බුදු දහම සහ බෞද්ධයාගේ ආමිසය මුල් කොටගත් පුද පූජා සමාජය විසින්ම දෙවෙනි කොට දක්වනු පෙනේ. මේ තර්ක ගොඩනඟන්නෝ බුදුදහම බැබළෙන්නේ ප්‍රශ්න කළ තරමටය යන මතය ඉදිරිපත් කරමින් ආමිස පුජාව නිගරු කරති.
බුදුහිමි පුදන ආකාරය පුද්ගලයකුට අනන්‍යය වූවකි. එය තම හදවතේ ශ්‍රද්ධාව පෙරදැරි කරගනිමින් තමාට හැකි උපරිමයෙන් සිදු කරන්නකි. චෛත්‍යයට බෝධියට බුදුපිළිමයට වැද නමස්කාර කරන්නට යමෙකුට සිතෙන්නට හේතු තිබේ. ඒ හේතු සංස්කෘතිය, සාමාජානුයෝජනය සහ පවුලෙන් එන අත්දැකීම් මූලික කොට හට ගන්නකි. එහෙත් දහම පිළිබඳ, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව අවබෝධය වර්ධනය වන විට සිතෙහි හටගන්නා ප්‍රභාෂ්වර බව ශාස්තෘෘන් වහන්සේ සංකේතවත් කරන උත්තම සංකේතයන් ඉදිරියේ වන්දනය ලෙසින් ක්‍රියාවට නැඟේ.
බුදුහිමිගේ ත්‍රෛවිධ ධාතුන් වහන්සේට අයත් ත්‍රිවිධ බෝධීන් වන්දනා කරගැනීමෙන් කුසල් සිදු වන බැව් බුදුන් ධරමාන කාලයේදීම ඔප්පු කර ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඇත. ඉන් පළමු වැන්න ආනන්ද බෝධියයි. බුදුහිමි දකින්නට එන සැදැහැවතුන් බුදුහිමි ජේතවනාරාමයේ නැති විට දොම්නස් සහගතව ආපසු හැරී යන බැවින් බුදුහිමි වැඩ නොසිටින වේලාවට වන්දනාමාන කිරීමට සුදුසු යමෙක් ඇද්දැයි ආනන්ද හිමියන් බුදු හිමි විමසූහයි පැනේ. එම අවස්ථාවේ බුදුහිමිගේ අනුශාසනය පරිදි ගයාවේ බුදුහිමි සම්බෝධියට පත් වීමට සෙවණ දුන් බෝධියෙන් අංකුරයක් ජේතවනාරාමයේ උත්සවාකාරයෙන් අනේපිඩු සිටු අතින් රෝපණය කරවීමට ආනන්ද හාමුදරුවන් කටයුතු කළහයි බෞද්ධ සාහිත්‍යය පෙන්වයි. රෝපණය කළ බෝධිය මූලයෙහි බුදුහිමි සමවත් සුවෙන් වැඩ හිඳ එය සැදැහැවතුන්ගේ වන්දනාවට සුදුසු ස්ථානයක් බවට පත් කළහයි කියැවේ.
දෙවැන්න කෝසම්භි වර්ණනාවේ සඳහන් වන සඳුන් අරටුවෙන් කරන ලද බුදු පිළිම වහන්සේගේ පුවතය. කෝසම්භි වර්ණනාවට අනුව බුදුහිමි අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ අවස්ථාවේ පසේනදී කෝසල රජු ඇතුළු පිරිස බුදුන් වන්දනා කිරීමට නොහැකි වීම නිසා දොම්නස් සහගත වී යැයි කියැවේ. පසුව බුදුහිමි ආපසු වැඩි පසු බුදුහිමි හමුවේ බුදුහිමිගේ පිළිරුවක් කෝසල රජු සඳුන් අරටුවකින් නෙළන්නට අවසර ඉල්ලූ අවස්ථාවේ බුදු හිමි ඒ සඳහා අනුමැතිය ලබා දුන් බව සඳහන්ය. එම බුද්ධ ප්‍රතිමාව කළ බව සඳහන් කාලයෙන් සියවස් දහයකට පසු, එනම් පස් වන සියවසේ ඉන්දියාවේ චාරිකා කළ හියුත්සාං භික්ෂූවගේ චාරිකා සටහනේ එම ප්‍රතිමාවහන්සේ ගැන සඳහන්ය. හියුත්සාං සටහන කෝසම්බි වර්ණනාවේ සඳහන් කාරණා හා ගැළපෙයි.
