සිරදඬුවම් අඩුකිරීමේ යෝජනාවක් ගේනවා | සිළුමිණ

සිරදඬුවම් අඩුකිරීමේ යෝජනාවක් ගේනවා

ඇතැම් රැඳවියෝ ඉන්නවා වසර දහය පහුවෙලත් නිවාස නිවාඩු නොලැබුණු. මේ අය ගැන සොයා බලන්න කමිටු පත්කරලා, බලපත්‍ර මණ්ඩල පත්කරලා මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ වැඩසටහනක් සකස් කර තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම අවුරුදු විස්ස හෝ පහළොව දක්වා අඩු කරන්න කියලා.

බන්ධනාගාරය යනු පුවත් මවන තැනකි. එනිසා කාගේ කාගේත් ඇහැ බන්ධනාගාර කෙරෙහි යොමු වේ. කලක් තිස්සේ බන්ධනාගාරයේ මුල් පුටුවට පත් වූයේ දෙපාර්තමේන්තුවට පරිබාහිරින් අයෙකි. නමුදු ඒ තත්වය වෙනස් කරමින් බන්ධනාගාර දෙපාර්තමේතුවේ නිලධාරියකු ම එහි මුල්පුටුවට පත් විය.

ඒ තත්ත්වය යළිත් වෙනස් කරමින් මීට මාස කිහිපයකට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට නව නිලධාරියකු පත් විය. ඔහු නම් කලක් කම්කරු දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතාය. මෙතුමා කලක් ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ලෙසින් ද කටයුතු කර ඇත.

මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

“සිරකරුවෝද මනුෂ්‍යයෝය.” මේ හිර ගෙදර තේමා පාඨයයි. එය එසේ වුවත් මොවුන් බොහෝ අසරණයි. වසර ගණන් සිරගතව සිටින අයට තියෙන සහනය කුමක් ද?

ඇත්ත. මෙතැන ගැටලුවක් තිබෙනවා. ඉස්සර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් කිව්වා අපි දන්නවා එය අවුරුදු විස්සක් කියලා. නමුත් දැන් ඒ තත්ත්වය නැහැ. එයින් රැඳවියාට අසාධාරණයක් වෙනවා. අපි හැමවිටම රැඳවියා ගැන සිතිය යුතුයි. මම හිතන්නේ වෙන කවර වසර වලටත් වඩා මේ වසරේ වෙසක් පොහොය දිනයේ රැඳවියන් ගණනාවකට නිදහස ලැබුණේ. ඒ අතර සිටියා සුළු දඩමුදල් ගෙවා ගැනීමට නොහැකි‍ අය. අපි මෙවර හත්සිය හැට දෙදෙනෙකුට නිදහස ලබා දුන්නා. තවත් හාරසිය පස් දෙනෙකු සිටිනවා නිදහස් කළ හැකි මට්ටමේ . ඒ වගේම ලයිසන්බෝඩ් එක යටතේ සමාජගත කරන්න පුළුවන් රැඳවියන් පිළිබඳත් අප සොයා බලනවා. ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ඇතැම් රැඳවියෝ ඉන්නවා වසර දහය පහුවෙලත් නිවාස නිවාඩු නොලැබුණු. මේ අය ගැන සොයා බලන්න කමිටු කිහිපයක් පත්කරලා, බලපත්‍ර මණ්ඩල දහයක විතර පත්කරලා මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ වැඩසටහනක් සකස් කර තිබෙනවා. ඒ හැරුණ විට අප ඇමතිතුමිය මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම අවුරුදු විස්ස හෝ පහළොව දක්වා අඩු කරන්න කියලා. අනෙක තමයි වසර ගණනාවක් තිස්සේ මරණ දඩුවම නියම වී සිටින රැඳවියන්ගේ දඬුවම ජීවිතාන්ත දක්වා සිර දඩුවම් ලබාදෙන්න කියලා ලිඛිතව ලියා දන්වා තිබෙනවා. ඉදිරියේදි මේ ඉල්ලීම්වලට රජයෙන් සුබවාදී පිළිතුරක් ලැබේවි කියලා අප බලාපොරොත්තු වෙනවා.

සිරගෙදර ගැන නොයෙක් කතා පවතිනවා. පාතාලයේ අය සිරගෙදර සිට නොයෙක් දුෂණ චංචා කරන බවට වෝදනා තිබෙනවා. මේවා අවම කරන්නට කළ හැක්කේ මොනවද?

ඕක කාලයක් තිස්සේ තියෙන කතාවක්. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ අප හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැවියෝ පහළොස් දෙනෙකු සිටිනවා. ඔවුන් සිරගෙදර සිට යම් යම් දුෂණ චංචා කළ බවට. මෙන්න මේ පහළොස් දෙනා අප මේ වන විට වෙනත් බන්ධනාගාරයකට යවා තිබෙනවා. ගාල්ල බන්ධනාගාරයේ හදලා තියෙන සෙල් වල අප මේ අය රඳවා සිටිනවා. එක් සෙල් කාමරයක එක්කෙනයි සිටින්නේ. ඔය කියන චංචනික දේවල් අවම කර ගන්නට පුළුවන් වේවි කියලා අප හිතනවා.

දැනගන්නට ලැබෙන ආරංචිය අනුව කාලයක් තිස්සේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟයක් තියෙනවා. මෙයට විසැඳුමක් නැති ද?

