ඒ සොඳුරු ගුරු තරුව බැස ගියේය | සිළුමිණ

ඒ සොඳුරු ගුරු තරුව බැස ගියේය

වින්ද­නී­යයි යුගෙන් යුග­යට ඔබ නෙළා දුන් පල­වැල...
 

දැයත් හෙළ දිව­යි­නත් නව­යු­ග­ය­කට පිබි­දුණු පෙර­ළියේ
සියත් පිය­වරු ලකුණු තබ­මින් කලා ලොව තුළ දුර ගියේ
වියත් හමුවේ, රිදී තිරයේ, පුංචි තිරයේ කර­ළියේ
රැයත් උද­යත් එළිය කරවු ගුරු තරුව දැය හැර ගියේ

උපන් හැකි­යා­ව­කින් ඔප වී පැටි ­වියේ සිට මොන­වට
සප­න්කම් පා කලා­වට කෙළි බිමට බස සාහි­ත­යට
නිපන් නෙක කුස­ලතා පෙන්වා වරම් ලැබ සර­ස­වි­යට
කප­න්නට හැකි නිල් මිණක් විය තව තවත් හැඩ­වැඩ කොට

‘සරා සඳ’ ළඟ එළිය විඳ විඳ සුහුරු වී නළු සත­රට
උරා කව්නළු රසය එක් වී වියත් නළු ගණ අත­රට
අරා කර­ළිය දෙමින් නව පණ තමන් නිම ­වන චරි­තෙට
විරා­ජිත වු කලා­පිරි සඳ බැස ගියේ කිම අව­රට

අන්ධ­කා­රය කපා හරි­මින් කලා ලොව කල­එළි කළ
වින්ද­නී­යයි යුගෙන් යුග­යට ඔබ නෙළා දුන් පල­වැල
සුන්ද­රයි කළ රැඟුම ගැයුම ද ඉතා මැනැ­වින් සුල­කල
අන්ද­රේ­ලත් සොක්‍ර­ටී­සුත් එකට විසුවා ඔබ­ තුළ

දිනා ‘සූරිය අරණ’ තුළ නෙක ගැහැට සිහි කළ පැරණි යති­වරු
මනා පැව­තුම් කියා දුන් දරු­වනේ‘හි පා සැබෑ ගුරු­වරු
තනා දරු­වන් ‘ප්‍රවේ­ගය’ තුළ මවා දහ­දුක් දැරූ පිය­වරු
සිනා ගන්වයි සීනෙ­නුත් ‘හෝ ගාන පොකුණේ’ සිටිය රිය­දුරු

මහා­චාර්ය
දර්ශන රත්නා­යක

මෙරටට නිදහස ලැබී හරියටම මාස හතරකුත් දින අටකුත් ගෙවුණු තැන නුවර එළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් ඈත ගමක අපූරු සිඟිත්තකු මෙලොව එළිය දුටුවේය. හේ නමින් ‘කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ නම් විය. මේ කුඩා දරුවා දිනක කලා ලෝකයම බබළවන මිණි පහනක් වේ යැයි මනතුංග බණ්ඩාර හෝ ලීලා කුමාරි සිහිනයකින්වත් නොසිතුවේය.

මේ කුඩා බිලිඳා හැදී වැඩී පාසල් වියට එළැඹ දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාසලෙන් මුලකුරු කියැවූ අතර, හෙතෙම ශිෂ්‍යත්ව විභාගය සමත්ව පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. පාසල් නේවාසිකාගාරයේ නවාතැන් ගන්නා මනෝරත්න පාසලේ විවිධ ප්‍රසංග හා සාහිත්‍ය කලා කටයුතුවලට මහත් උනන්දුවක් දැක්වීය. ඉගෙනීමෙන් කලාවෙන් පමණක් නොව මලල ක්‍රීඩා අංශයෙන් ද දස්කම් දැක්වූ මනෝරත්න එක් වරක් වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත් විය. එකල සමවයස් මිතුරු කැල හා එක්ව ගමේ පෙන් වූ කොහොඹායක්කංකාරිය, සොකරි, සඳ කිඳුරු නාඩගම ආදී නෘත්‍යාංග බැලීමට ඔහු මහත් උනන්දුවක් දැක්වීය. මේ නාට්‍ය නරඹා එයින් ලද ආහ්ලාදය හෙතෙම වින්දනය කළේ ඒවා නැවත අනුකරණයෙන් දැක්වීමෙනි.

