ කළේ “ගිරිදර” හන්දියේ මහජන රැස්වීමේදීය.

ඒ කාලයේ අපේ දේශපාලනය තුළ එකම පක්ෂයේ ආසන භාර මන්ත්‍රීන් අතර කුලල් කා ගැනීම් නොවීය. ඒ මැතිවරණය ආසන මට්ටමින් පැවති හෙයිනි. නියම සුදුස්සා මහජන ඡන්දයෙන් නිදහස්ව පත්වීමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සර්ව සාධාරණ පොදු ව්‍යවස්ථාවක් වූ හෙයිනි.

හැටේ මාර්තු මැතිවරණයේදී පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා රටේ කාගේත් කතාබහට ලක්වූයේ දැවැන්ත මැතිවරණ සටනක යෙදී සිටින තරුණ දේශපාලඥයකු ලෙසය.

ඒ කාලයේ කැලණි ආසනය භාරදී පැවතියේ ආර්.ඇස්. පෙරේරාටය. ඔහු ප්‍රකටව සිටියේ කැලණියේ පොල් කඩන සයිමන් අයියාගේ පුතා ලෙසය. ඒ සමයේ ආර්.ඇස්. පෙරේරා දොම්පෙ මැතිවරණ රැස්වීම්වල ප්‍රධාන කථිකයාය. මහර ආසනයේ අපේක්ෂකයා ඇස්.කේ.කේ. සූර්ය ආරච්චිය. ඔහු පාසල් ගුරුවරයෙකි.

ඒ කාලයේ වරක් කැලණිය ආසනයේ රැස්වීමට ගොස් එමින් සිටියදී පීලික්ස් ඩයස් බණ්ඩාරනායක වාහනය පිටින්ම විරුද්ධවාදී දේශපාලඥයන් රැස්වීමකදී කොටුකර ගත්තේය.

කාරයේ සිටියේ පීලික්ස් බණ්ඩාරනායකත් ලක්ෂ්මීත් ජේ.ආර්.පී. සූරියප්පෙරුමගේ සහෝදරයකු වන මිල්ටන් සූරියප්පෙරුමත් පමණි.

අප ගිය රථයට ප්‍රහාරයක් එල්ල කරන්න යන මොහොතක්. ප්‍රහාරය එල්ල කරන්නට කලින් පීලික්ස් රථය නවත්වා රථයෙන් බැස්සේය. ලක්ෂ්මී මැතිනිය රථයෙන් බැස වට කර ගත් පිරිස මැදට ගොස් සුහදව කතා කළාය.

“දේශපාලනඥයකු පිටුපස සිටින 'යකඩ ගැහැනියක්' ලෙස විරුද්ධවාදීන් ඇය හැඳින්වුණාය. ඇය ඔවුනට දේශපාලනය යනු කුමක්දැයි එතනදී කතාවෙන් හෙළි කළාය. විරුද්ධවාදී කඳවුරේ අය එදා ඇයගෙන් සමාව ගත්හ.

නවසිය හැටේ මාර්තු මැතිවරණයෙන් සියලුම අපේක්ෂකයන් පරදවා පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වැඩි ඡන්ද 35,000කින් ජය ගත්තේය. මාර්තු මැතිවරණයෙන් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන්නට තරම් මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් නොවීය. එක්සත් ජාතික පක්ෂයෙන් අගමැති ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවිණි.

ඩඩ්ලි සේනානායක මහතා පීලික්ස් ඩයස් තරුණ මන්ත්‍රීවරයාට ඒ කාලයේ සුබ පැතුම් එක් කළේය. කෙටි කලකදී ඒ රජය බිඳ වැටුණි.

පීලික්ස් ඩයස් බණ්ඩාරනායක සිය ජයග්‍රහණයෙන් පසුව පළමුවෙන්ම ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ස්තූතිය පළ කරන්නටය. ඒ ඓතිහාසික ගමනට දොම්පේ ආසනයට තමන් තෝරාගත් දොම්පේ ඩී.ඒ.පී. සූරියප්පෙරුම ද පාළුගම සෑම් - නීල් අමරසේකර පැපිලියවල කම්බි කොටුවේ විජේසේකර රාලහාමි ද සමනබැද්දේ රජමහා විහාරාධිපති පාළුගම පඤ්ඤානන්ද නායක හාමුදුරුවෝ ද වූහ.

මැතිනියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්නයි එදා ඒ.පී. ජයසූරිය මහතා ප්‍රමුඛ කණ්ඩායමක් යෝජනා කළ කතාව පීලික්ස් ඩයස් බණ්ඩාරනායකත්, ලක්ෂ්මීත් අතර දීර්ඝ සාකච්ඡාවක් මහතුග ගාඩන්හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් රටේ මීළඟ රජය පිහිටුවීම මෙහෙයුම තරුණ පීලික්ස්ට පැවරිණ.

දේශපාලනයට ආ තරුණ මන්ත්‍රීවරයකුට වැඩි ජනතා විශ්වාසයක් ඇති කෙනකුට එය කළ හැකි යැයි බොහෝ දෙනාගේ මතය වූහ. සිරිමාවෝ බණ්ඩාර නායක මැතිනිය ශ්‍රී ලංකාව තුළ අගමැතිනිය කළ හැකි බව ලක්ෂ්මී ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රමුඛ මතය වූවාය.

“ගැහැනියකට බැරිද රටේ පාලන ගෙනියන්න. එළිසබත් මහරැජින එංගලන්තයේ පාලනය ගෙන යනවා නම්” මැතිනිය හමු වූ විවිධ අවස්ථාවලදී තරුණ ලක්මී පැවසූ වාර අනන්තය.

එදා රටේ බුද්ධිමතුන්ගේ මහා සභාව වශයෙන් සැලකුණේ සෙනේට් සභාවයි. එය උත්තර මන්ත්‍රී මණ්ඩලය වශයෙන් සැලකිණි. රට පාලනය කරන කැබිනට් මණ්ඩලය සැදුණේ සෙනේට් මන්ත්‍රී මණ්ඩලය තුළින් පත්වන උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් ද ඊට ඇතුළත් වීමෙනි.

අධිනීතිඥ ලක්ෂ්මී බණ්ඩාරනායක මැතිනිය එදා මෙය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයේ තරම පැහැදිලි කරමිනි. මේ බල ධර්මය මැතිනියට ගියේ 'ලක්ෂ්මී ඩයස්' ගෙනි. එදා සිරිමාවෝ මැතිනිය බලයට එන්නට එක්සත් ජාතික පක්ෂ රජය පෙරළිය යුතුය. ඒ සඳහා මූලික මහ සාකච්ඡා පැවතියේ කොල්ලුපිටියේ මහනුග ගාඩ්න්ස්හි ගෙදරය. එදා එක්සත් ජාතික පක්ෂ රජය පෙරළා දැමීම ලේසි පහසු කාර්යයක් නොවීය. එ.ජා.ප. යට එරෙහි මහ බලවේගයක් ගොඩ නැඟීමට මන්ත්‍රී දඩයම පටන් ගත්තේ මහනුග ගාඩ්න්ස් මහගෙදර සිටය.

මහජන එක්සත් පෙරමුණෙන් මුල්කිරිගල ආසනය ජයගත් ජෝර්ජ් රාජපක්ෂ මහතාත් හොරණ බුලත්සිංහල ජයගත් රත්නසිරි වික්‍රමනායක ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමත් එ.ජා.ප. රාජාසන කතාව පරදවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දුන්නහ. රාජාසන කතාව පැරදී එදා එජාපයට බලය අහිමි වූහ. ජූලි මහ මැතිවරණය ජය ගන්නට ඊට වඩා මහ සටනක් කරන්නට තරුණ අධිනීතිඥ යුවළ ඉටා ගත්තේය.

මට මතක හැටියට පීලික්ස් හා ලක්ෂ්මී තරුණ යුවළ වාර කිහිපයක් රෑට රෑට ගියේ රොස්මීඩ් බංගලාවටය. ඒ ඊළඟ ජූලි මැතිවරණය ජය ගන්නට දිවංගත අගමැති බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කැමැති කරවා ගන්නටය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ජුනි මාසයේදී භාර ගත්තාය. ඇය අගමැති පදවියට එන කතාව රටේ ප්‍රචලිත විය. සිරිමාවෝ මැතිනියට විරුද්ධව දැවැන්ත දේශපාලන සටනක් කරන්නට රටේ සියලුම දේශපාලන පක්ෂ බලා සිටියහ. ඒ බණ්ඩාරනායක මැතිනිය අත්තනගල්ල ආසනයට ඉදිරිපත් වන තුරුය.

