මේ දින වල සමාජ - දේශපාලන ක්ෂේත්රවල ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්, ඔවුන්ට එල්ල කෙරෙන විවේචන හා දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ඒ වෙනුවෙන් උද්ගත වී තිබෙන උණුසුම හා ගැටුම ආදියයි. ඒ සමඟ ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවකාශයක් තිබේද යන ප්‍රශ්නයත් සමාජ අවධානයට ලක්ව තිබේ. යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් ජනාධිපතිවරන සටනේ දේශපාලන න්‍යාය පත්‍රය බහා තැබීමට ද සිදුවිය හැකිය. ඒ කුමක් වුවත් එළඹෙන ජනාධිපතිවරණය මෙරටේ දේශපාලන පක්ෂවලට අතිශය තීරණාත්මක එකක් වනු ඇත. දේශපාලන විචාරකයන් පමණක් නොව මැතිවරණ කොමසාරිස්වරයාගේ ද ප්‍රකාශ වලින් තහවුරු වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ලැනීම දුෂ්කර වන බව ය. කුමක්ද එයට හේතුව; ඒ වූ කලී ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලයේ අනිටු පලයක් හා එයට හේතු වු මනාප ඡන්ද මගඩියත් බව කව්රුත් දනිති.
කිසියම් රට ප්රජාතන්ත්රවාදයේ යහපත් ලක්ෂණයක් වන්නේ නිදහස් මැතිවරණ ක්‍රමයයි. මහජන කැමැත්ත නිරබාධිත ව හා පැහැදිලි ව ප්‍රකාශ වීම එයින් අපේක්ෂා කෙරේ. එහෙත් දැන් කලක සිට භාවිත වන මනාප ඡන්ද ක්‍රමය ඒ ප්රජාතන්ත්රවාදී අවකාශයට බාධාවක් බව කවුරුත් දනිති. ප්‍රකට ආණ්ඩුක්‍රම විශේෂඥයකු මෙන්ම විදග්ධ දේශපාලන භුමිකාවකට හිමිකම් කියන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් මේ ඡන්ද ක්‍රමය ප්රජාතන්ත්රවාදයට පටහැනි විකෘතියක් බව එදා පැහැදිලි ව ම ප්‍රකාශ කළේය. ඒ කුමක් වුවත් එවක බලයේ සිටි එ.ජා.ප. ය එදා සිය බහුතර බලය පාවිච්චි කිරීමෙන් සම්මත කළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරටට අත්පත් කර දුන් විනාශය බරපතල එකක් විය. ඇත්ත වශයෙන්ම ඒ ආණ්ඩුක්රමය එ.ජා.ප.ය නමැති දේශපාලන පක්ෂය දෙස බලා ගෙන ඒ මිම්මට සකස් කරන ලද්දකි. ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ද 78 ව්‍යවස්ථාව ප්රජාතන්ත්රවාදී ආභරණ පැළඳ වූ ඒකාධිපති ක්‍රමයක් බව ය. එහෙත් 1978 සිට 2019 වනතුරුත් අපට ඒ ක්‍රමයෙන් ඉඳුරා ගැලවීමක් නැති විය. ඒ ක්‍රමය යෝජනා කර සම්මත කළ උරුමක්කාරයෝ පවා අද වන විට එහි විපත් දකිති.
