දිනය20 වෙනිදාය. වේලාව පෙරවරු 7.45ට පමණය. අම්පාර උහන ගුවන් හමුදා පථයෙන් ගුවනට එසැවුණු වයි12 යානයෙන් පැරෂුට් භට පිරිසක් ගුවන්ගත වූහ. ඒ ඉහළ අහසේ රූ රටා නන්වන සීආර්ඩබ්ලිව් නමැති පැරෂුට් ක්‍රියාකාරකමට පිරිසක් පුහුණු කිරීමටය. පුහුණු කිරීමේ උපදේශකයා හමුදා විශේෂ බළකායේ බලලත් නිලධාරී චම්පික කුමාරසිරිය.
පොළොවේ සිට අඩි දහසදහසක ඉහළදී බලලත් නිලධාරී කුමාරසිරි යානයෙන් පැන්නේය. සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙක් නිශ්චිත ලෙස සියැසින් දැක තිබුණේ නැත. ඔහු පොළොව මත ඇද වැටුනේය.
වාර්තාවන ආකාරයට කුමාරසිරිගෙන් සීආර්ඩබ්ලිව් පුහුණුව ලබමින් සිටි කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල් සුදේශ් කුමාරගේ පැරෂුටය හා කුමාරසිරිගේ පැරෂුටය පැටළී ඇත. මේ ගැන යම් පමණකට හෝ කියන්නට දන්නේ සුදේශ් කුමාරය.
“ එදා දොළොස් දෙනෙක් ජම්ප් කරන්න ගියා... මුලින් හතරදෙනෙක් ජම්ප් කළා. ඊට පස්සෙ මම පැන්නා. පස්සෙ කුමාරසිරි සර් පැන්නා. සර් තමයි එදා හිටිය අත්දැකීම් බහුලම ජම්පර්. මට කිව්වා පැනලා තත්පර දෙකකින් පැරෂුටය විවෘත කරන්න කියලා... සර් තත්පරයකින් විවෘත කරනවා කීවා.
විවාහ වූදා |
අනතුරුව අපි දෙන්නා දෙන්නා ගුවනේ රූරටා මැවීමට සූදානම් වෙද්දී කුමාරසිරි සර්ගෙයි මගෙයි පැරෂුටය පැටලුණා. ඒ වෙලාවෙ සර් කිව්වා සුදේශ් කලබල නැතිව ඉන්න මං මොනවහරි කරන්නම් කියලා. ක්ෂණයෙන් සර්ගේ පැරෂුටයේ කැනපිය මගේ ඇඟේ පැටළිලා බෙල්ලෙත් එතුණා. සර් ඉන්නෙ මට පස්සෙන්. මං කෑගැහැව්වා සර්..සර්..කියලා. ඒත් සර්... මුකුත්ම කතා කළේ නැහැ. විනාඩි එකහමාරක් විතර අපි දෙන්නා පැටළිලා හිටියා.
සර්ගෙන් කිසිම පිළිතුරක් නැති නිසා එවැනි අවස්ථාවකදී පැරෂුට් පුහුණුවේදී දෙන උපදෙස් අනුව මම කටයුතු කළා.” සුදේශ් පවසන්නේ එදින සිදු වූ දේය.
එවැනි අවස්ථාවල පැරෂුට් භටයන් කරන්නේ පැටලී ඇති ලණු කපා වෙන් කිරීමය. එදින සුදේශ් ද ඒ ක්‍රමවේදය අනුව තමන් සතුව තිබූ පිහියෙන් පැටළී තිබූ කුමාරසිරිගේ පැරෂුටයේ ලණු දෙකක් කපා දෙදෙනා වෙන් වුණේය.