රහස සඟවා ගෙන සිටියේ ලක්ෂ්මී ඩයස් බණ්ඩාරනායක තරුණ අධිනීතිඥවරියයි. රටේ නීති පොත් පෙරළා ඇය රටේ අගමැති කරන පිළිවෙළ සිය සැමියාට කියා දුන්නාය. සෙනේට් සභාවට මන්ත්‍රීවරියක් ලෙස පත්කර රටේ අගමැතිනිය ලෙස දිවුරීමට ඇති හැකියාවයි.

1960 ජූලි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගත්තේය. ඒ මහජන ඡන්දයෙනි. 1960 ජූලි 21 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වූවාය. ඒ දේශපාලන නවකයකු වශයෙනි.

තරුණ පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ මැතිවරණ දොම්පේ සටන මෙහෙය වූයේ අධිනීතිඥ ලක්ෂ්මී ආර්. ඩයස් මැතිනියයි.

“ලක්ෂ්මී දොම්පෙ බලා ගන්න. යන්න මේ ළමයත් එක්ක. මට රටම මෙහෙයවන්න.” පීලික්ස් ජූලි මැතිවණයේදී කී කතාව මට අදත් මතකය.

මාර්තු මැතිවරණයට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා පීලික්ස් දොම්පේ ආසනයේ මහජන මන්ත්‍රීවරයා බවට පත් වූයේය. ජූලි 21 වැනිදා සිරිමාවෝ රටේ ප්‍රථම අගමැතිනිය වෙද්දී, දොම්පෙ මන්ත්‍රී පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා රටේ මුදල් ඇමැති පදවියට පත් වූයේය. ඔහු ලංකාවේ ළාබාලම මුදල් ඇමැතිවරයාය. ඒ වනවිට පීලික්ස් බණ්ඩාරනායකගේ වයස අවුරුදු 29කි. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක උප ඇමැති පදවිය ද පීලික්ස්ට හිමි විය. සාමාන්‍ය පවුලක උපන් ලක්ෂ්මී බණ්ඩාරනායක මැතිනිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී හමුවූ සිය පෙම්වතා රජ ගෙදරට ගෙනයන්නට තරම් වාසනා මහිමය ගෙනා කෙනෙක් වූවාය. ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනෙකි. කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ඇය එදා ලැබුවාය. ඇය මුදල් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වූවාය.

ඇය 1960 මැතිවරණයේ තම සැමියා සමඟ තරග කළ විරුද්ධ පක්ෂවලට කතා කළ අවස්ථා එමටය. ඒ තම සැමියා සමඟ සහයෝගීව මහජනයාට සේවය කරන්නටය. සිවිල් සේවය බටහිරට ගැති රාජ්‍ය පරිපාලනය වෙනස් කරන්නට - බමුණුකුලය බිඳ දමා සාමාන්‍ය රජයේ සේවකයකුට ඉහළට යන්නට යෝජනා කැබිනට් පේපරය හැදුවේ ඇයයි.

සාමාන්‍ය පොදු මිනිසාගේ දුක් ගැනවිලි උදෑසනම ඇය භාර ගත්තාය. ඒවාට එදාම පිළිතුරු සැපයීම ඇගේ මූලික ක්‍රියාව විය. අද දවසේ අපි හමුවෙන්න එන මිනිසුන්ගේ ප්‍රශ්න හෙට තියන්න එපා. අදම කර දෙන්න ලියල මට දෙන්නයි ඇය මට කී අවස්ථා එමටය. ඇය සමනබැදි හංවැලි තොටේදී කාන්තා සමිතිය ඉදිරියේ කළ මහ පොරොන්දුව ඉටු කරන්න පෙරමුණ ගත්තාය.

ඒ කැලණි ගඟ හරහා බැඳුන හංවැලි - සමනබැදි මහ පාලමයි.

එහි මුල්ගල් තැබීම නවසිය හැට දෙකේ එක් දවසක සිදු විය. ඒ සිය සැමියා වූ පීලික්ස් ආර් බණ්ඩාරනායකත් අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධනත් එකතු කරමිනි.

