සජිත් ගැන රනිල් නාමල්ට කීවේ මොනවාද? | සිළුමිණ

සජිත් ගැන රනිල් නාමල්ට කීවේ මොනවාද?

 

“සර් කොහොම හරි ඇමෙරිකාවට පණිවුඩයක් දුන්නා නේද?”

නිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රට ගොඩනැඟීම වෙනුවෙන් එක්වන ලෙසට කරන ලද ආරාධනය පසුගිය සතියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.

 

මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට වසර 32 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද තවත් කරුණක් කෙරෙහිද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. ජනාධිපති වෙන්න උදව් කරන්නම්. විපක්ෂ නායක ධුරය ආරක්ෂා කරලා දෙන්නම්” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණි.

මේ අතර පසුගිය 05 වැනි බදාදා කොළඹ පැවති එක්තරා හිතවතෙකුගේ පෞද්ගලික උත්සවයකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාත් මුණ ගැසුණි.

රනිල් හා මහින්ද කතාබස් කරමින් සිටි අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද ඒ අසල විය. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කතාබස් වූ අතර ඔවුන් සිටින දෙසට පැමිණියේ නාමල් රාජපක්ෂය.

“මොකද? නාමල් මේ විපක්ෂ නායකකම ගන්න යන්න හදනවා කියලා කතාවක් යන්නේ. අර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාට විපක්ෂ නායකකම කරගෙන යන්න ඉඩ දෙන්න” යනුවෙන් මඳක් සිනහවෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියපු කතාවට එතන සිටි සියල්ලෝම මහ හයියෙන් සින­ාසුණහ.

 

ජනපතිගෙන් තානාපතිවරුන්ට ට්‍රිප් එකක්

සුන්දර නුවරඑළියට, සුන්දර දුම්රිය ගමනක් මෙරට සිටින තානාපතිවරුන් වෙනුවෙන් සංවිධානය වූයේ ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙසිනි.

ජනපති රනිල් ගෙවුණු සති අන්තයේ නුවරඑළි ගියේ මේ පිරිස වෙනුවෙනි. මහනුවරට ගොස් නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දස දෙනෙකුට අක්තපත්‍ර පිළිගැන්වූ ජනපති නුවරඑළියට ගියේ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ මෙම චාරිකාවට එක්වීමටය.

කොළඹ සිට තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් නානුඔය දක්වා පැමිණියේ දුම්රියෙනි. එම ගමනට පේරාදෙණියෙන් නව අක්තපත්‍ර ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස ද එක්වූ අතර ඔවුන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද සම්බන්ධ වූවේය.

ඔවුන් නටමින් ගයමින් විනෝද වෙමින් නානුඔය දක්වා පැමිණියේ පැරණි වයිස්රොයිස් දුම්රියකිනි. නුවරඑළිය ජනපති මැදුරේ ඔවුන් වෙනුවෙන් සුදානම් කළ රාත්‍රී භෝජන සංග්‍රයට ජනපති රනිල් මොවුනට ආරාධනා කර තිබුණි. ජනාධිපති මැදුරට සපැමිණි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සාමාජිකයන් පිළිගනු ලැබුවේ ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ විසිනි.

ඇමෙරිකානු තානාපතිනි ජූලි චැන්ග් ජනපති මැදුරට පැමිණ ඉංග්‍රීසි පාලකයන් ඉදිකළ එම ඉපැරණි මැදුරේ සිරි නරඹද්දී ඇය යම් දෙයක් දැක ඒ අසල නතර වූවේය. ඒ සුදු ජාතිකයන් විසින් එහි සවිකරන ලද ඉපැරණි දුරකතනයක් අසලය. පේළියට දුරකතන අංක සවිකළ විශාල පුවරුවකින් ද ඉහළට ඇදිය යුතු බොත්තම් රැසකින් ද සමන්විත එය අපූරු ඉපැරණි නිර්මාණයක් වූවේය.

