තීරු ලිපිය ප්‍රභූ­ක­ර­ණය කරන්න එපා | සිළුමිණ

තීරු ලිපිය ප්‍රභූ­ක­ර­ණය කරන්න එපා

රසික ජයකොඩි විසින් රචිත 'දවසක් දා හැන්දෑවක' තීරුලිපි සංග්‍රහය එළඹෙන ජනවාරි 25 වැනිදා (සෙනසුරාදා) සවස 3ට කොළඹ 7, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ, බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පොතක් ලෙස එළි දකී. මේ ඒ පිළිබඳව සැකසුණු සම්මුඛ සාකච්ඡාවකි.

දවසක් දා හැන්දෑවක’ නමින් ඔබ මෙතෙක් ලියූ තීරු ලිපි මේ විදියට තීරු ලිපි සංග්‍රහයක් ලෙස පළ කරන්න ඕන කියල හිතුවේ ඇයි.

'දවසක් දා හැන්දෑවක' කියන තීරු ලිපිය මම මුලින් ම පටන් ගත්තේ මීට අවුරුදු දහ තුනකට පමණ කලින්. 'රිවිර' ඉරිදා සංග්‍රහය පුවත්පතට තමයි මං ප්‍රධාන වශයෙන් ම මේ තීරු ලිපිය ලිව්වෙ. කොහොම නමුත් මම පසුගිය වසර 8ක 10ක කාලය තුළ මම සිංහල මාධ්‍යයෙන් තරමක් දුරට ඈත් වෙනවා.

මාධ්‍යවේදියකු වශයෙන් මගේ 'කෙළිමඬල' බවට පත්වෙන්නෙ ඉංග්‍රීසි මාධ්‍යය. නමුත් ජීවිතයේ එක්තරා කඩඉමකට ඇවිල්ලා ආපහු හැරී බලනකොට මට තේරෙන්න පටන් ගන්නවා මගේ මුල් තිබිලා තියෙන්නේ සිංහල මාධ්‍යයත් එක්ක කියලා. ඒ නිසා මට අවශ්‍යතාවක් ඇතිවෙනවා ඒ මුල් එක්ක ආපහු සම්බන්ධ වෙන්න. මේ පොත පළ කරන්න පදනම වැටෙන්නේ එහෙම. වෙනත් විදියකට කිව්වොත් ඒක හරියට ගමෙන් කොළඹට ඇවිල්ලා අවුරුදු ගාණක් ජීවත් වෙන කෙනෙක් එක සිංහල අවුරුද්දක ආපහු ගමට ගිහින් එන්න තීරණය කරනවා වගේ වැඩක්. එතකොට අවුරුදු ගාණකට පස්සෙ කෙනෙක් ගමට යන ආශ්වාදය ම මේ සමස්ත ක්‍රියාවලිය ඇතුළෙ මං විඳිනවා.

අනෙක් පැත්තෙන් මේ තීරු ලිපිය අතීතයේ කියවපු බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබුණා මේක පොතක් වශයෙන් පළ කරන්න කියලා. නමුත් ඒ ඉල්ලීම විවිධ කාරණා නිසා මට මගහැරුණා. ඒක මගෙන් මේ තීරු ලිපිය කියැවූ පාඨකයන්ට සිද්ධ වුණු අසාධාරණයක්.

ඉතින් මැතිවරණයෙන් පස්සේ උදාවූ දේශපාලනිකව තරමක් සෙමෙන් ගත වෙන මේ කාලසීමාව මා පාවිච්චි කළා මේ ලිපි එකතුව පොතක් වශයෙන් පළ කරන්න.

ඔබෙන් විශේෂාංග කතුවරයා කැමති දෙයක් ලියල දෙන්න කිව්වම ඒ සඳහා තීරු ලිපියක් ම ලියන්න පෙලඹෙන්න හේතුව මොකක්ද?