ඒත් සමඟ කුමාරසිරි ද දිගහැරුණු පැරෂුටයෙන් බිමට පතිත වී තිබුණේ සාමාන්‍ය පැරෂුට් භටයෙකු ලෙසය. නමුත් ඔහු අතින් පැරෂුටයේ පාලනය ගිලිහී තිබිණි. පාලනයකින් තොර පැරෂුටයත් සමග ඔහු බිමට පතිත වන ආකාරය පහළ සිටි පැරෂුට් භටයන්ට දිස්වී තිබිණි.
ගුවන් හමුදා කඳවුරේ පතිත කලාපයේ අවට කැලෑබද ප්‍රදේශයක පැරෂුටය සමඟ කුමාරසිරි වැටී සිටියේය. ඔහුගේ සිරුරට මතුපිටින් කිසිදු හානියක් වී නොතිබුණි. නමුත් ඔහු මෙලොව හැර ගොස් සිටියේය.
සැබැවින්ම ඔහුට සිදු වූයේ කුමක්ද? මෙරට සිටින අත්දැකීම් බහුලතම පැරෂුට් භටයාවන මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතා අප හා මෙසේ පැවැසීය.
“කුමාරසිරි කියන්නෙ අපට හිටිය අතිදක්ෂ පැරෂුට් භටයෙක්. ඔය සිදුවීම සිදුවෙන්න දවස් කීපයකට කලින් අම්පාරේදීම මාත් කුමාරසිරි සමඟ ජම්ප් කරලා සීආර්ඩබ්ලිව් කළා. සීආර්ඩබ්ලිව් කියන්නෙ අවදානම් වැඩක්. පැරෂුටය දිගහැර තියෙද්දී එකිනෙකා අල්ලන්න යාමේදී පැරෂුට් පටළැවෙනවා. ඒත් අත්දැකීම් බහුල ජම්පර්ස්ලා එම පටළැවිලි සීරුවෙන් බේරගන්නවා. ඒ විශ්වාසයෙන් තමයි කුමාරසිරි සීආර්ඩබ්ලිව් ජම්ප් එකට නවකයෙක් වූ කෝප්‍රල්වරයාට කලබල නැතිව ඉන්න කියලා තිබුණේ. ඒත් හිතාගන්න බෑ වුණේ මොකක්ද කියලා.
කුමාරසිරිගේ මව |
ඔය පැරෂුට් එකේ එක් ලයින් එකකින් (ලණුවකින්) උඩදී ලොකු ශක්තියක් ඇදෙනවා. සාමාන්‍යයෙන් බෙල්ලක එහෙම එතුණොත් සිදුවෙන අනතුර ඉතාම අවදානම්. එවැනි දෙයක් තමයි කුමාරසිරිට සිදුවෙන්න ඇත්තෙ. මීට මාස කීපයකට කලිනුත් අපට සිටින අත්දැකීම් බහුලතම සීආර්ඩබ්ලිව් පැරෂුට් භටයන් දෙදෙනෙක් ඔය විදිහටම පැටලුනා. ඔවුන් දෙදෙනා පසුව එම පැරෂුට් දෙක කටවේ (කටවේ යනු විවෘතව තිබෙන පැරෂුටය ගලවා දමා අතිරේක පැරෂුටය විවෘත කිරීමයි) කළා. කුමාරසිරිත් පැරෂුට් එක කට්වේ කරලා තියෙනවා. ඒත් එයාගේ බෙල්ලෙ එතිලා තිබුණ නිසා පැරෂුට් එක ගැලවිලා ගිහින් නෑ කියලා හිතන්න පුලුවන්.”
නිදහස් ආර පැටෂුට් පිමි 680ක් පිනූ යුද හමුදා තුන්වැනි විශේෂ බළකායේ බලලත් නිලධාරි චම්පික කුමාරසිරි විශේෂ බළකායේ සිටින පැරෂුට් භටයන් අතර වැඩිම පිමි ප්‍රමාණයක් පිනූ විරුවා ලෙසද ඉතිහාසගත වේ.