2015 ජනවාරි 08 දේශපාලන පෙරළියේ ප්‍රබල සටන්පාඨය වූයේ විධායක ජනාධිපතික්රමය අහෝසි කරන බව ය. එයට මුල් වූයේ ද එ.ජා.ප.ය ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වලින් සැදුම්ලත් පෙරමුණකි. එහි නියමුවා ලෙස මහජනයා විසින් බලය ලබා දෙන ලද්දේ එදා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ය. මෛත්‍රී ඒ අභියෝගයට උර දුන්නේ මෙරටේ ප්රබලතම දේශපාලන ව්‍යාපාරයක් වන ශ්‍රී ල.නි.ප.යේ මහ ලේකම් ධුරය ද ඔට්ටුවට තබමින් ය. ඉතා සුළු ප්‍රමාදයකින් මෛත්‍රීට සිය දේශපාලන පැවැත්ම අනතුරකට ලක් කර ගැනීමේ අවකාශය ද තිබුණි. එහෙත් විධායක පාලනයක වින්දිතයන් බවට පත්ව සිටි ජනතාව මෛත්‍රී මෙරටේ අභිනව ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්හ. එසේනම් ජනතාව අපේක්ෂා කළ විධායක ක්‍රමය අහෝසි නොවූයේ ඇයි? ඇත්ත වශයෙන් ම එයට දිය යුතු කෙටි පිළිතුර එය මෙරටේ දේශපාලන නායකයන්ගේ හා ඔවුන් වෙළාගත් බල තෘෂ්ණාවේ සැබෑ ප්‍රතිඵලය ලෙස එය ඉටු නොවූ බව ය. 2015 දී ජන ප්‍රසාදයෙන් රාජ්‍ය නායකත්වයට පත් වූ මෛත්‍රී ඉතා පැහැදිලි ව ම ඒ ජනතා අභිලාෂය ඉටු කිරීමට අප්‍රමාණ ව කැප විය. එහෙත් ඔහු සමඟ ඒ කාර්යට දායක වු දේශපාලන කණ්ඩායම තුළ වූයේ කෙබඳු දුෂ්ට අරමුණු හා ඉලක්ක ද යන්න දැන් ප්‍රකට රහසකි. මෛත්‍රී ජනාධිපතිවරයාට මුළු වැර යොදා කළ හැකි වූයේ පැවති ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීම පමණි. 19 වැනි සංශෝධනය ලෙස සම්මත වූයේ එයයි. ඒ සංශෝධන ක්‍රියාදාමය තුළ සාධනීය ලක්ෂණ නැතැයි කිව නොහැකිය. එයට ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ යෝජනා කීපයක් ද ඇතුළත් වී තිබුණි. එහෙත් එමඟින් සිදු වූයේ විධායක ක්‍රමය අවුල් ජාලයක් බවට පත් කිරීමකි. එය මෛත්‍රී ජනාධිපතිවරයා හෝ ජනතාව අපේක්ෂා කළ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ නම් නොවීය. විධායකයේ බලය අවම කිරීමටත් පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමටත් ක්‍රියාකරන බවට ආණ්ඩුව මෙන්ම සිවිල් සංවිධාන කෙබඳු ඝෝෂා කළත් සිදු වූයේ වෙනත් දෙයකි. මේ වනවිට 19 වැනි සංශෝධන ක්‍රියාවලියේ භාරකාරත්වයට පවා චෝදනා නැඟී තිබේ. එහි ඇතැම් සමාජිකයන්ගේ පාපොච්චාරණ ද ඇසුණි. කුමක් වුවත් වැඩේ ලෙඩක් වී රටට අවුලක් පමණක් ඉතිරි වී තිබෙන බව නම් පැහැදිලි ය. එය මෛත්‍රී ජනාධිපතිවරයාට ද රහසින්, ක්‍රියාත්මක වූ දේශපාලන මෙහෙයුමක් නිසා සිදු වූවක් බව අපට සෘජු ව ම කිව හැකිය. ඇත්තට ම සිදු වූයේ එදා පාර්ලිමේන්තුවේ බලය විධායකයේ සාක්කුවට දමා ගත් ජේ.ආර්.ගේ ක්‍රමය වෙනුවට විධායකගේ බලය සාක්කුවට දමා ගත හැකි රනිල්ගේ ක්‍රමයක් සකසා දීමකි. එහෙත් එයට නීතිමය සීමා හරස් වීම නිසා ව්‍යවස්ථා සංශෝධනය සූත්රධරයන්ගේ ක්‍රියාදාමය රට අවුලකට ඇද දැමීමක් විය. එසේම රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයාට හිමිව තිබුණු සාධනීය බලතල පවා ඇඟට පතට නොදෙනී ඉවත් කර තිබීම ද 19 වැනි සංශෝධනයේදී සිදු විය. කෙබඳු දූෂණයක් සිදු කළත් පාර්ලිමේන්තුව විසුරුවා ලීමට තිබුණු බලය ඉවත් වූයේ ද ඒ අනුවය. ජනාධිපති ධූර කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන අදටත් සමහරු ප්‍රශ්න කරන්නේ ද ඒ ව්‍යාකූලත්වය නිසා ම ය. එපමණක් නොව 19 වැනි සංශෝධනයෙන් ජාතික ලැයිස්තු ක්‍රමයවත් ඉවත් කිරීමට නොහැකි වීමෙන් තහවුරු වන්නේ අපේ දේශපාලන නායකයන් ප්රජාතන්ත්රවාදය ජප කරමින් බල අරගලයේ ම නිරතව සිටින බව නොවේද?