 

ජනපති රනිල් ජුලි චැන්ගේ දුරකතන ක්‍රියාකරු වෙයි

“මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්” ලෙස සටහන් වූ එම දුරකතනයේ විස්තර ඇය විමසද්දී ඒ අසලට පැමිණියේ ජනපති රනිල් ය. ඔහු ඇයට අතීත විස්තරයක් ද කියා දී එම දුරකතනයෙන් ඇමතුමක් ගන්නා ආකාරය ද පැහැදිලි කර දුන්නේ සැවොම මවිත කරවමිනි. සුළු මොහොතකට ජනපති රනිල් ජුලී චැන්ග් තානාපතිනියගේ දුරකතන ක්‍රියාකරු වූවේ ඉපැරණි ක්‍රමයට දුරකතන ඇමතුමක් ගන්නා ආකාරය පැහැදිලි කරන්නට ගිය නිසාවෙනි.

“සර් කොහොම හරි ඇමරිකාවට පණිවුඩයක් දුන්නා නේදැයි” නිලධාරියෙකු විමසද්දී ජනපති රනිල් කීවේ තානාපතිවරුන්ගේ මේ ගමනින් ලංකාව ගැන ලෝකයටම පණිවුඩයක් දුන් බවය.

 

මහින්දට සුබ පැතීමට රනිල් පැමිණේ

නුවරඑළියේ සිට ජනපති කතරගම පැමිණියේ වාර්ෂික කතරගම පෙරහර නැරඹීමටය. අති විශාල ජනකායක් පෙරහර නැරඹීමට පැමිණ සිටි අතර ජනපති රනිල් තමන් පැමිණෙන මඟ දෙපස සිටින ජනතාවට ආචාර කිරීමට ද අමතක නොකළේය. කිරිවෙහෙර විහාරාධිපති හිමියන්, තායි තානාපති, රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ හා සාගල රත්නායක යන පිරිස සමඟ එක්ව ජනපති පෙරහර නැරඹූවේ ය.

ජනපති එදින පෙරවරුවේ හම්බන්තොට ට ගියේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ දේශපාලන ගමන් මඟට වසර 35 ක් සපිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමටය. ජනපති රනිල් එහිදි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයට ආරාධනා කරනු ලැබූවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එකතු වන ලෙසටය.

උත්සවය නිමවා තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමට පැමිණෙද්දී ජනපති අසලට පැමිණියේ හිටපු නගරාධිපති එරාජ් ය. “සර් මාව අඳුරන්න පුළුවන්ද” ඔහු විමසද්දී ජනපති කීවේ මොකද බැරි ඔයාව රටම දන්නවානේ “ කියාය.

ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට පණිවුඩයක් නිකුත් කරමින් ජනපති කීවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණ විභවයන් උපරිමයෙන් භාවිතා කරනා බවය. නව ගුවන් හමුදාපති ලෙස පත් වූ උදේනි රාජපක්ෂ ජනපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සේම ජනාධිපති ලේකම් සාම්ප්‍රදායිකව මුණ ගැසීමට පැමිණියේ ඉකුත් බදාදාය.

එදින දහවල් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පැමිණියේ ජනපතිගේ ඉන්දියන් සංචාරයේ පූර්ව කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. පාර්ලිමේන්තු සතියේ වූ සිදුවීම් කිහිපයක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ ජනපති රනිල් දැනුම්වත් කළේ දුරකතනයෙනි. ඒ ආශු මුණ ගැසීමට පැමිණි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් කියූ කතාවකි.

 

සජිත්ගේ කෑමක් ගැන ගම්මන්පිල කිව්වේ මොනවාද?

