පෙම්ව­තු­න්ගෙන් ගාන කපන කොස්තා­පල් බ්ලාස්ට් කළ පෙම්ව­තාගේ ගේම | Page 2 | සිළුමිණ

පෙම්ව­තු­න්ගෙන් ගාන කපන කොස්තා­පල් බ්ලාස්ට් කළ පෙම්ව­තාගේ ගේම

 

පොලිස් නිල­ධා­රීන්ගේ නොහො­බිනා හැසි­රීම් නිසා මහ­ජ­න­යාට විඳින්ට වූ තාඩන-පීඩන ගැන ඉකුත් කාලයේ බොහෝ සෙයින් වාර්තා විණි. අත­ළො­ස්සක් වන එවැනි නිල­ධා­රීන් නිසා මුළු පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වම විඳින්නෙ අව­මා­න­යකි. එවන් පොලිස් නිල­ධා­රීන්ට එරෙහි නීතිය අකු­ර­ටම ඉටු කර හෝ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ ගෞර­වය ආරක්ෂා කිරීම නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට කැප වී සිටින අවංක නිල­ධා­රීන්ගේ වග­කී­මයි. එසේ නීති­යට පිටින් ගොස් තරුණ යුව­ළ­ක­ගෙන් කප්ප­මක් ගැනී­මට යෑමෙන් පොලිස් නිල­ධා­රීන් තිදෙ­නෙ­කුට වැඩ වැර­දුණේ බස්නා­හිර පළාත් දකුණ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් නීතිය අකු­ර­ටම ඉටු කළ හෙයිනි. මේ ඒ කතා­වයි.

 

රමේෂ් වයස අවු­රුදු තිහක් පමණ වන අහං­ගම ප්‍රදේ­ශයේ තරු­ණ­යෙකි. මව පිළි­කා­ව­කින් පෙළෙන හෙයින් ඇය දින­ප­තාම පාහේ මහ­ර­ගම පිළිකා රෝහ­ලට රැගෙන යා යුතු නිසා රමේෂ් සිය මව සහ එකම සහෝ­ද­රයා සමඟ මීගොඩ ප්‍රදේ­ශයේ ඇනෙ­ක්සි­යක විසු­වේය. මව මහ­ර­ග­මට ගෙන යා යුතු හෙයින් රමේෂ් කුලී රථ ආය­ත­න­ය­කින් මෝටර් රථ­යක්ද කුලි­යට ගෙන තිබිණි. ඔහු එම රථ­යෙන් 'හයර්' දුව­මින් ගත­ම­නා­වක්ද සොයා­ග­ත්තේය.

මාලඹේ, තලා­හේනේ වෙසෙන සෙව්වන්දි, රමේෂ්ට හමු වන්නෙ මීට වසර තුන­කට පෙර­දීය. පෙමින් වෙළෙන දෙදෙ­නාගේ පෙම් පල­හි­ලව්ව කිසි­වෙකු දැන සිටියේ නැත. ඉගෙ­නීම් කට­යු­තු­වල නිරත වන සෙව්වන්දි වැඩි­දුර අධ්‍යා­ප­න­යට මැලේ­සි­යා­වට යෑමට බලා­පො­රො­ත්තුව සිටි­යාය. ඒ පසු­ගිය තුන්වැ­නි­දායි. විදේ­ශ­ගත වීමට සිටින තම පෙම්ව­ති­යට ත්‍යාග­යක් දීමට සිතූ රමේෂ්, සෙව්ව­න්දිට ඇමැ­තු­මක් ගෙන කීවේ, පසු­ගිය දෙවැනි දා සවස් යාමයේ මහ­ර­ග­මට එන ලෙසයි.