2010 වසරේ ගුවන් හමුදාවේ සිටි අතිදක්ෂ පැරෂුට් කරුවෙක් වූ විශ්‍රාමික වින්ග් කමාන්ඩර් හරිශ්චන්ද්‍ර හේරත් මහතා යටතේ කුමාරසිරි කටුනායකදී නිදහස්ආර පැරෂුට් කරුවෙකු ලෙස පුහුණුව හදාරා ඇත. නිදහස්ආර පැරෂුට් කරුවෙකු දක්වන සීආර්ඩබ්ලිව්, වින්ග්ෂූට් වැනි සියලුම පිමිවලට නිපුණයෙක් වූ කුමාරසිරි අතිබිහිසුණුම පැරෂුට් පිම්ම වන බේස් ජම්ප් පිම්ම පිනූ ලාංකේය පැරෂුට් කරුවන් තිදෙනාගෙන් කෙනෙකු ලෙසද ඉතිහාසගත විණි.
ඔහු 2017 ඔස්ට්‍රියාවේ ෆෙසරයිසඩ් නමැති බේස් ජම්ප් පිම්ම පුහුණු කරන ලොව තිබෙන හොඳම ආයතනයෙන් පුහුණුව ලබා තිබිණි. ෂැංග්‍රිලා හෝටලයේ සිට අතිශය බිහිසුණු පැරෂුට් පිම්මක් වන ‘බේස් ජම්ප් ’ පිම්ම පනිමින් 2017 සහ 2018 නිදහස් උලෙළ දෙකෙහිම ගෝල්ෆේස් පිටිය වර්ණවත් කළ පැරෂුට් කණ්ඩායමේ ඔහු සිටියේය. දෙවසරකට උඩදී චම්පික කුමාරසිරි පැරෂුට් ජීවිතයේ අත්දැකීම් ගැන පැවැසුවේ මෙලෙසිනි.
“බේස් ජම්ප් පිම්ම කියන්නෙ අමුතුම අත්දැකීමක්. ඇසිපිය ගහන සැණින් බිම. මම ඔස්ට්‍රියාවේදී පුහුණු වුණේ කන්ෆනාර්හි අධිවේගී මාර්ගයක පාලමකින් පැනලා. ඉතාලියේදී පුහුණු වුණේ කඳුකර ප්‍රදේශයක් වන 'ආර්කෝ' නමැති පළාතෙ කන්දකින් පැනලා. එතැන තනිකරම ගල්තලාවක් තිබුණේ. උස අඩි 2500ක පමණ සිට පැන්නෙ ගල්තලාව මතටයි. ඒ තැන හරියට අපේ රටේ ලෝකාන්තය වගේ. ඉමක් කොනක් නොපෙනෙන තැනක්. පොඩි අතපසුවීමක් ඇති ජීවිතේ නැති වෙන්න.”
කුමාරසිරි පැවැසුවේ හිනැහෙමිනි. එදා එලෙසින් කීවද ඒ අතපසු වීම තමන්ට සිදුවනු ඇතැයි ඔහු කෙදිනවත් සිතන්නට නැතිව ඇත.
බිහිසුණු පිමි පනිමින් පුහුණුව ලැබූ සිය සගයා ගැන මේජර් නලින් කියන්නේ මෙවැනි කතාවකි.
“ඔහු අතිදක්ෂ පැරෂුට් ජම්පර් කෙනෙක්. ඔහු නැති අඩුව ඉදිරියේදී බේස් ජම්ප් පිම්ම පැනීමේදී අපට බෙහෙවින් බලපානවා. අපි තුන්දෙනා ළඟදීම කොළඹ නෙළුම් කුලුනෙන්, රිවස්ටන්වලින් සහ වික්ටෝරියා ඩැම් එකෙන් බේස් ජම්ප් පිම්ම පනින්නයි හිටියේ. ඒත් මොහුගේ අඩුව නිසා කරන්නෙ මොකද්ද කියා හිතාගන්න බැහැ.”
