බාලයවස්කාර පිරිමි දරුවෙකු රවටා ඔහුට ලිංගික අතවර කළ ලැගුම්හල් හිමියෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් දැඩි දඬුවම් පැමිණවූ පුවතක් පසුගිය 22 දින හම්බන්තොට මහාධිකරණයෙන් වාර්තා විය. ලැගුම්හල් හිමියා කාලාන්තරයක් තිස්සේ එවැනි අපරාධ කරගෙන ගොස් තිබුණු බව හෙළි විය.
බාලවයස්කාර දරුවන් ඔහු සිය ලංගික ආශා සපුරාගැනීමට යොදා ගත්තේය. සිය ලැගුම්හලට එන විදේශිකයන්ට ද බාල වයස්කාර දරුවන් රවටා විකුණීම කරගෙන ගියේය. හැම ගහටම කොට කොටා ගියත් කෙසෙල් ගසට කෙටූ දවසට හොට පැටලෙනවා යැයි අපේ කියමනක් තිබේ. මේ ලැගුම්හල් හිමියාට ද වුණේ එවැන්නකි. මේ සටහන තබන්නේ එවැනි නින්දා සහගත අපරාධ නැවැත්වීම සඳහා සමාජ පෙලඹුමක් ඇති කරවීමේ අපේක්ෂාවෙනි.
මීට වසර 09කට පෙර තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සිතුම් පාසල් යන වයසේ පසු වු බාලවස්කාර දරුවෙකි. පුංචි සිතුම් හාමදාම වාගේ හවසට කිරින්ද සිය නිවස ආසන්නයේ වු පිට්ටනියට සිය යහළුවන් හා ක්‍රීඩා කරන්නට ගියේය. පිට්ටනියට යාබද පිහිටියේ දෙස් විදෙස් පිරිස් වෙත නවාතැන් සපයන ලැගුම්හලකි. ලැගුම්හල් හිමියා ද පිට්ටනියට සෙල්ලම් කිරීමට පැමිණෙන කුඩා දරුවන් සමඟ ඇයි හොඳයියක් පවත්වාගෙන ගියේය. ඒ, ඒ දරුවන්ට ටොෆි, චොකලට් ආදිය ද ලබා දෙමිනි.
ලැගුම්හල් හිමියා විටින් විට විවිධ කටයුතු සඳහා යැයි පවසමින් සෙල්ලම් කරන්න පිට්ටනියට එන කුඩා දරුවන් සිය ලැගුම්හලට රැගෙන ගියේය. අප කළ සොයා බැලීමකදී ගම්මු කීවේ ලැගුම්හල් හිමියා කුඩා දරුවන් රැගෙන යන අයුුරු තමන් දැක ඇති බවය. ලැගුම්හලට එන විදේශිකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ගේ ලිංගික ආශා සඳහා කුඩා පිරිමි දරුවන් යොදවන බව ද ගම්මු අපත් සමඟ කීහ. ඒ හේතුව නිසාම ලැගුම්හල දෙසට දරුවෙකු යන්නේ නම් ඒ පිළිබඳ ගම්මුන් පසු වුයේ දැඩි විමසිල්ලකිනි.
වර්ෂ 2010 උදා වූයේය. නව වසර ආරම්භයත් සමග තිස්සමහාරාම, කිරින්ද ඇතුළු අවට ලැගුම්හල් ද විදේශිකයන්ගෙන් පිරී පැවතිණි. එදා ජනවාරි 25 දා ය. සුපුරුදු පරිදි සිතුම් සිය යහළුන් සමඟ එදින සවස පිට්ටනියට ගියේ බෝල ගසන්නටය. පිට්ටනියේ සෙල්ලම් කරන්නට පැමිණි දරුවන් දෙස ලැගුම්හල් හිමියා උකුසු ඇස් ලා සිටියේ කාටත් හොරාය. ටික වේලාවක් සෙල්ලම් කරමින් සිටි ළමයි එකා දෙන්නා සිය නිවෙස්වලට යන්නට ගියහ. සිතුම් සහ තවත් කීප දෙනෙක් ඒ වන විටත් පිට්ටනියේ වූහ. එම අවස්ථාවේ පිට්ටනිය අසලට පැමිණි ලැගුම්හල් හිමියා සිතුම්ට තමන් අසලට එන ලෙස හිසින් සංඥා කළේය. කිසිවක් නොදත් කොලු පැටියා වැඩිහිටියා සිටි දෙසට දිව ගියේය.
