කළු කොඩි රැගෙන එන ඔවුහු දිගු රැවුල්, කොණ්ඩ වවා­ගත් අය වෙති | සිළුමිණ

කළු කොඩි රැගෙන එන ඔවුහු දිගු රැවුල්, කොණ්ඩ වවා­ගත් අය වෙති

“ඔබ ජීවිතයට කැමති මට්ටමෙන්ම, මරණයට කැමති අය මම රැගෙන එමි.” (මහමත් තුමාගේ අනුගාමිකයකු වු ඛාලිඩ් ඉබන් අල් වලිඩ්- හත්වන ශත වර්ෂයේ ඉස්ලාම් යුද නායකයෙක්.)

“ආලෝකයක් ආවේ විදුලි කෙටීමක් ලෙස ය; හෙණ හඬ ඒ සමඟ ය. සීලිම, බිත්ති, පොළොව දෙදරා, ඉරිතලා, කඩා හැලිණි. උඩ තට්ටුවල ඇඳන් මත සිටි අය සමඟ වීදුරු දොර කවුළු පිපිරී කඩා වැටින. හෙණ හඬ, නිහඬ බව සහ වැළපීම්”

“පිපිරී ගොස් ඇත්තෙ එක බෝම්බයක් පමණි. නමුත් එහි කැබලි නාට්‍ය ශාලාව පුරා සිටි අයවලුන් පසාරු කරගෙන ගියේ ගනකම් දැළි පිහිතල කැබලි වාගේය. යකඩ බෝල දහස් ගණන් සිැරු ද, බඩු භාණ්ඩ ද, වීදුරු ද හිල් කළේය.”

සර්කාවි යනු කවුරුද?

“බෝම්බය ක්‍රියාත්මක වූ වේලේ ඔහු ඉරාකයේ අල් ඛයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා විය. කෙසේ වුවත් ඔහු අතීතයේ පාසැලෙන් කට්ටි පැන්න, බේබදු හැකර රස්තියාදුකාර අහමඞ් ලෙස ජොර්දානවරු දැන සිටියහ. 1980 කාලයේ කොමියුනිස්ට්වරුන්ට විරුද්ධව සටන් කරන්නට ඇෆ්ගනිස්තානයට ගිය ඔහු ආගම සඳහා යුද්ධ කරන මනස සහිත පිස්සුවකින් ආපසු ආ බව ද ඔවුහු දැන සිටියහ.”

සර්කාවිගේ ඒ කාල වකවානුව මහත් අසහනකාරී කාල සමයක් මැද පෙරදිගට ගෙන ආවේය. ඇමරිකාව ඒ අසහනකාරී කාලයට මැදිහත් වී සිටි අතර ඒ මැදිහත්වීම කරණ කොටගෙන එතෙක් කවුරුත් එතරම් දැන නොසිටි සර්කාවී එක්වනම මහ මොළකරුවෙක් බවට පත් වූයේය. ඒ අනුව යමින් 2003 වර්ෂයේ දි ඇමරිකාව 2001 සැප්තැම්බර් 11 වැනිදා තමන්ට සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් සහ ඉරාකය අතර සම්බන්ධීකාරකයකු ලෙස සර්කාවිව නම් කිරීමත් සමග ඔහු තවදුරටත් ප්‍රසිද්ධියට පත් වුයේය. ඇමරිකානු හමුදා ඉරාකය ආක්‍රමණය කරන්නේ එවැනි පසුබිමක ය.

එසේ සිදු වූ ඇමරිකානු ආක්‍රමණය විසින් ඒ වන විට අලුතින් ආධාර ලබා සිටි, එතෙක් සටන් බිමක් නැතිව සිටි ත්‍රස්තවාදී නායකයාට සටන් බිමක් සමග දහස් ගණනක අනුගාමිකයන් ලබා දීමක් සිදු වුයේ යැයි පෙන්වා දී තිබේ. වසර 3 ක් පුරා සර්කාවි ඉරාකයේ ආගමික අන්තවාදී අරගල, ශියා මුස්ලිම්වරුන්ට විරුද්ධව කරමින් ඒ අයගේ පල්ලි, පාසැල් සහ වීදි වලට පහර දුන්නා, අමුතු ඉහළ මට්ටමේ ත්‍රස්තවාදයක් පැතිර වීය. පුද්ගලයන්ගේ හිස ගසා දැමීම් වීඩියෝගත කොට ලොව පුරා ප්‍රචාරය කළේය. ඊළඟට අසල්වැසි රාජ්‍යය වන ජෝර්දානයට අමානුෂික ලෙස පහර ගසා ඉරාකයේ ඇමරිකානු ආක්‍රමණයට ඉමහත් වියදමක් යන අයුරින් වැඩ සිද්ධ කළේය. ඒ අනුව වියට්නාම යුද්ධය සඳහා ඇමරිකාව දැරූ වියදමට පසුව මහත් වියදමක් දරන්නට මෙහිදී ඇමරිකාවට සිදු විය.