ඒක හරියට කැස්බෑවකු වෙරළට ගෙනිහිල්ලා අතහැරියම ඌ මුහුදට පිහිනගෙන ගියා වගේ වැඩක්.

මං මේක ලියන්න පටන්ගත්තේ ඉතාම තරුණ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ අවදියේ. ඒක මං ලියන්න බොහොම කෑදරකමෙන් හිටිය කාලයක්. කෑම රෙසිපිවල ඉඳන් බෝම්බ ප්‍රහාර දක්වා ගැන හැම දෙයක් ම ලියමින් සිටි කාලයක්.

පත්තර කාර්යාලයේ මේසයක් උඩ පත්තර එළාගෙන නිදාගත් දවස් තිබුණු කාලයක්. ඒ නිසා මට මොනව හරි ලියන්න කිව්වම මට අවශ්‍ය වුණා ඒ ලැබුණු නිදහස උපරිමයට ම පාවිච්චි කරන්න පුළුවන් ආකෘතියක් හොයාගන්න. ඒ නිසා තමයි මම තීරු ලිපිය මගේ ප්‍රකාශන ආකෘතිය වශයෙන් පාවිච්චි කරන්නේ. මම අදටත් විශ්වාස කරනවා පුවත්පත් මාධ්‍යයේ වැඩිම නිර්මාණාත්මක අවකාශයක් තියන ආකෘතිය තීරු ලිපිය කියලා.

තීරු ලිපියක ඔබ දකින විශේෂත්වයක් තියෙනවද? එහි අන්තර්ගතය ගැන ඔබේ තක්සේරුව කුමක් ද?

තීරු ලිපියක අන්තර්ගතයේ තියන ලොකුම විශේෂත්වය තමයි ඒක ඇතුළෙ තියන නිදහස.

පුවත්පත් ලේඛකයකු තමන්ගේ වෘත්තීය ජීවිතයේ මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ තමන්ට ම කියලා අවකාශයක් ගොඩනගා ගැනීමේ අරගලය. ඒ කියන්නේ, පුවත්පත් කලාවේදියකු සාමාන්‍යයෙන් එදිනෙදා රචනා කරන ප්‍රවෘත්ති සහ විශේෂාංග හරහා තමන්ගේ ම කියලා අවකාශයක් ගොඩ නගාගන්න එක විශාල අභියෝගයක්. මේක සාපේක්ෂව ලේසියෙන් කරන්න පුළුවන් තීරු ලිපිය කියන මාධ්‍යය ඇතුළේ.

මේ නිසා තීරු ලිපියක අන්තර්ගතයට මේ ඉර හඳ යට තියෙන ඕනෑම දෙයක් අහුවෙන්න පුළුවන්. නමුත් තීරු ලිපියක් සාර්ථක වෙන්න නම් එය ලියන ලේඛකයාට තමන් ලියන විෂය සම්බන්ධයෙන් කිසියම් පරිචයක් තියෙන්න ඕනෙ.

එහෙම නැතුව නිදහස හෝ අවකාශය තිබුණයි කියලා හිතට එන හැම මනස්ගාතයක් ම ලියන ලියැවිල්ලක් සාර්ථක තීරු ලිපියක් බවට පත්වෙන්නෙ නෑ. අවාසනාවකට ලංකාවෙ පුවත්පත්වල බහුලව හමුවෙන්නෙ අර මං අන්තිමට කියූ වර්ගයේ ලිපි.

ලංකාවේ බිහි වූ විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදීන් බොහෝ දෙනෙක් පසු කාලීනව තීරු ලිපි රචකයන් බවට පත් වුණා. ඔවුන් ලියූ තීරුලිපි පාඨකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. නමුත් එය සාහිත්‍යාංගයක් ලෙස නිසි ඇගයීමකට ලක් වුණේ නැහැ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මම පුද්ගලිකව හිතන්නෙ ලංකාවෙ ඉතාම ජනප්‍රිය වුණු සහ වැඩිම බලපෑමක් ඇති කරන්න සමත් වුණු තීරු ලිපිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියූ 'වගතුග' තීරු ලිපිය කියලා.