“ දරුවෝ පොඩි වැඩක් තියෙනවා... එන්නකෝ පොඩි උදව්වක් දෙන්න...” ලැගුම්හල් හිමියා පුංචි සිතුම් සිය ලැගුම්හලට රැගෙන ගියේය. ඒ සියල්ල අසල්වැසි කාන්තාවක් බලා සිටියාය. ඒ වග නොදත් ලැගුම්හල් හිමියා සිතුම් ලැගුම්හල තුළට රැගෙන ගියේය.
අසල්වැසි කාන්තාව ද නිකම් හිටියේ නැත. ඇය වහා ඒ පිළිබඳ සිතුම්ගේ මවට කියන්නට සිතුම්ගේ නිවසට ගියේය. “නංගි අන්න හෝටල් කාරයා උඹේ දරුවා එක්කගෙන ගියා දැක්කා. ඉක්මනටම ගිහින් බලපන්“ යැයි ඇය පැවසුවාය.
ඒ සමඟ ලැගුම්හල දෙසට සිතුම්ගේ මව දිවගියාය. ඒ යන විට සිතුම් ලැගුම්හලෙන් පිටතට පැමිණෙමින් සිටියේය.
“කොහේද උඹ ගියේ... මොකද වුණේ. කියපිය ඇත්ත”
කියන්නටත් බැරි, නොකියත් බැරි අහන්නටත් බැරි යමක් ඒ වන විටත් සිතුම්ට සිදු වී හමාරය. මවගේ ප්‍රශ්න වැල හමුවේ නිරුත්තර වු සිතුම් බිම බලාගෙන අම්මා වැලඳ ගත්තා විනා කිසිවක් කීවේ නැත. දරුවා රැගෙන නිවසට පැමිණි සිතුම්ගේ අම්මා නැවතත් දරුවා ළඟට ගෙන සිදු වුයේ කුමක්දැයි විමසු විට දරුවා එකක් නෑර සිදු වු සියලුම දෑ මවට පැවසුවේ තමන්ට සිදු වු දේ පිළිබඳ කිසිදු බරක්-පතලක් නොදැනය.
“මට හෝටලේ මාමා කිව්වා තව මන් වගේ අය ඉන්නවා නම් එක්කගෙන එන්න කියලා. සල්ලියි කෑමයි දීලා සලකනවා කියලත් කිව්වා.” යැයි දරුවා මවට පැවසීය. දරුවා කියමින් සිටියේ අම්මා කෙනෙකුට අසා සිටිය නොහැකි තරමේ කතාවකි. අම්මා සිතුම් දෑතින් අල්ලා වැලඳ ගත්තාය. ඉන් නොනැවතුණු සිතුම්ගේ අම්මා සිතුම් ද රැගෙන කෙළින්ම ගියේ තිස්සමහාරාම පොලීසියටය.
පොලීසියට ගිය සිතුම්ගේ අම්මා හඬමින්ම ස්ථානාධිපතිවරයාව ඇමතුවාය.
“අනේ මහත්තයෝ... අර හෝටල්කාරයා මගේ දරුවට ලිංගික අතවර කරලා. පැමිණිල්ලක් දමන්නයි ආවේ...”. පොලිස් නිලධාරීහු සාවධාන වූහ.
තිස්සමහාරාම පොලිසිය පැමිණිල්ල සටහන් කරගැනීමෙන් පසු සැකකාර ලැගුම්හල් හිමියා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසු සැකකරුට එරෙහිව පැවති මුලික නඩු විභාගයෙන් පසු නිතිපති වරයා විසින් සැකකරුට එරෙහි හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 04ක් යටතේ නඩු පවරන ලදි. ඒ අනුව පැවති නඩු විභාගය අවසානයේ සැකකාර ලැගුම්හල් හිමියා චෝදනා හතරෙන් චෝදනා දෙකකට වැරදිකරු බවට ඔප්පු විය. පසුගිය 22 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩුව කැඳවිණි. ඒ සැකකාර ලැගුම්හල් හිමියාට දඬුවම් පැමිණවීම සඳහාය.