අරාබි කලාපයේ සිදුවන මේ ආගමික මූලධර්මවාදී ත්‍රස්ත ක්‍රියාකාරීත්වයට සමාජ දේශපාලන ඉතිහාසයක් තිබේ. ඒ අනුව යමින් විමසන විට ඔසාමා බින් ලාඩ්න්ට අවශ්‍ය වුයේ දූෂිත බටහිර බලපෑම් වලින් සමස්ත මුස්ලිම් ජාතියම ගලවා ගැනීමේ ඉලක්කයකි.

එසේ ගලවාගත් යම් දිනෙක ඉස්ලාමික දේව රාජ්‍යයක් හෙවත් කාලිෆ්වරයෙක් යටතේ එක්සත් වීම ඉනික්බිතිව සිදු වන්නකි. නමුත් සර්කාවි ඒ සම්බන්ධයෙන් සිටියේ අතිශයින්ම සීමාන්තික තැනක ය. ඒ අනුව තමන්ගේ කාලිෆ්වරය මේ දැන් බිහි කරමි යි ඔහු කීය.

මේ මහ පොළොව තමන් ද තමන්ට අසමාන නොවන දැඩි සිත් ඇති ජිහාඩ්වරු සමඟ අතිශය භීෂණයෙන් මුසපත් කළ සමාජයකට දෙවියන්ගේ රාජ්‍යය ගෙන එන්නට ඔහු කටයුතු කළේය. ඒ අනුව අල්කයිඩාවරුන් ද නොසිතූ ආකාරයෙන් මැද පෙරදිග කලාපය භීෂණයෙන් සසල කිරීමට මේ ජිහාඩ් කල්ලිය කටයුතු කළේය.

එහෙත් ඒ නිසාම සර්කාවි අපරාජිත භීෂකයකු බවට පත් නොවීය. විශේෂයෙන් ම මුලින් ම ප්‍රකාශ වූ හෝටල් බෝම්බය හේතු කොටගෙන ඔහු සම්බන්ධ රහස්‍ය තොරතුරු ඇමරිකාවටලබා දීමට ඔහුගේ විරුද්ධවාදීහු කටයුතු කළහ.

2006 වර්ෂයේ දී ඔහු ඇමරිකාවට කොටු වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එසේ කොටු වී අවසන් වූ ඔහුගේ පැවැත්මත් සමඟ ඉදින් ත්‍රස්තවාදය ද භීෂණය ද අවසන් වී යැයි සිතූ ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් නිවැරැදි නොවීය.

සිය නායකයාගේ කොටුවීම හමුවේ අනුගාමිකයන් පසු බැස්සා, ඒ ඇත්තය. නමුත් එසේ පසු බසිමින් සිරියාවේ අරාජික ප්‍රදේශවලට ගිය ඔවුහු 2013 දී හුදෙක් ත්‍රස්තයන් හැටියට නොව හමුදාවක් වශයෙන්ම පෙරට ආහ.

මේ වන විටඇමරිකාව සිටියේ යුද්ධයෙන් හෙම්බත් වෙලා ය. අයි එස් -අයි එස් (ඔවුන්ගේ බසින් එහි අරුත“දේශ” යන්නයි.) වාදීහ තම ප්‍රදේශ ක්ෂේම භූමි කර ගන්නවා පෙනි පෙනී අඩුම තරමින් තමන්ට හිතෛෂී ජෝර්දාන වැසියන් වෙනුවෙන් හුදෙක් ආධාර සපයන තැනකටවත් ගමන් කරන්නට ඇමරිකානු රජයේ සුදානමක් තිබුණෙ නැත.

සර්කාවි බිහි වූයේ මූලධර්මවාදී ආගමික පසුබිමකය යන්න පැහැදිලිය. එකී මුලධර්මවාදයේ ඉලක්කය වූයේ මැද පෙරදිග සිතියම අලුතින් සකස් කිරීමට ය.