මුදල් ඇමැති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක නවසිය හැටේ මුදල් ඇමැති පදවිය භාර ගත් දවසට පසුවදාය. මහනුග ගාඩ්න්ස් වලව්වේ සිටියේ මාත් කුඩා කාලයේ සිට ඔහුව රැක බලාගත් “ලුසි අම්මාත්” චාර්ලිස් අයියාත් ආරක්ෂක ඕදිරිස් රාලහාමිත් පමණකි. ටයි පටි බැඳගත් ලොකු පිරිසක් නිවෙසට බඩු මුට්ටු රැසක් ගෙනවිත් තැබුවේය. සැටි හා පුටු මේසය. ආ අය මගෙන් ලිපියකට අත්සන් ගත්හ. ඒවා භාරදීමය. භාර ගැනීමය. පිලික්ස් බණ්ඩාරනායක මහතාත් මැතිනියත් එදා ආවේ රෑ බෝ වෙලාය. මහනුග ගාඩ්න්ස් නිවෙසේ ගොඩ ගසා තිබූ බඩු දුටු ලක්ෂ්මිට යකා නැග්ගේය.

“මේවා කවුද ගෙනාවේ. කවුද භාර ගත්තේ?” අපෙන් ඇසුවාය.

මම භාරගත් බව ලක්ෂ්මී මැතිනියට කීවාය. ලිපිය ද පෙන්නුවාය. එය වෙළෙඳ සමාගමකි. පරිත්‍යාගයකි. එදා මහ රෑම කොම්පැනියේ ලොක්කාට කතා කළාය. ඔහුට ස්තූති කර සියල්ල රෑම පටවාගෙන යන්න කීවේ තමාගේ ප්‍රතිපත්තිය ද පැහැදිලි කරමිනි. මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් නිකං ගන්න එපා. ලක්ෂ්මී මැතිනිය තැඹිලි වල්ලත් කරගහගෙන ආ කෙනාටත් ඊට සල්ලි ගෙවන අවස්ථා මා දුටුවෙමි.

පැරණි රදළ වාදයේ නටඹුන් වූ ගම්මුලාදෑනි ක්‍රමය ගැන ඔවුන් කෑම මේසයේදී කතා කරන්නේය. ටික දවසකදී ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කළේය. ග්‍රාම සේවක නිලධාරී ක්‍රමය එතනින් බිහි විය. ඉස්සර මනුෂ්‍යයින්ට ආහාරය ගන්නට සලාක පොතක් තිබුණේය. මෙය මහජනයාට උරුම වූ සහල් සලාක පොතයි.

පීලික්ස් බණ්ඩාරනායකගේ මූලික යෝජනාව වූයේ මෙය ඉවත් කිරීමයි. මේක සුද්දන්ගේ පාලනයේ නටබුන්. මෙය ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාව කළේ එදා තරුණ මුදල් ඇමැති පීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. හාල් සේරුවෙන් හුණ්ඩු දෙකක් කැපීමේ යෝජනාව ඔහු අය වැය කතාවට එකතු කළේය. රටේ කෘෂිකර්මාන්තය - ගොවියා නඟා සිටුවා වී ගොවිතැනට මූලිකත්වය දෙන්නටය. කැබිනට් මණ්ඩලයේ සමහරු විරුද්ධ වූ බව පීලික්ස් ලක්ෂ්මී බණ්ඩාරනායක මැතිනියට කීවේ දුක් මුසුවය. මේ යෝජනාව ප්‍රතික්ෂේප වීමත් සමඟම මුදල් ඇම­ැතිකම අත්හැර ඉල්ලා අස්වී 1962දී ගෙදර ආවේය.

කලක් කිසිම පදවියක් භාර නොගත් පීලික්ස්ට අවවාද දෙන්නට ඒ කාලයේ තැපැල් හා සමාජ සේවා ඇමැතිව සිටි ටී.බී. තෙන්නකෝනුත් සෞඛ්‍ය ඇමැතිව සිටි ඒ.පී. ජයසූරියත් කොල්ලුපිටියට ආවේ අගමැතිනියගේ උපදෙස් පිටය. ඔහු කාර්ය නියමයක් නැති පුරෝහිත ඇමැති විය. ස්වදේශ හා රාජ්‍ය පරිපාලන ඇමැති විය. කෘෂිකර්ම ඇමැති විය. අධිකරණ කටයුතු ඇමැති විය. නවසිය හැට දෙකේ කුමන්ත්‍රණයක් ඇති විය. එය බිඳ හැලීම පීලික්ස් බණ්ඩාරනායක කළේ මහ මෙහෙවරකි.

