ජාතික සංහිඳියාව අර්ථවත් කරන 13ට දේශපාලන සංයුතියේ වැදගත්කම | සිළුමිණ

ජාතික සංහිඳියාව අර්ථවත් කරන 13ට දේශපාලන සංයුතියේ වැදගත්කම

"මම මගේ වගකීම ඉටු කළා.. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ වගකීම ඉටුකරන්න."

ඒ ජූලි 26 වනදා කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කියූ කතාවය. මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ දියත් කර තිබෙන, ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහාය.

මේ සම්බන්ධ විපක්ෂයේ ප්‍රතිචාරය ඊට පසුදිනම පළ කර තිබුණු අතර, එහිදී පෙන්නුම් කෙරුණේ ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දරන ප්‍රයත්නයේ සත්භාවය පිළිබඳ විපක්ෂයේ ඇතැම් කොටස් තුළ පැහැදිලි සැකසංකා ඇති බවය. ඔවුන් මෙය ජනාධිපතිගේ දේශපාලන ප්‍රයෝගයක් ලෙස අර්ථකථනය කර ඇත්තේ ද ඒ නිසාය. තමන්ගේ ස්ථාවරය විමසීමට පෙර ආණ්ඩුවේ ස්ථාවරය කිවයුතු බවට තර්ක කර ඇත්තේ ද ඒ නිසාය.

විපක්ෂයේ මේ සැකය මෙන්ම, ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දරන ප්‍රයත්නයට අදාළ ඔවුන්ගේ ස්ථාවරය ප්‍රසිද්ධ නොකිරීමට තවත් ප්‍රධාන කාරණයක් තිබේ. ඒ සංහිඳියා ප්‍රයත්නය සමඟ අත්හළ නොහැකි සහ, මඟ හැරිය නොහැකි ආකාරයට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද බද්ධව ඇති නිසාය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ , මෙතෙක් සිදුකර ඇති සංශෝධන අතරින් ශ්‍රී ලංකාවේ වරින් වර වැඩි ම කතාබහට ලක්වූ සහ ආන්දෝලනයට තුඩු දුන් සංශෝධනයය. එය අතිශෝක්තියක් නොවේය. එනිසා විපක්ෂය මෙය "අහක යන මරාලයක් තුරුළට ගැනීමක්" ලෙස සලකා කටයුතු කරන්නට තීරණය කළා වන්නට හැකිය.

නමුත් මෙහිදී අවධානය යොමු කළයුතු කරුණක් ඇත. එනම් මේ මොහොතේ කවුරු බලයට පත්වූව ද ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා අතර ජාතික ගැටලුව විසඳා ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම වෙනුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීන්දුව ගැනීමට සිදුවීම අනිවාර්යයක් වන බවය. එසේම ගෝලීය දේශපාලනය මෙරටට බලපවත්නා න්‍යාය පත්‍රයේ ද එය ප්‍රමුඛ කාරණයක් වන බවය. එනිසා මේ මොහොතේ අභියෝගය මඟහැර ගිය ද එය තාවකාලික සහනයක් පමණක්මය. අභියෝගය නැවත පැමිණෙන්නේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයක්ද සහිතවය. එය මෙරට ජාතික ගැටලුවේ ඉතිහාසය විසින් ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත.එනිසා මේ දේශපාලන සංයුතිය විසින් ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙනසක් නොමැතිව ඓතිහාසික තීන්දුව ගත යුතුව ඇත.

ජාතික සංහිඳියාව වෙනුවෙන් දැරෙන ප්‍රයත්නය මෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද තීන්දුවක් ගැනීමට වත්මන් මොහොතේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇති දේශපාලන සංයුතිය තරම් අවස්ථාවක් යළි හිමිවේද යන්න සැකසහිත බව කියන්නේ ආවට ගියාට නොවේය.

පළමුව වත්මන් ජනපති වෙත අවධානය යොමුකළහොත් ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ ජාතික ගැටලුව විසඳීමට අදාළ පැහැදිලි ස්ථාවරයක් දක්වා ඇත. බොහෝ දේශපාලන පක්ෂ සිය බල දේශපාලන වුවමනා මත අදහස් , ප්‍රතිපත්ති මෙන්ම වැඩපිළිවෙළ සංශෝධනය කළ නමුත්, ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්තිය වෙනස් කර නැත. ඒ වෙනුවෙන් මැතිවරණ දේශපාලනය තුළ කොතරම් වන්දියක් ගෙවීමට සිදුවූවත් ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීම අත්හැර දැමූයේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කිසිම අවස්ථාවක උතුර නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලුව ත්‍රස්තවාදය සමඟ සමපාත කරගත්තේ නැත. ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වෙනම පරාජය කළ යුතු නමුත් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය එයින් නොවිසඳෙන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය. අර්බුදයට ලක්ව සිටින්නේ මෙරට දේශසීමා තුළ සිටින, මේ බිමේම උපන් ජනකොටසක් බැවින් ඔවුන් සම්බන්ධව තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ, ඔවුන් මේ රටේම පුරවැසියන් ලෙස සලකමින් මිස , ඔවුන් දෙවන ගණයේ පුරවැසියන් ලෙස සලකා හෝ අත්හැර දැමෙන, කොන්කර දැමෙන ආකාරයට නොවන බව ද ජනාධිපතිවරයාගේ නොවෙනස් ස්ථාවරය විය.