විශාලා මහනුවර තුන්බිය පැතිරී මිනිසුන් අනේකවිධ පීඩා විඳිද්දී රතන සූත්‍රය දේශනා කරමින් පිරිත්පැන් ඉසිමින් මහා සංඝයා වහන්සේ නුවර වටා වැඩම කළ බවත් ඉන් තුන්බිය සමනය වූ බවත් සූත්‍ර පිටකයේ සඳහන්ය. රතන සූත්‍රයේ අඩංගු වන්නේ තුනුරුවනේ ගුණ සමුදායයි. “ඒ ගුණයන්හි සත්‍යයේ බලයෙන් ඔබ සුවපත් වේවා!“යන සත්යක්රියාවයි. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවනේ අනන්ත ගුණයේ බලයෙන් සුවපත් වේවා! ප්‍රාර්ථනා කරන්නට බෞද්ධයන් මෙහෙයවන්නේ මේ බෞද්ධ සූත්‍රාන්ත දේශනාය.
බුදුහිමි අනුශාසනා කළ බොහෝ කාරණා වර්තමාන ලෝකයේ විද්වතුන් අතර සම්භාවනාවට ලක් වී ඇති අයුරු පෙනේ. ඉන් එකක් නම් ජපන් විද්‍යාඥයකු විසින් පිරිත් බලයෙන් ජල අණුවේ හැඩය වෙනස් වන ආකාරය ලෝකයට ඉදිරිපත් කිරීමය. පිරිත් පැන්වල බලය පිළිබඳ විමසන වෙනත් මානයක් අප වෙත විවර වී තිබේ.
ඉතිපිසෝ ගාථාවෙන් කියැවෙන්නේ ලොව පහළ වූ නික්ලේෂී උතුමකුගේ අසම සම ගුණ සමුදායකි. එවන් උතුමකුගේ ගුණ මෙනෙහි කර මා සුවපත් වේවා! කියන විටදී අපගේ මනස ශාන්ත සුවයට පත්වන්නේද කියා විමසා බැලීමෙන් පසක් කරගත යුතුය.
ආමිස පූජාව පිළිබඳ වර්තමානයේ විවිධ විරෝධතා මතු වෙයි. බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන සමහර ආමිස පූජා විශාල නාස්තියක්ය යන මතය සමාජගත වෙමින් ඇත. ඒ සම්බන්ධවද අප කළ යුත්තේ විවේචකයකු ලෙසින් බුදු පුදට කෙරෙන කටයුතුවලට ගැරහීම නොව බුදු රජාණන් වහන්සේ පුද්ගලයාගෙන් සැබැවින්ම අපේක්ෂා කළ පූජාව කවරේද යන්න ත්‍රිපිටකය ඇසුරින්ම විමසා අවබෝධ කරගැනීමය.
එහෙත් බුදුදහම ගැඹුරින් අවබෝධ කරගත නොහැකි පුද්ගලයන් අද පමණක් නොව බුදු සමයේත් ජීවත් වුහ. එවන් මිනිසුන් කුසල් වඩා ප්‍රඥා ඇස දල්වාගන්නා තෙක් සතර අපායේ නොවැටී සසර ගමන් කිරීම සඳහා ආමිස පූජාවෙන් විශාල දායකත්වයක් ලැබේ.
බුදු දහම ප්‍රතිපත්ති පූජාව මත පමණක් පවත්වාගෙන යා නොහැකිය. අපගේ මහා විහාර සම්ප්රදාය ඉක්මනින් නැති වූයේ එහෙයිනි. අභයගිරි සම්ප්රදාය නොවන්නට බුදු දහම වැනසී යන්නට ඉඩ තිබිණි. කණිෂ්ක අධිරාජයා බුදු දහම ප්‍රචලිත කරන්නට ආමිසය පෙරටු කොටගත්තේ එහෙයිනි. පිළිම කලාව එහි කූටප්‍රාප්තියයි. හර්ෂවර්ධන අධිරාජයාද බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් එවන් මහඟු මෙහෙයක් සිදු කළේය. එම නිසා ආමිසය පමණක් නොව ප්‍රතිපත්ති පූජාවද නිසි අවබෝධයෙන් කිරීමට වැදගත්ය. එසේ නොවුවහොත් අප විසින් පුරනු ලබන ප්‍රතිපත්ති පූජාවෙන්ද අපට නිසි ඵල නෙළාගත නොහැකි වනු ඇත.
යමෙකුට සතර මඟ සතර ඵල අවබෝධ කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තවමත් නිසි මාර්ග විවරය. එහෙත් ආමිය පූජාව පවත්වා ගත යුත්තේ එතරම් ප්‍රඥාවත් නොවූ ජනතාව ශ්‍රද්ධාවෙන් යුතුව ආමිසයේ යෙදීමෙන් පවින් වැළකී සතර අපායේ නොවැටෙන්නට ඉඩ හරිනු පිණිසය.