ත්‍රිවිධ හමුදා සේවයටම කැපවූ සහෝදර සහෝදරියන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ කුමාරසිරි ජීවිතය ජයගත් අයෙකි.
වීර මාතාවක් ලෙසින් රාජ්‍ය සම්මාන ලබා ඇති කුමාරසිරිගේ මව වන විමලාවතී තම පුතුගේ නිසල දේහය ඉදිරියේ හඬා වැළපෙන්නීය. ඇය තම පුතු ගැන වචන ගලපා ගැනීම ද අසීරුය.
“මගේ මහත්තයා සර්පයෙක් කාලා මැරෙනකොට මගේ රත්තරන් පුතාට අවුරුදු 17යි. පුතා තමයි කුඹුරු වැඩ කුලි වැඩ කරලා පවුලම ජීවත් කළේ. ඉන් පස්සේ තමයි පුතා යුද හමුදාවට බැඳුණේ.“
වසර දෙකකට පෙර සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට කාලය එළැඹ තිබුණත් පැරෂුට් සූරයකු ලෙස පෑ හපන්කම් නිසාවෙන්ම ඔහු යුද හමුදා පැරෂුට් කණ්ඩායමට අත්‍යවශ්‍යම කෙනෙක් වී සිටියේය. එම නිසා ඔහුට තවත් කලක් හමුදා සේවයේ කල් ගෙවීමට සිදුවිණි. මාතර, කඹුරුපිටියේ පුහුල්වැල්ලෙ විසූ 42 හැවිරිදි කුමාරසිරි දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිය නිරෝෂා ප්‍රියදර්ශනී මේ වන විට තෙවැනි දරුවා බිහිකිරීමටද සූදානමින් සිටී.
ආධුනික සෙබළෙකු ලෙස 1995 වසරේ මහසොහොන් බළකාය ලෙසින් හඳුන්වන තුන්වැනි විශේෂ බළකායට එක්වූ කුමාරසිරි යුද සමයේ සතුරන්ට දැඩි අභියෝගයක් වූ ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙසටද, සතුරු භූමියට කඩා වැදුණු දිගුදුර විහිදුම් බළකා සාමාජිකයෙකු (එල්ආර්ආර්පී) ලෙසද අභීත සේවයක් කළේය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවද නියෝජනය කරමින් හයිටි, ලෙබනන් රාජ්‍යයන්හි රාජකාරියට එක්වූවේය.
පැරෂුට් පිම්මේ අතිදක්ෂයෙකු වූවත් පැරෂුට් සිදුවන දශමයක අතපසුවීමක් ජීවිතය අහිමි වීමට හොඳටම ප්‍රමාණවත් යැයි පවසා සිටියේ මෙරටින් බිහිවූ තවත් අතිදක්ෂ පැරෂුට් විරුවෙක් වන කොමාන්ඩෝ බළකායේ විශ්‍රාමික මේජර් සුජිත් සිරන්ජීවයි.
“සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාව ඉතාම භයානක දෙයක්. ඒ නිසාමයි මෙයට එක්වන පිරිස අඩුවෙලා තියෙන්නෙ. පිටරටවල ජම්ප් දාහ, දෙදාහ දලා අත්දැකීම් බහුලම ජම්පර්ස්ලාගේ පවා ජීවිත අහිමිවෙලා තියෙනවා. බලාගෙන සිටින්නන්ට මොනතරම් මනරම් දසුනක් පෑවත් පැරෂුට් පනින අය තමයි දන්නෙ එහි තියෙන භයානකත්වය.”
අපුරු පිමි පනිමින් ජනතාව කුල්මත් කළ ලාංකේය පැරෂුට් පිම්මට ඉමහත් සේවයක් කළ අතිදක්ෂයකු අවසන් ගමන්ගියේ රටම හඬවාය. ඔහු නැති අඩුව පිරවීට කෙනෙක් නැති වනු ඇත.