ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් EPF-ETF වලට බැංකු තැන්පතුවලට විශ්‍රාම වැටුපට කිසිදු ගැටළුවක් නෑ | සිළුමිණ

ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් EPF-ETF වලට බැංකු තැන්පතුවලට විශ්‍රාම වැටුපට කිසිදු ගැටළුවක් නෑ

- රජය ඉතා පැහැදිලිව කියනවා ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් ජනතාවගේ බැංකු තැන්පතුවලට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ
- රජය කරන හැම දෙයක් ගැනම වපර ඇහෙන් බලලා ඒ හැමදේම කඩා කප්පල් කරන්න සූදානම් පිරිසකුත් එක්ක තමයි අපිට මේ ගමන යන්න සිදුවෙලා තියෙන්නේ
- අපි ඉතාම දරුණු ආර්ථික අගාධයක ඉඳලා අඩියෙන් අඩිය උඩට එමින් ඉන්න රටක්. ඒක පහසු ගමනක් නෙවෙයි. අපි තියන හැම අඩියක්ම ස්ථාවරව පරිස්සමින් තියෙන්න ඕනේ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගයට රජය මුහුණ දෙන්නේ කොහොමද?

පහුගිය අවුරුද්දේ අ‍ප්‍රේල් වෙද්දි අපිට ලෝකෙට කියන්න සිද්ධ වුණා ණය ගෙවන්න බැහැ කියලා. එයට පිළිතුර වුණේ ප්‍රතිව්‍යුහගතකරණයක්. ඒ කියන්නේ අපිට ගෙවන්න පුළුවන් විදිහට ණය සකස් කරගැනීමයි. 2022 අවසන් වන විට අපේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83ක්. එයින් ඩොලර් බිලියන 41ක් විදේශ ණය. 42ක් දේශීය ණය. විදේශ ණයවලින් බිලියන 11.5ක් පමණ බහුපාර්ශ්වීය සංවිධානවල ණය. ඒ ණය නොගෙවා සිටීම පැහැර හරින්න කොහොමටවත් බෑ. ඒ නිසා ඒවා ගෙවාගෙන යනවා. ඉතිරි ඩොලර් බිලියන 29න් 13ක් පමණ වාණිජ ණය. ඉතිරි ප්‍රමාණය ද්විපාර්ශ්වීය ණය. ඔය ණය ගෙවා ගැනීමට තමයි ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශාල සාකච්ඡා සිදුවෙන්නෙ. එතැනදි IMFඑක සමඟ අපි සැලසුම් කරලා තියෙනවා. ඩොලර් බිලියන 30ට ආසන්න ණයෙන් බිලියන 17ක් අවුරුදු පහකට කල්දමා ගැනීමක් ගැන. ඒ වගේම ණය කපාහැරීමක් ගැනත් අපි කතා කරනවා. අපේ ණය දේශීය සහ විදේශීය වශයෙන් සම සමව වගේ තියෙනවා. ඒ නිසා තමයි අපිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වෙන්න සිදු වුණේ. 

නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රට විශාල අර්බුදයකට යන බව ඇතැමුන් පවසනවා. විශේෂයෙන් ජනතාවගේ බැංකු තැන්පතු, විශ්‍රාම වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදල්වලට බලපෑමක් සිදුවෙන බවට අනතුරු අඟවනවා. මුදල් රාජ්‍ය ඇමැතිවරයා විදිහට ඔබට ඒ පිළිබඳ ජනතාවට දිය හැකි සහතිකය කුමක්ද?

රජය ඉතා පැහැදිලිව කියලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණ තුළින් ජනතාවගේ බැංකු තැන්පතුවලට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ; ඒ වගේම පොලිය අඩුවෙන්නෙත් නැහැ කියලා. ඒ වගේම ඉතාම සංවේදී කාරණාවක් වන ජනතාවගේ විශ්‍රාම වැටුපට සහ සේවක අරමුදල්වලට, ඒ සාමාජිකයන්ට ලැබෙන්න තියෙන ශේෂයට, පොලියට කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ. ඒ වගේම ඒ ආයතනවල ස්ථායිතාවට මෙයින් කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ. මේ ආයතනවල ශක්තිමත් බව පෙරටත් වඩා වැඩිවීමක් සිදු වෙනවා.