ඇත්ත නිලධාරි හිඟයක් තියෙනවා. මේ තත්ත්වය දුරු කිරීම සඳහා අපි මේ දිනවල බඳවාගැනීම් සිදු කරනවා. මේ වන විට රියැදුරන් 53 දෙනෙකු බඳවාගෙන සිටිනවා. ජේලර්ලා 76 දෙනෙකු බඳවාගැනීම සඳහා පරික්ෂණ පැවැත්වීම මේ දිනවල සිදු කැරෙනවා. මේ සියලු බඳවා ගැනීම් කරන්නේ විනිවිදභාවයෙන්. එමෙන්ම නියාමක තනතුර සඳහාත් බඳවා ගැනීම් කැරෙනවා. මේ බඳවා ගැනීම් කළ විට පුරප්පාඩුවලින් සියයට අනුවක් සම්පුර්ණ වන බව අපේ විශ්වාසයයි.

කාලයක් තිස්සේ කතා බහට ලක් වන දෙයක් තමයි බන්ධනාගාර තුළ තදබදය වැඩියි කියලා. මේ තදබදය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවා ද?

තදබදය වැඩි බන්ධනාගාර කිහිපයක්ම තිබෙනවා. ඒ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ, මැගසින් . ගාල්ල මීගමුව මහර යන බන්ධනාගාර වෙනවා. මේ වන විට ලංකාවේම සිරගෙවල්වල රැඳවියන් විසිතුන් දහස් ගණනක් සිටිනවා. ඇතැම් බන්ධනාගාරවල තවමත් තියෙන්නේ සුද්දා හදපු ගොඩනැගිලි. මේවා පිළිසකර විය යුතුයි. තදබදය අඩු කරන්න කියලා අලුතින් බන්ධනාගාර ඉදි කිරීමේ අදහසක් නැහැ.

නමුත් මේ තදබදය අඩු කරන්නට යම් යම් වැඩපිළිවෙළ ගැනීමට නියමිතයි. වැලිකඩ තදබදය අඩු කිරිම සඳහා පිරිසක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යවනවා.

බන්ධනාගාරවල ඇතැම් නිලධාරීන් ද හිරගෙදර සිටින පාතාලයන් සමඟ සම්බන්ධයි. හිරගෙදරට මත්ද්‍රව්‍ය ජංගම දුරකතන ලැබෙන්නේ සමහර විට නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව. මේවා පාලනය කරන්න ගත්ත පියවර මොනවද?

අපි හැම විටම සෝදිසි මෙහෙයුම් කරනවා. අපේ බුද්ධි අංශයේ නිලධාරින් අනූ අටදෙනෙක් සිටිනවා. මේ අනු අට දෙනාගෙන් තමයි දැනට කටයුතු සිදු කරන්නේ. මෑතකදී බන්ධනාගාර බුද්ධි අංශයෙන් ගිහිල් ගාල්ලේ සෝදිසි මෙහෙයුමක් කෙරුවා. එහිදි ජංගම දුරකතන කිහිපයක් සොයාගත්තා. පසුගියදා බන්ධනාගාර රෝහලේ සිටි රැඳවියෙකු ළඟ තිබි ස්මාර්ට් ෆෝන් දෙකක් හා සාමාන්‍ය ෆෝන් දෙකක් අත්අඩංගුවට ගත්තා.

ඒ පිළිබඳ දැන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම යම් යම් දුෂණවලට සම්බන්ධ වන නිලධාරි පිළිබඳ අප විමසිලිමත් වෙනවා. ඔවුන්ව නීතියේ රැහැනට හසු කර ගැනීමටත් , ඔවුන් ගැන පුළුල් පරික්ෂණ පවත්වා නීති මඟින් කටයුතු කිරීමට මම පසුබට වන්නේ නැහැ.

අපි නිලධාරීන්ගේ සුබසාධන කටයුතු ගැනත් කටයුතු කරනවා. අවංකව සේවය කළ නිලධාරින්, නියාමකයන් ගැන පසුගිය කාලය තුළ ඇගයිමක් කර නැහැ. මම එවැනි නිලධාරින් නියාමකයන් සදහා ප්‍රශංසාත්මක ලිපි හාරසිය ගණනක් සකස් කර තිබෙනවා. වසර ගණනක් සේවය කළ නිලධාරින්ට තම සේවය අගයා ලැබෙන ලිපියත් ඔවුන්ට මානසික සතුටක්. එමෙන්ම නිලධාරීන්ගේ වැටුප් වර්ධක, උසස් වීම් ආදිය ගැනත් නිලධාරින්ගේ සුබසාධනය වෙනුවෙන් සුබවාදි ක්‍රියා මාර්ග අප ගෙන තිබෙනවා. ඒවා නොබෝ කලකින් ක්‍රියාත්මක වේවි.

සිරකරුවන් වෙනුවෙනුත් අප යම් යම් වැඩපිළිවෙල ක්‍රියාත්ම කිරීමට නියමිතයි. මේ අය වෙනුවෙන් ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ නිෂ්පාදනවලට අපේ රැඳවියන්ගේ ශ්‍රමය ලබා දෙනවා. එයින් අපේ රැඳවියෝ යමක් ඉගෙන ගන්නවා මෙන්ම ඔවුන්ට යම් වැටුපකුත් ලැබෙනවා.

සිරගෙවල් ඇතුළේ විවිධ හැකියා තිබෙන රැදවියෝ ඉන්නවා . ඔවුන් සතු කලා කුසලතා තිබෙනවා. මේ අයට වේදිකාවක් සකස් කරදීම සදහා අප ටැලන්ට් ෂෝ වැඩසටහන් මාලාවක් කරන්නට කටයුතු පිළියෙළ කර තිබෙනවා.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

Comments