අධි­වේග මාවතේ ඉබ්බා | සිළුමිණ

අධි­වේග මාවතේ ඉබ්බා

මාග­ලක් වගේ පේන දිගම දිග තාර පාරේ මැද හරියේ තියන එක ම එක කෑම­කඩ පේලිය දිහාට - අව­න්හල් සංකී­ර්ණය පැත්තට හැර­වෙන කාර්-බාර් පියා­ඹ­ගෙන එන්නේ හොර අඩි තිය තියා වගේ. බංගලි රෝස පඳුර අස්සේ මං පරාණ බයෙන් තැග් ගැහි-ගැහී ඉන්නේ හොර සෙය්‍යා­වෙන් එන ඒ නවීන වාහ­නේක රෝදෙ­කට ඉබි­ක­ටුව කොයි­වෙලේ චප්ප­වෙලා යයි ද කියන බයෙන්. දක්ෂිණ අධි­වේග මාර්ගය ඉදි­වෙන්න කැලෑපා`ඵ කරපු කාලෙ බිත්ත­ර­යක් බිඳ­ගෙන ඇවිදිං අහස දැකපු මට, කාල­යක් මේ ඉස­වුවේ නොමැරී ජීව­ත්වෙන්න වරම ලබා­දුන්නේ දෙවි­යන් වහන්සේ ද මේ ඉබි­ක­ටුව ද එහෙ­මත් නැත්තං ඒ දෙකම ද කියන එක දන්නෙත් දෙයි­යොම තමයි.  

‘ඉබ්බන්ට, කැස්බෑ­වන්ට කර්ණ­ප­ට­ල­යක් තිබු­ණට මොක ද උන්ට ඇසීම අනු­ව­ර්ත­නය වෙලා තියෙන්නේ උන් ජීව­ත්වෙන ජලය වගේ මාධ්‍ය­යක් තුළින් සම්ප්‍රේ­ෂ­ණය වෙන ශබ්ද අඳු­ර­ගන්න විත­ර­මයි’ කියල පණ්ඩිත කතා­වක් දව­සක් කිව්වේ මෙත­නට ආව මනු­ස්ස­යෙක්. බම්බුව තමයි. එහෙම නං කොහොම ද ඒ කියාපු කතා­වත් මට ඇහුණෙ?  

එළි­ම­හනේ අට­වල තිබුණ මේස පොඞ්ඩක වාඩි­වෙලා ගෝල­බා­ලයො දෙතුන් දෙනෙ­කුත් වට­කරං බට­ය­කින් සිසිල් බීමක් උර-උර උන්නු ඒ රැවු­ල්කාර තල­ත්තෑනි මනු­ස්සයා විද්‍යා­ඥ­යෙක් ද පර්යේ­ෂ­ක­යෙක් ද කියල හරි­ය­ටම හිතා­ගන්න අමා­රුයි. එයා කිව්වේ ‘ඉබ්බෝ, කැස්බෑවෝ වගේ උර­ගයෝ අයි­ති­වෙන්නේ කෙලෝ­නියා ගෝත්‍ර­යට’ කිය­ලයි. ඉතිං බලමු, ගෝත්‍ර­වාදී මිනි­හාම නේ සත්තුන්ගේ ගෝත්‍ර හොය­න්නෙත්? හැම­දේම වර්ගී­ක­ර­ණය කරන මිනිහා පර්යේ­ෂණ කියල කර­න්නෙත් වර්ගී­ක­ර­ණ­යක්. සතු­න්ගෙන් වුණත් වෙන­ස්කම් දකි­න්නම නේ දෙවි­යන් වහන්සේ මිනි­හාට ඇස් දෙකක් දීල තියෙන්නේ?  