එහිදී හදිත් යනුවෙන් හැඳින්වෙන මුස්ලිම් ධර්ම ග්‍රන්ථවල ඇතැම් කොටස්වලින් කියවෙන ඒ වූ ප්‍රකාශයන්හි සිය ඉරණම කෙටී ඇති ආකාරය ඔහු දුටුවේය. ඒ අනුව “නැගෙනහිර සිට කළු කොඩි එති. ඒවා රැගෙන එන්නේ බලවත් මිනිසුන් ය. ඔවුනට දිගු කෙස් සහ රැවුල් ඇත. ඔවුන්ගේ පෙළපත් නාම රැගෙන ඇත්තේ ඔවුන්ගේ මව් නගර වලිනි.

මේ ආකාරයේ ආගමික ග්‍රන්ථයන්හි එන කළු ඇඳගත් ඒ හේවායන් තමන් සහ තම අනුගාමිකයන් යැයි ඔහු සිතුවේය; එමෙන්ම පැවසුවේය.

“මේ ආක්‍රමණික ජයග්‍රාහීහු තම උරුම ඉඩම් අයිතියට ඉල්ලනවා පමණක් නොවේ. අවසාන ජල ගැල්මේදී, මේ වන විට උතුරු සිරියාවේ සිටින බටහිර මහා හමුදාවන් විනාශ කිරීමේ මූලිකයන් ද වනු ඇත.”

තවද “ගිනි පුපුරු ඉරාකයේ දී දැල්වීමු. එහි ගිනිදැල් සබික් හි කුරුස යුද්ධ වනු ඇත.”යි සර්කාවි දේශනා කළේය.

මේ අතර නිල චාරිකාවක් සඳහා ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඇමරිකාවට ගොස් සිටියේය.

සිරියාවේ සිට කෙළවරක් නැතිව ගලා එන සරණාගතයන්ගේ ප්‍රශ්නයත්, අරාබිය තුළ සිදු කෙරෙන ඒකාබද්ධ සටන් සඳහාත් ආධාර ලබා ගැනීම ඔහුගේ ඒ නිල චාරිකාවේ අරමුණ විය. එහෙත් ඇමරිකාව සිටියේ තවදුරටත් මේ අර්බුදයට මැදිහත් නොවන ස්ථාවරයකය. ඇමරිකානු සෙනෙට් සභාවේ හමුදා සේවා කමිටුවේ සභාපති මැක් කේන්, අපට ඔබතුමාට කරන්න පුළුවන් උදව් මොනවාදැයි රජුගෙන් ඇසීය.

එහෙත් ඒ ප්‍රශ්නයේ නිශ්ඵල බව හඳුණාගත් රජු ඔහුට දුන් පිළිතුර වූයේ, ඔබේ පැත්තෙන් මට උදව් දෙන්නේ නැහැ යන්නය. ඔහුගේ ඒ ස්වරය තුළ වූයේ වේදනාකාරී බවකි. ඒ අන්දමේ අසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් පසු විනාඩි පහළොවක හමුවීමක් වෙනුවෙන් ජනාධිපති බැරැක් ඔබාමා කළ ආරාධනය ද අබ්දුල්ලා රජු පිළිගත්තේය. එම සාකච්ඡාව ද ශෝකය පළ කිරීමකට වඩා දෙයක් නොවීය.

මේ වනාහි “බ්ලැක් ෆ්ලෑග්ස්- ද රයිස් ඔෆ් අයි එස් අයි එස්” නමින් ජොබී වොරික් විසින් ලියන ලද පුලිට්සර් සම්මානයෙන් ද පුද ලද කෘතියේ සිංහල පරිවර්තනය හඳුන්වාදීමට ලියූ සටහනකි.

ප්‍රවීණ පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන විසින් අර කී බැරෑරුම් කෘතිය ප්‍රවේශමින් සිංහලට නැඟීමට ගත් උත්සාහයම පමණක් වුව ප්‍රශංසා කටයුතු වේ. ඔහු එය නම් කරන්නේ “කළු කොඩි- අයි එස් අයි එස් -ඇරඹුම සහ ව්‍යාප්තිය”යනුවෙනි. කෙසේ වුව ඔබ මේ කෘතිය කියවිය යුත්තේ හුදෙක් ත්‍රාස ජනක කතා රසයක් ආඝ්‍රාණය කිරීමේ අරමුණින් නම් නොවේ. ලෝක දේශපාලනයේ අපට අනාවරණය නොවන සියුම් සහ පුළුල් හැසිරීම් පිළිබඳ මනා වැටහීමක් මෙමගින් ලැබිය හැකි නිසාය.

 

Comments