මනෝරත්න වේදිකාවට අත්පොත් තබන්නේ පාසල් වේදිකාවෙනි. ඒ පාසලේ නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්‍රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුං’ නම් පාසල් වේදිකා නාට්‍යයෙහි රඟපෑමෙනි. මෙම නාට්‍ය පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය දිනාගත්තේය. නාට්‍යයේ කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් කුසලතා සහතිකයක් ද ඔහුට හිමි විය.

පාසල් අධ්‍යාපනය අවසන මනෝරත්නයන් 1966 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එවකට පේරාදෙණියේ රඟදැක්වූ සෑම නාට්‍ය නිර්මාණයක් හෙතෙම අත් නොහැර නැරඹීය. රංගනයට ඔහු තුළ වූ නොතිත් ආශාව දලුලා වැඩෙමින් තිබිණ. ඔහුගේ සරසවි ජීවිතයේ සමීපතම මිතුරා වූයේ නිශ්ශංක දිද්දෙණිය යි. මේ දෙදෙනා මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇසුරට පත් වීමත් සමඟ සිය ඉරණම් ගමන ඉන් තීන්දු වීමට ඉඩහැරියහ. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’(1967) හා ‘මනමේ’(1969) නාට්‍ය ද්විත්වයේ සුළු චරිත නිරූපණය කරන්නට මේ අතර මනෝරත්නට අවස්ථාව උදා විය. හෙතෙම දෙවන වසරේ ශිෂ්‍යයකුව සිටියදී සරච්චන්ද්‍රයන්ගේ ගීතමය නාට්‍යක් වූ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් සොයන බව දැන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් විය. ඔහු තුළ වූ සුවිශේෂ ගායන හැකියාව හා රංගන හැකියාව නිසා එහි ප්‍රධාන චරිතය වූ උද්දාල බමුණාගේ චරිතයට තෝරාගත්තේය. ඉතිහාසය, භූගෝල විද්‍යාව හා සිංහල විෂයන් හදාරමින් සිටි මනෝරත්නයන් 1969 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගනිමින් විශ්වවිද්‍යාල ජීවිතයට ආයුබෝවන් කීවේය. එහෙත් ගුරුගෝල ඇසුර නිම නොවීය. මහැදුරු සරච්චන්ද්‍රයන් ගේ ‘මහාසාර’ (1973), ‘වෙස්සන්තර’ (1980), ‘කදාවළලූ’, ‘එලොව ගිහින් මෙලොව ආවා’ (1982) ආදී නාට්‍යය කිහිපයකම ප්‍රධාන චරිතය රඟපෑමට මනෝරතන භාග්‍යවන්ත විය.

හෙතෙම මේ අතරතුර හඟුරන්කෙත පිරිවෙනක කෙටි කලක් ගුරුවරයෙකු ලෙස සේවය කළේය. අනතුරුව රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළිය කච්චේරියේ සේවයට ගොස් සිටියදී ඔහුගේ සරසවි මිතුරා වූ නිශ්ශංක දිද්දෙණිය මුණ ගැසුණි. ඒ වන විට ඔහු සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටියේ ය. මේ අතරතුර මහාචාර්ය සරච්චන්ද්‍රගේ පූර්ණ අවසරය මත ‘රත්තරන්’ සහ ‘එලොව ගිහිං මෙලොව ආවා’ යන නාට්‍ය පුනර්නිෂ්පාදනය කිරීමට මනෝට අවස්ථාව ලැබිණි. මනෝරත්නගේ හැකියා හොඳින් දැන සිටි නිශ්ශංක දිද්දෙණිය රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට එන්නැයි පොලඹවන්නේ මේ සමයේය. මේ මිතු දමේ මහිමයෙන් කොළඹ පැමිණි හෙතෙම හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය වැඩමුළුවලටත් චිත්‍රසේන කලායතනයටත් සම්බන්ධ විය. මනෝ කොළඹට පැමිණ මුලින්ම රඟපෑවේ හෙන්රි ජයසේනගේ ‘මකරා’ නාට්‍යයේ ය.