පසුගිය 28 වැනිදා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳ ජන­ාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු දැක්වූවා. එහිදිත් එතුමා අවධාරණය කළේ එයින් බැංකු හා රාජ්‍ය ආයතන කඩා වැටීමක් කිසිසේත් සිදු වන්නේ නැති බවයි. ඒ යෝජනාව මේ සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ අපි මුලින් කියපු නීතිමය රාමුව තුළයි. ඉන් පිටත කිසි දෙයක් සිදුවෙලා නැහැ. ඒ නිසා මේ පිළිබඳ ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගැනීමට කිසිදු හේතුවක් නැහැ.

ඒත් විපක්ෂය දිගින් දිගටම මේ වැඩපිළිවෙළ විවේචනය කරනවා නේද?

අපේ රටේ විපක්ෂයෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔවුන් හැමදේටම විවේචන ගේනවනේ. මේ වෙද්දි රටක් ලෙස අපි සුබවාදී කරුණු අත්දකිමින් සිටිනවා. ඩොලරයේ අගය පහළ වැටිලා රුපියල ශක්තිමත් වෙලා, බඩු මිල අඩුවෙමින් යනවා. රටේ අස්ථාවරභාවය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. විදේශ ප්‍රේෂණ වැඩිවෙලා, සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා. මේ කිසිම දෙයක් පිළිගන්න විපක්ෂය සූදානම් නැහැ. ඒ නිසා ඔවුන්ගේ විවේචන ගැන එතරම්ම කලබල විය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. ජනතාවට මේ පිළිබඳ සත්‍ය කරුණු පහදලා දීලා සමස්ත ජනතාවට පීඩනයක් ඇති නොකර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. බංකොලොත් වෙච්ච රටක් විදිහට අපි එයින් උඩට එන්න හදනකොට කිසිම කරදරයක් නැතිව ඒක කරන්න නම් ලෝකේ කවුරුහරි අපිට ඩොලර් බිලියන 83ක් නිකම් දෙන්න ඕනේ. එහෙම දෙන්න කෙනෙක් නැති නිසා අපි ඒ ණය අපිට ගෙවන්න පුළුවන් විදිහට ගළපගන්න ඕනේ. එතැනදි රජයේ වගකීම රටේ සමස්ත ජනතාවට පීඩාවක් නොවන විදිහට කටයුතු කිරීම. රජයක් විදිහට අපි ඒ වගකීම හොඳින් අවබෝධ කරගෙනයි කටයුතු කරන්නෙ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන බව සමහරු පවසනවා ?

ඇත්තටම බැංකු පද්ධතිය ගැන බයවෙන්න තිබුණේ දැන් නෙවෙයි. පහුගිය 2022 මැද වගේ රටේ තිබුණු තත්ත්වෙ එක්කයි. ඒ වෙද්දි තිබුණු තත්ත්වය අනුව බැංකුවල ද්‍රවශීලතාව අඩු වුණා නම් ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. නමුත් දැන් එහෙම තත්ත්වයක් නැහැ. මහ බැංකුවේ සුවිශේෂී අධීක්ෂණය යටතේ දැන් බැංකු ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට යනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ එක්ක බැංකු තවදුරටත් ශක්තිමත් වෙනවා. අපි ගැන ලෝකයේ විශ්වාසයත් ගොඩනැඟෙමින් තිබෙනවා. ඒ නිසා දැන් ඒ ගැන බයවෙන්න කිසිම හේතුවක් නැහැ.

මේ වෙද්දි IMF දෙවැනි අදියර සඳහා රජගේ සූදානම කොහොමද? ඒ සඳහා සපුරාගෙන ඇති ඉලක්ක මොනවාද?

අපි යන්නේ ඉලක්කගත ගමනක්.හැම ඉලක්කයකටම අදියර රාශියක් තිබෙනවා. එයින් අදියර කිහිපයක් අපි පසු කරලා තියෙනවා. ඒ කියන්නේ එය සාර්ථකව නිම කරන්න අවශ්‍ය පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව ලබන සැප්තැම්බර් වන විට නිම කළ යුතු ඉලක්ක බොහොමයක අවසන් අදියරේ අපි ඉන්නවා. තවත් සපුරාගත යුතු ඉලක්ක තිබෙනවා. අපි තවදුරටත් රාජ්‍ය ආදායම වර්ධනය කරගත යුතුයි. මහ බැංකු පනත සම්මත කරගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ හැම ඉලක්කයකම සියයට 75,80, 90 ප්‍රමාණයකින් සම්පූර්ණ කර තිබෙනවා. නමුත් අපිට ලොකු අභියෝගයක් තියෙනවා.

