5G වැල­ඳ­ගන්න පෙර හඳු­නා­ගන්න... | Page 2 | සිළුමිණ

5G වැල­ඳ­ගන්න පෙර හඳු­නා­ගන්න...

 

මිනි­ස්‌ ­සි­තුම්-පැතුම් හා තාක්ෂ­ණය අතර පර­ත­රය දිනෙන් දින වඩාත් තුනී වෙමින් පවතී. ඒ මොහො­තින් මොහොත වෙනස් වෙමින් පුළුල් වෙමින් පව­තින තාක්ෂ­ණය හා වඩාත් සමී­පව කට­යුතු කිරී­මට මිනිසා සතුව ඇති නොහිම් ආශාව නිසා­මය. තාක්ෂ­ණික ලෝකයේ අනා­ග­තය රඳා පව­ති­න්නේද, තාක්ෂ­ණය කෙරෙහි මිනි­සාගේ ඇති ඒ දැඩි ඇල්ම නිසාය. අද අප කතා කිරී­මට සැර­සෙන 5G තාක්ෂ­ණ­යද මිනිසා හා තාක්ෂ­ණය අතර සබ­ඳ­තාව තර කර­ගැ­නීමේ ලද නව ජය­ග්‍ර­හ­ණ­යක් සේ සැලකේ. 5G තාක්ෂ­ණය 2020-21 වන විට ලොව පුරා ව්‍යාප්ත කිරී­මට සියල්ල දැන් සූදා­නම්ය.

5G යනු ජංගම දුර­ක­තන සන්නි­වේ­ද­නයේ 5 වන පර­ම්ප­රා­වයි (5th Generation). එය හුදු දුර­ක­තන ඇම­තු­ම­ක්‌ ­ප­ම­ණ­ක්‌ ­ගත හැකිව තිබූ ජංගම දුර­ක­ත­නය මිනිස් ජීවි­තයේ සමී­ප­තම හිත­වතා ලෙස පරි­ව­ර්ත­නය කළ තාක්ෂ­ණික විප්ල­වයේ අලුත්ම පරි­ච්ඡේ­ද­යයි. මුල් ඇන­ලොග් දුර­ක­තන සේවාව හැඳි­න්වුණේ 1G (1st Generation) වශ­යෙනි. පසු­කා­ලී­නව ඇම­තු­ම්ව­ලට අම­ත­රව කෙටි පණි­විඩ සේවාව හඳුන්වා දෙමින් 2G සම්ප්‍රාප්ත විය. වසර 2001දී හඳුන්වා දුන් 3G තාක්ෂ­ණය, ජංගම දුර­ක­ත­න­යෙන් අන්ත­ර්ජා­ල­යට පිවි­සී­මට මඟ විවර කර­මින් 20 සිය­වස දුර­ක­තන තාක්ෂ­ණයේ නව ඇර­ඹු­මක් සට­හන් කළේය. එහෙත් 3G තාක්ෂ­ණය ඔස්සේ දත්ත සඳහා ප්‍රවේශ වීමට හැකි වූයේ තත්ප­ර­යට මෙගා බයි­ට්‌ ­එ­කක වේග­ය­කිනි. GPRS, EDGE වැනි තවත් අත­ර­මැදි අවස්‌ථා ගණ­නක් පසු වසර 2010 දී තත්ප­ර­යට මෙගා බයිට්‌ 100ක වේග­ය­ක්‌ ­ගෙන දෙමින් 4G තාක්ෂ­ණය ලොවට බිහි විය. මේ සියල්ල අබි­බවා ඉදි­රි­යේදී ව්‍යාප්ත වීමට නිය­මිත 5G තාක්ෂ­ණය මෙතෙක් භාවිත සෑම ජංගම දුර­ක­තන තාක්ෂ­ණ­ය­කට වඩාම ඉතා වේග­වත්ය.