ඔන්න ඉතිං මං හිතන්න ගත්තා. අර පැත්තට හිතුවා. මේ පැත්තට හිතුවා. මිනිස්සු නං හිතං ඉන්නේ ඉබ්බන්ට හිතන්න දන්නේ නෑ කියල. ඒත් ඉබ්බන්ට බැරි කතා කරන්න විත­රයි. ඉතිං එහෙම වර්ගී­ක­රණ ගැන හිතා­ගෙන හිතා­ගෙන යන­කොට තමයි තේරුණෙ දේවල් ගැන වැඩි­පු­රම කතා­ක­රන්නේ ඒ දේවල් ඇත්තේම නැති උද­විය ද කියලා. සාධා­රණේ ගැන, යුක්ති­ධර්මෙ ගැන, වාර්ගික එක­මු­තුව ගැන කෙස්පැ­ලෙන තර්ක ඉදි­රි­පත් කරන මිනි­හෙ­කුගේ හැබෑ නිරු­වත මං දැක්කෙ රෑ මැදි­ය­මක අධි­වේගි මාර්ගෙ අධි­වේගෙං ඇවිත් ගල­ගැ­හුව වගේ නතර කරපු වාහ­න­යක් ඇතු­ළෙන් දෝංකාර නංවපු දෙබ­ස­කින්.  

’මොනව හරි බොනව ද?’  

’මට ඕන්නැති බීමක් නෑ’  

සද්දන්ත පුරු­ෂ­යෙක්, සැමි­යෙක් අඩි­යට දෙකට බීම හල­කට දුව­ගෙන ගියේ ‘උඹ ඕන කුද­යක් ගහ­ගනිං’ කියන්න වගේ. කාන්තාව, බිරිඳ දුර­ක­තන බට්ටෙක් අතට ගත්තෙත් ඒ යන දිහාට හොර බැල්මක් හෙළා­ගෙන.  

‘මට ඕන නෑ රමේෂ්, මං මාව ගෙද­රට ඇර­ලන්න කියල කිව්වෙ බොරු­වට. හොඳේ. මං දැං එන්නේ ඔයාගේ එපා­ට්මන්ට් එකට... මොනව ද කියන්නෙ? මහ ලොකු උප­දේ­ශ­කයා. 

මානව හිමි­කම් ඩ්‍රාමා එකේ පුරෝ­හිත පාට් එකයි රඟ­පාන්නේ නං සාම කැඳ­වු­ම්කරු. හිමි­කම් ගැන කතා කරන්නෙ ලෝඞ් වගේ. හැබැයි ගෙදර ගෑනිට එකම අයි­ති­වා­සි­ක­මක් වත් නෑ. කොයි ආණ්ඩුව ආවත්, කවුරු බල­යට පත්වු­ණත් මේගො­ල්ලම තමයි උප­දේ­ශ­කයෝ. මේක කොම­ඩි­යක් ද ට්‍රැජ­ඩි­යක් ද මන්දා.’  

මිනි­ස්සුන්ගේ වර්ගී­ක­ර­ණයේ හැටි­යට කිය­නව නං මං ඇවිල්ල තාරකා ඉබ්බෙක්. මගේ පිට­ක­ටුව හැදිල තියෙන්නේ ලීයෙන් කරපු අපූරු කැට­යම් වගේ ලස්සන උස වැටි­ව­ලින්. ගොඩ­බිම වාසය කරන අපි සාමා­න්‍ය­යෙන් නං ශාක භක්ෂ­කයෝ. 

ඒ වුණාට පණු­වෙක්, ගො`ඵබෙ­ල්ලෙක් දැක්කොත් අහක බලං යන පුරු­ද්ද­කුත් නෑ අපට. කර­දියේ ඉන්න අපේම ඥාති කැස්බෑ­වුන්ට නං ඔන්න මාංස භක්ෂ­කයෝ කියල එක වංගි­ය­ටම කිව්ව­හැකි. එහෙම කියන කොට මට මතක් වෙන්නෙම මොර­ටුවේ මූදු­කරේ ඉන්න මස් කැස්බෑ­වන්ව. ලෝක ප්‍රසිද්ධ කැස්බෑ සුප් මිනිස්සු හැදුවේ උංගේ මස්ව­ලින්ම තමයි.  