කුමක් වුවද මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ පවා විවිධ මත භේද හා ගැටුම් මැද ඇදී යන ආකාරයද අපි දකිමු. මේ ගැටුම් නිසා එ.ජා.ප. ජනපති අපේක්ෂකයා නම් කිරීම කල් යන බව මාධ්‍ය වල පළවී තිබුණි. එසේම එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයන් අතර අවසන් එකඟතාවක් ඇති වී නැති බව ද කියති. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා ප්‍රකාශයට පත් කර තිබුණත් ඔවුන්ගේම සාමාජිකත්වයෙන් හා අනුගාමිකත්වයෙන් යුතු ඔවුන්ට වඩාත් ම සමීප ශ්‍රී ල.නි.ප.ය මෙතෙක් ඔවුන්ගේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බවක් නිල වශයෙන් ප්‍රකාශ කර නොතිබීම ද විශේෂ කරුණකි. එ.ජා.ප.ය හැරුණු විට මෙ රටේ පැරණිතම මෙන් ම ආණ්ඩු බලය අත්පත් කරගත් ප්‍රධාන පක්ෂය ශ්‍රී ල.නි.ප.යයි. ශ්‍රී ල.නි.ප.යෙන් වෙන්ව ඇරඹුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා වමේ හා ප්‍රමුඛ ජනබලයක් ද එකරාශි වී තිබේ. දේශපාලන අංක ගණිතය අනුව පොදු ජන පෙරමුණ අද ශ්‍රී ල.නි.ප. අබිබවා ඉදිරියට ගොස් ඇති බව එහි නායකයෝ මෙන්ම අනුගාමිකයෝ ද කියති. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය අනුව එම පක්ෂය ඉදිරියෙන් සිටින බව තර්ක කළ හැකිය. එහෙත් ජනාධිපතිවරණය වැනි ප්‍රධාන මැතිවරණයකදී ඡන්දදායකයාගේ හැසිරීම කෙසේද? යන කරුණ ද ගැඹුරින් සිතා බැලිය යුත්තකි. ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර අවධාරණය කරන පරිදිම මෛත්‍රි ජනාධිපතිවරයා හා මහින්ද විපක්ෂ නායකවරයා එක්ව ඒ පිළිබඳ ව සියලු කරුණු සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතු වෙති. දුමින්ද දිසානායක පවසන්නේ ද ශ්‍රී ල.නි.ප. අනන්‍යතාව සුරැකෙන ගෞරවනීය සම්මුතියකට එළඹිය යුතු බව ය. ශ්‍රී ල.නි.ප.ය පොහොට්ටුවට දියකර හැරීමට ඉඩ නොදිය යුතු බව ය.
ශ්‍රී ල.නි.ප. යනු උපන් ගෙයි අධිරාජ්‍ය විරෝධී හා ධනවාදයට එකඟ නොවූ පොදු ජනබල වේගයකි. 1951 සැප්තැම්බර් 02 වනදා උපත ලබන ශ්‍රී ල.නි.ප.ය මෙරටේ ජාතික සංස්කෘතික උරුම ස්වදේශිකත්වයක් මත පදනම් වූ මධ්‍යම ප්‍රතිපදාව අනුදත් ජන බලවේගයකි. මහින්ද, මෛත්‍රී යන දෙනොම ඒ ශ්‍රී ල.නි.ප.යේ සුජාත දරුවෝය. ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී මෙරටේ අගමැතිවරයා ලෙස පත්වූයේ මහජන එක්සත් පෙරමුණ නැමැති සන්ධානයෙනි. 1951 දී ශ්‍රි ල.නි.ප.ය ගොඩ නඟා 1952 මහ මැතිවරණයට ඉදිරිපත් වූ බණ්ඩාරනායක මහතාට එදා ලබා ගත හැකි වූයේ ආසන 9 ක් වැනි සංඛ්‍යාවකි. එසේම මෙරටේ ශ්‍රී ල.නි.ප.ය සතු ශක්තිය හා මැදහත් වීම් සුළු කොට තක්සේරු කිරීමද වමේ බලවේග වලට වුවද නොහැකි වේ.
