බැංකු සහන පැකේජය ඇදවැටුණු ව්‍යාපාරවලට යෝධ සවියක් | Page 2 | සිළුමිණ

බැංකු සහන පැකේජය ඇදවැටුණු ව්‍යාපාරවලට යෝධ සවියක්

සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

- වසරක් යන තුරු ණය පොලිය පමණක් ගෙවීමට ඉඩ-කඩ 
- ණය තිබුණත් යළිත් මිලියන 300 දක්වා ණය ගැනීමට අවස්ථාව 
- වසා දමා ඇති ව්‍යාපාර යළි ඇරඹීමට සහන රැසක්

ය තොරතුරු කාර්යාංශය යනු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පීඩාවට පත් කරන බිල්ලකු නොවේ. ජනපති, අගමැති ප්‍රමුඛ රජය දුන් බැංකු සහන පැකේජය බිඳවැටුණු ව්‍යාපාර යළි බලගැන්වීමට යෝධ ශක්තියකි. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරිකයන්ට නව ව්‍යවසායයන් ගොඩනැඟීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට නව රජයේ ආර්ථික වැඩපිළිවෙළේ අරමුණයි. බිඳවැටීමකට ලක්ව ඇති කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ව්‍යාපාරික අංශවල ප්‍රබෝධයක් ඇතිකොට නව නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමට රජය දෙන මූල්‍ය හා බදු සහන ඉවහල් වී තිබේ.

වසර 2019 නොවැම්බර් 16 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් නායකත්වයෙන් යුත් නව රජය ජනතාවට, ව්‍යාපාරිකයන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට, විදේශ රැකියාවල නිරතව සිටින පුරවැසියන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බදු සහන සහ බැංකු හා මූල්‍ය ආයතනවලින් දැරිය හැකි ආකාරයට සේවා ලබාගැනීමට සහන ලබා දුන්නේය. ඒ යටතේ පළමුව 2019 දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බදු සහන ලබා දුනි. එහි දිගුවක් ලෙස මේ ව‍සරේ ජනවාරි 01 වැනිදා සිට තවත් සහන සැලසීම සිදු කෙරිණි. ඊට අමතරව පසුගිය රජය සමයේ බිඳවැටීමකට ලක් වූ කර්මාන්ත හා ව්‍යාපාර නැවත නැංවීම සඳහා රජය බැංකු හා මූල්‍ය ආයතනවලින් ක්‍රියාත්මක කළ යුතු සහන ගණනාවක් යෝජනා කරන ලදී. ඒ යෝජනා බලාත්මක කිරීම පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවඑ විසින් බැංකු පද්ධතියට උපදෙස් දෙමින් සිදු කළේය.

බදු ඉහළ නංවමින් රජය වෙත මුදල් රැස් කරගැනීම වෙනුවට බදු සහන සලසමින් ජනතාව අතර මුදල් සංසරණය වීමට අවස්ථාව උදා කරලීමත්, ජනතාවට ව්‍යවසායකත්ව සඳහා පිවිසීමට මංපෙත් විවර කරලීමත්, රජයේ මේ බදු සහ බැංකු සහන දීමේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව දැනට ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා දත්තවලට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට යළිත් ණය මුදලක් ලබාගැනීමට ඉඩකඩ සැලසේ. ඊට අමතරව බිඳවැටී ඇති ව්‍යාපාරය නැවත පණගැන්වීම සඳහා රු. මිලියන 300කට නොඅඩු අලුත් ණය මුදලක් ලබාගැනීමේ අවස්ථාව ව්‍යාපාරිකයන්ට ලබා දී තිබේ. මෙහිදී දැනට ගෙන ඇති ණය මුදලට අදාළ වාරිකය හා පොලී මුදල ගෙවීම වෙනුවට වසරක් යන තුරු පොලී මුදල පමණක් ගෙවීමටද පහසුකම් සපයා ඇත.

ඊට අමතරව මහ බැංකුව විසින් බැංකු පද්ධතිය වෙත දුන් නියෝගයන්ට අනුව අක්‍රීය ඝනයේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ ණය අය කරගැනීම සඳහා කරනු ලබන සියලු නෛතික කටයුතු අත්හිටුවීම සිදු කරනු ඇත. ඒ යටතේ බැංකු විසින් දී ඇති ණය වෙනුවෙන් තබා ඇති සුරැකුම්වන දේපළ හා උපකරණ වෙන්දේසි කිරීමද අත්හිටුවනු ලැබේ.

යෝජිත ණය සහන පැකේජය මඟින් වසා දමා ඇති ව්‍යවසායන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටත්, දැඩි මූල්‍ය දුෂ්කරතා සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමටත් සහන සලසා දෙන

වැඩපිළිවෙළ සම්පාදනය කළ බවය. ඒ යටතේ ණය ගැනුම්කරුවකු විසින් ලිඛිතව බැංකු ආයතන වෙත කරන ලබන ඉල්ලීම පදනම් කොට බැංකුව විසින් දී ඇති කාලීන ණයවල මුල් මුදල ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දේ. ණය ආපසු ගෙවීම කල් දැමීමේ වසරක කාලපරිච්ඡේදයේදී කිසිදු දඩ පොලියක් නොමැතිව ගිවිසුම්ගත පොලිය පමණක් ගෙවාදැමීමට ව්‍යවසායකයන්ට සහන සලසා ඇත.