“මට උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා හොඳ කතාවක් කිව්වා. ඒ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවට කන්න දීලා ඉතිරි වුනොත් තමයි තමන් කන්නේ කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා නම් එහෙම නොවෙයි. එතුමා කාලය කාලා ඉතිරි වුනොත් අපි වගේ සුළු පක්ෂ දරුවන්ට කතා කරන්න කාලය දෙන්නේ කියලා.” චාල්ස් මන්ත්‍රීවරයා ආශූට කිවේ සිනාසෙමිනි.

“ඔව් මටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කිව්වා එයාලා කතා කරන්න කැමති විෂයන් ගැන කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ මොකද විපක්ෂ නායකතුමා මේ හැම විෂයක් ගැනම කතා කරන නිසා කියලා.” මහාචාර්ය ආශු ද පිළිතුරු බැන්දේය.

 

චානකගේ මඟුල් ගෙදර බර කතාබහක්

ජනපති රනිල් බදාදා සවස රාජ්‍ය ඇමැති ඩී.වී චානකගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමට ගියේ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකටය. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ අසලම අසුනක් ජනපති වෙනුවෙන් වෙන්කර තිබුණේය. එම මේසයේම අගමැති දිනේෂ් මෙන්ම චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ද අසුන්ගෙන සිටියහ.ජනාධිපතිවරුන් තිදෙනා රට ගොඩනඟන අනාගත දේශපාලන සැලසුම් ගැන කතා කර තිබුණි. ජනාධිපතිවරුන් රට හදන සැලසුම් කතා කරද්දී මහාචාර්ය ආශූ එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සමඟ රට හදන මාධ්‍ය සැලසුම ගැන කතා බහ කළේය.

ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරු රැසක් ගී ගයමින් නර්තනයේද යෙදෙන්නට වූහ.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ආර්ථික සැලසුම් ගැන කතා බහ කරන්නටය. මෙහිදි බැංකු පොලී හා ස්ථාවර තැන්පතු පොලී අඩුවීම ගැන ජනපති නිලධාරීන් හා සකච්ඡා කළේය.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන ජනතාව විශ්වාස කළා. විපක්ෂය බැංකු කඩා වැටෙනවා කිව්වට කවුරුත් ඒ කතාව විශ්වාස කළේ නෑ.” ඇමැති සේමසිංහ කීවේ එවැන්නකි.

“විපක්ෂය දේශපාලනය කරන්න නොදන්නා බව පසුගිය කාලේ හැසිරීමෙන් පෙනී ගියා. ජනාධිපතිතුමා හම්බන්තොටදී ආරාධනා කළා වගේ විපක්ෂයට මේ මල් වට්ටියට අත ගහ ගන්න බැරිවුණා. විපක්ෂ නායකතුමා ඉන්නේ වැරදි ගණන් බැලීමක.” වජිර කීවේ ජනපති දෙස බලමිනි.

“පොලිස්පතිතුමා පත් කරන්නේ කවදාද?” ඇමැති සියඹලාපිටිය විමසද්දී ජනපති සුපුරුදු සිනහව පාමින් “හොඳ කෙනෙක් ඉක්මනට පත් කරන්නම්” කීවේ ඇඟට පතට නොදැනීය.

 

රනිල්ට ජනපතිකමෙන් ඉවත් වෙන්න කිව්වේ කවුද?

“සර් ජනාධිපති වෙලා අවුරුද්දක් වෙනවා. මට මතක් වෙන්නේ එදා වැඩබලන ජනාධිපති ලෙස කැඳවපු ආණ්ඩු පක්ෂ රැස්වීම. එදා ඉතින් හකීම්, සුමන්තිරන් මන්ත්‍රීතුමන්ලා වගේම ‍ෙජනරාල් ශවේන්ද්‍රත් කිව්වානේ ඔබතුමාට අයින් වෙන්න කියලා.” ආශු කීවේය.

“එදා එයාලා කියපු දේ පිළිගත්තේ නැති නිසා අද ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවට ජනාධිපතිතුමා පත් වෙලා තියෙනවා. ජනප්‍රිය නායකයා නොවුණාට ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවට ජනාධිපතිතුමා පත් වෙලා ඉන්නවා.” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කියද්දී රැස්ව සිටි නිලධාරීන් කීවේ “ඔයා හොඳ ස්ලෝගන් එකක්නේ දුන්නේ.” කියාය.

