මහමඟ අතරමං නොවී ‘ගූගල් ට්‍රාන්සිට්, එක්ක යන්න | සිළුමිණ

මහමඟ අතරමං නොවී ‘ගූගල් ට්‍රාන්සිට්, එක්ක යන්න

මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිමන්ත ද සිල්වා

මෙරට පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන ජනතාවගේ ගමනාගමන ක්‍රියාවලිය පහසු කරන විකල්ප වැඩසටහනක් ලෙස ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. එම සේවාව මෙරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කරමින් ඊට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබාදී ඇත්තේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිමන්ත ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කළ කතා බහකි.

 ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව ශ්‍රී ලංකාව තුළ වැඩි දියුණු කිරීමට ඔබ කටයුතු කර තිබෙනවා. ඒ සඳහා බලපෑ විශේෂ හේතුවක් තියෙනවද?

මා සැලකිය යුතු කාලයක් ජීවත් වී සිටියේ විදේශ රටක. මා ලංකාවට ආවට පස්සේ පොදු ප්‍රවාහන සේවය යොදාගෙන කිසියම් ස්ථානයකට යන්න උත්සාහ කරද්දි, මට තිබුණු විශාල ප්‍රශ්නයක් තමයි නිවැරදිව ඒ ස්ථානය වෙත ළඟා වෙන්නේ කොහොමද කියන එක. මට හරියට බස් රූට් එකක් හොයා ගන්න බැහැ. මේ නිසා මීට කිසියම් හෝ දායකත්වයක් ලබාදිය යුතු බව මට හැඟුණා.

මා දවසක් මගේ ශිෂ්‍යයකු වන රකිත කුමාරගේට ඒ බව කිව්වා. සර්, මේ වැඩේ මේ විදියට කරන්න පුළුවන් කියල දළ අදහසක් ඔහු ඉදිරිපත් කළා. ඒ අදහසත් එක්ක අපි ඉදිරියට ගිහිල්ලා ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවශ්‍ය සහාය ඉල්ලා සිටියා. මොකද මේ දේ නිවැරදිව කරන්න නම් ප්‍රවාහන අමාත්‍යංශය හරහාම යන්න ඕන. බස් රථ, දුම්රිය ගමනාගමන සියල්ලක් ම පාලනය වෙන්නේ මේ අමාත්‍යංශය මඟින් නිසා.

එවකට හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා, ලේකම්තුමා හා සභාපතිතුමා මේ වැඩේට බොහෝම කැමති වුණා. ඊට පස්සේ අපි වැඩ පටන් ගත්තා. ඉතිං සතුටුයි කියන්න... ඉතාම අඩු වියදමකින් වසරක් ඇතුළත අපට මේ කටයුත්ත අද කිසියම් මට්ටමකට නිම කරන්න හැකියාව ලැබී තිබෙනවා.

ඔබ සඳහන් කළා වසරක් තුළ මේ සේවාව ඉතාම අඩු වියදමකින් නිම කරන්න හැකි වූ බව, ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළොත්?

වර්ෂ 2018 වසරේ ජූනි මාසයේදී මේ සේවාව සම්බන්ධයෙන් අප සැලසුම් සකස් කර, ජාතික ගමනාගමන කොමිසම මඟින් ප්‍රවාහන අමාත්‍යංශය එක්ක සාකච්ඡා ආරම්භ කළා. අප කිසිවකු මේ කටයුත්තට දායක වුණේ මූල්‍ය පරමාර්ථය මූලික කරගෙන නොවෙයි. අපට ඕන වුණේ ප්‍රවාහන සේවයේදී අප හැමෝටම බලපාන ගැටලුවක් සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න. අපට අවශ්‍ය දත්ත බොහෝ ප්‍රමාණයක් ප්‍රවාහන අමාත්‍යංශය සතුව තිබුණා. අප ඒවා ලබාගෙන අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳ සොයාබලමින් මේ කටයුත්ත සාර්ථක කරගන්න කටයුතු කළා.