ඒක සමකාලීන ශ්‍රී ලංකා සමාජයේ තිබුණු සමාජ සහ දේශපාලන සාධකවලට සාපේක්ෂව සිදු වුණු දෙයක්. එයින් පසු කාලසීමාවල දයාසේන ගුණසිංහ, සුනිල් මාධව, කරුණාදාස සූරියාරච්චි වගේ මාධ්‍යවේදීන් බොහොම ජනප්‍රිය වුණු තීරු ලිපි රචනා කළා.

ඒත් ඔබ කියන ලිපිය තීරු ලිපියට නිසි සාහිත්‍යමය වටිනාකමක් සමාජයේ නොලැබීම මං දකින්නේ ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවේ අවුලක් විදියට. ලංකාව කියන්නෙ පොදුවේ ගත්තම විධිමත්ව මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගුණු, මාධ්‍ය සාක්ෂරතාව අතින් ඉහළ රටක් නෙවෙයි. ඒ ඇයි කියලා තේරුම් ගන්න ඕනෙ නම් ඔබ ලංකාවෙ පළ වෙන පුවත්පත්වල අන්තර්ගතය ජාත්‍යන්තර ප්‍රකාශන එක්ක සංසන්දනය කරලා බලන්න. ඒ දෙක අතර විශාල පරතරයක් ඔබට පෙනෙයි.

ඒ වුණත් ලංකාවේ කොළඹ සමාජයේ මිනිස්සු පාවිච්චි කරන ජංගම දුරකථන, වෙනත් ගැජමැටික්, බ්‍රෑන්ඩඩ් ඇඳුම් වගේ දේවල් වෙනත් රටවල ජීවත් වෙන මිනිස්සු පාවිච්චි කරන ඒවාට බොහෝ දුරට සමානයි. හැබැයි මාධ්‍ය සංස්කෘතිය සහ එහි අන්තර්ගතයේ ලොකු වෙනසක් තියනවා. මෙන්න මේක තමයි මම කියන අවුල. එතකොට තීරු ලිපියට නිසි වටිනාකමක් නොලැබීම මම විග්‍රහ කරන්නෙත් ඔය සන්දර්භය ඇතුළෙම තමයි. ඒක හරියට බුලත් මඩිස්සලේට හෙණ ගැහුවම හුනු කිල්ලෝටෙට වෙච්ච දේ ගැන විතරක් කතා කරලා පලක් නෑ වගේ දෙයක්.

මෙය සාහිත්‍යාංගයක් ලෙස ලංකාවේ දී එතරම් පිළිගැනීමට ලක්නොවුණත් ලෝකයේ වෙනත් රටවල එය ඉතාම ජනප්‍රිය සාහිත්‍යාංගයක්. ඇතැම් රටවල තීරු ලිපි රචකයන් කියන්නේ ධන කුවේරයන්. ඒ වගේම ඒ රටවල කෙනෙක් තීරු ලිපියක් ලියන්නේ මාධ්‍යවේදියකු ලෙස ජනප්‍රියත්වය හා පරිණතභාවය හොඳටම වර්ධනය වුණාට පස්සෙයි. නමුත් අපේ රටේ ආධුනිකයොත් අද තීරු ලිපි ලියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඔබේ ප්‍රශ්නයේ මට එකඟ වෙන්න බැරි තැනක් තියනවා. ඔබ මේ ප්‍රශ්නයෙන්තීරු ලිපිය 'ප්‍රභූකරණය' කරන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. ඒක වැරදියි. හොඳම නිදසුනක් වෙන්නේ බ්‍රසීලයේ කැරොලිනා ඩි ජීසස් ලියපු දිනපොත. ඇය කිසිම සමාජ පිළිගැනීමක් නොතිබුණු මුඩුක්කු ගැහැනියක්. ඒත් ඇගේ දිනපොත මුලින්ම පළවුණේ පුවත්පත් තීරුවක් විදියට. පසුකාලීනව ඒකට විශාල සමාජ වටිනාකමක් ලැබුණා.