“තමන්ගේ ගේ ගිනි අරන් විනාශ වෙලා තියෙද්දී ඒ කිසිවක් නොසිතමින් රට ගැන සිතා ජනාධිපතිකම බාරගත් නිසා ගිනිගනිමින් තිබූ රට අළුමතින් ගොඩ නඟන්න හැකියාව ලැබුණා.” ඇමැති ශෙහාන් කතාව අවසන් කළේ එසේ කියමිනි.

එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් මේ වන විට රට පුරා පැවැත්වෙන අතර නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, මහලේකම් රංගේ ඇතුළු පක්ෂ නායකයින් පාක්ෂිකයන් දිරිමත් කරමින් ඊට සහභාගී වෙමින් සිටියි.

 

මන්ත්‍රීවරුන්ගේ අයිතිය වෙනුවෙන් අගමැති දිනේෂ් පෙරට

අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම බදාදා (05) පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළීබද මෙහිදී අධිකරණ අමාත්‍යාංශයේ සහ අනෙකුත් විශේෂඥ නීතිවේදීහු පැහැදිලි කළහ. "මේ පනත අනුව අල්ලස් කොමිසමේ පරීක්ෂණවලින් පොලිසිය ඉවත් කරනවද ?" මන්ත්‍රීවරයෙක් විමසීය. "එක පාරටම බෑ" නිලධාරියෙකුගේ උත්තරය විය. "එහෙනම් අසාර්ථකයි" මන්ත්‍රීවරයා කීය.

"ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට වත්කම් බැරකම් දීම සිදුකරන්න" තවත් යෝජනාවක් ඉදිරිපත් විය.

"බොරු පැමිණිලි දාලා මාධ්‍ය සංදර්ශන තියලා, චරිත ඝාතන කරන එකට මොකද කරන්නේ?" තවත් ප්‍රශ්නයකි.

"නව පනතේ එය, අපරාධමය වරදක් කර ඇත" පිළිතුර ලැබිණි.

දිනේෂ් මැදිහත් වී වැදගත් ප්‍රශ්නයක් නීති කෙටුම්පත් නිලධාරීන් වෙත යොමු කළේය.

"දැන් ගොඩක් මන්ත්‍රීවරු අහන්නේ, පැමිණිල්ල පරීක්ෂා කරලා අවසන් වෙන නිශ්චිත කාල වකවානුවක් තියෙනවද අලුත් නීතියේ?"

"කඩිනමින් කියා තියෙනවා"

"කඩිනමින් නෙමේ, කාලයක් ඕනේ නේද" අගමැති දිනේෂ් මන්ත්‍රීවරුන්ගේ පොදු ප්‍රශ්නය පැහැදිලි කළේය.

 

ජයන්තගෙන් කොමිසමට විරෝධය

නීතිඥ ජයන්ත වීරසිංහ මන්ත්‍රීවරයා එක්තරා කොමිසම් සභාවක කටයුතු ගැන දැඩි විවේචනයක් කළේය. බොහෝ යෝජනා මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වුහ. ඒවා සංශෝධනවලට එකතු වන්නේදැයි මන්ත්‍රීවරු විමසූහ. ශාන්ත බණ්ඩාර, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත ඇතුළු ජනතා නියෝජිතයෝ රැසක්ම මෙහිදී විවිධ ප්‍රශ්න අසන්නට වුහ.

 

දිනේෂ්ගෙන් ගීතාට සුබ පැතුම්

ඉන්පසු ගීතා කුමාරසිංහ රාජ්‍ය ඇමැතිවරිය දෙස බැලූ දිනේෂ්, "අපේ ගීතා කුමාරසිංහ මැතිනියට සුබ උපන් දිනයක් හැමෝම වෙනුවෙන් මම සුබ පතනවා" සිනහවෙමින් පැවසිය. තමන්ට සුබ පැතීම ගැන ගීතා නැගිට ස්තූති කළාය.