මේ ආගමනයත් සමඟ මෙරට තාත්වික නාට්‍යකලාවේ පීතෘවරයා වූ සුගතපාල සිල්වා ගේ ‘දුන්න දුණුගමුවේ’ (1974) බෑගසෙන ලෙසත් ‘සත සහ සත’ නාට්‍යයේ මන්ත්‍රී රංගපෑමේ වරම ඔහුට හිමි විය. පසුව දයානන්ද ගුණවර්ධනගේ ‘මදුරජවනිකා’(1983), ගුණසේන ගලප්පත්ති ගේ ‘මහහෙනේ රීරි යකා’, සුනන්ද මහේන්ද්‍ර ගේ ‘සොක්‍රටීස්’, කේ.බී හේරත්ගේ ‘මයාදේවි’, විජිත ගුණරත්නගේ ‘සුබසාධක’, ලූෂන් බුලත් සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’, සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’, රංජිත් ධර්මකීර්තිගේ ‘මෝදර මෝල’... වැනි වේදිකා නාට්‍යවලට දායක වෙමින් ප්‍රවීණයන්ගේ ඇසුරට පත් විය.

මේ දීර්ඝකාලීන නිර්මාණ චාරිකාවෙන් පෙර අපර දෙදිග නාට්‍ය කලාවේ මහා දැනුම් සම්භාරයක් අත්පත් කරගන්නා හෙතෙම 1980 දී ‘මහගිරිදඹ’ නාට්‍ය රචනා කරමින් නාට්‍යකරණයට අත්පොත් තබන්නේ ය. ‘මහගිරිඳඹ’ නිමැවීමෙන් අනතුරුව ඔහු සිය දෙවෙනි නාට්‍ය ලෙස රුසියානු නාට්‍යකරුවකු වූ ඇලැක්සැන්ඩර් චැම්පිංලායිගේ කෘතියක් වූ ‘ද එල්ඩර් සන්’ ප්‍රසන්න විතානගේ ලවා පරිවර්තනය කර ගෙන 1985 දී ‘පුත්‍ර සමාගම’ නමින් කරළියට රැගෙන ආවේය. මධ්‍යම පාන්තික පවුලේ ඛේදවාචකය ඉන් මොනවට නිරූපණය කෙරිණ. අනතුරුව කපිල කුමාර කාලිංග ගේ ‘රයිනෝසිරස්’(1986), අජිත් ජිනදාසගේ ‘යාත්‍රා’(1987), නැවතත් කපිල කුමාර කාලිංග ගේ ‘නෙළුම් පොකුණේ දී’(1988) මෙරට ගිනිගනිමින් දැවෙද්දී මරණ වරෙන්තුව අතේ තබා ගනිමින් හේ රංගනයේ තත්පර විය.

භීෂණයෙන් රට වෙළාගෙන තිබිණ. එහෙත් මනෝරත්න නාට්‍යකලාව වෙනුවෙන් තත්ත්පරව සිවියේය. හෙතෙම ‘තලමල පිපිලා’ කරළියට රැගෙන එන්නේ මේ සමයේ ය.