කෙසේ වුවත් චන්ද්‍රිකා කුමාරතුංග සමඟ එළඹෙන ශ්‍රී ල.නි.ප. යුගය අවසන් වූ ආකාරයත්, ඉනික්බිතිව මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ල.නි.ප. නායකත්වයත් කිසියම් සීමාහි සාර්ථක වුව ද එයට හිමි ජනප්‍රියත්වය අඛණ්ඩ ව රඳවා ගැනීමට නොහැකි වූ බවද රහසක් නොවේ. 2010 වෙද්දී ශ්‍රී ල.නි.ප.යට වඩා බලවත් දේශපාලන පෞරුෂයක් ගොඩනඟා ගැනීමට මහින්දට හැකි වී තිබුණි. ඒ තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කරමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීම නිසා ය. 2010 දී මහින්ද සටන් කළේ යුද්ධයට හමුදා නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා සමඟ ය. අනතුරුව එළඹී 2015 මැතිවරණයේදී යුද ජයග්‍රාහකයා වී සිටි ප්‍රබල අපේක්ෂකයා වුයේ මහින්ද ය. එහෙත් මහින්දගේ දෙවන පාලන යුගය පිළිබඳ ජනතාව තුළ ප්‍රසාදයක් නොවූ බව පැහැදිලි විය. මහින්දට තරගයක් දිය හැකි නායකත්වයක් එ.ජා.ප.ය මෙහෙය වූ රනිල්ට තිබුණේ ද නැත. රාජපක්ෂ බලය පෙරළා දැමීම සඳහා ශක්තිමත් දේශපාලන පෞරුෂයක් සොයා ගැනීම පවා එවේලෙහි අභියෝගයක් විය. ඒ සඳහා කාගේත් අවධානය යොමු වූයේ ශ්‍රී ලං.නි.ප.යේම මහ ලේකම් ධුරය හෙබ වූ මෛත්‍රී කෙරෙහි ය. ඒ තෝරා ගැනීම ඵෙතිහාසික ඇරඹුමක නිමිත්තක් මෙන්ම නිවැරදි එකක් බව මෛත්‍රී ලද ජයගහණයෙන් තහවුරු විය.
මෛත්‍රී ජනාධිපතිවී පසුව එළඹී මහ මැතිවරණයේ ඉදිරියෙන් සිටියේ රනිල් මෙහෙය වූ එ.ජා.ප.යයි. ඒ සඳහා මෛත්‍රීගේ ආකර්ෂණය ද නොලැබුණා නොවේ. මහින්දගේ නායකත්වයෙන් යුතු පොදු ජන පෙරමුණට හිමි වූයේද අඩු බලයකි. මෛත්‍රී රනිල් දායකත්වයෙන් පිහිට වූ ආණ්ඩුවට ඉඩදී මහින්ද ඇතුළු පොදු ජන පෙරමුණේ පිරිසක් විපක්ෂයේ අසුන් ගත්හ. තාක්ෂණික ප්‍රශ්නයක් නිසා විපක්ෂ නායකත්වය හිමි වූයේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට ය. ජ.වි.පෙ. අනුර කුමාර දිසානයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමි විය.