 

ජනපතිගේ උදව් සජිත් ප්‍රතික්ෂේප කරයි

"ජනාධිපතිවරයා විසින් පසුගිය දා සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට කළ ආරාධනය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුකළ අතර ඊට දෙදිනක් පුරා සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් උත්තරයක් ලැබුණේ නැත. එහෙත් තුන්වෙනි දිනයේ සජිත් පාර්ලිමේන්තුවේදීම ඊට ප්‍රතිචාර දැක්වීය.

"ජනාධිපති කියනවා ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා. ඒත් මම අහනව හොරු අල්ලනද හොරු බේරන්නද ජනතාව ජීවත් කරවන්නද විනාශ කරන්නද? පැන්ඩෝරා පත්‍රිකා හොරු අල්ලන්නද බේරන්නද? සීනි බදු, පොල්තෙල් හොරු බාල ගෑස් හොරු අල්ලන්නද බේරන්නද? ලසන්ත වික්‍රමතුංග මරපු අය උපාලි තෙන්නකෝන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ට හිංසනය දියත් කළ අය බේරන්නද අල්ලන්නද එකතු වෙන්න කියන්නේ?

ඒ වගේම මටත් ජනාධිපති වෙන්න උදව් කරනවාලු. මගේ විපක්ෂ නායකකම රැකලා දෙනවලු. මම දන්නවා ඒ අය 2019 ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කරපු දේවල්. මට ඒ උදව් ඕන නැහැ.

අපි කොතනටද යන්නේ කොතනද නතර වෙනවාද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල්වලින් නොවේ. ඒවා හෙළිදරව් වෙන්නේ ලක්ෂ 220 මතය ප්‍රකාශ කිරීමෙන්. මට නම් අවුරුදු 21ක් විපක්ෂ නායකකමේ ඉන්න අපේක්ෂාවක් නැහැ.

ඒ වගේම 75 වසරක ඉතිහාසයක් ගැන කතා කරද්දි මේ රටට අගයක් එකතු කළේ අපි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ සහ බෙහෙත් දුන්නා. අපේ ජාතික වගකීම යුතුකම ඉටු කළා. රජයේ පාසල් 72 කට මිලියන 349.2ක බස් රථ සහ පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා තොරතුරු තාක්ෂණ උපකරණ සහ සුහුරු පන්ති කාමර උපකරණ දුන්නා.

 

අජිත් රාජපක්ෂ ඉදිරියේ වරද පිළිගත්තේ කවුද?

පසුගිය 08 වැනිදා සවස 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 08දී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව රැස්වුයේ එම කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.

රූපවාහිනියෙන් උදෑසන පත්තර කියවන එක් මාධ්‍යවේදියෙකුගෙන් හා ජාතික පුවත්පතකින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් වරප්‍රසාද කමිටු රැස්වීම කැඳවා තිබුණි.

මුලින්ම කැඳවූ ජාතික පුවත්පතක මාධ්‍යවේදියා ප්‍රකාශ කළේ තමාට උසස් පොලිස් නිලධාරියෙකු ලබාදුන් තොරතුරකට අනුව මෙම ප්‍රවෘත්තිය පළ කළ බවයි.

“මේක වැරදි ප්‍රවෘත්තියක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ. එතකොට මේ වැරදි තොරතුරු දීපු පොලිස් නිලධාරියා කවුද? ඔහු ගැන සඳහන් කරන්නේ නොමැති නම් මේ වගකීම ඔබට ගන්න වෙනවා” යනුවෙන් වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ඉන්පසුව මේ ගැන කතාබස් වූ අතර මෙම ප්‍රවෘත්තිය වැරදි බවත් එය නිසියාකාරව නිවැරදි කර පළකරන බවටත් මාධ්‍යවේදියා එකඟ විය.