5G තාක්ෂ­ණයේ කැපී පෙනෙන්නේ අධික දත්ත සම්ප්‍රේ­ෂණ වේග­යයි. මෙතෙ­ක්‌ ­ත­ත්ප­ර­යට මෙගා බයි­ට්‌ ­ලෙ­සින් දැක්‌වූ බාගත කිරීමේ වේගය තත්ප­ර­යට ගිගා බයි­ට්‌ ­ලෙස 5G ඔස්සේ වෙන­ස්‌ වේ. එය 4G තාක්ෂ­ණ­යට වඩා දස ගුණ­යක සිට සිය ගුණ­ය­ක්‌ ­දක්‌වා වැඩි වේග­යකි. 4G තාක්ෂ­ණ­යේදී පණි­වි­ඩ­යක් හුව­මාරු කර­ගැ­නී­මට ගත වන මිලි-තත්පර 30-70 අතර කාලය 5G යටතේ මිලි-තත්පර 1කට වඩා අඩුය. 4G තාක්ෂ­ණ­යට වඩා අඩු පොරොත්තු කාල­යක් (Low Latency) නිසා IoT (Internet of Things) උපාං­ග­ව­ලට එනම්, රූප­වා­හිනී, විදුලි පහන්, ශීත­ක­රණ ආදි සියල්ල අන්ත­ර්ජා­ලය ඔස්‌සේ එකි­නෙක සම්බ­න්ධිත, දූර­ස්‌ථව පාල­නය කළ හැකි අන්ද­මින් සැකැ­සුණු පද්ධ­ති­වල ක්‍රියා­කා­රි­ත්ව­යට මෙම­ඟින් විශාල පිටි­ව­හ­ල­ක්‌ ­සැ­ල­සෙයි. එමෙන්ම අන්ත­ර්ජා­ලය හරහා ලබා දෙන විධා­න­ව­ලට සේවා ජාල­යෙන් ප්‍රති­චාර ලැබීමේ කාලය ද අව­මය. 5G තාක්ෂ­ණ­යෙන් රොබෝ තාක්ෂ­ණය, දූරස්ථ ශල්‍ය­කර්ම, ස්වයං­ක්‍රීය ප්‍රවා­හ­නය සහ විනෝ­දා­ස්වා­දය වැනි ක්ෂේත්‍ර­යන්හි විශාල ප්‍රග­ම­න­යක් දැක­ගත හැකි වනු ඇත. 5G භාවි­ත­යෙන් කළ පළමු ශල්‍ය­ක­ර්මය චීන­යෙන් වාර්තා විය.

5G නිසා සැහැල්ලු පරි­ග­ණක ක්‍රීඩා පම­ණ­ක්‌ ­නොව, වැඩි පරි­ග­ණක කාර්ය­ක්ෂ­ම­තා­ව­ක්‌ ­වැය වන දියුණු පරි­ග­ණක ක්‍රීඩාද අන්ත­ර්ජා­ලය ඔස්සේ ක්‍රීඩා කිරී­මට දැන් කට­යුතු සම්පා­ද­නය වේ. එම­ඟින් අන්ත­ර්ජාල වීඩියෝ ක්‍රීඩා ස්‌ට්‍රීමින් සේවා­ව­ලට හොඳ කල-දව­ස­ක්‌ ­උදා වනු ඇත. දැනට අමෙ­රි­කාව, කොරි­යාව, චීනය වැනි රට­වල් මේ නව සම්ප්‍රේ­ෂණ විප්ල­වයේ ඉදිරි පෙළ නියෝ­ජ­නය කරයි. ඉදිරි වසර කිහි­ප­යේදී 5G ලොව පුරා තම ආධි­ප­ත්‍යය පතු­ර­වනු ඇත.

5G තාක්ෂ­ණ­යට භාවිත කෙරෙන සංඛ්‍යා­ත­යෙන් ඉහළ, තරංග ආයා­මය අඩු තරංග දත්ත සම්ප්‍රේ­ෂ­ණ­යෙ­හිලා විශිෂ්ට හැකි­යා­ව­ක්‌ ­ඇති කරන මුත්, මේ තරංග සම්ප්‍රේ­ෂ­ණය ආව­ර­ණය කළ හැකි වප­ස­රිය ඉතා අව­මය. මේ නිසා පෙර එක්‌ 4G සම්ප්‍රේ­ෂක කුලු­න­ක්‌ ­ම­ඟින් ආව­ර­ණය කළ නග­ර­යක්‌ 5G තාක්ෂ­ණ­යෙන් ආව­ර­ණය කිරී­මට නම් කුඩා ප්‍රමා­ණයේ සම්ප්‍රේ­ෂක ගණ­නා­ව­ක්‌ ­න­ග­රයේ තැනින් තැන සවි කිරී­මට සිදු වේ. 5G තාක්ෂ­ණ­යට මෙසේ ලහි-හියේ ලක-ලැහැස්ති වුණද 4G තාක්ෂ­ණික උපාං­ග­ව­ලින් 5G හා ගනු­දෙනු කළ නොහැ­කිය. මේ සියල්ල අත්වි­ඳින්න නම් 5G පහ­සු­කම් සහිත දුර­ක­ත­න­යක් හෝ රවු­ට­ර­යක් වැනි උපාං­ග­යක් අත්‍ය­වශ්‍ය වේ.

5G තාක්ෂ­ණ­යට විශාල දත්ත, දැනුම හා ඒකා­බ­ද්ධ­තාව ගෙන දෙන්නේ AI සම­ඟය. එසේ බැලු­වොත් මිනිසා දැන් ස්මාර්ට්ෆෝන් තාක්ෂ­ණය ඔස්සේ AI හෙවත් කෘත්‍රිම බුද්ධියේ කොට­සක් බවට පත්ව ඇත. Generation හෙවත් G අකු­රට පෙර ඇති ඉල­ක්කම මෙසේ වැඩි වත්ම සිදු වන දුර­ක­තන තාක්ෂ­ණයේ පුළුල් බව සිතා සැබැ­වින්ම සතුටු විය හැකිද? මෙය මිනිස් ශරී­ර­යට මෙන්ම සත්ත්ව ශරී­ර­යට හිත­කර වේද?