මේ අන්දමට තමන්ට විශ්වසනීය ලෙස ව්‍යාපාර සැලැස්මක් ගනුදෙනුකරුවකු ඉදිරිපත් කරන්නේ නම් බලපත්‍රලාභී බැංකුව විසින් රු. මිලියන 300 නොඉක්මවන නව ණය පහසුකමක් සහන කොන්දේසි යටතේ ලබාදීමටද කටයුතු කරනු ඇත. මේ කොන්දේසි අතර ව්‍යාපාර කටයතු පුළුල් කිරීම සඳහා වසර පහකින් ආපසු ගෙවී යන පරිදි සාමාන්‍ය බර තැබූ ප්‍රමුඛ ණය පොලී අනුපාතයට සමාන පොලී අනුපාතයකට ණය පහසුකම් සැලසීම සිදු කෙරේ. එවැනි ණය මුදල් ආපසු ගෙවීමේදී වසරක සහන කාලයක් ලබාදීමටද නියමිතය.

මේ වසරේ මාර්තු 31 වනදා දක්වා කාලය තුළදී කල්පිරීම, සමාලෝචනයට පැමිණීම සහ පියවිය යුතු වීම යන කරුණු මත අය විය යුතු නිත්‍ය අයිරා පහසුකම් මේ වසරේ ජූනි 30 දක්වා දීර්ඝ කර ඇත.

එමෙන්ම මේ වසරේ මාර්තු 31 වන දින දක්වා කාල සීමාව තුළදී කල්පිරීම, සමාලෝචනයට පැමිණීම, පියවිය යුතු වීම යන කරුණු මත අය විය යුතු ලෙස සැලකෙන ආනයන මූල්‍ය පහසුකම් දින 30කින් දීර්ඝ කරනු ඇත.

ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන එකඟ වූ පරිදි ගෙවීමට නොහැකි වූ නිසා අක්‍රිය තත්ත්වයේ පවතින ණය සඳහාද සහන පිරිනමනු ඇත. ඒවා අතර ගනුදෙනුකරුවකු ගෙන ඇති ණය මුදලින් 50%ක් හෝ ඊට වැඩිමුදලක් ගෙවා ඇත් නම් සමුච්චිත පොලියෙන් 50%ක් රඳවාගන්නා අතර, ණය ගැනුම්කරු විසින් ඉතිරි ණය මුදල හා පොලිය ගෙවීමෙන් පසු ඒ රඳවා තැබූ මුදල නැවත ගෙවනු ලැබේ. ණය ගැනුම්කරු විසින් මූලික ණය මුදලින් 50%ට අඩු මුදලක් ගෙවා ඇත් නම් සමුච්චිත පොලියෙන් 25%ක් රඳවා තබාගන්නා අතර ණය ගැනුම්කරු විසින් ඉතිරි මූලික ණය මුදල හා පොලිය ගෙවීමෙන් පසු ඒ රඳවා තැබූ මුදල නැවත ගෙවනු ලැබේ.

ණය ගෙවීමට නොහැකි වීම නිසා කඩාවැටී ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා පහත කොන්දේසිවලට යටත්ව අලුතින් කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබාදීම.

මාස 03ක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව උපරිම මාස 06 කින් ගෙවීම සඳහා ලබාදීම. ඒ සඳහා මාස 03ක ණය පමා සහන කාලයක් (Grace period) ලබා දීම. මේ ණය මුදලේ පොලී අනුපාතය, පවත්නා ප්‍රතිවිකුණුම් අනුපාතයෙන් 2%ට වඩා වැඩි නොවිය යුතුය. මේ කාරක ප්‍රාග්ධන ණය මුදල සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ප්‍රති-ඇපකරයක් ලබා දීම. ඒ සඳහා 1% වාර්ෂික දායක මුදලක් අදාළ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් වනුයේ ඍජු බදු හා වක්‍ර බදු අතර පවතින ඉහළ ප්‍රතිශතාත්මක ගෙවීම් වේ. 20% - 80% පවතින මේ පරතරයන් 40% - 60% දක්වා අඩු කිරීම රජයේ උත්සාහයයි. ඒ අනුව මෙරට බදු ක්‍රමයෙ සරල කොට, ජනතාවට සහන සැලසීමට රජය යෝජනාකොට ඇත. මෙහිදී බදු ඇතැම් බදු අහෝසි කිරීම, බදු ප්‍රතිශත අඩු කිරීමෙන් මෙතෙක් බදු ගෙවූ පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සම්පූර්ණ කර එවිය යුතු තොරතුරු සහිත ලිපි ප්‍රමාණය අඩු වී ඇත. කාර්තු වශයෙන් ගෙවිය යුතු මුදල් අඩු වී ඇත. ඒ නිසා ඔවුන් මෙතෙක් තමන්ගේ බදු ලිපිගොනු පරිපාලනය සඳහා වියදම් කළ මුදල් අඩු වී ඇත. බදු ‍වශයෙන් ගෙවූ මුදල් රජයට නොගෙවා සිටීම නිසා ඔවුන්ට තමන්ගේ ආදායම් එක් අතකින් වැඩි වී ඇත. මේ වැඩි වූ ආදායම නව ආයෝජනයක් ලෙස සිදු කිරීමට හෝ පරිභෝජනය කිරීම සඳහා භාණ්ඩ මිල දී ගැනීමට හෝ ඉතුරුමක් ලෙස පවත්වා‍ගැනීමට මඟපෑදේ.