1971 ජනතා විමුක්ති පෙරමුණ රට තුළ ඇති කළ මහා කැරැල්ල මැඩ පැවැත්වීම ඉන් සිදුවෙන්නට ගිය මහා විනාශය වැළැක්වීම එසමයේදී පීලික්ස් ඩයස් බණ්ඩාරනායක කළ මහ මෙහෙවරයන්ය. දොම්පෙන් මහජනයාගේ කරපිටින් ආ මේ තරුණ බණ්ඩාරනායක යුවළ දේශපාලනයෙන් අතු ගා දැමීමට බොහෝ දෙනා බලා සිටියහ. ඔහු ලංකාවේ රෙදි නිෂ්පාදනයට පූගොඩ රෙදි කම්හලක් ආරම්භ කළේය. බොහෝ දෙනාට රැකියා සැපයීම අරමුණය.

නවසිහ හැත්තෑ හතේදී දොම්පෙ ආසනයටත් රටටත් මහා විශාල සේවයක් කළ පීලික්ස් ඩයස් බණ්ඩාරනායක දොම්පේ ආසනයෙන් පරාජය විය. මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධනත් පරාජය විය.

“මේක ස්වභාව ධර්මයේ හැටියයි. මගේ පින්තූර ගන්න කාටවත් දෙන්න එපා....” මගෙන් එදා පත්තර කාරයකු වශයෙන් සිටියදී පීලික්ස් ඉල්ලා සිටියේ කඳුළු බිංදු කීපයක් හෙළමිනි.

ජේ.ආර්. ජයවර්ධනයන් රටේ ජනාධිපතිවරයා ලෙස 1977දී රජ ගෙදර දිවුරුම් දෙන උත්සවයට මම ගියෙමි. ඊට පසුවදා ඉරිදා 'රිවිදින' පත්තරයේ දිවුරුම්දීම පුවත මුල් සිරස්තලය ලෙස මගේ නමින් පළවූයේය. පීලික්ස් බණ්ඩාරනායක ඊට දින දෙකකට පසුව මට කතා කළේය. ඒ මට අවවාදයක් දෙන්නටය.

“මනුෂ්‍යයන්ට සත්‍යය පත්තරෙන් දෙන්න. පරෙස්සමෙන් වැඩ කරන්න.” ඔහු මට කී කතාවයි.

“ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රටේ ආණ්ඩු ක්‍රමය පනත වෙනස් කරාවි. අපි එතකොට බලමු” යි කීය. සිරිමාවෝ මැතිනියගේත්, පීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේත් ප්‍රජා අයිතිය අහෝසි කර දැම්මේය.

බලය ඇති කාලයේ වඳින පුදින මිනිස්සු බලය නැති කාලයේ කරන වැඩ ලියන්නට තරම් මම ඒ චරිතවලින් අත්දැකීම් ලැබුවෙමි.

පීලික්ස් බණ්ඩාරනායක කලකට පෙර පිළිකා රෝගයක් වැලඳී මිය ගියේය. ඔහුගේ මරණයට එන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කනත්තට යන වේලාව දුරකතනයෙන් ඇසුවේය. ඒ දුරකතන ඇමතුම මහනුග ගාඩ්න්ස් ගෙදරටය. මම දුරකතන ඇමතුම එදා සිත් වේදනාවෙන් සිටි ලක්ෂ්මී මැතිනියට දැන්වූයෙමි.

“දුරකතනය තියන්න. දැන් ඉතින්.... මොකටද?” මගෙන් ඇය ඇසුවාය.

ඒ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන නව ජනරජ පනතක් සම්මත කර ඇති සැටි ලක්ෂ්මී මැතිනියගේ කටින් හෙළි වූයේය.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි වූ උත්තරීතර සභාව සෙනේට් මන්ත්‍රී සභාවත් රටට අහිමි කරලා. ලක්ෂ්මී මැතිනියි පිළිකා රෝගීන්ට උදව් කරන අරමුදලක් සිය සැමියා වෙනුවෙන් ආරම්භ කර තිබිණ. සාමාන්‍ය පවුක ඉපදී රටේ බලගතු රාජ්‍ය නායකයකු බිහි කරන්නට තරම් “යකඩ ගැහැනියක්” බව ඉකුත් සතියේ ඇයගේ මරණයේදී මට සිතුණි. ඇයගේ ඇදහීම අනුව මම ඉත සිතින් ඇයට ස්වර්ගය ප්‍රාර්ථනා කරමි.

ච්.ඩබ්ලිව්. අභයපාල

Comments