ඒ නිසා ඔය කියන 'ප්‍රභූ ස්වරූපය' ජනමාධ්‍ය විසින් වෙළඳපොළ අවශ්‍යතා මත හදාගත් එකක් මිසක් යථාර්ථවාදී එකක් නෙවෙයි.

තීරු ලිපියක් හොඳ ද නරක ද යන්න තීරණය වෙන්නේ ඒ තීරු ලිපියේ අන්තර්ගතය සහ ගුණාත්මකභාවය මිස එය ලියන මුද්ගලයාගේ සමාජභාවය හෝ මාධ්‍යයේ ඔහු ලබා තියන ප්‍රවීණත්වය මත නෙවෙයි. පුද්ගලිකව ගත්තොත් මම ජාතික පුවත්පතක කර්තෘවරයෙකු කාලේ ලියපු තීරු ලිපිවලට වඩා මගේ හදවතට සමීප ආධුනික පුවත්පත් කලාවේදියෙකු කාලේ ලියපු තීරු ලිපි.

වෙනත් උදාහරණ ගත්තත් මානවසිංහ 1947 අවුරුද්දේ වගතුග තීරුලිපිය පටන් ගන්නා විටත් ඔහුට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ලොකු ප්‍රොෆයිල් එකක් තිබුණේ නෑ. ඒ නිසා මේවා බොහොම සාපේක්ෂ දේවල් මිස නිරපේක්ෂ දේවල් නෙවෙයි.

තීරු ලිපිවලට සම්මාන දෙන්න පටන් ගත්තේ කර්තෘ සංසදයෙන් 2001 වසරේදී. නමුත් ඒක පසුව ඇන හිටිනවා. නැවත පසුගිය වසරේ සාහිත්‍ය සම්මාන උලෙළේදී සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත මානිගේ තීරුව නම් තීරු ලිපි සංග්‍රහයට සම්මානයක් ද්විත්වයක් හිමිවෙනවා. මේ ආකාරයට හෝ තීරු ලිපි රචනා ඇගයීමට පත් වීම ඔබ දකින්නේ කොහොමද?

තීරු ලිපි කියන්නෙ පුවත්පත් කලාවට අත්‍යන්තයෙන් බැඳුණු අංගයක් නිසා ජනමාධ්‍ය ඇගයීමට ලක්වෙන ඕනෑම අවස්ථාවක තීරුලිපි කියන මාධ්‍යයත් අමතක නොකර ඇගයීමට ලක් කරන්න ඕනෙ. විශේෂයෙන්ම කර්තෘ සංසද සම්මාන උලෙළ සාපෙක්ෂ වශයෙන් ඉහළ ප්‍රමිතියක් පවත්වා ගන්නා බවට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පොදු පිළිගැනීමක් තියනවා.

ඒ නිසා මෙවැනි ඇගයීම් ඔස්සේ නවක මාධ්‍යවේදීන් තීරු ලිපිවලට වැඩි වැඩියෙන් සමීප කෙරෙන ප්‍රවණතාවක් තියනවා.

මේකෙම අනෙක් පැත්ත වන්නේ පත්තරවලට ලියැවෙන තීරු ලිපිවල ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමයි.

මෙහි වැඩි වගකීම පැවරෙන්නේ පුවත්පත් සංස්කාරකවරුන්ට සහ ඒ ආශ්‍රිත වගකීම් දරන අයට. මේ දෙපැත්තම සමබරව තමන්ගේ වගකීම් ඉටු කළොත් තීරුලිපිය කියන මාධ්‍යයට සුබදායක අනාගතයක් තියේවි.

Comments