රජය කරන හැම දෙයක් ගැනම වපර ඇහෙන් බලලා ඒ හැමදේම කඩාකප්පල් කරන්න සූදානම් පිරිසකුත් එක්ක තමයි රජයට මේ ගමන යන්න සිදුවෙලා තියෙන්නේ. එයත් අපි ජයගත යුතු විශාල අභියෝගයක්. 

IMF ලැබීමෙන් පසු විදේශීය ණය ආයෝජන රට තුළට ගලාගෙන එන බව රජය පැවැසුවා. මේ වන විට එවැනි සාර්ථකත්වයක් ලැබිලා තිබෙනවාද?

IMF හරහා අනිත් රටවල් සහ ආයතන අතර අපේ රට ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒ නිසා තමයි අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් දැන් මුදල් ලැබෙන්නෙ. අපි දැන් නිවැරැදි පාරට වැටිලා තියෙනවා. සියලු දෙනාගේ විශ්වාසය තහවුරු කරගෙන ඉදිරියට යනවා. ඒකේ ප්‍රධාන කඩඉමක් තමයි මේ විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන.

රජය විසින් යෝජිත 'අස්වැසුම' නව සහනාධාර වැඩසටහනට මේ වන විට විරෝධතා මතුවෙමින් තිබෙනවා. ඊට හේතු මොනවාද?

ලංකාව කියන්නේ අවුරුදු හැත්තෑපහක් තිස්සේ සහනාධාර දෙන රටක්. සමෘද්ධි සහනාධාරයට අවුරුදු 28ක්. සහනාධාර දීමේ අවසන් ඉලක්කය සහනාධාර ලැබූ ජනතාව ශක්තිමත් වුණු සමාජයක් බිහි කිරීමයි. නමුත් සහනාධාර දීමෙන් බලාපොරොත්තු වුණු ඉලක්කවලට අපි ගිහින් තියෙනවද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

එහෙම නම් වැරදුණේ කොතැනද කියලා රජයට අවබෝධයක් තියෙනවද?

පැහැදිලිවම ඒ අවබෝධය අපේ රජයට තියෙනවා. සහනාධාර සම්බන්ධයෙන් දැන් මතුවෙලා තියෙන ලොකුම ගැටලුව එය ලැබෙන්නේ සුදුස්සාටම ද කියන එකයි. 2019 ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙනවා අපේ රටේ ඉහළම ආදායම් ලබන සියයට 20න් සියයට 12ක් සමෘද්ධිය ලබනවා කියලා. සමෘද්ධිය ලබන අයගෙන් සියයට 38කටයි අස්වැසුම සහනාධාරය ලැබෙන්නෙ කියනවා. අපි ආර්ථිකව වැටිලා ඉන්න වෙලාවක ඒකෙන් ගොඩඑන්න ලෝකෙන් උදවු ගන්න වෙලාවක අපිට දේශපාලනිකව හෝ වෙනත් ආකාරයකට හිතුවක්කාර තීරණ ගන්න බැහැ. සහනාධාර ලබාදීම සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේ සුවිශේෂී අයිතියක් තිබෙන බව අපි පිළිගත යුතුයි. මේ දක්වා සිදු වූ වැරැදි නිවැරැදි කිරීම තමයි අපේ ඉලක්කය.

එහෙත් ඉකුත් 29 වැනිදා වන විට ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4ක් සහ විරෝධතා 6,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. රජය මේ පිළිබඳ ඔබ කියන සද්භාවයෙන් කටයුතු කරනවා නම් ඒ අභියාචනා සහ විරෝධතාවලට හේතුව කුමක්ද?