එදින මහ­ර­ග­මදී හමුවූ දෙදෙනා බෙල්ල­න්විල පන්ස­ල­ටද ගියහ. පසුව බොර­ලැ­ස්ග­මුව සුපිරි වෙළෙ­ඳ­ස­ල­කින් සෙව්ව­න්දිට අවැසි කළ­මනා මිලට ගෙන­දී­ම­ටද රමේෂ් අම­තක නොක­ළේය. අන­තු­රුව දෙදෙනා බොර­ලැ­ස්ග­මුවේ සිට පිළි­ය­න්දල දෙසට ගොස් මෑත­කදී ඉදි කළ අතුරු මාර්ග­යක රථය නතර කර රථය තුළ­ටම වී කතා­බස් කර­මින් සිටි­යහ.

වේලාව සවස හතට ආසන්න වී තිබිණි. අඩ අඳුරේ නවතා තිබෙන රථය දෙසට විදුලි පන්දම් එළි­යක් එල්ල කර­මින් පොලිස් නිල­ධා­රීන් පිරි­සක් රථය අසල සිටින අයුරු රමේෂ් දුටු­වේය. බියට පත් වූ රමේෂ් සහ සෙව්වන්දි සැණෙන් රථ­යෙන් බැස­ගත්හ. පොලිස් නිල ඇඳුම්ලා සිටි පිරිසේ සිටි කොස්තා­ප­ල්ව­ර­යෙකු සේ පෙනුණු අයෙක් ඉදි­රි­යට ආවේය.

“ මොන­වද මෙතැන කරන්නෙ... අනා­චා­රයේ හැසි­රෙ­න­වානේ... දෙන්නම පොලිසි අරන් යන්න වෙනවා... උසා­වි­යෙන් තමයි බේර­ගන්න වෙන්නෙ“

දෙදෙනා කොස්තා­ප­ල්ව­රයා ඉදි­රියේ වැඳ වැටෙ­මින් පින්සෙණ්ඩු වූහ.

“අනේ මං පාන්ද­රම රට යන්න ඉන්නෙ... අපිට එහෙම කරන්න එපා... අපි දෙන්න වර­දක් කළේ නෑ ... අපට යන්න දෙන්න“ සෙව්වන්දි බැගෑ­පත් වූවාය.

“උසාවි දැම්මොත් හත­ළි­ස්ප­න්දා­හක් දඩ ගහ­නවා“ කොස්තා­පල් ගෝර­නාඩු දැම්මේය. පෙනෙ­න්නට තිබුණේ පොලි­සියේ තිදෙ­නෙකු පැමිණ සිටින බවකි. ඔවුන් පැමිණ තිබුණේ යතු­රු­පැ­දි­ව­ලිනි.

කොස්තා­පල් උසාවි කතා­වක් කී හෙයින් දෙදෙනා බිරාන්ත වූහ. සෙව්ව­න්දිට දෙලොව රත් වූයේ පසුදා විදෙ­ස්ගත වීමට සිටි­නවා සේම නිවෙ­ස්ව­ල­ටද මේ ගැන සැල­වන බව සිහි වූ විටයි. එම නිසා රමේෂ් වර­දක් නොක­ළත් මේ නරු­ම­ය­න්ගෙන් බේරි යෑමට අවශ්‍ය හෙයින් පවසා ඇත්තේ,

“පන­ස්දා­හක් දෙන්නම්... අපිව අතා­රින්න...“

බැහැ යැයි කී කොස්තා­පල් රථයේ රියැ­දුරු අසු­නට නැඟ ඇමැ­තු­මක් ගත්තේය.

“ සාජන් මහ­ත්තයා මුන් දෙන්නා රුපි­යල් පන­ස්දා­හක් දෙන්න හද­නවා... මොකද කරන්නෙ...“ යනු­වෙනි. මඳ දුරක් ගිය රථය ආපසු හර­වා­ගත් කොස්තා­පල් ආපසු එද්දී රමේෂ් කීවේ ඒටී­එම් කුටි­යක් අසල නතර කරන ලෙසය.