මේ කාර්යයේදී හිටපු ප්‍රවාහන ඇමතිතුමා වගේම වත්මන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇමතිතුමාත් අපට මේ කටයුත්ත සාර්ථකව නිම කරගන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසා වැය වීමට සිදු වන විශාල පිරිවැයක් අපට ඉතිරි කරගන්න හැකියාව ලැබුණා.

ගූගල් ට්‍රාන්සිට් සේවාව කියන්නේ මොකක්ද?

අප බොහෝ දෙනා ගූගල් මැප්ස් පාවිච්චි කරන්නේ අප කිසියම් ස්ථානයකට යනවා නම් ඒ තැන බලාගන්න සහ යන්නේ කොහොමද කියල හොයලා බලන්න පමණයි. අප ගමනාන්තය ලබාදුන්නම අපට ප්‍රධාන මාර්ගයෙන් ඒ ගමනාන්තයට ළඟා වන ආකාරය පමණයි මෙතෙක් කල් එහි පෙන්නුම් කළේ. ප්‍රධාන මාර්ග පද්ධතිය ඔස්සේ ගමනාන්තයට ළඟා විය හැකි කෙටිම මාර්ගය සහ කාලය එහි දකින්න ලැබුණා. මේ නව සේවාව පැමිණීමට ප්‍රථම ලංකාවේ මාර්ග පද්ධතිය ගැන කිසිවක්ම දන්නේ නැති විදේශිකයකුට හෝ ලංකාවේ ජීවත් වන අයකුට යම් ස්ථානයකට බස් රථයකින් හෝ දුම්රියකින් යන විට ඒ යන ස්ථානය පිළිබඳත්, පොදු ගමනා ගමන පහසුකම් ලබාගත හැකි ස්ථාන පිළිබඳත්, ඒවා පිටත් වන කාල සටහන පිළිබඳත් දැනගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එහෙම තිබුණ නම් ඒ පොතකින් හෝ කිසියම් වෙබ් අඩවියකින් හෝ පමණයි. එහෙම හැකියාවක් ලැබුණත්, මේ සියලු විස්තර එක ස්ථානයකින් ලබාගැනීමේ හැකියාවක් මෙතෙක් තිබුණේ නැහැ. මේ සඳහා තිබුණු දත්ත ඉතාම අඩුයි. මෙන්න මේ අඩු තොරතුරු ප්‍රමාණය වර්ධනය කරමින් උපරිම සේවයක් සලසන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම අඩු අධ්‍යාපන මට්ටමක් ඇති කෙනෙකුට වුණත් මේ ඇප් එක පාවිච්චි කරලා ඉතා පහසුවෙන් තමන්ගේ ගමනාන්තය කරා ළඟා වෙන්න පුළුවන්.

අඩු අධ්‍යාපන මට්ටමක කෙනෙකුට මේ නව ඇප් එකෙන් මේ සේවාව ලබාගන්න පුළුවන් කියල ඔබ කිව්වා. ඒ කොහොමද?

ගූගල් ඇප්ලිකේෂන් එක යටතේ ගූගල් මැප් එකේම බස් එකක ලාංජනයක් සහිත ගූගල් ට්‍රාන්සිස්ට්වලට යන්න පොඩි ටැබ් එකක් තියෙනවා. මීට කලින් ඒ ලාංජනය තියෙන තැන එබුවට මොනවත් තිබුණෙ නැහැ. නමුත් දැන් එහෙම නැහැ. ගූගල් ජී.ටී.එෆ්.එස් (Google general transit feed specification) ඔස්සේ අපට තිබෙන හැම බස් රථයකමත්, දුම්රියකමත්, හැම මාර්ගයක්මත්, ගමනාන්තය සඳහා ගතවන වේලාවත්, නවතා තබන බස් නැවතුම් පොළවල හා දුම්රියපොළවල තොරතුරු මේ පිරිවිතර ඔස්සේ ලබාදෙනවා.