මෙරට අට වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගැනීමෙන් පසුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ එම ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදුවූයේ නැත. එවක රට පැවතියේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ දරුණු ප්‍රචණ්ඩත්වයක් සහ කල්පවත්නා අරාජිකත්වයක් වෙත ඇදී යමින්ය. එබැවින් පළමුව රටේ නීතිය සහ සාමය ස්ථාවර කළ ජනාධිපතිවරයා ඒ සමඟ ඉන්ධන, ගෑස්, පොහොර, ආහාර , විදුලි කප්පාදුව ලෙස ජනතාව මුහුණදී සිටි මූලික දුෂ්කරතා අවම කිරීමට කඩිනම් පියවර ගත්තේය.

ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරමින් පවසා සිටියේ ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධ නමුත් බලය බෙදා දීමට එකඟ බවයි.එමෙන්ම රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බව මෙන්ම කිසි විටෙක සිංහල ජාතිය පාවා නොදෙන බවට සහතිකය ද රට හමුවේ තබමින් ය.

"දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාට එකඟ විය හැකි ආකාරයට පියවරෙන් පියවර අපි විසඳා ගනිමු. මීට පෙර අපි සියලු දෙනා එකඟ වූ ආකාරයට අපි මේ ප්‍රශ්නයේ හිර වෙන්නේ නැතිව ක්‍රියාත්මක වෙමු. අපි කිසිවෙක් පාවා දෙන්නෙත් නෑ. නැති වෙන්නෙත් නෑ. රට බෙදෙන්නෙත් නෑ. අද රට එකතු වෙලා තිබෙන්නේ." - ජනාධිපති රනිල් වික්‍රමසිංහ ( 2023 ජනවාරි 26 - සර්ව පාක්ෂික සමුළුව )

එහිදී ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන් සමඟ තමන් උතුරු නැගෙනහිර ගැටලු පිළිබඳ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා පැවසීය. ඒ සමඟ අවධානයට ලක්කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් මාස 6ක් තුළ ඉදිරිපත් කිරීමටත්, ඒ මත පදනම්ව ඉදිරියට ගොස් එළඹෙන නිදහස් උත්සවය වන විට තීරණාත්මක විසඳුමක් ලබාගැනීමට හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම ඉඩම් අයිතිය, පොලිස් බලතල ඇතුළු එහිදී දැක්වුණු කරුණු කාරණා පිළිබඳ පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවත් පෙබරවාරි 04 වනදාට පෙර ඒ සඳහා ඇතුළත් කිරීමට යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ඒ අනුව 2023 පෙබරවාරි 08 නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කළ අතර එහිදී ද ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමටත්, ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් බව විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

ආර්. සම්බන්දන් මන්ත්‍රීවරයා ද සමඟ තමන්ද 1977 දී පාර්ලිමේන්තුවට පත් වු ඉතිහාසය සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දෙදෙනාම පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීම දෙදෙනාගේම පොදු සිහිනයක් බවත් එහිදී පැවසීය. ඒ වෙනුවෙන් ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වුවත් මෙවර එය කෙසේ හෝ සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එසේම බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා , 1992 අංක 38 දරන බලය පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරුන්) පනත, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනත, යන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරන බවද සඳහන් කළේය.

මේ හරහා අවබෝධකර ගත යුතු වන්නේ ජාතික ගැටලුව විසඳා ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දරන ප්‍රයත්නය ප්‍රයෝගයක් හෝ වංක සිතින් ඉදිරිපත් කරනු ලැබුවක් නොවන බවය. විපක්ෂයේ ඇතැමුන් සඳහන් කරන ආකාරයේ ඔහුගේ සත්භාවය ගැන සැකයක් තිබුණ ද, මේ දිගින් දිගටම යෙදෙන ප්‍රයත්නය යහපත් අවසානයක් දක්වා කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව ඇති බවය.

ඒ බව යළිත් තහවුරු කරමින් 2023 ජනවාරි 26 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ පැවසූ ආකාරයටම 2023 ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුර - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් හමුවිය. එසේම ජනවාරි 26 සර්ව පාක්ෂික සමුළුවේ ලබාදුන් වචනය අකුරට ඉටුකරමින් ජාතික සංහිඳියාවක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ගේ සූදානම තහවුරු කෙරෙන වැඩසටහන ඇතුළත් ලේඛනයද එම හමුවට ඉදිරිපත් කෙරිණ.

2023 ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උතුර - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් සමඟ පැවති මේ හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවය. තමා උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදුකිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගයෙන් සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් සිදු කළ යුතු බවය.

පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් කියා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමූහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අවධාරණය කර සිටියේය.

කාගේ කාගේත් වගකීම මේ ඓතිහාසික මොහොතේ ඓතිහාසික යුතුකම ඉටුකරමින් මේ මල් වට්ටියට අත ගැසීම නොවේද? නැතිනම් මෙතරම් අවස්ථාවක් අත්හැරීම ගැන මෙන්ම, ඉතිහාසයේ සිදුවූ ශාපලත් වරදක් වූ ජාතික ගැටලුව දේශපාලන පාපන්දුවක් කර ගැනීමේ චෝදනාව මේ මොහොතේද එල්ල වීමෙන් ගැලවිල්ලක් නොලැබෙනු ඇත. දෙවියන්ගේ ශාපයෙන් ගැලවුණත් ඉතිහාසයේ ශාපයෙන් ගැළවීමක් නැත.

Comments