මිනිහා කියන මේ අරුම පුදුම සතාගේ පර්යේ­ෂණ සූත්තර ගැන මං ආයි­මත් හිතන්න වුණා. අවු­රුදු දශ­ලක්ෂ ගණ­නක් ගෙවු­ණත් විකා­ශය අතින් ඉබ්බෝ වැඩි­පුර වෙන­ස්වෙලා නැති ලු. ඒක හොඳ­ටම තේරුම් යන්නේ පොසි­ල­ව­ලින් ලු. සත්තු එහෙම දනි­ප­නියේ වෙනස් වෙන්නේ නෑ තමයි. ඉතාම ඉක්ම­නින් ඇසි­ල්ලෙන් වෙනස් වෙන්න දන්න එකම සතා මිනි­හා­මයි. පාට මාරු කිරීමේ තර­ග­යක් තිබු­ණොත් කටු­ස්සන්ට වුණත් ලැබෙන්නේ දෙවෙනි තැන.  

බුරුල් පස් තිබුණ තැනක වළක් හාරලා අම්මා දාල තිබුණ බිත්ත­රෙන් එළි­යට ඔළුව දාල මුලින්ම අහස බලපු වෙලේ අහස් නිලට ගැළ­පෙන තද­නි­ලට හුරු කොළ­පා­ට­කින් බැබළි බැබළී උන්න වෘක්ෂ­රා­ජයො අද වගේ මට මත­කයි. 

ඉස්ඉ­ස්සර වෙලාම ලෝකේ දැක්ක ඒ වෙලා­වෙදි මූද ගොඩ­ග­ල­නව වගේ මහ හඬක් ඇහෙන්න අරං කන්අගු`ඵ වැටුණ වගේ වුණත් මං ඇස්පි­යා­ගත්තේ නෑ. ඇත්තම කිය­නව නං උපන් ගමන්ම මං අව­තීර්ණ වෙලා උන්නෙ සංග්‍රාම භූමි­ය­කට. රුක්දෙ­වියො උන්නෙ දෙපැ­ත්තට වැනි වැනී. 

ඒ මහ­ගස් අත්හිස් අහ­සට ඔස­ව­ගෙන උන්නෙ උඩ ඉන්න දෙවි­යන්ට යාච්ඤා කර­නව වගේ. යුද පිටි­යක වෙඩි පහ­ර­කින් පපුව පසා­රු­වුණ මහ­සෙ­න්ප­තියෝ වගේ තමයි ඒව බිමට කඩා වැටුණෙ. මාත් එක්කම බිත්තර බිඳ­ගෙන ආපු ඉබි පැටවු රොත්තම අභා­ව­ප්‍රාප්ත වුණේ කඩා­වැ­ටුණ ගස්වල සද්දන්ත කඳ­න්ව­ලට යට­වෙලා. මුළුලෝ­කෙ­ටම මං විත­රයි කියන හැඟීම මගේ ඇස්ව­ලට කඳුළු ගෙනාවේ සහෝ­දර සහෝ­ද­රි­යන්ගේ අභාවෙ නිසාම නෙවෙයි. ඉත්තෑවො, මීමින්නො වගේම අහසේ පියා­ඹන මොනර රාජයෝ පවා මළ­ක­ඳන් බවට පත්වෙලා කුණු­ලො­රි­ව­ලට පැට­වෙන හැටි දැක්කට පස්සේ තමයි මට එහෙම හිතුණෙ.  

මොනව කරන්න ද ඉතිං? ලෝකෙ දියුණු වෙන්න ඕන ලු. දියුණු ලෝක­යක් නිර්මා­ණය කර­න­වයි කියන එක මිනි­ස්සුන්ට අයිති වැඩක් ලු. ඒක තියෙන්නේ ඉබ්බන්ගේ ආව­රණ කලා­පෙන් එහා ලු.  