අස්වැසුම වැඩපිළිවෙළ යටතේ අපි ජීවත්වීම සඳහා ආධාර වුවමනා බව හැඟෙන අයගෙන් ඒ සඳහා ඉල්ලුම්පත් කැඳෙවුවාම පවුල් ලක්ෂ 37කින් අයැදුම්පත්‍ර ලැබුණා. මේ ආර්ථික අවපාතයත් එක්ක විශාල පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිලා තිබුණා. රටේ පවුල් ලක්ෂ 58න් පවුල් 37ක්ම ජීවත් වෙන්න ආධාර ඉල්ලන නිසා අපිට ඊළඟ පියවර විදිහට ගෙයින් ගෙට ගිහින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන්න සිදු වුණා. ඒ අදියරේදී ලක්ෂ 5ක් ඉවත් වුණා. තමන්ට සහනාධාර ලබන්න සුදුසුකම් නැහැ කියලා ඔවුන්ම පිළිගත්තා. ඒ තොරතුරු හොයන්න යවන්න අපි යැවුවේ පළපුරුදු නිලධාරීන්. සුබසාධක පනතේ අංක 20 තියෙනවා මේ සඳහා තොරතුරු දෙන කෙනා වගේම අංක 21 වගන්තිය අනුව තොරතුරු රැස්කරන නිලධාරියාත් නිවැරැදිම සත්‍ය තොරතුරු දෙන්න බැඳී සිටින බව. අසත්‍ය තොරතුරු දීම නීතිමය දණ්ඩනයට ලක්වන කාරණාවක්. නුසුදුස්සන් රාශියකට මේ ප්‍රතිලාභ ලැබීම වැළැක්වීම සඳහා නිලධාරින් සහ ස්වේච්ඡා කණ්ඩායම් ලවා තොරතුරු රැස් කරලා ලබාගත් ලේඛනය තමයි අපි දැන් ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒ සඳහා තමයි ඔය විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් වෙන්නෙ. ඇතැම් අය කලබල වෙලා තියෙනවා සුදුස්සන්ට ලැබිලා නැහැ කියලා. නමුත් එහෙම කලබල වෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මොකද මේක අවසන් ලේඛනය නෙවෙයි. හරියාකාරව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමයි ජනතාව කළ යුත්තේ. ඒවායින් මේ ලේඛනය පෙරා ගැනීම තමයි ඊළඟට සිදු වෙන්නෙ. අපි වසරකට එහා අතීතයට ගියොත් සමෘද්ධිය ඇතුළු සියලු සහනාධාර වෙනුවෙන් ආණ්ඩුව වියදම් කළේ රුපියල් බිලියන 90යි. නමුත් දැන් ආණ්ඩුව සූදානම් ඒ සඳහා බිලියන 208ක් වැය කරන්න. ඒ කියන්නේ ඉස්සර රුපියල් 4,500ක සහනාධාරයක් ගත්ත කෙනෙකුට දැන් රුපියල් 15,000ක් ලැබෙනවා.

එහෙත් ඇතැම් අය චෝදනා කරනවා නේද සුදුසුකම් තියෙන අය ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට?

අපි හිතමු ඇත්තටම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නැති කෙනෙක් අවුරුදු ගණනාවක් තිස්සේ මේ සහනාධාර ගත්තා කියලා. දැන් අපි සුදුස්සන් තෝරන ක්‍රමය තුළ ඔවුන්ට අවස්ථාව නැතිවුණාම ඔවුන් ඒ ගැන ප්‍රශ්න මතුකරාවි. අරගලත් කරාවි. නමුත් ඒ අභියෝග ජය ගනිමින් නියම සුදුස්සන්ටම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ප්‍රතිලාභීන්ගේ ලේඛනය සකසා ගැනීමයි කළ යුත්තේ. සුදුස්සන්ට ලබා දෙනවා වගේම නුසුදුස්සකුට ලැබෙන එකත් වැළැක්වීමට ජනතාවටත් මාධ්‍යයටත් වගකීමක් සහ යුතුකමක් තියෙනවා. නුසුදුස්සන්ට මෙය ලැබෙන එක වැළැක්වීම ලැබෙන අදියරේ තමයි අපි දැන් ඉන්නෙ. ඊටපස්සේ සකස් වෙන ලේඛනය තමයි සහනාධාර බෙදන ලේඛනය. හැකිතරම් ඒක නිවැරැදි ලේඛනයක් කරන්න තමයි අපි දැන් වෙහෙසෙන්නෙ.

මෙතෙක් ක්‍රියාත්මක කළ සහනාධාර වැඩසටහන් සහ අස්වැසුම අතර වෙනස්කම් මොනවාද?

වැදගත්ම දේ සහනාධාර ලැබිය යුතුම පවුල් හඳුනා ගැනීමයි. නුසුදුස්සෙක් මේ ප්‍රතිලාභ ගත්තොත් සමාජ සුබසාධන පනත ප්‍රකාරව අනිවාර්ය‍ෙයන් ඔහු නීතිමය දණ්ඩනයකට යටත් වෙනවා. ඒ නිසා කවුරුහරි නුසුදුස්සෙක් ඉන්නවා නම් කරුණාකරලා ස්වේච්ඡාවෙන් ඉවත් වෙන්න. එවැනි අය ගැන දන්නවා නම් නිර්නාමිකව හරි අදාළ ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දෙන්න. මේ ප්‍රතිලාභීන්ගේ ලේඛනය නිසි පරිදි සකසා ගැනීමයි. ඒ කියන්නේ නියම සුදුස්සන්ටම ප්‍රතිලාභ ලැබීමට කටයුතු කිරීමයි. ඒ සමාජ වගකීම ඉටුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේ දක්වා වසර ගණනාවක් පැවති හැම ආණ්ඩුවක්ම සුබසාධන වැඩසටහන් ආරම්භ කළත් දුප්පත්කම තුරන් කිරීමට නොහැකි වීම ගැන ඔබේ අදහස?