තවත් සරලව කිව්වොත්; මෙහිදී ගූගල් ට්‍රාන්සිට් පරිශිලකයන්ට යම්කිසි ගමනාන්තයකට ළඟා වීමට අවශ්‍ය නම් තෝරාගත් ගමනාන්තයට යා හැකි බස් රථය හෝ දුම්රිය, ඒවා ළඟා වෙන හා පිටත් වන වේලාව පමණක් නෙමෙයි, එම බස් රථ සහ දුම්රිය නවතා තබනා ස්ථාන පවා එම සේවාව මඟින් ගූගල් පරිශීලකයන්ට නොමිලයේ ලබා දෙනවා. ලොව පුරා ක්‍රියාත්මක වන, එහෙත් ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක නො වූ එම සේවාව මඟින් ජනතාවගේ ගමනාගමන කටයුතු නියමිත පරිදි සැලසුම් කිරීමට හැකි වීමෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් ඉතිරි කර ගැන්න මේ නිසා හැකියාව සැලසෙනවා.

තවමත් මුළුමනින්ම මේ සේවය මඟින් ලංකාවේ හැම මාර්ගයක්ම ආවරණය වී නැහැ නේද?

ඔව්, දැනට ආරම්භයක් විදියට මුළු ලංකාවේම දුම්රිය මාර්ගවලත්, ජාතික ගමනාගමන මණ්ඩලය බස්රථ ධාවනය කරන මාර්ගවලත්, බස්නාහිර පළාතෙන් පටන්ගන්න හා ඉවර වන බස් මාර්ගවලත්, බස්නාහිර පළාතේ අතුරු මාර්ගවල ගමන් ගන්නා බස් මාර්ග සියල්ලක්මත් එමඟින් ආවරණය කර තිබෙනවා. ඒ අනුව ගූගල් මැප් එකට ඇතුළු වෙලා කෙනෙකුට තමන් ඉන්න ස්ථානයේ ඉඳලා තමන් යන්න අවශ්‍ය තැන සලකුණු කළාම කුමන බස්රථයෙන් ගිහිල්ලා කුමන ස්ථානයකින් බැහැලද අදාළ ස්ථානයට යන්න ඕන කියල දක්වනවා. එහිදී පයින් ගියොත් අදාළ ස්ථානයට තිබෙන දුර, ගත වන වේලාව පවා දක්වා තිබෙනවා. ඒ වගේම දුම්රියකින් යනවා නම්, ගමනාන්තයට තිබෙන දුර, යන මාර්ගය, ගතවන කාලයත් දැක්වෙනවා.

මේ ඇප් එකෙන් රටට ජනතාවට ලැබෙන වාසි මොනවද?

ලොකුම වාසිය තමයි මේ දත්ත නැතිකමින් පොදු ප්‍රවාහනය සේවය පාවිච්චි නොකර වෙනත් පෞද්ගලික ප්‍රවාහන සේවාවලට යොමු වූ උදවිය පොදු ප්‍රවාහන සේවයට යොමු කළ හැකි වීම. මේ විදියට පොදු ප්‍රවාහන සේවයට යොමු වීමෙන් ජනතාවට විශාල පිරිවැයක් ඉතිරි කරගැනීමට ලැබෙනො වගේම මාර්ග තදබදයටත් එමඟින් විසඳුමක් ලැබෙනවා. මොකද මෙවැනි දත්ත නැති නිසා බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලික වාහනයෙන් හරි කුලියට ගන්න වාහනයකින් හරි තමයි තමන්ගේ ගමනාගමන අවශ්‍යතා ඉටු කර ගන්නේ. ඉතින් මේ නිසා තමන්ගේ කාලය අපතේ නොහැර අඩු පිරිවැයකින් අදාළ ස්ථානයට ගමන් කරන්න මඟියාට ඉඩ ලැබෙනවා.