අධි­වේග පාරක ඉබ්බෙක් තනි­වෙ­න­වයි කියන්නේ මොන­වගේ අත්දැ­කී­මක් ද කියන එක හිතා­ගන්න කිසි­කෙ­නෙ­කුට බෑ. අවු­රුදු හාර­සී­යක් විතර ජීවි­ත­කා­ල­යක් ගෙවා­දාන්න මේ ලෝකෙට උත්පා­ද­නය වුණු ඉබ්බෝ කී දාහක් නං මේ අධි­වේ­ගෙට බිලි­වෙලා ඇද්ද?   

එක­පා­ර­ටම වැස්සක් පටන් අරං වැස්ස නැව­තුණේ මොහො­ත­කින්. එක­පා­ර­ටම පායන මේ අව්-වැහි විග­ඩම ගැන හිතා­ගෙන හිතා­ගෙන යන­කොට එක­පා­ර­ටම මැද්දට පැන්නෙ කොරෝ­නාව ගැන මත­ක­යක්. පැලෙන්න තරං හයි­යෙන් සද්දෙට දාපු රේඩියෝ කතා­ව­කින් තමයි මං ඒ කොරෝනා කත­න්දරේ දැන­ගත්තේ.   

දෙයි­යම්පා මේ ලෝකෙට අහ­වල් දෙයක් සිද්ධ වුණා ද කියල මං හිතන්න ගත්තේ කොරෝ­නා­වෙන් සොබා­ද­හ­මට විතැන් වුණ රේඩියෝ කතා­කා­රයා කිව්ව භය හිතෙන කතා­වක් අහල. භෞතික විද්‍යාව විකාර විදි­හට විස්තර කරන මේ අරුම පුදුම ලෝකේ, මිනිහා කියන සතාගේ භූමි­කාව මොකක් ද කියන එක පැහැ­දිලි කර­න්නයි එයා උත්සාහ කළේ. 

ඒ කියපු බර­ව­චන හැම එකක් ම දිර­ව­ගන්න නං ඉබ්බෙ­කුට අමා­රුයි. ඒත් ස්වභාව ධර්මයේ සම්මු­ති­ව­ලින් ගැල­විලා ගිය මොක­වත්ම මිනි­හගේ ඇතුළෙ නැති විත්ති­ය­කුයි එයා කියා­ගන්න හැදුවෙ. එත­කොට මොනව ද ඒ සොබා­ද­හමේ සම්මුති...?   

කතා­කා­රයා දිගින් දිග­ටම කියා ගෙන ගියේ හිතේ කේන්ති­යෙන් ද කන­ගා­ටු­වෙන් ද කිය­න්නත් අමා­රුයි. හෝමෝ­සේ­පි­යන් කියන්නේ කැස්බෑ­වෙක්ට වගේ දිග කාල­යක් පව­තින්න පුළුවන් සත්ත්ව විශේ­ෂ­ය­කට නෙවෙයි ලු. මිනිස් ගණ­යට අයිති අනිත් සත්ත්ව කොටස් දැන­ට­මත් වඳ­වෙලා ගිහින් ලු. මිනිස් ඉති­හා­සය ගැන, ශිෂ්ටා­චා­රය ගැන දැනු­වත්ව බලා ඉන්න උසස් මන­සක් ඇති මනු­සතා විනා­ශ­කා­රි­යෙක් වීම ගැන තමයි එයා දිගින් දිග­ටම කිව්වේ. ලෝකේ වැන­සුවේ මිනිහ ලු. 

සත්තු හෙම නෙවෙයි ලු. විනා­ශය ඉල්ලා ගත්තෙත් මිනි­හලු. කාල­ගුණ ව්‍යසන, පාරි­ස­රික උඩු-යටි­කුරු වීම් අනා­ග­ත­යේදී මිනි­හාට ආර­ක්ෂිත ලෝක­යක් නිර්මා­ණය කරල දේවියි කියල හිතන්න අමාරු ලු.   