මේ අතර ශ්‍රී ල.නි.ප.යේ නායකත්වය ද මෛත්‍රීට හිමි වූ අතර ඔහු විසින් ශ්‍රී ල.නි.ප.ය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාදාමයක්ද අරඹන ලදී. රාජපක්ෂවරුන් ශ්‍රී ල.නි.ප.යෙන් විතැන් වී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය ආරම්භ වන්නේද මේ දේශපාලන සන්දර්භයේ ය. ඒ කුමක් වුවත් මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියට ගියේ සීතල යුද්ධ හා දේශපාලන ප්‍රතිපත්තිමය ගැටුම් ද සමඟ ය. රනිල් සමඟ සිටි ඇතැම් පිරිසකගේ සහාය ද ඇතිව සිදු වූ ආර්ථික ක්‍රියාමර්ග මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම ද මේ දේශපාලන විරසකයට හේතු විය.
මෛත්‍රී රනිල් විරසකයේ කූඨප්රාප්තිය වුයේ රනිල්ගේ ආණ්ඩුව ඉවත් කර මහින්ද අගමැති කරමින් බලාත්මක කළ ආණ්ඩුව ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව සදොස් බව ය. එහිදී මහින්දට පාර්ලිමේන්තුවේ සිය බලය තහවුරු කළ හැකි වූයේ නම් ඒ ගැටලු සියල්ල නිරාකරණය වීමට ද ඉඩ තිබුණි. එහෙත් සුළු පක්ෂ මෙන්ම ජ.වි.පෙ.ද මහින්දගේ බලයට අභියෝග කළ හෙයින් රනිල්ට යළිත් අගමැති ධුරය ලැබුණි. සැබැවින් ම එදා උද්ගත වූ ඒ ක්‍රියාදාමයට නිවැරදි ම විසඳුම වූයේ අලුත් මහජන වරමක් ලබා ගැනී ම ය. එහෙත් එයට ද නීතිමය බාධා හරස් විය. පාර්ලිමේන්තුව විසුරුවා ලීමේ බලය ද විධායකයෙන් ඉවත් කර තිබීම එයට හේතු විය.
ඉනික්බිතිව එ.ජා.ප.ආණ්ඩුවේ දෙවැනි ඉනිම ආරම්භ වුවද එයින් උද්ගත වූ දේශපාලන ව්‍යාකූලත්වයට විසඳුමක් ලැබුණේ ම නැත. ආණ්ඩුව රනිල්ගේ අභිමතය වුව ද මෛත්‍රී එහිදි බොහෝ දේවල් වළක්වාලීමට ද සමත් වීම ජනතාව ලද ජයග්‍රහණයක් විය. ආණ්ඩුවේ නව ලිබර්ල් ප්‍රතිපත්ති සමඟ මෛත්‍රී ජනාධිපතිවරයාට ගැටලු රැසක් ම තිබුණි. මේ කාලය අතර තවත් විශේෂ දෙයක් සිදු විය. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් හිමි වීම ය. මෛත්‍රී නායකත්වය දුන් ශ්‍රී ල.නි.ප.යටද එයින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි විය. මහින්ද නොනිල මට්ටමෙන් සහාය දුන් පොහොට්ටුවට ප්‍රබල ස්ථානයක් හිමි විය. මේ ජයග්‍රහණය ශ්‍රී ල.නි.ප.යේ පසුබෑමකට මෙන්ම පොහොට්ටුවේ සමහරුන්ගේ උන්මාදයකට ද හේතු විය. එහෙත් එබඳු ප්‍රතිචාර වලින් සිදු විය හැක්කේ යහපතට වඩා අයහපතක් බව ද බොහෝ දෙනෙක් වටහා නොගනිති.
මේ පසුබිම තුළ මේ රටට අවශ්‍ය ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීම සඳහා නිසැක වශයෙන්ම ශ්‍රී ල.නි.ප.යත් එහි වත්මන් නායක මෛත්‍රී ජනාධිපතිවරයාගේ සහායත් අවශ්‍ය වනු ඇත. මෛත්‍රී මහින්ද එකඟතාව ලෙස දේශපාලන සාක්ෂරතාවක් සහිත අය විසින් හඳුන්වනු ලබන්නේ ද මේ පක්ෂ දෙක එක්ව රටේ අභිවෘද්ධියට ක්‍රියා කළ යුතු බව ය.