මේ සෑම කාර්යයක් සිදු වීමෙන්ම රජය බලාපොරොත්තු වනුයේ අඩපණව ඇති ආර්ථිකය යළි ශක්තිමත්ව පුබුදුවාලීමකි.

රජය ප්‍රකාශයට පත් කළ ආදායම් බදු වෙනස් වීම් යටතේ තනි පුද්ගලයන් හා සමාගම්වලට පමණක් නොව සමස්ත ජනතාවටම සහන ලැබෙන පරිදි බදු සහන ගණනාවක් සපයා දී ඇත. ඒ යටතේ බදු වර්ග ගණනාවක් මුළුමනින්ම අහෝසි කර ඇත.

ඒ අතර ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු බද්ද, රඳවාගැනීමේ බද්ද, උපයන විට ගෙවීමේ බද්ද මූලික වේ. මීට අමතරව වක්‍ර ලෙස ජනතාවගෙන් අය කළ බදු ආදායම් අඩු වීමට මුල් වන බදු යෝජනා ගණනාවක්ද රජය ක්‍රියාවට නංවා ඇත. මේ බදු යෝජනා ක්‍රියාත්මක වීම වසර 2019 දෙසැම්බර් මස 01 වැනිදා සිටත්, වසර 2020 ජනවාරි 01 වැනිදා සිටත් මේ වස‍රේම අප්‍රේල් 01 වැනිදා සිටත් ක්‍රියාත්මක වනු ඇත.

2%ක් වූ ජාතිය ගොඩනැඟීමේ බද්ද 2019 දෙසැම්බර් 01 වැනිදා සිට අහෝසි කරන ලදී. ආර්ථික සේවා ගාස්තුව 2020 ජනවාරි 01 වැනිදා සිට අහෝසි කරන ලදී.

එකතු කළ අගය මත බද්ද 2019 දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 15% සිට 8% දක්වා අඩුකරන ලදී. එකතු කළ අගය මත බද්ද අයකිරීමට ලියාපදිංචි විය යුතු පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 75 හෝ වසරකට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරන ලදී. මෙය පැවතියේ වසරකට රුපියල් මිලියන 12 ක සීමාවේය. මෙලෙස බදු නිදහස් සීමාව රු. 300 දක්වා වැඩි කිරීමෙන් පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ලැබිය යුතුය.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තොරතුරු තාක්ෂණය හා සඵල සේවා ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. ශ්‍රී ලංකාවෙන් පිටත තැනැත්තන් වෙත සපයනු ලබන සේවාවන්ගෙන් ලැබෙන ලාභ සහ ආදායම් එවැනි සේවාවන් සඳහා ගෙවීම් විදේශ ව්‍යවහාර මුදලින් බැංකුවක් හරහා ලැබෙන්නේ නම් එය ආදායම් බද්දෙන් නිදහස් වනු ඇත.

2020 ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඕනෑම පුද්ගලයෙකුට මසකට ගෙවනු ලබන පොලී ආදායම රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට රඳවාගැනීමේ බද්දෙන් නිදහස් වේ. එමෙන්ම මෙරට වෙසෙන පුද්ගලයන් ගෙවනු ලබන නිශ්චිත ගාස්තු මත රඳවා ගැනීමේ බද්දද ඉවත් කොට ඇත.

මේ වසරේ (2020) අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ද ජනතාවට බදු සහන සලසා ඇත. කෘෂිකර්මාන්තය, මත්ස්‍ය හා පසුසම්පත් කර්මාන්තයට ලැබෙන සහන ඒ යටතේ ක්‍රියාත්මක වේ. විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට මුදල් එවීමේදී භාවිතයට ගන්නා NRFC සහ RFC ගිණුම් සඳහා ලැබෙන පොලිය මත බදු අය කරන්නේ නැත.

වසර 2015 – 2019 කාලසීමාවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා බිඳවැටුණු විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාරිකයින් යළි නගාසිටුවීම සඳහා ලබාදුන් බදු සහන පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Comments