ඉදිරි වසර කිහි­පයේ දී 5G නිසා දුර­ක­තන තාක්ෂ­ණය නව මඟ­කට යොමු වනු ඇතැයි විද්‍යා­ඥ­යන් උදම් අනද්දී එය මිනි­සාට මෙන්ම පරි­ස­ර­ය­ටද විශාල බල­පෑ­මක් කරනු ඇතැයි ලොව පුරා තැනින් තැන කතා බහ ඉස්මතු වෙයි. එහෙත් ඒ කතා­බහ යට­පත් කිරී­මට මේ තාක්ෂ­ණය ලොව පුරා ව්‍යාප්ත කිරී­මට පෙරමං බලා සිටින බොහෝ දෙනා විවිධ උදා­හ­රණ ගෙන හැර පාති.

ඔවුන්ට අනුව 5G ලොව පහළ වන්න පෙරත් රූප­වා­හිනී සහ රේඩියෝ කිරණ, WiFi, 3G, 4Gවලින් පිට වන කිර­ණ­වල බල­පෑ­මක් කෙරෙහි ලොව පුරා භීති­යක් පැතිර තිබිණි. චන්ද්‍රිකා මඟින් පෘථි­වි­යට එන සංඥා­ව­ලින්, මයි­ක්‍රෝ­වේව් උඳු­නෙන්, රූප­වා­හි­නිය හෝ CRT මොනි­ට­රය ඉදි­රියේ සිටී­මෙන්ද එකී කිර­ණ­වල බල­පෑ­මට හසු වන බවට පැති­රුණු බිය කොත­රම් දුර-දිග ගියා­දැයි කිව­හොත්, විද්යුත්-චුම්බක අධි­සං­වේ­දී­තාව (Electromagnetic hypersensitivity) නමින් මනඃ­ක­ල්පිත රෝග තත්ත්ව­යක්ද ඇති වූ බව ඔවුහු පව­සති. එහෙත් Blue tooth, 3G, 4G,WiFiවලින් මෙතෙක් ලොව වසා­ගත් විකි­රණ විශාල ප්‍රමාණ අත­රට අලු­තෙන්ම එන 5G දුර­ක­තන විකි­රණ මිනිස් ජාන මෙන්ම සත්ත්ව ජානද වෙනස් කිරී­මට හැකි බව පැවවේ.

වරෙක කැලි­ෆෝ­නියා සර­ස­වියේ ආචා­ර්ය­ව­ර­යකු පැව­සුවේ මිනිස් මොළයේ වම් - දකුණු දෙප­ස­ටම 4G තරං­ග­ව­ලට බල­පෑම් කළ හැකි බවයි. 2011 CDMA තරංග (2G සහ 3G) යොදා­ගෙන කළ පර්යේ­ෂ­ණ­යක දී විනාඩි 50ක් දුර­ක­ත­නය මොළ­යට ආස­න්නව පැවති ස්ථාන­ව­ලට බල­පෑම් ඇති වූ බවත්, නව LTE (4G) පර්යේ­ෂ­ණ­යේදී විනාඩි 30ක් තරම් කෙටි­කා­ලීන නිරා­ව­ර­ණ­ය­කින් මොළයේ ක්‍රියා­කා­රි­ත්ව­යට බාධා එල්ල වූ බවත් දිගු­කා­ලීන භාවි­ත­යෙන් හිසේ සහ ගෙලෙහි පිළිකා, ශුක්‍රාණු හානි සහ ප්‍රජ­නන පද්ධ­ති­ව­ල­ටද බල­පෑම් එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. මේ නිසා දරු­වන් හා ගැබිනි මවු­ව­රුන් මින් ඉවත්ව සිටිය යුතු බව ආචා­ර්ය­ව­රයා වැඩි­දු­ර­ටත් පව­සයි.

3G, 4G පිළි­බඳ එසේ විවිධ පර්යේ­ෂණ සිදුව තිබු­ණත්; 5G පිළි­බඳ මෙතෙක් සවි­ස්ත­රා­ත්මක පර්යේ­ෂ­ණ­යක් සිදුව නැත. එහෙත්, අඩු සංඛ්‍යාත පරා­ස­යක් ඇති 2G, 3Gවලින් පවා සිරු­රට බල­පෑම් ඇති විය හැකි නම්, ළඟ-ළඟ ගොඩ­නැ­ගිලි මත ඉදි විය යුතු කුඩා සම්ප්‍රේ­ෂණ කුලු­නු­ව­ලින් පිට වන තරං­ග­ව­ලට නිරා­ව­ර­ණය වන ප්‍රමා­ණය පිළි­බඳ කවර කතාද? අප කළ යුත්තේ මේ කතා අසා තාක්ෂ­ණ­යට බිය වී එයින් ඉවත් වීම නොව, ආර­ක්ෂි­තව තාක්ෂ­ණයේ නිම්ව­ළලු පුළුල් කර­මින් භාවි­තය සඳහා තිර­සර ක්‍රම­වේ­ද­ය­කට අව­තීර්ණ වීමයි.

Comments