ඉන් අනතුරුව පැමි‍ණියේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකින් උදෑසන පුවත්පත් කියවන මාධ්‍යවේදියෙකි. ඔහු කියා සිටියේ තමා හිතාමතා අපහාස කිරීමක් නොකළ බවයි. මෙය අධිකරණයට නොගොස් සමතයකට පත්කරගැනීමට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා එකඟවූ අතර එසේ නොවී මෙය අධිකරණයට ගියා නම් වසර 02ක සිරදඬුවම් පවා හිමිවීමට ඉඩ තිබෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.

 

තනි අලියාගේ වැඩ වජිර පෙන්වයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගී වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ණය ප්‍රශස්තකරණය සහ ඉන් රටේ සමස්ත මහජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත්, ණය ප්‍රශස්තකරණය ගැන විපක්ෂය සහ ඇතැම් දේශපාලනඥයින් ගෙන යන වැරදි ප්‍රතිචාර පිළිබඳවත් වජිර මෙහිදී දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් ගත් තීරණ නිසා ව්‍යාපාරික ප්‍රජාවත්, සමස්ත ශ්‍රී ලාංකික මහජනතාවත් ආරක්ෂා වෙනවා. ජනාධිපතිතුමා පැරීසියෙදීත්, එංගලන්තයෙදීත් ලෝකයේ ආධාර දෙන සෑම කණ්ඩායමක් සමඟම ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කළා.

සැප්තැම්බර් මාසයේ අග වනවිට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දී තිබෙනවා. ”යනුවෙන් වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදී.

 

දකුණු ආසියාවේ බලවත්ම පනත

විශේෂයෙන් මුදල් පාලනය පිළිබඳව රහස් තිබෙන්න බැහැ , මැජික් තිබෙන්න බැහැ. එහෙනම් මුදල් සම්බන්ධයෙන් තිබෙන ලියවිලි විවෘතයි. තර්ක කරන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන්. රට නැවත ගොඩගන්න පුළුවන් වන්නේ එහෙම ක්‍රියා කළොත් විතරයි. ඒ සඳහා දැන් පියවර අරගෙන තිබෙනවා.

විවිධ අවස්ථාවල දේශපාලන වාසි ගැනීම සඳහා අරයට මෙයාට හොරා කියන සටන් පාඨයත් පාලනය කළ යුතුව තිබෙනවා. දැන් එය පාලනය කරන්න අවශ්‍ය කරන දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙයත් දකුණු ආසියාවේ කිසිම රටක නැති බලසම්පන්න පනතක්. එයින් මෙවැනි සටන් පාඨ පාලනය කරන්න පුළුවන්. මෙවැනි සටන් පාඨවල නිවැරදිතාවය, සත්‍යතාවය එළිදක්වන්න පුළුවන්.

අපහාස සම්බන්ධයෙන් තිබුණු නීති රීති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනස් කළා. ඒ නිසා අද මාධ්‍යවේදීන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට අපහාස කිරීමේ අයිතිය තිබෙනවා.

එහෙනම් අපහාස කිරීමේ අයිතිය වැරදි විදියට භාවිත කරන ක්‍රියාවලිය මේ දූෂණ විරෝධී පනත මඟින් පාලනය වෙනවා. එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව අල්ලස, දූෂණය පිළිබඳව ගත හැකි ඉහළම තීන්දු තීරණ ගැනීමට එම පනත මඟන් ක්‍රියා කර තිබෙනවා. මෙය ආසියාවේ බලසම්පන්නම පනතක් කියන්නේ ඒ නිසයි.