අන­තු­රුව වේර­හැර ආර්එම්වී ආස­න්නයේ තිබෙන ඒටී­එම් කුටි­යක් අසල රථය නතර කෙරිණි. රමේෂ් සහ සෙව්වන්දි රථ­යෙන් බැස ඒටී­එම් කුටි­යට ගියහ. රථයේ වූයේ කොස්තා­පල් පමණි. ඒ අතරේ රමේෂ් ඔහුගේ යාළු­ව­කුට ඇමැ­තු­මක් ගෙන පැව­සුවේ “මචං මට කර­ද­ර­යක් ඉක්ම­නට වරෙන්...“යනු­වෙනි. යහ­ළුවා එන තෙක් කොස්තා­පල්ට මුදල් දීම ප්‍රමාද කිරීමේ අටි­යෙන් ඒටී­එම් කුටි­යට ගොස් පැමිණි රමේෂ් කීවේ, “ඒකෙන් සල්ලි ගන්න බෑ... වෙන එක­කට යමු“ කියායි. කොස්තා­පල්ගේ 'ගේම'ට එක්වූ සෙසු පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නාද ඒ වන විට රථය ආස­න්න­යට යතු­රු­පැ­දි­යෙන් පැමිණ සිටි බවට සැල වේ. එතෙක් වේලා රථය පැදවූ කොස්තා­පල් රිය අසුන රමේෂ්ට දුන්නේය.

බොර­ලැ­ස්ග­මු­වට පැමිණ මහ­ර­ගම දෙසට වන්නට පිහිටි බැංකු­ව­කින් මුදල් රැගෙන දීමට රමේෂ් සූදා­නම් වූයේය. ඒ වන විට රමේෂ්ගේ දුර­ක­ත­න­යද කොස්තා­පල් බාර­යට ගෙන තිබිණි.

රථ­යෙන් බැස­ගත් රමේෂ් සහ සෙව්වන්දි ඒටී­එම් කුටි­යට ගොස් රුපි­යල් පන­ස්ද­හ­සක් ලබා­ගෙන තිස්ද­හ­සක් සහ විසි­ද­හ­සක් ලෙස කලි­සම් සාක්කු දෙකේ දමා­ගෙන කුටි­යෙන් එන අතරේ රමේෂ්, සෙව්ව­න්දිට කියා ඇත්තෙ, දුර­ක­ත­නයේ රෙකෝ­ඩින් ඔන් කර­ගන්නා ලෙසයි.

රථ­යට නැඟුණු රමේෂ්, කොස්තා­පල්ට කීවේ, “අනේ මහ­ත්තයෝ රුපි­යල් තිස්දා­හ­මයි පොතේ තිබුණේ... යාළු­වෙ­කුට කිව්වා සල්ලි දාන්න කියලා.... එයාට දාන්න තැනක් නැහැලු... එයා දැන්මම සල්ලි අරන් එනවා කීවා... මිනිහා මේ ළඟම එනවා... එත­කල් මේක තියා­ගෙන පොඩ්ඩක් ඉන්න...“

කොස්තා­පල් එසැ­ණින් නැව­තත් සාජ­න්ව­ර­යාට ඇමැ­තු­මක් ගෙන කීවේ,

“සාජන් මහ­ත්තයා බල­න්නකෝ... මූ රුපි­යල් තිස්දා­හයි දෙන්න හදන්නෙ... මේකා වංගු දානවා... මේකා ලෝක ආ‍ඳෙක්...“යනු­වෙනි.

එහෙත් රමේෂ්ගේ යහ­ළුවා එන තෙක් නොසිට කොස්තා­පල් රුපි­යල් තිස්ද­හ­සද රැගෙන රථ­යෙන් බැස ගියේය. ඔහු රථ­යෙන් බසි­න­වාත් සමඟ රමේෂ් පොලිස් කොස්තා­පල්ගේ අංකය වන 82069 හඬ නඟා පව­ස­මින් සෙව්ව­න්දිට කියා තිබුණේ 'අංකය මතක තබා­ගන්නා' ලෙස­ටයි.