ඒ වගේම විදේශිකයන්ට එමඟින් විශාල පහසුවක් සැලසෙනවා. අප වුණත් විදේශගත වුණාම ගූගල් මැප් භාවිතයෙන් තමයි අපේ ගමනා ගමන අවශ්‍යතා ඉටු කරගන්නේ. ඉතිං ඔවුන් පෞද්ගලික වාහන පාවිච්චි නොකර පොදු ප්‍රවාහන සේවයට යොමු වෙනවා. අපේ බලා පොරොත්තුව වෙන්නේත් හැකි තරම් පොදු ප්‍රවාහන සේවයට ජනතාව යොමු කරවීමයි. එමඟින් අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම නිසා අහිමි වන විශාල පිරිවැයක් අපට ඉතිරි කරගන්න හැකියාව සැලසෙනවා.

ඒ වගේම හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීමෙන් විදේශිකයන් ආකර්ෂණය කරගෙන විදේශ විනිමය ඉහළ නංවන්නත් විශාල සහායක් ලැබෙනවා. අනෙක් අතට බස්නාහිර පළාතින් පටන් ගන්න බස්රථවලට පමණක් සීමා වී පවතින මේ මාර්ග සිතියම් සැකැස්ම, අනෙකුත් පළාත්වලටත් පුළුල්ව ව්‍යාප්ත කළාම තමයි මෙහි උපරිම ප්‍රතිලාභය හිමි කරගන්න පුළුවන් වෙන්නේ.

මේ කාර්ය සාර්ථක කරගැනීම සඳහා කටයුතු කිරීමේදී මුහුණපාන්න වුණ අභියෝග මොනවා ද?

අවුරුද්දකට කලින් පොඩි කාර්යක් විදියට පටන්ගත්තත් සෑහෙන්න කාලයක් මේ පිරිවිතරය වෙනුවෙන් කැප කරන්න අපට සිද්ධ වුණා. අපට ගොඩක්ම අමාරු වුණේ මේ සඳහා අවශ්‍ය නිවැරදි දත්ත එකතු කරගැනීමයි. ඒක ලොකු අභියෝගයක් වුණා. උදාහරණයකට දුම්රිය මාර්ගය ගැන ජාතික ප්‍රවාහන කොමිසම සතුව තොරතුරු තිබුණත්, බස්නාහිර පළාතේ තිබෙන බස්රථවලත්, මාර්ග ගැනත්, ඒවයේ කාල සටහන් ගැනත් දත්ත හරියාකාරව තිබුණෙ නැහැ. ඒ නිසා අපට ඒවා එකතු කරගන්න සෑහෙන කාලයක් වැය වුණා. අර්ජුන රණතුංග ඇමතිතුමා විශේෂ අවධානය යොමු කරලා අපට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා.

ඔහුගේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම සහාය ලබාදෙමින් මේ සේවාව කඩිමනමින් ජනතාවට ලබාදෙන්න ඔහුට ලොකු අවශ්‍යතාවක් තිබුණා. ඒ වගේම ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සහ දැනට ඉන්න සභාපතිතුමන්ලා කාර්ය මණ්ඩලය හැකි සෑම අයුරකින්ම උදව් උපකාර කළා.

මේ දත්ත දිගින් දිගටම යාවත්කාලීන විය යුතුයි. ඉදිරි කටයුතු සැලසුම් කර තිබෙන්නේ කොහොමද?

ඔබ කිව්වා නිවැරැදියි. මෙහි ලොකුම කාර්යය මින් ඉදිරියට මෙය පවත්වාගෙන යෑමයි. මාර්ග පද්ධතිය වෙනස් වෙනවා නම්, නව මාර්ග එකතු වෙනවා නම්, කාලසටහන් වෙනස් වෙනවා නම් නිතරම යාවත්කාලීන වෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන්ට මේ කාර්ය ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය පුහුණුව අප ලබාදුන්නා. මෙම කාර්ය සාර්ථක කර ගැනීමේදී මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අංශය හා සිවිල් ඉන්ජිනේරු පීඨය දැක් වූ දායකත්වය ඉතාම ප්‍රසංසනීයයි.

Comments