ආණ්ඩු පෙරළීම සහ පිහිටුවීම සහ සහනාධාර අතර විශාල සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම ඇතැම් ආණ්ඩු පෙරළීමට සහනාධාර දැවැන්ත සාධකයක් වූ අවස්ථා අපේ රටේ ඉතිහාසයේ තියෙනවා. එදා මෙදාතුර ආව හැම ආණ්ඩුවක්ම සහනාධාර වැඩි කළා. අඩු කළා. ඒ වගේම ඒ ගැන තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලටත් ඇතුළත් කළා. රටේ ඉන්නෙත් පවුල් ලක්ෂ 58 නම් එයින් ලක්ෂ 20කට අස්වැසුම දෙනවා නම් ඒ කියන්නේ රටෙන් සියයට 40කට විතර සහනාධාර ලැබෙනවා. මේක දේශපාලනය ඉක්මවා ගිය මානුෂික සහ සමාජීය මෙහෙවරක්. සුබසාධන ආණ්ඩුවක මූලික වගකීම ජනතාවට ජීවත් වීමේ මූලික හැකියාව ලබා දීම. දැනට තිබෙන වැඩිම සහනාධාරය වුණේ පවුලකට 4,500යි. ඒවා විද්‍යාත්මකව තීරණය කළ සහනාධාර නෙවෙයි. සංඛ්‍ය­ාලේඛන දෙපාර්තමේන්තුව කියනවා මාසයක් ජීවත් වෙන්න රුපියල් 13,000ක් ඕනේ කියලා. නමුත් අස්වැසුමෙන් 15,000ක් දෙන්නේ එය විද්‍යාත්මිකව තහවුරු කරලා. අස්වැසුම කියන්නේ හරි දෙයක්, හරි විදිහට කරන්න ගන්න උත්සාහයක්. එහෙම කරනකොට විවිධ පාර්ශ්වයන්ගෙන් බාධක එල්ල වෙනවා. ඒවා නිවැරදි කරගැනීමයි අවශ්‍ය වන්නේ. සුදුස්සන්ට ලැබිලා නැත්නම් කරුණාකරලා අභියාචනා ඉදිරිපත් කරන්න, අපි ඒ ගැන ඉතාම සංවේදීව කටයුතු කරන්න ලෑස්තියි.

සහනාධාර ලබා දීමෙන් ඔබ්බට ගිහින් ඒ ජනතාවගේ ජීවිත නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් රජයට නැද්ද?

ඒක වැදගත් කාරණාවක්. අස්වැසුමේ එවැනි වැදගත් ඉලක්ක කිහිපයක් තිබෙනවා. සහනාධාර ලබන කාණ්ඩ හතරට සහනාධාර ලබා දෙන කාල සීමාව වෙනස්. වසරක් පාසා අපි ඒ පිළිබඳ සමාලෝචනයක් සිදු කරනවා. සහනාධාර ලබා දීලා ජීවනෝපාය සංවර්ධනය කිරීමට අමතරව අපි ඔවුන්ට ඉලක්කයක් ලබා දෙනවා තමන්ටම උපයා ගැනීමක් කිරීමට. ඔවුන් ශක්තිමත්ව නැඟී සිටින ජනතාවක් බවට පත් කිරීමයි අපේ අපේක්ෂාව. අවුරුදු හැත්තෑපහක් තිස්සේ අපේ රටේ සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වුණාට අපිට මේ දක්වා ඒක කරගන්න බැරි වුණානෙ. අස්වැසුම තුළින් අපි ඒ උත්සාහය දරනවා. ඒ සඳහා සමහරවිට අපිට මෙහි දින වකවානු වෙනස් කරන්න වෙයි. ඒ ගැන හොයලා බලලා අපි ලොකු උත්සාහයක් දරනවා මේ ජනතාව ශක්තිමත් කරන්න.

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට බදු ලිපි ගොනු විවෘත කිරීමට රජය දැනටමත් කටයුතු කරමින් යනවා. ඒ කටයුතුවල දැන් තත්ත්වය කොහොමද?

වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරිවරු, නීතිඥවරු ඇතුළු රටේ කැපී පෙනෙන සමාජ කණ්ඩායම් 14කට ගිය මාසයේ පළමු වැනිදා සිට බදු ලිපි ගොනු විවෘත කරන්න කියලා අපි ආරාධනා කළා. එය තමයි එහි පළමු අදියර. දැනට බදු ලිපි ගොනු තියෙන්නෙ ලක්ෂ 3යි. නමුත් මේ ක්‍රියාවලියෙන් පස්සේ ඒක පුද්ගල ආදායම අනුව බදු ලිපි ගොනු ලක්ෂ 10ක් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ ඉලක්කයට ගියාම අපිට එකිනෙකා මත පැටවුණු බදු බර අඩුකරගන්න පුළුවන් වෙයි.

දෙවැනි අදියර තමයි ලබන අවුරුද්දෙ ඉඳලා අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු ලිපි ගොනුවක් විවෘත කරන එක. ඒකෙන් කියන්නේ නැහැ හැම කෙනෙක්ම ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ කියලා. මේ බදු ලිපි ගොනුව ජාතික හැඳුනුම්පතට අමතරව හොඳ ලියාපදිංචියක්, හොඳ විස්තරාත්මක ලියවිල්ලක් බවට පත්වෙනවා. ඒකත් අපි ලබන අවුරුද්දෙ පටන් ගන්නවා. ඉදිරියේදී සහනාධාර දෙන්නෙත් ඒ ලිපි ගොනුව අනුවයි. ඒක ලෝකයේ බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්.

බදු ලිපි ගොනු පැහැර හරින්නන්ගේ බදු අයකර ගැනීම සඳහා අපේක්ෂිත ක්‍රමවේදය කුමක්ද?

අපි දැන් නිවේදනය කරලා තියෙන්නේ ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව සලසා දෙන්නයි. එහෙම ඉදිරිපත් නොවන අය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ගිහින් රැස්කරගන්න තොරතුරු අනුව කටයුතු කරන්න රජය සූදානම්. ඒ සඳහා අවශ්‍ය නිලධාරින් සහ තාක්ෂණය වැඩි දියුණු කරන්නත් මේ වන විට අපි කටයුතු කරමින් සිටිනවා.

රාජ්‍ය ආයතන බොහෝමයක් පාඩු ලබන තත්ත්වයට පත්වී තිබෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන පියවර මොනවාද?

රාජ්‍ය ආයතන 4000කට වැඩි සංඛ්‍යාවක් දිගින් දිගටට පාඩු ලබමින් තිබෙනවා. මේවා රාජ්‍ය ආයතන කියලා හැමදාම ජනතාවගේ මුදලින් නඩත්තු කරන්න බැහැ. හැම අවුරුද්දකම ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක් පමණ වැය කරනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඒ නිසයි ප්‍රතිව්‍යූහගතකරණයට යොමු වෙන්නෙ. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ, ඒ ආයතන කුණු කොල්ලෙට විකුණනවා කියලා. ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රම රාශියක් තිබෙනවා. එකක් විනිවිදභාවයෙන් යුක්තව පෞද්ගලික අංශයට පැවරීම, ඒකාබද්ධ කිරීම, කළමනාකරණය රජය විසින් කරන අතර පරිපාලනය පෞද්ගලික අංශයට පැවරීම, බදු දීම එවැනි ක්‍රම කිහිපයක්. ජනතාව මත ඇති බර ඉවත් කරලා ඒ මුදල්වලින් ජනතාවට පහසුකම් සැලසිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒ විදිහටයි. ඒ නිසා ක්‍රමානුකූලව ඒ ආකාරයට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් කිව යුත්තේ අපි ඉතාම දරුණු ආර්ථික අගාධයක ඉඳලා අඩියෙන් අඩිය උඩට එමින් ඉන්න රටක්. ඒක පහසු ගමනක් නෙවෙයි. අපි තියන හැම අඩියක්ම ස්ථාවරව පරිස්සමින් තියෙන්න ඕනේ. ඒ නිසා පක්ෂ විපක්ෂ හැමෝම අපි ඉන්න සැබෑ තත්ත්වය තේරුම් අරගෙන සාම්ප්‍රදායික විවේචනවලින් බැහැර වෙලා මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. මේ තත්ත්වය අවබෝධ කරගන්න එක හැමදෙනාගේම වගකීමක්.

Comments