ඒ වන විට වේලාව රාත්‍රී අට­හ­මාර පමණ වී ඇත. සෙව්වන්දි මාල­ඹේට ගෙන ගොස් බස්සා රමේෂ් යාළු­ව­කුට කතා­කොට කියා ඇත්තේ, අස­වල් ස්ථාන­යේදී අස­වල් අංකය සහිත මෝටර් රථ­යට නැඟි පොලිස් නිල­ධා­රි­යෙකු කප්පම් ගැනී­මට සැරැ­සෙන බව කියා 119 පොලිස් හදිසි අංක­යට ඇමැ­තු­මක් දෙන ලෙසයි.

පොලි­සියේ අයෙ­කුම කප්ප­මක් ගන්නවා යැයි කීම නිසා පොලි­සිය තිගැස්සි ගියේය. එම නිසා ඇමැ­තු­මට ක්ෂණි­කව ක්‍රියා­ත්මක විණි. ඇමැ­තු­මෙන් කී ස්ථාන­ව­ලට බොර­ලැ­ස්ග­මුව පොලි­සිය ගියත් රථ­යක් හමු වූයේ නැත. පසුව රථයේ අංකය අනුව ආර්එම්වී මඟින් රථයේ අයි­ති­කරු අනා­ව­ර­ණය කර­ගැ­නී­මෙන් පසු ඔහු විසින් තම රථය කුලි­යට දී ඇති ආය­ත­නය අමතා ඇත. එම ආය­තන හිමි­කරු රථය කුලි­යට ගත් රමේෂ්ට කියා ඇත්තෙ, “මල්ලි පොඩි ප්‍රශ්න­යක්... බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට එන්න කිය­නවා... මමයි කාර් එකේ අයිති කෙනයි එනවා... ඔයත් කාර් එක අරන් ඉක්ම­න­ටම පොලි­සි­යට එන්න...“ කියායි.

පොලි­සියේ අයෙකු ම කප්ප­මක් ගත් බව සැල­වී­මත් සම­ඟින් උසස් පොලිස් නිල­ධා­රී­හුද සිද්ධිය ගැන දැඩි අව­ධා­න­යක් දැක්වූහ. ඒ අනුව නුගේ­ගොඩ කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කාරි රොෂාන් ප්‍රනාන්දු මහ­තාද රාත්‍රි­යේම බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණි­යේය. රාත්‍රි­යේම පොලි­සි­යට පැමිණි රමේෂ්ගේ කට­උ­ත්ත­රය අනුව බොර­ලැ­ස්ග­මුව පොලිස් පොතේ පැමි­ණි­ල්ලක් සට­හන් කැරිණි.

එසේ පොලි­සිය ක්‍රියා­ත්මක වෙද්දී පසුදා පාන්ද­රම රමේෂ්ද තමන්ට වූ අව­න­ඩුව දුර­ක­තන ඇමැ­තු­මක් මඟින් දන්වා තිබුණේ පොලිස් මූල­ස්ථා­නයේ පිහිටි පොලි­ස්පති සහන මැදි­රි­ය­ටයි. සහන මැදි­රි­යෙන් කියා තිබුණේ ඔහුට වූ අව­න­ඩුව ඉක්ම­නින්ම ලිඛි­තව සඳ­හන් කොට ෆැක්ස් කර­න­ලෙ­ස­ටයි.

ඒ සියලු කාරණා පොලි­සිය පැත්තෙන් කඩි­නම්ව සිදු වෙද්දී බස්නා­හිර දකුණ බාර නියෝජ්‍ය පොලි­ස්පති වසන්ත වික්‍ර­ම­සිංහ මහතා මෙහි විම­ර්ශන බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරි විදුර ජය­සිංහ මහ­තාට පැවැ­රීය. පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ උප­දෙස් මත එහි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජයන්ත පෙරේරා සහ (20553) සාජන් මෙන්ඩිස් ඇතුළු කණ්ඩා­යම ඒ මොහො­තේම විම­ර්ශන ආරම්භ කෙළේය.