මං කකුල් හත­රයි ඔළුවයි කටුව ඇතු­ළට ඔබා­ගෙන මවා­ගන්න උත්සාහ කළේ මං උප­දින දව­ස්වල තිබුණු නිල්පාට ලෝකෙ. 

ඊටත් කලින් තියෙන්න ඇතියි කියල හිතෙන ඒත් කව­දා­වත් දැකල නැති තද නිල්පාට දිය­රැළි, කෙත්බිම් උප­ක­ල්ප­නය කර කර මං හිටියේ කටුව ඇතු­ළ­ටම වෙලා. ඔන්න දැන්නං මගේ ඉබි­මොළේ ගම­නක් යන්නේ අධි­වේ­ගෙකිං. 

මිනිහා නිය­මා­කා­ර­යෙන් සොබා­ද­හම ජය­ගන්න හිතුවෙ, ඒකට පිඹු­රු­පත් සකස් කරන්න වුණේ අවු­රුදු දෙසී­ය­කට-දෙසි­ය­ප­න­හ­කට කලින් ඉඳ­ලයි කියන කත­න්දරේ පූර්වා­පර සන්ධි ගළ­ප­ග­න්නයි මට දැං වුව­මනා. 

අප්‍රි­කාවේ සැවානා තණ­බි­ම්වල ඉඳං නූතන තාක්ෂණ ලෝකය දක්වා අවු­රුදු ලක්ෂ තුනක් විතර ආපු දීර්ඝ ගමන මිනිහා එන්න ඇත්තේ අධි­වේ­ගෙ­කින් ද? මන්ද­ගා­මීව ද? මොන අධි­වේ­ග­යක් ද? සම­හර විට ඒ ඉබි­ග­ම­නින්ම වෙන්න ඇති. හෙමින් ගමන ඇඟට ගුණ විත්තිය හරි­ය­ටම තේරුම් අරං ඉන්නේ ඉබ්බෝ.  

අවු­රුදු ලක්ෂ ගණ­නක් තිස්සේ මිනි­හාට නොනැසී පව­තින්න පුළුවන් වුණේ හිමින් ගමන නිසා වෙන්න බැරි ද කියන අලුත් සංක­ල්ප­නාව තමයි දැං මගේ හිතේ නලි­යන්නේ. මිනිහා අද වෙන­කොට විනා­ශය නැත්තං ස්වයං ඝාත­නය ඉල්ල­ගෙන තියෙන්නේ අධි­වේගී ධාවන පථ­යක තර­ග­කා­ර­යෙක් වුණ නිසා ද? මේ ධාවන පථයේ දිනු­ම්ක­ණු­වක් තියෙ­නව ද?  

‘අධි­වේ­ගය මරු කැඳ­වයි’ කියල කිව්වට, ලිව්වට අධි­වේග පාර­කදි කිසි­කෙ­නෙ­කුට හැරෙන්න වත් නව­තින්න වත් බෑ. ප්‍රශ්නේ ඕකයි. රොක­ට්ව­ලින් ඉහ­ළට යන්න මිසක් පොළොව දිහා බලන්න, පොළොවේ පය­ග­හල ජීව­ත්වෙන්න දැනං උන්න සතෙ­කුට යැයි ‘මිනිහා’ කියන්නේ.  

මං අධි­වේග පාර දිහාට හිමින්-හිමින් ගාටන්න වුණේ ඉබේට මතු වුණ පුංචි හිනා­ව­කුත් එක්ක. දෙවි­යන් වහන්සේ ඉබ්බට දිග ආයු කාල­යක් ප්‍රදා­නය කළේ මේ ඉබි­ග­මන නිසාම වෙන්නැති කියන එකයි මගේ අව­සාන නිග­ම­නය වුණේ.

Comments