එහිදී සැකකාර ලැගුම්හල් හිමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තැන සැකකරුට දඬුවම් පැමිණවීමට මත්තෙන් අධිකරණය හමුවේ කරුණු ගෙනහැර දැක්වීම සිදු කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ගයාන් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දැක්වීය. එහිදී අධිනීතීඥ ගයාන් පෙරේරා පැවසුවේ එම සිදු වීම කිසිසේත් සුළු කොට තැකිය හැකි කාරණයක් නොවන බවත්, සමාජයේ තවත් මෙවැනි සිදුවීම් ඇති නොවන්නට සැකකරුට උපරිම දඬුවම් පැමිණවිය යුතු බවත්ය.
ඉදිරිපත් වු සියලුම කරුණු කාරණා සැලකිල්ලටගත් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් සැකකරුට දඬුවම් නියම කළේ අධිකරණ ශාලාවේ වාඩි වී සිටි සැකකරුගේ ඥාතීන් හඬා වැටෙමින් සිටියදීම ය.
සැකකරුට එරෙහිව නඟා තිබු චෝදනා 4න් දෙකකට සැකකරු නිවැරදිකරු බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා චෝදනා දෙකකට සැකකරු වැරදිකරු බව ප්‍රකාශ කෙළේය. ඒ අනුව සැකකරු පළමු චෝදනාව සඳහා වැරදිකරු බවට ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා එම චෝදනාවට වසර දෙකක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 25000/=ක දඩ මුදලක් නියම කළේය. දඩ මුදල නොගෙවන්නේ නම් සැකකරුට තවත් වසර දෙකක සිර දඬුවමක් ද නියම කෙරිණි.
දෙවන චෝදනාව සඳහා ද සැකකරු වැරදකරු වීම හේතුවෙන් වසර 15ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමක් නියම කෙරුණි. ඊට අමතරව රුපියල් 50,000/=ක දඩ මුදලක් ද නියම කරන ලදි. රුපියල් 50,000ක දඩ මුදල නොගෙවන්නේ නම් නියම කෙරුණු දඬුවමට අමතරව තවත් වසර 05ක සිර දඩුවමක් ද නියම විණි.
එමෙන්ම අගතියට පත් වු බාලවයස්කාර පිරිමි දරුවාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද විනිසුරුවරයා වැරදිකරුට නියෝග කළේය. එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර 05ක සිර දඬුවමක් ද නියම විය. චුදිතගේ වසර 17ක් වු දඬුවම් කාලය ගෙවා දැමීමෙන් පසු සැකකරු බන්ධනාගාරය මඟින් මුදා හැරිය යුත්තේ සැකකරු අදාළ වන්දි මුදල් සහ දඩ මුදල් ගෙවා ඇති ද යන්න පිළිබඳව හම්බන්තොට මහාධිකරණ රෙජිස්ටාර් වරියගෙන් තහවුරු කරගැනීමෙන් පසුව බවට ද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය. එලෙස දඩ වන්දි සහ සිර දඬුවම් නියම වූයේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචි වීරක්කොඩිගේ ප්‍රසන්න නැමති 45 හැවිරිදි තිදරු පියෙකුටය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතීඥ ගයාන් පෙරේරා සමඟ තිස්සමහාරාම පොලීසියේ කොස්තාපල් සඳරුවන් පෙනී සියේය.
අනුන්ගේ දරුවන් පමණක් නොව තමන්ගේම දරුවා වුව ද සිය කාමාශාව සංසිඳුවාගැනීමට යොදාගන්නා මිනිස්සු වෙති. සමාජය සාරධර්ම අතින් අගාධයකට වැටෙමින් තිබේ. මේ නඩු තීන්දුව සමාජ ප්රතිසංස්කරණයක් වෙනුවෙන් නීතියෙන් ලබාදුන් අතිශය වැදගත් තීන්දුවකි. එහෙත් මේ තීන්දුව ලැබෙන්නේ අපරාධය සිදු වී වසර දහයකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවය. එදා ඒ අපාචාරයට ලක් වූ දරුවා මේ වන විට යෞවනයෙකි.
මේ යථාර්ථය තේරුම්ගැනීම වැදගත්ය. සමස්ත නීති පද්ධතියේම ප්‍රායෝගික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව රටට අවශ්‍ය බව මේ නඩුවල යටිපෙළ හරහා ප්‍රකාශ වනු පෙනේ.