ඒ අනුව මුලින්ම රමේෂ් කී අංකය සහිත පොලිස් කොස්තා­ප­ල්ව­රයා සිටින්නෙ කොහිද යන්න සෙවීය. එහිදී අනා­ව­ර­ණය වූයේ එකී කොස්තා­ප­ල්ව­රයා ගල්කිස්සෙ රාජ­කාරි කරන බවයි. එසේම කලක් මිරි­හා­නේද රාජ­කාරි කර ඇති බවක්ද අනා­ව­ර­ණය වූයේය.

ඔහු ගැන සොයා බැලී­මේදී අනා­ව­ර­ණය වූයේ එකී කොස්තා­ප­ල්ව­රයා සෙසු නිල­ධා­රීන් අත­රද අප්‍ර­සාද චරි­ත­යක් බවයි. පසුව පසු­ගිය හතර වැනිදා පොලිස් පරී­ක්ෂක ජයන්ත පෙරේරා සහ සාජන් මෙන්ඩිස් ඇතුළු පිරිස ගල්කිස්ස පොලි­සියේ අය­ටද සැක නොසි­තෙන පරිදි ගල්කිස්ස පොලි­සියේ සැරි­සරා සොයා­ගත්තේ 82069 අංකය දරන ප්‍රියන්ත නමැති කොස්තා­ප­ල්ව­රයා පොලිස් විවේ­කා­ගා­රයේ ඉහළ මහලේ නිදා සිටින බවයි.

රාත්‍රි 9ට පමණ විවේ­කා­ගා­රයේ නිදා සිට පහ­ළට බසිනා අව­ස්ථාවේ කොස්තා­පල් ප්‍රියන්ත අත්අ­ඩං­ගු­වට ගැනිණි. එහෙත් ඔහු එම සිදු වීම පිළි­ගැ­නී­මට මැළි­ක­මක් දැක්වූ­යේය. පස්වැනි දා කැස්බෑව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ සැක­කරු ලබන 17 වැනිදා දක්වා බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහේ­ස්ත්‍රාත් රුචිර වැලි­වත්ත මහතා නියෝග කෙළේය.

පොලිස් විම­ර්ශ­න­යේදී මීට සම්බන්ධ වූ සෙසු දෙදෙ­නාද අනා­ව­ර­ණය කර­ගැ­නිණි. ඒ ගල්කිස්ස පොලි­සියේ 119 යතු­රු­පැදි රාජ­කා­රියේ නිර­තව සිටි දෙදෙ­නායි. ප්‍රියන්ත අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ ඔවුහු රාජ­කා­රි­යට වාර්තා නොකොට අතු­රු­දන් වී සිටි­යහ.

එහෙත් ප්‍රියන්ත අත්අ­ඩං­ගු­වට ගෙන දින තුන­කට පසු 119 රාජ­කා­රියේ නිරත සමන් නමැති කොස්තා­ප­ල්ව­රයා රාජ­කා­රි­යට වාර්තා කෙළේය. ඔහු පසු­ගිය 08 වැනිදා අත්අ­ඩං­ගු­වට ගත් අතර 09 වැනිදා රාත්‍රියේ අනෙත් කොස්තා­ප­ල්ව­රයා වන මහේෂ් නමැ­ත්තාද අංගොඩ ප්‍රදේ­ශයේ නිවෙ­සක සිටි­යදී ලැබුණු තොර­තු­රක් මත අත්අ­ඩං­ගු­වට ගත්තෙ බස්නා­හිර පළාත් අප­රාධ කොට්ඨා­සයේ සාජන් මෙන්ඩිස් ඇතුළු කණ්ඩා­යම විසිනි.