මේ කෙටි කාලය ඇතුළත ජනාධිපතිතුමා වැදගත් තීන්දු ගණනාවක් අරගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට ගත් විට මාධ්‍යය සංවර්ධනය කරන්නත් නීති රීති ඉදිරිපත් කර තිබෙනවා. ඒ මඟින් මාධ්‍යය වැඩි දියුණු කරන්න, ලංකාවේ මාධ්‍යය ආසියාවේ පළවෙනි පන්තියේ මාධ්‍යයක් බවට පරිවර්තනය කිරීම බලාපොරොත්තු වෙනවා . එමෙන්ම ලෝකයේ දියුණු රටවල තිබෙන ශක්තිමත් මාධ්‍ය නීති රීති ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කර ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමයි.”යනුවෙන්ද වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදී.

 

වජිර වට මේස සාකච්ජාවක

මේ අතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් සුහද හමුවක් පසුගිය අඟහරුවාදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු ඩීව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, විජිත හේරත්, හරිනි අමරසූරිය, දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ඩග්ලස් දේවානන්ද වැනි දේශපාලන නායකයින් බොහෝ දෙනෙක් මේ සඳහා සහභාගීව සිටියහ.

වජිරත්, විජිතත්, හරිනි අමරසූරියත් අසුන් ගෙන සිටියේ එකම මේසයකය. මේ නිසා ඔවුන් තිදෙනා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළේය. ඔවුන්ගේ කතාබහ යන අතරතුරදී එම මේසයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, දයාසිරි ජයසේකරත් පැමිණයහ. ඉන් අනතුරුව ඔවුන් සියලුදෙනාම බොහෝ වේලාවක් සාකච්ඡා කරන්නට විය.

පැයකට ආසන්න කාලයක් මෙහි රැඳී සිටි වජිර අත්‍යවශ්‍ය වෙනත් කාරණයකට සහභාගීවීමට තිබුණි හෙයින් ඔවුන්ට සමුදී එතැනින් පිටව ගියේය.

 

ප්‍රසන්නට එක්ලක්ෂ තිස්දහසක අලාභයක්

ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයට පැමිණ ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහුට කණ්ණාඩි දෙක මතක් විය.

කණ්ණාඩි දෙක නොමැති නිසා ලේඛන කියවීමට අපහසු වූ ප්‍රසන්න රණවීර කල්පනා කළේ අවසන්වරට කණ්ණාඩි දෙක පැලඳගෙන සිටියේ කොහේදිද කියාය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකදී කණ්ණාඩි දාගෙන යම් ලේඛන වගයක් කියවු බව ප්‍රසන්නට මතක් විය. තම සගයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට යවා සොයා බැලුවක් කණ්ණාඩි දෙක හමු නොවීය.එම කණ්ණාඩි දෙක කොහේදි හරි අස්ථාන ගත වී ඇති බව සිතු ප්‍රසන්න තවත් කණ්ණාඩි දෙකක් ගත් අතර වැඩි දිනක් යාමට පෙර එයද අස්ථානගත වී ඇති බව ප්‍රසන්න දැනගත්තේ පාර්ලිමේන්තුවට පැමිණි විටය. “මචං මාර වැඩක්නේ. කණ්ණාඩි කුට්ටම් දෙකම නැති වුණා. දැන් ළඟ පේන්නෙත් නැහැ. දුර පේන්නෙත් නැහැ යනුවෙන් ප්‍රසන්න රණවීර කියපු කතාවට අසල සිටි මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම සිනහ වුහ.

“මචං ඔය කණ්ණාඩි කුට්ටම බෙල්ලේ එල්ලෙන්න දාගනිං” යනුවෙන් පැවසුවේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාය. “කලින් නැතිවුණේ හොඳ කණ්ණාඩි දෙක. ඒක රුපියල් එක්ලක්ෂ විසිපන්දාහයි. දෙවෙනි පාර ගත්තේ බාල එකක්. ඒක රුපියල් පන්දාහයි” යනුවෙන් ප්‍රසන්න රණවීර සිනහවෙමින් පැවසීය.

Comments