මේ මැදිහත් වීම පිළිබඳ ව 70 දශකයේ කලා සංස්කෘතික විප්ලවයේ කසකරුවා වූ ධර්මසේන පතිරාජයන් මෙසේ ලිවීය “මෙරට වැඩවසම් සමාජ සංවිධනය මුලික වශයෙන් ම රාජකාරී ක්‍රමය මත පදනම්ව තිබූ බව එම සමාජ ක්‍රමයෙන් ශේෂ ව තවමත් පවතින නටබුන් පිරික්සීමේ දී පෙනී යයි. කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරී ක්‍රමය විසින් රජුට හෝ පන්සලට හෝ කරන විවිධ රාජකාරී වෙනුවෙන් වැසියනට ඉඩම් භුක්තිය පවරනු ලැබී ය. රජ වාසලට සහල් සපයන්න වුන් මෙන් ම දළදා මාලිගාවේ පන්තේරුකාරයන්ට ද, නළා පිඹින්නන්ට ද එක සේ ගම් බිම් බෙදා, මෙහෙවර ගැනීම එම ක්‍රමයේ සිරිතක් ව පැවතිණ. මෙසේ හෙයින් නැටුම් ගැයුම් වැයුම් වැනි කලාවන් පුහුණු කළ ගෝත්‍ර හා ශ්‍රේණිවල වූවන්ට ඒ කලා නිර්මාණ කාර්යය සඳහා යෙදිය හැකි වූයේ කුඹුරු සී සා අස්වැද්දීමෙන් හා අස්වනු කැපීමෙන් ඉතිරි වූ කාලය පමණි. කලාව රාජකාරියක් වීමත්, එකී කලාකරුවන් තුළ අවශ්‍යයෙන් ම ඇතිවිය යුතු විශේෂඥතාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවේකය නො ලැබීමත්, එම කලාවන්ගෙන් අපේක්ෂිත කාර්ය ව්‍යාජ වෘත්තිය පදනමකින් කොටු කිරීමත් නිසා මේ කලාකරුවෝ ආකෘතිය සමතික්‍රමණය කෙරෙන අන්තර්ගතය විනිවිද යා නො හැකි රූකඩ රැසක් මෙන් යුත් සංදර්ශකයන් පිරිසක් බවට පත් වූහ. රාජ්‍ය මහා මාත්‍යාදීන් පමහණක් නො ව යතිවරයන් ද අයත් වූ ප්‍රභූ පන්තියේ රසාස්වාදනය පමණක් පිණිස බිහි වූ මෙම කලාව, ස්වකීය පන්තියට ම කලාව අහිමි කර වූ කලා ව්‍යාපාරයක් වූයේ ය. ජයලත් මනෝරත්න ගේ ‘තලමල පිපිලා’ නාට්‍ය අපට හඬ නඟා කියනුයේ මේ විපත්තිය නොවේද? ”

 

භීෂණයේ නිවී නොගිය ගිනි පුපුරු දැල්වෙමින් තිබියදී මනෝ; ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඔත්තුකාරයා’ සමඟ ඉතාලිය බලා ගමන් කළේය. 1993 ජූනි මස පෙරළා පැමිණෙන විට ඇතුලත්මුදලි හා ජනාධිපති ප්‍රේමදාස ජීවතුන් අතර නොසිටියහ. ප්‍රේමදාස ගේ මරණයත් සමඟ සිදු වූ දෑ දෙස අවධානයෙන් බලා සිටි මනෝ 1993 දෙසැම්බර් 21 වෙනිදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී ‘අන්දරේලා’ නම් අපුරු දේශපාලන ප්‍රහසනය ජනගත කළේය. එහි එක තැනක රජතුමා අන්දරේ වැලඳ ගනිමින් මෙසේ කියයි “ අන්දරේ, උඹ මට කවටයෙක් නෙවි. උඹ මට රජෙක්.” ඊට පිළිතුරු බඳින අන්දරේ “රජතුමනි ඔබ වහන්සේ මට රජෙක් නෙවි. ඔබවහන්සේ මට කවටයෙක්”

ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පසුව නව දේශපාලන මොහොතක් පිළිබඳව සැවෙම තත්ත්පරව සිටියේය. ඒත් එකි මොහොත ‘වෙළෙඳ ආර්ථිකයට මානුෂිය මුහුණුවරක්’, ‘සාම සාකච්ඡා’ වැනි වගාලංකාරවලින් ඇස් නිලංකාර කර ඔරලෝසුවේ කට්ට ඉස්සරහට කැරකී ගියේය. සාහිත්‍ය කලා සංස්කෘතිය අවරසිකත්වයෙන්ද පිරිහෙමින් තිබිණ. මේ දෙස උකටලීව බලා නොසිටි මනෝරත්නයෝ ‘ගුරුතරුව’ කරළියට නැඟීය. එය ඇත්තෙන්ම සෞන්දර්යයෙන් අනූන භාව කාව්‍යයකි.