මහේෂ් පාපෝ­ච්චා­ර­ණය කර තිබුණේ, ප්‍රියන්ත කතා­කොට වේර­හැ­රට පැමි­ණෙන ලෙස දන්වා සිටි බවත්, ඒ අව­ස්ථාවේ ඔහු මෝටර් රථ­යක් අස­ලට ගොස් මොන­වාදෝ කතා කළ බවත්, තමන් සහ සමන්ද ඒ අසල සිටි බවයි. පසුව ප්‍රියන්ත එම මෝටර් රථයේ නැඟ ගිය බවත්, මිනිත්තු තිහ­කට පමණ පසු ඇමැ­තු­මක් ගෙන බොර­ලැ­ස්ග­මු­වට පැමි­ණෙන ලෙස දන්වා සිටි බවයි. එසේම රුපි­යල් තිස්ද­හ­සක් කපා­ගත් බව ප්‍රියන්ත කී බවද හෙළි කරන මහේෂ්, ප්‍රියන්ත විසින් තම­නට සල්ලි දීමට තැත් කළ මොහොතේ තමා කීවේ, 'මං උඹෙන් සල්ලි අරන් තියෙ­න­වානේ... ඒ ණයට හරි­යන්න මට සල්ලි එපා යැයි' කී බව මහේෂ් පොලි­සි­යට හෙළි කළේය.

ප්‍රියන්ත ගල්කිස්ස පොලි­සියේ අප­රාධ වැළැ­ක්වීමේ යතු­රු­පැදි රාජ­කා­රියේ නිර­තව සිටි අයෙකි. ඔහුට පැවැරී තිබූ රාජ­කා­රිය වූයේ උදේ අටේ සිට සවස හය තෙක් යතු­රු­පැ­දි­යෙන් ගොස් අදාළ ප්‍රදේ­ශයේ මූල්‍ය ආය­තන ආරක්ෂා කිරීමේ පොත් අස්සන් තැබීමේ රාජ­කා­රි­යයි. එම රාජ­කා­රි­යට නිල­ධා­රීන් දෙදෙ­නෙකු එක් වුවත් එදින ප්‍රියන්ත තනිව ගොස් ඇත. එසේ තනිව ගිය හෙයින් මේ කප්පම ගැනීමේ සහා­යට 119 යතු­රු­පැදි රාජ­කා­රියේ නිරත සමන් සහ මහේෂ් දෙදෙ­නාද ඇම­තු­මක් දී කැඳ­වා­ගෙන තිබෙන බවට සැල වේ.

ගල්කිස්ස පොලිස් බල­ප්‍ර­දේ­ශයේ පෙම්ව­තුන් බහු­ලව ගැව­සෙන ප්‍රදේ­ශ­යකි. සැක­ක­රු­වන් එසේ සැරි­ස­රන තරුණ තරු­ණි­ය­න්ගෙන් කලෙක සිටම කප්පම් ගැනීම් සිදු­කර ඇති බවට සැක ‍කෙරෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

බස්නා­හිර දකුණ බාර නියෝජ්‍ය පොලි­ස්පති වසන්ත වික්‍ර­ම­සිංහ මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරි විදුර ජය­සිංහ සහ පොලිස් අධි­කාරි 1 රොෂාන් ප්‍රනාන්දු මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ ස්ථනා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජයන්ත පෙරේරා, සාජ­න්ව­රුන් වන (20553) මෙන්ඩිස්, (56951) සුනිල්, (90248) ප්‍රසන්න, (61108) දයා­රත්න, කොස්තා­ප­ල්ව­රුන් වන (77688) අමිල, (81600) සමීර, (13177) නුවන්, (72338) ලලන්ත ඇතුළු පිරිස පරී­ක්ෂ­ණ­ව­ලට එක් වූහ.

පුද්ගල නාම මනඃ­ක­ල්පි­තය.

 

Comments