1996 වන විට සහස්‍රය දොරකඩට එමින් තිබිණ. පරිගණක අධ්‍යාපනය පාසල්වලට ලබාදෙන බවට පවසමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ජයතිලක කමිටු වාර්තා නිදහස් අධ්‍යාපනයට කණකොකා හඬන්නට ඔන්න මෙන්න කියා තිබියදී ජවිපෙ ශිෂ්‍යව්‍යාපාර ඊට එරෙහිව ඉදිරියට ආවේය. අධ්‍යාපනය වැටී ඇති මේ ඛේදවාචකය ‘අපට වෙච්ච දේ’ නමින් ජයලත් මනෝරත්නයන් ජනගත කළේය. ඒ මොහොත වන විට නාට්‍ය කලාව තුළ රැඳී සිටි බොහෝදෙනා ඉන් ඈත්ව සිටියහ. ඒ වෙනුවට විසූක දස්සන පෙන්වමින් බොහෝ දෙනා වේදිකාව ඔඩ්ඩිමස්සිනාකරණය කළේය. නාට්‍ය වෙනුවට දෙබස් අධිනිශ්චය විය. මේ සියල්ලටම පිළිතුරු දෙමින් මනෝ 1998 දී ‘සඳගිර’ නම් පූර්ණ වාර්තා රංගය වේදිකාවට රැගෙන ආවේය. අනතුරුව සහස්‍ර වර්ෂය උදාවිය. අවිනිශ්චිතාව රජකරමින් සිටි එසමයේ හෙතෙම ‘කණේරුමල්’(2000) රංගගත කළේය. 2005 වන විට මෙරට බෙදුම්වාදී යුද්ධය ඇවිළෙමින් තිබිණ. මනෝරත්නයන්ට මහගමසේකර මුලිච්චි විය. ඔහු හා හාදව ‘ලෝකය තනියායක්’ බව හේ අපට පසක් කළේය. මනෝරත්නයෝ හෙන්රි ජයසේනගේ පිටපත යොදාගෙන 2007 දී ‘මකරා’ නාට්‍ය නිෂ්පාදනය කළහ.

ප්‍රාග්ධනයේ මහනුභාවයෙන් නව යටත් විජිතකරණය නූතන තාක්ෂණික මෙවලම් හරහා අප විනෝද සංස්කෘතියකට කැඳවමින් තිබිණ. අප මත හෙළා ඇති සියලු පිරිපත යටපත් කරමින් මේ විනෝද සංස්කෘතියට අපව බැඳ දමන වාහකයා ජඩ මාධ්‍යකරණය බව ඔහු ඉතා හොඳින් හැඳින ගත්තේ ය. ඔහුගේ දෘෂ්ටිය ඊට යොමුව තිබිණ. පැරණි සන්දේශ කාව්‍ය ආකෘතිය අනුගමනය කරමින් ලියැවුණු ‘සුදු රෙදි හොරු’ රැගෙන 2008 දී හේ නැවතත් කරළියට ගොඩ විය. රත්න ශ්‍රී විජේසිංහයන් පැරණි කාව්‍ය ආකෘතියට මේ නව සංදේශය ප්‍රබන්ධ කර තිබිණි. ‘හෙතෙම 2012 දී උර්දු ලේඛක ක්‍රිෂන් චන්දර්ගේ කෙටි කතාවක් ඇසුරෙන් ‘බුරුවා මහත්තයා’ නිර්මාණය කළේය. එය ගුණතිලක මැටියගනේ ලවා පරිවර්තනය කර ඇත. 2013 දී ‘සෙල්ලම් නිරිඳු’ නමින් සිංහලයේ අවසාන රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යුගය පසුබිම් කරගෙන නාට්‍යයක් නිමැවූ අතර, ඊට රජුගේ බිසව වූ සුමිත්‍රා හා දස්කොන් නමින් ප්‍රකට වූ ගැස්කොන් අතර ඇති වන සම්බන්ධය පාදක කරගෙන තිබිණි. නූතන ඉතිහාසය පුරා එන ගායක පරම්පරාවල ඛේදාන්තය නිරූපණය කරමින් 2016 දී නිමැවූ ‘හඬ නිහඬ’ ඔහුගේ අවසාන වේදිකා නාට්‍ය නිර්මාණය විය.

2020 ජනවාරි 12 වෙනිදා ඔහු සිය නාම කාය ඉතිරි කර භෞතිකකායෙන් නික්මයන මේ සොඳුරු ආඥාදායකයා විවිධ ශෛලීන්ගෙන් යුත් නාට්‍ය කෘති 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති අතර; 1980 සිට මේ දක්වා නාට්‍ය කෘති 15ක් පමණ නිමවා ඇත. මීට අමතරව ටෙලි නාට්‍ය 48ත්, සිනමා කෘති 50කට ආසන්න ප්‍රමණයකටත් හේ රංගනයෙන් හා නිර්මාණකරණයෙන් දායක වූයේ ය.

 

Comments